The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාපතර භික්ෂුවක් නිසා මිලිනවූ මල් කකුලක්!

T

The Leader Desk

June 6, 2019 • 5:46 AM

පාපතර භික්ෂුවක් නිසා මිලිනවූ මල් කකුලක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයවීරට හදිසියේම දුරක‍ථන පනිවුඩයක් ආවේය. ජයවීරගේ නංගිට අසනීපයි, ඉක්මනට ගෙදර එන්න. දුර කථනයෙන් කියවුනේ එපමණෙකි.
  • නුවරට ගිහිං තව සෑහෙන දුරක් යන්නට ඇති බව තතු දත්තෙක් කීවේය.
  • නංගිගේ පින්තූරයක් දෙන අසල තබා ඇත.
  • මතුවටද ඒ නිවසට ගොඩ වැදෙන අනේක විද ලෝක සත්වයාට ඈ විසින් ඒ සිනහවෙන් සංග්‍රහ කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයවීර ගෙදර ගියේය. පසු දින ජයවීරගෙන් දුරකථන ඇමතුමක් ලැබුනේය. ජයවීරගේ නංගි මිය ගිහින්, භූමදානය පහුවෙනිදා.

ජයවීරගේ මල ගෙදර යන්න ටික දෙනෙක් සූදානම් වූහ. ජයවීර ජීවත් වූයේ නුවරිනුත් ඈත ප්‍රදේශයකය. නුවරට ගිහිං තව සෑහෙන දුරක් යන්නට ඇති බව තතු දත්තෙක් කීවේය.

ජයවීරගේ නිවස පිහිටා තිබුනේ ඈත පිටිසර ප්‍රදේශයකයි. මාර්ගයේ සිට සෑහෙන දුරක් කඳු පල්ලමකට පයින් ඇවිදිය යුතුය. ඒ කඳු පාමුල කුඩා ගමෙකි. ගෙවල් කිහිපයක් එක ලඟින් පිහිටා තිබුනේය. ඒ නිවස ඉතා කුඩා නිවෙසකි. සාලයේ නංගිගේ සිරුර තැන්පත් කොට තිබූ දෙන තබා තිබුනේය. දෙන වසා තිබුනු අතර දෙන ඝන රෙද්දකින් ආවරණය කොට තිබුනේය. සාලයේ කුඩා පොල්තෙල් පහනක් දල්වා තිබුනේය. නංගිගේ තනියට පොල්තෙල් පහන පමනක් දැල්වෙමින් තිබුනේය. නංගිගේ පින්තූරයක් දෙන අසල තබා ඇත. ඇය පියකරුය. ඇය සිනහවකින් සැරසී සිටියාය. ඈ හට ගෞරව කරන්නට පැමිණි කිහිප දෙනාට ඈ ඒ සිනහවෙන් සංග්‍රහ කලාය. මතුවටද ඒ නිවසට ගොඩ වැදෙන අනේක විද ලෝක සත්වයාට ඈ විසින් ඒ සිනහවෙන් සංග්‍රහ කෙරෙනු ඇත.

මල ගෙදර ඇත්තෝ නිවසෙන් පිටත රැඳී සිටියහ. නිවස තුල රැඳී සිටිය නොහැකි සේ දුර්ගන්ධයක් ඇත. දෙන තුල ඇත්තේ දින ගනනක් ජලයෙහි ගිලී තිබූ මිනිස් සිරුරකි. එය නරක් වී ඇත. දුගඳ පැතිරීම වලක්වා ගැනීමට සුවඳ විලවුන් ඉසුවද, විලවුන් සමඟ මුසුවුනු කුණුවන සිරුරේ දුර්ගන්ධය නාසයට වඩාත් අපහසුවක් ඇති කෙරෙමින් පැතිර ගියේය.

ජයවීරගේ අම්මා සිටියේ අඩ සිහියෙනි. ඇය සිදුවූ විපත පිලිනොගන්නේ යැයි ජයවීර කීවේය. ඇය දෙන හැර පෙන්වන්න යැයි ජයවීරගෙන් ඉල්ලයි. ජයවීර මව සනසන්නට උත්සාහ කලද පලක් වන්නේ නැත.

ජයවීරගේ නංගීට වයස දහසයෙකි. ජයවීරගේ සිහිනය වූයේ නංගි නීතිඥවරියක් කිරීමය.ජයවීරගේ මුර කුටිය ඉදිරියෙන් ගමන් ගත් සිය ගණනක් සිසු සිසුවියන් නීතිඥයන් වූ හැටි ජයවීර දුටුවේය. ජයවීර ඉදිරියෙන් යන එන සිසුවියන්ගෙන් ජයවීර නංගිව දුටුවේය. ජයවීර වෙන රැකියාවක් සොයා ගැනීමට කල්පනා කලේය. නංගි ලැජ්ජාවට පත් නොකල යුතු යැයි සිතුවේය. ජයවීර සිහිනයක සැරිසැරුවේය. ඒ ස්වප්නයේ කෙලවරක් ජයවීර නොදිටීය; සිහිනය අවසන්ය, ජයවීරගේ සිහිනය, බලාපොරොත්තු, වසා දමා ඇන ගැසුනු දෙනක් තුල මොහොතකින් මිහිදන් වීමට නියමිතව ඇත්තේය.

ජයවීරගේ කතාව අමිහිරිය, කටුකය, සියලුම ලෝක පාලන ධර්මතාවයන් හා ගැටෙන්නේය. ධර්මයෙන් ශික්ෂණය ඇති කල සමාජයක, ශික්ෂණය ඇති කරන්නා; ඇති කිරීමට දේශනා කරන්නා විසින්ම ශික්ෂණය බිඳ දමා ඇත්තේය. ජයවීරලා එහි ගොදුරක්ව ඇත්තේය.

ජයවීරගේ නංගි දූෂණය කොට මරා දමා ඇත්තේය. ඇය දින ගනනක් දූෂණය වන්නේය. ඒ චීවරයක් ඇඳි අධමයෙකුගේ හැඩි දැඩි පංචස්කන්ධයෙකිනි. චීවරයක් ඇඳි අධමයා ඇයගේ කෙලෙසී ගිය සිරුර ජලයෙහි ගිල්වන්නේය.ඒ සිරුරට ඉපිලිය නොහැකි ලෙස බරක් ගැට ගසමිනි. අධමයා පැන ගොසිනි. සොයා ගත නොහැකිය. ජයවීර කතාව කියුවේ එහෙමය. ජයවීර අසරණය. චීවරයෙන් වැසුනු සමාජය අභියෝගයට ලක්කරන්නට ජයවීරට ශක්තියක් නොවුයේය. එය එතරම්ම බලවත්ය.

සවස් වූයේය. දෙන නිවසින් එලියට ගත්තේය. දෙන ඔසවා ගත්තේය.

පාංශුකූලය; කවුරැන් හෝ ජයවීරට මතක් කලේය. පාංශුකූලය දෙන්නේ කාටදැයි අසමින් ජයවීර අවමංගල පෙරහැරට එක්වූයේය.

(1996 වසරේ අත්දැකීමකි. නම් ගම් පමණක් මන:කල්පිතය)

Upul Kumarapperuwa(නීතිඥ උපුල් කුමාරප්පෙරුම විසින් මීට වසර කිහිපයකට පෙර සිය ෆේස් බුක් ගිනුමේ සදහන් තැබූවකි.)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...