අවසාන තරගයට ඉන්දියාව පිවිසියේ භූතානයෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය වළක්වා ගනිමින්.
තරගයේ අවසන් තත්පරයේදී ද භූතානය ට ගෝලයක් ලබා ගෙන තරගයේ ගෝල 2-2ක සම තත්ත්වයට ඒමට අවස්ථාවක් උදා වූව ද, පන්දුව හිසෙන් දැල තුළට යොමු කිරීමට ඔවුන්ගේ ක්රීඩකයා අසමත් වුණා.
තරගයේ පළමු භාගය අවසන් වන විට ඉන්දියාව ගෝල 2-0කින් පෙරමුණ ගෙන සිටියා. නව වැනි මිනිත්තුවේදී ඉන්දියාවේ පළමු ගෝලය වාර්තා වූ අතර දෙවැනි ගෝලය ලබා ගත්තේ 27 වැනි මිනිත්තුවේ.
සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියක ප්රථම වතාවට අද තරගයේ 48 වැනි මිනිත්තුවේදී VAR ක්රමවේදය යොදා ගැණුනා. ඒ, භූතාන ක්රීඩකයෙක් පන්දුව හිසෙන් දැල තුළට එල්ල කිරීමේදී ඔහු ‘ඔ්ෆ් සයිඩ්’ වී සිටියේදැයි පරීක්ෂා කිරීම සඳහායි. ඒ ක්රමවේදයේ වටිනාකම තහවුරු කරමින් භූතාන ගෝලයට VAR අනුමැතිය ලැබුණා.
මෙයින් නව ජීවයක් ලබා ගත් භූතාන කණ්ඩායමෙන් ඉක්බිති ප්රදර්ශනය වුණේ දඩි සටන්කාමී ක්රීඩාවක්. එහි එක් ප්රතිඵලයක් වශයෙන් ඔවුන්ට 53 වැනි මිනිත්තුවේදී ගෝලයක් මඟ හැරුණු අතර 61 වැනි මිනිත්තුවේදී ‘කහ කාඩ්පතක්’ ද නිකුත් කෙරුණා.
VAR නිසා ඉන්දියාවට පෙනල්ටියක් අහිමි වෙයි
65 වැනි මිනිත්තුවේදී පන්දුව භූතාන ක්රීඩකයෙකුගේ අතේ වැදුනු බවට විනිසුරු තීරණය කරමින් ඉන්දියාව ට පෙනල්ටියක් ලබා දුන්න ද ඉන්දියාව එම පෙනල්ටිය එල්ල කිරීමට සැරසෙමින් සිටියදී පන්දුව ක්රීඩකයාගේ අතේ නොවැදුනු බවට VAR විසින් පෙන්වා දෙනු ලැබුවා. පිටියේ රූපවාහිනී තිරයෙන් එම අවස්ථාව නැරඹූ තරග විනිසුරුවරයා ඉන්දියාව ට එම පෙනල්ටිය ලබා ගැනීම අහෝසි කළා.
දෙවැනි භාගය පුරා භූතානය වෙතින් එල්ල වූ ප්රබල තර්ජනය හමුවේ මහත් පරිශ්රමයක් දැරීමට ඉන්දියාව ට සිදුවුණුත් අවසානයේදී ඔවුන් ජයග්රාහකයින් වෙමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
-වර්නන් ගුණසේකර
ක්රීඩා සංස්කාරක



