විද්‍යුත් මාධ්‍ය නියාමනය වෙනුවෙන් නව නීකි පැනවීමක අවශ්‍යතාවය දශක ගණනාවක් පුරා

පැවැති නමුත් ඒ මෙතෙක් ක්‍රියාත්මක වුයේ නැත. ඒ වෙනුවෙන් “විකාශන නියාමන පනත” නමින් මුලික සාකච්ඡාවක් සඳහා කැබිනට් අනුමැතිය ලත් දළ සටහනක් පදනම් කරගනිමින් මේ වන විට ආණ්ඩු විරෝධී බොහෝ දෙනා ආණ්ඩුවට එරෙහිව විරෝධය ගොනුකරමින් සිටී. ඔවුන් සියලු‍ දෙනාගේ මේ හැසිරීම දෙස විමසුමකින් බැලීමේදී පැහැදිලි වනුයේ, අදාළ අරමුණ පසෙකලා පුද්ගලික අරමුණු වෙනුවෙන් මෙය භාවිත කරන බවකි. ලොව ප්‍රසිද්ධ කර්තෘවරයකු වූ ක්‍රේග් ග්‍රෝෂෙල් විසින් සටහන් කළ පරිදි “යම් දෙයක අරමුණ ඔබ නොදන්නේ නම්, ඔබට කළ හැක්කේ එය වැරදි ලෙස භාවිතා කිරීමයි” යන්න ඔවුන් සියලු‍ දෙනා මනාව ඔප්පු කරමින් සිටී. වඩාත් නිවැරදිව තේරුම් ගන්නේ නම්, ඒ විකාශන නියාමනයට අදාළ සාකච්ඡාවේ අරමුණ පිළිබඳ මනා දැනුවම්වත්භාවයකින් යුතුව එය නොසලකා ආණ්ඩු විරෝධීව හුදු පුද්ගලික දේශපාලන අරමුණකින් ඊට මැදිහත්ව සිටින බවය.


පසුබිම් කතාව

විද්‍යුත් විකාශන නියාමනය සඳහා වූ නීති සම්පාදනය කළයුතු බවට වන අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය 2022 සැප්තැම්බර් 09 දින කැබිනට් මණ්ඩලය සම්මත කළේය. ඒ අනුව විද්‍යුත් විකාශන නියාමන පනත සඳහා කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුකමිටුවක් පත්කරන ලදී. එහි ප්‍රධානත්වය අධිකරණ අමාත්‍යවරයා දරණ අතර ඔහුගේ මූලිකත්වයෙන් සකසන ලද මූලික සංකල්ප පත්‍රිකාවක්, අදහස් හා යෝජනා ගොනුකර ගැනීම සඳහා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය වෙත යොමුකර තිබේ. එය කිසිසේත්ම මේ සම්බන්ධ අවසන් ලියවිල්ල හෝ පනත් කෙටුම්පත හෝ නොවන බව ද අධිකරණ අමාත්‍යවරයාම පුන පුනා පවසා ඇත.


මූලික සංකල්ප යෝජනා

  1. විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම
  2. යෝජිත කොමිසම මගින් විද්‍යුත් විකාශන අන්තර්ගතය නියාමනය කිරීම
  3. විද්‍යුත් විකාශන ආයතන බලපත්‍ර අත්හිටුවීම හෝ අහෝසි කිරීමේ බලය අදාළ කොමිසමට පැවරීම
  4. දැනට පවතින සියලු‍ විද්‍යුත් විකාශන ආයතන විසින් විකාශන බලපත්‍ර නැවත ඉල්ලීමේ ක්‍රියාවලියකට කැඳවීම
  5. සෑම බලපත්ලාභී විද්‍යුත් විකාශන ආයතනයක්ම වාර්ෂිකව බලපත්‍ර අලු‍ත් කිරීම සඳහා ඉල්ලු‍ම් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම
  6. විද්‍යුත් විකාශන ආයතනවල අන්තර්ගතය පරික්ෂා කිරීමට පැමිණිලි විමර්ශන කමිටුවක් පත් කිරීම
  7. බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නියෝග පැනවීමට විෂයභාර අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව සමඟ ප්‍රතිපාදන සම්පාදනය කිරීම
  8. කොමිෂන් සභාවේ කාර්යයන් සම්බන්ධ විධිවිධාන සඳහා කොමිෂන් සභාවට රීති පැනවීමට බලය පැවරීම
  9. දඩ සහ සිර දඩුවම් නියම කළ හැකි වැරදි හඳුන්වාදීම


ඒ විද්‍යුත් විකාශන නියාමනය සඳහා අමාත්‍ය අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද මූලික යෝජනාය.

 

එය හුදෙක් අදහස්, සාකච්ඡා පිණිස ඉදිරිපත් කළ දෑ මිස අදාළ පනත සඳහා වූ අවසන් තීරණ නොවේ. ජන මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීතියක් පැනවෙද්දී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අනෙකුත් අණ පනත්වලට, මාධ්‍ය නීති සහ ආචාර ධර්මවලට, ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක නීති රීති සම්ප්‍රදායයන් ආදිය සලකා බලා අදාල පනත් කෙටුම් පත සැකසීම සිදුවේ. අනතුරුව එය ගැසට් කර විරෝධතා සහ නව යෝජනා ආදියට ඉඩ සලසා දෙන අතර අධිකරණයේ අර්ථ නිරූපනයන්ට ද යා හැකිය. පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ තුළ වන වාද විවාදවලින් අනතුරුව යළි සංශෝධනයන්ට ගොස් එය බහුතර ඡන්දයෙන් සම්මතවීමෙන් පසුව රටේ නීතිය බවට පත්වේ. එය එසේ තිබිය දී අද බොහෝ ආණ්ඩු විරෝධීන් මෙම යෝජනාව සම්බන්ධයෙන් බරපතල චෝදනා ඉදිරිපත් කර සමාජය තුළ පදනම් විරහිත ආණ්ඩු විරෝධයක් නිර්මාණය කිරීමට උත්සාහ දරනු විනා අදාළ කාර්ය සාර්ථක කරගැනීම වෙනුවෙන් වූ කිසිඳු යෝජනාවක් ඉදිරිපත් කරන බවක් ද දක්නට නැත.



විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්දනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය උත්සාහ දරන බවය. එසේම විදෙස්ගතව සිට මෙරට දේශපාලනය සම්න්ධයෙන් ලිපි ලියන මාධ්‍යවේදියකු සඳහන් කර ඇත්තේ, මෙම පනත හුදෙක් රූපවාහිනී හෝ ගුවන් විදුලි සේවාවන්ට බලපාන එකක් පමණක් නොව සමස්ත සමාජයේම ගෙල හිර කරන මළ පුඩුවක් බවය. මේ චෝදනා හුදු දේශපාලනික වුවමනාවන් මත ගොඩනගන ලද වෛරීසහගත ප්‍රකාශයන්ය. නමුත් නියාමනය යනු වාරණයක් නොවන බව ඔවුන් නොදන්නවා විය නොහැක. එම නිසා අදාළ කෙටුම්පත් යෝජනා කවරකින් වුව සමාජයේ ඉදිරි ගමනට හෝ පැවැත්මට කිසියම් හෝ හානියක් වන්නේ නම්, ඒ සඳහා සුදුසු යෝජනා ඇතුළත් කිරීමට අදහස් උදහස් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා විවෘතය. අවශ්‍ය වන්නේ, සමාජ ප්‍රගමනයට ඉවහල්වන අයුරින් අදාළ කටයුතු සඳහා මැදිහත්වීම මිස කුහකත්වයෙන් එය පාගා විනාශ කිරීම නොවේ.


නියාමනය කුමක් සඳහා ද?

මෙරට ගුවන්විදුලි සහ රූපවාහිණී යන විද්‍යුත් විකාශනයන් පිළිබඳව සැලකිය යුතු ඉතිහාසයක් තිබේ. මෙම විකාශනයන් සඳහා අවශ්‍ය ගුවන් විදුලි තරංග වෙන් කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදු කෙරේ. නමුත් අප රට තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය සහ ජාතික රූපවාහිණියට අදාළ අණපනත් ඇති නමුත් අන් කිසිඳු ගුවන්විදුලි හෝ රූපවාහිණී නාලිකා හිමිකාරීත්වය පැවරීම හෝ විකාශන අන්තර්ගතය සම්බන්ධයෙන් වූ පනත් සම්පාදනය වී නොමැත.



ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ 44 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හැර වෙනත් ගුවන්විදුලි විකාශනයක් පවත්වාගෙන යාම සඳහා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 28 වගන්තියට අනුව ශ්‍රී ලංකා රූපවාහිනිය හැර වෙනත් පෞද්ගලික රූපවාහිනී හෝ ගුවන්විදුලි විකාශනයක් පවත්වාගෙන යාම සඳහා ද විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලත් විකාශන බලපත්‍රයක් ලැබිය යුතුය. මෙතෙක් සිදුව ඇත්තේ ද එයමය. ඒ අනුව ඇමැතිවරයාගේ හිතවත්කම මත, අල්ලසකට වුව එය ලබා ගැනීමේ හැකියාව ඇත.

 

මෙම විකාශනයන් සඳහා අවශ්‍ය ගුවන්විදුලි තරංග වෙන් කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදු කෙරේ. එය බොහෝ විටම පැවැතියේ ජනාධිපතිවරයා යටතේය. ඒ අනුව කාලෙන් කාලයට රූපවාහිණි විකාශයන් සදහා අදාල බලපත්‍ර සහ ගුවන්විදුලි තරංග වෙන් කිරීම දේශපාලනික හෝ පෞද්ගලික ලැදියාවන් අනුව සිදුව තිබෙන බව පැහැදිලිය. එසේම මෙම තත්වය මත විද්‍යුත් මාධ්‍ය ආයතනවලට දේශපාලනික බලපෑම් එල්ලවීමද සිදුව තිබේ.

එහෙත් සුදුසු විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය විය යුත්තේ, ආණ්ඩුවේ හෝ දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම්වලින් තොරව ස්වාධීන විකාශන අධිකාරියක් මගින් නිසි නිර්ණායකවලට අනුව පාරදෘශ්‍ය ලෙස තෝරා ගත් සුදුසුකම් ලත් ඉල්ලු‍ම් කරුවන්ට විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා දීමයි.

එසේම විකාශන තරංග වෙන් කිරීම සහ විකාශන බලපත්‍ර ලබාදීමට ආයතන පැවතියද විද්‍යුත් මාධ්‍ය විකාශනයන්හි අන්තර්ගතය නියාමනය කිරීම සඳහා බලය පැවරුණ කිසියම් හෝ ආයතනයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත හෝ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත මගින් ප්‍රතිපාදන සම්පාදනය කොට නැත. එබැවින් විද්‍යුත් විකාශනයන්ගේ අන්තර්ගතය නියාමය සඳහා බලය පැවරුණ ආයතනයක අවශ්‍යතාවය මෙරට විද්‍යුත් විකාශන ආරම්භයේ පටන් තිබූ අත්‍යවශ්‍ය කාරණයකි.



ලොව පුරා සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක්ම ගුවන්විදුලි හෝ රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය විකාශන පවත්වා ගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ, මහජන යහපත පදනම් කරගත් කොන්දේසි ප්‍රකාරව පැනවූ නීති මත නියම කරන ලද නියාමන විධි ක්‍රමයකට යටත්වය. එහෙත් එකී නියාමය සිදු කළ යුත්තේ බලයේ සිටින ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතනයක අභිමතයට යටත්ව නොව ඒ සඳහා විශේෂයෙන් පිහිටුවනු ලබන ස්වාධීන විකාශන නියාමන අධිකාරියක් හරහාය. එයද ජාත්‍යන්තරව පිළිගත් විකාශන නිර්ණායකවලට ද අනුකූලවය. මෙවැනි ස්වාධීන අධිකාරියක් මගින් විද්‍යුත් මාධ්‍ය නියාමනයක් සිදුකළ යුත්තේ ඇයි ද? යන ගැටළු‍වට පෙන්වා දිය හැකි හේතු බොහොමයකි.



මූලිකවම විකාශන සංඛ්‍යාත යනු මහජනයා සතු සීමිත ස්වාභාවික සම්පතකි. එම නිසා විකාශන සංඛ්‍යාත පෞද්ගලික අයිතියට සින්නකරව පැවරිය හැකි දේපළක් නොවේ. එය බලපත්‍රයක් මගින් නියම කරන කොන්දේසිවලට අනුව සේවා සැපයීම පිණිස තෝරා ගත් ආයතන හා සමාගම්වලට හෝ හිමිකාරීත්වයකට නිශ්චිත කාලයක් උපයෝජනය පිණිස පවරනු ලබන මහජන දේපලකි.



එසේම පොදු මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භුක්ති විඳිමින් සහ ඒ ඔස්සේ ලාභ ලබමින්, අවිචාරී මාධ්‍ය භාවිතයක යෙදෙන බවට දශක දෙකකට වඩා වැඩි කාලයක් පුරා එල්ලවන සහේතුක චෝදනාවෙන් මේ රටේ කිසිදු විද්‍යුත් මාධ්‍යයකට ගැලවීමක් නැත. එසේම “වගකීම් විරහිත මාධ්‍යකරණය” යන්න නොලසකා බැහැර කළ නොහැකි බරපතල චෝදනාවක් ද වෙයි.




වගකීම් විරහිත මාධ්‍යකරණය



මුද්‍රිත මාධ්‍ය යනු පාඨකයාගේ රුචිකත්වය හෝ වෙනත් කුමන හෝ අවශ්‍යතාවයක් මත මිලදී ගැනීමකින් පසු එක් එක් පුද්ගලයා ග්‍රහනයට නතුවන මාධ්‍යයකි. නමුත් විද්‍යුත් මාධ්‍ය යනු එක් නිමේෂයකින් විශාල ජනගහණයක් සජීව ග්‍රහණයට ගෙන අදාළ ප්‍රචාරණයන් සිදුකළ හැකි මාධ්‍යයකි. ඒ අනුව ගත්කළ විශාල ජන සංඛ්‍යාවක් එකවර කිසියම් කරුණක් සම්බන්ධයෙන් පොළඹවා ගැනීමට විද්‍යුත් මාධ්‍යට ඇති මේ හැකියාව අතිශය තීරණාත්මක වේ. නමුත් මෙරට විද්‍යුත් මාධ්‍යකරණය සම්බන්ධයෙන් පොදු අත්දැකීම නම් අතිශය බහුතරයක් විද්‍යුත් මාධ්‍ය විකාශනයන් තුළ විශ්වසනීයත්වය (Reliability) සාධාරණත්වය (Fairness)සහ අපක්ෂපාතීත්වය (Impartiality) තහවුරු කිරීමට වඩා අදාළ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අභිමතය සමාජගත කිරීමට යොදාගන්නා බවය.

 

media fake

ඒ සඳහා ආසන්නතම උදාහරණ ලෙස, ජාතිවාදී ආගම්වාදී කල්ලි කණ්ඩායම්වල වුවමනාවන් මත වෛද්‍ය ෂාෆිට ජාතිද්‍රෝහියකු කිරීම, මැතිවරණයක් ආසන්න කාලයේ එක් පාර්ශ්වයකට පක්ෂපාතීව නාගලෝකයෙන් නයි ගෙන්වීම, රටම ව්‍යසනයකට ඇද දැමූ කෝවිඩ් සමයේ පැණි ධම්මිකලා ප්‍රොමෝට් කිරීම, දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත සීමිත කාලයෙන් වැඩිම පංගුවක් එම පුවත් විකාශනයට යොදා ගැනීම, විරුද්ධ පාර්ශ්වයට එරෙහි අවලාද මඩ ගැසීම සහ විකාශනය කරනු ලබන සියලු‍ දේශපාලන වැඩසටහන් අදාළ පුද්ගල චරිත ප්‍රමෝට් කිරීමට හෝ දේශපාලන මතයක් වෙනුවෙන් යොදා ගැනීම ආදිය පෙන්වා දිය හැක. සිය ග්‍රාහකයාවද නොමග යවන මේ සටකපටකම් සියල්ල සිදු කරනු ලබන්නේ මහජන දේපලක් වූ විකාශන සංඛ්‍යාත යොදාගනිමිනි. එපමණක් නොව මුලික මාධ්‍ය ආචාර ධර්ම වන අපක්ෂපාතී බව, සාධාරණ බව, පාරදෘෂ්‍යභාවය වැනි අන්තර්ගත ගුණාංග කිසිවක් නොසලකාය. ඉදින් මෙවැනි සාපරාධී අපයෝජනයන් නියාමනය විය යුතු නොවේද?

මෙරට පාලනය කළ ආණ්ඩු ගණනාවක් අවස්ථා ගණනාවක දී මාධ්‍ය නියාමනය සඳහා නීති පැනවීමට ගත් කිසිඳු උත්සාහක් සාර්ථක නොවීම රටේ අවාසනාවක් විනා එකී අණපනත් ගෙන ආ පුද්ගලයන්ගේ පරාජයක් නොවේ. එම නිසා අද දවසේ විද්‍යුත් විකාශන නියාමනය සඳහා වූ යෝජනා සම්බන්ධයෙන් කුමන චෝදනා තිබුණ ද ඒ වෙනුවෙන් වූ සුදුසුම මගක් නිර්මාණය කරගැනීම, රටේ හෙට දවසේ සමාජ දේශපාලන මෙන්ම ආර්ථික වශයෙන් ද අත්‍යවශ්‍ය කරුණකි.

 

එකී නියාමනයක් සඳහා විකාශන හිමිකරුවන්ගේ සංසදයේ එකඟතාවය ද පළකර ඇත. නමුත් මෙම සංසදයේ සාමාජිකත්වය නොදරණ එක් මාධ්‍ය ජාලයක් පමණක් අදාළ නියාමන කාර්යයට විරුද්ධව කටයුතු කරමින් සිටී. ඔවුන්ගේ පෙළඹවීම හමුවේ ඇතැම් දේශපාලකයන් ද මාධ්‍යවේදීන් ද විකාශන නියාමනය සම්බන්ධයෙන් පසුගාමී අදහස් සමාජගත කරනු දැකිය හැකිය. සමාජ සාධාරණත්වය අගයන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු‍ මිනිසුන් එක්ව ආදානග්‍රාහී පාර්ශ්ව පරාජය කොට විද්‍යුත් විකාශන කාර්යය සමාජ ප්‍රගමනය වෙනුවෙන් යොදාගත හැකි පරිදි නියාමන කාර්යය සාර්ථක කරගත යුතුය.

 

- නවන් පතිරත්න
chatham Street Journal 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්