ජනාධිපතිවරයා අයවැය යෝජනා සහ රජයේ ප්‍රතිපත්ති සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව, ඊයේ දිනයේදී මෙලෙස විශාල මුදලකින් ගෑස් මිල ඉහළ දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේදී පෙන්වා දුන්නේය.
මෙම මිල වැඩිවීම ගැන ප්‍රශ්න කිරීමට විපක්ෂ නායකවරයා උත්සාහ කිරීමත් සමඟ කථානායකවරයා සහ සභානායකවරයා ඊට දැඩි ලෙස මැදිහත් වූහ.
සභාව තුළ ඇති වූ වාදයට හේතුව කුමක්ද?
විපක්ෂ නායකවරයා ගෑස් මිල ගැන කරුණු මතු කළේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 92 (2) (ආ) වගන්තිය යටතේ "රීති ප්‍රශ්නයක්" ලෙසයි.
භාණ්ඩ මිල ඉහළ යෑමක් සම්බන්ධයෙන් කතා කිරීම ස්ථාවර නියෝග 92 (2) යටතට නොගැනෙන බව කථානායකවරයා එහිදී තීන්දු කළේය.
පාර්ලිමේන්තු ක්‍රමවේදයෙන් බැහැරව යමින් සිදු කරන එම ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සභානායකවරයා ද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
සභාව තුළ සිදු වූයේ කුමක්ද? - පැහැදිලි විග්‍රහයක්
1. ඇයි විපක්ෂ නායකවරයාට රීති ප්‍රශ්නයක් ලෙස ගෑස් මිල ගැන කතා කරන්න නොදුන්නේ?
පාර්ලිමේන්තු නීතිරීති අනුව "රීති ප්‍රශ්නයක්" (Point of Order) මතු කළ හැක්කේ සභාවේ වැඩකටයුතු නිවැරදි ක්‍රමවේදයට සිදු නොවන අවස්ථාවක පමණි. එය භාණ්ඩ මිල හෝ ආර්ථික ප්‍රශ්න ගැන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන වෙලාවක් නොවේ.
2. එසේ නම් මහජන ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ අහන්නේ කොහොමද?
රටේ දැවෙන ප්‍රශ්නයක් ගැන රජයෙන් සෘජුවම ප්‍රශ්න කිරීමට විපක්ෂ නායකවරයාට ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ අවස්ථාවක් වෙන් කර තිබේ. නිවැරදි ක්‍රමවේදය එය බව කථානායකවරයා පෙන්වා දුන්නේය.
3. අවසානයේ සිදු වූයේ කුමක්ද?
තමන්ට ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට තහනමක් පනවා ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළත්, දෙපාර්ශ්වය අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු ඔහු ස්ථාවර නියෝග 27 (2) යටතේ සිය ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට එකඟ විය.



