The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාස්කු දුක් ප්‍රාප්තිය සහ හන්දියේ හෝන් ගැහිල්ල - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

May 7, 2021 • 3:05 PM

පාස්කු දුක් ප්‍රාප්තිය සහ හන්දියේ හෝන් ගැහිල්ල - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාරක් අවහිර කිරීම, බාධාවක් නිසා ජනතාව හෝන් ගසා ඊට විරෝධය පෑහ. හෝන් ගැසීම රාජකාරියට බාධා කිරීමක් ලෙස සැලකූ පොලිසිය, පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවීය.
  •   සැකකරු පොලිස් අත් අඩංගුවට පත්වූ අවස්ථාව තෙක් සියලු සිදුවීම් කිසිදු පාලනයකින් හෝ කිසිදු සංවිධානයකින් තොරව සිදුවීමත්, එය රටේ නීතිය කඩකිරීමක් ලෙස නිර්වචනය කොට ක්‍රියා කිරීමත්, සුළුවෙන් බැහැර කළ නොහැකිය.
  •  කන්ට ඕනෑවූ විට, මොකාදෝ මොකෙක්දෝ ලෙස සැලකීම ගමේ ව්‍යවහායෙන් නම් හෙලුවෙන් කොහේදෝ යනවා වැනි ලජ්ජා නැති හැසිරීමකි.
  • සිද්ධියෙන් පීඩාවට පත් මගීන් මුහුණ දුන් දැඩි අපහසුව ක්‍රමයෙන් විරෝධයක් ලෙස ඉස්මතු වුණා විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය මහත්මිය, මේ ඔස්ට්‍රේලියාව නොව ලංකාව බව කියා, සැකකරුට දැඩි සේ අවවාද කර ඇප මත නිදහස් කළ බව මැයි 3 වෙනි දා නිමන්ති රණසිංහ 'ලංකාදිපය'ට වාර්තා කළාය.
 
සැකකරු පොලිස් අත් අඩංගුවට පත්වූ අවස්ථාව තෙක් සියලු සිදුවීම් කිසිදු පාලනයකින් හෝ කිසිදු සංවිධානයකින් තොරව සිදුවීමත්, එය රටේ නීතිය කඩකිරීමක් ලෙස නිර්වචනය කොට ක්‍රියා කිරීමත්, සුළුවෙන් බැහැර කළ නොහැකිය.  
 
හේතුව 2019 නොවැම්බර් දක්වාත් ප්‍රසිද්ධ ස්ථානවල ශබ්දය භාවිතා කොට, විරෝධය පෑමට ජනතාව සතු අයිතිය, රාජපක්‍ෂ පාලනය යටතේ අහිමිවීද යන සැකයයි. 
 
චීන රාජ්‍ය තාන්ත්‍රිකයාට ආරක්‍ෂිතව, ගෞරව පුරස්සරව ගමන් කිරීමට පහසුකම් සැලසීමට ලංකාවේ නීත්‍යනුකුල ආණ්ඩුවකට පැවරුණ වගකීම සුළුපටු නොවේ. එය ජාත්‍යන්තර සම්මුතියෙන් බැඳුණ වගකීමකි. 
 
 Judicial Tyranny 660x350 1516687562
“ඒ ඕස්ට්‍රේලියාවේ; මේ ලංකාව, මේ රටට ආදරයක් නැත්තන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න.” – අපූරු අධිකරණ තින්දුවක්. (srilankabrief.org)
 
  
සිය වාසියට ජාත්‍යන්තර ආයතන සහ සම්මුතින් හෙළා දකින වර්තමාන පාලකයන් මේ සිද්ධියේදී ජාත්‍යන්තර නීතියෙන් ආරක්‍ෂාවීම මන්ද බුද්ධික හැසිරීමක් මිස,  රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවයක් නොවේ.  කන්ට ඕනෑවූ විට, මොකාදෝ මොකෙක්දෝ ලෙස සැලකීම ගමේ ව්‍යවහායෙන් නම් හෙලුවෙන් කොහේදෝ යනවා වැනි ලජ්ජා නැති හැසිරීමකි.   
 
සමාජ මාධ්‍ය හරහා එකී සිද්ධිය අපට නැවත නැවත නිරික්‍ෂණය කරමින් නැරඹිය හැකිය. සිද්ධියෙන් පීඩාවට පත් මගීන් මුහුණ දුන් දැඩි අපහසුව ක්‍රමයෙන් විරෝධයක් ලෙස ඉස්මතු වුණා විය හැකිය. එය මහජන කැළඹීමක් මිස, එක් පුද්ගලයෙකුගේ තක්කඩිකමක් නොවේ.  

 
නිමේෂයකින් නලා ශබ්ද කිරිම, වැරදීමක් නොදැනුවත්කමක් හෝ අතපසුවීමක් නොවේ. ජන සමූහයක් පොදු අරමුණකින් පෙළ ගැසීමකි. එවැන්නක් දරා ගනු මිස, ඊට එරෙහිව පොලිසිය යෙදවීමට, ආණ්ඩුවට අයිතියක් නැත.  
 
සමාජ ජාල සහෘදයන් උපුටා දැක්වූ මහින්ද රාජපක්‍ෂගේ නලා පිඹීම ඊට සාපේක්‍ෂ වේ. ඒ මහින්දලා ජිනීවා ගොස් මානව හිමිකම් කොමිසමට ගතු කී කාලයටත් පසු සිද්ධියකි. මහින්ද නලා පිම්බේ 1992දීය.  
 
එනම් ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවේ පහළොස් වෙනි අවුරුද්දෙහිය. ජේ.ආර්. ලැබූ පහෙන් තුනක බලයේ ප්‍රභාව,  දිළිසීම, අනභිබවනිය ස්වභාවය දොළොස් වසරකට පසුව පිරිහී අවතක්සේරු වුණේ මහින්දලාගේ පිඹිල්ල දැඟලිල්ල නිසා නොවේ. 1989 ජනවාරි 2 වෙනිදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවී නැටුව පිස්සුව නිසාය. 
 
ඔහු එජාපය කඩා බිඳ, ගාමිණිලා ලලිත්ලා පාරට බස්සවා 1993 මැයි 1 වෙනිදා ආමර් වීදියේදී සිය යුග මෙහෙවර අවසන් කළේ ජනතා ප්‍රිති ඝෝෂා මැදය.
 

MR hone

 
 
දෙකට බිඳුණ එජාප ආණ්ඩුවට එරෙහිව, පාරේ සද්දයක් දාන්නට පාරට බසින්නට මහින්දලාට වසර 15ක් බලා සිටින්නට සිදුවිය.  එහෙත් 2019 නොවැම්බරයේ පිහිටවූ ගෝඨාභය රාජපක්‍ෂගේ පාස්කු දුක් ප්‍රාප්ති ආණ්ඩුවට 2021 අප්‍රේල් 27 වන විට, අවුරුදු දෙකක්වත් පිරී නොතිබිණ. 
 
එතරම් කෙටි කාලයක් තුළ කළුවරේ ලා එළියක් පිට කළ කළාමැරිදිරියෙකුටත් තිස් හතලිස් දෙනෙකු පෙළ ගස්වා ආණ්ඩුව වෙව්ලුවන්නට හැකි වුණා  කියන්නේ සෙල්ලමක් නම් නොවේ. මේ නලා පිඹිල්ලේ රඟේ රාජපක්‍ෂලාට තදින් දැනුණ  බවට මෙය හොඳ සාක්කියකි. 
 
රක්වානේ භාග්‍යා අබේරත්න නන්නාඳුනා දැරිය කළේත් අදහස් ප්‍රකාශ කිරිමකි. ඒ පැංචිය එක් රැයකින් රටේ චරිතයක් ආණ්ඩුවට ඇතිවූ කම්පනය නිසාය. පොලිසිය ඇය සොයා ගෙදර ගියේ ඇයි? ප්‍රශ්නය ඇත්තේ එතැනය. 
 
 
 
 
නන්නාඳුනා චරිත සමග මෙසේ රට පෙළ ගැසෙන්නේ ඇයි ?
 
 
නන්නාඳුනා චරිත සමග මෙසේ රට පෙළ ගැසෙන්නේ උචිත නායකත්වයක් නැති නිසාය. ඊළඟ මිනිසා නිර්මානය වන්නේ එසේය. 
 
පාඨලී චම්පික, නූතන සොක්‍රටීස් නම් 43 බලකාය වස කෝප්පයකි. 
 
ඉඳහිට ඉස්මතු වන රනිල් වික්‍රමසිංහ යනු, වජිර අබේවර්ධන, සාගල රත්නායක අගසව්වන් ඇවිද්දවන දේශපාලන කිල්ලකි.
 
කෝටියක් දෝස තිබුණාට, සිහි බුද්දිය ඇති බත් කන  කිසිවෙකු පාස්කු දුක් ප්‍රාප්ති ආණ්ඩුව පෙරළන්නට සිතන්නේ නැත.  
 
ගස් බැඳ හෝ රාජපක්‍ෂලා 2024 තෙක් දක්කනවාමය.  ලංකා දේශපාලනයේ අලුත්ම ආර්ට් එක එවැන්නකි. 
 
 
හය ලක්‍ෂයක් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම අහිමි කළ රාජපක්‍ෂලා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සියයට තිහක වැටුප් වැඩි කිරීමට මුදල් තිබේ.  
 
 
රටේ සල්ලි නැතිකම දා හත් ලක්‍ෂයක්වූ සමෘධී පවුල් ප්‍රමාණය විසි ලක්‍ෂයක් කොට සල්ලි බෙදීමට හරස් නොවේ. 
 
ලංකාවේ ශ්‍රම බලකායෙන් 25%ක් කෘෂිකර්මිකයන්ය. රටෙන් තෙල් පොහොර ගේන්නට සල්ලි නැති තැන වස විස නැති  ගොවිතැන ගැන කතා කරන රාජපක්‍ෂලා ප්‍රඥාවෙන්  එහෙමය.
 
 ගොවියා යනු අර සමෘධිලාභියාම බව රාජපක්‍ෂලා නොදනිති. රැවටීමේ කූඨ ප්‍රාප්තිය කාලයට භාර කළ යුතුවේ. රට තවත් ප්‍රේමදාස කෙනෙකුට රැවටෙන්නේ නැත. සමෘධිය යනු ජන සවියේම තකතීරු දිගුව වේ.
 
මාසික සමෘධි දීමනාව  රුපියල් 1500.00කි.  එක්කෝ ටිකක් වැඩිය. හෝ ටිකක් අඩුය.  ඒ මුදල,  දවසක කුලියටත් අඩු සොච්චමකි. 
 
ඈත ගම්බද පන්සල්වල සෙලියුලර් පෝන් වලට මාසිකව රුපියල් දාහේ හමාරේ රීඩ් ලෝඩ් යවන බැසිල් රාජපක්‍ෂ ප්‍රේමදාසලා හඳුන්වා දුන් ආකාරයට, දුප්පත්කම දුප්පතුන්ටම විකුණමින් සිටිති. 
 
ලංකාවේ භාවිත නව ප්‍රජාතන්ත්‍රවාදය මෙවැන්නකි. එය රාජපක්‍ෂලාගෙන් ප්‍රේමදාසලාට මාරු කළ යුතු නැත. ඒ නිසා ගෝඨාභයලා හිමිකම් කියන සීනි තෙල් පොහොර පාස්කු දුක් ප්‍රාප්ති ආණ්ඩුවට 2025 තෙක් අනුභව කිරීමේ ඉඩකඩ සැලසිය යුතුවේ. කැපූ බොරුවල්වල දඩයක්කාරයන්ම ගොදුරුවන නිමේෂය එළඹෙමින් පවති. 
 

ap 19111442233283

පාස්කු දුක් ප්‍රාප්ති ආණ්ඩුවේ හැඩයට විපක්‍ෂය මතු නොව, අධිකරණයටද හරිබරි ගැසෙමින් සිටී.
 
 
  
දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව, අධිකරණයට නව රීතින් අවශ්‍ය වේ.  රටේ කිසිදු  අධිකරණයක්  දේශපාලන පක්‍ෂවල  ලිඛිත අනුමැතිය ලබා නොගත් කිසිදු නඩුවක් විභාගයට නොගත  යුතුවේ.  එසේ නොකළහොත් ශීරාණි බණ්ඩාරනායකලාට වෙච්ච දේ නැවත නැවත අත් විඳීමට සිදුවන නීතිඥ ප්‍රජාව නම් තේරුම් ගෙන හමාරය.
 
  මේ පාස්කු දුක් ප්‍රාප්ති ආණ්ඩුවේ හැඩයට විපක්‍ෂය මතු නොව, අධිකරණයටද හරිබරි ගැසෙමින් සිටී. ඒ බව ලංකාව ඕස්ට්‍රේලියාව නොවන බවට අධිකරණය  කළා යයි ලංකාදීපයේ දැක්වෙන අවවාදයෙන් පෙනී යයි.  එහි යටි අර්ථය ලංකාව තවදුරටත් ඕස්ට්‍රේලියාව මෙන් ප්‍රජාතන්ත්‍රවාදි රටක් නොවන බවය. 
 
අප නැවත අර කළාමැදිරියා මුල්වූ නලා සෙල්ලමට යා යුතුවේ. එහිදී ගොනුවූ  ක්‍ෂණීක විරෝධයට කිසිදු නායකත්වයක්  හෝ පූර්ව සංවිධානයක් තිබිලාම නැත.
 
 භාෂණයේ නිදහස, කිසිවෙකුට කිසි සේත් වැළැක්විය නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතික කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චිත, මානව හිමිකම් නඩු තීන්දු නැවත නැවත තහවුරු කළ ඒ ජනතා අයිතිය  කිසිවෙකුට කිසිදු හේතුවක් නිසා උදුරාගත නොහැකිය. 
 
තම විරෝධය පළ කරන්නේ කෙසේද කොතැනකද යන්න තීරණය කරන්නේ විරෝධය පළ කරන්නා මිස පොලිසිය නොවේ. එකී නඩු තීන්දුවලින් සහතික කළ ආරක්‍ෂාව වර්තමාන ලංකාවේ ජීවත්වන පුරවැසියන් වන අපට, අහිමි වෙමින් පවත්නා බව නලා සෙල්ලම හරහා තහවුරුවී ඇත.  
 
 fgdfg srilanka
 
හෝන් තරුණයා සිය පුරවැසි භුමිකාවට පන දුන් අභිමානවත් කටහඩ සමාව ගැනමේදී නියාලු කටහඩක් බවට පත්වීම ශ්‍රී ලංකා සමාජය මුහුණ දෙන භයානක යථාර්යතයි. (සේයා - srilankabrief.org)
  
ඉහත සිද්ධියට අදාළව  පොලිසිය කුදලාගෙන ගියේ නිවැරදි මිනිසාමද? ඔහු අඳුරේ හඳුනා ගත්තේ කෙසේද? කවුද? ඔහු මැයි 12 වෙනිදා චෝදනා වලට නිවැරදිකරු කීවොත් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විය නොහැකිය. 
 
 විජයරත්න මුදියන්සේලාගේ නාවින් මාධව වරද පිළිගෙන සමාව ඉල්ලා ඇති නිසා මේ විමසීම අනුමානයකි. 
කල්පිතයකි.  
 
සමාජ ජාල වීඩියෝවේ අපි ඡන්දෙ දුන්නේ මේකටද? යනුවෙන් උස් හඬින් නැවත නැවත කවුදෝ විමසනු ඇසේ. නලා ශබ්දය මතු වන්නේ ඒ සමගය. 
 
ලංකාදිප වාර්තාව අනුව, තිස් එක් හැවිරිදි, විජයරත්න මුදියන්සේලාගේ නාවින් මාධව ආසන්න වසර 10ක් ඕස්ට්‍රේලියාවේ පදිංචි කරුවෙකි. එය නිවැරදි නම් 2011න් පසු ඔහුට ලංකාවේදී ඡන්දයක් භාවිතා කිරිමේ ඉඩකඩ ලැබී නැත. සමහර විට ඡන්ද බලය හෝ නැතිවාද විය හැකිය.  
 
 
දස වසරක් විදේශ ගතව සිටි විජයරත්න මුදියන්සේලාගේ නාවින් මාධව ලංකාවත් ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලෙස විශ්වාස කළා විය හැකිය. සත්‍ය එය නම් වරද, නාවින් මාධවගේද?  පොලිසිය මේ කරන්නේ ලංකාව මියෙන්මාරයක් කිරීමට රාජපක්‍ෂලාට පහසුකම් සැලසීමද? 
 
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ අභාවය සැලවූ සමාජ ජාලා සහෘදයන් නිකුත් කළ ශෝක ප්‍රකාශ අපේ පොලිස් ලොකකන් විමසා දැන ගත්තාට වරදක් නැත.
 
 1945 අප්‍රේල් මස 28 වෙනිදා බෙනිටෝ මුසෝලිනීට වෙඩි තබා මැරූ ජනතාව ඔහුගේ මළකුණ ලයිට් කණුවක එල්ලා කෙළ ගැසූහ. එය අසා බියට පත් ඇඩෝල්ෆ් හිට්ලර් 1945 අප්‍රේල් මස 30 වෙනිදා හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය.
 
 ප්‍රේමදාසගේ මරණය ඇසූ රට්ටු කිරිබත් කෑහ.
 
 ශිරාණී බණ්ඩාරනායකගේ අග විනිසුරු නිල නිවෙස ඉදිරිපිට කිරිබත් පිස කෑමට පහසුකම් සැලසුවේ රාජපක්‍ෂලා මෙහෙයවූ පොලිසිය විසිනි. මෙතනත් පොලිසියමය.
 
 
Gotabaya new1
පාර වැසූ හේතු බොරැල්ල පොලිසිය අධිකරණයට විස්තර කළ බව ලංකාදීප වාර්තාවේ දැක්වේ. පාර සුවිශේෂ හේතුවක් මත වසන බව මහජනතාවට පොලිසිය කල් තබා දැනුම්දී තිබුණාද? ගෝඨාභය නීතිය මමයි කීවාට, ජනතා පරමාධිපත්‍ය පොලිසියට පවරා ගත නොහැකිය.
 
 
 
 රාජ්‍ය තාන්ත්‍රිකයාගේ පැමිණීම සුනාමියක් සුළි කුණාටුවක් බඩේ අමාරුවක් හෝ අදිසි අධෝ වාතයක් නොවේ. කලින් සැලසුම් කළ ක්‍රියාවලියකි. නොදන්වා ප්‍රසිද්ධ පාරක් වැසීමට ඉහත කී ආකාරයේ හේතුවක් එදා තිබුණාද? 
 
පාර අවහිර කළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ආරක්‍ෂාව සඳහා බව අර සැකකරුට කියා දුන්නේ පොලිසිය නොවේ. අධිකරණය විසිනි.  
 
පාර වසා තබන හේතුව කලින් දැනුවත් කර තිබුණා නම් ජනතාව විකල්ප මාර්ග භාවිතා කරනවා  මිස, හෝන් ගගහා ඉන්නේ නැත.  ඒ අනුව මේ සිද්ධියේ වගකීම පොලිසිය භාර ගත යුතුවේ. 
 
බැරි වෙලාවත් මේ නලා හඬ අර රාජ්‍ය තාන්ත්‍රිකයාට ඇසුණා නම් ලංකාවේ පටි රෝල්ය. පෝර්ට් සිටියත් එපා කියන්නට  තිබිණ. විජයරත්න මුදියන්සේලාගේ නාවින් මාධව අත්අඩංගුවට ගෙන උසාවි දැම්මේ චීනයට ඇසෙන්නටද?
 
සමාව අයැද සිටි සැකකාර පුරවැසියා සිය අයිතිවාසිකම් මත දෙපයින් නැගිට 'මහේස්ත්‍රාත් අවසරයෙන් නිල මැදිරියේදී  විශේෂ ප්‍රකාශයක් කරමින්, අඳුර පැතිරෙමින් පැවති එමොහොතෙහි වසංගත තත්වයට අනුකූලව, සෞඛ්‍ය උපදෙස් අනුව, පවත්වා ගත යුතු සමාජ දුරස්ථභාවය තබා ගැනීමට ඇතිවූ බාධාව ඉවත් කර කඩිනමින් සිය වාසස්ථාන කරා යාමට, එකී ගෝෂාව කළ බව කීවොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව හිමිකර ඇති භාෂණයේ හෝ විරෝධය පෑමේ අයිතිය රකින්නේ කවුද? මෙය සමහර විට, මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් වුණොත් සියලු සිද්ධින් සහ පූර්ව නඩු තීන්දු අනුව, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කොට, යම් වන්දි දානයක්ද ලබාදිය හැකිය.
 
 එහෙත් දුමින්ද සිල්වා තීන්දුව මෙන් චුදිතගේ දේශපාලන පසුබිම සලකා එකී නැවත සලකා බලන ලෙස විශේෂ ජනධිපති කොමිෂමක් සභාවක් තීරණය කළොත් අර මානව හිමිකම් නඩු තීන්දුවට කුමක් සිදුවේද? 
 
මෙහිදී අප සලකා බැලිය යුතුව ඇත්තේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශණය කළ ෂානි අබේසේකරට අත්වූ ඉරණම ගැන නොවේ. 43 වෙනි අගවිනිසුරුවරියට අත්වූ ඉරණම නැවත නැවත අධිකරණ ක්‍ෂේත්‍රය බිය ගන්වාවිද යන්නය. 
 
විශේෂ ජනාධිපති කොමිෂන් නිසා රටේ අධිකරණයට එල්ල විය හැකි තර්ජන ගැන දැනටමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවා හමාරය.   
 
සිය රාජකාරිය හෘදය සාක්‍ෂිය සහ අත්දැකීම් අනුව ඉටු කරමින් වෘත්තියෙහි යෙදුණ ශානි අබේසේකරට අත්වූ ඉරණම සුළු කොට තැකිය නොහැකිය.  හේතුව අප ජීවත්වන්නේ එක බඩවැලක් කඩාගෙන ආ සහලේ සහෝදරයන් කිහිප දෙනෙකු එක්ව පාලනය කරන රටක නිසාය.
 
 
 
Chandrasiri Senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මාධ්‍යවේදී, දේශපාලන විචාරක හා සමාජ ක්‍රියාකාරී
 
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගන්නා ලදී )

 

 


 

 

THE LEADER TV

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...