The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

2020 මහ මැතිවරණය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ජනාධිපති බලතල

T

The Leader Desk

June 5, 2020 • 12:57 PM

 2020 මහ මැතිවරණය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ජනාධිපති බලතල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහ ජුනි මස 20 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම නිකුත්
  • "මෙම තීන්දුව ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකරුවන් පස් දෙනෙක්.
  • "පසුගිය නොවැම්බර් මාසේ බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව එක් පාර්ශවයකට සිය ඡන්දය ප්‍රකාශ කළා.
  • මෙවැනි අවස්ථාවක රට අරාජික වෙන්න නොදී ජනමතය ලබා ගත යුතුමයි." පවතින තත්වය මත දේශපාලනික තීරණ ගැනීම අතිශය වැදගත් වන නමුත්, නොවැම්බර් මස ජනතාව ඡන්දය ලබා දුන් පාර්ශවයටම පාර්ලිමේන්තු බලය ද ලබා දිය යුතු යැයි මෙයින් අදහස් නොවන බව ද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ජූනි 3 වෙනි දින ඒකමතිකව තීරණය කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය සහ එහි පසුබිම පිළිබඳ බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමකි මේ.

"පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තිබෙනවා"

ඕනෑ ම පුරවැසියෙකුට සිය මතය ඉදිරිපත් කිරීමට සේම යම් නීතිමය කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට අයිතියක් තිබේ.

එම අයිතිය ඔස්සේ දේශපාලන ක්‍රියාවලිය, තීන්දු තීරණ පිළිබඳ නෛතිකබාවය ගැන ප්‍රශ්න කරමින් පෙත්සම් ඉදිරිපත් කිරීම ඉතිහාසය පුරාවට දැකිය හැකිය.

"මෙම තීන්දුව ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකරුවන් පස් දෙනෙක්. එය මේ වන විට නඩුවට අදාළ සියලු පාර්ශවවලින් පිළිගෙන තිබෙනවා," කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සිය අදහස් දක්වමින් පැවසීය.

"පසුගිය නොවැම්බර් මාසේ බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව එක් පාර්ශවයකට සිය ඡන්දය ප්‍රකාශ කළා. නමුත් පාර්ලිමේන්තු බලය තිබුණේ ඒ පාර්ශවයට නෙමෙයි වගේම පෙර සිටිය පාර්ශවය තවම වෙනස් වෙලා නැහැ. මෙවැනි අවස්ථාවක රට අරාජික වෙන්න නොදී ජනමතය ලබා ගත යුතුමයි."

පවතින තත්වය මත දේශපාලනික තීරණ ගැනීම අතිශය වැදගත් වන නමුත්, නොවැම්බර් මස ජනතාව ඡන්දය ලබා දුන් පාර්ශවයටම පාර්ලිමේන්තු බලය ද ලබා දිය යුතු යැයි මෙයින් අදහස් නොවන බව ද ඔහු පැවසීය.

"වසංගතය කාලයේ මෙන්ම පශ්චාත් කෝවිඩ් සමයේ මිනිසුන්ට සෑහෙන ගැටළු පැන නැඟිලා තියෙනවා. දැන් ගොවීන්ගෙන් විරෝධතා පවා මතුවෙලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ මැතිවරණයක් පැවැත්වීමෙන් ජනතාවට කැමති තීරණයක් ගැනීමේ නිදහසක් ලැබෙනවා. ඒ අනුව බලන කළ මෙය විශිෂ්ඨ තීන්දුවක්."
 112712301 e6                                        ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්
නීතීඥවරයෙකුට එහා ගොස් පුරවැසියෙකු ලෙස සලකා බැලූ කළ ද මෙම තීන්දුව මඟින් සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වන බව ප්‍රසන්ත ලාල් ද අල්විස් තවදුරටත් පැවසුවේය.

පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් මොනවා ද?

1. ජනාධිපතිවරයා මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය නීති විරෝධී ලෙස ප්‍රකාශ කිරීම.

2. පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු නමුත් එසේ සිදු නොකර ජූනි මස තෙක් මැතිවරණය පැවැත්වීම කල් දැමීම නීතිවිරෝධී යයි තීන්දු කිරීම.

3. ජනාධිපතිවරයා පැරණි පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රතික්ෂේප කිරීම වැරදි බව ප්‍රකාශ කොට, අධිකරණය හරහා හෝ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට බල කරවීම.

4. පාර්ලිමේන්තුවක් යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ගිණුම්, එය නොමැති අවස්ථාවක දී ක්‍රියාත්මක කළ නොහැකි බව.

5. වසංගත රෝගයක් පැතිරී යමින් තිබෙන කාලයක් අතරතුර මැතිවරණයක් පැවැත්වීම ඡන්දදායකයන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අතර, අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් කිරීම වළක්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන්, නීතිඥ චරිත ගුණරත්න ඇතුලු පාර්ශ්ව 8 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණි.

නීතිඥ චරිත ගුණරත්න ගොණුකළ පෙත්සම නඩුව ආරම්භයේදීම ඉල්ලා අස්කර ගනු ලැබිණි.

මේ අතර, පෙත්සම්වලට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පාර්ශ්ව 15 ක් අතරමැදි පෙත්සම් ගොනුකර තිබිණි.

"තාක්ෂණික හේතු මත කුසලතා නොබලා මෙම නඩුව මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන්න කියලා විරෝධතා මතු වුණා. නමුත් එම විරෝධතා ප්‍රතික්ෂේප වුණා. එයින් කියැවෙන්නේ නඩුවේ හරයට ගිහින් එය සලකලා බලලා මෙම අවසාන තීරණය විනිසුරු මඬුල්ල විසින් ලබා දී ඇති බවයි," ජනාධිපති නීතීඥ අලි සබ්‍රි බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසුවේය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි.

 112712303 e5                                             ජනාධිපති නීතීඥ අලි සබ්‍රි
දින දහයක් පුරාවට දෙපාර්ශයේ තර්ක සලකා බලා, මෙම තීරණයට එළැඹීමෙන් පෙනී යන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, මැතිවරණය කල් දැමීම සහ මේ දක්වා විශේෂ තත්වයක් මධ්‍යයේ ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් භාවිතය නීති විරෝධී නොවන අතර, පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ද අවකාශ නොමැති බව යැයි ඔහු තවදුරටත් පැවසීය.

"ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය යම් තීරණයක් දුන්නාම එය පිළිගෙන ඉදිරියට කටයුතු කළ යුතුයි."

විපක්ෂයේ ප්‍රතිචාරය කුමක් ද?

"විපක්ෂය මේ අවස්ථාවේ දී පෙර නොවූ විරූ ආකාරයට භේද බින්න වෙලා ඉන්නේ. ඒ අයට අවශ්‍ය වී තිබුණේ පරණ පාර්ලිමේන්තුව කැඳවා ගන්න. මේ රටේ දැන් තිබෙන ආර්ථික අභියෝගයත් එක්ක ඔවුන්ට වාසිදායක වේ යැයි හිතාගෙන ඡන්දයට කල් ගැනීමට උත්සහ කළා. සාමාන්‍යයෙන් විපක්ෂය තමයි ඡන්දය පවත්වන්න ඉල්ලනේ. හැබැයි මේ විපක්ෂය ඉල්ලා සිටියේ ඡන්දය කල් දාන්න," නීතිඥ අලි සබ්‍රි බීබීසී සිංහල සේවයට පැවසීය.

ජාතික සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ, කෝවිඩ් 19 වසංගතය පැතිරී යාමත් සමග නිදහස්, සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකිය යන හේතුව මත මැතිවරණය කල් දමන මෙන් ඉල්ලා ඔවුන් අධිකරණය වෙත ගිය බවය.

"මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ රටේ මැතිවරණයක් පවත්වන්න ස්වාධීන වාතාවරණයක් තිබෙනවා කියලා දැනුම් දී සති 9ත් 11ත් අතර කාලයකින් මැතිවරණය පවත්වනවා කියලා. ඒ අනුව අපි අධිකරණයට ගිය කාරණය ඉෂ්ඨ වුණා," මහලේකම්වරයා පැවසීය.


election 500 1 800x445                             "අපි කොහොමද මේ මැතිවරණය සිදු කරන්නේ කියන කාරණය අපිට තාම කියන්න බැහැ"

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ, "ජනතාවගේ ජීවිත අනතුරේ නොහෙළා, රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගනිමින්, දේශපාලන පක්ෂවලට සාධාරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමේ වාතාවරණයක් යටතේ පවත්වන ඡන්දයකට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්" බවය.

"අපි කොහොමද මේ මැතිවරණය සිදු කරන්නේ කියන කාරණය අපිට තාම කියන්න බැහැ. දින නියම කළාට පසු මහ මැතිවරණයට සූදානම් වෙනවා. පවතින තත්ත්වය අනුව සාකච්ඡා කර තීන්දු ගන්නවා," යැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ඡන්දය කවදා ද?

ජූනි 3 මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ මනාප අංක ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව ජූනි 8 සඳුදා තීරණය කරන බවය.

මහ මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ මාලාව අනුව, සෑම ඡන්ද පොළකට ම සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයෙකු යෙදවීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

එමෙන්ම, දැවැන්ත රැලි හෝ රැස්වීම් නොපැවැත්විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

"මහ මැතිවරණය පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලැබූ පමණින් මෙරටින් කොරෝනාවෛරස් වසංගතය අවසන් වූ බව සිතන්න එපා. කොමිසමට ජනාතව බිය ගැන්වීමට වගේම ජනතාවගේ බිය නැති කරන්නත් අවශ්‍යතාවක් නැහැ."

 112712450 e1"අතුරුදන්ව තිබෙන පළාත් සභා මැතිවරණය පවත් වන්නේ, යම් දිනක ද එදින දක්වා හෝ කෝවිඩ් පවතින්න පුළුවන්." මහින්ද දේශප්‍රිය තවදුරටත් ප්‍රකාශ කළේය.

නඩුවට පාදක වූ නීතිය:

ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තියේ විස්තර කර ඇත. 33 (1) (ඇ) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

70 (1) වගන්තිය යටතේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාල සීමාව නිශ්චය කරනු ලැබ ඇති අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ නිදහසත් දී තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දී යටත් විය යුතු සීමාවන් ගැන මෙම වගන්තියට ඇතුළත් කර ඇත.
 

70 (1) වගන්තිය:

"ජනාධිපති වරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය;

එසේ වුවද පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය."


 112712454 f2f72afd cdcf 4117 a6f3 942310fd9dc3"වර්තමානයේ උද්ගත වී ඇති තත්වය අනුව 70 වෙනි වගන්තිය කියවිය යුත්තේ 101 වගන්තිය මෙන්ම 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත ද සමගයි"

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැන තර්කයක් නොමැති වුවත්, එය කියවිය යුත්තේ අදාළ සීමා කිරීම් සඳහන් 70 වෙනි වගන්තිය ද සමග යැයි 2018 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

"70 වෙනි වගන්තියේ සඳහන් වෙනවා වසර 4 1/2ක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ, තුනෙන් දෙකක ඡන්දයකින් පාර්ලිමේන්තුවම ඉල්ලා සිටියහොත් මිසක. නමුත් මේ අවස්ථාවේ දී එම තර්කය අදාළ වන්නේ නැහැ වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන්නේ වසර 4 1/2කින් පසුව නිසා," ජනාධිපති නීතීඥ අලි සබ්‍රි පැවසුවේය.

නමුත්, පෙත්සම්කරුවන්ගේ තර්කය වී ඇත්තේ 70 (5) වෙනි වගන්තියේ සඳහන් පරිදි, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු තෙමසක් ගත වන්නට පෙර අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවය.

"ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදු වෙලා නැහැ. එයට හේතුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මැතිවරණ දිනයක් සහ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් පවා යොදා තිබුණා. නමුත් කල් යෑම සිදු වුණේ මේ සියල්ලට පසු සිදු වූ සිද්ධියක් හේතුවෙන්."

"මෙවැනි අවස්ථාවක 70 වෙනි පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වගන්තිය ද කියවිය යුතුයි."

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් නීති පැවරීමේ බලය පිළිබඳ 101 වගන්තියේ පැහැදිලි කර ඇත. මෙය පදනම් කරගෙන 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සකසා ඇත.

"වර්තමානයේ උද්ගත වී ඇති තත්වය අනුව 70 වෙනි වගන්තිය කියවිය යුත්තේ 101 වගන්තිය මෙන්ම 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත ද සමගයි. එවිට තේරුම් ගන්න පුළුවන් අනපේක්ෂිත හේතුන් මත ඡන්දය කල් දැමීමට කොමිසමට බලයක් තිබෙන බව," නීතීඥ අලි සබ්‍රි තවදුරටත් පැහැදිලි කළේය. 


( දැහැමි රණවීර - බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...