යාපනයේ ගොවි ජනයාගේ සාර්ථකත්වය, ජවිපේ සහ සජබය යාපනේ නැතිකම යනුවෙන් අරුන් සිද්ධාර්ථන් කළ ප්‍රකාශයක් මුහුණු පොතට එක් කිරීම හේතුවෙන් ලැබුණ අයහපත් ප්‍රතිචාර මටද අරුන් සිද්ධාර්ථන්ටද යන්න පැහැදිලි නැත.
අරුන් සිද්ධාර්ථන් බැසිල්ගේ ඉත්තෙකු බව බොහෝ දෙනා අවධාරණය කර තිබිණ.
විමර්ශනශීලි මාධ්‍යවේදියෙකු ලෙස මත වාදයක් තෝරා ප්‍රසිද්ධ කරන්නේ අවශ්‍ය අවධානය යොමු කිරීමට මිස ඒ මතය වැපිරීමට නොවේ. අපට යථාර්ථය දැකීමට නම් මතවාද උරගා බැලිය යුතුවේ.
තිස්ස කුට්ටිආරච්චි ගෙන් උදයන මේ ගැන විමසූ විට ඔහු කියා ඇත්තේ චන්ද්‍රසිරි සෙනෙවිරත්න දැකලාවත් නැති බවකි. උපුල් මට බැන වැදුණ මොහොතේම සිද්ධිය අමතක කළෙමි. එහෙත් උපුල් කුමරප්පෙරුම, චන්ද්‍රසිරි සෙනෙවිරත්න කුට්ටියාට කඩේ යතී කියා දැමූ පොහොට්ටුවට මුල්වූ මගේ පෝස්ටුව, පැයක් තුළ උපුටා දක්වන ලෙස කළ උපුල්ට අභියෝගය කළෙමි.
“අන්න උඹට පෝද්දල ජයන්ත කලිසම ගැලවෙන්න දීලා... ඒකත් කියවපන් මට බණින අතර, උපුල් කී නිසා පෝද්දලගේ සටහන කියවා බැලීමි. මගේ කලිසම කෙසේ වෙතත් පෝද්දල ජයන්ත දීර්ඝ සටහනක් තබමින් උපුල්ගේ අතීතය සිහිපත් කරමින් අසා තිබුණේ, නීතිඥ සහාය අපේක්ෂා කරන්නෙකු වෙනුවනේ පෙනී සිටීම නීතිඥයන්ට පැවරුණ වගකීමක් බව තමන්ට කියා දුන් උපුල් කුමරප්පෙරුම අද චන්ද්‍රසිරිට බැන වැදීම සාධාරණදැ කියා ය. ඒ ප්‍රශ්නයම උපුල් ගෙන් තවත් කිහිප දෙනෙකු විමසා තිබිණ.
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත
“උඹ මාලිමා සපොටර්ලාගේ තත්වයට වැටිලානේ'' යයි උපුල් මට බනිද්දී මා කී විට උපුල් දුන් පිළිතුර පුද්ගලික කතාවක් නිසා මෙහි සටහන් නො කරමි.
මගේ වෙනත් සටහනකට අදහස් දැක්වූ මාලිමා අනුගාමි අල්විස් නැමැත්තෙකු අන්කල් ඉක්මනට මැරිලා යන්න යනුවෙන් ඉල්ලීමක්ද කර තිබිණ. මා පෙරළා ඔයාගේ අම්මා මිය ගියේත් කාගේවත් ඉල්ලීමකටද කියා විමසීමි. මිනිසෙකුගේ මරණයෙන් මතයක් වැළලී යන බව විශ්වාස කරමින් විජේවීර පටන් ගත් ඝාතන සංස්කෘතිය අඩ සියවසක් ගෙවී ගිය අදටත් මිනිසුන් මරා මත වළලන ස්ථාවරය හකුලාගෙන නැති බව එයින් තහවුරු වේ.
2022 අප්‍රේල් අරගලය යනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීමකි. අරගලය අවධාරණය කළේ පුද්ගලයෙකු නොව රටට අවශ්‍ය ක්‍රමයක් බව තහවුරු කළේ රටේ බහුතරයක් තෝරා පත් කළ විධායක ජනාධිපති පළවා හැරීමෙනි. පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රි වරයෙකුගේ සුළුතරයට හැකිළි සිටි රනිල් ජනාධිපති කිරීම යනු රටේ විධායකයා පාර්ලිමේන්තු බහුතරය තුළ සිර කොට, රටේ යහපත ගැන තීරණ ගැනීම පාර්ලිමේන්තුවට පැවරීමකි.
රටේ ජනාධිපති වී හෝ පත්වූ පාලකයාට සහාය වීමෙන් ඒ අවස්ථාව අත්හදා බැලීමට සජිත්ට හෝ අනුර කුමාරට පැවති ඉඩකඩ ඔවුන් ලබා ගත්තේ නැත.
පාර්ලිමේන්තු බහුතරයක් නිර්දේශපාලනිකව පෙළ ගැසී රටේ යහපතට හෝ රාජපක්ෂලාට එරෙහිව රනිල් මෙහෙයවීමක් සිදු නො වූ අතර, අදටත් රනිල්ට කාගේ හෝ සහාය අපේක්ෂා කරතත් රාජපක්ෂ බහුතරයේ බලපෑමෙන් රනිල් මුදා ගැනීමට විපක්ෂය සහාය නො දක්වති. බහුතර සහාය නොමැතිව තමන්ට කළ හැකි බොහෝ දේ රනිල් රට වෙනුවෙන් සිදු කර තිබේ. ආර්ථීකය ශක්තිමත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ ගත් ඍජු තීරණ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතින් 21 දෙනා අතරට නම් කිරීමට හේතු විය.
බහුතරය නැතිව රනිල් ක්‍රියාත්මක කළ කිව් ආර් කේතය හරහා මරණ වාර්තා වෙමින් දිග් ගැහුණ රටේ ඉන්ධන පෝලිම් පැය විසි හතරක් තුළ අවසන් විය. තමන් පැනවූ බදු ක්‍රමයට එරෙහිව පෙළ ගැසුණ වර්ජන හා අරගල ජනාධිපති වික්‍රමසිංහ මැඩ පැවැත්වූයේ උසස් පෙළ දරුවන්ගේ උත්තර පත්‍ර බලන තෙක් සාකච්ඡා නො කරන බවට ගත් දැඩි ස්ථාවරය හරහා ය. තමන් ඇතුළත් හැම ගිවිසුමක්ම පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රනිල් පියවර ගත්තේය.
බංකොලොත් රට, සිය පාලනය යටතේ එක් වසරක් තුළ යථාවත් කිරීමට පාර්ලිමේන්තුව තුළ හුදෙකලා වූ මේ මිනිසා සමත් විය. ඒ ගැන රටේ බහුතරයකට ඇත්තේ මන්දාස්මිතයකි. එයින් හැඟී යන්නේ ප්‍රතික්ෂේප වූ ගෝඨාට විකල්පයක් ලෙස තෝරා ගත් රනිල්ගේ ප්‍රවේශය, ප්‍රායෝගික මෙන්ම සාධනීය බව ය. රුපියල ශක්තිමත්වී ඩොලරය අව ප්‍රමාණ වීම, බංගලාදේශ් වලින් ගත් ණයෙන් කොටසක් ආපසු ගෙවීම, උද්ධමනය තනි ඉලක්කමට සමීපවීම, මේවා රටේ ජයග්‍රහණය මිස රනිල් සහ එජාපය ලද ජයග්‍රහණයක් ලෙස කිසිවෙකු කල්පනා නො කරති.
එහෙත් මාලිමා අනුගාමිකයන් රනිල් දකින්නේ බටලන්ද ෆොක්ස්වැගන් ෆැක්ටේරිය හරහා ය. ඔහු විසින් රටේ ස්ථාපිත විද්‍යා පීඨ ක්‍රමය, ජාතික අධ්‍යාපන ආයතනය ආදි රටට ශක්තියක් වූ කිසිවක් විමසා නො බැලෙයි. හේතුව රනිල්ට ජන මතයක් නැතිකම ය. ජන මතය විය යුත්තේ හැට පන් ලක්ෂයකගේ තේරීම වූ ගෝඨාභයද? කිව්ආර් කේතය හරහා ජන ජීවිතය යථාවත් කළ රනිල් වික්‍රමසිංහද? එහෙත් ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි රටට කියා දීමට රනිල්ට උවමනාවක් නැත. යළි වරක් රනිල් වික්‍රමසිංහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළොත් එය රනිල්ගේ අමනකම මිස, ජනතාවගේ වරද විය නො හැකි ය. රනිල් යනු ක්‍රමයක් මිස පුද්ගලයෙක් නොවන බව ජනතාවට කියා දෙන්නෙක් අවශ්‍ය වේ.
මා නැවත අරුන් සිද්ධාර්ථන් වෙත යනු කැමැත්තෙමි. අරුන් සිද්ධාර්ථන් නම් ගොබිලා බැසිල්ගේ එහෙයියෙකු විය හැකිය. එහෙත් ඔහු යාපනේ ගොවීන් තුළ පවත්නා නිර්දේශපාලනික ගතික ස්වභාවය අරුන් අත් දුටු දෙයක් මිස ඔහුගේ මත වාදයක් නොවේ. ගෝඨා වෙනුවට තෝරා ගත් රනිල් කෙටි කාලය තුළ සාර්ථක වුණේ නිර්දේශපාලනික ප්‍රවේශය නිසාය. රට ඇද වැටුණේ දේශපාලනයට ගොදුරුවීම නිසා ය. භාෂාව ආගම විකුණා රටක් රවටා බලය ගත් හොරගොල්ලේ බණ්ඩාරනායක බෝසත් බණ්ඩාරනායක විය. මහා විහාරය සමතලා කොට උඳු වැපුරූ මහසෙන් ද්‍රෝහියෙක් නොවී මින්නේරි දෙවියන් වුණේ කෘෂිකර්මය දියුණු කළ නිසාය, එදා රටම කල්පනා කළේ අද උතුරේ ගොවීන් මෙන් යථාර්ථවාදීවය. අරුන් සිද්ධාර්ථන් හරහා දැකිය යුත්තේ එකී යථාර්ථයයි.
අරුන් සිද්ධාර්ථන් වැරදි විය හැකිය. එහෙත් ඔහු යාපනේ උපන් ඔහු එහි කෘෂිකාර්මිකයන් ගැන කරන කියැවීම නිවැරදි වේ. යාපනේ ගොවීන් ගොවිතැන් කළේ පොන්නම්බලම්ලාට, චෙල්වනායගම්ලාට, අමිර්තලිංගම්ලාට, ප්‍රභාකරන්ලාට උවමනා ලෙස නොවේ. කළු ජූලිය තෙක්ම යාපනේ ගොවීන් තම වගාවට අවශ්‍ය ගොම පොහොර කැකිරාව තෙක් ගම්වලින් ඒකරාශි කරවා යාපනේට ගෙන්වා ගත්හ. ඔවුන්ට බීජ වර්ග හෝ වාරි ජල ප්‍රශ්න නො තිබිණ. කළු ජූලිය තෙක් කටුවැල්බටු නම් ඖෂධය වගා කළේ යාපනේ හේන් ගොවින් විසිනි. ඒ සියල්ල විනාස වුණේ උතුර දකුණ විරසකය විසිනි.
ජනාධිපති මැතිවරණ ඉතිහාසය පුරා උතුරේ ජනතාව සිය ඡන්දය පාවිච්චි කළේ දකුණේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකුට මිස තමන් තෝරා පත් කළ දමිළ නායකයන්ට නොවේ. 2015-2019 යහ පාලන කාලයේ ඊළම නො ලැබිණ. හමුදා කඳවුරු ඉවත් නො කෙරිණ. උතුරේ තරුණ පරපුරේ විරැකියාව අඩු නො විණ. ඉඩම් සහ පොලිස් බලතල නො ලැබිණ. උතුරේ සමස්ත ජනතාව තේරුම් ගත් ආකාරයට රටේ ප්‍රශ්නය ආර්ථිකය මිස සිල්ලර කතා නොවේ. 2015 සහ 2019 ජනාධිපති මේ මැතිවරණ දෙකේදීම ඔවුන්ගේ වැඩි කැමැත්ත ලැබුණේ එජාපය ශක්තිමත් කළ පොදු අපේක්ෂකයන් දෙදෙනාටය.
මේ සමග ඇති වගුව බලන්න.
2015 සිරිසේන 2019 සජිත්
දකුණේ සිංහල බෞද්ධ ජනතාව, නියඟ ගංවතුරු උපද්‍රව පමණක් නොව, වී මිල අඩුවීම ගැන පවා දේශපාලකයන්ට අනුගතව වීදි බැස ඝෝෂා කළා මිස ස්ව ශක්තිය අවබෝධ කර නො ගත්හ. 2005 ජනාධිපති මැතිවරණයේ රනිල් විනාස කළේ අලිකොටි ගිවිසුම නම් ඡන්ද ගුංඩුවයි. ඒ වනවිටත් සටන් විරාම ගිවිසුම හරහා රනිල් කරුණා අම්මාන් ආදි කොටි කල්ලියෙන් කොටසක් ප්‍රභාකරන්ගෙන් බිඳුවා එල්ටීටීඊ ශක්තිය අඩපන කර තිබිණ. 2005 ජනාධිපති මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවට ඡන්ද පොළට යාම ප්‍රභාකරන් තහනම් කර දඬුවම මරණය බව ප්‍රකාශ කර තිබීම හරහා රටේ විධායක ජනාධිපති තනතුර මහින්දට ලබාදීමේ කොන්ත්‍රාත්තුව ප්‍රභාකරන් භාරගෙන තිබිණ.
එහෙත් ප්‍රභාකරන්ගේ තර්ජනය නො තකා 2005 නොවැම්බර් 17 වෙනිදා ඡන්ද පොළට පැමිණි, යාපනේ දිස්ත්‍රික්කයේ ජනතාව රනිලට 5523ක් හා මහින්දට 1967ක් ලෙස බෙදී සිටියහ. වන්නි දිස්ත්‍රික්ක් ජනයා රනිල්ට 5523ක් හා මහින්දට 1967ක් ලෙස ද, මඩකලපුවේ ජනතා කැමැත්ත රනිල්ට 1,21,514ක් හා මහින්දට 28836ක් ලෙස දැක්විණ. ත්‍රිකුණාමලේ ප්‍රතිපලය රනිල්ට 92197ක් හා මහින්දට 55680ක් විය. එහෙම වුණේ උතුරේ ජනතාව ජාතික මැතිවරණවලදී ප්‍රභාට හෝ ද්‍රවිඪ සන්ධානයට අනුගතව කල්පනා නො කළ හෙයිනි. උක්ත වාර්තාගත මැතිවරණ වාර්තා අරුන් සිද්ධාර්ථන්ගේ ප්‍රකාශය තුළින් මතු නො වන්නේද? මා සිද්ධාර්ථන් ඉස්මතු කරන්නේ ඔහු හරහා ඇසෙන්නේ හැමදාමත් උතුර මෙන්ම උතුර පිළිබඳව පැවති නිර්දේශපාලනික ස්ථාවරය වේ. ප්‍රකාශකයාට අනුව මත විග්‍රහ නො කිරීම හෙවත් පුද්ගලවාදය පිටු දැකිය යුතුවේ.
1987දී ඉන්දු ලංකා ගිවිසුම් සංසිද්ධියේදී යාපානේ සංචාරය කළ විදේශීය මාධ්‍යවේදිනියක් යාපනේ වෙළඳ පොළේ මැල්ලුම් පලා විකුණන වට්ටි අම්මා කෙනෙකු ගෙන් මෙසේ ඇසුවාය.
“උතුර නැගෙනහිර එකතු කිරීම ගැන මොකද හිතන්නේ.....? පරිවර්තකයෙකු හරහා ඒ වට්ටි අම්මා තම උත්තරය පටන් ගත්තේ ප්‍රශ්නයකිනි.
“ඇයි උතුරෙ අපි කොළඹට එකතු කරන්නේ නැත්තේ ? අපට හොඳ එහෙමනේ එදාත් උතුරේ ජනතාව කල්පනා කළේ එක රටක ආර්ථික සාර්ථකත්වයකින් ජීවත් වීම මිස බෙදුම් වාදය ගැන නොවේ. මෙයින් අදහස් කළ යුත්තේ දකුණේ දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනතාව පොට වරද්දා ගෙන ඇති බවය. අප උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත යුත්තේ ඔවුන් තේරුම් ගැනීමෙන් මිස, 13 හෝ රට බෙදීම හරහා නොවන බවය.
ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාව වෙනුවෙන් ගාමිණි දිසානායක මුණ ගැසුණ මා ඉන්දු ලංකා ගිවිසුම හරහා ජන වාර්ගික ප්‍රශ්නයට පිළියම් ලැබේදැයි විමසිමි.
“කොහෙත්ම නැත...'' ලැබුණ උත්තරය එවැන්නකි. ගිවිසුම පැලැස්තරයක් කල් මැරීමක් පමණකි. ගිවිසුම් හෝ යුද්ධ හරහා මේ ප්‍රශ්නය අවසන් කළ නොහැකිය. ඔහු දුන් දීර්ඝ උත්තරය එ වැන්නකි.
“එසේ නම් විසඳුම කුමක්ද? මම යළි විමසා සිටියෙමි.
“එකම විසඳුම ජාතින් අතර සංහිඳීයාව පමණකි. ඔහුට අනුව වෙන්වූ පළාත්වල වෙළඳපොල දියුණු කර උනුන් මුණ ගස්විය යුතුවේ. මුදල් ඔවුන් සම්බන්ධිකරණය කරනු ඇත. මුලින්ම ප්‍රවාහනය දියුණු කළ යුතුවේ. ඒ සඳහා සාමය අවශ්‍ය වේ. අප මහනුවර මාඩුගොඩ සිට කලුගල හරහා පැය දෙක හමාරකින් ත්‍රිකුණාමලේට යා හැකි මාර්ගයක් සැලසුම් කරමින් සිටින්නෙමු. ඒ සමග ත්‍රිමලේ නගරය වෙළඳ මධ්‍යස්තානයක් කළ යුතුවේ. එවිට දිනකට යටත් පිරිසෙයින් පැය 12ක් ගණුදෙනුකරුවන් හත් අට දහසක් ගැවසෙන වෙළඳ නගරයක් බවට ත්‍රිමලේ පත්වනු ඇත. එයින් පසුව ත්‍රිකුණාමලේ යනු නැගෙනහිර නොව ලංකාවේ නගරයක් වේවි. ඉහතින් කී යාපනේ පෙලේ පලා විකුණන වට්ටි අම්මාත් ගාමිණි දිසානායකත් දැරුවේ එකම මතයක් නොවේද? එවැනි දර්ශනයක් රනිල් සතු බව උතුරේ ජනතාව දැන දනිති. 2005දීත් ඔවුන් රනිල් කෙරෙහි පැවකි තම විශ්වාසය තහවුරු කළහ. වට්ටි අම්මාගේ ප්‍රකාශය අර මාධ්‍ය වේදිනිය කොහෝ ලියන්නට ඇත. අමාත්‍ය ගාමිණි දිසානායක සමග මා කළ සාකච්ඡාව දෙසතිය සඟරාවේ පළ විය. මුළු සාකච්ඡාව ඇතුළත් හඬ පටයද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට භාර දුනිමි.
අරුන් සිද්ධාර්ථන් තමන් හඳුන්වන්නේ අම්බෙඩ්කාර් අනුගාමිකයෙකු ලෙස ය. කුල වශයෙන් බෙදුණ උතුරේ නල්ලුර් කෝවිලට යාමට ඇති තහංචිය නිසා වෙනස් මිනිසෙකු වීමට වෙර දරණ අරුන් සිද්ධාර්ථන්ට අම්බේඩ්කාර් කෙනෙකු හමුවන තෙක් ඔහු බැසිල් පසුපස යනු ඇත. කුරුඳු විහාර සිද්ධියේදී ඔහු කියන්නේ එකී භූමියෙහි හින්දු කෝවිලක් නො පැවති බවය. මා කියන්නේ බෞද්ධ නටඹුන් හමු වුණාට එකී භූමිය බෞද්ධ සිද්ධස්ථානයක් නොවිය යුතු බවය. ගිය සතියේ වව්නියාවේ මාධ්‍ය සාකච්ඡාවක් අතර සියඹලාගස්වැවේ විමලසාර නා හිමි ප්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කළ ප්‍රකාශයන්ද මගේ ස්ථාරවයට සමපාත වේ.
අරුන් සිද්ධාර්ථන්, පෝද්දල ජයන්ත මෙන්ම උපුල් කුමාරප්පෙරුම මුල් කර ගත් මේ ලිපිය, හරි කුමක්ද යන්න ස්පර්ශ කිරීමට අත් වැලක් වේවා. සාධනීය මතවාද වලින් බැහැරව අප කරන අරගලය සාරාංශ කිරීමකි. අප සක්මන් කරන්නේ බෙහෙවින් පටු තීරුවකය. වව්නියා මුලතිව් ප්‍රදේශවල මා රජකාරි කරද්දී සවස තුන පසු වුවද, වැඩබිම්වල නිලධාරින් රැඳී සිටිනු දැකිය හැකිය. වව්නියාවේම සිංහල කොටසේ පෙරවරු දහයෙන් පසුව වැඩබිම් නිලධාරින් දැකීමත් අසීරුය. හේතුව අප අපට අවංක නොවීම නො වේද? පෝද්දල දකින ඇත්ත උපුල් කලින් කලට මාරු කරයි. අරුන් සිද්ධාර්ථන් හැසිරෙන්නේ ලෝකයම තමන් ලෙස කල්පනා කරමිනි.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.