ශ්‍රී ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටී තිබෙනබවට අදහස් පළවුව ද, සිනමාව කලාවක් ලෙස තවමත් කඩා වැටී නැතිබව තහවුරු කරමින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ දී (IFFR) ශ්‍රී ලාංකික නිර්මාණ දෙකක් ඉහළ අගැයීමට ලක්විය.

 

ඒ, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය සහ ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' (Whispering Mountains) සිනමා කෘතිය යි.

මෙම ජයග්‍රහණය පිළිබඳව ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ ජගත් මනුවර්ණ බීබීසී සිංහල සේවය සමග අදහස් පළකළහ.

 

රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙල යනු කුමක් ද?

 

IFFR 2019 Doelen grote zaal filmfestival rotterdam

1972 වසරේ ජූනි 28 වන දා පළමු සිනමා උළෙල පැවැත්වූ රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ ඉතිහාසය අඩසියවසක් ඈතට විහිදෙයි.

මෙම සම්මාන උළෙල රොටර්ඩෑම් කලා පදනමේ ක්‍රියාන්විතයකි.

රොටර්ඩෑම් සම්මාන උළෙල, ලෝකයේ ස්වාධීන සිනමාකරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් පවත්වනු ලබන 'විශිෂ්ට සිනමා උළෙලක්' ලෙස සැලකෙයි.

2023 රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ ජගත් මනුවර්ණ සම්මානයට පාත්‍රවූහ.

 

මනල් - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

 

රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය 'මනල්' සිනමා පටයට හිමිවිය.

ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.

 

 

"පශ්චාත් යුද්ධ සමයේ, ඒ කියන්නේ 2009 වසරේ දී අත්අඩංගුවට පත්වුණ තරුණයෙක් සිරගතව ඉඳලා අවුරුදු පහකට පස්සේ එළියට එනවා. ඒක තමයි මේ නිර්මාණයේ වස්තු බීජය. ඒ තරුණයා එයාගේ නැතිවුණ ආදරවන්තියව හොයනවා. යුද්ධයේ අන්තිම කාලේ කාණ්ඩයක් අත්අඩංගුවට පත්වුණා. කාණ්ඩයක් අතුරුදන් වුණා. තව කාණ්ඩයකට යන එන මං නැති වුණා. තවත් සමහරු අවුරුදු ගාණක් තිස්සේ සරණාගත කඳවුරුවල ඉන්නවා. එහෙම අතරමං වුණ අයව හොයන කාලයක තමයි මේ කතාව දිවෙන්නේ," මනල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය.

ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසුවේ, සිය සිනමා නිර්මාණ තුළින් අපේක්ෂා කරනුයේ ජනතාවට පණිවුඩයක් ලබාදීම වෙනුවට යම් ප්‍රශ්න කිරීමක් සිදු කිරීම බව ය.

"අවුරුදු 30ක යුද්ධයක් කළා. ඒ යුද්ධය එක පිරිසක් ජයග්‍රහණය කළා. තව පිරිසක් පරාජයට පත්වුණා. එතකොට දැන් සේරම හරි ද? ඒ කියන්නෙ අපේ ප්‍රශ්න ටික ඉවර ද? ඒවා අත්විඳපු මිනිස්සුන්ගෙ කතාවල් මොනවා ද? දකුණේ අය දන්නෙ නෑ ඇත්තට ම උතුරේ මිනිස්සුන්ගෙ කතාවල් මොනවා ද කියලා. උතුරේ අය හොයන්න යන්නෙ නෑ දකුණෙ අයගේ කතාවල් මොනව ද කියලා. මේ ආකාරයට යම් හිඩැසක් තියෙනවා. මේ ගැන ප්‍රශ්න කිරීමක් තමයි මේ සිනමා පටයෙන් කෙරෙන්නේ."

මනල් සිනමා පටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ඇති නමුත්, එය දෙමළ බස මාධ්‍ය කර ගත් සිනමා පටයක් බැවින් ඊට ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි වෙයි ද යන්න අවිනිශ්චිත බව ඔහු සඳහන් කළේ ය.

"අපට තියෙන ප්‍රශ්නෙ මිනිස්සු ඇත්තට ම මේක බලයි ද කියන එක. දෙමළ චිත්‍රපටයක් බලන්න සිංහල ප්‍රේක්ෂාගාරය සූදානම් ද කියන එක. දෙවන ප්‍රශ්නය තමයි මේක බලන්න දෙමළ ප්‍රේක්ෂාගාරය සූදානම් ද කියන එක. ලංකාවේ දෙමළ ප්‍රේක්ෂාගාරය කලාත්මක යි කියන ඒවා බලන්න ලොකු උනන්දුවක් නෑ."

 

e08697d0 ac58 11ed 8f65 71bfa0525ce3

මනල් චිත්‍රපටයේ පෝස්ටරයක්

 

ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නේ 'කුණු රසය' සහිත සිනමා පටවලට ද?

 

'ජාත්‍යන්තර සම්මාන දිනාගැනීම සඳහා රටක් කුණු රසය පදනම් කර ගත් සිනමා නිර්මාණ කළ යුතු ය' යන දුර්මතයක් පවතින බවත්, එය පිළිනොගන්නා බවත් ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය.

"රටක ජීවත් වෙනකොට කුණු රස යි, පැණි රස යි දෙක ම තියෙනවා. මේ දවස්වල අපට ගොඩක් දැනෙන්නේ කුණු රස තමයි. අපි කතා කියන්නන් හැටියට ඔය දෙක ම තෝර ගන්නවා. යම් යථාර්ථවාදී නිර්මාණයකින් රටක් ගැන දුක හිතෙන හෝ තරහක් ඇති වන ප්‍රතිරූපයක් මැවෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. අපි සම්මාන බලාගෙන කුණු රසය ගැන නිර්මාණ කරන්නෙ නෑ. ඒක දුර්මතයක්."

 

කවුද මේ විසාකේස චන්ද්‍රසේකරම්?

 

visakesaආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 1986 වසරේ දී පමණ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ය. 'ශක්ති', 'රජ කෙල්ලෝ' සහ 'ත්‍රීෂූල්' යන වාණිජ සිනමා පට තුනෙහි සහාය අධ්‍යක්ෂවරයා ලෙස ඔහු සේවය කළේ ය.

කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදිශිෂ්‍යයෙකු වන ඔහු උසස් පෙළ විභාගයෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට ඇතුළත් වී නීතිවේදියෙකු බවට පත්විය.

පසුව, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු එහිදී ආචාර්ය උපාධිය හිමිකර ගෙන වසර ගණනක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක සේවය කළේ ය.

මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණි ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

ඔහු 2013 වසරේ දී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේ දී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේ ය.

 

'රහස් කියන කඳු' - ජගත් මනුවර්ණ

 

0c74a030 ac59 11ed 8f65 71bfa0525ce3

'රහස් කියන කඳු' චිත්‍රපටයේ දර්ශනයක්

 

2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අනෙක් ශ්‍රී ලාංකික සිනමා පටය වූයේ, ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි.

එය Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ අතර, NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි.

ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය.

jagath manuwarna"ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වුණ යම් යම් ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ කම්පනය තමයි මේ සිනමා පටයෙන් ප්‍රතිනිර්මාණය කළේ. ඒ කම්පනය සිනමාවට ගේන්න මං සෑහෙන කාලයක් කල්පනා කරමින් හිටියා. ඒ සිද්ධි සිනමාරූපීව ඉදිරිපත් කිරීමක් තමයි මම කළේ. මේක ප්‍රබන්ධිත කතාවක්," ජගත් මනුවර්ණ බීබීසී සිංහල සේවයට පැවසීය.

ජගත් මනුවර්ණ මීට පෙර 'ගින්දර පොඩ්ඩක්' (2004) සහ 'වෝටර් ලිලී' (2011) යනුවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය කර තිබිණි.

ඔහුගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන්නේ, රොටර්ඩෑම් සිනමා උළෙලේ NETPAC සම්මානයට පාත්‍ර වූ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි.

 

 

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳව ඔහු ඉදිරිපත් කළේ මෙවන් අදහසකි:

"ලංකාවේ තාමත් මිනිස්සු චිත්‍රපටි බලනවා. හොඳ විදේශීය සහ දේශීය චිත්‍රපට ආවම මිනිස්සු ගිහින් බලනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ, තව කොච්චර කාලයක් ඒක රඳා පවතියි ද කියන එකයි. මේ ආර්ථික කඩා වැටීමත් එක්ක සිනමාව, නාට්‍යවලින් මිනිස්සු ඈත් වෙමින් යනවා. සමස්තය කඩා වැටිච්ච රටක සිනමා විතරක් ඉතුරු වෙන්න හේතුවක් නෑ."



(BBC සිංහල සේවය)



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්