The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අකුරු හැඩය සහ භාෂා අර්බුදය - ජයසිරි අලවත්ත

T

The Leader Desk

December 12, 2020 • 6:13 AM

අකුරු හැඩය සහ භාෂා අර්බුදය - ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘අලුත් ඇඳුමක් පැළඳුමක් හෝ සිරිතක් විරිතක් හෝ ළඟා වූ විට එය අභිරුචියෙන් වැළඳ ගැනීම සමහරුන්ගේ සිරිත ය.
  •    පැරණි ක්‍රමය අනුගමනය කිරීමට කැමති වූවන් ද අලුත් ක්‍රම අනුගමනය කළවුන් ද එදා වූ බව නිසැක ය.    පල්ලව අක්ෂර සම්ප්‍රදාය බැහැර කළ ඇතැම් අක්ෂර ශිල්පීන් මෙන් ම සංස්කෘත භාෂා බැහැර කළ භාෂා ප්‍රේමින් ද එදා විසූ බව පෙනී යයි.
  •   ‘‘අක්ෂර’’ යනු කුමක් ද යන්න ශිලා ලේඛන සංග්‍රහයේ VI සහ VII පිටුවල  මෙසේ සඳහන් කර ඇත.
  • එතැනින් නතර නොවූ හෙතෙම පසු කලෙක දී ‘‘21 සියවස සඳහා භාශාවේ නවීකරනය’’ මැයෙන් වූ කුඩා පොත් පිංච තුළින් ද නවීන තාක්ෂණය තුළ ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ කෙතරම් ප්‍රායෝගික ද යන්න පැහැදිලි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
සමහරු ඒ දෙස උපේක්ෂාවෙන් බලති. සමහරු ප්‍රතික්ෂේප කරති. 
 
මෙම අලුත් මෝස්තර වැළඳ ගැනීමේ සහ ප්‍රතික්ෂේප කිරීමේ අරගලය ද අද මෙන් එදා ද විය. 
 
අලුත් වචන හා අලුත් අකුරු ද ඒවා ලබාගන්නා ක්‍රමය ද වෙනුවෙන් මත භේද විය.
 
 පැරණි ක්‍රමය අනුගමනය කිරීමට කැමති වූවන් ද අලුත් ක්‍රම අනුගමනය කළවුන් ද එදා වූ බව නිසැක ය. 
 
පල්ලව අක්ෂර සම්ප්‍රදාය බැහැර කළ ඇතැම් අක්ෂර ශිල්පීන් මෙන් ම සංස්කෘත භාෂා බැහැර කළ භාෂා ප්‍රේමින් ද එදා විසූ බව පෙනී යයි.
 
 
එහෙත් ක්‍රමවත් දියුණුවකට හේතුවන සේ පෙනී යන විට විරුද්ධතා අඩුවනු ද ක්‍රමයෙන් අලුත් පන්නය පිළිගැනී බහුල භාවිතයට එනු ද සිංහල භාෂා හා අක්ෂර සම්ප්‍රදාය පරිණාමය වන සැටි විමසා බලන්නකුගේ අවධානයට ලක්වන්නකි.’’
 
(සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය: මහාචාර්ය බන්දුසේන ගුණසේකර: පිටුව 14)
 
Prof.Bandusena Gunasekara
මහාචාර්ය බන්දුසේන ගුණසේකර
 
මහාචාර්ය බන්දුසේන ගුණසේකර එසේ ප්‍රකාශ කළ ද නූතන තාක්ෂණවේදයට සමපාත වන ආකාරයෙන් සිංහල අක්ෂර රටා වෙනස් කිරීමට රුචිකත්වය නොදක්වන පිරිස් සිටිති. 
 
එසේ වුව ද සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් මිදී නූතන ක්‍රමවේද වෙත පිවිසිමට කැමැති පිරිස් ද බහුලය. 
 
පළමුවෙන් සඳහන් කළ පිරිස්වල බලපෑම හේතුවෙන් අක්ෂර රටා වෙනස් කිරීම ඉතා අසිරු කටයුත්තක් බවට පත්ව තිබේ.
 
 
‘‘අක්ෂර’’ යනු කුමක් ද ?
 
‘‘අක්ෂර’’ යනු කුමක් ද යන්න ශිලා ලේඛන සංග්‍රහයේ VI සහ VII පිටුවල  මෙසේ සඳහන් කර ඇත.
 
‘‘ශබ්ද දක්වන රූප සටහන් අක්ෂර යන නාමයෙන් හඳුන්වනු ලැබේ. බ්‍රහ්ම ලෝකාගත ආදි කල්පිත බ්‍රහ්මයන්ගේ ශබ්ද දැක්වීම පිණිස යොදාගන්නා ලද ලකුණු ස්වරූප බ්‍රහ්ම අක්ෂර යන නාමයෙන් මුල් කාලයේ සිට පැවත විත් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ අවභාවිත වීමෙන් ගුප්තව අදෘශ්‍යමාන වූ පසු සිද්ධාර්ථ ගෞතම කුමාරයා විසින් ශාක්‍ය ඥාතින්ට ශිල්ප දැක්වීමේ දී ලිවීමෙහි දක්ෂතාව පෙන්වීම පිණිස නිපදවන ලද මෙකී බ්‍රාහ්මීය අක්ෂර අශෝක අක්ෂර නමින් භාවිතයට පත්විය.’’
 
යට සඳහන් ප්‍රකාශයට අනුව මෙන් ම අක්ෂර විකාශනයේ ඉතිහාසය පිරික්ෂා කිරීමේ දී ද දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සිංහල අක්ෂර විකාශනය පවා සිදුව තිබෙන්නේ බ්‍රාහ්මිය අක්ෂර පරිණාමය වීමෙන් බවයි. (රුප සටහන් 01 සිට 06 දක්වා) 
 
Letters 1

Letters 2Letters 3

 
නමුත් මේ වන විට පරිගණක තාක්ෂණය උපයෝගි කරගනිමින් අක්ෂර ලිවීමේ දී ආළ රූ සටහන් වෙනස් කිරීමට සිංහල අකුරු ලියන්නෝ සහ කියවන්නෝ බහුතරයක් රුචිකත්වයක් නොදක්වති. 
 
ඔවුහු තවමත් හිස දරා සිටින්නේ ඔවුහු පාසල් අවධියේ සිට මේ දක්වා හුරු පුරුදු වූ අක්ෂර රටා කෙරෙහි පමණි. 
 
එකී සාම්ප්‍රදායික අක්ෂර රටා අභිභවන්නට තරම් ඔවුන්ගේ මනස දියුණු මට්ටමට පැමිණ නැත. 
 
එය වඩාත් පැහැදිලි වන්නේ රජයේ මුද්‍රණ සංස්ථාවේ සිටි සාමාන්‍යාධිකාරී ආරිය වික්‍රම විසින් කරන ලද යෝජනා මාලාවක එක් කොටසක් වන ‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’ පිළිගැනීමට, එහි යථාර්ථය අවබෝධ කරගැනීමට හෝ එකී ක්‍රමයට අනුගතවන්නට සිංහල අක්ෂර කියවන පිරිස දක්වන ඕලාරික ස්වභාවය යි.
 
ආරිය වික්‍රම මෙම ක්‍රමය හඳුන්වා දුන්න ද එය පිළිගැනීමට එදා සිටි භාෂා ප්‍රවීණයෝ ද මැළිකමක් දැක්වුහ. 
 
Ajith Thikalasena
අජිත් තිලකසේන
 
එවන් තත්ත්වයක් තුළ වුව ද මෙරට වෙසෙන දක්ෂ කවියකු, කෙටිකතාකරුවකු මෙන් ම භාෂාවේ නූතනත්වය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ නිරන්තරයෙන් ම පාඨක ප්‍රජාව දැනුවත් කරන අජිත් තිලකසේන ‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’ පිළිබඳ වු ක්‍රියාදාමය ප්‍රායෝගිකව ම ඉදිරියට රැගෙන ආවේ ය. 
 
ඒ, ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘‘සතු‍රෝ’’ කෘතිය තුළිනි. එතැනින් නතර නොවූ හෙතෙම පසු කලෙක දී ‘‘21 සියවස සඳහා භාශාවේ නවීකරනය’’ මැයෙන් වූ කුඩා පොත් පිංච තුළින් ද නවීන තාක්ෂණය තුළ ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ කෙතරම් ප්‍රායෝගික ද යන්න පැහැදිලි කළේ ය.
 
එදා සිට අද දක්වා ඔහුගේ සියලුම කෘති සඳහා ඔහු භාවිත කරනුයේ ‘‘සමරූපීකරණ’’ රටාව ය. 
 
ඔහුට අමතරව ප්‍රවීණ කවියකු වන ජනක මහබෙල්ලන ද මෙම රටාවෙන් ම සිය ලේඛන ඉදිරිපත් කළේ ය. ඔහු විශ්වවිද්‍යාලයේ දී සිය නිබන්ධන පවා ඉදිරිපත් කළේ මෙකී රටාව අනුගමනය කරමිනි. 
 
මීට අමතරව රුපවාහිනී ක්ෂේත්‍රයේ වන චතුර ජයතිලක ද සිය පුද්ගලික ලේඛන සඳහා මෙකී ක්‍රමවේදය අනුගමනය කළේ ය.
 
අජිත් තිලකසේන විසින් රචිත ‘‘21 සියවස සඳහා භාශාවේ නවීකරනය’’ කෘතිය මවිසින් පරිශීලනය කරනු ලබන්නේ 1997 වසරේ දී පමණ ය.
 
 එය ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ඉක්බිති මගේ නිගමනය වූයේ ද පරිගණක අකුරු තාක්ෂණයට සමගාමීව කටයුතු කරන සමාජයකට ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ ඉතා වැදගත් බවයි.
 
අජිත් තිලකසේන විසින් රචිත ‘‘21 සියවස සඳහා භාශාවේ නවීකරනය’’ කෘතිය මවිසින් පරිශීලනය කරනු ලබන්නේ 1997 වසරේ දී පමණ ය. එය ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ඉක්බිති මගේ නිගමනය වූයේ ද පරිගණක අකුරු තාක්ෂණයට සමගාමීව කටයුතු කරන සමාජයකට ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ ඉතා වැදගත් බවයි.
 
ඒ අනුව එදා සිට මේ දක්වා මගේ පුද්ගලික ලේඛන ද, මවිසින් රචිත (ස්වතන්ත්‍ර) කෘති ද ප්‍රකාශයට පත් කළේ ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ අනුගමනය කරමිනි. 
 
නමුත් මේ වන විටත් ශ්‍රී ලාංකීය සිංහල කියවන පිරිස එය පරිශීලනය කිරීමට හෝ එකී ක්‍රමය අනුගමනය කිරීමට රුචිකත්වයක් නොදක්වන බව පැහැදිලි වී තිබේ.
 
එයට හේතුව ලෙස මා දකින්නේ කෙතරම් නූතන දෑ පරිහරණය කළ ද චිරාත් කාලයක් පුරා මනසේ තැන්පත් කරගෙන සිටින අක්ෂර රටාවෙන් මිදීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි; 
 
එසේත් නැතිනම් එකී නූතත්වය වැලඳ ගැනීමට ඔවුන් රුචිකත්වයක් නොදක්වන බවයි. 
 
මේ අන් කිසිවක් නොව පසුගාමිත්වය යි. 
 
නමුත් අද ඔවුන් දකින, කියවන අක්ෂර යනු ද ක්‍රමිකව පරිණාමය වී තිබෙන රූප පෙළක් බව මේ පිරිස නොදනිති; එසේත් නොමැති නම් නව කියවීමකට ඇති නොකැමැත්ත හේතුවෙන් ම එය නොදන්නවා සේ කල් ගෙවති.
 
''නමුත් අද ඔවුන් දකින, කියවන අක්ෂර යනු ද ක්‍රමිකව පරිණාමය වී තිබෙන රූප පෙළක් බව මේ පිරිස නොදනිති; එසේත් නොමැති නම් නව කියවීමකට ඇති නොකැමැත්ත හේතුවෙන් ම එය නොදන්නවා සේ කල් ගෙවති.''
 
 
‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ යනු කුමක් ද ?
 
මෙතෙක් දුරට මේ ලිපිය කියවන පාඨක ප්‍රජාවට මේ වන විට කිසියම් කුහුලක් පවතින බව සක් සුදක්සේ පැහැදිලි ය. 
 
එනම් මේ ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ යනු කුමක් ද යන්න ය. 
 
එය වඩාත් පැහිදිලි කරගැනීමට රුචිකත්වයක් දක්වන පිරිස් සිටීනම් යට සඳහන් කළ ‘‘21 සියවස සඳහා භාශාවේ නවීකරනය’’ පොත් පිංච පරිශිලනය කළ යුතු ය. 
 
අජිත් තිලකසේන විසින් රචිත කෘති පරිශීලනය කළ පාඨක ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් ය.  එසේ නොවුණ ද රූප සටන 07 වෙත අවධානය යොමු කරන්නේ නම් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.
 
Letters 4
 
‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ පිළිබද තර්ක විතර්ක ගොඩනගන බොහෝ අවස්ථාවල දී පැන නැගෙන ප්‍රශ්නයක් වන්නේ භාෂාව පරිහාණියට පත්කරන්නට ඉඩ දිය නොහැකි බවයි. 
 
නමුත් භාෂාව සහ අක්ෂර යනු මෙවලම් එකක් නොව ද්විත්වයකි. 
 
මේ මෙවලම් ද්විත්වය ම කාලානුරූපව වෙනස් වෙමින් පවතී. 
 
අනෙක් පසින් ගත් විට ‘‘සිංහල භාෂාව’’ යනු හුදු තනි භාෂාවක් නොවේ. එය විකාශනය වන්නේ ද විවිධ භාෂාවල සංකලන සහිතව ය. මතු දැක්වෙන්නේ ඊට උදාහරණ සපයාගත හැකි මාර්ගයකි.
 
''අනෙක් පසින් ගත් විට ‘‘සිංහල භාෂාව’’ යනු හුදු තනි භාෂාවක් නොවේ. එය විකාශනය වන්නේ ද විවිධ භාෂාවල සංකලන සහිතව ය. මතු දැක්වෙන්නේ ඊට උදාහරණ සපයාගත හැකි මාර්ගයකි.''
 
‘‘සිංහල භාෂාවේ මුල් යුගය ‘‘සිංහල ප්‍රාකෘත යුගය’’ නමින් ගෛගර් හඳුන්වා දී ඇත්තේ එහි ප්‍රාකෘත ලක්ෂණ බෙහෙවින් දක්නට ඇති හෙයිනි. 
 
එළු හෙවත් ශුද්ධ සිංහල නමින් හැඳින්වෙන සාහිත්යික භාෂාව බොහෝ සෙයින් ම මුල් සිංහල ලක්ෂණ ආරක්ෂා කරගෙන තිබේ. 
 
විශේෂයෙන් ම එහි වාග්මාලාව සම්පූර්ණයෙන් ම වාගේ එවකට ඉන්දියාවේ ව්‍යවහාර වූ විවිධ ප්‍රාකෘත භාෂාවලින් තත්සම වශයෙන් හා තත්භව වශයෙන් පැමිණි වචනවලින් ගොඩනැගී තිබේ.
 
සිංහල ප්‍රාකෘත යුගයට අයත් භාෂාව වැඩි වර්ධනය වීමේ දී එවකට දියුණු සාහිත්යික භාෂා වශයෙන් පැවති පාළි හා සංස්කෘත භාෂාවලින් ගත් වචනත්, දෙමළ භාෂාවෙන් පැමිණි වචනත් නිසා මිශ්‍ර ලක්ෂණවලින් යුත් සිංහල භාෂාවේ ප්‍රභවය සිදු විය. 
 
අද මිශ්‍ර සිංහල නමින් හැඳින්වෙන්නේ එම භාෂාවයි. 
 
වාග් මාලාව අතින් පමණක් නොව වර්ණ මාලාව, පද සිද්ධි හා වාක්‍ය නිර්මාණය අතින් ද පාළි, සංස්කෘත හා දෙමළ බාෂා සිංහල භාෂාවේ වැඩිම කෙරෙහි මහත්සේ බලපා තිබේ.
 
16 වන සියවසේ මුල් භාගය වනතුරු සිංහල භාෂාව කෙරෙහි බලපෑවේ ඉහත සඳහන් පෙරදිග භාෂා පමණකි. 
 
එහෙත් පෘතුගීසින් ලංකාවට පැමිණ වාණිජ හා දේශපාලන කටයුතු ඇරඹීමත් සමඟ ම බටහිර යුරෝපීය භාෂාවල බලපෑම ද සිංහලය කෙරෙහි නොඅඩුව ලැබිණි.’’
 
(සිංහල වාග්මාලාව කෙරෙහි ඉංග්‍රීසි බලපෑම්: මහාචාර්ය ආනන්ද ජයසේකර: පිටුව 10)
 
වාග් මාලාව අතින් පමණක් නොව වර්ණ මාලාව, පද සිද්ධි හා වාක්‍ය නිර්මාණය අතින් ද පාළි, සංස්කෘත හා දෙමළ බාෂා සිංහල භාෂාවේ වැඩිම කෙරෙහි මහත්සේ බලපා තිබේ.
 
මේ ආකාරයට කාලානුරුපව වෙනස් වූ භාෂාව වැලඳගන්නට නිරායාසයෙන් පෙලඹුණු සිංහල පාඨක ප්‍රජාව සිංහල අක්ෂර (රූප) මාලාවේ ආරම්භය, ප්‍රභවය සහ විකාශනය  පිළිබඳ අවධානය යොමු නොකරන්නේ මන්ද යන්න බරපතල ගැටලුවකි. 
 
ඔවුන් බහුතරයක් සිටින මතයට අනුව නම් සිංහල අක්ෂර මාලාව යනු ද වෙනස් නොවු මෙවලමකි. 
 
නමුදු සිංහල භාෂාවේ මතු නොව අක්ෂර මාලාවේ විකාශනය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නම් ‘‘අක්ෂර පිල්ලම් සමරූපීකරණය’’ යනු භාෂාවට කරන හානියක් හෝ බලගතු වෙනසක් නොව එය ද පරිණිමිය තත්ත්වයක් බව පසක් කරගනු නියත ය.
 
 නමුදු එය කවදා සිදුවේ ද යන්න අවිනිශ්චිත ය.
 
 
පරිශීලිත කෘති:-
* සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය: මහාචාර්ය බන්දුසේන ගුණසේකර
* ශිලා ලේඛන සංග්‍රහය
* සිංහල වාග්මාලාව කෙරෙහි ඉංග්‍රීසි බලපෑම්: මහාචාර්ය ආනන්ද ගුණසේකර
   
* සිංහල අක්ෂර මාලාවේ ප්‍රෙභ්ද හා පිළි වර්ග: දයානන්ද බිනරගම
* රැලි සුලි: අජිත් තිලකසේන
* ගල්වැනි මල්: අජිත් තිලකසේන
* මට සුපුරුදු මේ නගරේ: ජනක මහබෙල්ලන
 
රූප සටහන් උපුටා ගැනීම: - සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය: මහාචාර්ය බන්දුසේන ගුණසේකර, ‘‘21 සියවස සඳහා භාශාවේ නවීකරනය’’: අජිත් තිලකසේන
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...