ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ප්‍රතිව්‍යුහගතකරණයට යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පසුගිය හතර වැනිදා පැවැත්වුණේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සහ සිංහල සේවා අධ්‍යක්ෂ යන නිලධාරීන්ගේ මූලිකත්වයෙනි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ අය එතැන ට පැමිණ සිටියහ. මා ද ඉන් එකෙකි.
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ උණුසුම් ලෙස එම සාකච්ඡාව පැවතුනි. එතැන දී අනුෂා ගෝකුල අප මිතුරිය කී කතාවකින් නොව උපහැරණයකින් මෙවර ලිපිය ආරම්භ කිරීම සුදුසු යැයි සිතේ. ඇය ගේ උපහැරණය වූයේ ‘බල්ලා පොළොවේ ගැසුවා වගේ’ යන්නය. අප කාටත් සිනහ ගිය ද එය නම් කදිම උපහැරණයකි. ගෙදර සහ පාරවල්වල සිටින බලු සහෝදරයින් හෝ සහෝදර බල්ලන් කෙරෙහි අනුකම්පාවක් ඇති මට ඒ උපහැරණය ටිකක් සැර වැඩි වුනත් එය කදිම උපහැරණයකි. රටේ පාලකයෝ සහ බලවතුන් කෙසේ වෙතත් පොදු ජනයාගේ පැත්තෙන් බලන විට රට පත් වී ඇත්තේ බල්ලා පොළොවේ ගැසුවා වැනි තැනකට ය. එනම් කරකවලා පොළොවේ ගැසූ තත්ත්වයකට ය. රට යන්නේ කොහාටද කියා ඇසුවොත් ඊට දිය හැක්කේ පිළිතුරක් නොව ‘නැත අප දන්නේ’ යන්න ය.
රාජ්‍යය පිලිබඳ අප සිතුවොත් ඒ තත්ත්වය වඩාත් භයානක ය. මන්ද, රාජ්‍යය නම් වූ හැවක් මිස ඇතුලත කිසිවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. පුදුමය වන්නේ මෙවැනි බිමක මහජන නියෝජිතයින් යැයි කියාගන්නා පිරිසක් අති දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කරමින් ජනතාව විසින් සිය බදු වියදමින් නඩත්තු කිරීමය. පොදුජන මනසේ කිසිම ඉඩක් ලබා නැති සහ ලබා ගැනීමට නුසුදුසු ඒ අය පැවතීමේ තර්කය කුමක් දැයි ඒ මහජන නියෝජිතයන් යැයි කියාගන්නා අයවත් දන්නේ නැත. ඔවුන්ට රටක් හෝ රාජ්‍යයක් අවශ්‍ය බවක් පෙනෙන්නට නැති අතර අරමුණ තම පැවැත්ම පමණ ම ය. මේ නියෝජිතයන් යැයි කියා ගන්නා පාලකයින් සහ ඔවුන්ගේ නායකයින් නිර්මාණය කර ඇත්තේ පොදු ජනයාටද රට සහ රාජ්‍යය එපාකරවන තත්ත්වයකි.
මෙය ඉතා නරක තත්ත්වයකි. මන්ද, පොදු ජනයා දේශපාලනික වීමේ ආර්ථික සහ සමාජ හේතු අතර රට සහ රාජ්‍යය කෙරෙහි වන ඔවුනගේ හැඟීම සහ බැඳීම තීරණාත්මක සාධකයකි. කලක සිටම මේ බැඳීම සහ හැඟීම නඩත්තු කිරීමට ජනයා අවිඥානිකව හෝ සවිඥානිකව කටයුතු කළේ අපටත් රටක් රාජ්‍යයක් තිබිය යුතුය යන අපේක්ෂාවෙනි. එහෙත් දැන් බොහෝ දෙනෙකුට එවැනි අපේක්ෂා නැත. ඔවුන්ද පොළොවේ ගැසුවා වැනිය. තම මූලික අවශ්‍යතා සපුරාගැනීම පවා අර්බුදයට ගොස් ඇති මොහොතක, රටෙන් රාජ්‍යයෙන් ඊට පිළිසරණක් නොලැබෙන විට තිබු හැඟීම් සහ බැඳීම් සුනුවිසුණු වී යෑම පුදුමයක් නොවේ ම ය.
රට යන මිනිසුන් නොව රට හැර යන අය සහ රටින් පලා යන අය වැඩි වන්නේ ඒ නිසා ය. බැරි වුනත් බොහෝ දෙනෙකුගේ මානසික වුවමනාව මේ රට හැර යාමය. ගිය වැඩිහිටි බොහෝ දෙනෙකුට මේ බිම ගැන මිස රාජ්‍යය ගැන නම් අතීතකාමයක් නැත. මන්ද, ඔවුන් රාජ්‍යක් යනු කුමක් දැයි වටහා ගනිමින් සිටින නිසා ය. කුඩා දරුවන් ඒ රටවලට හුරුවනු ඇත. වැඩිහිටියන්ට දැනෙන පාළුව ඔවුන්ට නො දැනෙනු ඇත. ගැටලුව එය නොවේ මේ රට මේ තත්ත්වයට පත් කළෝ කවරහු ද යන්න ය. එසේම මේ රට හැර යන ශ්‍රම බලකාය අහිමි වීමෙන් රට ට අත්වන්නේ කවර ඉරණමක් ද යන්න ය.
රාජ්‍යක් ගොඩනැඟීම සහ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොහෝ දෙනෙකු රට හැර යන අය අතර වෙති. මේ අය මේ රට විසින් දවසකින් දෙකකින් නිර්මාණය කරගත් අය නොවෙති. රටේ ජාතික ආදායමෙන්, ජාතික ශ්‍රමයෙන්, ජාතික කාලයෙන්, සහ ජාතික අවකාශයෙන් වැඩි ප්‍රමාණයක් වැය කොට උගන්වා පුරුදු පුහුණු කරගත් අය වෙති. මේ රටේ පාලකයින් මේ පිරිසෙන් වැඩ ගන්නවාට වඩා පළිගන්නට යෑමේ ප්‍රතිවිපාකය වුණේ ඔවුන් රට හැර යාමය. මෙය සරල කරුණක් නොවන්නේ ඒ නිසා මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, වෛද්‍ය, තාක්ෂණ, කෘෂිකර්ම, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ, පරිපාලන, සහ වෙනත් බොහෝ ක්ෂේත්‍රවලට අදාල සහ අත්‍යාවශ්‍ය විශේෂඥ, පළපුරුදු, පුහුණු, සහ තරුණ සහ වැඩිහිටි ශ්‍රම බලකායක් රටට අහිමි වීම ය. මෙහි ප්‍රතිවිපාක නොතකන පාලකයින් මේ බිම රැගෙන යන්නේ රටක් රාජ්‍යයක් කරා නොව තුන් බියෙන් පෙලෙන සහ පෙලන විශාලාවක් වෙත ය, මිහි පිට අපායක් වෙත ය.
අප ඇත්තටම ඔවුන්ට ආදරේ නම් තරුණ ජනයා රට හැර යෑම සහ යෑමට උත්සාහ කිරීම ගැන වැඩිහිටි අපට විරුද්ධ විය හැකි ද යන්න සංවාදයට ලක්විය යුතු කරුණකි. අප විරුද්ධ වුවහොත්, ඔවුන්ට නිවී සැනසිල්ලේ සිටීමට හැකි රටක් සහ රාජ්‍යයක් නිර්මාණය කිරීමට නො හැකි වීමේ වැරැද්ද අපට පෙන්වා දෙනු ඇත. මේ පෘතුවියේ ඔනෑම තැනක ජීවත් වීමට ඔනෑම කෙනෙකුට අයිතියක් ඇති බව ඔවුන් පණ්ඩිතයින් සේ අපට පෙන්වා දෙනු ඇත. එවිට අප නිරුත්තර වනු ඇත. එසේ ඔවුන් පවසන්නේ ජාතික රාජ්‍ය සීමා නො තකන ලෝකයක් ඇතැයි සිතා වන්නට පුළුවන. එහෙත් ඔවුන්ගේ සිහින රටවල් සියල්ල දැඩි ජාතිකරාජ්‍යවාදී දෘෂ්ටිවාදයක සිටින ජාතික ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍යයන් බව ඔවුන්ට වැටහෙන විට ඒ ජාතික සීමා උල්ලංඝනය කළ නොහැකි බව තේරුම් යන විට මේ රට රාජ්‍යය කෙසේ වෙතත් මේ බිම දෙස නැවත හැරී බලනු ඇත. හිතන්න, මේ රටේ පාලකයින් අපේ දරුවන්ට අත්කර දී ඇති අසරණ ඉරණමක තරම ගැන.
ලෝකයේ දියුණු සහ ශක්තිමත් රටවල් සියල්ල දැඩි ආරක්ෂනවාදී සහ ජාතිකවාදී දෘෂ්ටියක සහ ප්‍රයෝගිකත්වයක සිටිද්දී අපේ පාලකයින් සියල්ල උනා දැමුවේ ඒ දියුණු සහ ශක්තිමත් ජාතික රාජ්‍යයන් වල පය පිහදාන පාපිසි බවට මේ රට පත් කරමිණි. ඇත්ත වශයෙන් ම රට දියුණු ජාතික රාජ්‍යයක් කිරීමේ ක්‍රමෝපායික මහන්සියක් අපේ රටේ පාලකයින් ගත්තේ ම නැති තරම් ය. ලොව ශක්තිමත් රාජ්‍යයන් ‘ජාතික තාප්ප’ බඳිද්දී අපේ පාලකයින් කළේ තිබුණු කොට බිත්තිත් කඩා දැමීම ය. එසේ කඩා දමා ලෝකයක් ඉදිරියේ දුක කියන සිඟන්නන් බවට රටම පත් කිරීම ය. ඉතින්, අප මේ භුක්ති විඳිමින් සිටින්නේ රටක් ජාතික රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට ඒ සඳහා වූ ජාතික අභිලාශ සහ ඒවා මත පදනම් වූ ප්‍රතිපත්ති සහ ක්‍රමෝපා අවශ්‍ය බව පාලකයින් වටහා නො ගැනීමේ ප්‍රතිවිපාක ය. අප කළ වැරැද්ද වන්නේ එවැන්නන් දිගින් දිගටම අපේ පාලකයින් ලෙස තබා ගැනීමේ අඥාන පුරුද්ද නඩත්තු කිරීම ය.
ඊට හේතුව අප බොහෝ දේ දන්නවා යැයි සිතා සිටියත් දේශපාලනය සහ සමාජ ආණ්ඩුකරණය පිලිබඳ සාක්ෂරතාව අතින් අප හද්ද මෝඩයින් වීම ය. ඒ පිලිබඳ දන්නා වුන් කියන දේවල් ඇසීමට, කියවීමට, බැලීමට සහ අවබෝධ කර ගැනීමට අපේ ඇස් කන් සහ මනස සුදානම් නැතිකම ය. හඳ පෙන්වන්නාගේ ඇගිල්ලේ ඇදය දෙස මිස සඳ දෙස නොබැලීමේ පුරුද්ද ය.
ඇත්තටම අපිට, අපේ රට ට රාජ්‍යයක් අවශ්‍ය නැති ද? අපි අපේ බිම පවත්වාගෙන යා යුත්තේ සතිපොළක් හෝ ගාලක් ලෙස ද? දැනට සිදුවන්නේ දෙවැන්නය. එනම් කුලියක් නොගෙවා හෝ ඉතා කුඩා නෛතික කුලියක් සහ විශාල අල්ලස් කොමිස් කුට්ටි ගෙවා බඩු විකුණන, ‘ස්වරූපයෙන් සතිපොලක්’ ගානට රට පත්කොට තිබීමය. ඇතැම් අල්ලස් කාක්කන් නිසා බඩු නො විකුණා යන අයද නැතුවා නොවේ. එක්කෝ පරණ තාලේ ගාලක් එනම් පරණ කාලේ කරත්ත නැවතුම්පොලක් ලෙස රට පාවිච්චි කිරීම ය. මේ රට මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට හෝ නව ආකාරයේ ජාතික රාජ්‍යයක් ගොඩනැගීම මේ පාලකයින්ට නම් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටවත් කළ නො හැක්කකි. එවැනි පාලකයින් සහ ඔවුන්ගේ සහචරයින් ගැන යම් මට්ටමකින් විශ්වාසය බිඳ වැටීම ජනයාගේ පැත්තෙන් සිදුවෙමින් පැවතීම ගනඳුර මැද වූ අපේක්ෂාවේ එළියකි.
අප ඒ එළිය සුරැකිය යුතුවා පමණක් නොව එය රටේ සහ පෘතුවියේ සෑම තැනකම ඉන්නා මේ රටට හිතැති මිනිසුන් ප්‍රබෝධමත් කරන සහ ඒකාබද්ධ කරන දීප්තිමත් ආලෝක දහරාවක් බවට පත්කරගත යුතු ම ය. නමුත් පුද්ගලිකත්වයට වඩා පුරවැසිකම වටින, පුරවැසිකමට වඩා සාමාජිකකම වටින, සාමාජිකකමට වඩා සංවිධානය වටින, සවිධානයට වඩා සම්මේලනගත වීම වටින මහා සහ අඛණ්ඩ ශක්තිමත් දම්වැලක් නිර්මාණය කරගෙන ඒ දම්වැලේ පුරුක් බවට මහජන සමාජය පත්කර නොගතහොත් මේ සමාජය යලි වැටෙන්නේ 2022 හෑරුණු වලට ම ය. බුද්ධිය මඟ කියත්වා.
(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය
(11.5.2023/ කිවි දා දැක්ම/ලංකාදීප)