පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී රොටරි සමාජයේ 32 වන දිස්ත්‍රික් සමුළුව ඇමතූ ජනාධිපති වික්‍රමසිංහ, පළමුවත් දෙවනුවත් තෙවනුවත් රටේ බිඳ වැටුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහතික වෙමින් ආර්ථික වශයෙන් අස්ථාවරවූ රටක ප්‍රජාතන්ත්‍රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අවධාරණය කළේය.

 

එසේම “මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මක වන සමාජයක්” ගොඩ නගන බවටත් හෙතෙම සහතික විය.
 
 

 
ශක්තිමත් ආර්ථිකයක් නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් (අ) ආර්ථිකය ශක්තිමත් කිරීම (ආ) ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යන ජාතික වගකීම් එක් වසරක් තුළ ඉටු කළ හැකි යයි සිද්ධි විශ්ලේෂකයෙකු හා දේශපාලන විමර්ශකයෙකු ලෙස මේ ලියුම්කරු විශ්වාස කරන්නේ  නැත.  

2048ට ඔබින රටක් ගොඩ නැගීමට නම් අප 75 වසරක රටේ දේශපාලන ඉතිහාසය හැදෑරිය යුතුවේ. අඛණ්ඩව ජාතියට බත සපයන දේශීය කෘෂි සංස්කෘතියට තෝ තැනි වූ ජනපද ව්‍යාපාර මැලේරියා මදුරු ව්‍යාපෘති ලෙස එදා සමච්චල් කළ වාමාංශිකයන් හැමදාම රටේ පැවැත්මට හානි කළහ. එදා සිට අදටත් රටේ යහපත අපේක්ෂාවෙන් කරන සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට වීදි බස්සවන පුහු විප්ලව අරගල රටේ නීතිය හා සාමයේ පැවැත්මට හානි කරති. ඒ අත්දැකීම හරහා රටේ  විනය ඇති නො කර කරන කිසිදු උත්සාහයක් සාර්ථක නො වනු ඇත.

“සිරිත් පරිදි හිමිදිරියේ නිවෙසට කිරි කාරයා සහ තැපැල් කාරයා නිර්බාධිතව සිය සේවා ලබා දේ නම් නීතිය හා සාමය ආරක්ෂා වෙතැයි” යන්න උපහැරණයකි. මෙහි කිරි කාරයා යනු ජන ජීවිතයේ සුරක්ෂිත භාවයද, තැපෑල යනු රාජ්‍ය සේවයේ නිර්බාධිත පැවැත්මද, අදහස් වේ.
 
 
lksjyte

ලෝක ව්‍යසනයක් හමුවේ හාල් සේරුව ශත 25 සිට 70 තෙක් ශත 45කින් වැඩි කිරීමට පාලකයන් ගත් තීරණයට එරෙහිව දියත් කළ 53 නිදහස් හර්තාලය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි පැවැත්ම ලෙයින් තෙත් කළාය. එය කිරි කාරයාගේ..... උදාහරණයෙන් රටේ නීතිය හා සාමයේ පැවැත්මට කළ අභියෝගයකි. අරගල යනු විපක්ෂයට ආතල් එකකි. 1953 හර්තාලය රටේ තක්කඩින්ට ඇඟේ හිරි ඇර ගන්නා අභ්‍යාසයකි.  71, 88-89 කාලයේ මනුෂ්‍ය ඝාතන යනු ඊට උදාහරණයකි. හිරේ ගිය වසන්ත මුදලිගේ අරගලයට උත්තේජනයක් වුණේත් එහෙමය. 53 හර්තාලය පීඩනයේ පෙළ ගැසීමක් නම් 56 මහ මැතිවරණය සාදුකින් පෙළෙනවුන්ගේ පාලනයක් ඇති නො කළේ කුමක් නිසාද?

අදටත් සිංහලය රටේ රාජ්‍ය භාෂාව නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ධරන්, සිංහල නො දන්නා නිසා අධිකරණ නියෝගයක් ප්‍රතික්ෂේප කිරීම යනු අධිකරණ පද්ධතිය තුළ පවා සුළු ජාතික භාෂා අයිතිය නොතකා හැරීමකි. හමුදා කඳවුරකට පහර දීමක් සම්බන්දව අල්ලා ගත් සිව් දෙනෙකු 17 වසරක් චෝදනා නැතිව රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම, බිල නොගෙවූ නිසා ජල සැපයුම විසන්ධී කිරීමට ආ සේවකයාට ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෙකුට පාරිභෝගිකයෙකු සිදුකළ පහරදීම හා රථවාහන නීති ගැන ප්‍රශ්න කළ පොලිස් නිලධාරියෙකුට කාන්තාවක විසින් පහරදී බරපතල තුවාල සිදු කිරීම යනු රටේ නීතිය සාමය පිරිහී ඇති බවට උදාහරණ වේ.

මේ විස්තර කළ නිර්දේශපාලනික මෙන්ම හුදෙකලා පුද්ගල හැසිරීම් හරහා නීතිය හා සාමය කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්වන ආකල්පය කිසිසේත් යහපත් නැත. සාමාන්‍ය ජනතාවට කාන්දුවී පවත්නා මේ අදාන්ත පැවැත්ම අරගල ස්වරූපයෙන් වීදි බස්සවා අයිතිවාසිකම් කඩවීම් ලෙස අර්ථ ගැන්වීම වහා නතර නො කළොත් රට ගොඩ නැගීම බොරුවකි.
 
 
තමන් කිසි විටෙක වර්ජන තර්ජන අරගල ගැන තැකීමක් නො කරන බවට ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය විධානාත්මක විය යුතු වේ. ජූලි 20 වෙනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලැග සිටි පිරිසක් ඉවත් කිරීම යනු රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට පාලකයා ගත් සාධනීය පියවරකි, පාරේ අරගල කිරීම නිසා, අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ට සස්ටජන් පරිත්‍යාග කිරීමත්, දෙමළ ප්‍රදේශවලට සිංහලෙන් සිතාසියක් යැවීමත් නීතිය සාමය නොතකා හැරීමේ ප්‍රවනතාව අධිකරණ පද්ධතියට තුළට කාන්දුවීමක්ද යන්න ගැඹුරෙන් සාකච්ඡා කළ යුතුවේ.

සජබය පාලනයකදී, රටේ ආරක්ෂාව සරත් පොන්සේකාටත්, ජවිපෙ එකී වගකීම් විශ්‍රාමික හමුදා සාමාජිකයන්ටත් භාර දීමට සමගාමීව, ජනාධිපති ගෝඨාභයද බොහෝ පරිපාලන තනතුරු සඳහා හමුදා නිලධාරින් කැඳවීමත් ජනාධිපති වික්‍රමසිංහගේ වර්ජන තර්ජන අරගල නො තකා හැරීමත් රටේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බව දේශපාලනිකව පිළිගැනීමකි.
 
 
පවත්නා ආර්ථීක පීඩනය නිදහස් ලංකා ඉතිහාසයේ කිසි විටෙකත් කිසිවෙකු අත් නොවිඳි එමෙන්ම අපේක්ෂා නොකළ තත්වයකි. 2022 මාර්තුවේ සර්ව පාක්ෂික සමුළුව කැඳවමින් ජනාධිපති ගෝඨාභය, විපක්ෂයට එක් වැඩ කරමු යයි කළ ආයාචනයට ද්‍රවිඪ මන්ත්‍රින් සහ රනිල් වික්‍රමසිංහ පැමිණියද, ප්‍රධාන විපක්ෂයේ කිසිවෙකු සංවේදී නොවීය. එකී සමුළුවේදී  රනිල් වික්‍රමසිංහ අතීතයේ එකිනෙකා කළ දේ ගැන හබ නො කර අනාගත අපේක්ෂා වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ වගකීම අවධාරණය කළද අදටත් විපක්ෂය රටට වින කළ ගෝඨාගේ පාලනයට එරෙහිව පෙළ ගැසුණ අරගලයට මුවා වී කැරළි ගසති.
 
 
ජනාධිපති වික්‍රමසිංහ තම පාලනයට නො රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක් වෙන්නැයි දිගින් දිගටම ආයාචනා කරයි. විධායක ජනාධිපති ලෙස මේ අරගල මේනියාව තවදුරටත් ඉවසා සිටියොත් අරගල නො කරන සකසුරුවමින් ධනාත්මක අපේක්ෂා ඇතිව ජීවත්වන වැඩිහිටියන්ට, පාසල් යන දරුවන්ට ආරක්ෂාව සලසන්නේ කවුද?  

ජනාධිපති වරයා හඳුන්වා දෙන ආර්ථික ප්‍රතිපත්තිය, තමන්ද අනුගමනය කරන බව හිස් මුදුනෙන් පිළිගන්නා ආර්ථික විද්‍යාඥ හර්ෂ සිල්වා මේ දෙපරාදුවට මැදිහත්ව සකසුරුවමින් ජීවත්වන කුප්පි ලාම්පුවෙන් ශිල්ප හදාරණ වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් පෙනි නො සිටින්නේ, අරගල මානසිකත්වයෙන් ඔද්දල්වූ කුලප්පුවකි.

හර්තාලය මෙහෙයවූ වමේ ව්‍යාපාර 1956දී බලයට පත් පාලනයට එරෙහිව වැඩ වර්ජන මෙහෙයවා ආර්ථිකයට කළ විනාසය ලංකාව හැර ගිය විදේශ ආයෝජකයන් සිංගප්පූරුවේ ස්ථානගත කිරීම හරහා ලී ක්වාන් යූ විස්තර කරයි. 1970දී බණ්ඩාරනායක මැතිනිය සහාය දුන් ජවිපෙය වර්ෂයක් ඉක්මීමට පෙර ගිනි අවි පත්තු කරමින් මැතිනියගේ ආණ්ඩුවට හර්තාල් සම්ප්‍රදාය ඉක්මවා ගිය භීෂණයක් නිර්මානය කළේත් හර්ෂට වැළඳුණ කුලප්පුවෙනි. මේ ඉතිහාසය පුරා ලංකාවේ ප්‍රභූ ප්‍රජාතන්ත්‍රවාදින් රටේ යහපතේදී දේශපාලනය මුසු කළේ නැත.
 
 
1963දී සිරිමා ශාස්ත්‍රි ගිවිසමට විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක සිය සහාය පළ කළේ කිසිදු සංශෝධනයක් නො කරමිනි. අදටත් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටින්නේ තම පාලනයට නොව රටේ ආර්ථික වැඩ සටහනට බාධා නොකර ශක්තියක් වන ලෙස ය. 2022 මාර්තුවේදී රටට ශක්තියක් වෙමු යි කීවේත්, රටේ විධායක ජනාධිපති ලෙස අදටත් එක්ව රට ගොඩ නගමු යයි ආයාචනා කරන්නේත් උක්ත ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අනුගතවය. කිසිදු ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනඥයෙකු රටේ අපදාවක් හමුවේ සූදු කෙළිය යුතු නොවේ. එසේම රාජ්‍ය පාලකයා කඩාකප්පල්කාරීන් හුරතල් නො කළ යුතුවේ.
 
 
ගෝඨාගේ පාලනය බිඳ වැටුණ නිමේෂයෙහි රටේ වගකීම සජිත් අනුර දෙදෙනාගෙන් කෙනෙකු භාර නො ගත්තේ ආර්ථීක දැක්මක්, වගකීම භාර ගැනිමේ ආත්ම විශ්වාසයක්, නායකත්වයක් නොවූ නිසාය. මෙහිදී 1940 මැයි 10 වෙනි දා නෙවිල් චේම්බ්ලේන් අත් හළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය වින්ස්ටන් චර්චිල් භාර ගැනීම සිහිපත් වේ.

ඉන්ධන අර්බුදය හමුවේ කිව් ආර් කෝඩ් එක හඳුන්වා දුන්නා නම් ගෝඨාභය අදටත් රටේ ජනාධිපති ය. මැයි 9 වෙනිදා රටම ගිනි තබා මන්ත්‍රි වරයෙකු මහ පාරේ පහර දී මරා දැමුවේත්, ගෝල්පේස් පිටියේදී සජිත් ප්‍රේමදාසගේ හිස මැදට පොලු පහරක් එල්ල කළේත් අරගල කරුවන් නොවේ. ඒ 1953දී හර්තාල් වලිප්පුවේ සාප ලත් 71, 88-89 අත්දැකීම් සහිත අනුප්‍රාප්තිකයන් විසිනි.

හර්තාලයෙන් හරියටම වසර 20ට පසුව, නිර්මාතෘ ඇන්. ඇම්.ට 1973දී රටේ ජනතාවට බත් කෑම තහනම් කළ ආණ්ඩුවක මුදල් ඇමතිකම දැරීමත්, 88-89දී මැතිනියගේ ජයග්‍රහණයට බෝම්බ ගැසූ ජවිපෙ 2004දී චන්ද්‍රිකා සමග පරිවාස ගැසීමත්, 2005 දූෂිත මහින්දට කඩේ යාමත්, දෛවයේ සරදම් නොවේද?

1955දී භාෂා දෙකට සමතැන් ඉල්ලා ලිය පෙළපාලියේදී කොල්වින්ට ගැසූ අත් බෝම්බය වළකා තම අත අහිමි කර ගත් මැන්දිස් සහෝදරයාට (රංග ශිල්පි ලක්ෂ්මන් මැන්දිස්ගේ පියා) කොකා පෙන්වමින් 1966 ජනවාරි 8 වෙනිදා දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව ඇන්. ඇම්. කොල්වින් දෙදෙනා කොළඹ පෙළපාලි ගියේත් බලයට ඇති කෑදරකම නිසාය. 
 
 
 112894563 061944235 1
 
මේ කුඩා දූපත් වාසින්ට ගෙවුණ 75 වසර තුළම සිදු වුණේ එක එකාට කතිර ගැසීමට රට වෙනුවෙන් කැපවීමේ අභ්‍යාසයක් නොවේ. අදත් මහජන රැළි හරහා බලය ඉල්ලා සිටිනු මිස, රටට ශක්තියක් වීමට ජනතාව දැනුවත් නො කරති. ඩඩ්ලි 1953 හාල් මිල වැඩි කළේත්, 1966 දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙනාවේත් ජනාධිපති වික්‍රමසිංහ ඍජු හා වක්‍ර බදු වැඩි කරන්නේත් රට වෙනුවෙන් මිස ඡන්ද බලාගෙන නොවේ. වර්තමානයේ ජනාධිපති වික්‍රමසිංහ තමා ජනප්‍රිය තීරණ නො ගන්නා බව කියන්නේ රටට ලෙන්ගතු අර ප්‍රභූ දේශපාලනයට අනුගතවය. ප්‍රජාතන්ත්‍රවාදි පාලකයන් ගන්නා තීරණ ගැන ජනතාව ප්‍රතික්‍රියා දැක්වූ විට ඔවුන් පරාජය භාර ගෙන ගෙදර ගියහ. රනිල්ද,  56 වසරක් ඒ ප්‍රජාතන්ත්‍රවාදය අත් විඳ තිබේ.
 
 
රටේ පාලකයන්ට සමහර විට තනි තීරණ ගත යුතු අවස්ථා උදා වේ. 1958 දි සිංහල දෙමළ කොළහලය මැඩීමට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකට හදිසි නීතිය පනවා හමුදා කැඳවීමට සිදුවිය. ඔහු එදා රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ හැටි ටාසි විට්ටච්චි නම් ප්‍රවීන මාධ්‍ය වේදියා සිය, 58 හදිසි අවස්ථාව නම් කෘතියේ විස්තර කරයි. සර් ඔලිවර් දෑතින් දුරකතන දෙකක් ඔසවා ගෙන කලබල කරන අයට වෙඩි තබන ලෙස  ආරක්ෂක අංශ වලට නියෝග නිකුත් කළ හැටි ටාසි විට්ටච්චි විස්තර කරයි. එදා බොහෝ ජීවිත මෙන්ම රටේ ගෞරවය රැකුණේ  සර් ඔලිවර් ගත් තනි තීරණ නිසාය.

බ්‍රිතාන්‍ය බේරා ගත් චර්චිල් වෙනුවට ජනතාව ඇට්ලි තෝරා ගත් නමුත් යළි චර්චිල්ට රට භාර දීමට බ්‍රිතාන්‍යයන්ට සිදුවිය. ගෝඨා තෝරා ගැනීමේදී ජනතාව විසි කළ රනිල් යළි කැඳවීමත් ඊට සාපේක්ෂ නොවේද? සජිත් අනුර දෙදෙනාම රනිල්ට ඉඩදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ හෙයින් රනිල් වගකිව යුත්තේ ව්‍යවස්ථාවට මිස විපක්ෂයට නොවේ. ජනතාවට අවශ්‍ය ආර්ථීක සහන මිස මැතිවරණ නොවන හෙයින් තමන් වර්ජන තර්ජන ගණන් නො ගන්නා බවද රනිල් කියන්නේ ඒ නිසාය.  

රටට අවශ්‍ය ආර්ථික ව්‍යාකරණය රනිල් ප්‍රකාශයට පත් කර  හමාරය. මහා බ්‍රිතාන්‍යයේ චර්චිල් මෙන්ම ලංකාවේ සර් ඔලිවර් දෙදෙනාම ජනාධිපති වික්‍රමසිංහ පූර්වාදර්ශ කරගත යුතුවේ. යම් සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් එහි නීතිය හා සාමය ස්ථාපිත කළ යුතුවේ. 88-89 විනාසය සිදු කළ තක්කඩිකම් මැඩ පවත්වා නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළේ කවුදැයි කිසිවෙකු දන්නේද?  

කෑලි කෑලි වලට ඉරූ ලෝක සිතියම ක්ෂණයකින් යළි ගලපා පෙන්වූ එකම සිසුවා දෙස පන්තියේ කවුරුත්  විමතියෙන් බලා සිටියහ. සත්තකින්ම අර සිසුවා සගයන් මවිත කිරීමට ගැලපුවේ ලෝක සිතියම නොවේ. ඉරා දැමූ  සිතියමේ අනෙක් පැත්තෙහි නිරූපිත මිනිස් රූපය ගැලපීමෙනි. දේශපාලනය විසින් 75 වසරක් පුරා මිනිසුන් බෙදා වෙන් කිරීමෙන් දුර්වල වූ රට යළි ශක්තිමක් කිරීමට රනිල් වික්‍රමසිංහ දේශය නම් තනි මිනිස් රූපය කිව් ආර් පන්නයේ විසඳුම් හරහා ශක්තිමත් කිරීමට පෙර ඡන්දයක් ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කරමින් සිටින්නාහ.

රටට අවශ්‍ය ආර්ථිකයකි. විපක්ෂයට අවශ්‍ය මැතිවරණයකි. අද පවත්නේ මේ අවබෝධය හා අනවබෝධය අතර ගලඋඩ සටනකි. රටේ බහුතර ජනතාව පවත්නා කඩා වැටීම මැනවින් අවබෝධ කරගෙන ඊට අනුගතව ජීවත් වෙති. ජනතාවට අවශ්‍ය  හදිසි මැතිවරණ හෝ වර්ජන තර්ජන නොවේ. කිව්ආර් පන්නයේ ක්ෂණික විසඳුම් වේ. පැරිස් සමාජය සහ ජි රටවල් චීනයෙන් ලබා ගත් ලංකාවේ ණය ගෙවා කිසිදු රටක් චීනයෙන් ණය ලබාගෙන අපට ළගට එන්න එපා කීවොත් ඒ ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. ලංකාව පිහිටා ඇත්තේ එතරම් වාසනාවන්ත ලක්ෂයකය.



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

Anida

 



JW

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්