යටත් විජිත පාලනයෙන් නිදහස් වීමේ 75 වැනි සංවත්සරය රජය දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ සමරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයේදී ජාතිය ඇමතුවේ නැත. ඔහුට විශිෂ්ඨ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණ ද, නොදන්නා හේතු නිසා එය ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබිණි. ඔහුගේ කතාව ප්‍රචාරය කරන ලද්දේ පසු අවස්ථාවකය.

 

සාමාන්‍ය ජනතාවට එම භූමියේ ඉඩක් නොතිබීම නිදහස් දින උත්සවයේ තවත් කැපී පෙනෙන අංගයක් විය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ, නිදහස් සැමරුම පැවැති ගාලුමුවදොර පිටිය මුහුද, නැවුම් වාතය සහ ගහකොළ භුක්ති විඳීමට පැමිණෙන ජනතාවගෙන් පිරී පවතී. උත්සවයට සහභාගී වීමට අවස්ථාව ලබාදුන්නේ නම්, පැවැති හමුදා පෙළපාලිය සහ ගුවන් සංදර්ශනය, ජනතාව මගනොහැර නරඹනු ඇත. එහෙත් මෙහිදී ආණ්ඩුවේ තත්වය පැහැදිලිවම අනාරක්ෂිත වූ අතර, විශාල ආරක්ෂක මැදිහත්වීමක් සිදුකර, වත්මන් අනාරක්ෂිතභාවය නිර්මාණය කිරීමට හේතුවී ඇති තත්වය පාලනය කිරීමට වග බලා ගැනීම අවශ්‍ය විය.


සාමාන්‍ය ජනතාව උත්සව භූමියෙන් ඈත්කර තිබුණේ, එම ප්‍රදේශයට ඔවුන් ඇතුළු වුවහොත් ඇතැමුන් විරෝධතා දැක්වීමට ඉඩ ඇති බවට ආණ්ඩුවට පවතින බිය නිසාය. ඇත්ත වශයෙන්ම, පෙර දින රාත්‍රියේ තරුණ විරෝධතාකරුවන් පිරිසක් විසින් සංවිධානය කරන ලද මහජන විරෝධතාවයක් (සත්‍යග්‍රහයක්) ජල ප්‍රහාර එල්ල කර බලහත්කාරයෙන් විසුරුවා හැර තිබිණි.

 

 

රටේ ජනතාවට සැමරීමට තරම් හේතුවක් නොමැති මොහොතක, සැමරුම් සඳහා සම්පත් අවභාවිත කිරීමට එරෙහිව තරුණයෝ එහිදී විරෝධතාවයේ නිරත වූහ. සාමකාමී විරෝධතාකරුවන්ට එහිදී දේශපාලන මැර පිරිසක් පහරදුන් නමුත්, විශාල වශයෙන් පැමිණ සිටි ආරක්‍ෂක අංශ ඒ දෙස බලාසිටියා පමණකි. සත්‍යග්‍රහයේ යෙදුණු පිරිස මෙම ප්‍රහාරයට විරුද්ධ වූ විට, ආරක්ෂක අංශ විසින් ඔවුන්ට එළවා පහර දී, අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව පෙනීයන්නේ, තම නිදහස් දින උත්සවය බාධාවකින් තොරව පැවැත්වීමට වඩා, ආණ්ඩුවට තම ජනතාවගේ සිත් දිනාගැනීම වෙනුවෙන් පවතින සැළකිල්ල අඩු බවය.

 

හාස්‍යයට කරුණ වන්නේ, සැමරුම් භූමියේ සාමාන්‍ය ජනතාව නොසිටීමත්, ආරක්‍ෂක අංශ පමණක් එම භුමියේ ශක්තිමත්ව සිටීමත්, සැමරුම විසින් වසර ගණනාවකට පෙර රට අත්විඳින ලද යුද සමය සිහිපත් කිරීමත්ය. එදා ද නිදහස් දින සැමරුම පැවැත්වුණේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ වන අතර, කොටි බෝම්බවලට මුහුණදීමට වඩා තම නිවෙස්වල රැඳී සිටීමට ජනතාව කැමැත්තක් දැක්වූහ. අතීතයට මෙම ආපසු හැරීම, යම් පමණකින් මේ මොහොතට අදාළ වන්නේ, එම වසරවලදීද යුද්ධය හේතුවෙන් ආර්ථිකය යම් ප්‍රමාණයකින් කඩාවැටීමට ලක්ව, ජන ජීවිතය අවුල්ව පැවැති බැවිනි. මේ වන විට ජනගහණයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසක් ආහාර ගැනීම අඩු කර ඇති අතර, ජනගහණයෙන් සියයට 40 ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇත. ජනවාර්ගික ගැටුම සහ ආර්ථික ඌණ සංවර්ධිතභාවය අතර සම්බන්ධය පිළිගන්නා ජනාධිපති වික්‍රමසිංහ මහතා, ඉන් ජනවාර්ගික ගැටුමට නොපමාව දේශපාලන විසඳුමක් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදී ඇත.


මහජන කෝපය

 

230204 Jaffna Black day 14


නිදහස් දිනය සැමරීමට එරෙහිව මහජන විරෝධතා කොළඹ පමණක් නොව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද, විශේෂයෙන් උතුරේ ද සංවිධානය කර තිබිණි. ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය මෙන්ම කුඩා පක්ෂ ද නිදහස් දින උත්සව වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි අතර, ඔවුන්ද ඒවාට සහභාගි නොවීය. යාපනයේ විශ්වවිද්‍යාල සිසුහු හර්තාලයක් ප්‍රකාශ කර කළු කොඩි එසවූහ. කෙසේ වෙතත්, බොහෝ අය සැමරුම් සඳහා කිසිම ආකාරයකින් උනන්දුවක් දැක්වූයේ නැත. සාමාන්‍ය පරිදි ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීමක් නොතිබුණු අතර, රජය ඒ වෙනුවෙන් ආයාචනයක් කළේද නැත. ඒ වෙනුවට දැකීමට ලැබුණේ ආණ්ඩුව තමන් වෙනුවෙන් නිදහස් දිනය සමරන ආකාරයකි. පොලිස් පරිවාර රථ සමග දිලිසෙන නව වාහනවලින් පැමිණි විවිධ ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් සහ අනෙකුත් ප්‍රභූවරුන් ඔවුන් අසුන් ගන්නා කුටි තුළට ගමන් කළේ සියලු ජාතික රූපවාහිනී මධ්‍යස්ථාන ඔවුන් වෙත අවධානය යොමු කරමින් සිටියදීය. කෙසේ වෙතත්, සිය රූපවාහිනී යන්ත්‍රවලින් මෙම සැමරුම් නරඹන සාමාන්‍ය ජනතාව, ප්‍රභූවරුන් රැගත් සුඛෝපභෝගී වාහන දුටුවිට කෝපයට පත් වන්නට ඇත.

 

ජාතික ආර්ථිකය කඩා වැටී රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසු, මහමගට පැමිණි විරෝධතා ව්‍යාපාරය හමුවේ මීට වසරකට පෙර දේශපාලන නායකයෝ සැඟවී සිටියහ. එහිදී, කිසිදා මහජන විරෝධතාවලට සහභාගි නොවූ බොහෝ ජනයා පාරට බැස උද්ඝෝෂණ කළහ. රටේ ධනය සොරාගත් සියලුදෙනා ඇතුළුව, මහා ජනකායක් අගාධයකට ඇද දැමූ ආණ්‌ඩුවේ නායකයන්ට ඉවත්ව යන ලෙසට බලකරමින් ඔවුහු දුර බැහැර සිට පවා කුඩා දරුවෝ, තම දෙමාපියෝ, වැඩිහිටි, ආබාධ සහිත පුද්ගලයෝ සමඟ පැමිණියහ. නිදහස් දින උත්සව රූපවාහිනියෙන් නැරඹූ මේ ජනතාවම, දැන් එම දේශපාලන නායකයන්ම තම  අසීරුතාවන් මතින් පැමිණ, සුඛෝපභෝගී වාහනවලින් බසිනවා දැකීමෙන් මහත් කෝපයට පත් වන්නට ඇත. ඔවුන් වීදි උද්ඝෝෂණවලදී මෙන්ම තම නිවෙස් තුළදීද රජයෙන් ඉල්ලා සිටින්නේ, දූෂණය, බලය අයුතු ලෙස භාවිත කිරීම සහ නිකරුණේ මහජන ධනය කාබාසිනියා කිරීම සඳහා දඬුවම් ලබා නොදීමේ සංස්කෘතිය අවසන් කරන ලෙසයි.

 

ප්‍රශ්නය මතුවන්නේ මේ ආකාරයට නිදහස් දිනය සැමරුවේ කාගේ උවමනාවටද යන්න සම්බන්ධයෙනි. රට ආර්ථික කඩාවැටීමකට ලක්ව ඇති අවස්ථාවක නිදහස් දිනය සමරන ලද්දේ සිතාගැනීමටවත් නොහැකි ආකාරයෙනි. කෙසේවෙතත්, උත්සවයේ පිරිවැය සම්බන්ධයෙන් නැගුණු මහජන විරෝධයට ඇහුම්කන්දෙන බව පෙන්වීම සඳහා රජය හමුදා පෙළපාලියේ ප්‍රමාණය අඩු කළේය. එසේම සෞන්දර්යාත්මක පාර්ශ්වය නියෝජනය කරන සංස්කෘතික පෙළපාලි ද කපා හැරියේය. නිදහස් දිනය සැමරිය යුතුව තිබුණේ දේශපාලන නායකයන් වෙනුවෙන් හෝ අන්තර්ජාතික ප්‍රජාව වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙනි. මෙම සැමරුමට අන්තර්ජාතික ප්‍රචාරයක් ලැබුණේ නැත. එවැන්නකින් ලෝකය අපව දකින ආකාරය වෙනස් වන්නේ නැත. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත්වලට ඇතුළුවූයේද නැත. ඔවුන් තම රූපවාහිනි යන්ත්‍රවලින් උත්සවය නරඹමින් සිටි අතර, නිසැකවම තමන්ගේ ප්‍රයෝජනය සඳහා නොවන, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිදු කරන මෙම වියදම් පිළිබඳව දැනුවත්ව සිටියහ. 


නිර්භීත පොරොන්දු

 

President Independence day ii


නිදහස් දින සැමරුම මීට වඩා වෙනස් ආකාරයකට පැවැතිවීමට හැකියාව පැවැතිණි. අවශ්‍ය නම්, ජන ජීවිතය විනාශ කර ඇති දුගීභාවය රජයට හඳුනා ගත හැකිව තිබිණි. ජනතාවට සැළකීමේ ආචාර ධර්ම විදහා දක්වන නිදහස් දින උත්සවයක් සංවිධානය කළ හැකිව තිබිණි. රට පුරා සිටින දුප්පත්ම පවුල්වල සහ සියලු ජාතීන්ට, ආගම්වලට හා කුලවලට අයත් පාසල් සිසුන් දහසක් ගෙන්වාගෙන, රටේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය දක්වන කැපවීම පිළිබිඹු කරමින්, පාසල් පොත් සහ පාසල් ඇඳුම් සංකේතාත්මක පිළිගැන්වීමක් බවට එම උත්සවය පත්කිරීමට හැකියාව තිබිණි. මෙය අහිමි වූ අවස්ථාවක් වන අතර, එය ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තුළින් එය ආණ්ඩුවට අවාසිදායක ලෙස පිළිබිඹු වනු ඇත. 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා සැලැස්මක් අවශ්‍ය බවට වන වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ, මිනිසුන්ගේ ප්‍රශ්න දවසින් දවස මග හැරීම යන්නයි. රූපවාහිනියෙන් ජාතිය අමතා කළ කතාවේදී ඔහු පැවසුවේ “අපි කැප වෙමු, එක මවකගේ දරුවන් ලෙස එක් වෙමු. අපි නිදහස ලබා වසර 100 ක් සමරන 2048 වන විට, අපේ රට ලෝකයේ දියුණුම රටක් බවට පත් කරමු."යනුවෙනි.

 


වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ප්‍රමුඛතා පිළිබඳව කෙතරම් විවේචන එල්ල වුවද, ජාතික අවශ්‍යතා සඳහා වන ගැටලු විසඳීමට ජනාධිපතිවරයා සමත් වනු ඇතැයි අපේක්ෂා කරන බොහෝදෙනෙක් තවමත් සිටිති. ජනාධිපති වික්‍රමසිංහගේ එක් අභීත ප්‍රතිඥාවක් වන්නේ, දශක තුනක යුද්ධයකට තුඩුදුන් ජනවාර්ගික ගැටුම විසඳා, මෙම 75 වැනි නිදහස් වසර තුළ ජාතික සංහිඳියාවක් ලඟාකර ගනිමින් “එක මවකගේ දරුවන් ලෙස එක් වෙමු” යන්න යථාර්තයක් බවට පත්කිරීමයි. මාස තුනකට පෙර ඔහු මෙම කාර්යයට කැපවන බව මුලින්මප්‍රකාශ කළ අවස්ථාවේ, මෙම අභිලාෂකාමී කර්තව්‍යය නිදහස් දිනයට පෙර සිදුවනු ඇතැයි හෝ "සිය මෙහෙවර ඉටු කිරීම" පිළිබඳව මෙම සුබ දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි යම් අපේක්ෂාවක් පැවැතිණි. එහෙත් එවැන්නක් සිදු වී නොමැති අතර, ඒ වෙනුවෙන් පළමු පියවර පවා තවමත් තබා නොමැති බව පෙනෙන්නට තිබේ. දෙසතියකට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු, පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව යළි කැඳවීමේදී ජනාධිපතිවරයා එළිදක්වන ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහි දැන් අවධානය යොමුව ඇත.

 

වාර්ගික වශයෙන් බෙදී ඇති සමාජයක ජාතික සංහිඳියාව කිසිවිටෙකත් පහසු යෝජනාවක් නොවේ. ඒ සඳහා ක්ෂේත්‍ර රැසක ක්‍රියාකාරීන් රැසකගේ සහාය අවශ්‍ය වේ. නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීම  මගින්, ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් වූ අධිෂ්ඨානය පිළිබඳ ඉඟියක් සැපැයීය. මෙය වසර හතරකට පසු සිදු වූ අතර, අතීතයේ පැවති බෙදීම් ජය ගැනීමට ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය පිළිබිඹු කරනු ලැබීය. දශක ගණනාවකට පසු නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් නැවත ගායනා කරන ලද්දේ, 2015-19 කාලසීමාවේදී අගමැතිවරයා ලෙස ඔහුගේ නායකත්වය යටතේ බවද සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව තුළ සිවිල් සමාජයේ සහාය අවශ්‍ය වන අංග පවතී. අතීත වැරදිවල උරුමයෙන් මිදී, එමගින් උගත් පාඩම් මතින්, වැරදි නැවත සිදු නොවන අනාගතයක් කරා අප ඉදිරියට යා යුතුය.

 

jehan pereraශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්