අසමත් රාජ්‍යයක්, දුර්වල රාජ්‍යයක්, කඩා වැටුණු රාජ්‍යයක්, බංකොළොත් රාජ්‍යයක් ලෙස පසුගිය සතිය වනතුරු නාමකරණයට ලක්වුණු ශ්‍රී ලංකා රාජ්‍යය,

‘නෑ.. එහෙම නෑ.. අපිටත් සමත්කම් තිබෙනවා, යළි නැගී සිටීමේ හැකියාව තිබෙනවා..‘ කියන එක ඔප්පු කරමින් දෙපයින් නැගී සිටීමේ පළමු උත්සාහය සාර්ථක කරගෙන තිබේ. ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙහි දේශපාලන තේරුම එයය.



ලෝකයේ විවිධ රාජ්‍යයන් ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සේම දුර්වල වීමද සාමාන්‍ය තත්වයකි. ඒ ඒ රාජ්‍යයන් මුහුණ දෙන දේශපාලනික ආර්ථික සමාජීය තත්වයන් අනුව එය වෙනස් වේ. පාලකයන් සහ ජනතාව ගන්නා තීන්දු තීරණ අනුව වෙනස් වේ. නමුත් වැදගත්ම දේ ශක්තිමත් වන විට එම ශක්තිමත්භාවය ඉදිරියට පවත්වාගෙන යෑමත්, දුර්වල වන විට යළි ශක්තිමත් වීමේ හැකියාව සහිත වීමය.



ශ්‍රි ලංකාව පසුගිය 2019 වසරෙන් පසුව අනුගමනය කළ දෙකයි පනහේ ආර්ථික ප්‍රතිපත්තීන් මත සීග්‍ර කඩා වැටීම ආරම්භ වී තිබිණි. මුල් අවස්ථාවේම අනතුරු හැඟවීම් තිබුණ නමුත් ඒ නොතකා තවදුරටත් වැරදි පාරේ යෑමට කටයුතු කිරීම නිසා මුළුමනින්ම රට බංකොළොත් විය. නමුත් එම බංකොළොත් භාවයෙන් යළි ගොඩ ඒමට අවශ්‍ය ශක්තිය සහ වුවමණාව එදා පාලකයාට නොතිබුණ නමුත් රටට ජනතාවට තිබිණි. ඒ අනුව පාලක පක්ෂයේ වූ වෙනස්කම මත සියල්ල කළමනාකරණයට යටත් කර මාස කිහිපයක් තුළ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පොටක් පාදාගැනීමට හැකි විය. ඊට නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීරයාව සිටි රනිල් වික්‍රමසිංහය.

xzdfgsrt



අර්බුද අවස්ථාවක අර්බුද වලින් පැන යනවා වෙනුවට අර්බුදය තම කර පිටට ගෙන නායකත්වයේ වගකීම ඔහු ඉටු කරනු ලැබ තිබේ. ඒ වෙනුවෙන් වන කැපකිරීම් රටේ ජනතාව සිදු කර ඇත. රනිල් විරෝධය හෝ ආණ්ඩු විරෝධයන් හෝ විටින් විට මතු වෙමින් මේ ක්‍රියාදාමයන් කඩාකප්පල් කිරීම වෙනුවෙන් දුෂ්ඨ ක්‍රියාමාර්ග වලට එළැඹුණු පක්ෂ සහ කල්ලි කණ්ඩායම් සිටියද ඒ බාධාවන් සියල්ල නිශ්ක්‍රීය කරමින් දැඩිව සෘජු තීන්දු තීරණ ගෙන අද මේ මොහොත දක්වා සිය සාර්ථකත්වය පෙන්වීමට ජනාධිපති රනිල් සමත් වී ඇත.




ම්ලේච්ඡ අත්හදා බැලීමක් ?

කොහොම නමුත් මෙවැනි ආර්ථික අර්බුදයයන්ට මුහුණ දුන් බොහෝ රාජ්‍යයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය හිමිවූ තත්වයන් යටතේ පවා තවමත් අසමත් වෙමින් පීඩාවට පත්වෙමින් සිටින මොහොතක එම රටවල්ට සාපෙක්ෂව ඉතා කෙටි කාලකින් රට යළි කෙලින් කටින් සිටුවීමට හැකිවී ඇත. මන්ද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල එතරම්ව ශක්තිමත්ව සහ තිරසාරව සිදු වෙනු ඇති බවට මේ වන විටත් අපේක්ෂා දල්වා තිබීමය.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා එම ප්‍රතිසංස්කරණයන් නියතවම සිදුවන බවට මේ වන විටත් සහතිකයක් දී ඇත. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව එකඟ වූ ප්‍රතිසංස්කරණයන් ඉටු කිරීමට යටත්ව ඩොලර් අරමුදල් වාරික වශයෙන් ප්‍රදානය සිදු කරනු ඇත. එසේම ජාත්‍යන්තර තොරතුරු මාර්ග අනුව ශ්‍රී ලංකාව යළි ගොඩ නැඟීම සම්බන්ධයෙන් ගන්නා පියවරයන් විශේෂිත තත්වයක් ගෙන තිබේ.



පසුගියදා ශ්‍රී ලංකාවට ආධාර සපයන බහුපාර්ශ්වීය දායකයන්ගේ නියෝජිතායතනයේ ප්‍රධානියකු පවසා සිටියේ මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව එකඟ වූ වැඩසටහන ම්ලේච්ඡ අත්හදා බැලීමක් විය හැකි බවය. එමෙන්ම ඉදිරි මාවත වඩාත් දුෂ්කර සහ අභියෝගාත්මක් වන බවය. ඒ අනුව මෙය සාර්ථක වීම යනු ශ්‍රී ලංකාවේ යළි නැගී සිටීම වෙනුවෙන් වන රාජ්‍ය පාලනාධිකාරියේ වැඩ සහ හැඩ ලෝකයටම ආදර්ශයක් සපයන බවය. බ්ලුම්බර්ග් වැනි ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විශ්ලේෂණ ආයතනයක් පවා කිව්වේ ශ්‍රි ලංකාව පෙරළිකාර රටක් විය හැකි බවය.



ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාව තරම් කඩා වැටුණ රාජ්‍යයක් මෑත කාලයේ තිබුණේ නැත. බංකොළොත් වූ රටක් තිබුණේ නැත. දෙස් විදෙස් ණය ප්‍රතිව්‍යුගතකිරීමේ කොන්දේසි ප්‍රකාරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා සඳහා මාස 6 ක පමණ වැඩිම කාලයක් සහ සංකීර්ණතාවයකට මුහුණ දුන් රටද ශ්‍රී ලංකාවය.

පසුගිය ගෝඨාභය පාලන සමයේදි මුල්‍ය අරමුදල වෙත නොයාමට දැඩි තීන්දුවක් ගෙන ක්‍රියාකිරීමට හේතු වූයේ මුල්‍ය අරමුදලේ නිර්දේශ සහ කොන්දේසි ප්‍රකාරව කටයුතු කිරීමට එම පාලනය දැක්වූ බිය සහ අසමත්කම නිසාය. විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් වන හානිය සහ ජාවාරම්කාරී ආර්ථිකයකට ඇති ලොල් බව ගැන වැඩි බරක් දරා කටයුතු කිරීමය. නමුත් අවසන් මොහොතේ හෝ එම පියවරයන් ගැනීමට ජනාධිපති ගෝඨාභය කටයුත් කළත් එම ප්‍රමාදය නිසාම බරපතල හානියක් ඔවුන්ටමත් රටටත් සිදු කරනු ලැබුවේය. පාලන බලය අත් හරින්නට සිදු විය.



වාසනාවකට නිවැරදි පියවර ගැනීමට තරම් කෂේරුකාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබීම රටේ යහපතට හේතු වී ඇත. නමුත් ඔහුට දේවල් කරන්නට සිදු වූයේ මුළුමනිනම බංකොළොත් භවයට පත් වූ රටක සිටය. කොහොම නමුත් දැන් රටේ අනාගතය පවතින්නේ මුල්‍ය අරමුදලේ නිර්දේශයන් සහ කොන්දේසි මත ආර්ථික ප්‍රතිසංස්කරණයන් අනිවාර්යයෙන්ම සැපිරීම තුළය. ඒ සාර්ථක කරගැනීම දැන් රටට තිබෙන අභියෝගයය.



පසුගිය මාස කිහිපය තුළ මෙරට ආර්ථිකයේ සිදු වීමට නියමිත වෙනස්කම් ගැන විටින් විට කතා බහට ලක්වී ඇත. පාර්ලිමේන්තු විවාදයන්ද පැවැත්විණි. විශේෂයෙන්ම මේ සඳහා මුල් පියවර තැබූණේ 2022 අතුරු අයවැයේදීය. එහිම දිගුවක් ලෙස 2023 අයවැය යෝජනාවලිය මඟින්ද මෙම ප්‍රතිසංස්කරණ වලට මුල පුරා තිබිණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කළ නිර්දේශ සහ ඒ සඳහා රජය එකඟවූ කරුණු අනුව සියල්ල ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට පිවිස අවසන් බවටත් වාර්තා පළ වී තිබිණි. මේවන විට ඒ සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුම අනුව වන තොරතුරු ප්‍රසිද්ධ කර තිබේ. ඉදිරි දින කිහිපය තුළත් මේ ගැන සාකච්ඡා වාද විවාද අසන්නට දකින්නට හැකිවනු ඇත. කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ රජය එකඟවූ කරුණු ප්‍රධාන වශයෙන් අංග දහයකින් සහ වගන්ති 28 කින් යුක්තය.

imf


මූලික එකඟතා

මූලික කරුණු ලෙස, ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක්, මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික ප්‍රතිසංස්කරණ, පිරිවැය-ප්‍රතිසාධනය පදනම් කරගත් බලශක්ති මිලකරණය සහ මූල්ය විනය ශක්තිමත් කිරීම, වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක්, රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයක්, මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීම සඳහා බහු පාර්ශ්වික උපාය මාර්ගයක්, විනිමය අනුපාත නම්යශීලීභාවය පවත්වා ගැනීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රතිපත්ති,ප්‍රතිසංස්කරණ පාලනය සහ දූෂණ අවදානම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බාධාකාරී තත්වයන් වෙනස් කරන පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැන සඳහන් කර තිබේ.


ණය ප්‍රතිව්‍යුගතකරණය

මේ කරුණු අනුව, ප්‍රධාන කොන්දේසියක් ලෙස එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වන විට දෙස් විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණ සැලසුම රජය ඉදිරිපත් කළ යුතුය. මෙය සංකීර්ණ කටයුත්තකි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සැම්බියා රාජ්‍යයට මුල්‍යය අරමුදලේ ණය පහසුකම් ලැබුණු නමුත් මේ වන තෙක් ණය ප්‍රතිව්‍යුගතකරණ සැලසුම ඉදිරිපත් කර ගැනීමට නොහැකිව සිටී. ඒ එය හිතන තරම් ලෙහෙසි නැති බැවිනි.

කොහොම නමුත් මෙරට බාහිර ණය හිමියන් සියළු දෙනාම ණය ප්‍රතිව්‍යුගතකරණට එකඟතාවය ලබා දී තිබෙන් බැවින් ඉතා ඉක්මනින් මෙම කටයුතත් සිදු කරගැනීමට හැකි වෙනු ඇතැයි අපෙක්ෂා කළ හැක. නමුත් දේශීය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙරට බැංකු සහ මුල්‍ය ආයතන පද්ධතිය අර්බුදයකට ලක් නොවනසේ පරිස්සම් සහගතව සිදු කළ යුතුව ඇත. ඒ අනුව නැවත ණය ගෙවීම සඳහා වසර හත අටකටවත් කාලය ලබා ගත යුතුය. නැතිනම් පොලිය ඉවත්කර ගැනීම හෝ ණය මුදලෙන් කොටසක් කපා හැරීම කර ගත යුතුය. මේ වන විට විදේශ සංචිත හිඟය මත විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති අතර වීදේශ සංචිත ඩොලර් බිලියන 11 දක්වා වර්ධනය කරගැනීම ඉලක්ක කර ඇත්තේ 2026 වන විටය.


දූෂණ විරෝධි නීති රාමුවක්

එක්සත් ජාතීන්ගේ (ඹභක්‍්ක්‍) ප්‍රමිතියට අනුව දූෂණ විරෝධි නීති රාමුවක් 2024 මාර්තු වන විට හඳුන්වා දීම ද තවත් එකඟත්වයකි. මුල්‍ය අරමුදල මේ කරුණ දැඩිව අවධාරණය කර තිබිණි. මේ වන විටත් තිබෙන නීතියේ හිඩැස් හඳුනා ගනිමින් මේ වෙනුවෙන් අණ පනත් රැසක් ගෙන ඒමට රජය කටයුතු කරමින් තිබේ. රාජ්‍ය වත්කම් කළමණාකරණය කිරීමේ පනත, රාජ්‍ය ව්‍යවස්ථාපිත අරමුදල් ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ‘මුදල් (විශේෂ විධිවිධාන) පනතක්ද, රාජ්‍ය සේවයේ වංචා දූෂණ අවමකර ගැනීම වෙනුවෙන නව නීති අඩංගු කරමින් ‘දූෂණ විරෝධී පනත‘ මේ වන විටත් සකස් කරමින් ඇත. අහිමි වූ වත්කම් නැවත ලබාගැනීම වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන ඒම, රාජ්‍ය මුල්‍ය කළමණාකරන පනත, බදු සහන ලබා ගන්නා ආයතන සහ පුද්ගලයින් ප්‍රසිද්ධ කිරීම රජයේ ටෙන්ඩර් සහ කොන්ත්‍රාත් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම ආදිය ඉදිරියේදී සිදු වීමට නියමිතය. එසේම අල්ලස් හෝ දුෂණ විමර්ශනයට ආදාල නීති රිති ශක්තිමත් කිරීමද සිදුවනු ඇති අතර මේ සඳහා ලෝක බැංකුව ඇතුළ ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයද මිහිවෙනු ඇත. පසුගියදා සම්මත කර ගත් මැතිවරණ වියදම් නියාමන පනතද අනියමින් දායක වනු ඇත්තේ රාජ්‍ය අංශයේ දූෂණ වැලැක්වීම වෙනුවෙනි.


රාජ්‍ය ආදායම ඉහළ නැංවීම

එසේම රාජ්‍යය ඉතා ඉක්මනින් රාජ්‍ය ආදායම ඉහල නැංවීමට අවශ්‍ය පියවර ගැනීම විය යුතුය. දළ දේශීය නිශ්පාදිතයෙන් සෘණ 8.7% වන වූ 2022 වසරේ රාජ්‍ය ආදායම 2026 වසර වන විටදී 3% දක්වා ක්‍රමයෙන් වැඩිකර ගැනීම ඉලක්කයකි. ලෝකයේ අඩුම බදු ආදායමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව එම තත්වයෙන් මුදවමින් මේ වන විට රාජ්‍ය බදු ආදායම් ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාකර ඇත. මේ අතර සුරාබදු ආඥාපනත පනත ,කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ ‘ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය සිදුකරමින් බදු පදනම පුළුල් කිරීම සිදුකරමින් තිබේ.

එසේම දැනට බදු ගෙවිය යුතු නමුත් නොගෙවන ඉහළ ආදායම් ලාබීන්, ආයතන ඉලක්ක කරමින් තව දුරටත් බදු ප්‍රතිසංස්කරණයන් කිහිපයක් වීමට නියමිතය. ඒ අනුව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් හඳුන්වා දීම, 2025 වන විට දේපල බද්ද සහ ධනය හුවමාරු බද්ද හඳුන්වා දීම සිදුවෙනු ඇති අතර වැට් බද්ද ප්‍රතිසංස්කරණය කිරීමද සිදුවෙනු ඇත. 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 15 ක් දක්වා වැඩි කර ගනු ඇත. ඒ අතර දැනට ක්‍රියාත්මක බදු ක්‍රමය යටතේ යම් පීඩාවන්ට ගොදුරුව සිටින පිරිස වෙත සහනයක් ගෙන දීමද සිදුවෙනු ඇත.


උද්ධමන පාලනය

මෙරට තුළ ඉදිරියේදි උද්ධමන ඉලක්ක පාලන තන්ත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යෝජිත බව වාර්ථා වී තිබිණි. උද්ධමන ඉලක්ක කරගත් පාලන තන්ත්‍රය මඟින් උද්ධමනය ස්ථාවර සහ පහළ මට්ටමක තබා ගැනීම, තිරසාර ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇත. ඒ අනුව උද්ධමන අනුපාතිකය සියයට 4-6 අතරට ගෙන ඒමත් සිදු විය යුතුය. 2023 අවසන් වන විට උද්ධමනය 12 - 18 % දක්වා පහතට ගෙන ඒමට ඉලක්ක කර ඇත. මීට මාස කිහිපයකට පෙර උද්ධමනය පැවැතියේ සියයට 60 ක තරම් ආසනන්යේය. එය ලෝකයේ ඉහළම අගයක් විය. ඉහළ පොලි අනුපාතිකයක් පැනවීම සහ බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මඟින් උද්ධමන පාලනයට පියවර ගෙන තිබේ.


රාජ්‍ය වියදම් අඩු කරගැනීම

රාජ්‍ය අදායම් වැඩි කරගන්නා අතර රාජ්‍ය වියදම් අඩු කරගැනීමද විය යුතුය. මන්ද එය රටේ ප්‍රධාන ගැටළුවක්ව තිබෙන නිසාය. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කිකකරණය, ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා වියදම් සංරක්ෂණය කරමින්. පුනරාවර්තන වියදම් පාලනය කිරීම සඳහා, රාජ්‍ය අංශයේ වැටුප් බිල්පත් සහ රාජ්‍ය විශ්‍රාම වැටුප් වියදම්වල වර්ධනය සීමා කිරීමට උපාය මාර්ග සකස් කරමින් තිබේ. මේ වෙනුවෙන් නව අණපනත් හා රෙගුලාසි ගනනාවක් පනවා ඇත.

මේ අතර රාජ්‍ය ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුගත කිරීමද සිදුවෙයි. රාජ්‍ය ආයතන ගනනාවක් මේ අනුව කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ඩොලර් බිලියන් 3 ක පමණ මුදලක් උපයා ගැනීමද රජයේ අපේක්ෂාව වී ඇති අතර එම පියවර ගෙන තිබේ. එසේම මේ වන විටත් රජයට පාඩු සිදු නොවන ලෙස ඉන්ධන සහ විදුලිය සැපයුම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයන් සකස් කර ඇත.


ආනයන - අපනයන සීමා

මේ වසරේ ජූනි වන විට ආනයන - අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීම සිදුවෙනු ඇත. විදේශ විනිමය හිඟවීම මත ආනයනය සීම කිරීම නිසා බඩු මිල ඉහළ යෑමටත් මෙරට නිශ්පාදන කර්මාන්ත වලටත් විශාල බලපෑමක් වී තිබිණි. ඒ අනුව ආනයන සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීම මත අනයන - අපනයන ක්ෂේත්‍රයට සුබවාදී තත්වයක් ඇතිවෙනු ඇත. මේ වන විටත් අපනයනය ඉලක්ක කරගත් නිශ්පාදන ආර්ථික ක්‍රමවේදයනට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගෙන තිබෙන අතර රාජ්‍ය ගනනාවක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළැඹීම අපනයන වර්ධනය කිරීමට ද පියවර ගෙන තිබේ. ආනයන වියදම් අපනයන ආදායම් පරතරය අඩු කරගැනීම ද ඉලක්කයකි.


විනිමය අනුපාත නම්‍යශීලීත්වය

අනෙක් එකඟතාවයක් වන්නේ විනිමය අනුපාත නම්‍යශීලීත්වයක් පවත්වා ගෙන යෑමය. මේ වන විටත් විදේශ විනිමය අනුපාතයන් විවෘත වෙළඳ පොළ අනුව තීරණ වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. විවෘත වෙළඳපොල ආර්ථිකයක දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ මිල නියම කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සහ ව්‍යාපාර විසින් තීරණ ගනී. මෙහිදී රජය ආර්ථිකය තුළ අවම කාර්යභාරයක් ඉටු කරන අතර මිල තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම අනුව ය. විශේෂයෙන්ම බංකොලොත් වූ රාජ්‍යයකට විවෘත වෙළඳපොල ආර්ථිකය වඩාත් සුදුසු ක්‍රමය ලෙස පිළිගැනීමක් ඇත. මෙහිදී නවෝත්පාදනයන් සහ තරගකාරිත්වය දිරිමත් කිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ පුද්ගල නිදහස ප්‍රවර්ධනය කිරීම සිදුවේ.


මහ බැංකුව ස්වාධීන කිරිම

ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ස්වාධීන ආයතනයක් කිරීම සඳහා වන පනත් කෙටුම් පත දැනටමත් සකසා අවසන්ය. ඒ ගැන කතිකාවක් පවා මේ වන විට නිර්මාණය වෙමින් තිබේ. දේශපාලන ඇඟිලි ගැසීම වලින් තොරව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාරව අර්බුද වලින් තොරව ස්වාධීන තීන්දු තීරණ ගත හැකි තත්වයක් මහ බැංකුවට ලැබෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථය ලෙස මිල ස්ථායිතාව තහවුරු කිරීම ලෙස මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ රජයේ නියෝජනය රජය ඉවත් කිරීම සඳහා වන සංශෝධනයත් සහ මහ බැංකුව පාර්ලිමේන්තුවට වගවීමත් මෙහිදි සිදුවේ.


සුබසාධන වැඩපිළිවෙල

zdfst

මුල්‍ය අරමුදලේ නිර්දේශ අතර වැදගත්ම සහ වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙමින් අවධාරණය කළ කරුණක් වූයේ ආර්ථිකය යළි ගොඩනැවීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනය. එහෙත් ඒ හා සමාන වැදගත්කමක් මේ සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණයන් තුළ රට ස්ථාවරත්වයකට පත් වන තුරු විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීම ගැන, ලබා දී තිබිණි. ආර්ථික අර්බුදය තුළත් බරපතල ප්‍රශ්න ගනනාවකට මුහුණ පෑමට අඩු ආදායම් ලාභීන්ට සිදු තිබිණි. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණු අතර තවදුරටත් එය වලක්වා ගැනීම විය යුතුව තිබේ. නැතහොත් අනවශ්‍ය දේශපාලන කැළැඹීම්, සමාජ අසහනයන් වර්ධනය විය හැකිය. එම තත්වයන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් යථාර්ථයක් වීම කෙරෙහි බාධාකාරී වෙනු ද ඇත.



කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ ජනධිපතිධුරයට පත් වූ වහාම වැඩි අවදානයක් යොමු කළේ මේ වෙනුවෙනි. අද කිසිවකුටවත් බඩගින්නේ සිටීමට ඉඩ තබා නැත. එසේම අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් යෝජනා කර ඒ කටයුතු ආරම්බව තිබේ. ඒ අතර පාසල් දරුවන් සහ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් මෙන්ම ආබාධිත හා වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නන් සදහා සුබසාධක වැඩපිළිවෙල ද ක්‍රියාත්මකය.



මේ වැඩපිළිවල ක්‍රමවත් කිරීම වෙනුවෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පිහිටුවීමද කර ඇත. ඒ අනුව 2023 ජුනි වන විට සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා පවුල් තෝරාගැනීමේ ක්‍රියාවලිය අවසන් කර එම ප්‍රතිලාබ බෙදා හැරීම සිදු කිරීමට අපේක්ෂිතය. ඩිජිටල් පද්ධතියක මෙහෙයවීම මඟින් ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය අනුව පීඩාවට පත්වන කිසිවකුත් හෝ අත් නොහැරෙන ලෙස දීර්ග කාලීන ස්ථිර වැඩ පිළිවෙලක් වනු ඇත.


දෘඩ කොන්දේසිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුලද සමඟ වන එකඟතා වැඩපිළිවෙල අනුව මේ සඳහන් කළේ මේ මුලික කරණු කිහිපයක් සරළවය. කෙසේ නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් මේ ප්‍රතිසංස්කරණයන්ට කිසිවකුට එරෙහි විය නොහැක. මේ විය යුතුම දෙයකි. මීට ඈඳුනු තවත් ක්‍රියාමාර්ග රැසක් තිබේ. නමුත් පහසුවෙන් මේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම කළ නොහැකි වනු ඇත. මන්ද දශක ගනනාවක් තිස්සේ පවත්වාගෙන ගිය සිස්ටම් එකක් නැවත වෙනස්කිරීම පහසු නොවන බැවිනි. වැරදි අඩුපාඩුකම් ප්‍රමාද වීම ආදිය සිදු විය හැකිය. සමාජයේ විවිධ කොටස් පීඩාවන්ට පත්වීම විය හැකිය. විරෝධයන් එල්ල විය හැකිය. බාධාකිරීම් සිදුවිය හැකිය.

එමෙන්ම මේ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවදානයෙන් සහ ඔවුන්ගේ උපරීම සහයෝගය ලබා දෙමින් කටයුතු කරනු ඇත. ඒ නිසා ආණ්ඩුවට වටවංගු ගසමින් මෙය මගහැරිය නොහැක. වැදගත්ම දේ මුල්‍ය අරමුදලේ මීළඟ වාරික මුදල් ලැබෙන්නේ මේ ප්‍රතිසංස්තරණයන්ගේ ඉදිරි වර්ධනයය සමඟය.

වසර හතරක වැඩ සටහනක් වන මෙය අතරමඟදී කඩාකප්පල් වුවහොත් යළි රට බංකොළොත් වෙනු ඇත්තේ තිබුණු තැනට වඩා පහළ අඩියකටය. කොහාමවෙතත් රට ඇද වැටී තිබුණු තත්වය අනුව යළි 2019 තිබුණු තත්වයට හෝ පැමිණෙන්න මුල්‍ය අරමුදලේ පුරෝකථන අනුව තව වසර පහක හයක පමණ කාලයක් ගතවෙනු ඇත.



එතෙක් ඉතා ඉවසීමෙන්, කැපකිරීම් සමඟ මේ ගමන යා යුතු වීම දැන් රටම මුහුණ දෙන අභියෝගයය. ජයග්‍රහණයක් ඇත්තේ එය සිදු කිරීම තුළය. අප අපටම පවරා ගත යුතු දෘඩ කොන්දේසිය වන්නේ ඒ ජයග්‍රහණය ගැන වුවමණාව අත් නොහැර සිටීමය

 

- ජයතුංග බණ්ඩාර

 Chatham Street journal Paper – 2023-03-26

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්