The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුස්ලිම් මිය ගියවුන් ආදාහනය හා භූමදානය -රාවය විශේෂ සටහනක්

T

The Leader Desk

December 19, 2020 • 12:45 PM

මුස්ලිම් මිය ගියවුන් ආදාහනය හා භූමදානය -රාවය විශේෂ සටහනක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ්-19 හරහා වෙනත් කිසිදු රටක නැති අනවශ්‍ය ආගමික හා වාර්ගික ගැටුමක්
  •   මෙහි පහතින් ඇත්තේ මුස්ලිම්වරුන් ඉල්ලා සිටින කෝවිඩ්-19 හේතුවෙන් මිය යන ඔවුන්ගේ ඥාතීන් භූමදානය කිරීමට ආණ්ඩුවෙන් කරන ඉල්ලීමට අදාල සටහන් සහ උපුටා දැක්වීම් ගණනාවකි.
  •          භූමදාන:     කෝවිඩ්-19 න් මිය ගිය පුද්ගලයෙකු ප්‍රසිද්ධ සූසාන භූමියක හෝ ප්‍රජා භූමදාන ස්ථානයක භූමදාන කළ හැක.
  • එහෙත් මිය යෑම් බහුල යැයි හැඟෙන්නේ නම්, මිය යනවුන් භූමදාන කිරීම සඳහා තෝරාගත් විශේෂ ස්ථාන වෙන් කරන්නට ප්‍රාදේශීය බලධාරීන්ට හෝ එම ප්‍රජාවන්ට ඉඩ ඇත.    සමූහ භූමදාන සඳහා දිරි ගැන්වීම් නො කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
අප අපේ රටේ නිර්මාණය කරගෙන ඇත. 
 
කෝවිඩ්-19 මිය යෑම් සඳහා භූමදානය තහනම් කිරීමේ තීන්දුව ආණ්ඩුවේ දේශපාලනය සමගින් රජයේ නිල තීන්දුවක් බවට පත් වූවකි. 
 
එය ක්‍රිස්තියානි කතෝලික ප්‍රජාවට වඩා බරපතල ලෙස බලපා ඇත්තේ මුස්ලිම් ප්‍රජාවටය.
 
මුස්ලිම් ආගමික විශ්වාසයන්ට අනුව මෘත දේහයක් ගින්නෙන් දැවීම, මිය ගිය පුද්ගලයා අපායට යැවෙන පාපතරයෙකු ලෙස සැළකෙන්නකි. 
 
''මුස්ලිම් ආගමික විශ්වාසයන්ට අනුව මෘත දේහයක් ගින්නෙන් දැවීම, මිය ගිය පුද්ගලයා අපායට යැවෙන පාපතරයෙකු ලෙස සැළකෙන්නකි.'' 
 
එබැවින් මුස්ලිම් ජනතාව අතරින් විශාල විරෝධයක් මෝදුවී ඇත. මුස්ලිම් ආගමික හා ප්‍රජා නායකයින් එම තීන්දුව වෙනස්කරන මෙන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලීම් ගණනාවක් කර ඇත. 
 
ඇමති මණ්ඩලයේද ඒ ගැන සාකච්ඡා කළ බැව් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමති මාධ්‍යයට කීවේය. 
 
අධිකරණ ඇමති අලි සබ්රි දෙවරක්ම එය ඇමති මණ්ඩලයේ මතු කළ බවත් ඔහු කියා තිබිණ. 
 
එහෙත් ඒ කිසි විටෙක, භූමදාන තහනම ඉවත් කිරීමට තීන්දු නොකළ බවත් ඔහු පවසා තිබිණ.
 

Sajith Parliament

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ විට, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසූයේ ආණ්ඩුව විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව ඒ පිළිබඳව සොයා බලන බව හා ඔවුන්ගේ නිර්දේශ අනුව ආණ්ඩුව තීන්දු ගන්නා බවය. 
 
එහෙත් එවැනි විශේෂඥ කමිටුවක් ගැන පැහැදිලි තොරතුරක් නොමැති හෙයින් මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම, විරෝධතාවන් දක්වා පරිවර්තනය වන්නට පටන් ගෙන ඇත. 
 
ඒ හමුවේ අගමැති විසින් භූමදාන සඳහා නිශ්චිත ප්‍රදේශයක් සෙවීමේ වගකීමද මෙම විශේෂඥ කමිටුවට බාර දෙන ලදී.
 
 
ජනාධිපතිගේ ඉල්ලීමට මාලදිවයින් රජයේ ප්‍රතිචාර !
 
එවැනි දේ සිදුවන අතර, පසුගිය 14 වන සඳුදා සවස මාලදිවයින විදේශ කටයුතු ඇමති අබ්දුල්ලා ෂහීඩ් ඔහුගේ ට්විට සටහනකින් කියා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ මෘත දේහ මාලදිවයිනේ භූමාදනය කිරීමට එරට ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලිගෙන් පහසුකම් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපති සෝලි අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කරන බව ය. 
 
Abdulla S
 
එයට හවුල් වෙමින් මාලදිවයින හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් ඔහුගේ ට්විට සටහනකින් කියා තිබුණේ මේ ගැටළුව විසඳා ගැනීමට ශ්‍රී ලාංකිකයින් හා මාලදිවයිනුන් හවුල්වීම හොඳ බවත් ශ්‍රී ලාංකකයින් ඔවුන්ගේ ආසන්නම මිතුරන් හා සහෝදරයින් වන බවත් එබැවින් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිමුන් භූමදානය සඳහා ඔවුන්ගේ භූමිය ලබා දිය හැකි බවත් ජාවත්තේ මුස්ලිම් පල්ලියෙහි සුසාන භූමියෙහි පරම්පරා සතරක ඔවුන්ගේ නායකයින් භූමදාන කළ භූමියක් ඇති බවත් ය.
 
මේ ට්විට සටහන් වලට ප්‍රතිචාර දක්වමින් මාලදිවයින හිටපු විදේශ කටයුතු ඇමතිනි දූන්‍යා මවුමූන් ඇගේ ට්විට සටහනකින් කියා තිබුණේ මාලදිවයින් බලධාරීන් කළ යුත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට මාලදිවයින පදිංචියට එන මෙන් ආරාධනා කිරීම යැයි ඇය විශ්වාස කරන බවය. 
 
ඒ සමග ඇය තව දුරටත් සටහන්කර තිබූයේ ශ්‍රී  ලංකා ආණ්ඩුව මුස්ලිම්වරුන්ගේ ආගමික වතාවත් හා චාරිත්‍ර වලට ඉඩ දිය යුතු බවය.
 
Dunya Maumoon
 
පසු දින, දෙසැම්බර 15 වන අ`ගහරුවාදා දින මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු විට කෙහෙළිය රඹුක්වැල්ල ඇමති කියූවේ ඇමති මණ්ඩලයේ එවැන්නක් සාකච්ඡා නොවුනු බවත් ආණ්ඩුව එවැනි තීන්දුවක් හෝ ඉල්ලීමක් කර නොමැති බවත් ආණ්ඩුව තීන්දු ගනු ඇත්තේ පත්කර ඇති විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව බවත් ය.    
 
එහෙත් මාලදිවයින විදේශ කටයුතු ඇමතිගේ ට්විට සටහනින් දින දෙකකට පසුව හෝ මෙය ලියන මොහොත වනවිටද මේ කාරණාව පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් දක්වා නොතිබුණි.
 
මෙහි පහතින් ඇත්තේ මුස්ලිම්වරුන් ඉල්ලා සිටින කෝවිඩ්-19 හේතුවෙන් මිය යන ඔවුන්ගේ ඥාතීන් භූමදානය කිරීමට ආණ්ඩුවෙන් කරන ඉල්ලීමට අදාල සටහන් සහ උපුටා දැක්වීම් ගණනාවකි.     
 
 
භූමදාන:
 
Burial
 
කෝවිඩ්-19 න් මිය ගිය පුද්ගලයෙකු ප්‍රසිද්ධ සූසාන භූමියක හෝ ප්‍රජා භූමදාන ස්ථානයක භූමදාන කළ හැක. එහෙත් මිය යෑම් බහුල යැයි හැඟෙන්නේ නම්, මිය යනවුන් භූමදාන කිරීම සඳහා තෝරාගත් විශේෂ ස්ථාන වෙන් කරන්නට ප්‍රාදේශීය බලධාරීන්ට හෝ එම ප්‍රජාවන්ට ඉඩ ඇත. 
 
සමූහ භූමදාන සඳහා දිරි ගැන්වීම් නො කෙරේ. එය බොහෝවිට සැළසුම් කිරීම සම්බන්ධ බලධාරීන්ගේ අසමත්කම ප්‍රදර්ශනය කෙරෙන්නකි. 
 
එය පවුලේ හා ප්‍රජාවගේ අපේක්ෂාවන්, චාරිත්‍ර හා ආගමික පිළිවෙත් නොසළකා හැරීමකි. 
 
තනි භූමදානයන් ගෞරවාන්විත හා වැදගත් වන්නේය. එය භූමදාන කළ පුද්ගලයා හඳුනා ගැනීමටත් එහි භූමදාන කළ පුද්ගලයාට ගෞරව කිරීමටත් ඉඩ තබන්නේය.   
 
 
 
අධිකරණ ඇමති අලි සබ්රි:
 
sabry ali
''මම හිතනවා ආණ්ඩුවට යුතුකමක් තියෙනවා 'කාරණා පැහැදිලිකර කියන්න.'' - අධිකරණ ඇමති අලි සබ්රි
 
''මේක ගෝලීය වසංගතයක් නිසා ආණ්ඩුවට ඇතැම්විට ඒ සඳහා වැඩි අවධාරණයක් සමග තීන්දු ගන්න සිදුවන බව අප පිළිගත යුතුයි. 
 
නමුත් මම හිතන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකම්ම ඇවිත් මේ වගේ පියවර ඉදිරිපත් කෙරුවයි කියලා. භූමදාන සඳහාත් ඉඩ තබන්න ඔවුන් ඒ ගැන නොයෙක් ආකාරයෙන් කරුණු සොයා බලන්නට ඇති.
 
 බොහෝ රටවල්, එංගලන්තය, ඉතාලිය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් 182 ක් ඊට ඉඩ දෙනවා. 
 
ඒ නිසා ඇත්තටම සෞඛ්‍ය, නැතිනම් ප්‍රවාහන ඇතුළු එවැනි හේතු (Logistics) තියෙනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වලට වෙනස්ව ආදාහනය සඳහා පමණක් ඉඩ ලබාදෙන තීන්දු ගැනීමට, ඒ සඳහා අපට ඉතා වැදගත් හා වලංගු කාරණා තියෙනවා නම්, මම හිතනවා ආණ්ඩුවට යුතුකමක් තියෙනවා ඒ කාරණා පැහැදිලිකර කියන්න. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ තිබුණට මෙන්න මේ කාරණා නිසා අපට ඒවා වෙනස් කරන්න සිදුවෙනවා කියලා පැහැදිලි කරලා කියන්න....''
 
(අද දෙරණ ඉංග්‍රීසි වැඩ සටහන - 2020 අප්‍රේල් 01 වන දින) 
 

 
 
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා හා මාලදිවයින නියෝජිත හානා සි`ග
 
එක්සත් ජාතීන්ගේ කණස්සල්ල පල කරමින් ශ්‍රී ලංකාව භූමදාන තහනම සම්බන්ධ තීන්දුව නැවත සළකා බලනු ඇතැයි සිතන්නේ යැයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා හා මාලදිවයින නියෝජිත හානා සි`ග අගමැති මහින්ද රාජපක්ෂට යොමු කළ ලිපියෙහි ''වසංගත පැතිරීම වළකා ගැනීමට එවැනි රෝගයකින් මිය ගිය පුද්ගලයෙකු ආදාහනය කළ යුතු යැයි වන පොදු නිගමනය සඳහා සාක්ෂි නැත.
 
ආදාහනය සංස්කෘතික තේරීමක් වන අතර, පවතින සම්පත් අනුවද තීන්දු වන්නකි......භූමදානයට අවසර නොදීම සමාජ සහසම්බන්ධයට අවාසි ලෙස බලපානු ඇතැයි මට බියක් ඇත. 
 
වඩාත් වැදගත් වන්නේ එය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ජනතාව අධෛර්යකර වසංගතය පාලනය කිරීමට ගන්නා පියවර වලටද නිශේධනීය බලපෑමක් ඇති කිරීමය.'' යනුවෙන් ලියා තිබිණ
 
(2020 නොවැම්බර 12 වන දින)
 
 
මහාචාර්ය ප්‍රභා පළිහවඩන:
 
Prof PrabaP
''වතුරත් එක්ක වයිරසය පැතිරෙන්නේ නැහැ'' - වසංගත රෝග විද්‍යා අංශ අධ්‍යක්ෂිකා
 
''වතුරත් එක්ක වයිරසය පැතිරෙන්නේ නැහැ. වයිරසයක් රෝගියෙකුගෙන් පිටවන විදි තියෙනවා. කතා කරනකොට, කහිනකොට, කිවිසුම් එක්ක කතා කරනවාට වඩා....වයිරසය පෘෂ්ටයක් මත වැටුනම ඒවායෙ තමයි වයිරසය තියෙන්නේ. 
 
අපි ඒවා අතපත ගාලා පස්සේ මුහුණ පිහදැම්මම, නහය අත ගෑවම වයිරසය ඇතුලූ වෙන්න පුළුවන්. නමුත් වයිරසයක් හුගක් වෙලා එළියෙ තියෙන්න බැහැ. වතුරෙ වර්ධනය වෙන්න බැහැ.''
 
(වසංගත රෝග විද්‍යා අංශ අධ්‍යක්ෂිකා - රූපවාහිනි සාකච්ඡාවකදී කෝවිඩ්-19 නිසා මිය ගිය අය භූමදානය කිරීමෙන් භූගත ජලය ඔස්සේ වසංගතය පැතිරේද යන ප්‍රශ්නයට පිළිතුර)
 
 
Dr. Malik P
වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්
 
''බැක්ටීරියා වලට වගේ නෙවෙයි, වයිරස් වලට වැඩෙන්න පුළුවන් සජීවි ශෛලවල පමණයි. ඒ නිසා රෝගියා මිය ගිය පසු වයිරසයත් මැරෙනවා. ඒ මෘත දේහයේ ආයේ වර්ධනය වෙන්න ඉඩක් නැහැ. 
 
අනෙක, බෝවීමේ වැඩි ඉඩක් තියෙන්නේ පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දින කිහිපයකට පෙර සහ ඉන්පසු දින හතරක පමණ කාලයක් තුල. 
 
දින දහයක් විතර වෙනකොට බෝවීම පහළ වැටෙනවා ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. එතකොට පැතිරීමත් ඉතාම අඩුයි. ඉතිං භූමදාන ගැන කියන්න තියෙන්නේ මෘත දේහ වලින් නම් පැතිරෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ.''
 
(හොංකොං විශ්ව විද්‍යාලයයෙහි ප්‍රජා සෞඛ්‍ය අංශයේ ක්ෂුද්‍රජීව විද්‍යා හා වසංගත රෝග විශේෂඥ සහ සාස් වයිරසය හඳුනාගැනීමේ පුරෝගාමීයෙකි - දෙසැම්බර 15 'නිවුස්වය' සමග කළ සාකච්ඡාවකින් )   
 
 
 
අලි සහීර් මවුලානා:
 
Ali saheer m at kanatta 1
බොරැල්ල කනත්තේ වැටෙහි සුද රෙදි කඩක් ගැට ගසන අලි සහීර් මවුලානා. 
 
ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන සියලූ වෛද්‍ය ප්‍රකාශ සහ කෝවිඩ්-19 හේතුවෙන් මියගිය වුන් භූමදානය කිරීමේ පිළිවෙත්, ආදාහනය කිරීමට වඩා කිසිදු අවදානමක් සහිත නොවේ. ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියාකරන්නේ ඊට පැහැදිලිවම එරෙහිව සහ ඉතා දැනුවත්ව සුළුතරයක් මර්දනය කිරීමටත් අසාධාරණයට ලක් කිරීමටත්ය
 
(කරුණා අම්මාන්ට එල්.ටී.ටී.ඊයෙන් කැඩී කොළඹට පැන ගන්නට පෞද්ගලිකව උදව් කළ, මඩකළපුව දිස්ත්‍රීක්කයේ  හිටපු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය ඇමතිවරයෙකි - දෙසැම්බර 15 ට්විට සටහන) 
 

Ali SaheerM

 
 
''කතානායක මොහොමඩ් නෂීඩ් ඔබට, ඔබගේ ආණ්ඩුවේ පරාර්ථකාමය වෙනුවෙන් මම සැබෑ සියලූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ස්තුතියි කරමි. කෙසේමුත් එම ප්‍රදානය බාර ගැනීම, ශ්‍රී  ලංකාවේ පාරම්පරික පුරවැසියන් ලෙස මුස්ලිම්වරුන් සතු නිදහස සඳහාවන සමාන අයිතිය සහමුලින් උල්ලංඝණය කිරීමක් හා අතහැර දැමීමක් විය හැක.'' - අලි සහීර් මවුලානා (දෙසැම්බර 15 ට්විට සටහන) 
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියාන් රාසමානිකන්:
 
'අද මේ රටේ නැති බිල්ලෙක් මවලා පාන එක තමයි කරන්නේ. මේ රජයේ තියෙන වැරදි වහ ගන්න, මේ නැති බිල්ලෙක් මවලා පානවා.  පව් මේ අහිංසක සිංහල ජනතාව. මේ රටේ ඉන්න සිංහල ජනතාව.....ඇත්තටම පව්. '' -පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියාන් රාසමානිකන්
 
''අද මේ රටේ නැති බිල්ලෙක් මවලා පාන එක තමයි කරන්නේ. මේ රජයේ තියෙන වැරදි වහ ගන්න, මේ නැති බිල්ලෙක් මවලා පානවා. 
 
අද බලන්න උතුරු නැගෙනහිර ළමයි 50 ට වඩා එරෙස්ට් කරලා තියෙනවා. මොකටද? ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්ම කියලා. නොවෙම්බර් 26 වෙනදා, 27 වෙනිදා, 28 වෙනිදා ෆේස්බුක් එකේ විවිධ පෝස්ට් දාලා තියෙනවා. තව ළමයෙක් එරෙස්ට් කරලා තියෙනවා, රජයේ සේවකයෙක්, අවුරුදු 29 යි. 
 
එයාව එරෙස්ට් කරලා තියෙන්නෙ මොකටද? තව කවුදෝ එක්කෙනෙක් එයාව ටැග් කරලා ෆේස්බුක් එකේ. දැන් කියමු අද මෙතන ඉන්න මන්ත්‍රී කෙනෙක්ව ටැග් කරලා ප්‍රභාකරන්ගෙ ෆොටෝ එකක් දැම්මොත් එහෙම, ඒ මන්ත්‍රීවරයගේද වැරැද්ද? 
 
ඒ අයව එරෙස්ට් කරලා තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඔබලා ඒ අයගෙ අනාගතය විනාශ කරනවා. ඇයි මෙහෙම එරෙස්ට් කරන්නේ? කුඩු ගේන අය එරෙස්ට් කරන්නකො. ඇයි එහෙම කරන්නේ? 
 
මේ ආණ්ඩුවේ නොහැකියාව වහ ගන්නයි එහෙම කරන්නේ......මේ නැති බිල්ලෙක් මවලා පෙන්නන්නේ. 
 
පව් මේ අහිංසක සිංහල ජනතාව. මේ රටේ ඉන්න සිංහල ජනතාව.....ඇත්තටම පව්. 
 
දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? මේ රටේ එහෙම ප්‍රශ්න නැහැ. ඔබලා ප්‍රශ්න නිර්මාණය කරනවා. රට පාලනය කරගන්න බැරි නිසා ප්‍රශ්න නිර්මාණය කරනවා............
 
බලන්න මුස්ලිම් ජනතාව. මොනවද ඔවුන් ඉල්ලන්නේ? අවසන් කටයුතු කිරීමේ අයිතිය. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ මිය ගිය පුද්ගලයින් භූමදානය කරන්න. 
 
මුස්ලිම් ජනතාව ඔවුන්ගේ මුළු ජීවිතයම ගෙවන්නේ කුරාණයට අනුව. දැන් ඔබලා දේශපාලනය වෙනුවෙන් ඔවුන්ගේ අවසන් අයිතියත් අහෝසි කරලා. 
 
මට ලැජ්ජයි. මට ලැජ්ජයි මේ 20 වන සංශෝධනයට ඡන්දය දුන්නු මුස්ලිම් මන්ත්‍රීවරුන් ගැන............
 
සුළුතර ජනතාව අද උසාවි යනවා. මොනවටද ඔවුන් උසාවි යන්නේ?...........ඔවුන් උසාවි යන්නෙ ඔබලා ඔවුන්ට ඔවුන්ගේ මිය ගියවුන් භූමදාන කරන්න දෙන්නෙ නැති නිසා............
 
දෙමළ ජනතතාව උසාවි යනවා මියගිය අය සමරන්න අයිතිය ඉල්ලලා...........
 
මේ රටේ සිංහල මිනිසුන්ට පව් කියලා මං කියන්නේ නැති බිල්ලො මවලා පෙන්නන්නෙ. 
 
දෙමළ මුස්ලිම් මිනිස්සු නෙවෙයි මේ රටේ ප්‍රශ්නෙ. 
 
අපි බලා ගන්න ඕනෙ චීන ආයෝජන. චීනය විශාල වශයෙන් ආයෝජනය කරනවා වරාය වල. 
 
පකිස්තානයක් වෙන්නද අපට ඕනේ? 
 
තවත් ලාඕසයක් වෙන්න ඕනේද? 
 
අපි චීන ණය උගුලක අහු වෙන්න යන්නේ. 
 
ඒක සිංහල ජනතාවට කියන්න. 
 
පුළුවන්නම් සිංහල ජනතාව ඉදිරියට ගිහින් කියන්න චීන ණය ගැන.............
 
මූලාසනේ ඇමතිතුමා, මොකද්ද මේ? මගේ කතාවට බාධා කරන්න ඉඩ දීලා මට විනාඩියයි කියන්නේ? පාලනය කරන්න මේ අයව, රීති ප්‍රශ්නයක් නෙවෙයි වාඩි වෙන්න.............
 
මේ මන්ත්‍රීවරුන්ද? මේකද බාසාව?............ඔය හැසිරීම අපට ශක්තියක්. ස්තුතියි''
 
(දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ශානකියාන් රාසමානිකන් දෙසැම්බර 05 වන දින පාර්ලිමේන්තුවේදී කළ ත්‍රෛ භාෂා කතාවෙන් උපුටා ගන්නා ලදී)
 

(උපුටා ගැනීම - රාවය පුවත්පතින්)
සබැඳි පුවත් 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...