පෙබරවාරි මාසයේ 3වැනිදා නීතිඥ උදුල් ප්‍රේමරත්න සිය ෆේස් බුක් තාප්පයේ ම විසින් ලියැවුණු කවියක් අලවා තිබිණ.

‘ද්වාරකා’ ය. කවිය පටන් ගැනෙන්නේ සටහනකිනි. මෙබදු ය.

‘’සහෝදරත්වයෙන්, අවිශබම කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න සහෝදරයාට’’

කවිය මෙයාකාර ය.

dwa‘’උදුල සඳමඬල සැතපුණු හිරගෙදර
කඳුළ සියුමැලි ද රිදුණිද හද මඬල
පතල අරගලය වියැකුණු රෑ කලෙක
දෙමළ සෝයුරිය ගැන ඇයි කලබල ය

සිහින පෙරමුණට හැබැහින් වෙඩි වැදුණ
දාක කඳුළ පෙළ ගැහුනයි මඟ දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගෙ ලෙයින් රතු වී දැයි අමතක ද

යුද්ධෙ නමට මිනිසුන් කඳු ගැහෙන විට
සද්ද නොකර පිළිකනු වල හති ඇරිය
රෙද්ද ලිහා ගෙන මතු කොට ගිනි අවිය
විද්ද විදිලි හද පතුළෙන් ඇහෙනවද

කෙසර අක් බඹරු පමණක් හිස වැතිරූ
දෙමළ හෝඩියට ගිනි බින්ද ද කවුරූ
අඳුර ඉරාගෙන සඳ පොබයන අයුරූ
සඳලුතලාවල අරගල නැත සොයුරූ

නියඟලා මලෙක අසිරිය ඇසට දැනී
පියඹලා එන්ට සිතුනා ද දෙබරුනී
සඟවලා ගසන කොලයක ලකුණු පෙනී
හිනැහිලා පසුව ඉකිබිඳිමු සකියනී


කවියේ ශිර්ෂය ‘ද්වාරකා වුව ඒහි පදනම තුළ වන උත්ප්‍රාසාත්මක විවේචනය වූයේ උදුල් වෙත ය. 2009 වසරේ දෙසැම්බර් මස ලියූ කවිය ඔහු ඊට වසර 13ක ඇවෑමෙන් යළි ‘ෂෙයාර්’ කර තිබුණ ද, එකී ඉතිහාසය ෂෙයාර් කරන තත්වයක් පෙනෙන්නට නැති බැවින් එය තරමක් හෝ මෙනෙහි කළ යුතු යැයි අපි සිතමු.

Udul P
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් උදුල් ප්‍රේමරත්නව නිදොස් කොට නිදහස් කරන ලද්දේ 13 වසරකට පෙර - එනම් 2010 වසරේ ඔක්තෝබර 14වැනිදා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අබියස පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදී එහි දේපළවලට සිදුවූ අනර්ථය පදනම් කරගෙන පොදු දේපොළ පනත යටතේ ගොනු කරන ලද චෝදනා සමූහයකිනි.

මේ එකම චෝදනාවකදු සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරලන්නට නීතිපති දෙපාර්තුමේන්තුවට නො හැකි වීමෙන් නීතිය හමුවේ නිදොස් වී නිදහස් වූ උදුල් ප්‍රේමරත්න, ඒ අතීත දේශපාලන මොහොතින් නිදොස් කොට නිදහස් කරලන්නට පුළුවන් ද? 

එවන් පසුබිමක මා නඟන දේශපාලන ප්‍රශ්නය මෙය යි. නිදොස් කොට නිදහස් වූව ද මේ චෝදනා ගොනු කළ සමය පිළිබඳ යළි දේශපාලනිකව කියවන කල්හි උදුල් ප්‍රේමරත්න දේශපාලනිකව නිදොස් කොට නිදහස් කළ නොහැකි ය.

free udul protest

නීතිඥ උදුල් ප්‍රේමරත්න යනු එවක අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් ‘අන්තරයේ’ උද්යෝගීමත් කැඳවුම්කරු ය. දකුණේ මහජන නැඟීටීම තුළ වසන්ත මුදලිගේ උත්කර්ෂයට නැඟුණු මෑත කාලීන ‘රැඩිකල් අන්තර’ ඉතිහාසය ඇරඹෙන්නේ උදුල්ගෙනි. උදුල් සිරගත පවා විය. එහිදී වෙනස් ද විය. නමුත් එහි අඛන්ඩතාවක් වී ද? විප්ලවීය ඉතිහාසය අතැර දමා ඇතැයි පෙනෙන්නට ඇති උදුල් අද ‘කන-බොන, සුඛනම්‍ය සිවිල් චරිතයකි’.

දෙමළ මිනී කඳු මතින් යුද්ධය අවසන් කළ ප්‍රමෝධමත් දකුණේ පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ රාසයියා ද්වාරකා ශිෂ්‍යාව ත්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගනු ලැබුණේ 2009 නොවැම්බරයේ දී ය. ඒ ශිෂ්‍ය ක්‍රීඩා උළෙලක පුහුණුවීම් වල නිරතව සිටිය දී ය. ඉක්බිති ඇයව සඟවා තබා ගැනුණි. පසුකාලීනව ඇය බූස්සේ රඳවා තබාගෙන සිටින බව සොයා ගැනුණි.‍

 110581955 019078452 1

යුද්ධය අවසන් සමයේ දෙමළ සරසවි සිසුන් තොග ගණනින් අතුරුදහන් කරලන්නට රාජ්‍ය ත්‍රස්තවාදයට හැකි විය. සරණාගත කඳුවුරු වල සිටින් සිසුන් යළි සරසවි යාමට අවකාශ ලැබ දුන්නද ඔවුන් ලුහුබැඳීම අඛන්ඩව සිද්ධ කෙරුණි. මෙම ක්‍රියාන්විතයට පදනම වූ කේන්ද්‍රීය දේශපාලන දෘෂ්ටිවාදය සැකසුණේ එවක උදුල්  නියෝජනය කළ ශිෂ්‍ය ව්‍යාපාරය පසුබිමේ වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

එවන් නීච ඉතිහාසයක් තිබියදී පවා 2010 මැයි මාසයේ උතුරේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියෝ, තමන්ගේ දුක් ගැනවිල්ලද සමඟ ජනතා විමුක්ති පෙරමුණේ මූලාස්ථාණයට පැමිණ සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා වැනි එහි ප්‍රමුඛතම නායකයන් හමුවූ හ. ඉන් මසකට පමණ පසු, ජූනි පළමුදා ද්වාරකාගේ දෙමාපියන් ද මෙකී මූලස්ථානයට පැමිණියේ තමන්ගේ දුක් ගැනවිල්ල ද සමඟිනි. ජවිපෙ මහ ලේකම්වරයා ද්වාරකා දෙමපියන්ගේ හිත් හැදුවේ ‘බොහෝ දරුවන් මුළුමනින්ම අතුරුදහන් බවත් අඩුගාණෙ තමන්ගේ දරුවා බූස්සේ ඉන්නා බැවින් ඒය සතුටු විය හැකි කරුණක් බව අවධාරණය කරමිනි.

Tilvin And Somawansha JVP
ඒ ද්වාරකාට කලින් ටිල්වින් සිටි බූස්ස ය. රාජ්‍ය මිලිටරි යන්ත්‍රය විසින් බොහෝ සටන් සගයන් අතුරුදහන් කර දමද්දී තමා ජීවතුන් අතර නේදැයි කියා සිතමින් ඔහු සතුටු වූ බූස්ස ය. සිය මූලස්ථානයට දුක් ගැනවිලි ගෙනා දෙමළ දෙමව්පියන්ගේ දරුවන් අතුරුදහන් කර හෝ පීඩාවට පත්ව සිටියේ ඔවුන් විසින් මිලිටරි දෑත් ශක්තිමත් කර දීමෙන් පසුව ය.

ඉන් සති දෙකකට පසු, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ද්වාරකාගේ ඥාතීන් මුණ ගැසීමට ඔවුන් සිටින කඳවරුවල කාල් ගෑමට ගියේ ය. සෑම පවුලකින්ම අවම වශයෙන් එක් අයෙකුවත් අතුරුදහන්ව ඇතැයි දෙමළ වැසියන් පෙන්වා දුන් විට ජවිපෙ නායකයා කීවේ තම දේශපාලන ව්‍යාපාරය ද ‪1987-89‬ සමයේ මේ අයුරේ ම සංහාරයකට ලක්වූ බැවින් මේ ගැටළු ඔවුන්ට අලුත් නොවන බවයි. දෙමළ පීඩිතයා විඳින වේදනාව තමන් හඳුනන බවත්, ඒය අත්දැක ඇති බවත්, එබැවින් දෙමළ ජනතාව වෙනුවෙන් උපරිම මැදිහත් වීමක් කරනා බවට ‘පොරොන්දු’ වන බවත් ඔහු සියල්ලන් අබියස පැවසී ය.

ඉක්බිති වසර 13ක් ගතවී ඇතැත් ජවිපෙ සිදුකළ සාධනීය මැදිහත් වීමක් නම් නැති. බලහත්කාරී ලෙස අතුරුදන්කළවුන්ගේ යුක්තිය හා සත්‍යය වෙනුවෙන් එකී දෙමාපියන්ද එකතු වී සිදුකරන අඛන්ඩ අරගලය දින 2320ක් ඉක්මවා ඇත. අරගලයේ උන් දෙමාපියන්ද සිය ගණනක් අරගලය අතරතුරම ජීවිතයට සමු දී ඇත. නමුත් ‘පරණ හම්පඩ හිපාටු යුද ඝාතකයන්’ ලාහෙට ගෙම්බන් එකතු කරන්නා සේ එකතුකරමින් රට පුරා යනු විනා අවම වශයෙන් ජවිපෙ දෙමළ දෙමාපියන්ට දුන් එකී පොරොන්දුව ඉෂ්ට කරලන්නට අබමල් රේණුවකවත් අධිෂ්ඨානයක් පෙන්නුම් කර නැත.

එසේ නම් ජවිපෙ නායකයා හදිස්සියේම ද්වාරකාගේ ඥාතින් මුණ ගැසීමට ඔවුන්ගේ කඳවුරට සහ කල්මඩු ගම්මානයට ගියේ ඇයි? උදුල් ප්‍රේමරත්න යළි කතාවට ඈඳෙන්නේ එ තැනිණි.

udul premarathna
ජවිපෙ මැදිහත්වීමේ හේතුව වන්නේ මෙයයි. උදුල් ප්‍රේමරත්න නායකත්වය ගත් ‘අන්තරය’ දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පොදුවේ දෙමළ පීඩිතයා වෙනුවෙන් ඒ මොහොතේ ‘පෙන්නුම් කළ’ දේශපාලන ස්ථාවරයයි. ඒ වන විට ජවිපෙ අභ්‍යන්තර ‍’පෙරටු පැල්ම’ යළි පිළිසකර කළ නොහැකි සේ ඔඩුදුවා තිබිණ. ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය වූයේ කුමාර් ගුණරත්නම් අත ය. චමීර කොස්වත්ත, දුමින්ද නාගමුව වන් ‘අන්තර නයුවන්’ ගිය මඟ ම ගත් උදුල් ද උන්නේ නිල ජවිපෙට එදිරි ‘ජන අරගල’ මතයක ය. එහි කසකාරයා වූයේ උදුල් ය. එකල රිමාන්ඩ් ගත වුණු උදුල්ට දෙමළ සිරකරුවන් පිළිබඳ ‌ ඓන්ද්‍රීයව අත්දැකින්නට ලැබීම ඔහුගේ දේශාපාලන චලනය තීව්‍ර කරලූ බවක් පෙනෙන්නට තිබිණ. අපගේ ‘ද්වාරකා’ කවිය උදුල්ගේ එකී තීව්‍රතර උද්වේගය උත්ප්‍රාසත්මකව දැකීමක් විය.

සහශ්‍රකයේ මුල ‘මව්බිම සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය’ යන නාමකරණය හා එහි අරුත් වරනඟන සිංහල ජාතිකවාදය දක්වාම කඩා වැටුණු දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය දෙමළ සංහාරය තුළ ගත්තේ තමන්ගේ අතීත ශිෂ්‍ය නායකයන්ගේ ද ඝාතකයන් වූ මිලිටරි පාර්ශ්වය යි. මෙය නිෂ්චිතව ඛන්ඩනය කළ මොහොත සනිටුහන් කෙරුණේ උදුල් ප්‍රේමරත්න විසිනි. දෙමළා බුරුතු පිටින් පරසක්වළ ගසා හෝ යුද්ධය නම් වූ නින්දිත දේශසීමා ආක්‍රමණය ජයග්‍රහණයෙන් කෙළවර කර ගනු පිණිස මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සාටක පල්ලට වැටුණු ජනතා විමුක්ති පෙරමුණ 2010දී මිලිටරි මර්දන යන්ත්‍රයේ භෞතික නියාමක වූ සරත් ෆොන්සේකා වෙත මාරු වුව ද අන්තරය ඊට විරුද්ධ ස්ථාවරයක් දරන බව උදුල් විසින් ප්‍රකාශ කිරීම මෙහි කැපී පෙනෙන ස්මරණයකි.

නමුත් මේ සියල්ලේ මූලිකම සහ කැපීපෙනෙනම සලකුණු කිරීම වූයේ ද්වාරකා සිද්ධිය යි. අප උත්ප්‍රාසාත්මක අන්තර් දෘෂ්ටියක් සහිතව අන්තරය දෙස බැලුව ද, අන්තරේ දෙමළ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් පාරට බැසීම ශිෂ්‍ය ව්‍යාපාරය ගත යුතු මඟ සනිටුහන් කළ සාධනීය ප්‍රවේශයක් විය. මෙම නිෂ්චිත දේශපාලන මොහොතේ දී උදුල් ප්‍රේමරත්න ශිෂ්‍ය දේශපාලන සීමාව සමතික්‍රමණය කරමින් කොටි සංවිධාන ව්‍යුහය පිළිබඳව පවා පළල් විග්‍රහකට එළැඹෙන්නට වෙර වීරිය වැඩී ය. ඒ වනවිට ජවිපෙ-පෙරටු බෙදීම සහමුලින්ම සලකුණු වූ අතර උදුල් යනු පෙරටුගාමි සමාජවාදීන්ගේ උද්යෝගීමත් සමාරම්භක නායකයකු විය. ඔහු විසින් අප වැන්නන් පවා එම දේශපාලන ව්‍යාපාරය හා ඒකාබද්ධ කරලනු ලැබීම පිණිස දේශපාලනික උත්සාහයයන් ගනිමින් සිටි බව මෙනෙහි කළ යුතු ය. නමුත් අවසන ඔහු හුදු නීතිඥ වෘත්තීය දක්වා ඌණනය වුණු ‘සිවිල් චරිතයක්’ බවට රූපාන්තරණය විය. අධිකරණය විසින් නිදොස් කොට නිදහස කරනු ලැබුවේ ඒ අතීත ශිෂ්‍ය නායකයා නොව වත්මන් සිවිල් චරිතයයි.

fccerer

ද්වාරකා දැක බලා ගන්නට ඇගේ දෙමාපියන්ට බූස්සට යන්නට යාපනය සරසවියේ ශිෂ්‍ය සභා සභාපති සුබ්‍රමනියම් අරිහරන් සමඟ එක්ව මැදිහත් වෙමින් ක්‍රියාකළේ උදුල්ගේ නායකයත්වයෙන් යුතු අවිශිබම යි. ජාතික ප්‍රශ්නය පිළිබඳව තවමත් ‘පෙරටු’ වම අතිශය ඕලාරික ලාන්තරස් ස්ථාවරයක් දැරුව ද, එම නිෂ්චිත දේශපාලන මොහොතේ උදුල් කී දෑ දේශපාලනික ඉදිරි දැක්මක ඉංගිත සහිත විය. ‘විකල්ප’ වෙබ් අඩවියේ මෙන්ම එහි යූ ට්‍යුබ චැනලයේ තවමත් උදුල්ගේ ‘13 වසරක් ඉපැරණි’ ඒ අදහස් ළෙලදෙමින් පවතී. ඒ කතා ජවිපෙ-පෙරටු බෙදීම තුළ, පෙරටු නායකත්වය උදුල් ලවා කියවා ගත් ‘කතා’ විතර ද? උදුල් යනු දේශපාලන ගිරවෙක් ද?


awiපේරාදෙණිය සරසවියේ මධුෂාන් චන්ද්‍රජිත් අවිශිබම නව කැඳවුම්කරු ලෙස පත්වූ ඉකුත් මැයි 20වැනිදා ඒ වෙනුවෙන් නිර්මිත සමාජ මාධ්‍ය පෝස්ටරය උදුල් විසින් සුබපැතුමක්ව සිය ෆේස් බුක් තාප්පයේ අලවන ලද්දේ හෘදය සාක්ෂිය නියෝජනය කරන ‘හාර්ට්’ එකක සලකුණිනි. නමුත් එය දේශපාලනික සුබපැතුමක් වන්නට නම් අන්තරය ජාතිකවාදී කැලෑ පැනිල්ලෙන් මුදවාලන්නටත්, සැබෑ ශිෂ්‍ය සහෝදරත්වයක් වෙනුවෙන් හොරගල් අහුලමින් සිටීම අවසන් කරලන්නටත් සක්‍රිය හා දෘෂ්ටිවාදී මැදිහත්වීමක් කළ යුතු ය. අප අවධාරණය කරන්නේ, එසේ මැදිහත්වීමක් නොකර, එය කරඅරින තාක්, කිසිදාක උදුල් ප්‍රේමරත්නට දේශපාලනිකව නම් නිදොස් වී නිදහස් විය නොහැකි බව යි.


Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ජුලි 02)

Anida


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image