2028 ඔලිම්පික්, 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ විවෘත ප්‍රශ්න කිහිපයක්..!
රටක් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියකට සහභාගි වන්නේ පදක්කම් දිනාගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එම පදක්කම් දිනාගැනීමට අවශ්‍ය පසුබිම, පහසුකම්, නවීන තාක්ෂණය සහ විධිමත් පුහුණු වැඩපිළිවෙළක් අපේ රට තුළ තිබේද?
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ බලාපොරොත්තු වන නායකයින්, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දී තිබේද යන්න අද අප විසින්ම අපගෙන් විමසා බැලිය යුතුය.
1. අයවැය ඉදිරිපත් කරන්නේ වසරකට වරක් වුවත් ක්‍රීඩා සැලසුම් වසරකට සීමා කළ හැකිද?
සාමාන්‍යයෙන් වාර්ෂික අයවැයක් ඉදිරිපත් කරන්නේ ඉදිරි මූල්‍ය වර්ෂයේ රාජ්‍ය වියදම් සඳහාය. එහෙත් එයින් අදහස් වන්නේ 2028 ඔලිම්පික් උළෙල හෝ 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් අද සිට මූල්‍ය සැලසුම් සකස් කළ නොහැකි බවද?
කිසිසේත්ම එසේ නොවේ.
2027 අයවැයෙන්ම 2028 ඔලිම්පික් සහ 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව, ජාත්‍යන්තර තරග සහභාගිත්වය, විදේශ පුහුණු කඳවුරු, ක්‍රීඩා විද්‍යාත්මක සහාය සහ ඉහළ කාර්යසාධන වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කළ හැකිය.
එමෙන්ම ඉදිරි වසරවල වියදම් බහු වාර්ෂික සැලසුම්වලට ඇතුළත් කර අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකිය.
ඔලිම්පික් පදක්කමක් හෝ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් යනු එක් වසරක පුහුණුවකින් ලබාගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා වසර ගණනාවක විධිමත් සැලසුමක් අවශ්‍යය.
2. 2024 සහ 2025 ක්‍රීඩා අයවැය: වෙන් කළ මුදල් කොපමණ ප්‍රමාණයක් භාවිත කළාද?

විගණකාධිපතිවරයාගේ 2024 වාර්තාව අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අංශයට වෙන් කර තිබූ ශුද්ධ ප්රතිපාදනය රුපියල් මිලියන 12,540කි. එහෙත් එම වසරේ සැබෑ වියදම රුපියල් මිලියන 8,832ක් පමණි.
ඒ අනුව වියදම් නොකළ ඉතිරි මුදල රුපියල් මිලියන 3,708කි. එනම් රුපියල් බිලියන 3.708කි.
මෙය ඉතාමත් වැදගත් කරුණකි. ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා මුදල් අවශ්‍ය බව නිතර ප්‍රකාශ කරන පසුබිමක, වෙන් කළ මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත නොවී ඉතිරි වීම පිළිබඳව වගකිවයුත්තන් පිළිතුරු ලබාදිය යුතුය.
2025 වසර සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අංශයට වෙන් කළ මුළු ප්රතිපාදනය රුපියල් මිලියන 12,100කි.
එහෙත් 2025 වසරේ සැබෑ වියදම කොපමණද? වියදම් නොකළ මුදල කොපමණද? ඉතිරි වූ මුදලින් කොපමණ ප්‍රමාණයක් භාණ්ඩාගාරයට නැවත බැර කළේද?
මෙම ප්‍රශ්නවලට නිල සංඛ්‍යාලේඛන සහිත පිළිතුරු ජනතාවට ලබාදිය යුතුය. මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් වන්නේ වියදම් නොකළ මුදල සහ භාණ්ඩාගාරයට සැබෑවටම ආපසු බැර කළ මුදල එකක් නොවන බවයි. එම නිසා ඒවා වෙන වෙනම අනාවරණය කළ යුතුය.
අයවැයෙන් මුදල් වෙන් කිරීම පමණක් ක්‍රීඩා සංවර්ධනය නොවේ. එම මුදල් නිසි පරිදි භාවිත කර ක්‍රීඩකයාට ප්රතිලාභ ලබාදීමයි සැබෑ සංවර්ධනය.
3. ක්‍රීඩකයාට අවශ්‍ය පසුබිම නොමැතිව පදක්කම් බලාපොරොත්තු විය හැකිද?
මෙරට ඇතැම් ක්‍රීඩා ඉසව් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පහසුකම්, නවීන ක්‍රීඩා උපකරණ, තාක්ෂණික පද්ධති, ප්‍රමිතිගත ධාවන පථ සහ ක්‍රීඩාංගණ පහසුකම් අදටත් ප්‍රමාණවත් නොවේ.
නමුත් එවැනි පහසුකම් මෙරට නොමැති නම් ක්‍රීඩකයන්ගේ සහජ දක්ෂතාවය අහිමි වීමට ඉඩ හැරිය යුතුද?
නැත.
අතීතයේදී ක්‍රීඩා සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍යාංශ මැදිහත්වීමෙන් මෙරට අවශ්‍ය පහසුකම් නොමැති අවස්ථාවලදී ආසන්නතම වෙනත් රටවල පවතින සුදුසු පුහුණු පහසුකම් ලබාගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීම සිදු කර තිබේ.
එසේ නම් අද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? මෙරට නොමැති පහසුකම් සඳහා විදේශ පුහුණු මධ්‍යස්ථාන සමඟ ගිවිසුම් ඇති කරගැනීමට නොහැකිද? අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ ජාත්‍යන්තර පුහුණුකරුවන් ලබාදීමට නොහැකිද?
ක්‍රීඩකයාගේ දක්ෂතාවය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම ක්‍රීඩා පරිපාලනයේ මූලික වගකීමකි.
4. නවීන තාක්ෂණය නොමැතිව ලෝකය සමඟ තරග කළ හැකිද?
අද ලෝක ක්‍රීඩාව පවතින්නේ නවීන තාක්ෂණය, විද්‍යාත්මක පුහුණුව සහ ඉහළ කාර්යසාධන පද්ධති මතය.
ක්‍රීඩා උපකරණ පමණක් නොව, තරග විශ්ලේෂණ පද්ධති, ඉලෙක්ට්‍රොනික මිනුම් උපකරණ, දත්ත විශ්ලේෂණ තාක්ෂණය, ජෛව යාන්ත්‍රික පරීක්ෂණ, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ ශාරීරික කාර්යසාධන විශ්ලේෂණය ද අද ජාත්‍යන්තර ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇත.
එහෙත් මෙරට ක්‍රීඩාවට අදාළ පරිපාලන වගකීම් දරන බලධාරීන් සහ නිලධාරීන් මෙම තාක්ෂණික වෙනස්කම් හඳුනාගෙන ඒවා මෙරට ක්‍රීඩා පද්ධතියට හඳුන්වා දීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කර තිබේද යන්න බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුය.
පෙර පාලන සමයන්හිදී ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඇති කර තිබූ ඇතැම් පහසුකම් සහ පද්ධති අද වන විට අභාවයට යමින් තිබේ නම් ඒ පිළිබඳව වගකීම භාරගත යුත්තේ කවුද? අවම වශයෙන් අතීතයේ පැවති මට්ටම හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ ඇයි?
කාර්යාල පුටුවලින් ඔබ්බට යන ක්‍රීඩා පරිපාලනයක්
දශක ගණනාවක් ක්‍රීඩා පරිපාලනයේ වගකීම් දරන නිලධාරීන් සිටියදීත්, ක්‍රීඩකයාට අවශ්‍ය මූලික පහසුකම් පවා ලබාදීමට නොහැකි වීම පිළිබඳව පිළිතුරු ලබාදිය යුතුය.
වායුසමීකරණය කළ කාර්යාලවල සිට ලිපිගොනු පාලනය කිරීම පමණක් ක්‍රීඩා පරිපාලනය නොවේ. ක්‍රීඩා පිටියට ගොස් එහි පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමද පරිපාලකයන්ගේ වගකීමකි.
ක්‍රීඩා අධ්යක්ෂවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ගේ කාර්යසාධනය මැනිය යුත්තේ ඔවුන් දරන තනතුරු අනුව නොව, ක්‍රීඩකයා වෙනුවෙන් ඉටු කළ සේවය සහ ක්‍රීඩාවට ලබාදුන් ප්‍රතිඵල අනුවය. ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්, දැනුම සහ අවබෝධය පරිපාලන තීරණවලට එක් කිරීම අත්‍යවශ්‍යය.
5. දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල: අපට ඇති ඊළඟ විශාල අවස්ථාව
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේදීය. 14 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල 2027 අප්‍රේල් මාසයේ පාකිස්තානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම සහජ දක්ෂතාවය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිඵල බවට පත් කරගැනීමට ලැබෙන ඉතා වැදගත් අවස්ථාවකි. එහෙත් මෙම තරගාවලියට සහභාගි වීම සඳහා පමණක් නොව පදක්කම් දිනාගැනීම සඳහා අද සිටම විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය.
* ක්‍රීඩකයන් තෝරාගැනීම, පුහුණු සැලසුම්, ජාත්‍යන්තර තරග අත්දැකීම්, උපකරණ, තාක්ෂණික නිලධාරීන් සහ පුහුණුකරුවන්ගේ සහාය කල්තියා සූදානම් කළ යුතුය.
* ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහජ කුසලතාවය විශිෂ්ටත්වයට පත් කිරීමට අවශ්‍ය ක්රීඩාගාර පහසුකම්, නවීන උපකරණ, සුදුසු පුහුණුකරුවන් සහ සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් නොමැති නම් එහි ප්රතිවිපාකය විඳින්නේ ක්‍රීඩකයා පමණක් නොවේ. සමස්ත රටේ ක්‍රීඩා අනාගතයම එයින් බලපෑමට ලක් වේ.
6. පදක්කමට පෙර ක්‍රීඩකයා වෙනුවෙන් ආයෝජනය කරමු

2027 අයවැය මගින් ඔලිම්පික් රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100ක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 75ක් ලබාදීමට යෝජනා කර තිබීම අගය කළ යුතුය.
නමුත් පදක්කමක් දිනාගත් පසු ලබාදෙන ත්‍යාග මුදලට වඩා, එම පදක්කම දිනාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වැදගත්ය.
* ක්‍රීඩකයාට අවශ්‍ය උපකරණ, පුහුණු පහසුකම්, ජාත්‍යන්තර අත්දැකීම්, පෝෂණය, වෛද්‍ය සහාය සහ මානසික පුහුණුව ලබාදීම වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජනයක් සිදු කළ යුතුය.
* 2028 ඔලිම්පික් උළෙල සහ 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරගත් ජාතික ක්‍රීඩා සංවර්ධන සැලැස්මක් දැන්ම ක්‍රියාත්මක කළ යුතුය.
7. ක්‍රීඩාවේ පරිහානියට මාධ්‍යයේ වගකීමක් නැද්ද?
මෙහිදී අප අමතක නොකළ යුතු තවත් පාර්ශ්වයක් තිබේ. ඒ මෙරට මාධ්‍යයයි.
රටක ක්‍රීඩාව නගා සිටුවීමේදී මාධ්‍යයට පැවරෙන වගකීම ඉතා විශාලය. මාධ්‍යය යනු ජයග්‍රහණයක් ලැබුණු පසුව එය ප්‍රචාරය කරන ආයතනයක් පමණක් නොවේ.
ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් නොමැති විට ඒවා පෙන්වා දීමත්, ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු බලධාරීන් ඉදිරියේ තැබීමත්, ක්‍රීඩා පරිපාලනයේ අඩුපාඩු ප්‍රශ්න කිරීමත් මාධ්‍යයේ ජාතික වගකීමකි.
* අතීතයේ සිටි ක්‍රීඩා මාධ්‍යවේදීන් තම කාර්යභාරය ඉටු කළේ ක්‍රීඩකයා තරගය ජයග්‍රහණය කළ පසුව ඔහු පසුපස හඹා යමින් නොවේ. ඔවුන් ක්‍රීඩකයා පුහුණුවීම් කරන ක්‍රීඩා භූමියට ගියහ. එහි පැවති අඩුපාඩු සොයා බැලූහ. අවශ්‍ය ක්‍රීඩා උපකරණ නොමැතිකම, පුහුණු පහසුකම්වල ගැටලු, ක්‍රීඩාංගණවල පවතින අඩුපාඩු සහ ක්‍රීඩා පරිපාලනයේ දුර්වලතා පිළිබඳව ලිපි පළ කළහ.
* ඔවුන්ගේ අරමුණ වූයේ ක්‍රීඩකයාගේ ජයග්රහණයෙන් පසුව ජනප්‍රියත්වයක් හෝ ආර්ථික වාසියක් ලබාගැනීම පමණක් නොවේ. ක්‍රීඩකයාට අවශ්‍ය පසුබිම සකස් කර දීමටත්, ක්‍රීඩා අමාත්‍යාංශය සහ බලධාරීන් නිසි මඟට යොමු කිරීමටත් ඔවුහු දායක වූහ. එදා මාධ්‍යවේදීන් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ජාතික මෙහෙවරක කොටස්කරුවන් වූහ.
'Views' පසුපස හඹා යන නූතන මාධ්‍ය ප්‍රවණතාව
එහෙත් අද ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය නාලිකා තුළ දක්නට ලැබෙන ප්‍රවණතාව පිළිබඳව ක්‍රීඩාවට ආදරය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක ලෙස මා තුළ ඇත්තේ දැඩි කලකිරීමකි.
ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගත් පසුව ඔහු සොයා යන මාධ්‍ය මෙහෙයුම් ආරම්භ වේ. ඔහුගේ පෞද්ගලික ජීවිතය, දුෂ්කර පසුබිම, කටුමැටි ගැසූ නිවස, පවුලේ ආර්ථික තත්ත්වය සහ ජීවිතයේ අභියෝග විශාල ප්රචාරක අන්තර්ගතයක් බවට පත් කෙරේ.
ක්‍රීඩකයාගේ දුෂ්කර ජීවිතය පෙන්වා බැලීම් සංඛ්‍යාව (Views) වැඩි කරගැනීමත්, ඒ හරහා ආදායම් උපයා ගැනීමත් ඇතැම් අන්තර්ගතයන්හි ප්‍රධාන අරමුණ වී තිබේද යන්න ප්‍රශ්න කළ යුතුය.
ක්‍රීඩකයාගේ දුෂ්කර පසුබිම හෙළි කිරීම වරදක් නොවේ. එය සමාජයට ආදර්ශයක් විය හැකිය. නමුත් ඔහුගේ ජයග්‍රහණය පිටුපස තිබූ වසර ගණනාවක පුහුණුව, කැපවීම, විනය, මානසික ශක්තිය සහ ඔහුට නොලැබුණු පහසුකම් පිළිබඳවද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතුය.
පදක්කමට පෙර ක්‍රීඩා පිටියට යා යුතු මාධ්‍ය සංස්කෘතියක්

අද මාධ්‍යය ක්‍රීඩකයාගේ නිවස සොයා යනවා නම්, ජයග්‍රහණයකට පෙර ඔහු පුහුණුවීම් කරන ක්‍රීඩා භූමිය සොයා යා යුතුය. ඔහුගේ මැටි නිවස පෙන්වනවා නම්, ඔහු පුහුණුව ලබන ක්‍රීඩාංගණයේ අබලන් තත්ත්වයත් පෙන්විය යුතුය.
ඔහුගේ දුෂ්කර ජීවිතය ප්‍රචාරය කරනවා නම්, ඔහුට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා නොදෙන පරිපාලන ක්රමවේදයත් ප්‍රශ්න කළ යුතුය. ඔහුගේ ජයග්‍රහණය හරහා ආදායම් උපයනවා නම්, එම ජයග්‍රහණය බිහි කිරීමට රටක් ලෙස අප කළ ආයෝජනය කොපමණද යන්නත් සොයා බැලිය යුතුය.
ක්‍රීඩා මාධ්‍යවේදියෙකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ ජයග්‍රහණයකින් පසුව ලබාගන්නා සම්මුඛ සාකච්ඡා සංඛ්‍යාවෙන් නොවේ. ජයග්‍රහණයක් බිහි වීමට පෙර ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ මැදිහත්වීමෙනි.
ක්‍රීඩකයා පදක්කමක් දිනාගත් පසුව ඔහුගේ නිවසට යාමට පෙර, ඔහු පදක්කමක් දිනාගැනීමට පුහුණුව ලබන ක්‍රීඩා භූමියට ගොස් එහි අඩුපාඩු පෙන්වා දෙන මාධ්‍ය සංස්කෘතියක් අපට අවශ්‍යය. මාධ්‍යය ක්‍රීඩාවේ ජයග්‍රහණවල ප්‍රේක්ෂකයෙකු පමණක් නොවිය යුතුය. ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීමේ වගකිවයුතු හවුල්කරුවෙකු විය යුතුය.
8. ජාතියට අභිමානය ගෙන දුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අද හිමි තැන කුමක්ද?
ක්‍රීඩාවේ අතිවිශිෂ්ටතම ක්‍රීඩකයන්ට හිමිවන උසස්ම ජාත්‍යන්තර ගෞරවයක් වන්නේ ඔලිම්පික් ක්‍රීඩකයෙකු වීමයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටේ ජාතික ධජය ලෝකය ඉදිරියේ ඔසවා තැබීමට තම තරුණ ජීවිතයේ වටිනාම කාලය කැප කළ අය වෙති.
ඔවුන් අතර ලෝක ශූරතා, ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලවලදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිටිති. ඇතැම් ක්‍රීඩකයන් එම තරගාවලිවලදී තරග වාර්තා සහ ජාතික වාර්තා පිහිටුවීමටද සමත් වූහ.
1948 සිට 2024 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔලිම්පියන්ස්ලා සංඛ්‍යාව 107කි. එම ඔලිම්පියන්ස්ලා අතරින් 28 දෙනෙකු අද වන විට විදේශයන්හි ජීවත් වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් ජීවත්වීම සඳහා අවශ්‍ය රැකියා සහ ආර්ථික අවස්ථා සොයා විදේශගත වී තිබීම පිළිබඳව අප සිතා බැලිය යුතුය.
තම රට වෙනුවෙන් ඔලිම්පික් පිටියේ ජාතික ධජය නියෝජනය කළ ක්‍රීඩකයෙකුට තම රට තුළම ගෞරවනීය රැකියාවක් හෝ ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම නොමැති නම් එය කාගේ වගකීමද?
අද වන විට ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයෝවෘද්ධව, නිසි ඇගයීමක් හෝ ප්‍රමාණවත් සමාජ හා ආර්ථික සහායක් නොමැතිව ජීවිතයේ සැඳෑ සමය ගත කරන තත්ත්වයක් පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය.
සාධාරණ ඇගයීමක් අහිමි වූ ජ්‍යෙෂ්ඨයන්
ක්‍රීඩකයෙකුගේ වටිනාකම ඔහු හෝ ඇය තරග කරන කාලයට පමණක් සීමා විය යුතුද? ඔවුන් රට වෙනුවෙන් කළ කැපකිරීම්, ජාත්‍යන්තර ජයග්‍රහණ සහ ශ්‍රී ලංකාවට ලබාදුන් කීර්තිය අමතක කළ හැකිද?
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වාර්තා පිහිටුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි මූල්‍ය ප්‍රදානයන් ලබාදීම ඉහළ කාර්යසාධනයක් ලබාගැනීමට අනාගත පරපුරටද ප්‍රබල අභිප්‍රේරණයක් වනු ඇත. එවැනි ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණවලට සාධාරණ මූල්‍ය වටිනාකමක් ලබාදීමත්, ඔවුන්ට ගෞරවනීය පිළිගැනීමක් ලබාදීමත් රජයේ සහ ක්‍රීඩා පරිපාලනයේ වගකීමකි.
අතීත රජයන් යටතේ වරින්වර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද, එම ඇගයීම් සියලු දෙනාටම එක සමාන හා සාධාරණ පදනමකින් ලැබී නොතිබීම කනගාටුවට කරුණකි. ඇතැම් අවස්ථාවලදී දේශපාලන බලය හෝ පරිපාලන බලධාරීන් සමඟ පවතින සමීප සම්බන්ධතා මත ඇගයීම් අවස්ථා තීරණය වූ බවට ක්‍රීඩා ක්ෂේත්රයේ විවේචන පවතී. එවැනි තත්ත්වයන් නිසා සාධාරණ ඇගයීමක් ලැබිය යුතු ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් සිදුවී තිබේද යන්නත් සොයා බැලිය යුතුය.
සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ට හිමි සාධාරණත්වය ඉල්ලා සිටීමට අවශ්‍ය ශක්තිය හෝ අවස්ථාව නොතිබිය හැකිය. එබැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ජයග්‍රහණ පිළිබඳව සොයා බලා සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම ක්‍රීඩා පරිපාලනයේ වගකීමකි.
අප කළ යුත්තේ පදක්කමක් දිනාගත් පසුව පමණක් ක්‍රීඩකයා අගය කිරීම නොවේ. ඔහුගේ හෝ ඇයගේ ජයග්‍රහණ ඉතිහාසය නිසි ලෙස ලේඛනගත කර, එම ජයග්‍රහණවලට අදාළව සාධාරණ මූල්‍ය ප්‍රදාන සහ ගෞරවනීය පිළිගැනීම් ලබාදීමයි. අද අපි ගොඩනඟන ක්‍රීඩා අනාගතයට අත්තිවාරම දැමුවේ ඔවුන්ය. එබැවින් ඔවුන්ගේ අතීත කැපකිරීම්වලට ගෞරවය සහ වටිනාකම ලබාදීම අපගේ ජාතික වගකීමකි.
9. ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගත් පසුව ඔහුගේ අනාගතය කුමක්ද?
මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය තුළ බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු කරුණකි.
ලෝකයේ විවිධ රටවල් තම ජාතික මට්ටමේ සහ ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා විවිධ සුබසාධන හා වෘත්තීය සංක්‍රාන්ති වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඇතැම් රටවල දක්ෂතා සහ ප්‍රතිඵල මත මාසික දීමනා, විශ්‍රාම ප්රතිලාභ, රැකියා අවස්ථා, පුහුණුකරු තනතුරු සහ ක්‍රීඩා පරිපාලන අවස්ථා ලබාදේ. මේවා සෑම රටකම එකම ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණත්, ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවියෙන් පසුවත් ඔහුගේ අනාගතය පිළිබඳව සැලසුම් කිරීම ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්රයේ වැදගත් කොටසකි.
ශ්‍රී ලංකාව තුළද ඉහළ කාර්යසාධන වැඩසටහන් යටතේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට මාසික දීමනා ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වී තිබේ. නමුත් අප විමසිය යුතු ප්රශ්නය වන්නේ ක්‍රීඩා දිවිය අවසන් කළ සියලුම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, විශේෂයෙන්ම රට නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාදුන් අයට, දිගුකාලීන සමාජ හා ආර්ථික ආරක්ෂාවක් ලබාදෙන විධිමත් ජාතික වැඩපිළිවෙළක් තිබේද යන්නයි.
ක්‍රීඩා දිවියෙන් පසු වෘත්තීය සුරක්ෂිතභාවය
ක්‍රීඩකයා තම තරුණ කාලය රට වෙනුවෙන් කැප කරයි. එහෙත් ක්‍රීඩා දිවිය අවසන් වූ පසුව ඔහු හෝ ඇය ජීවිතය ගොඩනඟා ගන්නේ කෙසේද? එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුය. ක්‍රීඩකයෙකු ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙරම ඔහුගේ හෝ ඇයගේ අනාගත වෘත්තීය ජීවිතය සැලසුම් කළ යුතුය.
ඒ සඳහා:
* ක්‍රීඩා කළමනාකරණ හා පරිපාලන පාඨමාලා ලබාදීම.
* ජාත්‍යන්තරව පිළිගත් පුහුණුකරු පාඨමාලා සඳහා අවස්ථා ලබාදීම.
* තාක්ෂණික නිලධාරීන්, විනිසුරුවන් සහ තේරීම් නිලධාරීන් ලෙස පුහුණු කිරීම.
* ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා සංගම්වල සුදුසු තනතුරු සඳහා අවස්ථා ලබාදීම.
* පාසල් සහ ජාතික පුහුණු මධ්‍යස්ථානවල පුහුණුකරුවන් ලෙස සේවය කිරීමට අවස්ථා ලබාදීම.
* සුදුසුකම් සහිත හිටපු ක්‍රීඩකයන්ට ජාතික ක්‍රීඩා පරිපාලනයේ තීරණ ගැනීමේ අවස්ථා ලබාදීම.
* අවශ්‍යතා ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවෙන් මාසික සුබසාධන හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම.
ක්‍රීඩා කළමනාකරණය පිළිබඳ පොතේ දැනුම පමණක් නොව, ක්‍රීඩා භූමියේ දශක ගණනාවක අත්දැකීම් ඇති පුද්ගලයන්ගේ දැනුමද පරිපාලනයට අවශ්‍යය. ක්‍රීඩා නොකළ පුද්ගලයන්ට අධ්‍යාපනික සුදුසුකම් මත පරිපාලන තනතුරු ලබාගැනීමට ඇති අවස්ථාව අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් ක්‍රීඩාවේ ප්‍රායෝගික අත්දැකීම් සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා ඇති හිටපු ක්‍රීඩකයන්ට එම පද්ධතිය තුළ නිසි තැනක් නොලැබීම බරපතළ ගැටලුවකි.
ක්‍රීඩකයාගේ දක්ෂතාවය සහ අත්දැකීම් රටේ ක්‍රීඩා සංවර්ධනය සඳහා යොදා නොගෙන ඔවුන්ව ක්‍රීඩා දිවිය අවසන් වූ පසුව පද්ධතියෙන් බැහැර කිරීම ජාතික සම්පත් නාස්ති කිරීමකි.
10. අපේ ඔලිම්පියන්ස්ලාට නැවත තම රටට පැමිණීමට අවස්ථාවක් ලබාදිය නොහැකිද?

1948 සිට 2024 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔලිම්පියන්ස්ලා 107 දෙනෙකු සිටිති. එම ඔලිම්පියන්ස්ලා අතරින් 28 දෙනෙකු අද වන විට විදේශයන්හි ජීවත් වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් ජීවත්වීම සඳහා අවශ්‍ය රැකියා සහ ආර්ථික අවස්ථා සොයා විදේශගත වී තිබීම පිළිබඳව අප සිතා බැලිය යුතුය.
තම රට වෙනුවෙන් ඔලිම්පික් පිටියේ ජාතික ධජය නියෝජනය කළ ක්‍රීඩකයෙකුට තම රට තුළම ගෞරවනීය රැකියාවක් හෝ ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම නොමැති නම් එය කාගේ වගකීමද?
අපේ ඔලිම්පියන්ස්ලා රට හැර ගොස් ඇත්තේ ඔවුන්ට රට පිළිබඳ ආදරයක් නොමැති නිසා නොව, ජීවත්වීමට අවශ්‍ය අවස්ථා සොයාගෙන විය හැකිය. එබැවින් වර්තමාන රජයට මෙහිදී විශාල වගකීමක් පැවරේ.
විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික ඔලිම්පියන්ස්ලා 28 දෙනා නැවත සම්බන්ධ කරගනිමින්, ඔවුන්ගේ ජාත්‍යන්තර දැනුම, පුහුණු අත්දැකීම් සහ පරිපාලන හැකියාවන් මෙරට ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.
* ඔවුන්ට නැවත මෙරටට පැමිණ සේවය කිරීමට අවශ්‍ය වෘත්තීය අවස්ථා, තනතුරු සහ ගෞරවනීය පිළිගැනීම ලබාදිය යුතුය.
* ඔවුන්ගේ අත්දැකීම් ඊළඟ පරම්පරාවට ලබාදීමට අවස්ථාව සලසා දිය යුතුය.
රට වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ සටන් කළ ඔලිම්පියන්ස්ලාට තම රට තුළ නැවත සේවය කිරීමට අවස්ථාවක් ලබාදීම ජාතික ක්‍රීඩා සංවර්ධනයේ වැදගත් ආයෝජනයකි.
11. අපි ඉල්ලා සිටින්නේ කුමක්ද?
2028 ඔලිම්පික් සහ 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉලක්ක කරගනිමින් රජය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විධිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එහිදී පහත කරුණු අත්‍යවශ්‍ය වේ:
1- එක් එක් ක්‍රීඩාවට අවශ්‍ය මූලික හා ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් හඳුනාගැනීම. ඒ සමඟම එක් එක් ක්‍රීඩාව හා ක්‍රීඩා සංගමය සමඟ කටයුතු කිරීමට (පෙර රජයන්හි පැවති) සම්බන්ධීකරණ නිලධාරියකු හරහා ක්‍රීඩකයින්ගේ ජීව දත්ත සහ ප්‍රගතිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කිරීමේ තොරතුරු වාර්තා සැකසීම.
2- නවීන තාක්ෂණික ක්‍රීඩා උපකරණ ලබාදීම.
3- මෙරට නොමැති පහසුකම් සඳහා විදේශ පුහුණු අවස්ථා ලබාදීම.
4- සුදුසුකම් ලත් ජාත්‍යන්තර පුහුණුකරුවන් සහ තාක්ෂණික නිලධාරීන් සම්බන්ධ කරගැනීම.
5- ක්‍රීඩකයන්ගේ කාර්යසාධනය විද්‍යාත්මකව මැනීම.
6- දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා කඩිනම් සූදානම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
7- වෙන් කළ අයවැය ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කිරීම සහ වගවීම තහවුරු කිරීම.
8- ක්‍රීඩා මාධ්‍යය සහ ක්‍රීඩා පරිපාලනය අතර වගකීම් සහගත සංවාදයක් ඇති කිරීම.
9- ක්‍රීඩා දිවියෙන් සමුගන්නා ක්‍රීඩකයන්ට වෘත්තීය හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වාදීම.
10- ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණවලට සාධාරණ මූල්‍ය හා ගෞරවනීය ඇගයීමක් ලබාදීම.
11- විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික ඔලිම්පියන්ස්ලා 28 දෙනා නැවත මෙරට ක්‍රීඩා සංවර්ධනයට සම්බන්ධ කරගැනීම.
අවසාන වශයෙන්...
ක්‍රීඩකයන්ගෙන් පදක්කම් බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරදීම රජයේත්, ක්‍රීඩා අමාත්‍යාංශයේත්, ක්‍රීඩා පරිපාලනයේත් වගකීමකි. එමෙන්ම ක්‍රීඩාවේ සැබෑ තත්ත්වය සමාජයට පෙන්වා දීම සහ අඩුපාඩු නිවැරදි කරගැනීමට බලධාරීන්ට බලපෑම් කිරීම මාධ්‍යයේ වගකීමකි.
අප අමතක නොකළ යුතු තවත් දෙයක් තිබේ:
* අද ක්‍රීඩාවට පිවිසෙන දරුවාට හෙට ජාත්‍යන්තර පදක්කම්ලාභියෙකු වීමට අවස්ථාව තිබිය යුතුය.
* අද ජාත්‍යන්තර මට්ටමේ තරග කරන ක්‍රීඩකයාට සාධාරණ පහසුකම් සහ ආරක්ෂාව තිබිය යුතුය.
* යේ රට වෙනුවෙන් ජයග්‍රහණය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට අද ගෞරවනීය ජීවිතයක් තිබිය යුතුය.
ක්‍රීඩකයාගේ ජීවිතය පදක්කමක් දිනාගත් දිනයෙන් අවසන් නොවේ. ක්‍රීඩාව යනු තරගයක් පමණක් නොවේ. එය ජාතික අභිමානයකි. එය ජාත්‍යන්තර අනන්‍යතාවයකි. එය අනාගත පරම්පරාවක් ගොඩනඟන ශක්තියකි. ක්‍රීඩා සංස්කෘතියක් තුළින් රටක සියලු භේද නසා එක්සිත් කරන ජාතික අනන්‍යතාවයකි.
අලුත් ආණ්ඩුවට දැන්වත් මේ වෙනස සිදු කිරීමට අවස්ථාව තිබේ. අවශ්‍ය වන්නේ තනතුරු පිරවීම නොව, ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති සහ ක්‍රීඩකයාගේ අනාගතය ගැන සිතන පරිපාලන සංස්කෘතියක් ගොඩනැගීමයි.

අයවැයෙන් මුදල් වෙන් කිරීම පමණක් ක්‍රීඩා සංවර්ධනය නොවේ. එම මුදල් නිසි පරිදි භාවිත කරමින් ක්‍රීඩකයාට අවශ්‍ය පහසුකම් ලබාදීමයි සැබෑ ක්‍රීඩා සංවර්ධනය. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහජ දක්ෂතාවය තිබේ. කැපවීම තිබේ. ජාත්‍යන්තර මට්ටමේ තරග කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය තිබේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ දක්ෂතාවය විශිෂ්ටත්වයට පත් කළ හැකි නිසි පරිසරයයි.
ක්‍රීඩකයාට පදක්කමක් ලැබුණු පසු ඔහුගේ නිවස සොයා යන රටක් නොව, පදක්කමක් දිනාගැනීමට පෙර ඔහුට අවශ්‍ය ක්‍රීඩා පිටිය, උපකරණ සහ පුහුණුව ලබාදෙන රටක් අපි ගොඩනැගිය යුතුය. අතීත ක්‍රීඩකයාට ගෞරවයත්, වර්තමාන ක්‍රීඩකයාට රැකවරණයත්, අනාගත ක්‍රීඩකයාට අවස්ථාවත් ලබාදෙන ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් අපට අවශ්‍යය.
පදක්කම් බලාපොරොත්තු වීමට පෙර පදක්කම් දිනාගත හැකි පරිසරයක් නිර්මාණය කරමු!
(සටහන | රුවිනි අබේමාන්න )
Ruwini Abeymanna OLY
ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ඔලිම්පික් ක්‍රීඩිකාවකි.
ඇය ප්‍රධාන වශයෙන් වෙඩි තැබීමේ (Shooting / Air Pistol) ක්‍රීඩාව සමඟ සම්බන්ධ වී සිටී.
මුලාශ්‍ර සබැඳිය



