The Leader News
BREAKING
භාණ්ඩාගාරය පුරවලා නැහැ, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ - නාමල්●ලාෆ් ගෑස් මිල සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අතර උණුසුම් ගැටුමක්●සටන් පාඨ අතහැර ආර්ථික දැක්මකට යන්නැයි දිලිත් ඉල්ලයි●පදක්කමට පසු අවදිවන මාධ්‍ය සහ පහසුකම් නොදෙන පරිපාලනය!●නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව●සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!●බහුපාර්ශ්විකවාදයෙන් ඔබ්බට ගෝලීය බලයේ නව නීති සහ ඉන්දියාවේ අභියෝග | මිලින්ද මොරගොඩ●‘කස්තුරි සුවඳ’ පිටුපස සැඟවුණ දුගඳ කතාවක්●අතීතයේ අපේ වගකීම පක්ෂය වුණාට දැන් අපේ වගකීම රටේ ජනතාවයි - ජනාධිපති අනුර කුමාර දිසානායක●70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය●
Top Ad
පුවත්

භාණ්ඩාගාරය පුරවලා නැහැ, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ - නාමල්

Pasan

Pasan

November 14, 2026 • 8:44 PM

භාණ්ඩාගාරය පුරවලා නැහැ, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ - නාමල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු කථානායකතුමනි, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ.
  • රුපියල් 100කටම රුපියල් 85ක් ණය ගන්නවා.
  • මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදන්න, ගොඩනැගිල්ලක් හදන්න ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලිවලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු කථානායකතුමනි, රුපියල් 85ක් ණයට ගන්නවා.
  • ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අමතමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

"භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු කථානායකතුමනි, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ. රුපියල් 100කටම රුපියල් 85ක් ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදන්න, ගොඩනැගිල්ලක් හදන්න ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලිවලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු කථානායකතුමනි, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා. ඉතුරු ටික තමයි ඔය රාජ්‍ය ආදායමෙන් ඔබතුමාලා ඔය වාහන නතර කරලා, ඉතුරු කරලා, ටැක්ස් ගහලා ඔක්කොම කරලා ගන්න විදිහට ටික දානවා" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

අයවැය කතාව සහ කාලාම සූත්‍රය

"විවාදයට සම්බන්ධ වුණාම මම එක කාරණයක් සම්බන්ධයෙන් සතුටු වෙනවා. ගරු ජනාධිපතිතුමත්, ඔබතුමන්ලාත් මීට පෙර විශ්වාස කළේ බෝධි පූජා පවත්වන එක, පන්සල් යන එක, කෝවිල් යන එක, වෙහෙර විහාරස්ථානවලට වන්දනාමාන කරන එක ගෝත්‍රිකයි කියලා තමයි ඔබතුමා එදා විශ්වාස කළේ.

හැබැයි මම සතුටු වෙනවා ඔබතුමාලා අවුරුදු දෙකක් අයවැය කියවලා, තුන්වෙනි අයවැය ඉදිරිපත් කරනකොට ඔබතුමන්ලාගේ ගරු ජනාධිපතිතුමාට ගරු කථානායකතුමනි තමන්ගේ කතාව අවසන් කරන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මතක් කරලා. ඒ තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා.

හැබැයි කාලාම සූත්‍රය ගැන එතුමන් සඳහන් කළා. ඉතින් ඒකේ අර්ථය අවබෝධ කරගෙන ගරු ජනාධිපතිතුමා ඔය ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය අතහැරලා මධ්‍යස්ථව මේ ගැටලු දිහා බලන්න පුරුදු වුණා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු පරිදි, මම හිතනවා එතුමාගේ ජීවිතයත් රටේ ජනතාව සතුටු කරවන ගමනක් ගැන මේ කතා කරන්නේ. එතුමාටත් ජීවිතය සතුටින් ජීවත් වෙන්න පුළුවන්, අවංකව රටේ ජනතාව සතුටු කරන තැනකට මේක පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නොවුණොත් ඔබතුමන්ලාට සදාකාලික බොරු කියමින් තමයි ගරු කථානායකතුමනි ජීවත් වෙන්න වෙන්නේ මේ ආණ්ඩුවත්, ආණ්ඩුව කෙරුවට පස්සෙත්, ආණ්ඩු කරන කාලසීමාව තුළත්."

ආර්ථික වර්ධනය සහ උද්ධමනය

"දැන් බලන්න ඔබතුමාලා 2025 ආණ්ඩුව භාරගෙන ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා 2024 වෙනකොට ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා. 7%කට. ඔබතුමාලා භාරගන්නකොට 5.3%යි. දැන් ඔබේ ජනාධිපතිවරයා තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා තියෙනවා.

ඔබතුමාලා ආණ්ඩුව භාරගන්නකොට උද්ධමනය සෘණ අගයක් තිබ්බේ. සෘණ අගයක්. ඔබතුමාට අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3%යි. 8.3%යි සෘණ අගයේ ඉඳන්. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අවම 10%කින් වැඩි වෙලා තියෙනවා. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකින්ම. ඔබතුමාලා භාරගන්නකොට ඩොලර් එක 295යි, ඒ මාසය ඇතුළත. අද 332යි.

ඒකට ඔබතුමාලට ලෝකයේ ප්‍රශ්න පෙන්නන්න පුළුවන්, යුද්ධ යනවා කියන්න පුළුවන්. හැබැයි ඉතින් මේ හැම කාරණයක් ඇතුළෙන්ම ආර්ථිකය කළමනාකරණය කිරීමේ වගකීම ඔබතුමන්ලාට තියෙනවා."

පෝසතා පෝසත් කරන බදු ප්‍රතිපත්තිය

"දැන් බදු ප්‍රතිපත්තිය. දැන් ගරු කථානායකතුමනි මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පෝසත් මනුස්සයා තවදුරටත් පෝසත් කරන්නත්, දුප්පත් මනුස්සයා තවදුරටත් දුප්පත් කරන්නත් හදපු බදු ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරන්නේ. දැන් පසුගිය කාලේ අපිත් දිගින් දිගටම ඔබට මතක් කළා මේ පාසල් දරුවන්ගේ පොත්පත්වලින් වැට් එක අයින් කරන්න කියලා. ඒක හරි, දැන් කරලා තියෙනවා.

හැබැයි අත්‍යවශ්‍ය ආහාරවල, කිරිපිටිවල, බෙහෙත්වල වැට් බද්ද අයින් කරන්න ඔබතුමාලා එදා මැතිවරණ කාලේ... මම මේ මැතිවරණ කාලේ ඔබතුමාලා කරපු 'විට්ස් කාර් ගෙනේනවා' අරවා මේවා දැන් මතක් කරන්නේ නැහැ. මොකද එදා කියපු ඒවා බොරු කියලා ඔප්පු කරලා හැම අයවැයකින්ම අලුතෙන් බොරු කියලා තියෙනවා ඔබතුමන්ලාගේ ආණ්ඩුව. හැම අයවැයකින්ම අලුතෙන් බොරු කියලා තියෙනවා.

ඒ හින්දා ඒවා ගැන අපි ඔබතුමන්ලාට මතක් කරන්න යන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් දැන් ඔබතුමන්ලා පහුගිය කාලසීමාව තුළ කතා කරපු කාරණා තියෙනවනේ ගරු කථානායකතුමනි. දැන් ඔබේ බදු ප්‍රතිපත්තියෙන් සහන ලබන්නේ, ප්‍රතිලාභ ලබන්නේ කෝටිපති ව්‍යාපාරිකයෝ. දැන් ස්මාර්ට් මීටර්ස් දෙනකොට නොමිලේ. හොඳයි. හැබැයි ඔබ ස්මාර්ට් මීටරේ දෙන්නේ කාටද? යුනිට් 180ට වැඩි අයට. ඒ කියන්නේ ලංකාවේ වැඩියෙන්ම විදුලිබිල ගෙවන කෝටිපතියන්ට තමයි නිකන් ස්මාර්ට් මීටරේ දෙන්නේ.

දැන් මේ රටේ කර්මාන්තවල, ව්‍යවසායකයන්ගේ, දුප්පත් මනුස්සයන්ගේ විදුලිබිල අඩු කරන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? දැන් ජනාධිපතිවරයා කතා කරනවා කමිටුවක් දාන්න, නැත්නම් සාකච්ඡා කරනවා IMF එකේ ඉන්නවද නැද්ද කියලා. හරි. IMF එකේ ඉන්නවද නැද්ද කියන කාරණය නෙවෙයි. මේ රටේ ආර්ථිකයට අවශ්‍ය අලුතෙන් ආයෝජකයෝ ගේන්න ඔබතුමාලගේ වැඩපිළිවෙළ මොකක්ද?"

ආයෝජකයින් පන්නා දැමීම සහ රාජ්‍ය නිලධාරීන්

"දැන් ඒ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා අපි අලුතෙන් යුනිට් එකක් හදනවා, ඒකට මේ සාමාන්‍ය පඩි හරියන්නේ නැහැ, වැඩිපුර පඩි ගෙවලා හරි අලුත් අය ගේන්න ඕනේ කියලා. ඔව්, ඒ පරිවර්තනය වෙන්න ඕනේ. හැබැයි ඒ පරිවර්තනය වෙන්න ඔබතුමාට අවුරුදු දෙකකට පස්සේ ඔබතුමා ඒ පරිවර්තනයක් ගැන කතා කරනකොට රටේ හිටපු ආයෝජකයෝ කී දෙනෙක් හැරිලා ගියාද?

දැන් 2005–2015 කාලසීමාව ඇතුළත තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජකයෝ ලංකාවට ආවේ. ඒ හැම ආයෝජකයෙක්ම ආවේ මේ දැන් තියෙන සිස්ටම් එක ඇතුළේ. හැබැයි ඔබේ න්‍යාය පත්‍රය මොකක්ද? රටේ ආයෝජනය කරන්න නිලධාරීන් කඩිනමින් වැඩ කරොත්, මහන්සි වෙලා ඉක්මනින් අවසර දුන්නොත්, ඒක හොරකමක්. ඇයි? සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වේගයෙන් ආයෝජකයාට අනුමැතිය දීලා.

හැබැයි දැන් ජනාධිපතිතුමා ඒක කරන්න වෙන කමිටු, වෙන ආයතනයක් හදන්නත් හදනවා. වෙන ආයතනයක් හදන්න කලින් තමන්ගේ ඉන්න ආයතන ටික ශක්තිමත් කරන්න. ඒ මිනිස්සුන්ට නිදහස දෙන්න වැඩ කරන්න. හැම ආයෝජකයෙක් දිහාම සැක සහිතව බලන්න එපා. ඔබතුමාලා හැම ආයෝජකයෙක්ම හොරෙක් ගාණට දාලා, ඒ ආයෝජකයාට උදව් කරපු නිලධාරියත් හොරෙක් බවට පත් කරාම මේ දැන් ඉන්න නිලධාරීන්ට වැඩ කරගන්න බැරි වෙනවා.

මොකද මේ නිලධාරීන්ට වැඩ කරන්න බැහැ එතකොට. මේ නිලධාරීන් නිකන් උසාවි යන්න රස්තියාදු වෙන්නේ මොකටද? ඒ හින්දා ගරු ජනාධිපතිතුමාටත් අපි කියන්නේ ඔව් ඔය ආයතන හදන්න. හැබැයි හදන ගමන්ම ඉන්න ආයෝජකයෝ ටික ආරක්ෂා කරගන්න. දැන් ඔබතුමාලා බලයට ආවා. මොකක්ද වුණේ? අදානි සමාගම යැව්වා. චයිනා මර්චන්ට් සමාගම ගියා. ජනාධිපතිතුමා හතර වතාවක් මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා ලංකා ඉතිහාසයේ ලොකුම විදේශ ආයෝජකයා ලංකාවට ආවා, ඔන්න හම්බන්තොට වරායේ ඩොලර් බිලියන හතරක තෙල් පිරිපහදුවක් දානවා කිව්වා. චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා ආවේ ගරු කථානායකතුමනි. දැන් කෝ? කෝ තෙල් පිරිපහදුව? කෝ ඩොලර් බිලියන හතර? අනිත් පැත්තෙන් ජපානයේ ආයෝජකයා වරායේ ඩොක් යාඩ් එකේ කොටස් ටිකත් අතහැරලා යන්න ගියා. ඉන්න ආයෝජකයෝ බේරගන්න වැඩපිළිවෙළ මොකක්ද?"

අමාත්‍යාංශ ප්‍රතිපාදන සහ 'දිට්වා' අරමුදල්

"දැන් විදේශවල වැඩ කරන පිරිස බොහොම අමාරුවෙන් හම්බ කරලා මෙහෙට එවනවා. ඔබතුමාලා ඒකට ටැක්ස් එකකුත් ගහනවා. ඒවත් මේ මිනිස්සු එවනවා සල්ලි. තවත් පැත්තක සංචාරක ව්‍යාපාරය ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක හරි අමාරුවෙන් යනවා. හැබැයි මේ දෙකෙන්ද ඔබතුමාලා යැපෙන්න හදන්නේ? මේ දෙක විතරද ඔබතුමාලා විශ්වාස කරන ආර්ථික පරිවර්තනය?

දැන් මම දැක්කා කර්මාන්ත ඇමතිවරයත් කර්මාන්ත දාලා තියෙනවලු. කර්මාන්ත දාන එක කෙසේ වෙතත් වැහෙන කර්මාන්ත ගැන නම් මාධ්‍යයේ යනවා. දැන් අපි මේ අමාත්‍යවරු ඉන්නවා ඉස්සරහා පේළියේ. දැන් නම් කවුරුත් නැහැ, මම හිතන්නේ කෑමට ගිහිල්ලා. අපි අමාත්‍යවරුන්ටත් කියන්නේ ඔබතුමාලා ඔබතුමාලාගේ අමාත්‍යාංශ ගැන කතා කරන්න කලින්, පහුගිය අවුරුද්දේ ඔබේ අමාත්‍යාංශයට වෙන් වෙච්ච මුදල් කොහොමද වියදම් කළේ කියලා කියන්න. ඒක කියන්න. ක්‍රීඩා අමාත්‍යාංශය කොච්චර වියදම් කළාද? මහාමාර්ග අමාත්‍යාංශය කොච්චර වියදම් කළාද? කෘෂිකර්ම අමාත්‍යාංශය කොච්චර වියදම් කළාද? ප්‍රගතිය කීයද? සියයට කීයක් ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කරාද? දෙන සල්ලි ටික වියදම් කරගන්නේ නැතුව, ඔබ මොකක්ද කියන්නේ? අපි වංචාව දූෂණය නවත්වලා, භාණ්ඩාගාරය පිරෙව්වයි කියනවා.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු කථානායකතුමනි, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ. රටේ මුදල් සංසරණය වෙන්නේ නැහැ, මුදල් රටේ වියදම් වෙන්නේ නැහැ. එතකොට රටේ ආර්ථිකයට බලපානවා ඒක. ආර්ථිකය ගොඩනගන්න ඕන නම් අඩු ගාණෙන් ඉස්සෙල්ලා ඔබ ඔබේ අමාත්‍යාංශයට දීපු සල්ලි ටික වියදම් කරන්න රට වෙනුවෙන්. ගමේ ගිහිල්ලා පාර බෝක්කුව හදන්න. තාර නැහැ, අරවා නැහැ, මේක නැහැ කියලා කෙඳිරි ගානවා.

දැන් 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවට බිලියන 500ක් දුන්නා. දැන් 260ක් ඉතුරුයි. දැන් දිට්වා ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි. දැන් ඊළඟ කුණාටුව ආවා, කොළඹ නගරය ජලයෙන් යට වුණා. හැබැයි ඒ බිලියන 500නුත් බිලියන 260ක් වියදම් කරගන්න බැරි වෙලා තියෙනවා. ආයෙත් වැඩ බැරිකමට ගරු කථානායකතුමනි බොරු කියන්න ඕනේ නැහැනේ අපි නාස්තිය වංචාව නවත්තලා සල්ලි ඉතුරු කරගත්තා කියලා. ඇත්ත කියන්න. වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ, වැඩේ කරගන්න බැහැ, ඒ හින්දා අමාත්‍යාංශවල සල්ලි ඉතුරුයි."

මිරිස්, උම්බලකඩ සහ ණය බරේ යථාර්ථය

"හැබැයි ඒ වෙනුවට මොකක්ද කියන්නේ? ඔව්, කවුද හොරා කියලා දැනගන්න ඉස්සරහට කන්ටේනර් පන්නපුවා. ඔව් මේ තියෙන්නේ ගරු කථානායකතුමනි. අපි බැලුවා ජනාධිපතිතුමා මහන්සි වෙලා මිරිස්වල ටැක්ස් එක අඩු කරේ ඇයි කියලා. වරායේ කන්ටේනර් 60ක් තියෙනවා මිරිස් හිරවෙලා. මේ මාසේ පටන් ගන්නකොට. බලනකොට ජනාධිපතිතුමා අයවැය කතාවෙනුත් මිරිස් අඩු කරලා, ඒ කියන්නේ 323ට මේ හැටත් එකතු කරගන්න. මම දැක්කා උම්බලකඩවල අඩු කරලා තියෙනවා. හොඳයි. හැබැයි ඉතින් උම්බලකඩ කන්ටේනර් කීයක් වරායේ තියෙනවද කියලා බලන්න ඕනේ ගරු කථානායකතුමනි. අමතක කරන්න එපා දකුණු පළාතේ විතරක් උම්බලකඩ කරලා ස්වයං රැකියාවක් විදිහට කරන කාන්තාවෝ 1000කට වඩා ජීවත් වෙනවා.

දැන් ලබන මාසේ මාදැල් කර්මාන්තය පටන් ගන්නවා. මාදැල් කර්මාන්තය පටන් ගන්නකොට මාදැල් කර්මාන්තයේ හිමියන්ට ලැබෙන ආදායම, මාදැල්වල වැඩ කරන අයට ලැබෙන ආදායම අඩු කරන්න බදු අයින් කරනවා. ගොයම් කැපෙන කාලේ බලලා හාල් පිටරටින් ගේනවා. මරු ආර්ථික ප්‍රතිපත්තිය. සම්පූර්ණයෙන්ම දේශීය ව්‍යාපාරිකයෝ වැටෙන්න. එතකොට කවුද හොරා කියලා අහගන්න පුළුවන්. අපි ඒක වෙලාවට කියන්නම්.

දැන් තව කතාවක් කියනවා මොකක්ද? අපි ණය ගන්නේ නැහැ. ගරු කථානායකතුමනි, එහෙම කියනවනේ. දේශීය මුදල්වලින් වැඩ කරනවා. හයිවේ හදනවා දේශීය මුදල්වලින්. කවුද කියන්නේ? ජනාධිපතිතුමාගේ අයවැයේ... මේ මම කියන කතාවක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අයවැයේ තියෙනවා ප්‍රාග්ධන වියදම්වලට බිලියන 1750ක්. මේ බිලියන 1750න් බිලියන 1493ක් ණය විදිහට ගන්නේ.

හැම රුපියල් 100කටම රුපියල් 85ක් ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදන්න, ගොඩනැගිල්ලක් හදන්න ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලිවලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු කථානායකතුමනි, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා. ඉතුරු ටික තමයි ඔය රාජ්‍ය ආදායමෙන් ඔබතුමාලා ඔය වාහන නතර කරලා, ඉතුරු කරලා, ටැක්ස් ගහලා ඔක්කොම කරලා ගන්න විදිහට ටික දානවා කියලා කියන්නේ. මේක තමයි යථාර්ථය. හැබැයි ඔබතුමන්ලා මොකක්ද කියන්නේ? හැම තැනම නැහැ, අපි වංචාව දූෂණය නාස්තිය නවත්තපු හින්දා අපි දැන් දේශීය අරමුදලින් වැඩ කරන්න පුළුවන්. නෑ බොරු. සම්පූර්ණයෙන්ම බොරුවක් ගරු කථානායකතුමනි."

රාජ්‍ය සේවක වැටුප් සහ පොරොන්දු කඩකිරීම්

"රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරනවා. දැන් මේකට කියන්නේ ගරු කථානායකතුමනි ජූලි අයවැය කියලා. ඇයි ඉතින් හැම එකම වැඩි වෙන්නේ ජූලි මාසේ ඉඳන්. මේක ජූලි අයවැයක්. අපරාදේ මේ ජනවාරි මාසේ මේක සම්මත කරගන්න තිබුණේ. ඒකත් භාගයයි වැඩි කරන්නේ. ඒකත් මොකක්ද? ඔබතුමන්ලා තෝරාගත්තු පිරිසකට පමණක් දීමනාවක් දීලා තියෙනවා.

ඒක හොඳයි, ඒක දෙන්න. හැබැයි ඇයි රජයේ අනෙකුත් සේවකයන්ට අවශ්‍ය දීමනාව ටික දෙන්නේ නැත්තේ? අඩු ගාණෙන් ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ... ඔබතුමාලා එනවා, රිසර්ච් එකට යනවා, රිසර්ච් කරගන්නවා, ලේකම්තුමිය හම්බෙනවා, නිලධාරීන්ගේ වැඩ ගන්නවා, මෙතන වතුර එකක් හරි ගෙනත් දෙන මිනිස්සු ටික, කෑම ටික දෙනවා. නිවාඩු දවසට වැඩ කරාම දෙන දීමනාවත් ඔබතුමන්ලා කප්පාදු කරලා.

ඔව් ඔව් බන්ධනාගාරය ගැන මම කියනවා වෙලාව ආවම. ඒ ගැන මම කියන්නම් වෙලාව ආවම. බන්ධනාගාරය ඇතුළේ හුඟක් අය බලන් ඉන්නේ තමුන් එනකම්. අපි ආවම හම්බෙමු. ගරු කථානායකතුමනි, ඒකත් තනිකර රැවට්ටුවානේ. අර බන්ධනාගාර නිලධාරීන්ට, මීගමුවේ සිද්ධියට කෝටියක් දෙනවා කියපු අයට ලක්ෂ 50ක් දීලා රැවට්ටුවානේ. මොකක්ද කරේ? 40,000ක් අවදානම් දීමනාව කියලා රුපියල් 8,000යි දුන්නේ ගරු කථානායකතුමනි. වෙලාවක් එනවා, අපි ඒක කතා කරමු. අර දිට්වා වල ටකරමක් ගියාම ලක්ෂ දහයක් දෙනවා කිව්වනේ, අන්න ඔයාලගේ නියෝජ්‍ය අමාත්‍යතුමන්ලා මාධ්‍යයට ගිහිල්ලා කියනවා ඒක මේ උදාහරණයක් විදිහටලු කිව්වේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු. කවුද කියන්නේ? ඔයාලගේ නියෝජ්‍ය ඇමති. ආයේ වෙන කවුරුත් නෙවෙයි ගරු කථානායකතුමනි."

ආහාර සුරක්ෂිතතාව සහ වතු කම්කරු වැටුප්

"මේ ජූලි අයවැය. දැන් මේ අයවැය ඇත්තටම ලබන අවුරුද්දටද ඊට පස්සේ අවුරුද්දටද? ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් ඕනේ. අනිත් පැත්තෙන් දැන් ජනාධිපතිතුමා, මේ ආණ්ඩුව කියනවා මහා දැවැන්ත දේශගුණ විපර්යාසයක් එනවා, ගංවතුර එනවා, නියඟ එනවා, මේවට අපි ලෑස්ති වෙන්න ඕනේ, ආහාර හිඟයක් එනවලු. දැන් ආහාර හිඟයක් එනවා නම් ගරු කථානායකතුමනි, මට කියන්න මේ අයවැය ඇතුළේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරගන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ලබන අවුරුද්දට? ගොවියාගේ වීවලට සහතික මිල දෙනවද? පොහොර ටික දෙනවද? එහෙම නැත්නම් මේ ගංවතුර නිසා අලාභයට හානි වන වගාවන්ට ආණ්ඩුව සහනයක් දෙනවද? දිට්වා වෙලාවේ දුන්නේත් නැහැ. අඩු ගාණෙන් දැන් දෙනවද?

අනිත් පැත්තෙන් වතුකරේ ජනතාව, මලයගම් ජනතාවට රුපියල් 200ක් දෙනවා කිව්වා මූලික වැටුපට. අන්තිමට මොකක්ද වුණේ? අන්තිමට ගරු මන්ත්‍රීතුමා වැඩියෙන් වැඩ කරන්න වුණා පඩිය කෙසේ වෙතත්. අන්තිමට ඒ ජනතාව වැඩියෙන් වැඩ කරනවා. හැබැයි පඩිය වැඩි කරාට, පඩිය දෙනවා කිව්වට වැඩ වැඩියෙන් ගන්න දීමනාව හම්බෙන්නේ නැහැ. නිවාස ප්‍රශ්නේ විසඳනවා කිව්වා. ඉඩම් ප්‍රශ්නේ විසඳනවා කිව්වා. දැන් මොකක්ද කියන්නේ? EPF, ETF එක කප්පාදු කරන්නේ නැහැ කිව්වා. දැන් මොකක්ද කරන්නේ?

අනිත් පැත්තෙන් ගරු කථානායකතුමනි, මේ අයවැය ඇතුළේ වැඩිපුරම තියෙන්නේ ෆීසිබිලිටි ස්ටඩීස් (Feasibility Studies). නැත්නම් අධ්‍යයනය කරන්න තියෙන්නේ. මම දැක්කා යාපනයේ ඉරිගේෂන් ප්‍රොජෙක්ට් එකට 2018 රනිල් වික්‍රමසිංහ මහත්මා මිලියන 75ක් දැම්මා. දැන් ආණ්ඩුව අනුර මහත්මයාත් 75ක් දාලා ඒක අධ්‍යයනය කරන්න. අවසානයේ සංවර්ධනය කියන වැඩපිළිවෙළක් නැහැ."

ඉතිරි දවස් 25 සහ පොඩි මිනිසාගේ ආර්ථිකය

"ඒ හින්දා තව දවස් 25ක් තියෙනවා. තව දවස් 25ක් තියෙනවා ජනාධිපතිතුමාට පුළුවන් මේ ගොවි ජනතාවට අවශ්‍ය සහන දෙන්න කටයුතු කරන්න. ධීවර ජනතාවට අවශ්‍ය සහන දෙන්න කටයුතු කරන්න. ආයෝජකයෝ ලංකාවට ගේන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් දෙන්න. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විදුලිබිල, තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තව දවස් 25ක් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට දැන්වත් පුළුවන් මේ කටයුත්ත කරන්න.

අනිත් එක ගරු කථානායකතුමනි මේ පාරිභෝගික අධිකාරිය භාර ඇමතිවරයාට කියන්නකෝ, දැන් ගිය මාසේ පාන්පිටි වැඩි කරා එයා දන්නේ නැල්ලු. ගිය සතියේ ගෑස් මිල වැඩි කරලා එයා දන්නේ නැල්ලු. ඉතින් එයා දන්නේ නැත්නම් කවුද මේක දන්නේ? ඒ හින්දා මේ එක එක තමන්ට හිතවත් ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවට, මේ රටේ පොඩි මනුස්සයා, ගමේ මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ, මේ රටේ තරුණ පරම්පරාවට අවශ්‍ය රැකියා නිෂ්පාදනය කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා ඉල්ලනවා."


නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ මූලාශ්‍රය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...