ඔබ, ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මාධ්‍යවල සඳහන් වනවා දැක ඇතිවා හෝ, මිතුරන් ඒ ගැන කතා කරනවා අසා තිබෙනවා විය යුතු ය.

නමුත් මෙම දිනය කුමක් සඳහා ද? එය යෙදී ඇත්තේ කවදා ද? එය සැමරීමක් ද? විරෝධතාවක් ද? ඊට සමාන ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද? මෙම වසරේ සිදුවන දෑ මොනවා ද?

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා සිටින ජනතාව මාර්තු 8 දා කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස සලකනු ලබයි.

ඒ ඇයිදැ යි දැනගන්න, කියවන්න.

 

එය ආරම්භ වූයේ කෙසේ ද?

Clara Zetkinක්ලාරා සෙට්කින් 1910 වසරේ දී ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා ය

කෙටියෙන් IWD ලෙස ද හඳුන්වනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ (UN) පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහා ය.

තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසට ත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසට ත්, ඡන්ද අයිතිය දෙන ලෙසට ත් ඉල්ලමින් කාන්තාවන් 15 000ක් නිව්යෝර්ක් නගරයේ සිදු කළ පාගමනක ප්‍රතිඵලයක් වශයෙන් 1908 වසරේ දී එහි මූලාරම්භය සිදු විය. ඉන් වසරකට පසුව, ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.

එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කිරීමේ අදහස පැමිණියේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවගෙනි. 1910 වසරේ දී කෝපන්හේගන්හි වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවක දී ඇය මෙම අදහස යෝජනා කළා ය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුහු ඇගේ යෝජනාවට ඒකමතිකව එකඟවූහ.

1911 වසරේ දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල එය මුලින් ම සමරනු ලැබිණි. එහි ශතක පූර්ණ සංවත්සරය සමරනු ලැබුවේ 2011 වසරේ දී ය.

1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමත් සමග එය නිල වශයෙන් පිළිගනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය (1996 වසරේ දී) විසින් ඊට යොදා ගන්නා ලද පළමු තේමා පාඨය වූයේ "අතීතය සමරමින්, අනාගතය සැලසුම් කිරීම" යන්න ය.

ජාත්‍යන්තර කාන්තා දිනය සමාජයීය වශයෙන්, දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ ඇති ද යන්න සැමරීමේ දිනයක් බවට පත්ව තිබුණ ද, අද වන විට දේශපාලන මූලයන් අදහස් කරන්නේ එය අඛණ්ඩ අසමානතාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන දිනයක් බව ය.

 

ඇයි මාර්තු 8?

women2022 වසරේ මෙක්සිකෝවේ ටොලූකාහි පැවති ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර කාන්තා දින විරෝධතාවකට කාන්තා ක්‍රියාකාරීන් සහභාගි වූ අයුරු

 

ජාත්‍යන්තර කාන්තා දිනයක් සඳහා වූ ක්ලාරාගේ අදහසට නිශ්චිත දිනයක් නොතිබිණි.

1917 වසරේ දී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලා සිටි යුදකාලීන වැඩ වර්ජනය පැමිණෙන තෙක් එය විධිමත් නොවිණි. වැඩ වර්ජනය ආරම්භ කර දින හතරක් ගත වන විට සාර්ට රජකම අත්හරින ලෙස බල කෙරුණු අතර, තාවකාලිකව පත්වුණු රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ තිබූ ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්‍රෙගරියානු දින දර්ශනයේ මෙම දිනය මාර්තු 8 වන දා වූ අතර අද එය සමරනු ලබන්නේ ඒ අනුව ය.

 

මිනිසුන් දම් පාට අඳින්නේ ඇයි?

xfgrdtgදම් පාට බොහෝ විට IWD සමග සම්බන්ධ වන්නේ එය 'යුක්තිය සහ ගෞරවය' සංකේතවත් කරන බැවිනි

 

ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවියට අනුව දම්, කොළ සහ සුදු IWDහි වර්ණ වේ.

"දම් පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් කරනවා. කොළ පාට සංකේතවත් කරන්නේ බලාපොරොත්තුව. සුදු පාට මතභේදාත්මක සංකල්පයක් වුණත් පාරිශුද්ධත්වය නියෝජනය කරනවා. මේ වර්ණ භාවිතය ආරම්භ වුණේ 1908 වසරේ දී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමයෙන් (WSPU)," ඔවුහු පවසති.

 

ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද?

ඔව්. නොවැම්බර් 19 වන දාට එය යෙදී තිබේ.

නමුත් එය නම්කෙරුනේ 1990 ගණන්වල සිට වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු නොලබයි. එක්සත් රාජධානිය ඇතුළුව ලොව පුරා රටවල් 80කට වැඩි ගණනක ජනතාව එය සමරති.

සංවිධායකයින්ට අනුව මෙම දිනයේ දී "පිරිමි පුද්ගලයින් ලෝකයට, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන්ට ගෙන එන ධනාත්මක වටිනාකම" සමරනු ලබන අතර ආදර්ශයට ගත හැකි ධනාත්මක පිරිමින් ඉස්මතු කිරීම, පිරිමින්ගේ යහපැවැත්ම පිළිබඳ දැනුවත් කිරීම සහ ස්ත්‍රීපුරුෂ සමාජ සම්බන්ධතා යහපත් ලෙස වැඩි දියුණු කිරීම අරමුණු කරයි.

 

කාන්තා දිනය සමරන්නේ කෙසේ ද?

dstw4tකාන්තාවන් සහ ළමයින් 2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී යුක්රේනයේ සිට හංගේරියාවට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ව මල් ලබා දී පිළිගත් අයුරු

මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක හෝ හතරක කාලය තුළ සිට මල් අලෙවිය දෙගුණ වන රුසියාව ඇතුළු බොහෝ රටවල ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් වේ.

චීනයේ රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි, එරට බොහෝ කාන්තාවන්ට මාර්තු 8 වන දින වරුවක් පමණක් රාජකාරි කටයුතුවල නිරතවීමට අවස්ථාව හිමි වේ.

ඉතාලියේ 'ලා ෆෙස්ටා දෙලා දෝනා' (la Festa della Donna) හෙවත් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මිමෝසා මල් (නිදිකුම්බා වැනි) ලබා දීමෙනි. මෙම සම්ප්‍රදායේ මූලාරම්භය අපැහැදිලි නමුත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේ ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

එක්සත් ජනපදයේ මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරනු ලබන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකින් මෙරිකානු කාන්තාවන් ලබාගත් ජයග්‍රහණ අගය කරයි.

 

2023 ජාත්‍යන්තර කාන්තා දින තේමාව කුමක් ද?

rtyffcඑක්සත් ජනපද කාන්තා පාපන්දු කණ්ඩායම සමාන වැටුප් වෙනුවෙන් සාර්ථකව සටන් කළහ

2023 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා එක්සත් ජාතීන්ගේ තේමාව වන්නේ, "ඩිජිට්ඕල්: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් නවෝත්පාදනය සහ තාක්ෂණය" (DigitALL: Innovation and technology for gender equality) යන්න ය. තාක්‍ෂණය සහ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා කාන්තාවන් සහ ගැහැණු දරුවන් දක්වන දායකත්වය හඳුනා ගෙන සැමරීම මෙම තේමාවේ අරමුණයි.

මෙම වසරේ, ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අසමානතාව කෙරෙහි ඩිජිටල් ස්ත්‍රීපුරුෂ පරතරයේ බලපෑම ද ගවේශනය කරනු ලබයි. ඒ, පියවරක් නොගන්නේ නම්, 2025 වසර වන විට කාන්තාවන්ට ඔන්ලයින් ලෝකයට ප්‍රවේශය නොමැතිකම හේතුවෙන් අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල්වල දළ දේශීය නිෂ්පාදිතයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක පාඩුවක් සිදු වනු ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තුගත කරන පසුබිමක ය.

නමුත් එය වටා වෙනත් තේමා ද තිබේ. "කාන්තාවන් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට වේදිකාවක් සැපයීමට" නිර්මාණය කර ඇති බව පවසන ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවිය "ස්ත්‍රී පුරුෂ ඒකාකෘතිවලට (gender stereotypes) අභියෝග කිරීම, වෙනස්කොට සැලකීමට එරෙහිව හඬ නැගීම, පක්ෂග්‍රාහීත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සහ සමානාත්මතාව සොයා යාම" බලාපොරොත්තුවෙන් සංවිධායකයින් සහ උත්සව එක්ව #EmbraceEquity යන්න තේමාව ලෙස තෝරා ගෙන ඇත.

 

අපට එය අවශ්‍ය වන්නේ ඇයි?

zxdfweඅධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවෝ සටන් කළහ

පසුගිය වසර තුළ ඇෆ්ඝනිස්ථානය, ඉරානය, යුක්රේනය සහ එක්සත් ජනපදය වැනි බොහෝ රටවල කාන්තාවෝ සිය රටවල යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් මධ්‍යයේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළහ.

ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානයේ පුනර්ජීවනය විසින් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ මානව හිමිකම්වල ප්‍රගතියට බාධා කර ඇති අතර, දැන් ඔවුන්ට උසස් අධ්‍යාපනය, නිවසින් පිටත ඇති රැකියා බොහොමයක නිරතවීම, පිරිමි භාරකරුවෙකු නොමැතිව දිගු දුරක් සංචාරය කිරීම තහනම් කිරීම සහ ප්‍රසිද්ධි ස්ථානවලදී මුහුණු වසා ගැනීමට උපදෙස් දෙනු ලැබ ඇත.

aminiමසා අමිනීට පහර දුන් බවට වූ ඇසින් දුටු සාක්ෂි ඉරාන පොලිසිය ප්‍රතික්ෂේප කළේ ය

කාන්තාවන් හිජාබය පැළඳිය යුතු බවට වූ ඉරාන දැඩි නීති කඩ කළේයැ යි චෝදනා කරමින් 2022 සැප්තැම්බර් 13 වන දින ටෙහෙරානයේ දී සදාචාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 22 හැවිරිදි මසා අමිනී නමැති කාන්තාව මියයාම හේතුවෙන් ඉරානයේ විරෝධතා මතු විය.

එතැන් සිට, කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයේ ම සහභාගීත්වයෙන් බොහෝ ඉරාන ජාතිකයින්, කාන්තාවන් සඳහා වඩා හොඳ මානව අයිතිවාසිකම් සහ වත්මන් දේශපාලන නායකත්වයෙන් වෙනසක් ඉල්ලා රට පුරා අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කර තිබේ. "කාන්තාව, ජීවිතය, නිදහස" යන්න විරෝධතාවල සටන් පාඨය යි. බලධාරීහු ඒවා "කැරලි" ලෙස හුවා දක්වමින් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වූහ. 500කට අධික පිරිසක් මියගොස් ඇත.

2022 පෙබරවාරි 24 වන දින රුසියානු හමුදා විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසුව, යුක්රේනය තුළ සහ ලොව පුරා යුද්ධයෙන් නිසා සිදු වූ මිල ඉහළ දැමීම් සහ හිඟවීම් හේතුවෙන් ආහාර අනාරක්ෂිතභාවයේ ස්ත්‍රීපුරුෂ පරතරය, මන්දපෝෂණය, දරිද්‍රතාව සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළ යාම නරක අතට හැරී ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි.

මෙරිකානු කාන්තාවන්ගේ ගබ්සා කිරීමේ අයිතිය ආරක්ෂා කළ ඓතිහාසික නඩු තීන්දුවක් වන රෝ එදිරිව වේඩ් නඩු තීන්දුව 2022 ජූනි 24 වන දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී. එය එක්සත් ජනපදයේ පුළුල්ව පැතිරුණු උද්ඝෝෂණ සහ විරෝධතාවලට තුඩු දුන්නේ ය. 2021 වසරේ දී ඓතිහාසික තීන්දුවක් මගින්, ගබ්සාව අපරාධමය වරදක්යැ යි යන්න මෙක්සිකෝව නොසලකා හරින ලද අතර ගබ්සා කර ගැනීම සඳහා එරට වැසියන්ගෙන් එක්සත් ජනපද කාන්තාවන් ගණනාවක් සහාය බලාපොරොත්තු වී තිබේ.

zsdfwe33රෝ එදිරිව වේඩ් නඩු තීන්දුව අවලංගු කිරීමට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය පුරා විරෝධතා පැවැත්විණි

නමුත් පසුගිය වසර කිහිපය තුළ ප්‍රගතියක් දක්නට ලැබේ.

2022 නොවැම්බරයේ දී, යුරෝපීය පාර්ලිමේන්තුව 2026 ජූලි වන විට පොදු ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය වැඩි කිරීම සහතික කිරීම සඳහා වසර 10ක සටනකින් පසු නීතියක් සම්මත කළේ ය. "ඉහළ රැකියා සඳහා සුදුසුකම් තියෙන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා. අපේ නව යුරෝපීය නීතියත් එක්ක, ඒ අයට ඒවා [රැකියා] ලබා ගන්න සැබෑ අවස්ථාවක් ඇති කරනවා කියලා අපි සහතික වෙනවා," යුරෝපා සංගමය පැවසීය.

මේ අතර, ආර්මේනියාවේ සහ කොලොම්බියාවේ මාපිය නිවාඩු නීති යාවත්කාලීන කරන ලද අතර, ස්පාඤ්ඤය ඔසප් සෞඛ්‍ය නිවාඩු සඳහා සහ ගබ්සාවට ප්‍රවේශ වීමට අවශ්‍ය නීති සම්මත කළේ ය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 45%ක් කාන්තාවන් වූ, වඩාත් ම ස්ත්‍රීපුරුෂ සමාජභාවය සමතුලිත ශීත ඍතු ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2022 වසරේ දී බීජිංහි දී පැවැත්වීය.

2023 වසරේ දී පැවැත්වෙන ෆිෆා කාන්තා ලෝක කුසලානය කණ්ඩායම් 36කට සහභාගි විය හැකි පරිදි අලුතින් පුළුල් කර ඇත. තරගයට පෙර, එක්සත් ජනපද පාපන්දු සම්මේලනය සිය පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට සමානව ගෙවීමට ඓතිහාසික එකඟතාවකට එළැඹි අතර, එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම සමාන පරිදි මුදල් ගෙවීමට පොරොන්දු වූ පාපන්දු ක්‍රීඩා කරන පළමු රට බවට පත් විය. ක්‍රීඩිකාවෝ වසර පහකට වැඩි කාලයක් තර්ක කරමින් සමාන වැටුප් හිමි විය යුතු බවට නඩු ගණනාවක් ගොනු කර තිබූහ.

 

- BBC සිංහල 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්