අවසානයේදී බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) පාර්ලිමේන්තුවට විවෘත විය. දැන් අපට එක් කතාවක් නිල වශයෙන් කිව හැකිය. තමන් සුදනන් යැයි යහපාලන ආණ්ඩුවට බැඳුම්කර හොරුන් යැයි කෑ ගැසු රාජපක්ෂ ආණ්ඩුව, බැඳුම්කර ගනුදෙනුවලින් ශ්‍රී ලංකා රජයට බිලියන ගණන් පාඩු සිදුකර ඇත. සුදනන්ගේ රෙදි ගැලවී ඇත. ඔවුන්ද බැඳුම්කර හොරු බව තහවුරුවී තිබේ. 

කොටින්ම 2015 සහ 2016 වංචාවලට සම්බන්ධ වූ අර්ජුන ඇලෝෂියස්ගේ පර්පෙක්චුවෙල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනු සඳහා ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරාගෙන තිබුණේත් කබ්රාල් යුගයේදී බව තහවුරු වී ඇත.

මාතෘකා 5ක් යටතේ වෝහාරික විගණන 5ක් සකස් කිරීම සඳහා ආණ්ඩුව ලොව ප්‍රමුඛතම මූල්‍ය උපදේශන සමාගම් දෙකකට කොන්ත්‍රාත් බාරදී තිබුණි. 

ඉන් 4ක් සකස් කළේ බීඩීඕ සමාගමය. එකක් සකස් කළේ කේපීඑම්ජී සමාගමය. මෙම සමාගම් දෙක තම ක්ෂේත්‍රයට අදාළව ලොව පවතින දැවැන්තම සමාගම් පහ අතර ඇති ලොව ගෞරවනීයම සමාගම්ය.

Badumkare text 27
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සමාගම් දෙකක් !

මුල් වාර්තා දෙකම බීඩීඕ සමාගම සකස් කළ ඒවාය. 2002 - 2015ට පෙර බැඳුම්කර ගනුදෙනු පිළිබඳව පළමු වාර්තාවක් සකස් කර ඇත.

එම කාලසීමාවේදී බැඳුම්කර ගනුදෙනුවලදී ඊපීඑෆ් අරමුදල කටයුතු කර ඇති ආකාරය පිළිබඳ දෙවැනි වාර්තාවෙන් සොයාබලා ඇත.

 බීඩීඕ නම් විගණක සමාගම ක්ෂේත්‍රයෙහි ලොව පස්වැනි විශාලම සමාගම වේ. රටවල් 162ක ඔවුන් කටයුතු කරනවා.
ඔවුන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 8කට වැඩි ලාභයක් උපයනවා.

බීඩීඕ සමාගම සකස් කළ තෙවැනි වාර්තාවෙන් 2015 සහ 2016 වසරවල බැඳුම්කර ගනුදෙනු ගැන සොයාබලා ඇත. 

තෙවැනි වාර්තාව ඊපීඑෆ් අරමුදලෙහි මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳව කේපීඑම්ජී සමාගම් සකස් කළ වාර්තාවය. 

මේ ක්‍රියාවලිය හරහා තෝරාගත්  KPMG ජාත්‍යන්තර සමාගම තම ක්ෂේත්‍රයෙහි ලොව දැවැන්තම විගණක සමාගම් හතර අතරින් එකකි. වසර 33ක් පැරණි මේ සමාගමේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 29.75 ක් වේ. සේවකයන් සංඛාව 219,281ක් වන අතර රටවල් 154ක් පුරා ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. 

පස්වැනි වාර්තාවෙන් සොයාබලා ඇත්තේ සම්පූර්ණ බැඳුම්කර ගනුදෙනුවලට අදාල ප්‍රාථමික ගැනුම්කරුවන් තෝරාගැනීමේදී මහබැංකුව කටයුතු කර ඇති ආකාරය පිළිබඳවය.

ඩීවීඩී තැටි ආකාරයට මන්ත්‍රීවරුන් වෙත:

ජනවාරි 21 වැනිදා එම වාර්තාව සභාගත කරන බව කතානායකවරයා කීය. එහෙත් ඒ වෙද්දීත් පාර්ලිමේන්තුවේ තිබුණේ වාර්තාවෙහි එක් පිටපතක් පමණි. ඉන්පසුව එම වාර්තාවේ ඊ පිටපතක් මහ බැංකුවෙන් ලබාදී තිබුණි. එය ඩීවීඩී තැටි ආකාරයට මන්ත්‍රීවරුන් වෙත ජනවාරි 22 වැනිදා ලබාදී තිබුණි. 

කෙසේ වෙතත් එලෙස ලබාදුන් පිටපතෙහි කොටසක් අඩුය. ඒ වාර්තාවට අදාල ඇමුණුම්ය. ඇමුණුම්වල ඒ ඒ සමාගම්වල පසුබිම් කතා ගනුදෙනු සිදුවූ ආකාරය ආදිය ගැන තොරතුරු ඇත. වැදගත් තොරතුරු රැසක් ඇමුණුම් විවෘත නොකීරීමෙන් යටපත් වෙයි. විශේෂයෙන්ම ඒවායින් යටපත්ව ඇත්තේ සෘජු නිකුතු ක්‍රමයට බැඳුම්කර ගනුදෙනු කිරීමට අදාළ තොරතුරුය. එනම් 2015ට පෙර වංචා ගැන තොරතුරුය.

කෙසේ වෙතත් වෝහාරික විගණනයෙන් ගණනය කර ඇති පාඩුව ගැන අපට කතාකළ හැකිය. බලාපොරාත්තු වූ ආකාරයෙන්ම වෝහාරික විගණන වාර්තාවෙන් වැඩිපුර හෙළිව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී සිදුවූ වංචා ගැනය.

Badumkara text 27 2අපූරු කාරණාව වන්නේ එම වාර්තා පාර්ලිමේන්තුවට නිකුත් වූ දිනට පසු දින කිසිම පුවත්පතකට එම පාර්තාවෙහි ඇති කරුණු පුවතක් නොවීමය. ජනවාරි 23 වැනිදා පුවත්පත්වල කතුවරුන් සංක්‍රාන්ති ලිංගිකයෙකුට දරුවෙක් ලැබීම , රණවිරුවෙකු තමාගේ බිරිඳ ඝාතනය කිරීම ඇතුළු වෙනත් පුවත් ඊටත් වඩා වැදගත් පුවත් ලෙස හඳුනාගෙන තිබුණි.

යහපාලයේ බැඳුම්කර වංචා ද අතිශය බරපතළ අපරාධයකි : බිලියන 6.6 පාඩුවක් !

වංචාවට, දූෂණයට එරෙහිව බලයට පත්වූ යහපාලන ආණ්ඩුව 2015දි සහ 2016 දී බැඳුම්කර වෙන්දේසිවලදී වංචා කිරීම අතිශය බරපතළ අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය ඉතා නින්දිත වංචාවක් විය. ඒ පිළිබඳව අප ඕනෑ තරම් කතාකර ඇත.

 යහපාලන ආණ්ඩුව සමයේදී අවම වශයෙන් රුපියල් බිලියන 6.6 පාඩුවක් බැඳුම්කර ගනුදෙනුවලින් සිදුවී ඇතැයි හතරවැනි වෝහාරික විගණන වාර්තාව ගණනය කරයි. එය උපරිම වශයෙන් බිලියන 9.6ක් දක්වා විහිද යා හැකි පාඩුවක් බව එම වාර්තාවෙන් පෙන්වයි. එම වාර්තාවෙන් බොහෝදුරට පෙන්වාදී ඇත්තේ දැනටමත් යහපාලන බැඳුම්කර වංචාව ගැන අප දන්නා කරුණුය.

සියල්ලන්ගේ කුතුහලය යොමුවී තිබුණේ ඒ දෙසට නොවේ. යහපාලන ආණ්ඩුවට පෙර වංචාවක් සිදුව තිබේද, එය කොතරම්ද යන්නය. 

වෝහාරික විගණන වාර්තාව නිකුත් වීමෙන් පසු පිළිතුර ඔව් යන්නය. එය සිතාගන්නට නොහැකි තරම් විශාල බවක් කිව යුතුය. විගණන වාර්තා කියවද්දී පෙනී යන්නේ එම වාර්තා වලින් ගණනය කර,  පෙන්වාදී ඇති තරමට වඩා එහා ගිය පුළුල් කතාවක් මෙම ගනුදෙනු පසුපස ඇති බවය.  ගජමිතුරු මූල්‍ය ගනුදෙනු එම වාර්තාවලින් පැහැදිලිව පෙනෙන්නට ඇත.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ඇතුළට ගත්තේ කබ්රාල් යුගයේදී:

ඇත්තෙන්ම යහපාලන බැඳුම්කර වංචාවලට මුල්වූ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනු සඳහා ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරාගෙන ඇත්තේද ඊට පෙර සමයේදී බව හෙළිවී ඇත. ඒ තෝරාගැනීමේ ක්‍රමවේදය පවා සැකසහිත බව පෙන්වා ඇත.

මේ සටහන ලියවෙන්නේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කොට, එය ලබාගෙන පැය කිහිපයක් තුළ එය අධ්‍යනය කිරීමෙන් පසුවය. ඒ නිසා මේ සටහන පදනම් කරගන්නේ එම වෝහාරික විගණන වාර්තාවලින් විවිධ අංශවල සිදුව ඇති පාඩුව පිළිබඳව සංක්ෂිප්තව දක්වා ඇති සටහන්ය. 

එම පාඩුව සිදුවී ඇත්තේ කෙසේද යන්න විස්තරාත්මකව කතා කරන්නට අපිට  අනාගතයේ ඕනෑ තරම් කාලය ඇත. මේ සටහනේදී වාර්තා පහෙන් පෙන්වාදී ඇති ප්‍රධාන කරුණු කිහිපයක් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නෙමු.

කතාව සරලව තේරුම් ගැනීමට සිහි තබාගත යුතු කරුණක්:

කතාව සරලව තේරුම් ගැනීමට සිහි තබාගත යුතු එක් කරුණක් ඇත. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුවේන්තුව බැඳුම්කර නිකුත් කරන්නේ ප්‍රාථමික ගැනුම්කරුවන් නම් පිරිස වෙතය. ප්‍රාතමික ගැනුම්කරුවන් ලෙස මහ බැංකුව හඳුනාගත් ආයතන ගණනාවක් ඇත. 

ඊපීඑෆ් අරමුදල, බැංකු සහ තවත් ආයතන මෙලෙස ගැනුම්කරුවන් ලෙස කටයුතු කරයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඒ අතරින් එකකි. ඔවුහු වෙත ක්‍රම දෙකකට බැඳුම්කර නිකුත් කරති.

ක්‍රම දෙකෙනක් එකක් සෘජු නිකුතු ක්‍රමයයි. දෙවැන්න වෙන්දේසි ක්‍රමයයි. 2015ට පෙර රාජපක්ෂ ආණ්ඩුව වැඩිපුර පාවිච්චි කළ ක්‍රමවේදය සෘජු නිකුතු ක්‍රමයයි. එම ක්‍රමය අනුව බැඳුම්කර නිකුත් කිරීමේදී එක් පාර්ශවයක් සමග සාකච්ඡා කොට එකඟ  වන වටිනාකමට සහ ඵලදා අනුපාතියක් ඇතිව ඔවුන්ට සෘජුවම බැඳුම්කර නිකුත් කරයි. 

ඔවුන් ඊට අඩුවෙන් වෙන්දේසි ක්‍රමය පාවිච්චි කර ඇත. වෙන්දෙසි ක්‍රමය අනුව බැඳුම්කරවල මිල තීරණය වෙන්නේ ඒ ඒ ප්‍රාථමික ගැනුම්කරුවන් ඉදිරිපත් කරන ලංසු අනුවය.

ඒ අනුව වඩා යහපත් ක්‍රමය ලෙස බැලූ බැල්මට පෙනී යන්නේ වෙන්දේසි ක්‍රමයයි. එහෙත් ලෝකයේ ඕනෑම භාණ්ඩාගාරයක් බැඳුම්කර නිකුත් කිරීමේදී සෘජු ක්‍රමය පාවිච්චි කරන අවස්ථා ඇත. ඒ නිසා අවශ්‍යතාව අනුව ක්‍රම දෙකම පාවිච්චි කළ හැකිය. 

දෙදෙනෙක් අතර එකඟතාවයෙන් පමණක් සෘජු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය පාවිච්චි කිරීමේදී ඊපීඑෆ් වැනි ආයතන සමඟ ගනුදෙනු කිරීම වඩා සුදුසු සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයයි. පෞද්ගලික අංශයේ ප්‍රාථමික ගැනුම්කරුවන්ට වෙන්දේසියක් නැතිව සෘජුවම බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවක් සිදුවීමේ ඉඩ වැඩිය. 


Badumkara text 27 3වෝහාරික විගණන වාර්තාවලින් පෙන්වා දෙන්නේ ඊපීඑෆ් ඇතුළු රජය භාරයේ පවතින ප්‍රභව හැර, පිටින් සිටින ප්‍රාථමික ගැනුම්කරුවන්ට සෘජු ක්‍රමය පාවිච්චි කරමින් බැඳුම්කර නිකුත් කිරීම සඳහා නිශ්චිත තීන්දුවක් මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගෙන නැති බවයි.

ඉහත කී ප්‍රාථමික ගැනුම්කරුවන්ට ද්විතීයික වෙළඳපොළේදී නැවත ඒ බැඳුම්කර අලෙවි කළ හැකිය. අලෙවි කර ලාභ ලැබිය හැකිය.

විධිමත් මෙහෙයුම් අත්පොතක් නැති බව:

ලංකාවේ බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විධිමත් මෙහෙයුම් අත්පොතක් නැති බව මීට පෙර විගණන වාර්තා සහ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් පෙනී ගිය කරුණකි. රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුවේ වාර්ෂික මෙහෙයුම් අත්පොත ඇත. එය මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිසි අනුමැතිය ලද එකක් නොවේ. ඒ බව වෝහාරික විගණනයෙන්ද පෙන්වාදී තිබේ. 

කෙසේ වෙතත් මුදල් මණ්ඩලය දැනුම් දී ඇත්තේ 2017 දී මහ බැංකුවේ හැම දෙපාර්තුමේන්තුවක්ම කටයුතු කිරීමේදී තම තමන්ගේ දෙපාර්තුමේන්තුවල වාර්ෂික  මෙහෙයුම් අත්පොත අනුව කටයුතු කළ යුතු බවට තීන්දුවක් ගෙන ඇති බවයි. 

2015 දී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩලයේ නිසි අවසරයක්ද නැතිව , තමන්ගේ බල  සීමාවට පිටින් ගොස් සෘජු බැඳුම්කර නිකුත් කිරීම නවත්වන ලෙස වාචිකව නියෝග කර ඇත.


පළවැනි වාර්තාව - බැඳුම්කර නිකුත් කිරීමේදී පාඩුවක් සිදුව ඇතිද යන කාරණාව:

පළවැනි වාර්තාවෙන් පෙන්වාදෙන්නේ 2002 සිට 2015 දක්වා කාලසීමාව තුළදී බැඳුම්කර නිකුත් කිරීමේදී පාඩුවක් සිදුව ඇතිද යන කාරණාවයි. 2008 න් පසුව රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව ඊපීඑෆ් ඇතුළු තමන් යටතේ පවතින ආයතන හැර පිටින් සිටින ප්‍රාථමික ගැණුම්කරුවන්ට සෘජුව බැඳුම්කර නිකුත් කරන්නට පටන්ගෙන ඇත. ඒ පිළිබඳව මුදල් මණ්ඩලයෙන් ප්‍රශන් කර නැත. එහෙත් ඒ පිළිබඳව මාසකිව මහ බැංකු අධිපතිවරයාට දැනුවත් කර ඇත.

බැඳුම්කර නිකුත් කිරීමේදී වැඩි ඵලදා අනුපාතියක් සමග බැඳුම්කර නිකුත කර ඇත. එය මහ බැංකුවට අවාසියකි. බැඳුම්කර මිලදී ගන්නා අයට වාසියකි. එලෙස වැඩි ඵලදා අනුපාතිකයක් සමඟ එම කාලසීමාවේදී නිකුත් කර ඇති බැඳුම්කර ප්‍රමාණය ලෙහෙසි පහසු නොවේ. රුපියල් බිලියන 337.30ක් වටිනා බැඳුම්කර එලෙස නිකුත් කර ඇත.

රුපියල් බිලියන 7763ක් වටිනා බැඳුම්කර නිකුත් කර ඇත්තේ ඒ වෙද්දීත් පැවති ද්විතීයික වෙළඳපොලේ ඵලදා අනුපාතිකයට වඩා වැඩි ඵලදා අනුපාතිකයක් සමගය. ඒ නිසාම සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 871.10කි.

Kab 27.01
ඉහත කී කතාව කියන්නේ රුපියල් බිලියන 43.87ක් වටිනා සෘජු නිකුතු 29කදී ඵලදා අනුපාතිකය කුමක්දැයි පැහැදිළි නැති පසුබිමකය. එම ගණුදෙනුවල ඵලදා අනුපාතිකය ද්විතීයික වෙළඳපොලේ අනුපාතිකයට වඩා වැඩි බව වාර්තාවෙන් කියයි. ඒ නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 18.71ක් බවද කියයි.

ඒ අනුව වැරදි ඵලදා අනුපාතිකය නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 889.81කි.

ගණුදෙනුව සිදුකිරීමට ගතව ඇති කාලය !

සෘජු බැඳුම්කර නිකුත් කිරීමේදි සිදුවූ තවත් වරදක් වෝහාරික වාර්තාවෙන් පෙන්වාදී තිබේ. ඒ බැඳුම්කර නිකුත් කිරීමට එකඟතා ඇති කරගැනීමෙන් පසුව එම ගණුදෙනුව සිදුකිරීම දක්වා ගතව ඇති කාලයයි. සාමාන්‍යයෙන් දින පහක්  ඇතුළත ගණුදෙනුව සිදුවිය යුතු වුණත් බිලියන 249.92ක් වටිනා ගණුදෙනු 195ක් සිදුව ඇත්තේ දින 5කට වැඩි කාලයක් ගතවී බවයි.

 ඒ අතරින් රුපියල් බිලියන 13.11ක් වටිනා ගණුදෙනු තීරණය කරන මොහොත වෙද්දී ද්විතීයික වෙළඳපොලට වඩා වැඩිවී ඇත. ඒ අනුව රජයට සිදුව ඇත්තේ පාඩුවකි.

පළවැනි විගණන වාර්තාවෙන් වෙන්දේසි ක්‍රමය පාවිච්චි කිරීම නිසා සිදුව ඇති පාඩුව පෙන්වාදී තිබේ. 2002 සිට 2004 දක්වා වෙන්දේසි පිළිබඳ තොරතුරු නැති නිසා එම වාර්තාවෙහි ඇත්තේ 2005 සිට 2015 දක්වා වෙන්දේසි ක්‍රමයෙන් සිදුව ඇති පාඩුවය. එම කාලයේදී රුපියල් බිලියන 558.08ක් වටිනා ගණුදෙනු වෙන්දේසි ක්‍රමයට කර ඇත. සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 6.03කි.

එම කාලයේදී බරපතල ගණයේ පාඩු සිදුව ඇත්තේ වෙන්දේසි ක්‍රමයෙන් නොවේ. සෘජු නිකුතු ක්‍රමයෙන්ය. 2002 සිට 2015 දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර ගණුදෙනු 4,670ක් සිදුකර තිබේ. එහෙත් සෘජු නිකුතු ක්‍රමයට වැඩිම ගණුදෙනු ප්‍රමාණයක් සිදුව ඇත්තේ 2005 සිට 2015 දක්වා කාලසීමාවට අදාලවය. සංඛ්‍යාව 4,504 කි. 2005 ජනවාරි 01 වැනිදා සිට 2015 පෙබරවාරි 28 වැනිදා දක්වා කාලසීමාවේදී සෘජු නිකුතු ක්‍රමටය බැඳුම්කර නිකුත් කිරීම නිසා සිදුව ඇති අවම පාඩුව රුපියල් බිලියන 10.47 උපරිම පාඩුව බිලියන 10.62ක් බව වාර්තාවෙන් පෙන්වයි.


ගජමිතුරන්

84330584 109345083848315 4251324853405089792 n
කෙසේ වෙතත් වෝහාරික විගණනයක රසවත් කොටස වන්නේ එවැනි විගණනයකදී ලබන පාඩුවට බැඳියාවත් අතර ගැටුම්, විශේෂ ලාභ ප්‍රයෝජන අතුළු කාරණා හේතුවී තිබෙනවාද යන්න සොයා බැලීමය. ඔවුන් තමන් සතුව ඇති සම්පත් පාවිච්චි කරමින් ඒවා ගැන සොයාබැලීම් කර ඇත.එම කරුණු ගැන පසුවට දීර්ඝව සාකච්ඡා කළ හැකිය. කෙසේ වෙතත් වැදගත් කරුණු කිහිපයක් මෙසේය.

ඇකුයිට් සෙකියුරිටීස් ප්‍රයිවෙට් ලිමිටඩ් නම් ප්‍රාථමික ගණුදෙනුකාර ආයතන වෙත නිකුත් කර ඇති සෘජු බැඳුම්කර නිකුතු අතරින් සීයට 80ක් 2013 - 2014 කාලසීමාවේදී ලබාදුන් ඒවාය. ඒ කාලසීමාවේදි එම සමාගමෙන් සිදුව ඇති පාඩුව මිලියන 60ක් පමණ වේ. 

එම කාලයේදී සංජීව ප්‍රනාන්දු සහ ගජන් දේවරාජන් ඇකුයිට් සෙකියුරිටීස් ආයතනය සමග සම්බන්ධව සිටි බව වාර්තාවෙන් පෙන්වාදෙයි. 

ඇකුයිට් සෙකියුරිටීස් ඩීඑෆ්සීසී සහ එච්එන්බී බැංකුවලට සම අයිතිය ඇති ආයතනයක් ලෙස ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇත.

 2014 වර්ෂයේ පුරාවට ඩීඑෆ්සීසී බැංකුවෙහි රවීන්ද්‍ර බාලකාන්ත තම්බයියා ඩීඑෆ්සීසී බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ඇත. 

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහෝදරයෙකු වන අමල් කබ්රාල් එච්එන්බී බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත.



2009 වර්ෂය වෙද්දී කොමර්ෂල් බැංකුවට නිකුත් කර ඇති බැඳුම්කර සංඛ්‍යාව තීරණාත්මකව වැඩිවී ඇත. 2008 දී බිලියන 3.55ක්ව තිබුණු ප්‍රමාණය 2009 වෙද්දී බිලියන 25.11ක් දක්වා වැඩිවී තිබේ. එම කාලයේචී නිහාල් ෆොන්සේකා සහ සිරෝමි නොයෙල් වික්‍රමසිංහ කොමර්ෂල් බැංකුව සමග කටයුතු කර ඇති බවත්, සිරෝමී නොඑල් වික්‍රමසිංහ අජිත් නිවාඩි කබ්රාල්ගේ සමීප ඥාතියෙකු බවත් පෙන්වාදෙයි.

ෆ්‍රස්ට් කැපිටල් නම් ආයතනයට 2008 දී රුපියල් බිලියන 20.51ක් වටිනා බැඳුම්කර නිකුත් කර ඇත. 2009 වර්ෂයේදී රුපියල් බිලියන 19.98ක් වටිනා බැඳුම්කර නිකුත් කර ඇත. එම කාලයේදී රුවන් ප්‍රසන්න සුගතදාස මහතා ෆ්‍රස්ටි කැපිටල් ආයතනය සමග කටයුතු කර ඇත. ඔහු බ්‍රවුන් සමාගම් ජාලයෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. 

ෆ්‍රස්ට් කැපිටල් ආයතනය මීට පෙර බ්‍රවුන්ස් සමාගම සහ පර්පෙචුවෙල් හෝල්ඩින්ස් ආයතනය සම අයිතිය තිබුණු ආයතනයකි. 

පර්පෙචුවෙල් හෝල්ඩින්ස් ආයතනය අර්ජුන් ඇලෝෂියස් ප්‍රමුඛ ඔහුගේ පවුලට අයත් ආයතනයක් විය.

 2015 බැඳුම්කර වංචාව සිදුවී දින හතරක් ඇතුළත පර්පෙචුවෙල් හෝල්ඩින්සි ආයතනය සතුව තිබුණු ෆ්‍රස්ට් කැපිටල්හි සීයට 50ක අයිතිය බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට්ස් සමාගමටම විකුණා ඇත. 

මේ කතාවෙන් පැහැදිළි වෙන්නේ පර්පෙචුවෙල් සමාගමේ පිරිස 2009 තරම් ඈත කාලයේ සිට මහ බැංකුවේ ගණුදෙනුවලට සම්බන්ධව සිට ඇති බවය.

Kab 27 3ඒ අනුව සෘජු බැඳුම්කර නිකුත් කිරීමේදී හඳුනාගත් පාර්ශවයන් ගණුදෙනුවලට සම්බන්ධ වී සිටි නිසා, එම ගණුදෙනු පසුපස හේතු ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වාදෙයි. ගණුදෙනු සිදුව ඇති ආකාරය පිළිබඳව ලැබී ඇති තොරතුරු  අධ්‍යනය කරද්දීත්,  ඉහත කී පුද්ගලයන් ගණුදෙනු සඳහා මැදිහත්ව ඇති බවද වෝහාරික විගණනය නිරීක්ෂණය කර ඇත.


දෙවැනි වාර්තාව : 2015ට පෙර ඊපීඑෆ් අරමුදල බැඳුම්කර ගණුදෙනු නිසා ලබා ඇති පාඩුව පිළිබඳව


දෙවැනි වාර්තාවෙහි ඇත්තේ 2015ට පෙර ඊපීඑෆ් අරමුදල බැඳුම්කර ගණුදෙනු නිසා ලබා ඇති පාඩුව පිළිබඳවය. විශේෂයෙන්ම ද්විතීයික වෙළඳපොලේදී බැඳුම්කර ගණුදෙනුවලට සහභාගී වෙමින් ඔවුන් ලබා ඇති පාඩුව පිළිබඳවය. ඊපීඑෆ් අරමුදල මහ බැංකු යටතේම පාලනය වෙන ආයතනයකි. එම විගණන වාර්තාවෙන්ද හෙළිවෙන කරුණු රැසකි. ඒවා ගැන දීර්ඝව විස්තර කිරීම පසුවට තබන්නේමු. දැනට සිදුව ඇති පාඩුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාවෛන් ගණනය කර ඇත.

ඒ අනුව වෙන්දේසි වලදී ඊපීඑෆ් අරමුදල රුපියල් මිලියන 12.31ක්, රුපියල් මිලියන 31.78ක්, රුපියල් මිලියන 13.50ක්, රුපියල් මිලියන 22.04ක් , රුපියල් මිලියන 16.08ක් වශයෙන් අවස්ථා කිහිපයකදී පාඩු ලබා ඇත.

සෘජු නිකුතු වලදී රුපියල් මිලියන 8.68ක් , රුපියල් මිලියන 4.53ක්, රුපියල් මිලියන 8.63ක් ආදී වශයෙන් අවස්ථා කිහිපයකදී පාඩු ලබා ඇත.

ඊට අමතරව සෘජු බැඳුම්කර නිකුතු වලදී රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුවෙන් අඩු ඵලදා අනුපාතියක් යටතේ බැඳුම්කර නිකුත් කිරීම නිසා අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන 256.37ක් හා රුපියල් මිලියන 8716ක් වශයෙන් පාඩු ලබා ඇත.

ද්වීතියික වෙළඳපොලේදී බැඳුම්කර මිලදී ගැනීමේදීත් ඊපීඑෆ් ආයතනය අවස්ථා කිහිපයකදී පාඩු ලබා ඇත.

 රුපියල් මිලියන 620.81ක්, රුපියල් මිලියන 26.46ක් රුපියල් මිලියන 68.83ක්, රුපියල් මිලියන 12.59ක්, රුපියල් මිලියන 5.34ක් ආදී වශයෙන් එම පාඩු ලැබීම ගණනය කර තිබේ.

වෝහාරික වාර්තාව ඊපීඑෆ් අරමුදලට එම කාලදීමාවේදී සිදුව ඇති සම්පූර්ණ පාඩුව ගණනය නොකරයි. එයට හේතුව වන්නේ ඇතැම් පාඩු එකනෙක එකතු කර  පෙන්විය නොහැකි කිසා බව ඔවුන් කියයි. 

කෙසේ වෙතත් එක් අවස්ථාවකදී බිලියන 8.71ක් පාඩු ලබා ඇති බව මතක තබාගත යුතුය. ඕනෑම පළවැනි වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වාදී ඇති බිලියන 10ක පාඩුවට එය එකතු කණ හැකිය. එවිට බිලියන 18 ඉක්මවයි.

තෙවැනි විගණනය: 

මෙම විගණනය කේ.පී.එම්.ජී. ආයතනයෙන් කර ඇත. එය ඊපීඑෆ් අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලෙහි ආයෝජනය කිරීමෙන් ලද පාඩුව ගණනය කර ඇත. කොටස් වෙළඳපොලෙහි ඊපීඑෆ් මුදල් ආයෝජනය කළේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිටය. විශාලම පාඩුවක් සිදුව ඇත්තේ ඒ සමයෙහිය. 

ඇත්තෙන්ම බරපතලම කාරණා හෙළි වන්නේ ඒ ගනුදෙනු වලින්ය. ඒ ගනුදෙනු ගැන විස්තර කිරීම ඉදිරියේදී වෙනම සිදු කරන්නට බලාපොරොත්තු වන්නෙමු. කෙසේ වෙතත් සිදුව ඇති පාඩුව පෙන්වාදිය හැකිය.

ඊපීඑෆ් මුදල් ආයෝජනය කිරීමේදී රුපියල් මිලියන 57,965 වටිනා ආයෝජන පාඩු ලබන අන්දමේ යෝජනා බව එම වාර්තාවෙන් පෙන්වාදෙයි. සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති මුදල එහි පෙන්වාවදී ඇත.

ඒ අනුව, 

# බ්‍රවුන් ඇන්ඩ් කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 1304.24ක පාඩුවක් ලබා ඇත. 

# සිලෝන් ග්‍රේන් එලවේටර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙහි ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 651.91ක පාඩුවක් ලබා ඇත.

# ගලධාරි හොටෙල්ස් ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන්  රුපියල් මිලියන 620ක පාඩුවක් ලබා ඇත. 

# කලම්බු ඩොක්යාඩ් සමාගමෙහි ආයෝජනයෙන් රුපියග් මිලියන 1868ක් පාඩු ලබා ඇත. 

# බුකිට් ඩාරාහ් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනයෙන් මිලියන 1707 ක් පාඩු ලබා ඇත. 

# කාර්සන් කුම්බර්බැච් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනයෙන් රුපියල් මිලියන 1625ක් පාඩු ලබා ඇත. 

# ශ්‍රී ලංකන් එයාලයින්හි ආයෝජනයෙන්  රුපියල් බිලියන 2.70ක් පාඩු ලබා ඇත.

ඉහත කී සමාගම් කිහිපයෙහි ආයෝජනය කරමින් සිදුව ඇත. පාඩු ලැබීම කිහිපය පමණක් එකතු කළොත් රුපියල් බිලියන 10 ඉක්මවයි. ඒ අනුව අප පෙර සඳහන් කළ බිලියන 18ට එකතු කළහොත් බිලියන 28කට වැඩිය.

Kab 27 4
වෝහාරික විගණන වාර්තා ඉතා විශාලය.දළ වශයෙන් අප ඉහත කී ගණනය කිරීම කළත්. සැබෑ ලෙස සිදුව ඇති පාඩුව වාර්තා තව තවත් අධ්‍යනය කිරීමෙන් පසුව පැහැදිළි කරගත යුතුය. 

සිදුව ඇති අපරාධ ගැන වෝහාරික විගණන වාර්තා මෙන්ම ඊට පෙර නිකුත්ව ඇති වාර්තාවල තිබෙන කරුණුද පදනම් කරගනිමින් ඉදිරියේදී විස්තරාත්මකව කතානරන්නට අපි බලාපොරොත්තු වන්නෙමු .

(තරිඳු උඩුවරගෙදර-  අනිද්දා) 

 

 

සබැඳි පුවත් :

'ජනපතිගේ ප්‍රතිපත්ති අනුව කබ්රාල්ව තියාගෙන ඉන්න බැහැ' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ 

ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ඇතුළට ගන්න 'බොන්ඩ් කින්' කබ්රාල් කෝල් දීලා !

රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි ! - යහපාලනයේ පාඩුව කෝටි 660 -960 අතර 

මහ බැංකු වෝහාරික වාර්තා : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !

මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02

කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...