The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එසේ වූවා නම් ෆාතිමා අදත් ජීවතුන් අතරය - විමලනාත් වීරරත්නගේ පුංචි පුංචි සටහන්

T

The Leader Desk

March 7, 2021 • 7:31 AM

 එසේ වූවා නම් ෆාතිමා අදත් ජීවතුන් අතරය - විමලනාත් වීරරත්නගේ පුංචි පුංචි සටහන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව හැවිරිදි ෆාතිමා දැරිය වේවැල් හතක් කැඩෙන තුරු පහර දීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.
  • පහර නොදෙන ලෙස ඒ කිසිවෙක් කෑ ගසා නොකීහ.    මහනුවර නගරයේදී සංඝයාවහන්සේ නමක් කිසියම් සිදුවීමකට විරෝධය පාමින් ගිනි තබා ගත්හ.
  • ඒ බව එක්තරා රූපවාහිනී නාලිකාවක ප්‍රාදේශීය වාර්තාකරුවකුට එහිමියෝ වේලාසන දැනුම් දුන්හ.
  • එය ජීවිතයක් බේරා ගැනීමට තිබුණු අවස්ථාවක් මග හැරීමකි.    මේ වගේ අවස්ථාවල මැදට පැනීම ඇතැම් විටෙක පරිප්පු කෑමට හේතුවක් විය හැකි බව සැබෑවකි.
අකුරු ප්‍රමාණය (Font Size):
අසල්වාසියකු පුවත්පතකට කියා තිබුණේ උදෑසන සිට කට්ටඩි කාන්තාවගේ එම පහරදීම සිදුව තිබුණු බවත් දැරියගේ විලාපය අසා සිට බැරිම තැන තමා රක්ෂාවට ගිය බවත්ය. 
 
අඩුම තරමින් තමන් අවට කෘර සිදුවීමක් පූර්වයෙන් දැනගැනීමට ලැබුණහොත් මැදට පැන එය වළක්වන සමාජයක් ලංකාවේ තිබුණේය. එහෙත් දැන් සමහර දේවල්වලට අත දැමීම අහක යන පරිප්පු කෑමට සිදුවීමක් ලෙස මිනිස්සු දකිති.
 Sri Lanka Police
 
මීට වසර කිහිපයකට පෙර කොල්ලූපිටියේදී දුම්රියකට ගල් ගැසූ මන්ද මානසික පුද්ගලයකු පොලීසිය හඹා එන විට මුහුදට පැන්නේය. මුහුදේදී ඔහුට පොලූ පහර දී මරා දැමුණි. සමහරු එය දැක දැක නිහඬව සිටියහ. වීඩියෝ කළහ. පහර නොදෙන ලෙස ඒ කිසිවෙක් කෑ ගසා නොකීහ. 
 
මහනුවර නගරයේදී සංඝයාවහන්සේ නමක් කිසියම් සිදුවීමකට විරෝධය පාමින් ගිනි තබා ගත්හ. ඒ බව එක්තරා රූපවාහිනී නාලිකාවක ප්‍රාදේශීය වාර්තාකරුවකුට එහිමියෝ වේලාසන දැනුම් දුන්හ. එහෙත් එම වාර්තාකරු අන් අයට නොකියා නිසි අවස්ථාවේ ගිනි තබා ගැනීම වීඩියෝ කර ගත්තේය. 
 
නැගලා යන රූප රාමුව අසුවුණේ ඔහුට පමණි. එහෙත් හාමුදුරුවෝ ජීවිතක්ෂයට පත් වුහ. එය ජීවිතයක් බේරා ගැනීමට තිබුණු අවස්ථාවක් මග හැරීමකි. 
 
මේ වගේ අවස්ථාවල මැදට පැනීම ඇතැම් විටෙක පරිප්පු කෑමට හේතුවක් විය හැකි බව සැබෑවකි. සමහර විට අනුන්ගේ ප්‍රශ්නයකට මැදිහත්වීම නිසා පිහි ඇණුම් කෑමටද පුළුවන.
 
ජීවිතය නැති කර ගැනීමට කොත්මලේ ජලාශයට පිනූ තරුණියක් බේරා ගැනීමට පිහිනා ගිය තරුණයා දියේ ගිලී මරු වැළද ගත්තේය. ඔහු එක් දරු පියෙකි. ජලාශයට පැන්න තරුණිය දිවි බේරාගත්තාය. තම දිවිය පරදුවට තබා අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වන එබදු පුද්ගලයෝද සිටිති. 
 
වැදගත් වන්නේ ප්‍රශ්නය කාගේද යන්න නොව ඛේදවාචකය වැළැක්වීමට පියවර ගැනීමය. එය පරිප්පුවක් විය හැකිය. එහෙත් ජීවිතේ ගියත් ඒ පරිප්පුව ශ්‍රේෂ්ඨය.
 
දෙල්ගොඩ ෆාතිමා දැරියගේ සිද්ධියේදී ගමෙහි කිහිප දෙනෙකුට හෝ මැදිහත්වී ඒ ක‍්‍රෑර ක්‍රියාව නතර කළ හැකිව තිබුණි නම් ෆාතිමා අදත් ජීවතුන් අතරය.
 
 
 
ආදරයෙන් සිපගත් ගෙළ
 
MUrder Z 
 
වෘත්තියෙන් පොලිස් නිලධාරියකු වන පුද්ගලයකු තමන් ඇසුරු කළ තරුණියගේ ගෙළ කපා දමා සිරුර වේල්ල වීදියට ගෙනැවිත් දැමීම සිත් කම්පා කරන සිද්ධියක් වුයේය. 
 
ඒ තරුණිය ඔහු ඇසුරු කළ පෙම්වතිය විය යුතුය. ඔහු වැඩිහිටි දරුවෙක්ද සිටින පියෙකි. එහෙත් ප්‍රේමය නම් සිසිල් සුළග ඔහු වත සිපගෙන තිබීම කෙසේ නම් වැළැක්විය හැකිද ? වළකා ගත යුතු දේ ප්‍රේමය නොව අවසානයේ ඇගේ ගෙළ සිදලීමය.
 
ඔහු මේ කපා දමා ඇත්තේ කලෙක ආදරයෙන් සිපගත් ගෙළ නොවේද ? ආදරයේ එකම වේදනාව විරහව මිස මරණය විය යුතුද ?
 
‘‘ආලය අසීමිත විය හැකිද ? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. එසේ නැත්නම් ආලය තුළම වන බොරු වළවල් වල වැටී වල්මත් විය හැක.''
(කොලරා කාලේ ආලේ පසුවදනෙනි)
 
 
සිද්ධියට පසු දින ඉහත නිලධාරියාත් දිවි නසා ගත්තේය. මිය ගිය දෙනොම වැටුණේ ආලය තුළම වන බොරු වළකද? 
 
ඔවුන් දෙදෙනා අතර සිදුවු ආරවුල පිළිබඳ රසවත් කතාවක් දැන් සමාජය බලාපොරොත්තු වනවා ඇත. එහෙත් සමාජයට රසවත් වුණත් අදාළ දෙදෙනා විෂයෙහි හා ඔවුන්ගේ සමීපතමයන්ට වේදනා බර ඒ පුවතෙහි සුගක්වත් දැනගැනීමට නොලැබී ඔවුන් දෙදෙනා සමගම වැළලී යටපත්ව යන එක වඩා හොඳය. 
 
ඒ කෙසේ වෙතත් ආදරයෙන් සිපගත් ගෙළ මේ සා ක‍්‍රෑර ඉරණමකට බඳුන් නොවිය යුතු බව යළි කියමි.
 
 
 
ජවිපෙට හද දොර විවර කළ හැකිද?
 
Lalkantha
ජවිපෙ තමන් නිර්ධනීන්ගේ පක්ෂයක් යැයි කියු පමණින් ඡන්දය ලැබෙන්නේ නැත
 
 
නොච්චියාගම පැවති ජනහමුවකදී ලාල් කාන්ත කියා තිබුණේ පීඩිත පන්තිය බල ගැන්වීමේ සටන තම පක්ෂය අනිවාර්යෙන්ම ජයගන්නා බවය. 
 
මෙම ක්‍රියාව සාර්ථක කර ගැනීමට මෙරට වම දිගු කාලයක් උත්සාහ කළේය. අඩුම තරමින් එම කාලය වසර 85 ක් වත් වෙයි. ඒත් වැඬේ හරි ගියේම නැත. 
 
පීඩිත පන්තිය වැඩි වශයෙන් එජාපයට හා ශ්‍රීලනිපය මෙන්ම ඉන් නිපන් පක්ෂ වලටම ඡන්දය දුන්නේය. 
 
ඔවුහු පීඩිතයන් බල ගන්වනු පිණිස ජනසවිය, සමෘද්ධිය වැනි වැඩසටහන් කළෝය. ඒවායින් ජනතාව තව තවත් දුප්පත් විය. දේශපාලන දැනුමෙන් නම් බල නොගැන්වුණි. 
 
එහෙත් ජනතාව විශ්වාසය තබන්නේ පීඩිත පන්තියේ යැයි කියන පක්ෂ කෙරෙහි නොවේ. ධනපති පක්ෂ ඔවුහු ඊට වඩා විශ්වාස කරති. ඒ මන්ද ?
 
ජවිපෙට වුව තමන් නිර්ධනීන්ගේ පක්ෂයක් යැයි කියු පමණින් ඡන්දය ලැබෙන්නේ නැත. ජවිපෙ කළ යුත්තේ පීඩිත පන්තිය බලගන්වන අතරම පක්ෂයෙහි තිබෙන වැදගත් හරයන් රඳවාගෙන නව ස්වරූපයකට පත්වීමය.
 
 ඒ නව ස්වරූපය හෝ පරිවර්තනය කවරාකාරද යන්න ගැන ජවිපෙට සේම එසේ කියන අප කාටත් තවම නිශ්චිත අදහසක් නොතිබිය හැකිය.
 
මේ කාරණය පිළිබදව පළමුව ජවිපෙට තමන් සමග සිටින සහ ඉකුත් මැතිවරණ සමයේ එකට වැඩ කළ බුද්ධිමතුන් සමග සාකච්ඡුාවක් ඇරඹිය හැකිය. අපට ඒ සදහා මෙවැනි නිදර්ශනාත්මක සංඥාවක් කළ හැකිය. 
 
ජවිපෙට සම්බන්ධ උගතුන් ජවිපෙට සම්බන්ධ පුවත්පතට ලියන්නේ නැත. නැතහොත් ලියනවා හොදටම අඩුය. ඒ ඇයි ? එම උගතුන් විටින් විට ලියන්නේ ලිබරල් සමාජ දේශපාලන හා සංස්කෘතික මතයක් දරන වෙනත් පුවත්පත් දෙකකටය. 
 
එම පුවත්පත් දෙකම ජවිපෙ මෙන්ම සෙසු පක්ෂවල ක්‍රියාකාරිත්වයද විවේචනය කරන දේශපාලන පක්ෂයකට නොබැදුනු පුවත්පත්ය. එමෙන්ම ඒවා ප්‍රතිසංස්කරණවාදය සිය සමාජ දේශපාලන තේමාව බවට පත්කර ගත් පුවත්පත්ය. 
 
අඩුම තරමින් තමන් සමඟ සිටින උගතුන් බුද්ධිමතුන් තම පක්ෂයට සහ සම්බන්ධ පුවත්පතට ලිවීමට හෝ යොමු නොවීමට හේතුව කුමක්දැයි ජවිපෙ සොයා බලා තිබෙනවාද?
 
 අප ජවිපෙට කියන්නේ එම උගතුන්ගේ මතයට ගැලපෙන ලෙස වෙනස් වීමට නොවේ. තුලනාත්මක සමාජ දේශපාලන හා සංස්කෘතික ව්‍යාපාරයක් බවට පත්වීමට අවශ්‍ය කොන්දේසි සපුරන ලෙසය. 
 
ප්‍රතිපත්ති පළල් කර ගන්නා ලෙසය. 
 
පීඩිතයන් යැයි වෙනම නම් නොකළත් ජනයාගේ හද දොර අරින යතුර ඇත්තේ එහි බව අපගේ කල්පනාවය.
 
 
WimalanathW
(විමලනාත් වීරරත්න)

 wimale.ravaya@gmail.com

(ravaya.lk)

 


 

 

 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එසේ වූවා නම් ෆාතිමා අදත් ජීවතුන් අතරය - විමලනාත් වීරරත්නගේ පුංචි පුංචි සටහන් | The Leader