The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

මංගල නම් වූ ලස්සන චිත්‍රය - චන්ද්‍රගුප්ත තේනුවර

T

The Leader Desk

October 21, 2021 • 8:17 AM

මංගල නම් වූ ලස්සන චිත්‍රය -  චන්ද්‍රගුප්ත තේනුවර  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගලට හැමදාම දේශපාලනික ආකර්ෂණයක් තිබුණි. ඔහුගේ තිස් අවුරුදු දේශපාලනය සහ වසර හැටපහක ජීවිතය අපූර්වත්වයෙන් පිරී තිබුණි. ඔහු නොමැකෙන දේශපාලනික අයිකනයක් ය. පැහැදිලි සලකුණක් ය.
  • ශරීර ආරක්ෂකයන් ආභරණයක් ලෙසත් බල සංකේතයක් ලෙසත් ඊනියා ප්‍රභූත්වයක් පෙන්වීමට භාවිතා කළේ නැත.
  •     මංගලගේ දේශපාලන ජීවිතය සුමට දෙයක් නොවූ බව මගේ හැඟීමයි.
  • මෙතරම් ගුණ යහපත් වූ ඔහු වෙත ද  එසේ බලය රැකීම වෙනුවෙන් කළ සමහර දේ වෙනුවෙන් නැවතත් චෝදනා එල්ල කරනු අසන්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සාමාන්‍යයෙන් බලයේ සිටින දේශපාලකයන් චිත්‍ර ප්‍රදර්ශන බැලීමට ස්වේච්ඡාවෙන් පැමිණෙනු මා අත් දැක ඇත්තේ ඉතාමත්ම අඩුවෙනි. සාමාන්‍යය එසේ වුවද මගේ වාර්ෂික ප්‍රදර්ශන බැලීමට පැමිණි අතලොස්සක් වූ දේශපාලකයන් අතරින් මංගල විශේෂ අයෙකු විය. දේශපාලකයන්ට විශේෂ ආරාධනා කිරීමේ පුරුද්දක් මට නැත. 

 
ඔහු, කලා නිර්මාණකරණය පිළිබඳව උසස් හැදෑරීමක් තිබූ අයෙක් පමණක් නොව තමා හදාළ කලාවේ ප්‍රායෝගිකව යෙදී සිට ආරාධනයකින් අනතුරුව දේශපාලනයට අවතීර්ණ වූ අයෙක් විය. මංගල ලස්සන අගය කළ, ලස්සනට ජීවිතය ගෙවීමට කැමති, තමා වටා ලස්සන පිරිවරාගෙන සිටීමට කැමති වූ සහ එසේ ජීවිතය ගත කළ අයෙක් විය. තමන්ට එල්ලවන විවේචනය දරාගෙන සිටීමේ හැකියාව තිබුණු තමා අතින් වරදක් වූ විට එය පිළිගැනීමට ද නොබියව සමාව ඉල්ලා සිටීමට ද ඔහුට හැකි විය.
 
 
ඔහුට අභිමානයක් මෙන්ම තමන් ගැන සහ සාමාන්‍ය මිනිසුන් ගැන විශ්වාසයක් විය. සමහර (බොහෝ) දේශපාලකයන් මෙන් ශරීර ආරක්ෂක වළලු සහිතව සිටීමට ඔහුට උවමනාවක් නොවීය. දන්නා අයෙකු දුටු තැන ආරක්ෂක වළලු ගැන නොසිතා පැමිණ කොහොමදැයි ඇසීමට ඔහුට හැකි විය. එය මා සෑම විටකම පෞද්ගලිකව අත්දුටු දෙයක් විය.
 
Untitled 1
 
 
ඔහුගේ පෞද්ගලික විශිෂ්ට ගතිගුණ සමග දේශපාලන සහ සමාජ, සංස්කෘතික විපර්යාසයට යන ගමන එකතු කිරීම ද කළ යුතු වෙයි. විශේෂයෙන්ම ඔහුට බලය තිබුණ ද බල උන්මාදයෙන් පෙලුනේ නැත. ලංකාවේ බොහෝ දේශපාලකයන් බලය ලද විට අන්ධභාවයට ද බිහිරිභාවයට ද පත්වෙති. ඔවුනට පෙනීම සහ කණ ඇසීම ලැබෙන්නේ බලය නැත ිවූ විටය. එසේ නොවන්නේ ඉතාමත්ම ස්වල්ප දෙනෙකි. ශරීර ආරක්ෂකයන් ආභරණයක් ලෙසත් බල සංකේතයක් ලෙසත් ඊනියා ප්‍රභූත්වයක් පෙන්වීමට භාවිතා කළේ නැත.
 
 

මංගලගේ දේශපාලන ජීවිතය සුමට දෙයක් නොවූ බව මගේ හැඟීමයි. මන්ද යත් බලය ලැබීම, බලය පවත්වාගෙන යාම සහ බලය අරන් දීම යන කාරණා තුනෙහිම ඔහුට යෙදෙන්නට සිදු විය. මෙතරම් ගුණ යහපත් වූ ඔහු වෙත ද  එසේ බලය රැකීම වෙනුවෙන් කළ සමහර දේ වෙනුවෙන් නැවතත් චෝදනා එල්ල කරනු අසන්නට ලැබේ. රටේ දේශපාලන ගමන් මග වඩාත් යහපත් කිරීමට නොහැකි වීම ගැන බලයේ සිටිය අයෙකු ලෙස තමාද වග කිව යුතු බව ඔහු පිළිගත්තේ අනුන් වෙත පමණක් වැරදි පැටවීමට සෑම විටම සූදානම් මිනිසුන් සිටිනා සමාජයකය. 
 
 
 
වූ වැරදි පිළිබඳව විනිශ්චය කිරීමකට වඩා අවශ්‍ය වන්නේ එබඳු වැරදි සිදුවන බල රැකගැනීමට පමණක් කටයුතු කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. දේශපාලකයාට රාජ්‍ය ආයතනවලට, රාජ්‍ය සේවයට, ආයතනවලට ඇඟිලි ගැසීමට බලය ලබා දුන් ව්‍යවස්ථාවේ වගන්ති වෙනස් කිරීමයි. එම නිසා ඔහු විසින් රකින ලද යහපත් දේශපාලනික මානුෂික සහ සමාජ-සංස්කෘතික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහු උත්සාහ කළ ගමන ඉදිරියට ගෙන යාමට සමාජයීය සත්ත්වයන් හැටියට අපට හැකි වනු ඇත.
 
Dg8kckDVMAEi yn
 
 
මා ඔහුව පෞද්ගලිකව දැන හඳුනන්නේ 1996 පමණ සිටය. මා කිසියම් පමණකට සක්‍රීය ප්‍රසිද්ධ දේශපාලන මැදිහත්වීම් සඳහා යොමු වූයේ ද මංගලගෙන් ලද ඇරයුම නිසා යැයි කිව හැකිය. ද්විතීයික අධ්‍යාපන අවධියේ සිටම ‘වාමාංශික’ දේශපාලනික අදහස් තිබුණත්, මගේ දේශපාලනික මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ වූයේ මගේ කලා කෘති සහ ප්‍රදර්ශන මගිනි. මංගලගේ ඇරයුම් අවස්ථාව එළැඹෙන්නේ විශේෂයෙන්ම තමන් ද මූලිකව දකුණේ දේශපාලකයෙකුව රටේ ඉහළම තනතුර ලබා ගැනීමට උර දී වසරක් පමණ ඇවෑමෙන් තමන්ගේ ගමනක ආරම්භය ‘ම’ පාර්ශ්වය නමින් ඇරඹීමේ මුල් දවසේ සිටය. ඉන්පසු මා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ කතා කිරීම අරඹන්නේ ‘නිදහසේ වේදිකාව’ සමගය. එතැන මංගල ද  විය.
 
මගේ කලා කෘති සහ ප්‍රදර්ශන තේමාවන් සහ වස්තු විෂයයන් දෙස බැලීමේ දී මංගල පෙනී සිටි බොහොමයක් දේශපාලනික සහ සමාජ සංස්කෘතික අරමුණු සමග ගැලපීමක් ඇත. එම අරමුණු අතර සාමය උදෙසාත්, යුද්ධයට විරුද්ධවත්, අතුරුදහන් කිරීම්වලට එරෙහිවත්, ජාති-ආගම් සහ වාර්ගික අන්තවාදයන්ට එරෙහිවත්, මානව හිමිකම් වෙනුවෙනුත්, අවනීතියට එරෙහිවත්, බල උමතුවට එරෙහිවත්, සහජීවනය, යුක්තිය, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාත් විය.
 
 
image c09aabbbb5
 
රැඩිකල් මැද සහ සැබෑ දේශප්‍රේමියෝ ඔහුගේ දේශපාලන ක්‍රියාවලියේ අවසන් අදියර විය. මංගල මිය ගිය ද ඔහු ප්‍රාර්ථනා කළ ජාත්‍යන්තරයෙන් කොන් නොවූ යහපත් දේශයක් ගොඩනැගීමේ අරමුණ අවසන් නැත. එය ඇරඹුණා පමණි. එයට පාට, පක්ෂ, කුලමල, ජාති, ආගම්, ස්ත්‍රී-පුරුෂ, තරුණ-වැඩිහිටි, විවිධ ලිංගිකත්ව ආදී භේදයන්ගෙන් තොරව සැවොම සමග එක්ව දියුණු සමාජයක්, දේශයක් සහ ශ්‍රී ලාංකිකත්වයක්  ගොඩ නැගීමේ උදාර අරමුණු විය.
 
 
ඒ වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අමතරව අනිවාර්යයෙන්ම සිදුවිය යුතු මූලික පුද්ගල සහ පුරවැසි පරිවර්තයන් වේ. ඒ පරිවර්තනයන් උදෙසා මා ප්‍රසිද්ධියේ කියන දෙයක් වන්නේ දේශපාලකයන්ට සැලියුට් ගැසීම සහ වැඳ වැටීම නොකරනු යන්නයි. ඊටම සමාන අදහසක් මංගල නම් වූ දේශපාලකයා විසින් ද ප්‍රසිද්ධියේ කීම මගේ සතුටට හේතුවන ප්‍රධාන කරුණක් විය. මංගල අපෙන් සැලියුට් කිසි දිනක බලාපොරොත්තු නොවීය.  
ඊට අමතරව තවත් ශික්ෂාපදයක් මට ඇත. එනම් මුරකාවලුන් සමග සහ වාහනවල නැගී පිඹගෙන යන එන දේශපාලකයනට ඡන්දය නොදෙනු යන්නයි. මංගල එයට ද එකඟ බව දනිමි.
 
ඒ පුරවැසි ශික්ෂාවන් ඉටුවන්නේ නම් මංගල සහ අපි ප්‍රාර්ථනා කරන යහපත් සහ දියුණු ශ්‍රී ලාංකික දේශය ගොඩ නැගීම අනිවාර්යයෙන්ම කළ හැකි වනු ඇත. 
 
 
thenuwara
 
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර 
 උපුටා ගැනීම - "සමබිම" පුවත්පතින්
 
 
 
 
 
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගල නම් වූ ලස්සන චිත්‍රය - චන්ද්‍රගුප්ත තේනුවර | The Leader