The Leader News
BREAKING
Top Ad
Life

නාන කාමරය තුළ හෘදයාබාධ ඇති වන්නේ ඇයි?

Awara

Awara

November 15, 2026 • 12:26 PM

නාන කාමරය තුළ හෘදයාබාධ ඇති වන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "බාත් රූම් එකේ ලිස්සලා වැටුණා" යන වදන අපට නිතර අසන්නට ලැබෙන්නකි.
  • ඇතැම් රෝගීන් සම්බන්ධයෙන් මෙන්ම මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් පිළිබඳව අප අසා තිබේ.
  • එහෙත් නාන කාමර අනතුරු සම්බන්ධයෙන් නිතර අසන්නට ලැබෙන මෙම 'ලිස්සා වැටීම' යන සිදුවීමට වඩා බරපතළ සෞඛ්‍ය අවදානමක් ඒ තුළ සැඟවී තිබිය හැකි බව බොහෝ දෙනෙක් නොදනිති.
  • එනම්, නාන කාමරය තුළදී හෘදයාබාධයක් හෝ වෙනත් හෘද වාහිනී පද්ධතිය ආශ්‍රිත හදිසි තත්ත්වයක් ඇති වීමේ අවදානමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"බාත් රූම් එකේ ලිස්සලා වැටුණා" යන වදන අපට නිතර අසන්නට ලැබෙන්නකි. ඇතැම් රෝගීන් සම්බන්ධයෙන් මෙන්ම මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් පිළිබඳව අප අසා තිබේ. එහෙත් නාන කාමර අනතුරු සම්බන්ධයෙන් නිතර අසන්නට ලැබෙන මෙම 'ලිස්සා වැටීම' යන සිදුවීමට වඩා බරපතළ සෞඛ්‍ය අවදානමක් ඒ තුළ සැඟවී තිබිය හැකි බව බොහෝ දෙනෙක් නොදනිති. එනම්, නාන කාමරය තුළදී හෘදයාබාධයක් හෝ වෙනත් හෘද වාහිනී පද්ධතිය ආශ්‍රිත හදිසි තත්ත්වයක් ඇති වීමේ අවදානමයි.

සාමාන්‍ය ජනතාවගෙන් සියයට දෙකක් පමණක් දිනකට විනාඩි 30ක් නාන කාමරයේ ගත කළ ද, හෘදයාබාධවලින් සියයට 8ත් 11ත් අතර ප්‍රතිශතයක් නාන කාමරය තුළදී වාර්තා වන බව ඇතැම් පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. මෙය හුදු අහඹු සිදුවීමක් නොවේ. ශරීරයේ රුධිර සංසරණය, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය කෙරෙහි බලපාන විශේෂ කාය විද්‍යාත්මක (Physiological) හේතු කිහිපයක්ම මේ සඳහා බලපායි.

වැල්සල්වා ක්‍රියාවලිය සහ මලපහ කිරීමේදී වෙර දැරීම


මෙහිදී සැලකිල්ලට ගත යුතු පළමු කාරණය වන්නේ වැසිකිළියේදී මලපහ කිරීම සඳහා අධික ලෙස වෙර දැරීම හෙවත් තැටමීමයි. වෛද්‍ය විද්‍යාවේදී මෙය වැල්සල්වා ක්‍රියාවලිය (Valsalva Manoeuvre – වසාගත් ශ්වසන මාර්ගයකට එරෙහිව බලහත්කාරයෙන් හුස්ම පිට කිරීමට උත්සාහ කිරීමේදී පපුව තුළ පීඩනය ඉහළ යන ක්‍රියාවලිය) ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී පපුව තුළ පීඩනය ඉහළ යාම නිසා හදවතට නැවත පැමිණෙන රුධිර ප්‍රමාණය තාවකාලිකව අඩු විය හැකිය. එමෙන්ම හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය ද වෙනස් විය හැකිය. මෙහිදී හෘද ස්පන්දනය ඇතුළු ශරීරයේ ස්වයංක්‍රීය ක්‍රියාකාරකම් පාලනයට දායක වන වේගස් ස්නායුව (Vagus Nerve – ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට අයත් ස්නායුව) ද උත්තේජනය වීම සිදු වේ.

මලපහ කිරීමේදී අධික ලෙස වෙර දැරීම නිසා පළමුව හදවතට පැමිණෙන රුධිර ප්‍රමාණය අඩු විය හැකි අතර, හෘද ස්පන්දනය මන්දගාමී වීමෙන් මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය ද අඩු විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස මලපහ කිරීමේදී ඇති වන ක්ලාන්ත තත්ත්වය හෙවත් මලපහ කිරීම ආශ්‍රිත සිහිසුන් වීම (Defecation Syncope) ඇති විය හැකිය. මෙහිදී Syncope යනු මොළයට තාවකාලිකව ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම නිසා ඇති වන කෙටි කාලීන සිහිසුන් වීමකි.

එමෙන්ම මලපහ කිරීම සඳහා වෙර දැරීම නතර කර සාමාන්‍ය ලෙස හුස්ම ගැනීම ආරම්භ කළ පසු රුධිර පීඩනය සහ හෘද ස්පන්දනය නැවත වෙනස් විය හැකිය.

විශේෂයෙන් පාලනය නොකළ අධික රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි හදිසි වෙනස්කම් අහිතකර විය හැකිය. ඇතැම් අවස්ථාවලදී මොළයේ රුධිර නාලයක් පුපුරා යාමෙන් ඇති වන මොළය තුළට රුධිරය වහනය වීම හෙවත් මස්තිෂ්ක රක්තපාතය (Cerebral Hemorrhage) හෝ හෘදය අසාමාන්‍ය වේගයකින් හෝ රිද්මයකින් ස්පන්දනය වීම හෙවත් හෘද ස්පන්දන රිද්මයේ අක්‍රමිකතාවක් (Arrhythmia) ඇති වීමේ අවදානම ද පවතී. පැහැදිලි පූර්ව ලක්ෂණ නොමැතිව නාන කාමරයේදී සිහිසුන් වීම ඇතැම් විට බරපතළ හෘද රිද්ම අක්‍රමිකතාවක සංඥාවක් විය හැකිය.

ජලයේ උෂ්ණත්ව වෙනස්කම් හදවතට බලපාන හැටි

නාන කාමරය තුළ හෘද වාහිනී පද්ධතියට බලපෑම් ඇති කරන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ උණුසුම් හා සීතල ජලය නිසා ශරීරයේ ඇති වන හදිසි උෂ්ණත්ව වෙනස්කම්ය. විශේෂයෙන් සෙල්සියස් අංශක 42ක පමණ උෂ්ණත්වයකින් යුත් උණු වතුරේ ස්නානය කිරීමේදී සමට ආසන්න රුධිර නාලවල විෂ්කම්භය පුළුල් වීම හෙවත් රුධිර නාල ප්‍රසාරණය වීම (Vasodilation) සිදු වේ. එමෙන්ම හෘද ස්පන්දන වේගය ද ඉහළ යා හැකිය. මෙවැනි වෙනස්කම් හේතුවෙන් රුධිර පීඩනයේ ද සැලකිය යුතු උච්චාවචනයන් ඇති විය හැකිය. එහෙත් සෙල්සියස් අංශක 42 යනු සෑම පුද්ගලයකුටම ආරක්ෂිත උපරිම ස්නාන උෂ්ණත්වයක් ලෙස සැලකිය නොහැකිය. විශේෂයෙන් වයස්ගත හා හෘද රෝග සහිත පුද්ගලයන් අධික උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් වැළකී සිටිය යුතුය. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37ත් 40ත් අතර මඳ උණුසුම් ජලය ස්නානය සඳහා වඩාත් සුදුසු විය හැකිය.

විශේෂයෙන් සීතල පරිසරයක සිට එකවරම උණුසුම් ජලයට ඇතුළු වීම හෝ උණුසුම් ජලයෙන් පිටතට පැමිණ සීතල පරිසරයට නිරාවරණය වීම ශරීරයේ රුධිර සංසරණ පද්ධතියට බලපෑම් ඇති කළ හැකිය. උෂ්ණත්වයේ මෙවැනි හදිසි වෙනස්කම් හෘදයට අමතර පීඩනයක් ඇති කිරීමට ඉඩ තිබේ. එමෙන්ම අධික උණුසුම් ජලයේ දිගු වේලාවක් රැඳී සිටීමෙන් දහඩිය දැමීම වැඩි වී ශරීරයේ ජල ප්‍රමාණය අඩු විය හැකිය. මෙය ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය අහිමි වීම හෙවත් විජලනය (Dehydration) ලෙස හැඳින්වේ. විජලනය නිසා රුධිර පරිමාව අඩු වීම සහ රුධිර සංසරණයේ වෙනස්කම් ඇති වීම ද හෘදයට අමතර බලපෑමක් ඇති කළ හැකිය.

වැඩි අවදානමක් ඇති පිරිස් සහ හුදෙකලා වීමේ අනතුර


මෙහිදී තවත් වැදගත් කාරණයක් වන්නේ නාන කාමරය තුළ තනිව සිටීම සහ හදිසි අවස්ථාවකදී උපකාර ලබාගැනීමට නොහැකි වීමයි. හෘදයාබාධයක්, හෘද රිද්ම අක්‍රමිකතාවක් හෝ සිහිසුන් වීමක් නාන කාමරය තුළදී සිදු වූ විට, එහි දොර වසාගෙන තනිව සිටීම නිසා අවශ්‍ය මොහොතේදී උපකාර ලැබීම ප්‍රමාද විය හැකිය. හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම ජීවිතය බේරාගැනීමේ අවස්ථාවට අහිතකර ලෙස බලපායි. එබැවින් මෙය හෘදයාබාධ ඇති වීමට සෘජු හේතුවක් නොවුණ ද, එවැනි හදිසි තත්ත්වයක් මරණයෙන් කෙළවර වීමේ අවදානම වැඩි කරන සාධකයකි.

විශේෂයෙන් වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. ජපානයේ නාන කාමර ආශ්‍රිත හදිසි මරණ පිළිබඳ දත්තවලින් ද වයස්ගත පුද්ගලයන් අතර මෙවැනි අවදානම් වැඩි බව පෙන්වා දී තිබේ. දැනටමත් හෘද රෝග, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ද වැඩි අවදානමක් පවතී. එමෙන්ම නිදන්ගත මලබද්ධයෙන් පෙළෙන පුද්ගලයන් ද මෙහිදී සැලකිලිමත් විය යුතුය. මන්ද මලපහ කිරීම සඳහා නිතර අධික ලෙස වෙර දැරීමට සිදු වීම හෘද වාහිනී පද්ධතියට බලපෑම් ඇති කළ හැකි බැවිනි.

බටහිර ක්‍රමයේ වැසිකිළි භාවිත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙහිදී ඇතැම් කරුණු සාකච්ඡා කෙරේ. විශේෂයෙන් වැසිකිළි ආසනයක වාඩි වී මලපහ කිරීමේදී ශරීරයේ පිහිටීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට වැඩි වෙරක් දැරීමට සිදු විය හැකිය. එහෙත් බටහිර වැසිකිළි භාවිත කරන සෑම පුද්ගලයකුටම ඇන තබා ගන්නා (ස්කොට් ක්‍රමයේ) වැසිකිළි භාවිත කරන පුද්ගලයන්ට වඩා තුන් ගුණයක පීඩනයක් දැරීමට සිදු වන බවට වන ප්‍රකාශය පොදු විද්‍යාත්මක නිගමනයක් ලෙස සැලකිය නොහැකිය.

අනතුරු වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර


මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා සරල ජීවන රටා වෙනස්කම් කිහිපයක් අනුගමනය කළ හැකිය. පළමුව මලබද්ධය ඇති වීම වළක්වා ගැනීම වැදගත්ය. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, තන්තු බහුල ආහාර ගැනීම සහ දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම ප්‍රයෝජනවත් වේ. දිනකට ජලය ලීටර් දෙකත් තුනත් අතර ප්‍රමාණයක් පානය කිරීම ඇතැම් පුද්ගලයන්ට සුදුසු වුව ද, වකුගඩු හෝ හෘද රෝග හේතුවෙන් දියර පානය සීමා කර ඇති අය තම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

එමෙන්ම වැසිකිළියේ දිගු වේලාවක් රැඳී සිටීමෙන් වැළකිය යුතුය. විශේෂයෙන් විනාඩි දහයකට වඩා වැඩි කාලයක් වැසිකිළි ආසනයේ වාඩි වී මලපහ කිරීමට වෙර දැරීම සුදුසු නොවේ. ජංගම දුරකථනය භාවිත කරමින් අනවශ්‍ය ලෙස වැසිකිළියේ කාලය ගත කිරීමෙන් ද වැළකීම වැදගත්ය. උණු ජලයෙන් ස්නානය කිරීමේදී ද ජලයේ උෂ්ණත්වය අධික නොවීමට වගබලා ගත යුතුය. සීතල පරිසරයක සිට එකවරම අධික උණුසුම් ජලයට ඇතුළු නොවී, ශරීරයට ක්‍රමයෙන් උෂ්ණත්වයට හුරු වීමට ඉඩ සැලසීම සුදුසුය.

ස්නානය කිරීමෙන් හෝ වැසිකිළි භාවිතයෙන් පසු නැගිටින විට ද හදිසියේ නැගිටීමෙන් වැළකී සෙමින් නැගිටිය යුතුය. එසේ නොවුවහොත් වාඩි වී සිටින හෝ වැතිරී සිටින ඉරියව්වෙන් නැගිටින විට රුධිර පීඩනය අඩු වීම හෙවත් රුධිර පීඩනය හදිසියේ පහළ යාම (Orthostatic Hypotension) නිසා ක්ලාන්තය හෝ සිහිසුන් වීම ඇති විය හැකිය. විශේෂයෙන් වයස්ගත පුද්ගලයන් නාන කාමරයේ දොර ඇතුළතින් අගුළු නොදමා සිටීමත්, හදිසි අවස්ථාවකදී ඔවුන්ට උපකාර කළ හැකි අයකු ඒ ආසන්නයේ සිටීමත් වැදගත්ය.

මිථ්‍යා මත සහ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා

තවත් වැදගත් කරුණක් වන්නේ නාන කාමරයේදී හිසට මුලින් ජලය දැමීම හෝ පාදවලට මුලින් ජලය දැමීම නිසා හෘදයාබාධ ඇති වන බවට පවතින ජනප්‍රිය විශ්වාසයයි. එවැනි ක්‍රමවේදයක් මගින් හෘදයාබාධ වළක්වා ගත හැකි බවට හෝ එසේ ජලය දැමීමෙන් හෘදයාබාධ ඇති වන බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැත. එබැවින් අවධානය යොමු කළ යුත්තේ ජලය දැමීමේ පිළිවෙළට වඩා ජලයේ උෂ්ණත්වය, හදිසි උෂ්ණත්ව වෙනස්කම් සහ මලපහ කිරීමේදී අධික ලෙස වෙර දැරීම වැනි කරුණු කෙරෙහිය.

ඒ අනුව නාන කාමරය තුළ ඇති වන හෘදයාබාධ හා වෙනත් හදිසි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී වැල්සල්වා ක්‍රියාවලිය, උෂ්ණත්වයේ හදිසි වෙනස්කම් සහ හදිසි අවස්ථාවකදී උපකාර ලබාගැනීමට නොහැකි වීම යන කරුණු තුන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙය හුදෙක් නාන විලාසිතාව හෝ නාන කාමරයේ ගත කරන කාලය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය, හෘදයේ ක්‍රියාකාරිත්වය සහ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය සමඟ සම්බන්ධ වූ කරුණකි.

එහෙත් මෙවැනි සියලුම මරණ සරල ජීවන රටා වෙනස්කම් මගින් වැළැක්විය හැකි බවට සහතිකයක් දිය නොහැකිය. එබැවින් නිතර ක්ලාන්තය ඇති වීම, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව හෝ හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වේගවත් වීම හෝ අක්‍රමවත් වීම වැනි ලක්ෂණ පවතී නම් ඒවා නොසලකා නොහැර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. පපුවේ තද වේදනාවක්, හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ සිහිසුන් වීමක් ඇති වුවහොත් එය හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක් ලෙස සලකා වහාම උපකාර ලබාගැනීම අත්‍යවශ්‍යය.

මූලාශ්‍ර සබැඳිය: විනිවිද වෙබ් අඩවිය

වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හෘදවේද විශේෂඥ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

View all stories by වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...