විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි.

එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක් නිසාම නොව, දුකට සහ සන්තාපයට පත් අවස්ථාවක සතුට සහ ප්‍රීතිය දනවන මංගල චාරිත්‍රයක නිරත වීම අශිෂ්ට යැයි සමාජ සම්මතයක් ඇති නිසාවෙනි. සමහර අවස්ථාවක, නියමිතව තිබූ විවාහ මංගල්‍යය, ඇතිව තිබෙන අවමඟුල නිසා, මාස කිහිපයකින් හෝ අවුරුද්දකින් පවා කල්දැමෙන අවස්ථා අප දැක තිබේ.

 

ලංකාව අද අවමඟුල් ගෙයකට සමානයි. එසේ තිබියදී නිදහස් උත්සවය මංගලශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු කිරීම අශෝභනයි. මෙවැනි පීඩාකාරී අවස්ථාවක පවා නිදහස් උළෙල සැමරීම සිදු කළ යුතු යැයි සිතන පිරිස් ඒ සඳහා දක්වන හේතු කාරණා ගැන සලකා බැලූ විට, මේ මොහොතේ නිදහස් උත්සවයක් පැවැත්වීම තුළ ඇති විහිළුව, ඒ දක්වන හේතුකාරණාවන්හි දියාරු බව තුළින්ම මනාව පිළිබිඹු වෙයි. ජනාධිපතිවරයා පවා කියන්නේ, අද අප නිදහස සැමරුවේ නැත්නම් ලෝකයා අප ගැන හෑල්ලුවට සැලකිය හැකි බවයි. රටක් නිදහස සැමරිය යුත්තේ ලෝකයාට පේන්නට ද? තවත් අය කියන්නේ, අප තවමත් නිදහස නොලත් දීන රටක් ය යන හැඟීමක් ලෝකයා තුළ ඇති විය හැකි බවයි. එසේ සිතුවත්, ඒ සිතිවිල්ලේ ඇති වරද කුමක් ද?

 

AA14Xnda

 

නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ නිදහස් දිනය යෙදී තිබුණේ පසුගිය දෙසැම්බර් 9 වැනිදාට ය. එරට ජනාධිපතිනී සාමියා සුලුහු හසන්, මෙවර එරටේ ජාතික නිදහස් දිනය සැමරීම අවලංගු කළාය. ඒ සඳහා වැය කිරීමට නියමිතව තිබූ මුදල, ආබාධිත ළමුන් සඳහා පාසල් නවාතැන් තැනීම සඳහා යෙදවිය යුතු බව ඇගේ තීරණය විය. තමන් එසේ කළොත් තම රට ගැන ලෝකයා මොනවා හිතයිද වැනි මෝඩ සිතිවිලවලට ඇගේ දැක්ම තුළ ඉඩක් නොවීය. එසේම ඇගේ ක්‍රියාව ලෝකයේ කිසි තැනක මේ දක්වා විවේචනයට ලක්වූ බවක් දක්නට තිබුණේද නැත. ඒ වෙනුවට, හැම තැනකින්ම අසන්නට ලැබුණේ එම ක්‍රියාව ගැන ප්‍රශංසාවන්ම ය.

 debt

 

අනික, ලංකාව ගැන ලෝකයා හිතන විදිහ, දැනටත් ගරුගාම්භීරද? ලෝකයාගෙන් ණය අරගෙන පොලු තැබු රටක් ගැන ගෞරවයෙන් සිතන ජාත්‍යන්තර ප්‍රජාවක් ලෝකයේ නැත. බංග්ලාදේශය වැනි රටකින් පවා ණයට හිඟාකන තත්වයට පත්වීමෙන් පසු, ඉනුත් නොනැවතී ඒ ණය පවා ආපසු නොගෙවා පැහැර හැරිය පසු, තවදුරටත් රටකට ඉතිරි වන ජාතික ප්‍රෞඪත්වය කුමක් ද?

 

කෙසේ වෙතත් මගේ තර්කය වන්නේ, ඉහත කී පරිදි, සල්ලි නැති නිසා නිදහස් දිනය සැමරීම නුසුදුසු බව නොවේ. අවශ්‍ය නම්, ඒ ස`ඳහා සල්ලි අලුතෙන් අච්චු ගැසීමට බැරිකමක් නැත. මීට වඩා සිල්ලර දේවල් සඳහා පසුගිය කාලයේ සල්ලි අච්චු ගසා තිබේ. මෙච්චර පාරට වැටී ඇති රටේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ ඇමතිවරුන්ගේ වියදම් ඇස්තමේන්තු, සතයකින්වත් අඩු වී නැතිවා පමණක් නොව, ගිය වසරටත් වඩා ඒ වියදම් එහාට ගොස් ඇත. නැත, සල්ලි නැති කතාව යුක්තිසහගත පැමිණිල්ලක් වුණත්, දැනට ඒක පැත්තකින් තියන්න. එහෙත් රටක ජාතික නිදහස, එරටේ සැමරිය යුතු සැබෑ මංගල්‍යයක් කරගැනීම ගැන අප සිතා බැලිය යුතු වෙනත් පැත්තක් තිබේ. එනම්, ලැබුවා යැයි කියන නිදහස ගෞරවාන්විතව පාවිච්චියට ගැනීමට එරට ජනතාව සහ පාලකයන්, ගත වූ කාලය තුළ සමත් වී ඇත්ද යන්නයි.

 

උපන්ගෙයි දෝෂයක් නොව, හැදියාවේ අඩුවකි

 

යටත්විජිතවාදය නිසා අපට අඩුවැඩි වශයෙන් නිදහස අහිමි වූ කාලය අවුරුදු 443 කි. මුළු රටම පූර්ණ යටත්විජිතයක් බවට පත් වූ කාලය අවුරුදු 133 කි. මේ කාලය තුළ, යටත්විජිතවාදීන්ගේ ඕනෑඑපාකම්වලට මුල් තැන දෙමින්, අපේ රටේ සම්පත් විදේශිකයන්ගේ සුභසිද්ධිය සඳහා යෙදවීය යන චෝදනාව, ජනප්‍රිය දේශපාලන කතිකාව තුළ නිතර කියැවෙයි. එය මුළුමණින් අසත්‍යයක් නොවේ. එහෙත්, ඔවුන් අපට නිදහස දී මෙරටින් පිටත්ව යන අවස්ථාවේ අප සිටියේ කුමන ස්ථානයකද? අපේ නිදහස පිළිබඳ කතාව පටන්ගත යුත්තේ එතැනිනි.

 image 6402d73579

 

1948 පෙබරවාරි 4 වැනිදා දකුණු ආසියාවේ වැඩිම ඒකපුද්ගල ජාතික ආදායම පැවති රට ලංකාවයි. තවත් විදිහකින් කිවහොත්, දකුණු ආසියාවේ එදා සමෘද්ධිමත්ම රට වුණේ ලංකාවයි. හිඟ ගෙවුම් ශේෂයක් නොව, අතිරික්ත ගෙවුම් ශේෂයක් එදා අපට දායාද වී තිබුණි. (එනම්, ජාත්‍යන්තරය සමග කරන වාණිජමය ගනුදෙනුවලදී, අපෙන් පිටරටට ඇදී යන මුදලට වඩා වැඩි මුදලක් පිටරටින් අපේ රටට ඇදගැනීමට අප සමත්ව සිටි බවයි). මුළු ආසියාවෙන්ම සාක්ෂරතාව (අකුරු ලිවීමට සහ කියැවීමට ඇති හැකියාව) අතින් අප දෙවැනි වුණේ ජපානයට පමණි. ඒ වන විට, ප්‍රංශය වැනි බටහිර දියුණු රටක පවා නොතිබුණු සර්වජන ඡන්ද බලය, අවුරුදු 17 ක් තිස්සේ (1931 සිට) ජනතාවක් වශයෙන් ඒ වන විටමත් අප විසින් අභ්‍යාස කොට තිබුණි. එනම් බටහිර ඇතැම් දියුණු රටවලටත් වඩා, ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසයෙන් අප ඉදිරියෙන් සිටි බව ය. දකුණු ආසියාවේ වෙනත් රටක නොතිබුණු තරමේ කාර්යක්ෂම රාජ්‍ය පරිපාලන සේවයක් එදා අපට තිබුණි. ස්වාධීන අධිකරණයක් සහ පොලීසියක් ස්ථාපිතව තිබුණි.

 

දැන්, එවැනි දායාද සම්භාරයක් සහිතව සුද්දාගෙන් නිදහස ලැබීම යන්නෙහි අර්ථය කුමක්ද? මේ ජයග්‍රහණයන් ස්වදේශීය නායකත්වයක් යටතේ තවදුරටත් වැඩි දියුණු කරගැනීමද? නැතිනම්, ස්වදේශීයත්වය සහ ජාතිකත්වයේ නාමයෙන් ඒවා විනාශ කරගැනීමද? සියවස් හතරකට අධික කාලයක් තිස්සේ යටත්විජිතවාදීන් විසින් සූරාකනු ලැබීමෙන් අනතුරුව අපට ඉතිරි කොට ගිය අවම දායාද පවා, අවුරුදු 75 ක් වැනි කෙටි කාලයක් තුළ ස්වදේශීය පාලකයන්ගේ පටු දැක්ම, අකාර්යක්ෂමතාව, දූෂණය සහ සොරකම නිසා අද අපට අහිමි කොට ඇත. හෙවත්, යටත්විජිතවාදියා ඉතිරි කොට ගිය පිච්චියත්, ස්වදේශීය පාලකයා සොරාකෑ බව ය. වඩාත් ගර්හාවට ලක්විය යුත්තේ යටත්විජිතවාදී සුද්දාද, නිදහසෙන් පසු රට පාලනය කළ ඊනියා ජාතිකවාදී ස්වදේශීය පාලකයා ද?

 Jaffna Exodus 3

මේ කාලය තුළ දකුණේ නැඟිටීම් දෙකක් ඇති වීම සහ උතුරු-දකුණු ජාතීන් අතර යුදමය තත්වයක් ඇති වීම, සංවර්ධනය සහ සමාජ ප්‍රගමණය පිළිබඳ ප්‍රශ්නය සංකීර්ණ කළ බව ඇත්ත. එහෙත් නැවතත්, ඒ අභාග්‍යසම්පන්න තත්වයන් ඇති කරගනු ලැබුවේ කවුරුන් විසින්ද යන ප්‍රශ්නය මතු කළ විට, ඊට දිය හැකි පිළිතුර වන්නේද, නැවතත්, නිදහසෙන් පසු පූර්ණ බලය අභ්‍යාස කළ ස්වදේශීය පාලකයාම ය යන්නයි.

 

ප්‍රෞඪත්වයක් නැති ‘ජාතික නිදහස’, බොල් කයිවාරුවකි

 

මේ සියල්ල කීමෙන් මා අදහස් කරන්නේ, සුද්දාගෙන් ලැබූ නිදහස ස්වදේශීය පාලකයා විසින් මහදවල් අවභාවිත කරන ලද ආකාරය සැලකිල්ලට ගැනීමේදී, ලැබුවා යැයි කියන නිදහස ගෞරවාන්විතව සැමරීමේ අයිතියක්, ලැජ්ජාවක් ඇති පාලකයෙකුට හිමි නොවන බව පෙන්වා දීමයි. කෙසේ වෙතත්, කතාව එතැනින් අවසන් නොවේ. අපට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. එනම්, ඉහත කී පාලකයන් එක දිගටම ජනතාව විසින් තෝරා පත්කරගනු ලැබූ පිරිසක් වන බවයි. එසේ නම්, නිදහස ලැබීමෙන් අනතුරුව ගත වූ 75 වසරක අසාර්ථකත්වය, දේශපාලන නායකත්වය මත පමණක් පටවා, ජනතාව නිfදාස් කොට අතහෝදා ගැනීමත් කළ නොහේ. ජනතාව විසින් වරින්වර කරනු ලබන තේරීම් මොන තරම් මුග්ධ ද යත්, අධිකරණයෙන් වරදකරුවන් වූ මිනීමරුවන් පවා ජනතාව විසින් තෝරා පත්කරගත් ඉතිහාසයක් අපට තිබේ.

 

Cw8t6qiUAAA88qG

ඊට වඩා ‘අහිංසක’ විදිහට, වර්තමානයේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය ගත්තොත්, පැය භාගයක් ගත වන රැස්වීමක/සාකච්ඡාවක එක දිගට වාඩි වී සිටිය නොහැකි කැබිනට් ඇමතිවරුන් කී දෙනෙකු අපට දකින්ට ලැබේ ද? වාඩි වී සිටින පුටුවේම කට බලියාගෙන නින්දට වැටෙන මූසල ඇමතිවරුන්ගෙන් මීට වඩා යහපත් රටක් කෙසේ නම් බලාපොරොත්තු වන්න ද?

 

මේ වන විට, අඩු වශයෙන් 74 වතාවක්වත් අප ‘නිදහස’ සමරා ඇත. 1950, 1960, 1970, 1980 සහ 1990 ආදී වශයෙන් සෑම දශකයකම මේ ‘ජාතික’ පිළිවෙත ශීලයක් සේ අප අනුගමනය කොට තිබේ. ඒ කාලයේ, නිදහස් දිනය වෙනුවෙන් කීමට බොහෝ දේවල් අපට තිබුණි. උදාහරණයක් වශයෙන්, 1956 බණ්ඩාරනායකගේ පෙරළියෙන් පසු නිදහස සමරද්දී, අධිරාජ්‍යවාදී ධනේශ්වර පංතියෙන්, ස්වදේශීය පංතීන් වෙත (සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු) බලය මාරු වීම උජාරුවෙන් වැණීමට අපට හැකි විය. ඊළඟට 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසු, බි්‍රතාන්‍ය කිරීටයෙන් මුළුමණින් නිදහස් වූ ‘නිවහල්’ ජාතියක් වශයෙන් අපට උදම් ඇනීමට හැකි විය. 1977 ජේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු, ලෝක ගම්මානයට දකුණු ආසියාවේ අනිත් රටවලටත් කලින් ඇතුළු වීම ගැන අපි ආඩම්බර වීමු. අවසානයේ, බෙදුම්වාදය පරාජය කොට ලැබූ ජයග්‍රහණයක් ගැන ප්‍රීතියට පත්වීමු. මේ කයිවාරුව, 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂගෙන් ‘සැබෑ විකල්පයක්’ අපේක්ෂා කළ දා සිට වාෂ්ප විය. වේගයෙන් කැරකෙන විදුලි පංකාව මතට අශූචි තැම්බ වැටුණේ එහිදී ය.

 

පරණ තැටිය තවදුරටත් වාදනය නොවීම

 

දැන්, වෙනස නිවැරදිව සනිටුහන් කරගමු. මුලින්ම, ගෝඨාභය රාජපක්ෂ පමණක් කුරුසයේ තැබිය යුතු නැත. එතෙක් බලය හෙබවූ සියලු නායකයන් සහ පක්ෂ සේම, ඒ නායකයන් සහ පක්ෂ බලයට පත්කිරීම සඳහා කටයුතු කළ අවශේෂ පක්ෂ සහ සමාජ බලවේගත්, අඩුවැඩි වශයෙන්, රටේ කඩාවැටීමට වගකිව යුතුය. කෙසේ වෙතත්, අප පැද්දෙමින් සහ නැළවෙමින් සිටි ඔන්චිල්ලාවේ ලණු පොට කපා දැම්මේ ගෝඨාභය රාජපක්ෂයි. අපව බිම දමා අපේ මොළේට යහපතක් සිදු කිරීම අරමුණු කොට ඔහු එය කළා නොව. ඊට පෙර සිටි කිසි නායකයෙකු තුළ නොතිබූ අඥානත්වයක් සහ අදූරදර්ශී බවක්, රටේ ආර්ථිකය සහ ජනතාව සමග බොළඳ අත්හදාබැලීම් රාශියක් එක විට කිරීම සඳහා ඔහු සෙල්ලමට යොදාගත්තා පමණි. කෘෂිකර්මය සහ රසායනික පොහොර පිළිබඳ උපදේශකත්වයට ඔහු ගොබ්බ fදාස්තරෙකු පත්කර ගත්තා අපට මතකයි. කෝවිඩ් වසංගතය මැඩලීම සඳහා, ගොඩවෙදකම් කළ වඩුවෙකුගේ පැණියක් රටට පෙව්වා අපට මතකයි.

 

FWZ35jXUsAIINWq

 

“එක රටක් එක නීතියක්” පනවා ගැනීම සඳහා, හිරේ ගිය අලජ්ජී භික්ෂුවක් යොදාගත්තා අපට මතකයි. තවත් විදිහකින් කිවහොත්, අපේ ‘නිදහස’ සැමරීම සඳහා ඒ දක්වා ඉතිරිව පැවති සියලු අහිංසක සංකේතීය අවසරයන් පවා ඔහු අපෙන් පැහැරගත්තේය. ඒ කෙතෙක්ද යත්, රාජපක්ෂලාට සාපේක්ෂව යම් තරමකට හෝ බුද්ධිමත් යැයි සැලකෙන වර්තමාන ජනාධිපතිවරයාට පවා, හෙට අනිද්දා එළැඹෙන නිදහස් දිනය සැමරීමට තමන්ට ඇති එකම හේතුපාඨය, ලෝකයා මොනවා සිතයිදෝ යන බොළඳ හේතුවාචකයක් දක්වා පිරිහෙලීමට එය හේතුකාරක විය.

 

327229332 6303801916319768 672893610104943049 n

සමාජ මාධ්‍ය පෝස්ටුවක්

 

රාජ්‍ය උත්සවයක් වශයෙන් ජාතික නිදහස සැමරීමට මීට කලින් තදබල විරෝධයක් සහ අපුලක් නොදැක්වූ ජනතාවක් මෙවර ජාතික දිනය සැමරීම හෙළාදකින්නේ එබැවිනි. මෙය, ඔවුන්ව කබලෙන් ලිපට ඇද දමා ඇති මොහොතකි. ඒ ගින්නට ඔවුන්ව තල්ලු කළ පාලකයන්ම ඔවුන්ගේ ඇස් ඉදිරියේ ‘ජාතික නිදහසක්’ ගැන ගසන පම්පෝරිය, ප්‍රකෝපකාරීත්වයකි. මේ සඳහා වැය වන ධනස්කන්ධය (රුපියල් මිලියන 200) ගැන මොහොතකට අමතක කළත්, අඩු වශයෙන්, ගහෙන් වැටුණු මොහොතක ගවයන් වට වී හතරවටින් අනින්නේ නැතිනම්, ජනතාවට හිත හදාගැනීම මීට වඩා පහසු වනු ඇත.

 

මේ ලිපිය පළවෙන විට ‘නිදහස් දිනය’ රාජ්‍ය අනුග්‍රහයෙන් උත්කර්ෂවත්ව සැමරෙනු ඇත.

 

ජනතා කැමැත්තකින් තොර රාජ්‍යත්වයක් හොබවන පාලන තන්ත්‍රයකට, ජනතා ආශීර්වාදයක් නැති ‘නිදහස් දිනයක්’ සැමරීම අපහසු දෙයක් නොවේ. එවැනි රාජ්‍යයත්වයක්, තමන්ගේ ව්‍යවස්ථාපිත ආධිපත්‍යය ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ඇති සෑම සංදර්ශනාත්මක සංකේතයක්ම සිය භාවිතයට ගනු ඇත. ඒ අර්ථයෙන් ගත් විට, මේ මොහොතේ පැවැත්වෙන නිදහස් දින උත්සවය යනු, පාලකයාගේ උජාරුව පෙන්වන මංගල්‍යයක් මිස, ජනතාවගේ මොනම නිදහසක්වත් සංකේතවත් කරන්නක් නොවේ.




GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


320723070 553561629955212 5233208659897488127 n


JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්