මහනුවර මහ රෝහලේ සේවය වෛද්‍ය සුදත් පෙරේරාත් මාත් අතර ඇත්තේ රෝගියෙකු හා වෛද්‍ය වරයෙකු හෝ නීතිඥයෙකු හා සේවාදායකයෙකු ආදි ලෙස පවත්නා වෘත්තීයමය සම්බන්ධතාවයක් නොවේ.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය සුදත් පෙරේරා ඊයේ පෙරේදා අපේ නිවෙසට පැමිණි මොහොතක එක් බිත්ති සැරසිල්ලක් වෙත ඔහුගේ අවධානය වඩාත් යොමු විය.

 
“මම මේ චිත්‍රය මීට ඉස්සර දැකලා නැහැ. ඔහු එකී බිත්ති සැරසිල්ල වෙත යොමා ගත් දෑසින් කතා කළේය.
 
PHOTO 2023 05 23 10 05 22
 
වෛද්‍ය සුදත් පෙරේරා
 
“මේක හුඟක් කල් මෙතන තියෙනවා. මගේ බිරින්දෑ කතාවට සම්බන්ධ වුණේ එසේය. ඒ  බිත්ති සැරසිල්ලේ නිමාව කෙනෙකුගේ සිත් ඇද ගන්නා සුළුය. එය මුළුමනින්ම රෙදි සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් කොලාජ් (collage) සම්ප්‍රදාය අනුව නිම කර තිබිණ. යොදා ගත් ද්‍රව්‍යයන්ගේ තිබුණ වර්ණ මිස, එකද පින්සල් පහරක් හෝ ඒ බිත්ති සැරසිල්ලෙහි දක්නට නැත. නිරූපිත කාන්තාවගේ මුහුණ වැසී යන ලෙස යොදා තිබුණේ කාල වර්ණ වූල් ය.    
 
කොහෙන්ද ගත්තේ.............
 
මේක කම්මැලිකමට මං හදාපු එකක්. ඇයි ලස්සන නැද්ද....? මගේ බිරින්දෑ ඒ උත්තරය දුන්නේ තරමක සබ කෝලයෙනි. පුද්ගලයෙකු තුළ පවන්තා අප්‍රකට හපන්කමක් හෝ අතිරේක දක්‍ෂතාවයන් ඉස්මතු වන්නේ ඉඳ හිටය. හෙවත් හුදෙකලාවට මැදිව කර කියා ගන්ට දෙයක් නැතිවූ අවස්ථාවන්හිදිය. බොහෝය. එවැනි අවස්ථාවන්වල පවා සමහරු හැසිරෙන්නේ තරමක සබකෝලයෙනි. එකී නිර්මානය ගැන මා තුළ ඇත්තේද පහන් හැඟමකි. එයින් නිරූපනය වන්නේ අපට පිටුපස හරවාගෙන සිටින ගැහැනියකගේ රූපකායකි. චීත්තය හැට්ටය හා කරලක් ලෙස ගොතා බැඳි වරළස අනුව එහි ලැගුම්ගෙන සිටින්නේ චාම් ගැමි ගැහැනියකි. ඇය හිඳගෙන සිටින ඉරියව්වක් නිරූපනය වේ. එකී නිර්මානයෙහි ඇයගේ මුහුණ හෝ දෑත පෙනෙන්නට නැත. එසේම හිඳගෙන සිටින්නේ කොහේදැයි නිරීක්‍ෂණය කළ නො හැකිය. එකී සු විශේෂතා හරහා යමක් කියන්නට තැත් කරන්නේදැයි නිරන්තර නිර්මාන කරණයෙහි නොයෙදෙන ශිල්පියෙකුගෙන් අපේක්‍ෂා කළ නො හැක්කකි. විශේෂයෙන් චිත්‍ර කලා විචාරයේදී යම් අදහසක් ඇති කර ගැනීම ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයකි.
 
z p37 Poet
 
සිරි ගුනසිංහ
 
පේරාදෙණී සාහිත්‍ය යුගයේ සිරි ගුනසිංහගේ පොත් කවර මෙස්ම, සංකල්ප රූපි භාවාත්මක චිත්‍ර සම්බන්ධව බොහෝ සංකිර්ණ මතවාද ඉදිරිපත් විය. වරක් ප්‍රකට ලේඛකයෙකුවූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පේරාදෙණි පොත් කවර චිත්‍ර සම්ප්‍රදාය ඉතා අකාරුණික ලෙස ආක්‍රෝෂ පරිභවයෙන් යුක්තව ප්‍රතික්‍ෂේප කර තිබිණ. ඡන්ද්‍රරත්න මානවසිංහයන් එකී පොත් කවර අර්ශස් රෝගීන් පාචිච්චි කරන වැසිකිලි බිත්තිවල දැකිය හැකි පැල්ලම්වලට සමාන කර තිබිණ.
 
 
පසු කලෙක කැලණි විශ්ව විද්‍යාලයේදි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ ඉහත කී විචාරය ගැන අප කිහිප දෙනෙකු කතා කරමින් සිටියෙමු. ඒ කතාබහට ගාමිණි හත්තෙට්ටුව්ගම, රිචඩ් ආරච්චිගේ නමින් නිර්මාන කළ නිරූපන ශීල්පියෙකුවු කථීකාචාර්ය ලක්‍ෂමන් ප්‍රනාන්දු, කථීකාචාර්ය ධර්මසේන පතිරාජ සහ කථීකාචාර්ය අසෝක කොළඹගේ සිටි බව සිටි මට සිහිපත් කළ  හැකිය.
 
image 6f8a3f9a90
 
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
 
මානවසිංහගේ එකී කර්කශ උපහාසාත්මක යෙදුම කලා නිර්මානයක් සම්බන්දව යොදා නො ගත යුතු තරම් බෙහෙවින් අකාරුණික මෙන්ම අශාස්ත්‍රිය බව මගේ අදහස විය. එහිදී ධර්මසේන පතිරාජ සහ ගාමිණි හත්තෙටුවේගම යන දෙදෙනාම අවධාරණය කළේ නිර්මානයක් ගැන කෙරෙන විවේචනයක් තුළ මූලික වශයෙන් පවත්තේ එකගතාවය හෝ ප්‍රතික්‍ෂේප වීමක් පමණකි. සමහර කලා විචාර රසිකයන්ට රස වින්දනය ගැන පුළුල් මග පෙන්වීමක් වන අතර, සමහර විවේචනවල ඇත්තේ හරසුන් ප්‍රකාශයන් පමණක් බව මගේ ස්ථාවරය විය.
 
siiri
 
“ඩොක්ටර් ගුනසිංහ නම් ඔය විවේචනය දැකලා හොඳටම හිනා වෙන්න ඇති. සියලු කතාබහ නිහඬව සවන් දෙමින් සිටි අසෝක කොළඹගේ සිය හඬ අවදි කරමින් තමන් මුහුණ දුන් සිරි ගුනසිංහ සම්බන්ද අපුරු අත්දැකිමක්ද අපට විස්තර කළේය.
 
“වරක් සිරි ගුනසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පේරාදෙණියේ සංවිධානය කරලා තිබුණා. අපිත් හරි ආසාවෙන් චිත්‍ර ප්‍රදර්ශනය බලන්න ගියා. ගුනසිංග ගැන අප තුළ පැවති ප්‍රබෝධය හා අවබෝධය අපව උන්නදු කරවන්න ඇති. අප එහි ප්‍රද්රශනයට ඉදිරිපත් කර තිබුණ හැම චිත්‍රයක් ගැනම විමසිලිමත් වුණා. එතන තිබුණ එක චිත්‍රයක් ගැන මට කිසිම අදහසක් ඇති කරගන්න බැරිවුණා. මූලික වශයෙන් එකී චිත්‍රයෙන් නිරූපනය කර තිබුණේ ගැහැනියකගේ රූපකායක්.......” මම ගුනසිංහට ළංවී ඒ ගැන විමසා සිටියා.
 
“මම මේ ඇඳලා තියෙන්නේ ගැහැණියක්. එච්චරයි. තම නිර්මානය ගැන ගුනසිංහගේ විවරණය වචන කිහිපයකට පමණක් සීමා  විය. සදය උපහාසයක් මුහුණට නගා ගත් අසෝක තම කතාව අවසන් කළේ මෙසේය.
 
“මම ටක් ගාලා එතනින් මාරු වුණා.” එය ඇසු අප සියලු දෙනාටම එකවර සිනහ පහළ විය. අසෝක කොළඹගේ පේරාදෙණිය සරසවියේදී විශේෂ උපාධිය සඳහා තෝරා ගෙන තිබුණේ දර්ශනය විෂයයි.
 
 
මගේ අත්දැකීම අනුවද, සිරි ගුනසිංහ අපූරු චරිතයකි. වචන දෙක තුනකින් යමක් නිශේධ කොට බැහැර කිරීමේ ව්‍යක්ත නිර්මානශීලිත්ව ඔහුටම ආවේනික ලක්‍ෂණයකි.  කවාලා විළඳ ජාති.... නම් පැරණි  ගීතය ඔහු සිය සිනමා නිර්මානයක් සඳහා තෝරා ගත්තේ ඇයිදැයි වරක් මම විමසා සිටියෙමි.
 
“ඒක වැඩි අවධානය යොමු නොවූ පැරණි ගීතයක් නිසා. ඔහු දෙවරක් නො සිතා දුන්නේ එවැනි පිළිතුරකි.
 
 
වෛද්‍ය සුදත් පෙරේරාගේ විමසිල්ලට ලක්වූ මගේ බිරියගේ බිත්ති සැරසිල්ල සමහර විට දැන් ඔබට අමතකවී ඇතුවාට සැක නැත. ඕනෑම කලා නිර්මානයක් අගය කිරීම හෝ ඒ පිළිබඳ සමස්ත කියවීම ගැන පවත්නා සංකීර්ණ භාවය ගැන යම් අදහසක් ප්‍රකාශ කිරීමටය. අපට සාහිත්‍ය විචාරය හඳුන්වා දෙමින් මහාචාර්ය විමල් දිසානායක විචාර කලාව ගැන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේදි ශිෂ්‍ය අපට කළ කළ දේශනයකදී උදාහරණයට ගත් සරල නිදර්ශනයක් මෙහිදී මට සිහිපත්වේ.
 
පුර හඳ මෙන්ම හඳ සහිත රාත්‍රිය දකින දෙදෙනෙකුට ඇති වන්නේ අදහස් දෙකක් නම් මේ උදාහරණය දහසක් දෙනෙක් කියලා ගත්තොත් ඒ දහසක් දෙනා තුළ දස දහසක් හැගීම් අදහස් පහළ විය හැකිය. විමල් දිසානායක අපට එසේ විස්තර කළේ විචාරය පිළිබඳ න්‍යායක් නොවේ. විචාරය තේරුම් ගැනීමට යොදා ගත හැකි සරල ප්‍රවේශයක් පමණකි. කලා නිර්මානයක් ගැන විවිධ අදහස් පැවතීම විශ්මයක් නොවන්නා මෙන්ම ඒ විචාර විවේචන රස වින්දන අහසේ පායන සඳ මෙන් එකී නිර්මානයේ පැවැත්මට කිසිදු බාධාවක් නොවන බව මහාචාර්ය දිසානායක අපට තහවුරු කළේ එසේය.
 
 
හයිකු කවි සම්ප්‍රදාය ඒ සඳහා කදිම නිදසුනකි. හයිකු කවි විවිධාර්ථ ගැන්වෙන නිර්මාන සම්ප්‍රදායකි. හයිකු යනු ප්‍රකට ජපන් පද්‍ය විශේෂයකි. ඒ කවි බෙහෙවින් සංක්‍ෂිප්තය හෙවත් කෙටිය. සත්තකින්ම ඒ කවි පුද්ගල වින්දනයක ආශ්වාද ජනක සටහන් පමණකි. ජපන් හයිකු වැනි පද්‍ය සම්ප්‍රදායක් පැරණි සිංහල පද්‍ය සාහිත්‍යයෙහිද දකින්නට ලැබිණ. සිංහල සාහිත්‍යයෙහි ඒ පද්‍ය විශේෂය හඳුන්වන ලද්දේ මුක්තක යනුවෙනි. අප අතර භාවිතා වන ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි  මුක්තක යන්නට 1. විසි කර පහර දෙන හෙවත් දමා ගසන ආයුධය, 2. වෙන වෙනම ක්‍රියා නිෂ්ඨා ඇති අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති (නිදහස් සීමා රහිත හෝ මිදුණ ) ශලෝක ගාථා ආදිය ලෙස අර්ථ දැක්වේ.
 
 
ලේක්හවුස් ආයතනයේ නවයුගය සඟරාව විමලසිරිපෙරේරාගේ කර්තෘත්වයෙන් පැවති අවදියේ මුක්තක නමින් කාව්‍ය විශේෂාංගයක් මගේ මැදිහත්වීමෙන් පළ විය. එහි ස්වරූපය අරමුණ වුණේ එවකට කතාබහට ලක්වු නිර්මාන කරුවන් විසින් හයිකු සම්ප්‍රදාය අනුව යමින් රචනා කළ නිර්මාන කිහිපයක් එකවර පළ කිරිමය. එකී විශේෂාංගය යටතේ පළවූ අසෝක කොළඹගේ කළ නිර්මානයක් මෙසේය.
 
                          ලෝරා ජයවිර
                          ලෝරා ජයවීර
                          ටයිප් රයිටරය මුදුනේ
                          පිපුන මල.
 

 
මේ නිර්මානයත් හරියටම සිරි ගුනසිංහ, අසෝක කොළඹගේට විස්තර කළ ආකාරයට කාන්තාව පිළිබඳ චිත්‍රය වාගේය. කිසිදු ගුප්තාර්ථයක් නැති ය. යතුරු ලේඛිකාවන් හැඩ වැඩ ඇති බවට කිසිදු සැකයක් නැත. (අද පරම්පරාව සමහර විට දැක නැති ටයිප්රයිටරය ඒ කාලයේ නැතිවම බැරි උපකරණයකි. එ දවස පරිගණක යනු ආරංචියක් පමණකි.) එහෙත් යතුරු ලේඛිකාවන්ගේ පැත්තෙන් ගත්විට ඔවුන් ටයිප් රයිටරයට ළඟාවු පසුව මුලුමනින්ම යන්ත්‍රයක් බවට පත්වේ. ඇය කරන්නේ මොලෝ භාවිතයක් නැතිව සිය රාජකාරියෙහි නිරතවීමය. 
 
ඇයගේ පමාව දකින කාර්යාල ප්‍රධානියෙකු ඇය දකින්නේ වෙනත් ආකාරයකින් විය හැකිය. කොළඹගේ ලියූ මේ මුක්තත කවිය කාර්ය බහුල ලෝරා ජයවීර දෙස ඈතක සිට බලන කෙනෙකුට ඇතිවන සුන්දර කල්පනාවකි. හෝ  ඇය ගැන යම් හැඟීමක් පමණක් විය හැකිය. එහෙත් ඒ නිර්මානය කියවන්නෙකුට ඇති කරවන හැඟීම සමහර විට ආශ්වාදයෙන් මලක සුවඳක් වාගේ වින්දනීය  විය හැකිය. මලක සුවඳ ස්පර්ශ කිරීමට හො අත්පත් කර ගැනීමට කිසිවෙකුට  කළ නොහැකිය.
 
ඉහතින් සඳහන් කළ මුහුණ නො පෙනෙන කාන්තාවක් නිරූපනය කළ කොලාජ් බිත්ති සැරසිල්ල ගැන වෛද්‍ය සුදත් පෙරේරා කීවේ වෙනත් කතාවකි. මුහුණ නො පෙනෙන ලෙස නිර්මානය කළ කාන්තා චිත්‍රයක් දකින විට, ළමා නිවාසවල නේවාසිකව සිටින අසරණ දරුවන්  ඔහු කීවේ හැඟීම් බරවය.
 
 
වෛද්‍ය පෙරේරාට අනුව ඒ අසරණයන් ගෙන් සමහරු කිසි දවසක සිය අම්මාවරුන්ගේ ආදරණීය මුහුණ දැක නැත. එසේ නම් ඔවුන් අම්මාගේ මුහුණ සිත්තම් කරන්නේ කෙසේ ද? ඒ දරවන් කිසි විටෙකත් තමන් ඇන්ද කාන්තා රූපය පෙන්වා මේ මගේ අම්මා යයි කියා නැත. මා මෙතෙක් විවිධ නිදර්ශන සහිතව විස්තර කළ කලා විචාරය යනු මහාචාර්ය විමල් දිසානායක කී ආකාරයට පුරහඳ දෙස බලා සිටීමක් වැනිය.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )
 
 
 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්