දම්වැල් වලින් එකට ගැටගහපු වහල්ලු පස් දෙනෙක් අරගෙන වහල් වෙළෙඳ දෙබෑයෝ දෙන්නෙක් කැලයක් මැදින් යනවා.

යකඩ දම්වැල් නිසා මේ වහල්ලු පස් දෙනාගේ කකුල් තුවාල වෙලා ලේ ගලනවා. කකුල උස්සල අඩිය තියන්න බැහැ. යන්නේ අඟලට. ඒ මදිවට සීතල. සීතලෙන් ගැළවෙන්න තියෙන්නේ එක කම්බිලියක් විතරයි.

ඔන්න එතකොටම කට්ට කළුවර කපාගෙන ඈතින් මතුවෙනවා අමුතු කරත්තයක් දක්කාගෙන එන අමුතු ඇඳුම් ඇදපු අමුතු මිනිහෙක්.

ඒ එක්කම හැමෝම නවතිනවා. අර අමුතු කරත්ත කාරය අහනවා කරූකන් වතුයායේ වැඩකරපු කෙනෙක් ඉන්නවද ඔය වහලුන් අතරේ කියල. අනික් ඔක්කොමල මූණට මූණ බලා ගනිද්දී එක වහලෙක් විතරක් කියනවා. 'ඔව්, මම වැඩ කෙරුවේ කරූකන් වතුයායේ කියල'. හැම වහලෙක් ම දන්නවා ඇතිනේ කරූකන් වතුයායේ 'වැඩ' සිද්ද වෙන්නේ කොහොමද කියන එක.

 

fcb5d8f3 eab6 4221 8143 fa1830a7a7e4 screenshot

අන්න එතන තමයි කැන්ඩිලෑන්ඩ් වතුයායේ කෙල්වින් කැන්ඩි සඳහන් කරන 'දහ දාහකින් එකෙක්' විදියට ලෝකෙට බිහිවෙන ජැන්ගෝ අපිට හම්බ වෙන්නේ.

අපිට වගේම ජර්මන් සම්භවයක් තියන ඩොක්ටර් ෂූට්ස්ටත් ඔහුව මුණ ගැහෙන්නේ එතැනදී. ෂූට්ස් දැන් දත් දොස්තර රස්සාව පැත්තකින් තියල අපරාධ කාරයෝ හොයන් යන දඩයක්කාරයෙක් (bounty hunter). මෙතන ඉදන් මේ දෙන්නගේ 'දෛවෝපගත' සම්බන්දය පටන් ගන්නවා. දෛවෝපගත කියන වචනය මම මෙතන පාවිච්චි කරන්නේ මේ චිත්‍රපටයේ වැදගත් ම වචනය එය විය හැකි නිසා.

 

tara

ක්වන්ටින් ටැරන්ටිනෝ Django Unchained චිත්‍රපටයේ 

 

චිත්‍රපටය තමයි ක්වන්ටින් ටැරන්ටිනෝ ගේ Django Unchained (2012). ඇමෙරිකානු කුප්‍රකට වහල් වෙළඳාම සහ වහල් ඉතිහාසය සම්බන්ද පුනරීක්ෂණ චිත්‍රපටයක්. ඉතිහාසය දිහා නැවත හැරී බැලීමක්.

ජැන්ගෝ වහලෙක් ලෙස ඩොක්ටර් ෂූට්ස් ට හම්බ වුනත් එයා ජැන්ගෝ ට නිදහස දෙනවා. ඒ දෙන්නේ පොඩි කොන්දේසියක් එක්ක. ඒ තමයි එයා හොයා හොයා ඉන්න බ්‍රිට්ල් සහෝදරයෝ තුන්දෙනා අල්ලා ගන්න උදව් කරන්න කියන එක. බ්‍රිට්ල් ල කියන්නේ අපරාධ කරලා හැංගිලා ඉන්න වධකයින් තුන් දෙනෙක්. හැංගිලා ඉන්න අතරෙත් උන් කරන්නේ කළු වහල් ජාතිකයින් වධයට පමුණුවන එක. පරපීඩක ආශාවෙන් පෙළෙන විපරීතයින් තුන් දෙනෙක්.

 

ෂූට්ස් කරන්නේ යදමින් මිදුන ජැන්ගෝ ගේ ආත්මය 'රැඩිකලයිස්' (radicalize) කරන එක. ඒ කියන්නේ සුදු ස්වාමියා ට උඩින් එයාලගේ ම නීතිය පිහිටුවන එක. ස්වාමි හැඟවුම බවට නීතිය පත් කරන එක. සුදු ස්වාමියා උනත් නීතියට පිටින් වැඩ කරනවා නම් බල්ලෙක් ට වගේ වෙඩිතියල දාන්න කියල පෙන්නන එක.

 

ඩෝට්‍රි ටවුම මැද අර හොර පොලිස් කාරය වෙච්ච බිල් ෂාප් ට වෙඩි තියල එයා පෙන්නන්නේ ඒක.  

ඉතිං මේ චිත්‍රපටයේ ලස්සනම දේ සිද්ද වෙන්නේ ජැන්ගෝට නිදහස දෙන්න යන අතරමඟ.

මේ දෙන්නා එක ගල් තලාවක වෙහෙස නිවා ගන්න කොට ෂූට්ස් දැන ගන්නවා මේ වහල් ජැන්ගෝ කියන්නේ කසාද බැඳපු කෙනෙක් කියල. ඒක දැන ගත්තම ෂූට්ස් පුදුම වෙනවා. ඒ පුදුම වෙන්නේ සුදු ජාතික 'නිදහස්' මිනිසුන් වෙලා වත් එයාල තුළත් එහෙම දිග්ගැස්සුන පරමාදර්ශ ඒ වෙනකොට තිබ්බේ නැති නිසා.

djang

අර කරූකන් වතුයායේ නාකි සුද්දා උනත් ප්‍රේමය පිළිබද එහෙම උදාර විශ්වාස තුළ හිටපු එකෙක් නෙවෙයි. එයා කියන්නේ මුන් දෙන්නා, ඒ කියන්නේ ජැන්ගෝ සහ එයාගේ පෙම්වතිය බෘම්හිල්ඩා, වෙන් කරලා ලාබෙට විකුණලා දාන්න කියල.

තමන් තුල නැති එහෙත් තමන්ටත් වඩා සමාජ පරිණාමයෙන් පහල මිනිසෙක් තුල තියන ඒ තමන්ටත් වඩා වැඩි දේ ඒ සුද්දට 'ගන්න' බැහැ. තමන් බැඳුණු කෙනාට ජැන්ගෝ අනුරාගිකයි අර 'ශිෂ්ට' කියන ස්වාමියට වඩා. එයාට බෘම්හිල්ඩා ගේ රූපයෙන් ගැළවෙන්න බැහැ. හැම තැනකම එයා පේනවා.  

ෆැන්ටසි එක හැටියට ගත්තම එයා නිදහස් නැහැ. මෙතන වැදගත් දේ ඒක. ඒ කියන්නේ එයා 'උසස්', 'උත්කෘෂ්ට', 'ආත්මීය' කියල හිතන දෙයින් එයා නිදහස් නැහැ. මොනවා කරත් එයාගේ සිතට අර ගැහැණිය එනවා.

 

ඉතිං වැදගත් දේ වෙන්නේ මෙන්න මේ කේන්ද්‍රීය ෆැන්ටසි නිර්මිතය. මිනිසා හඹා යන දෙය. හිතට නිදහසක් නොදෙන මොකක්දෝ දෙය. මකුළු දැළක් වගේ සිතේ පැටලෙන දෙය. ඊටත් වඩා වැදගත් වෙන්නේ ෂූට්ස් නම් ස්වාමියට මේ නව නිදහස් වහලා තුල තියන කෙළවරක් නොපෙනෙන ආශාවේ පරිමාව.

 

ඔන්න දැන් අර බ්‍රිට්ල් සහෝදරයෝ මරල ඉවර වෙලා ආපසු එනකොට ජැන්ගෝ ආයෙත් ෂූට්ස් ගෙන් අහනවා බෘම්හිල්ඩා ගැන. ඒ කියන්නේ බෘම්හිල්ඩා ජර්මන් උනේ කොහොමද කියන එක ගැන. එතකොට තමයි ෂූට්ස් ඒක යම් සමාජ සම්ප්‍රදායක් ඇතුළේ ගොඩ නැඟුණු ෆැන්ටසි එකක් බවට පත් කරන්නේ. දැන් මෙතැනදී හැමෝගෙම මතකයට එන්න ඕනි ශ්රෙක් ෆිල්ම් එක. මීට පෙර මම ඒ ගැන කතා කරල තියනවා.

එතන තමයි ආදරයේ ෆැන්ටසි ගොඩනැංවීම ෂූට්ස් ජැන්ගෝ තුළ පැළ කරන්නේ. ආදරය සංස්කෘතිකකරණය කරන්නේ. ඒ ජර්මානු කතාවේ හැටියට එයා කියන්නේ ඒ වගේ ෆැන්ටසි ගැහැණියක් හිමි කර ගන්න යම් වීරයෙක් ලොකු කැප කිරීමක් කරන්න ඕනි කියන එක. බය නැති වෙන්න ඕනි කියන එක.

 

djnb

කන්ද උඩට ගිහිල්ලා, ගිණි වළලු උඩින් පැනලා, මකරා මරල, එක්ටැම් ගෙයි ඉන්න ඒ ගැහැණිය බේරා ගන්න ඕනි කියන එක. එහෙම කරන්න තරම් ඒ ගැහැණිය වටින්න ඕනි කියන එක. වෙන විදියකින් කිව්වොත් පෙරුම් පුරන්න ඕනි කියන එක.

ටික ටික අකුරු උගන්වනවා වගේම දැන් මේ එයාලගේ ඉතිහාස ෆැන්ටසි එකත් ෂූට්ස් ජැන්ගෝ තුල නිර්මාණය කරනවා. භාෂාව හරහා. ජැන්ගෝ කියනවා ඒ වගේ වීරයෙක් ට දැනෙන හැටි එයාටත් දැනෙනවා කියල.

සමස්ත චිත්‍රපටය දිග හැරෙන්නේ මෙන්න මේ ෆැන්ටසි ෆ්‍රේම් එක හරහා.

ෂූට්ස් එයා තුල නොතිබ්බ ෆැන්ටසි ඒකක් ජැන්ගෝ තුළ තියනවා දැකල එයින් කුල්මත් වෙනවා. බැඳෙනවා. මෙයින් අදහස් වෙන්නේ ෂූට්ස් දෙන 'මුල්‍ය නිදහස' සහ 'සාමාජීය නිදහස' ජැන්ගෝ පැත්තෙන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ නිදහස දුන්නොත් ඒ නිදහස අවසානයක් වෙත ගෙනියන්න නම් තව බොහෝ දේ ජැන්ගෝ වෙත දෙන්න ඕනි කියන එක.

 

ෂූට්ස් ම කියන විදියට ඒ 'නිදහස' යනු ස්වාමියාගේ ද වගකීමක් කියන එක. ඒ වහලා ගේ ෆැන්ටසි ව්‍යුහය තුළට එයාටත් යන්න වෙනවා කියන එක. ඒ ගමනට ගමනාන්තයක් නැහැ කියන එක.

 

අන්තිමට මෙතෙක් උපයා ගත් සියල්ල අරගෙන අන්ත දුර්දාන්ත කැල්වින් කැන්ඩි ගේ කැන්ඩිලෑන්ඩ් එකට මේ දෙන්නා යනවා. කෙල්ලව හොයා ගත්තට අරන් එන්න වෙන්නේ ගිණි වළලු මැදින්. සාතන් ල රොත්තක් මැද්දෙන්. ෂූට්ස් කැල්වින් ට වෙඩි තියනවා එක තැනකදී. වෙඩි හුවමාරු වේදී ෂූට්ස් ටත් වෙඩි වැදිලා සිදුවිය යුතු විදියට ම එයා මිය යනවා. ජැන්ගෝ දිවි ගලවා ගෙන ආපසු ඇවිල්ල ඒ තුච්ඡ බවේ කේන්ද්‍රය වෙච්ච් මුළු කැන්ඩිලෑන්ඩ් එකම ගිණිබත් කරනවා.

ෆැන්ටසි එකක් කියන්නේ ගොඩක් හයිය දෙයක්. මිනිස් ආත්මය ම වෙනස් කරන දෙයක්. මිනිසා උස්සලා පොළොවේ ගහන දෙයක්. ආපසු හැරෙන්න බැරි දෙයක්.

ඉතින් ජැන්ගෝ ගේ ආශාවේ, එයාගේ ෆැන්ටසි එකේ සිරගත වන ඩොක්ටර් ෂූට්ස් තමන්ගේ මරණයෙන් ජැන්ගෝ ගේ ආශාව උත්කෘෂ්ට කරනවා. තමා තුළ නොතිබ්බ, තමන් යන්න උත්සාහ නොකරපු දෙයක් අනෙකා තුළ තියනවා දැකල ඒ වෙනුවෙන් ජීවිතය දීලා එයා අමරණීය වෙනවා. ඒක දෛවෝපගත හමුවීමක් වෙන්නේ ඒකයි. හමුවීමේ අවසානය මරණය. මරණය හරහා අමරණීයත්වය. 

 

ආශාව කියන්නේ භාෂාවක්. භාෂාව කියන්නේ යම් සංස්කෘතික නිර්මිතයක්. එහෙම කියන්නේ ලකාන්. ඒ ආශාවේ භාෂාව ජැන්ගෝ ට දෙන්නේ එයාගේ එක මොහොතක ස්වාමියා වෙච්ච ඩොක්ටර් ෂූට්ස්. එයා ඒක දීල විතරක් නවතින්නේ නැහැ. ආශා කරන්න ඉගැන්නුවා වගේම ඒ ආශාව වෙනුවෙන් සියල්ල කැප කරන්නේ කොහොමද කියන එකත් එයාගේම ජීවිතේ හරහා පෙන්නුවෙත් ස්වාමියා ම තමයි. හේගල් ට අනුව ස්වාමියා එයාගේ ජීවිතය නැති වෙනවට බය වෙන්නේ නැහැ. බය වෙනවා නම් එයාට ස්වාමියා වෙන්නත් බැහැ.

 

cal

මොකද ස්වාමියා තුළ තියනවා ස්වයං සවිඥානික බවක් කවදා හරි වහලා එයාගේ ම වූ අනන්‍යතාවක් වෙත යනවා කියල. ඒකයි අන්ත දුර්දාන්ත කැල්වින් කැන්ඩි පවා ජැන්ගෝ ට කියන්නේ 'උඹ වහල්ලු දහ දාහකට එකෙක් හැටියට පමණක් බිහි වෙන එකෙක්' කියල. එහෙම කියලත් එයා තවදුරටත් කියනවා 'උඹ වගේ එවුන් දාහකට එකෙක් බැගින් වන අනුපාතයට බිහිවෙන එක තමයි අපි මේ නවත්වන්න හදන්නේ' කියල. ඒ තමයි ස්වාමි ඉව.

එයාල දන්නවා එහෙම දාහකට එකෙක් බැගින් උනත්  ඉතිහාසය අරගල කරන එවුන් බිහිකරන්න පුළුවන් කියල. ඒක වළක්වන්න කරන්න පුළුවන් හැම දෙයක් ම එයාල කරනවා. වහල්ලු බල්ලන්නට කන්න දාල තමයි කැල්වින් කැන්ඩි එයාගේ කෘර ආත්මය ජැන්ගෝ ට පෙන්නන්නේ. ඒ කියන්නේ පතුළක් නැති ත්‍රස්තය (terror) හරහා ජැන්ගෝ ගේ ආත්මය කඩල දාන්න හදන්නේ.

 

හැබැයි අනෙක් පැත්තට කොච්චර උනත් වහලා පුර්ණ නිදහස ලබාගන්නා තුරු ස්වාමියා නිදහස් නැහැ. ස්වාමියා දන්නවා වහලා ගේ ආශාව විකසිත වෙන්නේ එයාගේ ශරීරය හරහා කියල. ඒ නිදහසේ අවසන් මිළ තමයි ස්වාමියාගේ මරණය. Django Unchained ලස්සන චිත්‍රපටයක් වෙන්නේ ඒ මරණය දෛවෝපගත සෞන්දර්යයක් හැටියට අප වෙත ටැරන්ටිනෝ ගෙනෙන හින්ද.

 

චිත්‍රපටය ඇතුළේ ජැන්ගෝ ගේ අන්තිම වචනය වෙන්නෙත්, 'ඔව් මම තමයි ඒ දාහකින් එකෙක් වෙන්න පුළුවන් කල්ලා' කියන එක. එහෙම කියන්නෙත් කවදාවත් ස්වාමියාගේ ෆැන්ටසි එකෙන් නිදහස් වෙලා තමන්ගේ කියල ෆැන්ටසි එකකට යන්න බැරි වෙච්ච, ස්වාමියා මැරිච්ච වෙලාවේ කුඩා දරුවෙක් වගේ කෑගහල අඬන, තවත් 'නාමික නිදහස්' කල්ලෙක් වෙච්ච ස්ටීවන් ට.

 

ඒ කියන්නේ ස්වාමිවරු උනාට හැමෝම ස්වාමිවරුත් නෙවෙයි වහල්ලු උනාට හැමෝම වහල්ලුත් නෙවෙයි. වහලෙකුට තියෙන්න ඕනි ස්වාමියාටත් වඩා ලොකු ආශාවක්...

 



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image