අද දේශපාලන වේදිකාවල එකිනෙකාට ඇඟිල්ල දික්කරගෙන චෝදනා කරගන්නා වචනයක් තමයි

''හොරා'' කියන වචනය. කට්ටියටම බහුවචනයෙන් ඒ චෝදනාව දමලා ගහද්දි පාවිච්චි වෙන්නේ ''හොරු'' කියලා. පහුගිය කාලේ 225 ම හොරු කියලා ලේබල් ඇලවෙන තරමටම රටේ ආර්ථීකය පහළට වැටුනු වෙලාවෙ රටේ මිනිසුන්ට ජිවත්වෙන එක විශාල ප්‍රශ්නයක් වෙලාවෙ මිනිස්සු 225 ටම දොස් දෙවොල් තියන්න පටන්ගත්තා. එතනින් තමයි 225 ම හොරු කියන්න රටේ ඛෙහෝ ජනතාව පෙළඹුනේ.



ඇත්තටම 225 ටම ඒ ''හොරු'' චෝදනා එල්ලකරන එක හරිද? ''හොරු'' කියලා දබරැගිල්ල දිගුවෙන පැත්ත සීමා වෙන්නෙ මැතිසබයට විතරක්ද? මැතිසබයට විතරක්ම ඒ හොර ලේබලය අලවන එක සාධාරණයිද?



ප්‍රශ්නය මතු වෙන්නේ ඒ ප්‍රශ්නයට සාපේක‍ෂවයි

 

මැතිසබය පමණක් හොර ගුහාවකට සීමා කරන එක සාධාරණයිද? ඇයි අනිත්ව ක්ෂේත්‍රවල හොරු නැද්ද? රටේ රාජ්‍ය ආයතනවල, සංස්ථාවල, දේපාර්තමේන්තුවල, පෞද්ගලික ආයතනවල, සියළුම ක්ෂේත්‍රවල නිලධාරින් අතර, වෛද්‍ය, නීතිවේදී, ඉංජිනේරු, පූජ්‍ය පක‍ෂය මේ ආදි මෙකීනොකී සියළුම ක්ෂේත්‍රවල හොරු නැද්ද? ඇත්තටම හොරු නැත්තේ කොහේද? හෘදය සාක‍ෂියක් නැති මිනිස්සු නැත්තේ කොහේද?


මේකට දෙන්න තියෙන උත්තරය සරලයි. උත්තරේ මේකයි..... '' මුළු මහත් සමාජයම දූෂිතයි - වංචනිකයි, සොරකම නීතිගතවන තරමටම සොරකම, දූෂණය, අක්‍රමිකතාව ඉහවහා ගිහින්. සොරකමට වැට බඳින පොලිසිය වගේ ආයතන දූෂණයට, සොරකමට ගොදුරුවී නැතිද?


කොටින්ම සොරකම නැත්තේ කොහේද?


ඉතිං සොරකම වළක්වන්න නම් මුළු මහත් සමාජයම නිර්මල පිවිතුරු සමාජයක් කරන්න නම් සිස්ටම් චේන්ජ් එකක් වගේම දැඩි නීතිරිතිත් අවශ්‍ය වෙනවා. සොරකම් කරන්න එපා ඒක පාපයක් කියලා අර්ථයෙන් ධර්මයෙන් දේශනා කෙරුවට සොරකම නැවතිලා තියෙනවද එයා කිවුවට අතරම එහෙම දේශනා කරලා අහන්නෙත් නැතිනම් ඊළ`ගට පාවිච්චි කරන්න වෙන්නේ ''දණ්ඩනය.''
 


''සබ්බ තසන්ති දණ්ඩස්ස....'' සියල්ලෝම දණ්ඩනයට බියය

කොරියාව, ජපානය වගේ රටවල් විතරක් නෙමෙයි නීති සහ දැඩි ද`ඩුවම් ක්‍රියාත්මක වන සවුදි අරාබිය වගේ රටවල් පවා දැඩි නීතිරීති මගින් අල්ලස, දූෂණය, සොරකම ආදි සියළු අක්‍රමිකතාවන්ට වැට බැඳලා තියෙනවා.


සියළුම ආගම්වලට අනුව සියළුම ශාස්තෘවරුන් දේශනා කරලා තියෙන්නේ ''සොරකම් කරන්න එපා'' පාපයක් කියලා. ඒත් එහෙම දේශනා කළයි කියලා සොරකම නැවතිලා තියෙනවද? නැහැනේ. එහෙම නම් කරන්න ඕනමොකක්ද? එක පැත්තකින් නීතිරීති සහ දැඩි දඬුවම් නියමකරන රටක්, ආර්ථීක විෂමතාවන්ගෙන් තොර රටක්, රටේ ධනය යුක්තිසහගත ආකාරයෙන් ඛෙදී යන රටක් ගොඩනගන එකයි. මුළුමනින්ම ''සිස්ටම් චේන්ජ්'' එකක් අවශ්‍යයි.



ආයෙත් මුලට ම එමු

අද අල්ලසට, දූෂණයට, සොරකමට යටනොවෙච්ච අනාගතයක් ගැන කාටවත් කියන්න පුළුවන්ද? අද නිර්මල, පිවිතුරු, පරමාදර්ශී මිනිස්සු ඉන්නේ කොහේද? හෘදය සාක්ෂියක් ඇති අය තුළ මේ ප්‍රශ්නය නැගෙනවා.


අද පාස්පෝට් කන්තෝරුවට ගිහින් ඉක්මනටම පාස්පෝට් එකක් ගන්න පුළුවන්ද? ජරාවක් නැතිව. උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක් ගන්න පුළුවන්ද ජරාවක් නැතුව. ඉස්පිරිතාලෙට ගිහින් ඉක්මනටම ඛෙහෙත් ටිකක් ගන්න පුළුවන්ද ජරාවක් නැතිව. පොලිසියකට ගිහින් සහතිකයක් ගන්න මොන තරම් රස්තියාදු වෙන්න වෙනවද? හැම තැනම ජරාව, හත්පොලේ ගාගත්තු සමාජයක් තියෙද්දි 225 ටම විතරක් හොරු කිවුවට වැඩක් නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරිවාදය ඇතුලෙ සොරකම්, දූෂණය, අල්ලස ඉහවහා ගිහින්. රාජ්‍ය නිලධාරින් තමයි දේශපාලනඥයාට හොරකම ට්‍රේනින් කරවන්නේ. අවංක අදූෂිත නිලධාරින් ඉන්නවා නම් ඒ ටික දෙනයි.


අද මුළු සමාජයම දූෂිතයි, ඉතිං ආගම දහම වෙනුවෙන් පෙනී ඉන්න පුජ්‍ය පක්ෂය වුනත් මේ දූෂිත බවින් මිදෙන්නේ නැහැ. සියළුම අක්මුල් සොයාගෙන ගිහිං මේ දූෂණ අක්‍රමිකතා පැතිරිලා හරියටම පිළිකාවක් වගේ. හරියටම ශරීරයේ ස්නායු පද්ධතියෙ ස්නායු මුළු ශරිරය පුරාවටම විහිදිලා පැතිරිලා තියෙන්නේ කොහොමද අන්න ඒවගේ දූෂණ, සොරකම, අල්ලස විවිධ අක්‍රමිකතා මුළු මහත් සමාජ දේහය පුරාම පැතිරිලා තියෙනවා.

ඉතිං එවැනි තත්ත්වයක් තුළ ''225 ම හොරු''  කියන චෝදනාව එල්ල කරන්න කලින් තමන් දිහාත් බලන්න වෙනවා. 

රටක් ගොඩනගන්න නම් ඒ රට ඇතුලේ සමාජයම යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාව පිරිලා ඉතිරිලා යන්න ඕන. එහෙත් එහෙම රටවල් තියෙනවද මේ ලෝකයේ....?


මිනිසා සහජයෙන්ම තෘෂ්ණාධිකයි, සුඛ විහරණයට ලොල් වූ මිනිසා ඒ සඳහා නොකරන දෙයක් නැහැ. ඉතින් මේ මිනිසා මෙල්ල කරන්න ධර්මයෙන් විතරක් බැහැ. දණ්ඩනයන්, නීතියක් අවශ්‍යයි. නීතිය සැමට ඉහළින් පවතින සමාජයක් හදන්න පුළුවන් පාලනයක්, පාලකයෙක් ඕන.


අපේ රට නිදහසෙන් පස්සේ දශක 7 කට අධික කාලයක් ගතවෙලා තියෙන්නේ මේ මජර සිස්ටම් එක ඇතුලේ. මේ තත්ත්වය 77 න් පස්සේ ආපු විවෘත ආර්ථීක ක්‍රමත් එක්ක පිළිකාවක් වගේ පැතිරිලා ගිහින් තියෙන්නේ. ''බල්ලො මරලා හරි සල්ලි හොයපල්ලා''  කියන සිස්ටම් එකක් හැදුනා 77න් පස්සේ.  

ඒකට දේශපාලනඥයො විතරක් නෙමෙයි රටේම ජනතාව වගකියන්න ඕන. තමන්ට යහපත සලසන පාලකයො තෝරාගන්න බැරි අමන ජනයා ඉන්න රටකට සුගතියක් අත්වෙන්නේ නැහැ. දුගතිය මිසක්.
 
''මිනිසා යනු කවරෙක්දැයි දැනගැනීමට ඔබ කැමති නම් ඔහු බලාධිකාරයක් තුළ ස්ථානගත කරන්න'' - ඇනෝන්
mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්