‘අපිට ඕනෙ ආණ්ඩුවක්…
ගොවි කම්කරු ආණ්ඩුවක්
මේක නිකම් පාණ්ඩුවක්…’
මේ, 1977 සිට 1994 මැයි පෙළපාළිය දක්වා ශ්‍රීලනිපය උගුර ලේ රහ වෙනකම් කිය කියා ගිය සටන් පාඨයය. 1994 බලය ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ශ්‍රීලනිපය පෙළපාළි ගියේ ඔය සටන් පාඨය කියාගෙනය.
එහෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ රනිල්ගේ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ඒ.එස්. ජයවර්ධනව මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කළ විට ශ්‍රීලනිපයට තරු පෙනුණි. එදා ඒ.එස්.ට එරෙහිව සටන පටන් ගත්තේ මහින්දය. මේ, මහින්ද චරිතාපදානය ඒ ගැන කියන කතාවය.
‘පාද යාත්‍රා ගොස් ජන ඝෝෂා කොට මහින්දලා හැදූ ආණ්ඩුව ජුන්ටාවකට යට වෙමින් තිබිණි. මුලින්ම මේ ජුන්ටාව සමග හැප්පෙන්න සිදුවූයේ මහින්ද රාජපක්ෂටය.
1994 මංගල අයවැය සහ මහින්දගේ ඩීසල් බදු සටන

ඒ, 1994 පෙරමුණේ ආණ්ඩුවේ මංගල අයවැය සකස් කරමින් සිටි කාලයයි. මේ මංගල අයවැය පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳවා තිබිණි. මේ අයවැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව ජී.එල්. ජනාධිපති මන්දිරයට ආ මන්ත්‍රීවරුන්ට කීවේය. ඩීසල් වාහන සඳහා බදු පැනවීමෙන් අමාරුවේ වැටෙන්නේ මධ්‍යම පන්තියේ ජනතාව බව මහින්ද රාජපක්ෂගේ අදහස විය. එබැවින් මහින්ද රාජපක්ෂ මෙසේ කියන්න විය.
"ඩීසල් වාහනවලට බදු පැනෙව්වාම කවුද අමාරුවේ වැටෙන්නේ? මේ රටේ වෑන්වලින් 95%ක්ම දුවන්නේ ඩීසල්වලින්. කොහොමත් මධ්‍යම පන්තියේ මිනිස්සු පාවිච්චි කරන්නේ මේ ඩීසල් වාහන. ඉඳ හිට වන්දනාවක යන්න, ට්‍රිප් එකක් යන්න, ස්කූල් සර්විස්වලට, ගමේ කඩේට බඩු අදින්න පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. අපේ රටේ පන්සල්වල වැඩිපුර පාවිච්චි කරන්නෙත් ඩීසල් වාහන. ඒ නිසා මේ ඩීසල් වාහනවලට බදු පැනෙව්වාම අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු."
සාකච්ඡා හමාර වී මුදල් රාජ්‍ය ඇමැති ජී.එල්. ඇතුළු මැති ඇමැතිවරු ජනාධිපති මන්දිරයෙන් පිටත්ව යමින් සිටියහ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්. ජයවර්ධන පිටත්ව යන ජී.එල්. පීරිස් ඇමැතිවරයා නතර කරගෙන ඔහුට දොස් නගමින් සිටියේය.
ඒ.එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් ඇදගත් මහින්ද
‘ගමේ ගොඩේ මුදලාලිලාව පරෙස්සම් කරන්නද හදන්නේ…?’
ඒ.එස්. ජයවර්ධන මුදල් රාජ්‍ය ඇමැතිවරයා නතර කරගෙන ඩීසල් බද්ද පැනවීම නතර නොකරන ලෙසට බල කරමින් සිටියේය. එතැනින් යන්නට ආ මහින්දටද ඇසෙන ලෙස ඒ.එස්. ජයවර්ධන ජී.එල්.ට තදින් කතා කළේය. සංවාදය කෙරෙන තැනට ආ මහින්ද ඒ.එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවා තමන් වෙත ඇද ගත්තේය.
‘උඹ කොහොමද ඡන්දයෙන් පත්වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්නේ? උඹලට ඕනෙ විදියටද අපි ආණ්ඩු කරන්න ඕනේ…?’
ජී.එල්. සහ අනෙක් මන්ත්‍රීවරු ඒ.එස්.ව ගලවා ගත්තේ මහත් වෑයමකිනි. ඩීසල් බද්ද පැනවීම නතර කෙරුණද ජුන්ටාවේ වැඩ එතැනින් නතර කෙරුණේ නැත…’
(කුරහන් සාටකයේ කතාව - මහින්ද චරිතාපදානය)
අයි.එම්.එෆ්. පදයට නැටූ නිලධාරීන් පාලනය කළ හැටි

එදා ඒ.එස්. ජයවර්ධන ගොවියන්ගේ කම්කරුවන්ගේ ආණ්ඩුවක් හදන්න ආ ශ්‍රීලනිප ආණ්ඩුව ධනපතියන්ගේ ආණ්ඩුවක් බවට පත්කරන්න යද්දී ඊට එරෙහිව සටන් කළේ මහින්දය. මහින්ද පළමුව කැබිනට් මණ්ඩලයේ සටන් කළේය. කැබිනට් මණ්ඩලයේ සටන සාර්ථක නොවන බව දැනුණු විට කැබිනට් සටන මාධ්‍යයට ලීක් කළේය. ඒත් වැඩේ වෙන්නේ නැත්නම් ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.
2002 බලයට ආ රනිල්ගේ ආණ්ඩුව අයි.එම්.එෆ්. පදයට නටමින් මිනිස්සුන්ට බදු ගහද්දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද කරපු රෝල් එක කළේ එස්.බී.ය. අයි.එම්.එෆ්. කොන්දේසි අකුරට ඉටුකරමින් ධනපතියන්ට සහන දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් චරිත රත්වත්තේ යකා නටද්දී ඔහු සමග හැප්පුණේ එස්.බී.ය. එස්.බී.ගේ බලපෑමට චරිතව පාලනය කරන්න රනිල්ට සිදුවිය.
2005 මහින්ද ජනාධිපති වී චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඒ.එස්., රනිල්ගේ ආණ්ඩුවේ චරිත රත්වත්තේ කළ රාජකාරිය පැවරුණේ පී.බී. ජයසුන්දරටය. මහින්දගේ ආණ්ඩු කාලයේ පී.බී. ජයසුන්දරට එරෙහි සටන පටන් ගත්තේ විමල් වීරවංශය. ඔහු පී.බී.ට ආර්ථික ඝාතකයා කියමින් පී.බී. මහින්දගේ ආණ්ඩුව විනාශ කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෙක් යැයි කියමින් පී.බී.ව පතුරු ගැසුවේ මහින්දගේත් ආශීර්වාදයෙන්ය. පී.බී. අයි.එම්.එෆ්. පදයට නටද්දී මහින්ද පී.බී.ව කන්ට්‍රෝල් කළේ එහෙමය. විමල්ගේ සටනට වාසුලා, උදය ගම්මන්පිලලාගේත් සහාය හිමිවිය.
ගෝඨාගේ ආණ්ඩුව බේරාගත් විමල්, උදය සහ වාසු
2019 ගෝඨාභයගේ ආණ්ඩු කාලයේත් පී.බී. ජනාධිපති ලේකම් වී ආර්ථිකය හසුරුවන්න ගිය විට විමල්ලා, උදයලා, වාසුලා පී.බී.ට නැති වෙන්නම පහර දුන්හ. ගෝඨා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යන විට කෙරවලපිටිය විදුලි බලාගාරය ඇමෙරිකානුවන්ට දෙන්න යන විට වළක්වා ගත්තේ විමල්, උදය සහ වාසුය.
ගොවි, කම්කරු ආණ්ඩු හදන්න ආපු චන්ද්‍රිකා ජනවරමට පිටුපා අයි.එම්.එෆ්. පදයට නටන්න යන විට චන්ද්‍රිකාවත් ආණ්ඩුවත් බේරාගත්තේ මහින්දය.
ලෝක බැංකුවට, අයි.එම්.එෆ්. එකට එරෙහිව බලයට ආ මහින්ද අයි.එම්.එෆ්. පදයට නටන්න යන විට මහින්දවත් ආණ්ඩුවත් බේරාගත්තේ විමල්ලාය.
රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව බලයට ආ ගෝඨාභය නැගෙනහිර වරාය, කෙරවලපිටිය බලාගාරය විකුණන අයි.එම්.එෆ්. පදයට නටන්න යන විට ගෝඨාගේ ආණ්ඩුව බේරාගත්තේ විමල්ලාය.
හුළංගමුවට එරෙහිව කතා කරන්න වීරයෙක් ජවිපෙ නැද්ද?

‘එතකොට වසර 76කට පසු සමාජවාදී කියන ලේබලය පාවිච්චි නොකළත් නිර්ප්‍රභූ පොඩි මිනිහාගේ ආණ්ඩුවක් හදන්න ආ ජවිපෙ අද අයි.එම්.එෆ්. පදයට නටන විට ජනවරම ආරක්ෂා කරගන්න ආණ්ඩුව බේරාගත්තේ කවුද…?’
චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඒ.එස්. ජයවර්ධන මෙන් රනිල්ගේ ආණ්ඩුවේ චරිත රත්වත්තේ මෙන් මහින්දගේ ආණ්ඩුවේ සහ ගෝඨාගේ ආණ්ඩුවේ පී.බී. මෙන් මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. පදයට නටවන්නේ ව්‍යාපාරික, ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුවය. ලංකාව බංකොලොත් වීමට පෙර ගෝඨා ඔහුට ආර්ථික උපදෙස් ගන්න උපදේශක කමිටුවක් පත්කළේය. දුමින්ද හුළංගමුව එහි සාමාජිකයෙක් විය. ඒ වගේම රනිල්ගේ ආණ්ඩු කාලයේ වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළට හුළංගමුව සහාය දුන්නේය. රනිල් පත්කළ කමිටුවලත් ඔහු සේවය කළේය.
‘එතකොට ඒ.එස්.ට එරෙහිව කතා කරන්න මහින්දලා හිටියට, පී.බී.ට එරෙහිව කතා කරන්න විමල්ලා හිටියට, හුළංගමුවට එරෙහිව කතා කරන්න වීරයෙක් ජවිපෙ නැද්ද…?’
අද අනුරගේ ආණ්ඩුවත්, ජවිපෙත් මුහුණ දෙන ඛේදවාචකය ඒකය.
(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
මුල් වාර්තාවේ සබැඳිය: මව්රට



