The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ එක් එක් ජනවාර්ගික, ආගමික කණ්ඩායම්වලට ලැබෙන අවස්ථාව සහ බලය -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

T

The Leader Desk

October 25, 2020 • 9:04 AM

 ආණ්ඩුවේ එක් එක් ජනවාර්ගික, ආගමික කණ්ඩායම්වලට ලැබෙන අවස්ථාව සහ බලය -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලය බෙදා ගැනීමේ කොන්සොසියේෂනල් ක්‍රමවේදය සහිත ආණ්ඩුවක මූලික ලක්ෂණ හතරෙන් දෙකක්, එනම් මහා සභාග ආණ්ඩුවක් තිබීම සහ සුලුතර කණ්ඩායම් වලට ලැබෙන නිෂේධ බලය පිළිබඳ පසුගිය සති
  • එසේම, ඔස්ට්‍රියාවේ කැබිනට් සභාග මණ්ඩලය තුළද එහි ප්‍රධාන පාර්ශව කණ්ඩායම් වල ඡන්ද ශක්තියේ අනුපාතයට අනුව නියෝජිතත්වය හැකි උපරිම හා විශ්වාසනීය ලෙස සහතික කර ඇති බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.
  •  එහෙත්, මෙය ප්‍රධාන කණ්ඩායම් දෙකක් පමණක් ඇති සමාජ තත්ත්වයන්හිදී සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයක් බව මහාචාර්ය ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.
  • 06- දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' (06) : කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරන්නේ කුමක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

දෙකෙහිදී අපි සාකච්ඡා කළෙමු. 

මෙවර තුන්වෙනි ලක්ෂණය වන වාර්ගික අනුපාතයට අනුව ආණ්ඩුවේ එක් එක් ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් වලට ලැබෙන අවස්ථාව සහ බලය පිළිබඳව සාකච්ඡා කරමු. 

සරල බහුතර මැතිවරණ ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීමේදී එක් මැතිවරණ කොට්ඨාශයක් සඳහා වැඩියෙන් ඡන්ද ලබා ගන්නා අපේෂකයා එම කොට්ඨාශය නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට තේරී පත්වේ. 

 

'ජයග්‍රාහකයාට සියල්ල හිමිවන ක්‍රමයක්'

WhatsApp Image 2020 10 25 at 9.36.39 AM       බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල : සරල බහුතර ඡන්ද ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත්වේ.

ශ්‍රී ලංකාවේ දැන් පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයට කලින් පැවති ඡන්ද ක්‍රමය ද මෙවැනි ආකාරයකට පැවතුනි. 

එම ක්‍රමයට පැවති ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී අදාල මැතිවරණ කොටසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරන විට වැඩිම ඡන්ද ලබා ගන්නා පක්ෂයේ අපේෂකයා එම මුලු ආසනය වෙනුවෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. 

ඒ නිසාම 'ජයග්‍රාහකයාට සියල්ල හිමිවන ක්‍රමයක්' ලෙස මෙම සරල බහුතර ක්‍රමය හැඳින්වේ. 

එමගින් ප්‍රායෝගිකව බහුතර මතය පමණක් නියෝජනය වන අතර, බහුතරය ලබා නොගත් අපේෂකයන්ට හෝ පක්ෂ වලට ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ මතය එමගින් නියෝජනය නොවේ. 

බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය අනුව බහුතරයට පමණක් අවස්ථාව සහ බලය ලැබෙන මෙම ක්‍රමය නිසා සුලුතර කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවේ. 

''බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය අනුව බහුතරයට පමණක් අවස්ථාව සහ බලය ලැබෙන මෙම ක්‍රමය නිසා සුලුතර කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවේ. ''

එබැවින්, එක් එක් අපේෂකයා හෝ පක්ෂය ලබා ගන්නා ඡන්ද අනුපාතයට අනුව මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ සමානුපාතික ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ අතර, එම සමානුපාතික ක්‍රමය මගින් බහුතරයක් ලබා ගත නොහැකි සමාජයේ සෙසු කොටස් වලටද අවස්ථාව සහ බලය ලැබෙන බව සැලකේ.

 

කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය :

කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය සහිත ආණ්ඩුවක 'අනුපාතික මූලධර්මය' ලෙස හැඳින්වෙන්නේ ඉහත සාකච්ඡා කළ ආකාරයට එක් එක් වර්ගයාගේ අනුපාතයට අනුව විවිධ ආයතන හා ක්ෂේත්‍රවල Pic 2020.10.25 1 3අවස්ථාව සහ බලය එකී සෑම කණ්ඩායමකම නියෝජිතයන්ට ලබා දීමේ මූලධර්මයයි. 

එය බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක තුන්වැනි වැදගත් මූලධර්මය ලෙස මහාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් 1977 දී ලියා පළ කළ 'Democracy in Plural Societies' (බහුවිධ සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය) නමැති සිය කෘතියේ විස්තර කරයි.

මේ අනුව තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාලන ආයතන වලට තෝරා පත් කර යැවීම සඳහා පැවැත්වෙන මැතිවරණ වලදීත්, ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය වැනි තීරණ ගැනීමේ ආයතන වලට පත් වීම් සිදු කිරීමේදීත්, රජයේ පරිපාලන නිලධාරින් සහ වෙනත් පත් කිරීම් සිදු කිරීමේදීත්, ආණ්ඩුවේ මුදල් වෙන් කිරීමේදීත් වාර්ගික අනුපාතය අනුව පත් කිරීම් සහ අදාල වෙන් කිරීම් සිදු කිරීම බලය බෙදා ගැනීමේ කොන්සොසියේෂනල් ආණ්ඩුවක මූලික ලක්ෂණයක් වේ. 

මෙම මූලධර්මය අනුගත කිරීමෙන් බහුතරය මතය අනුව පමණක් ආණ්ඩුවේ කටයුතු පාලනය කිරීම මෙන්ම, සුලුතරයගේ නිෂේධ බලය මගින් විශේෂ සුලුතර බලයකට බහුතරය යටත් කිරීම යන ක්‍රම දෙකටම වඩා වෙනස්, සමබර ක්‍රමයක් මහා සභාග ආණ්ඩුව තුළ නිර්මාණය කෙරෙන බව මහාචාර්ය ලෙයිෆාර්ට් කියයි. 

එබැවින්, අනුපාතික පදනම මහා සභාග ආණ්ඩුවකට යහපත් අංගයක් බව ඔහු පෙන්වා දෙයි.

අනුපාතික මූලධර්මය මගින් හැකි සෑම කුඩා ඒකකයක් දක්වාම ආණ්ඩු බලය බෙදා ගැනීම සිදු කෙරේ. 

එමගින්, හැකි සෑම දෙනෙක්ම තෘප්තිමත් කිරීමට හැකිවන නිසා එමගින් වාර්ගික බෙදීම් හේතුවෙන් ඇති වන ගැටුම් මග හරවා ගැනීමට විශාල රුකුලක් ලැබේ. 

 

අනුපාතික මූලධර්මය:

Pic 2020.10.25 1 2 12අනුපාතික මූලධර්මය පිළිබඳ මහාචාර්ය යූග් ස්ටෙයිනර් සඳහන් කරන ආකාරයට එමගින් "එක් එක් කණ්ඩායමේ සංඛ්‍යාත්මක ශක්තියේ අනුපාතයට අනුව තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව ලැබේ." 

එහෙත් මේ ආකාරයට මහා සභාග ආණ්ඩුව තුළ අනුපාතයට අනුව තීරණ සඳහා බලපෑම් කිරීමේ හැකියාව ලැබෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න පිළිබඳ කේවල් කිරීමේ අවස්ථාව සියලුම කණ්ඩායම් වලට ලැබෙන බව සහතික වුවහොත් පමණකි. 

ඒ අනුව, මහා සභාගය තුළ සියලු කණ්ඩායම් නියෝජනය විය යුතුවා පමණක් නොව, එකී කණ්ඩායම් වලට ඔවුන්ගේ සංඛ්‍යාත්මක අනුපාතයට අනුව එකී නියෝජනය සහතික වී තිබිය යුතුය.

 උදාහරණයක් ලෙස ස්විස්ටර්ලන්තයේ ෆෙඩරල් කවුන්සිලය සෑදී තිබෙන්නේ අනුපාතික නියෝජනය සහතික වන ආකාරයටය. 


WhatsApp Image 2020 10 25 at 9.38.56 AMස්විට්සර්ලන්තයේ ෆෙඩරල් කවුන්සිලය රැස්වන ගොඩනැගිල්ල : අනුපාතයට අනුව නියෝජිතයන් පත් කෙරේ.

එහෙත්, මෙහිදී පෙන්වා දිය යුතු කරුණක් වන්නේ ස්විස්ටර්ලන්තයේ ෆෙඩරල් කවුන්සිලය අනුපාතික මූලධර්මයට අනුව තීරණ ගැනීමේ ක්‍රමවේදය මත සකස් වුණද, යම් කරුණු සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ පවත්වන සෘජු ජනමත විචාරණ මගින් තීරණ ගැනීමේදී බහුතරයේ කැමැත්ත අනුව එකී තීරණ ගැනීම සිදු කරන බවයි.

එසේම, ඔස්ට්‍රියාවේ කැබිනට් සභාග මණ්ඩලය තුළද එහි ප්‍රධාන පාර්ශව කණ්ඩායම් වල ඡන්ද ශක්තියේ අනුපාතයට අනුව නියෝජිතත්වය හැකි උපරිම හා විශ්වාසනීය ලෙස සහතික කර ඇති බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.


WhatsApp Image 2020 10 25 at 9.39.35 AMඔස්ට්‍රියානු ෆෙඩරල් චාන්සලරි ගොඩනැගිල්ල : ප්‍රධන පාර්ශ්වයන්ගේ ඡන්ද ශක්තියේ අනුපාතයට කැබිනට් මණ්ඩලයට පත් කෙරේ.

එහෙත්, අනුපාතික මූලධර්මයට අනුව කැබිනට් මණ්ඩලය පත් වී තිබුණත්, යම් ක්‍රියාමාර්ගයක් ගන්නවාද? නැද්ද? යන්න පිළිබඳව ලබා ගැනීමට උත්සාහ කරන්නේ "ඔව්" හෝ "නැහැ" යන තීරණ දෙකින් එකක් නම්, සියලු දෙනාම "ඔව්" හෝ "නැහැ" යන දෙකින් එකකට එකඟ නොවන අවස්ථාවලදී එක්කෝ අනුපාතිකව බහුතරය හිමිවන කණ්ඩායමට වාසිදායක ලෙස එකී තීරණය ගනු ලබයි; 

නොඑසේ නම්, සුලුතරය සිය නිෂේධ බලය පාවිච්චි කරමින් බහුතරය මතයට අනුව තීරණයක් ගැනීම වළක්වාලයි. 

එහිදී එම තීරණයට අදාලව එක් පසෙකින් ජයග්‍රාහකයන් කණ්ඩායමකුත්, අනෙක් පසින් පරාජිතයන් කණ්ඩායමකුත් බිහිවේ. 

එය සභාග ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු සහගතය. 

මෙම ගැටලුවට සම්පූර්ණයෙන් සාර්ථක විසඳුමක් නොමැති බව පෙන්වා දෙන ලෙයිෆාර්ට්, යම් අසම්පූර්ණ මට්ටමකින් මෙම අවාසිදායක තත්ත්වය මග හරවා ගැනීමට විසඳුම් ක්‍රම දෙකක් යෝජනා කරයි.


''මෙම ගැටලුවට සම්පූර්ණයෙන් සාර්ථක විසඳුමක් නොමැති බව පෙන්වා දෙන ලෙයිෆාර්ට්, යම් අසම්පූර්ණ මට්ටමකින් මෙම අවාසිදායක තත්ත්වය මග හරවා ගැනීමට විසඳුම් ක්‍රම දෙකක් යෝජනා කරයි.''

# එක් ක්‍රමයක් වන්නේ කැබිනට් මණ්ඩලයේ විවිධ කණ්ඩායම් වලට වෙන් වෙන්ව අදාල වන කරුණු රාශියක් එකිනෙකට සම්බන්ධ කර, එය එක් කාරණයක් හෝ 'පැකේජයක්' ලෙස එකට ගොනු කර, සියලු දෙනා එක්වී යම් පොදු තීරණයක් ඒ සියලු කරුණු සම්බන්ධයෙන් ගැනීමයි. 

එමගින් එහි අන්තර්ගත කරුණු අඩුම ගණනේ එකක් හෝ යම් කණ්ඩායමක යහපතට අදාල වන බැවින්, එම කරුණින් ලැබෙන යහපත් ප්‍රතිපලය ආරක්ෂා කර ගැනීම සඳහා 'මුලු පැකේජයටම' එකඟ වීමට සියලු දෙනාට සිදුවේ.


# අනෙක් ක්‍රමය වන්නේ, තීරණයක් ගැනීමට දුෂ්කර මෙන්ම, ඉතා වැදගත් ප්‍රශ්න පිළිබඳව තීරණ ගැනීම ඉහළම මට්ටමේ නායකයන් කිහිප දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් අතට භාර කිරීමයි. Pic 2020.10.25 134

ඉහළම මට්ටමේ නායකයන් යම් නිල නොවන රහසිගත සාකච්ඡා වලින් ලබා ගන්නා එකඟතාවන් මත ඔවුන් සියලුදෙනා එකඟ වන තීරණයකට පැමිණීමට ඔවුන්ට අවස්ථාව උදාකර ගත හැකි බව ලෙයිෆාර්ට් කියයි.


අනුපාතික මූලධර්මයේ වෙනස් ආකාර දෙකක් පිළිබඳව ද ලෙයිෆාර්ට් සාකච්ඡා කරයි. 

# එකක්, සුලුතර කණ්ඩායම් වලට සිය සැබෑ ශක්තියට වඩා නියෝජිත අවස්ථාව ලබා දීමයි. 

# දෙවැන්න, බහුතර සහ සුලුතර සියලු කණ්ඩායම් වලට එක හා සමාන නියෝජිත අවස්ථාව ලබා දීමයි. 

නිදසුනක් ලෙස, උතුරු අයර්ලන්තයේ 48% ක් පමණ වන ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ටත්, 45% ක් වන කතෝලිකයන්ටත් උතුරු අයර්ලන්ත පොලිස් සේවාවේ රැකියා සියයට 50 / 50 වන ලෙස ලබා දී තිබේ. 

එය එකිනෙකාගේ සැබෑ අනුපාතයට වෙනස් වනවා පමණක් නොව, සමාන අවස්ථාවක් දෙපාර්ශවයටම ලබා දීමකි. 


එසේම 1970 ඇති කළ ව්‍යවස්ථා ප්‍රතිපාදනයකට අනුව බෙල්ජියමේ ලන්දේසි භාෂාව සහ ප්‍රංශ භාෂාව කතා කරන ඇමතිවරුන් සමාන ගණනක් සහිත වන සංයුතියකට අනුව කැබිනට් මණ්ඩලය සකස් කෙරුණු අතර, එමගින් ප්‍රංශ බස කතාකරන ඇමතිවරුන් සිය ජන අනුපාතයට වඩා වැඩි ගණනක් කැබිනට් මණ්ඩලයට නම් කෙරුණි.

 එහෙත්, මෙය ප්‍රධාන කණ්ඩායම් දෙකක් පමණක් ඇති සමාජ තත්ත්වයන්හිදී සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයක් බව මහාචාර්ය ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.


WhatsApp Image 2020 10 25 at 9.40.18 AM
බෙල්ජියමේ ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල  - අනුපාතයට අනුව නියෝජිතයන් කැබිනට් මණ්ඩලයට පත් කෙරේ.


ලබන සතියේ - බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - 4 වන කොටස


Dinesh Dodamgoda(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)
dodamgoda@gmail.com

 ['වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක   හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.  ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (‘ඉරිදා දිවයින ෆෙඩරල් කොලම' -9 : 2020 ඔක්තෝම්බර් 25)

 

 


සබැඳි ලිපි :

08- බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - නිෂේධ බලය සහිත සුලුතර කණ්ඩායම්- නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ 

07- දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' (07) : බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - මහා සභාග ආණ්ඩුවක්!

06- දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' (06) : කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරන්නේ කුමක්ද?

05 - දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' : බලය බෙදීමේ විසඳුමෙහි වාර්ගික ගැටුම් උත්සන්න කරන ප්‍රතිපල (2 කොටස)

04 - බලය බෙදා ගැනීමේ විසදුම වාර්ගික ගැටුම් උත්සන්න කරයි! - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ 

03 - වාර්ගික හෙට්ටු කිරීම සහ බලය බෙදා ගැනීම  (03) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

02 - වරිගය සහ වරිගවාදය’ (02) - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

01 - වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  (01) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...