තමන් නිවසේ කැඩපත ඉදිරියට ගිය විට රටේ නායකත්වය භාර ගත හැකි අයෙකු දැක ගත හැකි යැයි මෑතකදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත. එම ප්‍රකාශය අපව එතරම් භීතියට පත් නොකරයි.

මන්ද යත්, ඔහුගේ නිවසේ කැඩපත ඔහුට පෙන්වන දේ මෙරට පොදු ජන සමාජයේ කැඩපතක් තවමත් අපට පෙන්වන්නේ නැති බැවිනි. එසේම තම නිවසේ ඇති කැඩපතින් රටේ නායකත්වයේ පිළිඹිබුවක් දකින එකම පුද්ගලයා ඔහු පමණක් විය නොහැකිය. නිසැකවම චම්පික රණවක ඇතුළු තවත් කිහිපදෙනෙකුම එසේ දකිමින් සිටිනවා විය යුතුය.


 ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිව හොත්, දේශපාලන අර්බුදයේ සමයක සියලු ගතානුගතික නායකත්වයන් පොදු ජන සමාජයෙන් ප්‍රතික්ෂේප වීමේ තත්ත්වයක් නිර්මාණය වේ. එලෙස තැනෙන බල රික්තකයට නොසිතූ විරූ ලෙස "දෛවයේ මිනිසුන්" (men of destiny) ලෙස පෙනී සිටින ජනකාන්ත චරිත කඩා පාත් විය හැකිය. දෛවයේ මිනිසුන් අනිවාර්යයෙන්ම ප්‍රතිගාමී වන්නේ නැත; අනිවාර්ය ලෙස ප්‍රගතිශීලී වන්නේද නැත. 

ertesresrsr
නමුත්, අප මෙය පැහැදිලි කිරීමට ඉතාම ප්‍රතිගාමී නිදසුනක් දෙස බලමු. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනී වනාහී පළමු ලෝක යුද්ධයට පසුව එළැඹි අර්බුද සමයේදී තමන්ව ජූලියස් සීසර් සමග සමාන කරගත් දෛවයේ මිනිසෙකි. ඔහු 1919 දී ඉතාලියානු සමාජවාදී පක්ෂයෙන් කැඩී වෙන්වී ෆැසිස්ට් පක්ෂය ගොඩ නගන විට ඉන් වසර තුනකට පසු රටේ නායකත්වයට පත් වේ යැයි සිතුවේ කවුරුන්ද? කෙසේ වෙතත්, මුසෝලිනීගේ සහ ෆැසිස්ට්වාදයේ නැගීම වටහා ගන්නට අප විමසුම් ඇස යොමු කළ යුත්තේ සරලව ඔහුගේ පුද්ගලික චරිතය දෙසට නොවේ. ඒ වෙනුවට අප බැලිය යුත්තේ ෆැසිස්ට්වාදයේ නැගීමට පදනම සැපයූ සමකාලීන ඉතාලියානු පොදු ජන සමාජයේ මානසික ව්‍යුහය දෙසයි. සැබෑ කැඩපත ඇත්තේ එතැනය.  

ඒ අනුව, වඩා තීරණාත්මක ගැටළුව වන්නේ සමකාලීන ලාංකීය පොදු ජන සමාජය එහිම මානසික ව්‍යුහය නමැති කැඩපත ඉදිරියට ගොස් බැලූ විට දිස් වනු ඇති නායකත්ව ප්‍රතිරූපය කෙබඳු එකක් වනු ඇත්ද යන්නයි. සැබවින්ම බියජනක කාරණය වන්නේ එයයි. පත්ළක් නොපෙනෙන අර්බුදයක අගාධයට ඇද වැටෙමින් පවතින සමාජයක් තමාවම දකිනු ඇත්තේ කැඩී බිඳී යන දුබල ශරීරයක් ලෙසින් නොවේද? එබැවින්ම එම සමාජ දේහයට යළිත් ඒකාග්‍රතාවක් ලබා දෙන්නා වූත්, එය බලවත් හා ශක්තිමත් කරන්නා වූත් අසහාය නායකත්වයක් පිළිබඳ පරිකල්පනයකට කිසියම් ඉඩක් විවර විය නොහැකිද? මෙය මේ මොහොතේ හිතළුවක් සේ දිස් විය හැකි වුවද, අප දැන් මුහුණ දෙමින් සිටින ආකාරයේ සමාජ අර්බුදයක් තුළදී අවධානයෙන් සිටිය යුතු දේශපාලන අවධානමක්ය යන්න මගේ හැඟීමයි. මේ දිනවල විශේෂයෙන්ම සමාජයීය සහ සංස්කෘතික තලයෙන් මතු වෙමින් තිබෙන වර්ගවාදී සහ ආගම්වාදී ස්වෝත්තමවාදී ප්‍රකාශන පිළිබඳව මෙරට ප්‍රගතිශීලීන් අවදිව සිටිය යුත්තේ එබැවිනි.



සමාජ අර්බුදයේ පැතිමාන  


 මා මින් පෙරද තර්ක කර ඇති පරිදි අපගේ අවධානය ආර්ථික අර්බුදය දෙසටත් දේශපාලන අර්බුදය දෙසටත් එල්ල වී තිබියදී වඩාත් අගතිගාමී හා අන්තවාදී බලවේග සඳහා වූ සරු පස නිමැවෙමින් තිබෙන්නේ සමාජයීය අර්බුදය තුළිනි. එම සමාජ අර්බුදයේ මතුපිට ප්‍රකාශමාන වීම් වන්නේ ඉහළ යන දරිද්‍රතාව, විරැකියාව, තරුණ පරපුරේ අපේක්ෂා භංගත්වය, රට හැර යාමේ ප්‍රවණතාව, අපරාධ රැල්ල, සිය දිවි නසා ගැනීම්, අබූතරූපී අධ්‍යාත්මික නායකයින් කෙරෙහි ඇති වන හදිසි ආකර්ෂණය, දරුවන් පාසැල් හැර යාමේ වර්ධනය යනාදියයි. අප සමාජය වියමනක් ලෙස සැලකුවහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම වියමන ලිහී යාමයි. එවිට අප එකිනෙකා සමග සම්බන්ධ කරන්නා වූ පොදු තේරුම් ගැන අපට ඇති විශ්වාසය බිඳ වැටේ.

 

People purchase essential food items as the government imposed travel restrictions and two-week lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 25, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP)
මේ යුගයේ එවන් පොදු තේරුම් අතර ප්‍රධාන ඒවා වන්නේ අප දියුණුව කරා ගමන් කරමින් සිටිනවාය යන විශ්වාසය (සංවර්ධන කතිකාව), අපගේ බහුතර කැමැත්තෙන් පත් වන ජනතා නියෝජිතයින් පිළිබඳ විශ්වාසය (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස), ජනතා කැමැත්ත මත පදනම් වූ නෛතික හා ආයතනික රාමුවක් පිළිබඳ විශ්වාසය (සමාජ ගිවිසුම පිළිබඳ ප්‍රබන්ධය), නීතිය සමානව හා සාධාරණව ක්‍රියාත්මක වන්නේය යන විශ්වාසය (නීතියේ පාලනය), අප ලෝකය ඉදිරියේ ආඩම්බර විය හැකි ජාතියකට අයත් වන්නේය යන හැඟීම (ජාතික රාජ්‍යය පිළිබඳ අදහස) යනාදියයි. ඉහත කී සියලුම පොදු තේරුම් දැන් අර්බුදයට පත්වෙමින් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් තත්ත්වයක් තුළ තනි තනි පුද්ගලයින් ලෙස අපේ ජීවිතවල ඇති තේරුම කුමක්දැයි අපට හැඟී යාමද පුදුමයට කාරණයක් නොවේ.


 මෙවන් සමාජ අර්බුදයක් හමුවේ බිඳ වැටෙන සාමූහිකත්වය යළි ගොඩ නගන්නා වූත්, පුද්ගලයින්ගේ අහිමි වී යන ආත්ම විශ්වාසය යළි ගොඩ නගන්නා වූත්, බෙලහීන ජාතිය යළි නගා සිටුවන්නා වූත් පොරොන්දුව ලබා දෙන නායකත්වයන් වඩා ආකර්ෂණීය වේ. ඒ සඳහා ප්‍රජාතාන්ත්‍රික, වාමාංශික සහ ප්‍රගතිශීලී නායකත්වයන් අසමත් වන විට ඒ හිඩැස පුරවන්නේ ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික මූලධර්මවාදී ප්‍රවණතා විසිනි. ඉතිහාසය සාක්ෂි දරන පරිදි ආරම්භයේදී මාක්ස්වාදීන් සේම ලිබරල්වාදීන්ද මේ අනතුර හඳුනා ගන්නේ නැත. මන්ද යත්, ඔවුන් බොහෝ විට ගිලී සිටින්නේ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය තුළ බැවිනි.

1930 දශකයේ ආරම්භයේදී ෆැසිස්ට්වාදය හිස ඔසවමින් සිටියදීත් යුරෝපයේ සමාජ-ප්‍රජාතාන්ත්‍රික වාමාංශය ගණන් බලමින් සිටියේ මැතිවරණ ජයග්‍රහණ ඔස්සේ ආණ්ඩු බලය දිනා ගැනීමටය. ලිබරල් ආයතනික පිළිවෙළ කෙරෙහි ඔවුන් ලිබරල්වාදීන්ටත් වඩා විශ්වාස කළහ. එබැවින් සමාජයීය තලයේ උග්‍ර වන අර්බුදය ඔවුන් එතරම් වැදගත් කොට සැලකුවේ නැත. එම සමාජයීය අර්බුදය විසින් එතෙක් ඉතිහාසය නොදැන සිටි වඩා බිහිසුණු හා විනාශකාරී බලවේගයක නැගීමට අවශ්‍ය සරු පස නිර්මාණය කරමින් සිටින බව දකින්නට ඔවුන් අසමත් වූහ.

ෆැසිස්ට්වාදය යනු අසාර්ථක විප්ලවයක ප්‍රතිපලයක් ලෙස පැන නගින්නක් යැයි පවසන විට වෝල්ටර් බෙන්ජමින් විවේචනයට ලක් කළේ සැබවින්ම සමාජ අර්බුදය කෙරෙහි නිෂ්ක්‍රීයව ප්‍රතිචාර දක්වමින් මැතිවරණ ජයග්‍රහණයක සිහිනයක් තුළ ගිලී සිටි ජර්මානු සමාජ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයයි. ෆැසිස්ට්වාදය වනාහී වාමාංශයේ අසමත්භාවය වෙනුවෙන් ඉතිහාසය විසින් දෙන ලද දඬුවම යැයි පවසන විට රෝසා ලක්සම්බර්ග්ගේ විවේචනය එල්ල වූයේද සමාජ-ප්‍රජාතාන්ත්‍රික මධ්‍ය-වාමාංශය වෙතයි. මන්ද යත්, බහුතර බලයක් සහිත මධ්‍ය-වම සමාජ අර්බුදය කෙරෙන් පැන නගින තීරණාත්මක ගැටළු කෙරෙහි නිහඬ හා නිෂ්ක්‍රීය ආකල්පයක් දරමින් සිටින විට වෙනත් බලවේගයක් වේගයෙන් පැමිණ දේශපාලන අවකාශය අත් පත් කරගත් බැවිනි.
 

නතාෂා සංසිද්ධියේ වැදගත්කම

2181b605acf0bd22d64ad58679a0c0578b9002e3

වත්මන් ලංකාවේ තත්ත්වය බොහෝ පැතිමානවලින් ඉහත නිදසුනට වඩා වෙනස් බව සැබෑය. අප සිටින්නේ වෙනස් ඓතිහාසික තත්ත්වයක් තුළය. වෙනස් සමාජ, ආර්ථික හා දේශපාලන සංධර්භයක් තුළය. අරගලය නමැති සංසිද්ධියේ ප්‍රතිපලයක් ලෙස ජනවාර්ගික හා ආගමික ජාතිකවාදයේ ආධිපත්‍ය මොහොතකට සෙලවිණ. නමුත්, මේ සියලු වෙනස්කම් පැවතියදීත් අපට ෆැසිස්ට්වාදය පිළිබඳ අතීත අත්දැකීම්වලින් ඉගෙනගත හැකි පාඩමක් තිබේ. එනම්, අර්බුද සමයකදී වඩාත් විනාශකාරී ඒකාධිකාරී බලවේග මතුවන්නේ විවිධ ධාරාවල ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන්ට මග හැරෙන සමාජයීය හා සංස්කෘතිකමය තලවලින් බවයි. 

 
මෙරට තුළද අරගලයෙන් පසුව හිස බිම ඔබාගෙන සිටි එවන් ප්‍රතිගාමී බලවේග දැන් යළිත් හිස ඔසවමින් සිටින්නේ සෙසු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා සංවිධාන දැනුවත්ව නිහඬ වත රකින ඊනියා සමාජයීයව සංවේදී තේමා ඉහළට ඔසවමින් නොවේද? එසේ සමාජයීය, සංස්කෘතිකමය හෝ ආගමික හැඩවලින් මතු වන ඒකාධිකාරී ප්‍රවණතා කිසියම් මොහොතක දේශපාලන ව්‍යාපාර බවට රූපාන්තරණය වන විට අප ප්‍රමාද වැඩි විය හැකිය.        

 
 මේ අනතුර හුදෙක් හිතළුවක් නොවන බව වටහා ගන්නට පසුගිය සති කිහිපය තුළදී ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම ආශ්‍රිතව මතු වූ සිද්ධි දාමය විමසා බැලීම ප්‍රමාණවත්ය. මේ නිශ්චිත කාරණයට අදාළව චින්තන ධර්මදාස කළ නිරීක්ෂණයක් නිවැරදි බව කියන්නට අප අතර පවතින දේශපාලනික විරසකකම් මට බාධා නොකරයි. ඔහු පවසා තිබුණේ කවුරුන් කුමක් කීවද මේ මොහොතේදී නතාෂා පිළිබඳ සිද්ධිය දේශපාලනිකව තීරණාත්මක වන බවයි. (තමන් සිහින දුටු ලෙසට මේ යුගයේදී ආර්ථික ලිබරල්වාදයටත් දේශපාලන ලිබරල්වාදයටත් එක්ව ගමන් කළ නොහැකි බව අඩු තරමින් මේ සංසිද්ධියෙන් හෝ ඔහුට අවබෝධ වේවාය යන්න මගේ පැතුමයි!).
 
මට හැඟෙන පරිදි එය තීරණාත්මක වන්නේ අරගලය නමැති සංසිද්ධියෙන් නැවත හැඩ ගැසුණු දේශපාලන සැකැස්ම තුළ ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික අන්තවාදයේ නැගීමක් සලකුණු කිරීමේ පළමු සාර්ථක ප්‍රයත්නය මෙම සිද්ධියෙන් සංකේතවත් වීම නිසාය. එය සාර්ථක එකක් යැයි කිව හැක්කේ අරගලයෙන් පසුවද සිංහල බෞද්ධ ජනයාගේ පොදු ජන අවබෝධයට ආමන්ත්‍රණය කිරීමට තමන් සතු හැකියාව අන්තවාදී කණ්ඩායම් විසින් ප්‍රදර්ශනය කරනු ලැබීම නිසාය.
 


පසුගිය සති කිහිපය තුළදී නතාෂාට එරෙහිව සමාජ මාධ්‍ය තුළ පළ වූ වෛරී ප්‍රකාශ මගින් පිළිඹිබු වූයේ මෙරට ජනවාර්ගික හා ආගමික ස්වෝත්තමවාදයේ බිහිසුණු ස්වභාවය කවරාකාරද යන්නයි. පසුගිය පොසොන් පොහොය දිනයේදී අපායේ තතු රඟ දක්වමින් වීදි සංචාරය කළ එක්තරා තරුණ කණ්ඩායමක් ඒ තුළ වද විඳින කාන්තාවක් ලෙස ඇයව නිරූපණය කර ඇති අයුරු සමාජ මාධ්‍ය තුළ වාර්තා විය. මේ දර්ශනය සිහිපත් කරන්නේ නට්සි ජර්මනියේ යුදෙව්වන් ඇසුරු කිරීමේ 'වරදට' දඬුවමක් ලෙස අපහාසාත්මක පුවරු කරෙහි එල්ලා වීදි දිගේ බලෙන් ඇවිද්ද වූ ජර්මානු තරුණියක් පිළිබඳ කතාන්දරයයි.



 ඉහත සිද්ධිය විස්තර කරමින් විල්හෙල්ම් රයික් අසන්නේ ජර්මානු ආර්ය ලේ යුදෙව්වන් සමග හෝ ඊනියා පහත් ජාතීන් සමග මිශ්‍ර නොවිය යුතුය යන හිට්ලර්ගේ ඉගැන්වීම එතරම් දුරට ජර්මානු සමාජයේ ප්‍රචලිත වූයේ මන්ද යන්නයි. ඔහුගේ පිළිතුර අපගේ දෙනෙත් විවර කරවයි. පළමු ලෝක යුද පරාජයෙන්ද, වර්සායි ගිවිසුමේ අවමානයෙන්ද, 1929 මහා ආර්ථික අවපාතයෙන්ද බැටකමින් දුබලව බෙලහීනව සිටි ජර්මානු සමාජයට හිට්ලර්ගේ ආර්ය ජාතිය පිළිබඳ මිථ්‍යාව අතිශයින් ආකර්ෂණීය විය. ඒ වනවිට තම පුද්ගලික ජීවිතය තුළ අසරණ හා බෙලහීන බවට පත්ව සිටි ජර්මානුවන්ට දැන් තමන් ලොව විශිෂ්ට ජාතියකට අයත් වූවෙක්ය යන හැඟීම මගින් තම පැවැත්මේ සැබෑ තත්ත්වය ආවරණය කරගත හැකිය. දෘෂ්ටිවාදයේ කාර්යභාරය හරියටම මෙයයි. එම දෘෂ්ටිවාදය ඔවුන් කිසිවෙකුත් නොදන්නා නමුත් පොදුවේ විශ්වාස කරන 'ජාතික දෙයක්' හා සම්බන්ධ කරනු ලබයි. එම 'ජාතික දෙය' ඔවුනගේ ප්‍රමෝදය හා සම්බන්ධය. මහා අර්බුදයකට ලක්ව සියල්ල අහිමි වෙමින් පවතින වාතාවරණයක් තුළ එය ඔවුනගේ ජීවිතවල පැවැත්මට කිසියම් හේතුවක් සපයා දෙයි. 
 
'ජාතික දෙය' පිළිබඳ දෘෂ්ටිවාදය ප්‍රමෝදය හා සම්බන්ධ වන්නේ කෙසේදැයි තේරුම් කිරීමට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජනප්‍රිය කියමනක් උපුටා දක්වන්නට මම කැමැත්තෙමි; "ඒක තමයි මහත්තයෝ අපට තියෙන එකම විනෝදේ."                                    
 


සමාජ වමක අවශ්‍යතාව


මෙම අභියෝගයට ඇති විසඳුම වන්නේ දැනට මෙරට සියළු ධාරාවල වාමාංශික පක්ෂ කරන්නාක් සේ 'සමාජයීයව සංවේදී' ගැටළු සම්බන්ධයෙන් නිහඬව හෝ නිෂ්ක්‍රීයව සිටීම නොවේ. මන්ද යත්, අන්ත-දක්ෂිණාංශික ප්‍රවණතා මතු වන්නේ අන් අය අත ගසන්නට බිය වන කලාපවලින්මය. ඒ වෙනුවට ශන්තාල් මූෆ් ඇයගේ නවතම කෘතිය වන 'Towards a Green Democratic Revolution' (2022) කෘතියේදී අපගේ අවධානයට ලක් කරන කාරණයක් ඇසුරින් මේ ගැටළුවට ප්‍රවේශ විය හැකි යැයි මම සිතමි. ඇය කාල් පොලන්යී නමැති චින්තකයාව උපුටා දක්වයි. 
https cdn.evbuc.com images 390080659 146648754443 1 original.20221109 132830 
පොලන්යීගේ තර්කය වූයේ ධනවාදයේ නැගීමත් සමග යුරෝපීය සමාජ පුරා පැතිර ගිය හුවමාරු භාණ්ඩකරණයෙන් හා පාරිභෝජනවාදයෙන් එම සමාජවල එතෙක් පැවති ජීවන රටාව මහත් බාධා කිරීමකට ලක් වූ බවයි. පැරණි සමාජ ඒකාග්‍රතාව බිඳ වැටුණි. නමුත්, එවිට නව වෙළඳපල ආර්ථිකය සමාජ අවශ්‍යතා සමග නැවත සම්බන්ධ කිරීමේ ප්‍රති-ප්‍රවාහයක් (counter-movement) නිර්මාණය වූවාය යන්න ඔහුගේ අදහසයි. ඔහු නාසිවාදයේ හා ෆැසිස්ට්වාදයේ නැගීම මෙන්ම එක්සත් ජනපදයේ 'නව එකඟතාව' (new deal) වැඩ පිළිවෙළද තේරුම් කරන්නේ එම ප්‍රති-ප්‍රවාහය ඇසුරිනි. වෙනස් ආකාරවලින් මේ සියල්ලෙන් ප්‍රයත්න දැරුණේ බිඳ වැටුණු සමාජ සමූහය නැවත ගොඩ නැගීමටය.

පොලන්යීගේ විශ්ලේෂණයෙහි මූෆ්ගේ වැඩි අවධානයක් යොමු වන කාරණයක් වන්නේ සමාජ ඒකාග්‍රතාව බාධාවට ලක් වන විට ආරක්ෂාව සහ සුරක්ෂාව පිළිබඳ සමාජ ඉල්ලීම් ඉහළට මතු වේය යන්නයි. එවිට එම ඉල්ලීම් ඉටු කරන්නට වඩාත්ම සමත් යැයි ඒත්තු ගැන්විය හැකි නායකයා බලයට පත් වේ. මෙහිදී ආරක්ෂාව යන්නෙන් අදහස් වන්නේ ආහාර, නිවාස ඇතුළු මිනිසුන්ගේ මූලික අවශ්‍යතා අන්තර්ගත කරගත් සමාජ ආරක්ෂාවකි.



මූෆ් පෙන්වා දෙන්නේ පසුගිය වසංගතය, ආර්ථික අර්බුදය සහ කාලගුණික විපර්යාසය යනාදී සාධක ගණනාවක් මගින් දැන් අපගේ සමාජවල පැවැත්ම බරපතල බාධා කිරීම්වලට ලක්ව පවතින බවයි. එබැවින්, ආරක්ෂාව සහ සුරක්ෂාව පිළිබඳ සමාජ ඉල්ලීම් දැන් දේශපාලනිකව ඉතාම තීරණාත්මක වේ. එබැවින්, දැන් වාමාංශය කළ යුතුව ඇත්තේ එම ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයේ වඩා ප්‍රජාතාන්ත්‍රික විකල්පයක් ඉදිරිපත් කිරීමය. පාවුලෝ ජර්බෝඩෝ නමැති සමකාලීන න්‍යායවේදියා පවසන පරිදි දැන් අපට අවශ්‍ය නව ආකාරයේ සුරැකුම්වාදයකි (protectivism). එම සුරැකුම්වාදයට අන්තර්ගත විය යුතු දේ ලෙස ඔහු හඳුනාගන්නේ සමාජ සුභසාධනය, කම්කරු නියෝජනය, පාරිසරික සුරක්ෂාව, සමාජ සහයෝගීතා යාන්ත්‍රණ යනාදියයි. මහජන කවුන්සිල වැනි නව ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් නිසැකවම මෙවන් විකල්ප වැඩපිළිවෙලක් සමග සම්බන්ධ කළ හැකිය.
 
සමාජ ආරක්ෂාව සහ සුරක්ෂාව පිළිබඳ ඉල්ලීම්වලට ජනවර්ගවාදී හා ආගම්වාදී විසඳුම් ඉදිරිපත් කරන ප්‍රවණතා පරාජය කළ හැක්කේ ඒ සඳහා වූ වඩා ප්‍රජාතාන්ත්‍රික විසඳුම් වටා ජන සමාජය සංවිධානය කිරීම මගිනි. අපට අවශ්‍ය සමූහය අලුතින් ගොඩ නගන ප්‍රගතිශීලී මාදිලියකි. ඒ සඳහා දැන් දේශපාලන වාමාංශය සමාජ වාමාංශයක් බවට පරිවර්තනය විය යුතුව පවතී.                                                        
                                     

Sumith Chminda
 
 
 
 

(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්