The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පසුපස ඇති අදිසි හස්තයන් !

T

The Leader Desk

May 22, 2019 • 3:12 AM

මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පසුපස ඇති අදිසි හස්තයන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වරක් ව්‍යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප්‍රකට කියමනකි.
  • සිද්ධියට සති දෙකකට පෙරාතුව ලැබී තිබිණැයි කියන අනතුරු ඇඟවීම් පිළිබඳව යමෙකු නිසි පරිදි තත්පර වූයේ නම් එම සිද්ධිය වළක්වා ගැනීමට තිබුණු බව දැන් කවුරුත් දනිති.
  • මේ පටලැවිල්ලෙන් ගැලවීමට දේශපාලඥයන් ගන්නා ප්‍රයත්නය තුළ, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඔවුන්ගේ පහසු බිලි බවට පත්ව සිටිති.
  • නිලධාරීන් පමණක් නොව, මේ විනාශයට වගකිව යුතු දේශපාලඥයන් ද නීතිය ඉදිරියට පැමිණවිය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිනිස් ජීවිත 250 ක් බිළි ගත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව දිග් ගැස්සෙමින් තිබුණු ආරක්ෂක තත්වයේ පසුබැසීම් පිළිබඳ නාඩගම විස්තර කිරීමට එම කියමන මනාව ගැළපේ.

සිද්ධියට සති දෙකකට පෙරාතුව ලැබී තිබිණැයි කියන අනතුරු ඇඟවීම් පිළිබඳව යමෙකු නිසි පරිදි තත්පර වූයේ නම් එම සිද්ධිය වළක්වා ගැනීමට තිබුණු බව දැන් කවුරුත් දනිති. තවමත් නොදන්නා කාරණය වන්නේ, එසේ තත්පර නොවූ පුද්ගලයා කවුද යන්නයි.

ඒ කවුද යන්න තීන්දු වන්නේ, එම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ කාටද යන්න මත ය. විපක්ෂය එහි වගකීම පටවන්නේ ආණ්ඩුවට ය. ආණ්ඩුව එකිනෙකාට වරද පටවයි. මේ පටලැවිල්ලෙන් ගැලවීමට දේශපාලඥයන් ගන්නා ප්‍රයත්නය තුළ, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඔවුන්ගේ පහසු බිලි බවට පත්ව සිටිති.

නිලධාරීන් පමණක් නොව, මේ විනාශයට වගකිව යුතු දේශපාලඥයන් ද නීතිය ඉදිරියට පැමිණවිය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා කීවේය.

අඩු වශයෙන් ඒ ව්‍යසනයෙන් පසුව හෝ ආරක්ෂාව භාර අදාළ බලධාරීන් නින්දෙන් අවදි විය යුතුව තිබුණි. අළු ගසාබසා වැඩට බැසිය යුතුව තිබුණි. තවත් ව්‍යසනයක් ඇති නොවන තැනට වගබලා ගත යුතුව තිබුණි.

එකිනෙකා නිකුත් කළ ප්‍රකාශ දෙස බලන විට නම් එවැනි සහතිකයක් පෙනෙන්ට තිබුණි. රටේ ආරක්ෂාව සුරක්ෂිත බව බලධාරීහූ කියා සිටියහ. එහෙත් දෙමාපියන් තමන්ගේ දරුවන්ව පාසල් ඇරියේ නැත. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් 'සියයට අනූවක්' අත්අඩංගුවට ගෙන ඇති බව ඒ අතර ප්‍රකාශයට පත්විය.

 

වෙඩි ඛෙහෙත් ගබඩාව ගිනි ගැනීම...

 මේ අස්සේ මුස්ලිම් විරෝධී ප්‍රවණතාවක් රට පුරා පැතිරෙමින් පැවති බව හමුදා බුද්ධි සේවය පිළිබඳ මෙලෝ හසරක් නැති කෙනෙකුට වුවත් පෙනෙන්ට තිබුණි. මූණුපොතට යන ඕනෑම කෙනෙකුට එය පැහැදිලි විය. සාමාන්‍ය බුද්ධිය ඇති කෙනෙකුට වුවත් එය පෙනෙන්ට තිබුණි.

දේශප්‍රේමයේ නාමයෙන් රණවිරුවෝ බිහිවෙමින් සිටියහ. සියලූ මුස්ලිම් ජනයා මෙරටින් පිටමං කළ යුතු බව ඇතැම්හු කියා සිටියහ. තවත් අය, සිංහල ජාතිය වඳ කිරීම සඳහා මුස්ලිම් ජාතිකයන් වඳපෙති වගයක් ඔවුන්ගේ ආපන ශාලාවල පාවිච්චියට ගනිමින් සිටින බව කීහ. වෛද්‍ය විද්‍යාව අනුව එවැන්නක් සත්තකින්ම නොපවතින බව එහිදී වැදගත් නොවිණි.

මුස්ලිම් ව්‍යාපාරික ආයතන වර්ජනය කරන ලෙස තවත් සමහරු ඉල්ලා සිටියහ. ඒ ආයතනවල නම් පවා ප්‍රසිද්ධ කෙරුණි.

එසේ ගොඩගැසෙමින් තිබූ වෙඩි ඛෙහෙත් ගබඩාව ගිනි ගැනීම, කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය. ගිය සතියේ එය ගිනි ගත්තේය. සාහසික මිනිස්සු පාරට ආහ. මුස්ලිම් ජනතාවගේ දේපළ සහ පල්ලි විනාශ කළහ. මුලින් හලාවතින් පටන් ගත් එය, වයඹ පළාතේ තැන් කිහිපයකටත්, මිනුවන්ගොඩටත් පැතිර ගියේය. එහිදී එක පුද්ගලයෙකු පහර දී ඝාතනය කෙරුණු බව වාර්තා විය.

අඳුරු නීතිය පැනවුණි. එකී පහරදීම්වලට සම්බන්ධ යැයි සැක කෙරුණු පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගැනුණි. 'සිංහලයන් ආරක්ෂා කර ගැනීම' තමන් වෙත පවරා ගත් තවත් පුද්ගලයන් අත්අඩංගුවේ තබා ගැනුණි. බහුතර සිංහලයන් විසින් රටේ සුළුතරය- මෙවර මුස්ලිම් සුළුතරය- නිරන්තර ප්‍රහාරයන්ට ලක්කෙරෙන සැටි ජාත්‍යන්තරය තුළ පතළව ගියේය.

 

ඉබේ ඇති වූ දෙයක් නොව, සංවිධානාත්මකව ඇති කළ දෙයක්:

 මුස්ලිම්-විරෝධී මේ ක්‍රියා ඉදිරියේ ප්‍රශ්න කිහිපයක් මතුවෙයි. මේ කලහකාරී තත්වය ඇති වුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් නම්, ඒ පිළිබඳ දුකක් සහ පලිගැනීමක් හේතුවෙන් නම්, එය ඇති විය යුතුව තිබුණේ අප්‍රේල් 21 වැනි දා සිද්ධියට ආසන්නයේ ය.

උතුරේ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධියේදී කළු ජුලිය හටගත්තේ එලෙස ය. එහෙත් මේ අවස්ථාවේ කලබල ඇති වුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සති තුනකට පසුව ය. එබැවින් එය ඉබේ ඇති වූ දෙයක් නොව, සංවිධානාත්මකව ඇති කළ දෙයක් විය නොහැකිද? තත්වය එසේ නම් ඒ පසුපස ක්‍රියාත්මක වූ පුද්ගලයන් කවරහුද? ඔවුන්ගේ අරමණු කුමක් විණිද? ඔවුන්ගේ සැලැස්ම වුණේ 1983 කළු ජුලිය වැනි තත්වයක් නැවත ඇති කිරීමද? එසේ කොට රටට එරෙහිව විශාල විනාශයක් අත්පත් කර දීමද?

මේ පහරදීම් හටගැනුණේ වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ය. එම පළාත, ජාතිවාදී කෝලාහල සාමාන්‍යයෙන් උත්සන්න වන ප්‍රදේශයක් නොවේ. පාස්කු ඉරිදා වැඩියෙන්ම විපතට පත් කොළඹ එවැනි කිසි නොසන්සුන්තාවක් ඇති වුණේ නැත. එසේ වුණේ, වයඹ ලෙහෙසියන් පහර දිය හැකි ප්‍රදේශයක් වූ නිසාද? කොළඹ එවැනි දෙයක් දියත් කිරීම දුෂ්කර නිසාද?

කෙසේ වෙතත්, මේ වන විට සොයාගෙන ඇති තොරතුරු අනුව, මේ ප්‍රචණ්ඩත්වය හිතාමතා අවුළුවන ලද, මනාව සැලසුම් කොට සංවිධානය කරන ලද, දේශපාලනික අරමුණු පෙරදැරිව දියත් කෙරුණු ප්‍රහාර මාලාවක් බව පැහැදිලි ය.

මේ ප්‍රචණ්ඩත්වය නතර කිරීමට නම්, දේශපාලඥයන් තමන්ගේ හෙංචයියන්ව පාලනය කර ගත යුතුව ඇති බව කාදිනල්වරයා ප්‍රසිද්ධියේම කියා සිටීමෙන් පෙන්නුම් කෙළේ එයයි. මේ කරුණු අනුසාරයෙන් අප ඉදිරියේ මතු වන වැදගත් ප්‍රශ්නයක් තිබේ.

අපේ බුද්ධි සේවා පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසු ඉහළම අවධානයෙන් සිටියේ නම් සහ මේ ප්‍රහාරයන් ඉබේ ඇති වූ ඒවාත් නොවේ නම්, මෙවැනි සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පැවති බව අදාළ අංශ වෙන සන්නිවේදනය නොවුණේ කෙසේද යන්නයි, ඒ.

අදාළ සියලූ සංඥා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දක්නට තිබුණි. එහෙත් විවිධ ආගමික අංශවල නායකයන්ගේ ආයාචනාවන් නිසා ඒ විනාශය වැළැකුණි. එහෙත් සතියක් දෙකක් යන විට අපේ ආරක්ෂක අංශ සිය සුපරීක්ෂාව අත්හැර දමන ලද්දේද? 'දේශප්‍රේමීන්' වශයෙන් වෙස්වළා ගත් අවස්ථාවාදී ජාතිවාදීන්ට පාරට බසින්නට කවුළුවක් විවර කර දුන්නේ ඒ මගින් නොවේද?

 

දේශප්‍රේමීන් වශයෙන් වෙස්වලා ගැනීමට බලා සිටින දේශපාලඥයන්:

කැරලි කෝලාහල පිළිබඳ ආරංචි සැළවීමෙන් පසුව පවා වහාම ඒවා මැඩලීමට තරම් සූදානමක සන්නද්ධ හමුදා නොසිටියේය. ඒ නිසා තවත් ප්‍රදේශ කිහිපයකට පැතිර ගිය මේ ප්‍රහාර නිසා කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපළවලට අලාභහානි සිදු කිරීම් ඇති විය. එතරම් දුර යන්නට ඉඩ දුන්නේ ඇයි?

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බොහොමයක් දෙනා ඉතා කෙටි කාලයක් ඇතුළත කොටු කර ගැනීමට අපේ බුද්ධි අංශ සමත් විය. ඊට පසු ඒ පුද්ගලයන් කවුරුන්ද, ඔවුන් කටයුතු කොට ඇත්තේ කෙසේද යනාදියත් ජනතාවට දැන ගැනීමට සැලැස්වීය.

ඒ ආකාරයෙන්ම, මුස්ලිම්-විරෝධී කැරලි පසුපස සිටි අදිසි හස්තයන් හඳුනා ගැනීමටත්, ඔවුන්ව ජනතාව ඉදිරියේ නිරාවරණය කොට නීතිය ඉදිරියට පැමිණවීමටත් ඔවුන් සමත් වේද? පැහැදිලිවම, එය දුෂ්කර කටයුත්තක් නොවිය යුතුය. මන්ද යත්, මේ කියන සියලූ සිදුවීම් සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති බැවිනි.

මේ මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වය ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වීම අපේ වාසනාවකි. අඩු වශයෙන්, එය ලත් තැන ලොප් කර දැමීමට බලධාරීන් සමත්ව තිබේ. එහෙත් එය සෑහීමට පත්විය හැකි කාරණයක් නොවේ. ළඟ එන මැතිවරණ සහ ජනාධිපතිවරණ ඉදිරියේ මේ කියන ඕනෑම සිද්ධියක් තමන්ගේ වාසිය සඳහා පාවිච්චි කිරීමට බලාගෙන සිටින දේශපාලඥයන්ගෙන් අඩුවක් නම් නොතිඛෙනු ඇත.

පසුගිය සතියේ ඇති වූ සිදුවීම්වලින් උගත යුතු පාඩම වන්නේ, මහජනතාව නිරතුරුව පරීක්ෂාවෙන් සිටිය යුතු බවයි. ඒ, බෝම්බ ප්‍රහාරක ත්‍රස්තවාදීන් ගැන පමණක් නොව. දේශප්‍රේමීන් වශයෙන් වෙස්වලා ගැනීමට බලා සිටින දේශපාලඥයන් ගැනත් ජනතාව පරීක්ෂාවෙන් සිටිය යුතුය. එවැනි දේශපාලඥයන් නිසා රටට විය හැකි විපත්තිය, බෝම්බකරුවන් නිසා ඇති විය හැකි විනාශයට වෙනස් නැත.

(2019 මැයි 19 වැනි දා 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ ‘ස්පෙක්ටේටර්’ කොලම යටතේ පළවූ “The Hidden Hands behind the Anti-Muslim Riots" නැමැති ලිපියේ සිංහල පරිවර්තනය 'යහපාලනය ලංකා' අනුග්‍රහයෙනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...