ඒ දවසට පෙරත් පසුව කාලයක් යන තුරුත් මතකයේ තිබෙන සටන් පාඨයක් වූයේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ යන්න ය.
එහි අදහස ළමා අපට හරියටම තේරුම් ගියේ ජයග්‍රහණය කළ එජාප ය ප්‍රතිපල නිකුත් වී සති කීපයක් යන තුරු ශ්‍රීලනිප ඇතුළු පරාජිත පක්ෂවලට සහය හෝ ඡන්දය දුන් අයට නොනවත්වා බැට දුන් නිසා ය.
වියලුවේ බදුලුඔය ගොවි ජනපදයේ ගොවියෙකු වූ මගේ තාත්තා අයත් වූයේ ද පරාජිතයින්ගේ ගොඩට ය.
පරාජිතයින්ගේ නිවෙස්වලට සහ කඩවලට ගල් ගැසීම් ගිනි තැබීම් සිදුවන විට ඊට බිය වූ මගේ අම්මා පාසැල් යන අපගේ පොත් ගෝනියක දමා වත්තේ කොණක සැඟවූ විට, මා එය ඉතා අමාරුවෙන් ඇදගෙන ගෙදරට ගෙනාවේ ‘ගෙට ගිනි තිබ්බට පස්සේ පොත් තියාගන්නේ කොතන ද ’ යන බක පණ්ඩිත ප්‍රශ්නය අසමින් බව අම්මා මිය යන තුරුම කීවා මතක ය.
කෙසේ හෝ අපේ ගෙදරට කරදරයක් වුණේ නැත. එසේ වුණේ ජයග්‍රාහකයින්ගේ මනුස්සකම නිසා නොව අපි කුරා කුඹියෙකුටවත් කරදරයක් නොකරන අය නිසා බව තාත්තා කීප වරක් ම කියනු මා අසා ඇත.
ලංකාවේ නියෝජිතවරණ වංශය අවුස්සන කෙනෙකුට මෙවැනි මතකයන් ඇති මිනිසුන් ලක්ෂ ගණනක් මුණගැසෙනු ඇත යන්න මගේ විශ්වාසය ය.

1977 කැබිනට් මණ්ඩලය
මා මිත්‍ර චරිත හේරත් සමඟ පැටලීම කල් දමා මෙවර ‘කිවි දා දැක්ම’ නියෝජිතවරණ මුල් කරගෙන ලිවීමට තීරණය කළෙමි. ඊට හේතුව වන්නේ මේ මොහොතේ ලංකාවේ නියෝජිතවරණ නොව ‘මැතිවරණ’ ප්‍රතිසංස්කරණ ගැන උත්සාහයක් පාර්ලිමේන්තුව පැත්තෙන් ගෙන තිබීම ය.
‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හදුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව’ක් මේ වන විට එම කටයුත්තේ නිරතව ඇත. මෙම කාරක සභාව පත්කොට ඇත්තේ 2021 අප්‍රේල් 5 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය.
මීට පෙර 2006 අප්රේල් මස 4 වැනි දා ද ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ පිලිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලදුව එහි අතුරු වාර්තාව නිකුත් වුයේ 2007 ජූනි 5 වැනි දා ය.
ඊට පෙර 2003 අගෝස්තු 20 වැනි දින පාර්ලිමේන්තු යෝජනාවක් මගින් ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ පිලිබඳ විශේෂ කාරක සභාව’ක් පිහිටුවනු ලැබූ අතර එහි අතුරු වාර්තාව මුද්‍රණයට ඉදිරිපත් කළේ 2004 ජනවාරි 23 වැනි දා ය.
කාරක සභා තුනේම විශේෂ ලක්ෂණ
මේ කාරක සභා තුනේම විශේෂ ලක්ෂණ කීපයක් විය.
# දිනේෂ් ගුණවර්ධන මහතා කාරක සභා තුනේම සභාපති ධූරය දැරීම ඉන් එකකි.
# කාරක සභා තුනම හුදු ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ අරබයා පමණක්’ පත් කිරීම තවත් විශේෂත්වයකි.
# කාරක සභා තුනම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධාර්මික පදනම් මත නොපිහිටා හුදු නියෝජිතවරණවලට අදාළ තාක්ෂණික කාරණා පිලිබඳ පමණක් අවධානය යොමු කිරීම ඊ ළඟ විශේෂත්වය ය.
# අනෙක් විශේෂත්වය වන්නේ සිවිල් සමාජ සංවිධාන හෝ දේශපාලන පක්ෂ කිසිවෙකින්වත් රටේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මාධ්‍යයක් පමණක් වන නියෝජිතවරණ තාක්ෂණය ගැන කතා කිරීමෙන් එහාට ගිය යෝජනා ඉදිරිපත් නො කිරීම සහ ඒ පිලිබඳ කතිකාවක් ආරම්භ නොකර සිටීම ය.
මින් කියැවෙන්නේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ වර්ගයේ ‘මැතිවරණ’ අව-සංස්කෘතියක් මිස දියුණු සහ හරයාත්මක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සඳහා වන සම්පත් කළමණාකරණයක් සඳහා කිසිවෙකුත් අවධානය යොමු කොට නොමැති බව ය.
‘නියෝජිතවරණ’ යන වචනය ?
ලිපිය තව ඉස්සරහට යෑමට පෙර කවුරුත් භාවිතා කරන ‘මැතිවරණ’ යන්න වෙනුවට ‘නියෝජිතවරණ’ යන වචනය මා අතින් කියවෙන්නේ සහ ලියැවෙන්නේ කවර හේතුවක් නිසා ද යන්න පැහැදිළි කළ යුතු යැයි සිතමි.
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අප කැමතිනම් අප, එනම් මහජනයා විසින් තෝරා පත්කරගත යුත්තේ අපට ඉහළින් සිටින මැති, මැතිණියන් නොව අප හා සමාන ජනතා නියෝජිතයින් ය. එනිසා ම පැවැත්විය යුත්තේ මැතිවරණ නොව නියෝජිතවරණ ය. වචන ගැන පවා මේ තරම් අවධානය යොමුකළ යුත්තේ 1931 අපට ලැබුණේ පාලකයින් හෝ මැති මැතිණියන් සිංහාසනාරූඪ කිරීමේ මැජික් යෂ්ටියක් නොව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් තනා ගැනීමේ ඡන්ද බලයක් වන නිසා ය.
එය භාවිතා කොට අප තෝරාගත යුත්තේ පාලකයින් හෝ මැති මැතිණියන් හෝ නොව ජනතා නියෝජිතයින් ය. ඒ නියෝජිතයින් තෝරාගන්නා ක්‍රමය අප නම් කළ යුත්තේ නියෝජිතවරණ මිස මැතිවරණ කියා නොවේ ය. අප පටන්ගත යුත්තේ ඒ ආකාරයේ තියුණු විමර්ශනාත්මක භාවිතයකින් ය.
නැවත මුල් කාරණයට යමු.
2003 සිට මේ දක්වා වූ ‘මැතිවරණ කාරක සභා’ හෝ අනෙකුත් අදාළ පාර්ශව නියෝජන සිධාන්තය සහ එහි වැදගත්කම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි සමාජ දේශපාලන ආර්ථික ප්‍රගමන හැකියාව සහ ධාරිතාව ගැන අවධානය යොමු නොකිරීම සහ, හුදු ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ’ ගැන පමණක් අවධානය යොමු කිරීම තුළින් රටට ලැබී ඇත්තේ අවවර්ධිත අවසංස්කෘතික ප්‍රාදේශීය, පළාත්, සහ ජාතික නියෝජන ආයතන ය, නියෝජිතයින් නොව හිතුවක්කාර ලෙස හැසිරෙන ප්‍රාදේශීය, පළාත්, සහ ජාතික මට්ටමේ පාලකයින් ය, මැරයින් ය.
එබැවින් මෙදා පොටේවත් අප මේ කාරක සභාව මෙහෙයවා ගත යුත්තේ නැතහොත් යොමුකරවා ගත යුත්තේ පාලකයින් නොව නියෝජිතයින් සහිත නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සඳහා අනුබල ලැබෙන ප්‍රතිසංස්කරණ ඇති කරවා ගැනීම දෙසට ය.
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්ත:

නියෝජිතවරණ මගින් නියෝජන සිද්ධාන්ත සහ ආයතනවල ඉරණම තීරණය කරනවා වෙනුවට, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්ත මගින් නියෝජිතවරණවල ආකෘතිය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන තැනකට අප යා යුතුමය.
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයක් විය යුත්තේ ඊට අදාළ විධිමත් සහ මානුෂයීය සමාජ සංස්කෘතියක් සඳහා උපකාරීවන ව්‍යවස්ථාවක් සම්පාදනය කොටගෙන ඊට අනුව ආණ්ඩුකරණය සිදු කිරීම ය.
# එහි දී ප්‍රජාතන්ත්‍රවාදයට සහ එහි පිළිවෙලට ව්‍යවස්ථා විරෝධී ලෙස බාධා කිරීමත් ව්‍යවස්ථානුකුල ලෙස බාධා කිරීමත් යන දෙකම වැරදි ය.
# එසේම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇගයුම් නොතකා, සහ මඟ හැර විවිධ සංශෝධන ගෙන ඒමත් වැරදි ය.
# ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති සහ ආයතන අවභාවිත කිරීමත් වැරදි ය.
මේ තත්ත්වය වලක්වා ගැනීමට නම් අප කළ යුත්තේ හැම විටම හැම කාර්යකදීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම සහ සිද්ධාන්ත මත පිහිටා ඒවා මුල් කොටගෙන ක්‍රියා කිරීම ය.
නුතන සමාජ සන්දර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජනය යනු මානව අයිතියකි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු සහ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යාම ජනයාගේ අයිතියකි. එසේ වන්නේ සමාජයක සමාජයීය, දේශපාලන, සහ ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යය කොන්දේසියක් වන නිසා ය.
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය :
නුතන සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැගෙන්නේ නියෝජනක්‍රම හරහා ය. එය නම් කෙරෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යන නමිනි. එබැවින් නියෝජන ක්‍රම සහ නියෝජිතවරණ සකස්විය යුත්තේ ඒ නියෝජන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු සහ වටිනාකම් මත පිහිටා ය.
එසේ නැතිව කවුරුන් හෝ නියෝජිත ආයතනයකට පත් කරගන්නේ කවර සරළ ක්‍රමයක් යටතේ ද, කෙසේද යන කරුණු මත පදනම් වී නොවේ ය.
මානව අයිතීන්ට සහ මූලික නිදහසට ගරු කිරීම, නිදහස් සහ සාධාරණ නියෝජිතවරණ පැවැත්වීම, දේශපාලන පක්ෂ සහ සංවිධානවල බහුත්වවාදී ගති ලක්ෂණ සුලබ වීම, එනම් සර්වාන්තරීය ගති ලක්ෂණ සුලබ වීම, බලතල නිසි ලෙස වෙන්කොට තිබීම, ආණ්ඩුවේ ආයතනවල ස්වාධීනත්වය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩු විසින් හෝ මාධ්‍ය කොම්පැනි විසින් අවහිරකොට නොතිබීම, නිත්‍යානුකුලව ස්ථාපිතකොට ඇති සිවිල් එනම් පුරවැසි අධිකාරියට සියලු රාජ්‍ය ආයතන අවනත වීම යනු එවැනි වටිනාකම් කීපයක් ය.
නියෝජිතවරණ යනු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන එක මාධ්‍යයක් පමණක් මිස එකම මධ්‍යයය නොවේය යන්න අප තේරුම් ගත යුතුම කරුණකි. ජනමත විචාරණ, ප්‍රාරම්භන, සහ නැවත කැඳවීම යනු තවත් ක්‍රමයෝ වෙති.

''අඩුම තරමින් දිනේෂ් ගුණවර්ධන මහතාවත් මේ කරුණ තේරුම් ගනී යැයි සිතමි.''
පළාත්, ප්‍රාදේශීය, සහ ප්‍රජා මට්ටම දක්වා නියෝජන සංස්කෘතිය පුළුල් කිරීම සහ හරයාත්මක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සමාජය තුළ තහවුරු කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කළ යුතුම ය.
එසේම නියෝජිතවරණ ක්‍රමවේද සුක්ෂම කරගැනීම මගින් පමණක් දියුණු ප්‍රජාතාන්ත්‍රීය සමාජ සංස්කෘතියක් බිහි කරගත නොහැකිය.
ප්‍රජාතන්ත්‍රවාදයට පටිපාටිමය ක්‍රම අවශ්‍ය බව ඇත්තකි. එහෙත් හරයාත්මක වටිනාකම් නොමැති නම් ඒ පටිපාටි වලින් ලැබෙන මහා ප්‍රතිපලයක් නොමැත. පටිපාටි ගොඩනගා ගත යුත්තේ හරයන් ලබා ගැනීමේ අරමුණින් මිස පටිපාටිවලින් නතර වීමට නොවේය.
නමුත් මෙරට ආණ්ඩු දිගටම උත්සහ ගෙන ඇත්තේ හරයන්ගෙන් වියෝ වුණු විසිරුණු සහ ඒකාබද්ධ නැති පටිපාටි එදිනෙදා බල අවශ්‍යතා සඳහා සකසා ගැනීමට ය.
ඥානය සම්පාදනය පදනම් කර නො ගත් අධ්‍යාපන පටිපාටි නිෂ්පල වන්නේ යම් සේද ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තමය කරුණු සහ අරමුණු සාධනය සඳහා නොවන ‘මැතිවරණ’ පටිපාටිද නිෂ්පල බව ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හදුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව’ අනිවාර්යයෙන් ම තේරුම් ගත යුතු ය.
එසේ නොවුනහොත් මේ රටේ දිගටම නඩත්තු වෙන්නේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ පන්නයේ ‘මැතිවරණ’ මිස නියෝජන සිද්ධාන්තය මත රට ගොඩ නගා ජනයාට ප්‍රිතිමත් සහ ගෞරවාන්විත ජීවිත ලබා දෙන හරයාත්මක ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතියක් නම් නොවේ ම ය.
ඒ නිසා මෙවර ‘කිවි දා දැක්ම’ ලියවුණේ ඒ උදෙසා ය. අඩුම තරමින් දිනේෂ් ගුණවර්ධන මහතාවත් මේ කරුණ තේරුම් ගනී යැයි සිතමි.
(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)Department of political science & public policy,
University of Colombo.
(කිවිදා දැක්ම : ලංකාදීප- 16.07.2021)
THE LEADER TV
ඩයලොග් එකට ඩයනාගෙන් බාල්දියක් ?
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද?



