ශ්‍රී ලාංකීය නවකතා වංශයේ දිගු පරිච්ඡේදයක් ආචාර්ය ගුණදාස අමරසේකර නමින් ලියවී තිබේ.
පසුගිය නොවැම්බර් 12වන දා 97වන විය සැපිරූ මේ ජ්‍යේෂ්ඨ සාහිත්‍යධරයා තම නවකතා චාරිකාව අරඹන්නේ 1955 වසරේ ''කරුමක්කාරයෝ'' රචනා කරමිනි. එය 2023 වසරේ රචනා කළ ''මහගෙදර'' දක්වා වූ දිගු චාරිකාවකි. ඒ අතර වූ එක් සුවිශේෂී නවකතාවක් විසිපස් වසරකට පසු විසිදුනු ප්රකාශනයක් ලෙසින් ජනගත කළේ ය; ඒ, ''ගන්ධබ්බ ආපදානය'' යි.
එය සිංහල නවකතා රස විඳින පාඨක ප්‍රජාව අත් නොහැරිය යුතු නවකතාවකි.
මතු පළ වන්නේ ගන්ධබ්බ ආපදානය පිළිබඳ විසිදුනු ප්‍රකාශන අධිපති ගෙවිඳු කුමාරතුංග සමග කළ සංවාදයකි.
· ගුණදාස අමරසේකර පිළිබඳ ඔබේ පළමු මතකය කුමක් ද…?
මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළමු වසර අවසානයේ දී තමයි අමරසේකර මහතා මා පළමුව හඳුනාගන්නෙ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ අමරසේකර මහතා ගේ කෘති තුනක් මුල්කරගෙන පැවැති සම්මන්ත්‍රණයක දී. ඒ කෘති තමයි ‘අබුද්දස්ස යුගයක්’, ‘අසත්‍ය කතාවක්' සහ ‘ප්‍රේමයේ සත්‍ය කතාව’. එදා ඒ කෘති පාදක කරගෙන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පියසීලී විජේගුණසිංහ මහත්මිය සහ ආචාර්ය නලින් ද සිල්වා දක්වපු අදහස් වෙන ම ලෝකයක් මට විවර කළා. ඊට පස්සෙ අමරසේකර ගේ ම ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?’ සහ ‘ගමනක මුල’ කෘති දෙක සම්බන්ධයෙන් ද සම්මන්ත්‍රණයක් පැවතුණා. මේ සම්මන්ත්රණ දෙක ම කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය මූලික වී සංවිධානය කළ සම්මන්ත්රණ. මහාචාර්ය කලෝ ෆොන්සේකා, තිස්ස අබේසේකර, ආචාර්ය දයාන් ජයතිලක, සයිමන් නවගත්තේගම යනාදි විද්වතුන් එහි දී අදහස් දැක්වූවා. ඉන්පසු අමරසේකර ගේ ම 'ගම් දොරින් එළියට' කෘතිය පළ වූ අවස්ථාවේ අපි, 'ගවේෂකයෝ' සංවිධානයෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. ඒ සඳහා ඔහුට ආරාධනා කරන්න ගිය අවස්ථාවේ දී, ඒ කාලයේ අමරසේකර මහත්තයා කොළඹ දන්ත වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා, එ තැන දී තමයි ඔහු මුණ ගැසී කතාබහ කරන්න පළමු ව අවස්ථාව ලැබෙන්නේ. ඇත්තට ම මට මේ සම්මන්ත්රණ නිසා තමයි වැටහුණේ සාහිත්‍ය කෘතියකින් වෙන ම ලෝකයක්, මවන්න පුළුවන් බව; වෙන ම දැනුමක් නිර්මාණය කරන්න පුළුවන් බව.
· ඔබ තමයි වර්තමානයේ අමරසේකරයන් ගේ ප්‍රකාශකයා. ඒ අවස්ථාව ඔබට උදාවෙන්නේ කොහොම ද…?

අමරසේකර මහතා දන්ත වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස විශ්‍රාම ගත් පසු සෞදිඅරාබියේ රාජකීය දන්ත වෛද්‍ය රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙසින් සේවය කළා. මේ නවසිය අසූහත, අසූඅට කාලයේ. ඔහු ලංකාවට පැමිණි අවස්ථාවක මගෙ අතට අත් පිටපතක් දීල කිව්වා, මම මේක රට යන්න පෙර මුද්‍රණය කරන්න දුන්නා, ඒත් බයට කවුරුත් මේක ප්‍රකාශයට පත්කරන්නේ නැහැ, ඒ නිසා පුළුවන් නම් එය ප්‍රකාශයට පත්කරන්න කියල. ඉතින් මම නලින් ද සිල්වා ආචාර්යතුමා ගෙන් අවසර අරගෙන චින්තන පර්ෂදයේ ප්රකාශනයක් ලෙසින් ඒ කෘතිය පළ කළා. ඒ තමයි ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ කෙටිකතා සංග්‍රහය.
· ඉන්පසු ඔබ ඔහු ගේ බොහොමයක් කෘති ප්‍රකාශයට පත් කරනවා. නමුත් දශක තුනකට ආසන්න කාලයක් ගතවුනාට පසුව යි ‘ගන්ධබ්බ අපදානය’ නවකතාව මුද්‍රණය වෙන්නේ. මේ නව මුද්‍රණයට පෙර ඔබ එය කියවා තිබුණා ද…?
නැහැ. මගේ විශ්වවිද්‍යාල ජීවියේ දී ඔහු ගේ කෙටිකතා සහ කවිවල රසිකයෙක් වුණාට ඔහු ලියූ මුල්කාලීන නවකතා කියවා තිබුණේ නැහැ.
· අමරසේකර ගේ කෘති ප්‍රකාශයට පත්කරන ඔබට ඇයි මෙ තරම් වසර ගණනාවක් තිස්සේ මේ කෘතිය මගහැරුණේ...?
එතුමා ගේ අසූවන ඡන්ම දිනය වෙනුවෙන් පැවැත්වූ ‘ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකන’ සංවාද මාලාවේ දී අපි තීරණය කළා එතුමා ගේ සියලු ම කෘති නැවත ප්‍රකාශයට පත්කරන්න. නමුත් එතැන දී යම් ගැටලුවක් ඇතිවුණා, මොකද කර්තෘවරයා ම ප්‍රතික්ෂේප කළ නවකතාත් නැවත මුද්‍රණය කරනවා ද කියල. පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමිපාණන් ප්රමුඛ ප්‍රත්‍යවලෝකන කමිටුවේ තීරණය වුණේ ඔහු ජාතියේ මහා ලේඛකයා නිසා ඔහු ගේ සියලු කෘති නැවත මුද්‍රණය කළ යුතු බව යි. ඒ අදහස මා අමරසේකර මහතාට දැනුම් දුන් පසු ව ඔහු කිවුවේ තමන් ගේ අනෙක් සියලු කෘති මුද්‍රණය කළාට පසු අවසානයේදී ‘යළි උපන්නෙමි’ සහ ‘දෙපා නොලද්දෝ’ මුද්‍රණය කරන්න කියලයි. ඒ අනුව අපි පළමු ව ඔහු ගේ කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, විචාර කෘති සියල්ල යළි ප්‍රකාශයට පත් කළා. අමරසේකර මහතා ප්‍රතික්ෂේප කළ කෘති තිබුණෙ නවකතා අතරේ. ඒ නිසා නවකතා ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදයට පත්වුණා. . අනෙක අමරසේකර මහතා මට නොයෙක් අවස්ථාවල කියවන්න දුන් කෘති තිබුණා, ඇතැම් කෘති කියවන්නයි යොමු කළ අවස්ථා තිබුණ. ඒත් ඒ කිසිම අවස්ථාවක ‘ගන්ධබ්බ අපදානය’ මතුවුණේ නැහැ. ඒ නිසා යි එය මග හැරුණේ. .
ඒ වගේ ම, ‘ගන්ධබ්බ අපදානය’ මහාචාර්ය සරච්චන්ද්‍ර සමග පේරාදෙණි සාහිත්‍යය පිළිබඳ ඇතිවුණ විවාදයෙන් පසු අමරසේකර මහතා තමා දෙස ආපසු හැරී බලා නිවැරැදි වීමේ අවශ්‍යතාව ප්‍රකාශයට පත්කළාට පසු ලියැවුණ පළමු නවකතාව. ඉතින් එතෙක් ඔහු ගේ කෘති විචාරයට බඳුන් කළ, පාඨක සමාජයට හඳුන්වාදුන් සරච්චන්ද්‍රයන් අතින් මේ පොත ඇගයුණේ නැහැ. ජාතිකවාදීන් අතින් ඔහු ගේ විවේචනයට ලක්වුණ මුල් කෘති සහ පැසසුමට ලක්වුණු පසුකාලීන කෘති අතර මැද කෘතිය තමයි ‘ගන්ධබ්බ අපදානය’. ඒ නිසා එම නවකතාව කාගේත් අවධානයෙන් ගිලිහුණු බවක් තමයි පෙනෙන්නෙ.
ඇත්තට ම එය අපට මගහැරී තිබුණු අතිදැවැන්ත කෘතියක්. අපි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාලයේ මේ නවකතාව මගහැරුණු එක ගැන තියෙන්නෙ විශාල දුකක්, කණගාටුවක්. ‘ගන්ධබ්බ අපදානය’ මා පෙර කියවා තිබුණා නම් මීට පෙර එය මුද්‍රණය කෙරෙනවා.
· මේ නවකතාව පළමු වරට කියවන බොහෝ දෙනෙක් ගේ අදහසත් අපට මේ නවකතාව කියවන්න මෙතරම් කාලයක් අතපසු වුණේ ඇයි කියන එක. ඇත්තෙන්ම එය අමරසේකර දරන ජාතික මතවාදය සම බැඳුණු නවකතාවක්. ඔහුටත් මෙතෙක් කල් මගහැරී තිබුණේ ඇයි...?
ඇත්තට ම මේ නවකතාව මුද්‍රණය නොකිරීමේ අදහසක් එතුමාට තිබුණේ නැහැ. මේ නවකතාව පළමුව ප්‍රකාශයට පත්වෙන්නෙ එක්දහස් නවසිය හැටහතරේ. දෙවැනි මුද්‍රණය නවසිය අසූපහේ. ඒක අමරසේකර මහතා ගේ කෘති සම්බන්ධයෙන් හරිම අභ්යවයයි. තෙවැනි මුද්‍රණය එන්නේ අනූහතේ. මේ මුද්‍රණ දෙක නැවත ප්‍රකාශයට පත්වෙන්නෙ ඔහු ගේ මැදිහත්වීමෙන්. ඒ නිසා කිසිම විටෙක මේ නවකතාව නැවත මුද්‍රණය නොකළ යුතු යි කියන අදහසක් ඔහුට තිබුණේ නැහැ. අසූව දශකයේ ඇතිවුණ සංවාදවල දී මතුවුණේ හැත්තෑඑකේ කැරැල්ල සහ ඒ තරුණ පරපුර අවබෝධ කර ගැනීම කියන කාරණය. ඒ අනුව අවධාරණය කෙරුණේ, ‘එක්ටැමෙන් පොළවට’, 'කතා පහක්', ‘අසත්‍ය කතාවක්’, ‘ප්‍රේමයේ සත්‍ය කතාවක්’ යනාදි කෘති. ඒ නිසාත් මේ නවකතාව මගහැරුණු බවයි මට හැඟෙන්නෙ.
· ‘ගන්ධබ්බ අපදානයේ’ ප්‍රධාන කථකයා ගුණරත්න. ඒ චරිතයට ගුණදාස අමරසේකර ගේ තරුණ කාලය බලපෑම් කර ඇති බවක් දැනෙනවා. ඔබට ගුණරත්නව දැනුණෙ කොහොම ද?
මට නම් මේ නවකතාවේ පෙනුන දේ තමයි ගුණරත්න සමාජයේ ඒ වෙද්දි තිබුණු අධිපතිවාදී නැතිනම් පොදු සමාජීය ප්‍රාර්ථනාවන්, දෙමාපියන් ගේ ප්‍රාර්ථනාවන් නොතකා හරවත් ජීවිතයක් ගතකරන්න උත්සාහ ගන්නා චරිතයක් විදිහට ඔහුට මුහුණදෙන්න වෙන අභියෝග. ඔහුට උපාධිය සම්පූර්ණ කරල පරිපාලන සේවයට ඇවිත් ඒ සමාජ ඉනිමගේ ඉහළට යා හැකිව තිබුණා. නමුත් ඔහු ඒ වෙනුවට පළමු ව තෝරගන්නෙ ගුරු වෘත්තිය. ඔහු ගුරුවරයෙක් විදිහට එන්නෙ තමන් ගේ ගමට. ගුණරත්න ගේ ජීවිතයේ අත්දැකීම්වලින්, බොරු ආටෝපවලින් මිදී සාරවත් ජීවිතයක් ගත කිරීමට සිහින දුටු ඉන්පසු පරම්පරාවේ තරුණයන්ට බොහොමයක් දේ ලබාගත හැකි යි.
· ගුණරත්න ගේ ජීවිතයට දැඩි බලපෑමක් කරන්නේ ඔහු වඩාත් ළංව ඇසුරු කරන රීටා නම් දෙමළ ජාතික හෙදිය. සිංහල-දෙමළ ප්‍රේමයක් අමරසේකර නවකතාවට ගෙන ඒමෙන් වෙනත් සංස්කෘතික කලාපයක් ගැන විවරණය කරනවා නේ ද?
මිතුරන් සමග ඇසුර, හිතවතුන් සමග ඇසුර, ඒ තුළ තව චරිතයක් හඳුනාගැනීම, තවත් ලෝකයක් අවබෝධ කර ගැනීමක්; ගවේෂණය කිරීමක්; ජය ගැනීමක්. මේ කතාව පුරාවට රීටා සමග ගොඩනැගෙන සම්බන්ධය තුළ ඇයව, ඇගේ සංස්කෘතිය අවබෝධ කරගන්න දරන ප්රයත්නයක් තියෙනවා. ඒ තුළ එක්තරා ආකාරයට ලංකාවේ ළඟාකර ගත යුතු ව ඇති සොඳුරු අත්දැකීම් සමුදායක් ඉතා සුන්දර ආකාරයට ලියැවී තියෙනවා. ඒ අත්දැකීම් අපිට මගහැරුණාදෝ කියන හැඟීමත් ඒ එක්ක මතුවෙනවා. එහි දුෂ්කරතාව රීටා සහ ගුණරත්න අතර සම්බන්ධය මල්පල නොදැරීම තුළ ම තියෙනවා.
රීටා සමග නුවර යන අවස්ථාවක දී වාහනය නතරවෙලා පණගන්නවන්න බැරිවුණා ම මිනිසුන් පිරිසක් වාහනය වටකර ගනිද්දී ඇයට සිහිවෙන්නෙ ජාතිවාදී කෝලහාල සමයේ දී ඇයට මුහුණ දෙන්න වුණු අමිහිරි, බිහිසුණු අත්දැකීම්. ගුණරත්න රීටා සමග නුවරඑළියේ යන තවත් අවස්ථාවක දී තේ දලු නෙළන දෙමළ ළඳුන් දුටු විට ගුණරත්න සහ ඇය අතර ඇතිවන සංවාදය.... ඒ සිදුවීම් අනිකා ගේ ලෝකය අවබෝධ කරගැනීමට අප සමත් වී නම්, අපට ගොඩනගා ගත හැකි ව තිබූ සොඳුරු ලොවක් ගැන ඉඟි කරනවා.
අපේ සමාජයේ බොහෝ අය විදේශගත වෙනවා. ඒ රැකියාවක් සඳහා ම නෙවෙයි, ලෝකය දැකගැනීම සඳහාත් විදෙස්ගත වෙනවා. නමුත් අප අතර ම වෙනත් ආකාරයක ලෝකයක් දැන හඳුනාගැනීමේ, ගවේෂණය කිරීමේ දොරටුවක් තිබිල තියෙනවා. ගුණරත්න-රීටා ඇසුර පුරා ම එය අපට දැනෙනවා.
· අමරසේකර තමන් ගේ නවකතා මඟින් අවධාරණය කරන කරුණක් තමයි මෙරට ගැමි උගත් තරුණයන් රටේ පාලනයට එන්න ඕන කියන එක. ගුණරත්න කියන්නෙ එහි පරමාදර්ශී තරුණයා. නමුත් ඔහු තමන් ගේ ප්‍රේමය සම්බන්ධයෙන්වත් තීරණයට එක්න බැරි චංචල චරිතයක්. එවැනි අයට රටක් පාලනය කළ හැකි ද?

ගුණරත්න ගේ ජීවිතය දිහා බැලුවාම ප්‍රේමය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, ඔහුට අලුත් ජීවිතයක අවශ්‍යතාව තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු කැපවෙන්න ලෑස්තියි. නමුත් ඒ කැපවීම දෙමව්පියන්ට වේදනාවක් ගෙන එන්නක් වනවිට ගුණරත්න තුළ චංචලභාවයක් ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු උපකොමසාරිස් තනතුර භාරගන්නව. සමාජයේ ඉණිමගේ ඉහළට යෑමට කටයුතු නොකළාට, ඒ බලු පොරයේ කොටස්කාරයෙක් නොවුණාට, ඒ ඉණිමගේ ම තමයි ඔහුත් යන්නෙ. බලලෝභී චරිත ගමන් කළ ආකාරයට ඔහු ගමන්කරන්නේ නැහැ වගේ ම සම්පූර්ණයෙන් ම ඔහු ඒ මඟ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එහෙම බැලුවා ම ප්‍රේමය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, වෘත්තීය සම්බන්ධයෙනුත් ඒක එහෙමයි.
අපි බැලිය යුත්තේ අමරසේකර පරමාදර්ශී චරිතයක් අප ඉදිරියේ තැබුවා ද කියන එක නෙවෙයි. උදාර පරමාර්ථ සහිත, නිදහස් අධ්‍යාපන ඉණිමගේ ඉහළට පැමිණි තරුණයාට මොකද වුණේ කියන එකයි ඔහු අප ගේ අවධානයට යොමු කරන්නේ.
ඇත්තටම ඒ තරුණයාට මොකද වුණේ...? අවසානයේ දී ගුණරත්න තමන් ගේ ජීවිතය වගේ ම තමන් අවට ජීවිතය ගැන කරන ආවර්ජනාවලියක් අපට දක්නට ලැබෙනවා. ඒ තුළ ජාතික හඬක් නගපු චරිත සම්බන්ධයෙන්, නැතිනම් ජාතික ඇඳුම ඇඳගෙන රඟපු චරිත සම්බන්ධයෙන් කෙරෙන දරුණු විවේචනයක් අපට දක්නට පුළුවන්.
· අමරසේකරයන් ගෙනඑන ඒ විචෙව්නය සමග ඔබ එකඟ ද?
ඔව්… අපි අවංක විය යුතු ය;. අපි නිවැරැදි විය යුතු යි.
ජාතික චින්තනය නිසා අමරසේකර මහතා පිළිබඳ එ තරම් පැහැදීමක නොසිටින පිරිස පවා ‘ගන්ධබ්බ අපදානය’ පිළිබඳ සාධනීය අදහස් දක්වනවා. ඇත්තට ම මම හිතන්නෙ අමරසේකර මහතා ගේ ජාතික චින්තනයට කැමැත්තෙන්වත් එයට අකැමැත්තෙන්වත් ඔහු ගේ නිර්මාණ දෙස බැලීම නොවියයුතු දෙයක්.
දෙවැන්න ඔහු ජාතිකත්වය ගැන දැක්වූ අදහස් වුණත් අපේ ජාතිකවාදීන් ගැඹුරින් අවබෝධ කර නොගැනීමක් තියෙන බව තමයි පෙනෙන්නේ. මේ කෘති කියවද්දී වෙන කිසිදු නවකතාකරුවෙක් නොකළ තරමට අමරසේකර මහතා ජාතිකත්වය සහ ජාතිකත්වය අනුව කටයුතු කළා යැයි හැඟෙන අය ගේ ජීවන පැවැත්ම ප්‍රශ්න කරනවා. ඇත්තෙන් ම ඒ ප්‍රශ්න කිරීම තමයි ජාතිකත්ව අදහස් දරණ අය අවබෝධකර ගත යුත්තේ. නමුත් බොහෝ මිතුරන් මේ ප්‍රශ්න කිරීම අත්හරිනව. ඒ ප්‍රශ්න කිරීම තුළ අපි නිවැරැදි වුණොත් පමණ යි අපට අනාගතයක් තියෙන්නේ.
· ගුණරත්නලා තවමත් ඉන්නේ ගන්ධබ්බ අවදියේ නේ ද? .
ඔව්… අමරසේකර මහතා පෙන්වාදුන් විසංවාදයට ඒ විදිහට ම අපිත් මුහුණ දුන්නා. අපි ජයගත්තෙත් නැහැ. අද අපි ස්වභාෂාවෙන් නෙවෙයි වැඩ කරන්නෙ. ටයිකෝට් ඇඳි සමාජයට අපේ පරපුර අමරසේකර ගේ පරපුරටත් වඩා වහල් වෙලා.
එතකොට අපේ දරුවන්ට... මේ ප්‍රශ්න විසඳලා, ඒ විසඳුම මත ගොඩනැගෙන ලෝකයකට දොර විවර කරන්න අපි තවමත් අසමත් වෙලා. අපේ දරුවන්ටත් අද මේ ප්රශ්නය සමග ගැටෙන්නවෙලා. මේ නිසා මේ කෘතියෙන් මතු කරන ප්‍රශ්න සියල්ල අදට සම්පූර්ණයෙන් ම අදාළයි. මේ සංවාදය ඒ සඳහා දායක වේ වා යන්න මගේ පැතුම යි.
· අමරසේකර ප්‍රතික්ෂේප කළ නවකතා දෙක ඉදිරියේ දී ප්‍රකාශයට පත්වෙනවා ද?
ඔව්… ‘යළි උපන්නෙමි’ සහ ‘දෙපා නොලද්දෝ’ සෝදු පත් බලමින් තියෙන්නේ. ඒවා අනිවාර්යයෙන් ම ප්‍රකාශයට පත් කරනවා.
පසුගිය නොවැම්බර 12වන දා අමරසේකර මහතා ගේ උපන්දිනය යි; දැන් ඔහුට වසර 97ක් වෙනවා. අපි එතුමාට නීරෝගී සුව, චිරජීවනය ප්‍රර්ථනා කරමු!
සංවාදය - ලක්මාල් බෝගහවත්ත
උපුටා ගැනීම - සතිඅග අරුණ, 2026 නොවැම්බර 16



