මුලෛතිව් මුල්ලිවෛක්කාල් මළවුන් සමරනු පිණිස ඉදිකෙරුණු ස්මාරකය නාමකරණය කරනු පිණිස එහි රැගෙන එමින් තිබූ ‘ස්මාරක ශිලා පුවරුව’ රැගත් සුවිසල් කළු කල් පදාසයට පොලිස් බැරියර වැටුණේ 2021 මැයි 12වැනිදා රාත්‍රියේ ය.
මෙම පතරංග ශිලා පදාසය දොඹකරයෙන් මිදී බිමට පතිත මොහොතේ එතැන සිටි පොලිස් නිලධාරීන් එය එතැනට රැගෙන ඒමේ වගකීම බාරගෙන සිටි කතෝලික පියතුමන්ලාට නියෝග ස්වරයෙන් කීවේ, නිසි අවසරයකින් තොරව එවන් ස්මාරක ශිලා පුවරුවක් රැඳවීමට ඉඩ දිය නොහැක යන්නයි.
යුද්ධය නිම වී ගෙවුණු වසර දුසිම පුරා ‘විජයග්‍රහණය’ නොහොත් ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය මුදාගැනීමේ සතුට සහ නිදහස දෙමළ නිජ බිම පුරා පතුරුවා හරිමින් උතුරු නැඟෙනහිර බලහත්කාරීව ඉදිකළ පන්සල් ද, බුදුරූ ද, හෝටල් ද ඇතුළු ඉදිකිරීම් ගැන එතැන උන් පියතුමකු විසින් එකී පොලිස් නිලධාරියාට ඉතා සංවරශීලීව මෙනෙහි කර දෙන ලදි. මුල්ලිවෛක්කාල් ස්මාරක ශිරා ඵලකය යනු තමන්ගේ මියගිය ඥාතීන් සිහිකරනු පිණිස රඳවන්නක් බවත් එය තමන් සතු අයිතියක් බවත් පියතුමා තවදුරටත් පැහැදිලි කරන්නට විය.
දොඹකරයෙන් බිමට වඩම්මවන ලද සුවිසල් ස්මරණ ශිලා පුවරුව රාජ්‍ය ආරක්ෂාව යටතේ එතැනම තබා යාමට එය රැගෙන ආ දෙමළ නියෝජිතයන්ට සිදුවිය
අයිතිය කවරාකාර වුවත් දොඹකරයෙන් බිමට වඩම්මවන ලද සුවිසල් ස්මරණ ශිලා පුවරුව රාජ්‍ය ආරක්ෂාව යටතේ එතැනම තබා යාමට එය රැගෙන ආ දෙමළ නියෝජිතයන්ට සිදුවිය. පසුදා - එනම් 2021 මැයි 13දා - උදෑසන යළි මුල්ලිවෛක්කාල් බිමට එනවිට මෙකී ස්මාරක ශිලා පුවරුව, යුද්ධය අවසානයේ ඥාතීන් විසින් මිලිටරියට බාර දෙන ලද, විමුක්ති සටන්කාමීන් මෙන්ම අතුරුදහන් කර තිබිණ.
එපමණක් ද නොව හැඟුම්බර කලා කෘතියක් වූ මුල්ලිවෛක්කාල් ස්මාරකයේ විසුණු කරක ලද කොටස් තිබුණේ ද මරණයේ භූමිය පුරා විසර ගොසිණි. එය සිදු කරන ලද්දේ කවුද යන්න සාධනය කරන්නට ඉතා සරල සමීකරණයකට පිළිවන.
මුල්ලිවෛක්කාල් ස්මාරකයේ විසුණු කරක ලද කොටස් තිබුණේ ද මරණයේ භූමිය පුරා විසර ගොසිණි
රාජ්‍ය ආරක්ෂාව යටතේ මංකොල්ල කෑ හැක්කේ, රාජ්‍ය ආරක්ෂාව යටතේ දෙමළ ස්මාරක බිඳ දැමිය හැකි රාජ්‍ය ආරක්ෂයන්ටම මිස වෙන කාටද ?
දෙමළ විමුක්ති අරගලය අතිශය ම්ලේච්ඡ සහගත ලෙස මර්දනය කළ මොහොත නොහොත් දෙමළාට එරෙහි වර්ග සංහාරික යුද්ධයේ අවසාන මොහොතේ මිය ගිය අරගලකරුවන් නොවන සිවිල් දෙමළ ප්‍රජාව සාපේක්ෂව ඉතා අධික ය. නමුත් සියල්ලන්ම කොටින් හෙවත් සිංහල වර්ගවාදී ‘දිවයින’ නිර්වචනය වන ත්‍රස්තවාදී හංවඩුව යටතට ගැනීමට දකුණේ සිංහල සමාජයේ සාමුහික අනුමැතිය ඇති බැවින් මුල්ලිවෛක්කාල් සැමරුමට පොලු දැමීම, බාල්දි පෙරලීම, සැමරුම්කරුවන් කුදලාගෙන ගොස් හිරගත කිරීම අඛන්ඩව සිද්ධවන්නකි.
2021 මැයි 18වැනිදා මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ යුදාවසානයේ මළ දෙමළ මිනිසුන් සැමරීමේ යෙදී සිටි තරුණයන් අට දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු ත්‍රස්ත පනත යටතේ සිරගත කෙරුණි. මෙසේ මර්දනයේ අඬු පඬු දිගු කිරීම ස්මරණයෙහි අඛන්ඩව යෙදෙන සමස්ථ දෙමළ ජනතාවටම දෙනු ලබන සංඥාවෙකි.
යුදාවසානයේ මළ දෙමළ මිනිසුන් සැමරීමේ යෙදී සිටි තරුණයන් අට දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු ත්‍රස්ත පනත යටතේ සිරගත කෙරුණි
උතුරේ හා නැඟෙනහිර කප්පරක් ස්මරණ බාල්දි පෙරලීම් අතර තවෙකක් වූ 2017 වසරේ මුල්ලිවෛක්කාල් සැමරුම උසාවි නියෝගයකින් අවලංගු කරලන්නට ආරක්ෂක අංශ ගනු ලැබූ නිහීන උත්සාහය පිළිබඳ අත්දැකීම ලියා තැබූ දකුණේ අරගලයේ ගාලුමුවදොර නායකයකු ලෙස ඉස්මතු වූ අමිල ජීවන්ත පීරිස් පියතුමාගේ සටහනේ මෙසේ සඳහන් වෙයි.
‘‘…මෙම තහනමට හේතුව මුල්ලිවෛක්කාල් ස්මාරකය වටා ස්ථාන ගත කරන්නට යන ඝාතනය වූවන්ගේ නම් පුවරු බවත් එහි වයස අවුරුදු 04 සිට වයස 84 දක්වා වූ ඝාතනයට ලක් වූවන් අතර බහුතරයක් තරුණ පිරිස් හෙයින් ඒ නම් අතර ත්‍රස්තවාදීන්ගේ නම් තිබිය හැකි නිසා ඒ බව විමර්ශනයක් කිරීමට කාලය ලබා ගැනීම ය…’’
‘උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම’ හමුවේ යුද්ධයේ අවසාන අදියර පිළිබඳ සිය අද්දැකීම සාක්ෂි වෂයෙන් ගොනු කළ, එකල මුලතිව් බාර දිසාපතිවරිය වූ ඉමෙල්ඩා සුකුමාර්ගේ ප්‍රකාශයට අනුව 2009 ජනවාරි අග හමුදා පාළන බල ප්‍රදේශයට එනවිට හමුදා ‘බර අවි’ ප්‍රහාරයන්ට ඉලක්ක වුණු කලාපයේ රැඳී සිටි ජනතාව ආසන්න වශයෙන් තුන් ලක්ෂ හැට දහසකි.
යුද්ධය අවසන් වූ පසු දෙමළ ජනයා ලියාපදිංචි කළ මානුෂිය කටයුතු බාරව සිටි එක්සත් ජාතීන්ගේ කාර්යල ගණනය කිරීමට අනුව ඉතිරිව සිටි දෙමළ ජනතාව ගණනින් දෙලක්ෂ අසූ දෙදහස් තුනසිය අසූවකි. ඥාතීන් විසින්ම සිංහල හමුදාවන්ට බාර දුන්, ඉන් පසුව අතුරුදහන් කෙරුණු පිරිස මීට ඇතුළත්ව නැත. ඉමෙල්ඩා සුකුමාර් උපදිසාපතිවරියගේ ගණනය හා එක්සත් ජාතීන්ගේ මානුෂිය කටයුතු ගණනය අතර දෙමළ ජීවිත හැත්තෑ හත් දහස් හයසිය විස්සක පරතරයත් ඇත.
රාජ්‍ය ආරක්ෂක අමත්‍යංශ ගණනය කිරීම් වලට අනුකූලව 2009 වසරේ ජනවාරියේ සිට මැයි යුදාවසාන මොහොත වන තුරු මරා දැමුණු කොටි සටන්කරුවන් ගණන හාරදහස් දෙසිය හැට හතරකි.
ඉතිරිය?
ඒ කවුද?
‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ’’ අධ්‍යක්ෂිකාව වූ යැස්මින් සූකා
‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ’’ අධ්‍යක්ෂිකාව වූ යැස්මින් සූකා මෙකී සැමරීමේ අයිතිය කේන්ද්‍ර කරගනිමින් නිකුත් කළ සුප්‍රකට නිවේදනයේ ‘වැළපීම යනු විශ්වීය අයිතියක්’ බව ලීවා ය.
‘’තම දරුවන් සටන් සාමාජිකයන් වුවද ඔවුන් වෙනුවෙන් මව්වරුන් හා පියවරුන් ශෝකවීම හා වැළපීම වලක්වා ලිය නොහැක්කකි. එය වැළක්වීමට දරන උත්සාහය මරණයෙන් පසුව පවා දෙමළ ජනයා අපරාධකරුවන් බවට පත් කිරීමකි. නිතර දෙවේලේ සංහිඳියාව වර නඟන රටක මෙසේ සිදුවීම අතිශයින්ම විකාර සහගතය’’ යන්න ඇය එම ලියවිල්ලේ සාරය තුළ රඳවා තැබුවා ය.
මුල්ලිවෛක්කාල් සැමරුම යනු මාස පහක් තුළ මාර දැමුණු අතුරුදහන් කෙරුණු මෙකී හැත්තෑදහසකට අධික සිවිල් ජනයා අතර සිටින තම ආදරණීය අම්ම-තාත්තා, සහෝදරයා-සහෝදරී, දුවා-දරුවා, දරු-මුණුබුරා ඥාතියා හෝ මිත්‍රවරයා වෙනුවෙන් මතක පහනක් ඉටිපන්දමක් දල්වා තමන්ගේ මතකයන් අලුත් කර ගැනීමකි; තමන්ගේ ආදරය නොනැසී අඛන්ඩව පවත්නා බව ආදරණිය ලෙස ප්‍රකාශමාන කිරීමකි. එවන් සැමරුමක් පවා දකුණට තවමත් කොටි බිය දනවන සංසිද්ධියකි. දකුණේ සිංහල - බෞද්ධ දෘෂ්ටිවාදය විසින් හික්මවනු ලැබූ මනසේ මෙය ‘දෙමළ භීතිකාවක්’ තරමට ඔඩු දුවා ඇත.
එය ඔවුන් තුළම යථාර්ථයක් වන දේශපාලන තර්කනයක් ද ඒ සිතීම තුළ ගැබ්ව තිබේ. ඒ මෙයයි.
හැත්තෑ දහසකට අධික මේ සියලු මරණ හමුවේ වුව අරගලය වෙනුවෙන් දිවි දුන් නායකයා ද ඇතුළු හාරදහස් දෙසියයකට අධික කේඩරය සැමරුම්කාරක දෙමළ ප්‍රජාවට අතිශය වැදගත් වන්නේ ඔවුන් සෘජුවම මෙන්ම සක්‍රීයවම අරගලය තුළදී ‘නිදහස’ වෙනුවෙන් දිවි පිදූ හන්දාම ය.
සියලු ඥාති සැමරුම් අතරේ නිදහස වෙනුවෙන් දිවි පිදූ වීරවරයන් පිළිබඳ නොනැසෙන සාමුහික මතකය සක්‍රීයව රඳවා ගැනීමත් යුක්තිය හා සත්‍යය වෙනුවෙන් අඛන්ඩව අරගල කිරීමත්, ඉන් නොවැවතී මෙතක් අල්ප මාත්‍රිකව හෝ නොලැබුණු නිදහස හා සමානයන් ලෙස ජීවිත්වීමේ අයිතිය දිනාගැනීම පිළිබඳ පරම අභිලාෂයත් මෙම සැමරුම් මනස තුළ ඓන්ද්‍රීය වන්නේ වෙයි. දකුණේ සිංහල මනසට විෂ වන භීතිකාව දෙමළා සතු මෙම නිදහස පිළිබඳ අභිලාෂයයි.
දෛනිකව ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය වන සිංහල රාජ්‍යය තුළ තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවේ කේන්ද්‍රීය අවධාරණය පවතින්නේ ජාතික ගැටළුව තුළ ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? රාජ්‍ය මර්දනය වඩ වඩා ශක්තිමත් කිරීමය ය. රාජ්‍ය හමුදාවන් ජනතා විරෝධි කිරීම ය; අතුරු හමුදාවන් නඩත්තු කිරීම ය; මැතිවරණ සිතියම් හැකිලීම ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ සතුට ළෙලවා මර්දන අණපනත් ඉදිරියට ගැනීම ය. භාෂණයේ ද, ප්‍රකාශනයේ නිදහසට විලංගු දැමීම ය.
මේ සියල්ල තවමත් ගැටගසනු ලැබ ඇත්තේ ජාතික ප්‍රශ්නය විසින් නිර්මාණය කෙරුණු සිංහල ආතතිය සමඟ ය. ප්‍රජාතන්ත්‍රවාදය නම් නාමකරණයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන්ට සමාජ අනුමැතිය හා යුක්තිසහගතභාවය උත්පාද කරගන්නේ දෙමළා පිළිබඳ භීතිය සජීවීකරණය කිරීමෙනි.
ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය කර ගැනීමට දකුණේ සිංහලයා, තමන් විසින්ම දායක වන දේශපාලන පසුබිම නිර්මාණයකර ගන්නේ දෙමළ ජනයාගේ මූලික ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පක්ෂපාතීත්වය පෙන්වන මූලධාර්මික ස්ථාවරයක් දැරීමට තම සිංහල මනසට ඇති නොහැකියාව නිසා බව සිංහල රැඩිකල් වාමාංශිකයාටවත් තවමත් නොහැඟී පැවතීම වාමාංශික විමුක්ති දේශපාලනය තුළ පවා පවතින බරපතල දේශපාලන ගැටළුවකි.
දෙමළ ජනයාගේ ප්‍රශ්නය කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සටන් පාඨය හෝ යුක්ති සහගත සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාව ළෙලවිය නොහැකි බව තේරුම් ගන්නා තුරු ප්‍රජාතන්ත්‍රවාදය යනු එහි විලෝමයයි. එකට ජීවත් වෙන දෙමළ මිනිසාගේ සමාජ යුක්තිය වෙනුවෙන් ද ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ද අනම්‍යව මූල ධාර්මිකව පෙනී සිටින තුරු මෙම නින්දිත වහල්භාවයෙන් කිසිදා මිදිය නොහැකි බව ඉතිහාසයට සාක්ෂි වනු පිණිස අවධාරණය කොට තබමු.
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 මැයි 21)