The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බෙදාගත යුතු කතාවක් ! - විමල් කැටිපේආරච්චි

T

The Leader Desk

November 13, 2020 • 10:06 AM

බෙදාගත යුතු කතාවක් ! - විමල් කැටිපේආරච්චි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසි හැවිරිදි තරුණයකු ; අදට විසිතුන් වසරකට පෙර නොවැම්බර් දහතුන්වැනිදාවක
  •    යහපත පිළිබඳ තමන්ගේ මතය පළිහට තබාගෙන ඔවුහු සදාකාලික බල අරගලයක නිරත වෙති.
  •   දැන් අප ඉදිරියේ ඇත්තේ අලුත් ලෝකයකි.    ලෝකය වැඩිවැඩියෙන් ඉල්ලා සිටින්නේ ආදරය සහ මනුෂ්‍යත්වයයි.    ඊට බාධාවන දේශපාලන මූලයන් සමග හැප්පීම කළ යුතු ම ය.
  •   (මෙහි image එක ලෙස ඇත්තේ අර තරුණයා විසින් වයස අවුරුදු දහ අටේදී - 1995 - සිතුවම් කරන ලද්දකි.
අකුරු ප්‍රමාණය (Font Size):
; උදෑසන ලකලෑස්ති වූයේ ගමනක් යන්නට ය. 
 
එදින ම සිය මවගේ උපන් දිනය යෙදී තිබුණ මුත්, පාතරාසය වෙනුවෙන් පිසින කිරිබතකට එහා සාදයක් ඒ වෙනුවෙන් එකල ද නොතිබිණ. 
 
ඒ අල්ලපනල්ලේ වැඩිමහල් පුත්‍රයා කොහේ යන්නේදැයි දැනගැනීමට දෙගුරුන්ට අවශ්‍ය වූ අතර ``කොළඹ`` ය කියා පිළිතුරු ලැබිණ.
 
කොළඹ යන්නේ කුමටදැයි යන ප්‍රශ්නයට පිළිතුර වූයේ ''ඉල්මහ විරු සමරුවට' යන්න ය. 
 
අසූ නවයේ නොවැම්බරයෙන් පසු එළැඹුණු සෑම නොවැම්බරයකදී ම, නොරහසින් හෝ රහසින් `ඉල්මහ විරු සමරුව` පැවැත්විණි.
 
 ඒ නොරහස් වාර්ෂික සැමරුම් මාලාවේ සිව් වැන්නට සහභාගී වනු පිණිස, තරුණයා හලාවත සිට කොළඹ පැමිණ, පිටකොටුවෙන් එකසිය තිස් අටක නැග, `ටවුන් හෝල්` එක ළඟින් බැස්සේ ය.
 
ඒ සන්ධ්‍යාවේ අහස ගුගුරා කළු වළාකුළු මහපොළොවට ඇදහැලෙමින් තිබිණි. 
 
ඈතින් ඇසෙන ලවුඩ්ස්පීකර් ශබ්දය කියන්නේ දැන් දැන් සමරුව ආරම්භ කර ඇති බව ය. 
 
වැස්සෙන් බේරෙන්නට බස් නැවතුමක හෝ කඩපිළක මුවා වෙන්නට ගියොත් මුල ටික මිස් වෙනු නියත ය. 
 
තරුණයා අනෝරා වැස්සට පැන්නේ ය. නගර ශාලාව ඉදිරිපිට බුදුන් ද වර්ෂාව මැද උපේක්ෂාව වඩමින් සිටිනු දැක්ක හැකි විය.
 
ෆ්ලීට්ස් තබා මසන ලද කලිසමත් දම්පාට ඉරි සහිත අත්දිග කමිසයත් සේදී යන තරම් වැස්ස තද විය. 
 
නිල් එළි මවමින් කොළඹ අහසේ අවිධිමත් විදුලි රේඛා හීන් පින්සල් පහර සේ ඇදී ගියේ ය. 
 
පණ මෙන් ආදරය කළ කළු පැහැති අත් ඔරලෝසුව ඇතුළතින් බැඳෙන මීදුමකින් වැසී යමින් තිබේ. 
 
අඩිය ඉක්මන් කළ යුතු ය. එහෙත් විහාරමහාදේවි උද්‍යානය මැද තණ පිඩැලි යට මඩ ය. චොහොරු මඩ තරණයෙන් පසු හමුවන්නේ අගිසි උල් කළ තහඩු පටි වැට ය.
 
වැසි දිය ද, කිරි මඩ ද, උල් වැට ද, ස්වකීය වීරයන් ස්මරණය පිණිස දුරබැහැර සිට එන තරුණයා හමුවේ කිසියම් වික්‍රමාන්විත හැඟුමක් මවයි. 
 
තමන් කුඩා දරුවකුව සිටියදී, එකල නැගි අරගලයෙන් මිය ගිය නාඳුනන සොයුරු සොයුරියන් සමරන්නට යන සුහුඹුලෙක්, සිය තරුණ මනසේ නැගෙන ස්වානුරාගී නොපැසුණු හැඟීම්බරතාවක මත්වෙමින්, යකඩ වැට තරණය කරයි. 
 
අද ඔහු ඒ අතීතය දෙස බලන්නේ මඳහසින් මුත් ආදරයෙනි.
 
තම තමන්ගේ වීරයන් අනුස්මරණය කිරීම මනුෂ්‍යයන්ගේ සිරිතකි. 
 
දේශපාලනය වීරයන් නිර්මාණය කරන වෙසෙස් වැඩබිමකි. 
 
ඒ ඒ දේශපාලන ධාරාවන්ට ඒ ඒ වීරයෝ  සිටිති. 
 
මිනිස්සු නෙක නෙක පරිදි ඒ වීරයෝ සමරති. 
 
එහෙත්, වීරයන් ස්මරණය දේශපාලනික අර්ථයෙන් වැදගත්කමක් ගෙන එන්නේ අප ඒ ඒ යුගයන්ගෙන් පාඩම් ගන්නේ නම් පමණි. 
 
වීරයන් මෙන් ම ප්‍රතිවීරයන් ද අධ්‍යයනය කළ යුතු ය.
 
අවුරුදු දශක වී - දශක සියවස් වන විට, ලෝක සිතියමේ සිදුවීම් සිතියම වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගනියි. 
 
නියැන්ඩතාල්වරුන් සහ ඉරෙක්ටස්වරුන් කාය බලයෙන් නොව උපක්‍රමිකව පැරදවූ සේපියන්වරු වූකලී එදා සිට අද වන තෙක් දේශපාලනික සත්ත්වයෝ ය.
 
 යහපත පිළිබඳ තමන්ගේ මතය පළිහට තබාගෙන ඔවුහු සදාකාලික බල අරගලයක නිරත වෙති. එහි නම දේශපාලනයයි.
 
දැන් අප ඉදිරියේ ඇත්තේ අලුත් ලෝකයකි. 
 
ලෝකය වැඩිවැඩියෙන් ඉල්ලා සිටින්නේ ආදරය සහ මනුෂ්‍යත්වයයි. 
 
ඊට බාධාවන දේශපාලන මූලයන් සමග හැප්පීම කළ යුතු ම ය. ඒ ගැන විවාදයක් නැත. 
 
එහෙත් එය කළ යුතු වන්නේ ආදරය සහ මනුෂ්‍යත්වය අත නොහැර ය. 
 
දියාරු සම්මුතිවාදයකට පසු නොබැස, ආදරයත් අරගලයත් එකවිට දෑතින් දරාගැනීම හෙට දවසේ දේශපාලන පර්යේෂණයයි.
 
අප වසන්නේ පුංචි දූපතක ය. 
 
මේ වන විට අප ලෝක සමූහාණ්ඩුවක සිටියේ නම්, කොරෝනා වසංගත නාමකරණ රටාව අනුව අප හඳුන්වනු ඇත්තේ `ලංකා පොකුර` කියා ය. 
 
මේ දූපතේ සියලු ජනවර්ග ද ආගමික කණ්ඩායම් ද දේශපාලන කණ්ඩායම් ද එවිට `ලංකා පොකුරේ` එකට සිටිනු ඇත. 
 
ඉන්දු - චීන - ඇමරිකා බල ගැටුම යුද තලයට ආවොත්, අප `ලංකා කඳවුර` වනු ඇත. ඇත්ත කතාව එයයි.
 
නවසිය අනූ හතේ නොවැම්බර් දහතුන ඉල්මහ විරු සමරුවට ; එනකොට තනියම ආ තරුණයා, යනකොට පක්ෂයේ වාහනයකට ගොඩ වුණේ ය. 
 
ඒ, එතෙක් දේශපාලන ප්‍රකාශන කියැවීමට පමණක් සීමා වුණු ඔහුගේ ක්‍රියාකාරී දේශපාලනයේ පළමු දවස ය. 
 
විසිතුන්වසරකට පසු ඔහු අද මෙසේ සිතයි. 
 
වීරයන් සමරමු. ඔවුනට ද වැරදුණු තැන් අපි නිවැරදි කරගනිමු. සටන් බිම්වල මිය ගිය සියලු මිනිසුන්ට හිස නමමු.
 
(මෙහි image එක ලෙස ඇත්තේ අර තරුණයා විසින් වයස අවුරුදු දහ අටේදී - 1995 - සිතුවම් කරන ලද්දකි. ඒ සිතුවම සහ අකුරු සහිත කඩදාසිය, ඔහුගේ ප්‍රාණසම මිත්‍රයකු වන සුපුල් රවීන්ද්‍ර විසින් සුරැකිව තබාගත් බව ස්තූති පූර්වකව සටහන් කළ යුතු ය.)
 
(විමල් කැටිපේආරච්චි - 2020 නොවැම්බර් 13)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...