The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ

T

The Leader Desk

February 19, 2026 • 8:00 AM

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසුන් සහ සතුන් අතර පවතින බැඳීම පිළිබඳව එදා මෙදා තුර අප ඕනෑ තරම් කතා අසා ඇත. නමුත් පාසලක විනයගරුක තූර්ය වාදක කණ්ඩායමක නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කරන අපූරු සුනඛයකු ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් මනුල ය.
  • පසුව ක්‍රමයෙන් ගායන ශෛලියක් බවට පත් මෙය බටහිර ගායකයන් වන ජිමී රොජර්ස් (Jimmie Rodgers) සහ ටෙක්ස් මෝර්ටන් (Tex Morton) වෙතින් ලොව පුරා ප්‍රචලිත වූ බවත්, පසුව ඉන්දීය සිනමා කලාවේත් එම ගායන ශෛලිය ජනප්‍රිය වූ බවත් පැහැදිලි ය.
  • කිෂෝර් කුමාර් යනු ඉන්දියානු සිනමාවේ යූඩ්ලින් (Yodelling) ගායන ශෛලිය ජනප්‍රිය කළ සහ එහි අසහාය රජු ලෙස සැලකෙන ගායකයායි.
  •   සුනඛයකුට සාමාන්‍යයෙන් දරාගත හැකි ශබ්ද පරාසය ඩෙසිබල් 85ක් පමණ වන අතර, තූර්ය වාදක කණ්ඩායමක ශබ්ද පරාසය ඩෙසිබල් 120 ද ඉක්මවා යන අතර එය කිලෝ මීටර් කිහිපයක් දුරට විහිදෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කළුතර විද්‍යාලය (ජාතික පාසල) සිය වාසස්ථානය කරගත් “මනුල” අද වන විට මුළු රටේම අවධානය දිනාගත් ආදරණීය චරිතයක් බවට පත්ව තිබේ.

පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු පාසල් යළි විවෘත වූ වකවානුවේ දී, කළුතර විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම හා තූර්ය වාදක කණ්ඩායම පුහුණුවීම් කරන ස්ථාන අසල කොහේ හෝ සිට පැමිණි සුනඛයෙක් තමන්ගේම තැනක මෙන් නිතර ගැවසෙන්නට විය. නමුත් ඔහු කොහේ සිට පැමිණියේ ද යන්න කිසිවෙක් නොදත්තහ. අවසානයේ තමන් හා අතිශය හිතවත්කම් පෑ මොහුට පාසලේ සිසු දරුවන් සමන්ත, සිරිමත් වැනි නම් රැසක් පටබැඳි මුත්, අවසානයේ ඔහුට “මනුල” යන නම සම්මත විය.

සුනඛයෝ සාමාන්‍යයෙන් අධික ශබ්දයට බියක් දක්වති. නමුත් මනුල එයට හාත්පසින්ම වෙනස් ය. තූර්ය වාදක කණ්ඩායම උදෑසන පුහුණුවීම්වලදී ස්වර පරාස (Scales) වාදනය කරන විට, මනුල ද එයට තාලයට තමන්ගේ හඬින් එම ගායනයට හවුල් වීම පුරුද්දක් කර ගත්තේ ය. අපට වැටහෙන අන්දමට ඔහුගේ මෙම හඬ දකුණු අප්‍රිකානු බැසෙන්ජි (Basenji) සුනඛයකුගේ බිරීමක් නොවන ගීතවත් යෝඩල් (Yodel) හඬ නැඟුමකට සමාන ය. වත්මන් කුඩා දරුවන් පවා හඳුනන, ලෝක ප්‍රකට එඩ්ගා රයිස් බරෝස් විසින් ලොවට දායාද කළ කල්පිත කැලෑ වීරයා වන ටාසන් නඟන හඬ (Tarzan Yell) සිනමාත්මකව ඉදිරිපත් කිරීම සඳහා පදනම් කොට ගත් යූඩ්ලින් (Yodelling) ශෛලිය අතීත යුරෝපයේ එඬේරුන් අතර පැවති දූරස්ථ සන්නිවේදන ක්‍රමයක් සේ සැලකේ. පසුව ක්‍රමයෙන් ගායන ශෛලියක් බවට පත් මෙය බටහිර ගායකයන් වන ජිමී රොජර්ස් (Jimmie Rodgers) සහ ටෙක්ස් මෝර්ටන් (Tex Morton) වෙතින් ලොව පුරා ප්‍රචලිත වූ බවත්, පසුව ඉන්දීය සිනමා කලාවේත් එම ගායන ශෛලිය ජනප්‍රිය වූ බවත් පැහැදිලි ය.

කිෂෝර් කුමාර් යනු ඉන්දියානු සිනමාවේ යූඩ්ලින් (Yodelling) ගායන ශෛලිය ජනප්‍රිය කළ සහ එහි අසහාය රජු ලෙස සැලකෙන ගායකයායි. 1972 වසරේ තිරගත වූ ‘මේරේ ජීවන් සාති’ (Mere Jeevan Saathi) චිත්‍රපටය සඳහා කිෂෝර් කුමාර් විසින් ගයන ලද ‘චලා ජාතා හූන්’ (Chala Jata Hoon), 1971 වසරේ තිරගත වූ ‘අන්දාස්’ (Andaz) චිත්‍රපටයේ එන ‘සින්දගි ඒක් සෆර් හේ සුහානා’ (Zindagi Ek Safar Hai Suhana) සහ 1962 වසරේ තිරගත වූ ‘ජුම්රූ’ (Jhumroo) චිත්‍රපටය සඳහා කිෂෝර් කුමාර් විසින්ම සංගීතවත් කොට, එහි ප්‍රධාන චරිතය ද රඟපාමින් ගායනා කළ ‘මේන් හූන් ජුම් ජුම් ජුම් ජුම් ජුම්රූ’ (Main Hoon Jhum Jhum Jhum Jhum Jhumroo) ගීතය ඔහුගේ යූඩ්ලින් ගායන හැකියාවට කදිම නිදසුන් කිහිපයකි. ඒ අනුව කළුතර විද්‍යාලයේ මනුල එහි තූර්ය වාදක කණ්ඩායම අද්දර සිට නඟන යූඩ්ල් හඬ ද “නිකම් බලු කෙඳිරියක්” සේ අප සිතිය යුතු නැත. 



සුනඛයකුට සාමාන්‍යයෙන් දරාගත හැකි ශබ්ද පරාසය ඩෙසිබල් 85ක් පමණ වන අතර, තූර්ය වාදක කණ්ඩායමක ශබ්ද පරාසය ඩෙසිබල් 120 ද ඉක්මවා යන අතර එය කිලෝ මීටර් කිහිපයක් දුරට විහිදෙයි. තූර්ය වාදක කණ්ඩායම එවන් උස් ශබ්ද පරාසයකින් තූර්ය භාණ්ඩ වාදනය කරන විට, මනුල කණ්ඩායම් නායකයා දෙස බලාගෙන “උඹ හරියට වැඩේ කරනවනේ” කියන්නාක් මෙන් අභිමානයෙන් වලිගය වනමින් දක්වන සහයෝගය අතිශය පුදුම සහගත ය. කිසිවෙකු ආරාධනා නොකළත්, පුහුණුවීම් පටන් ගත් සැණින් ඔහු එතැනට දිව එන්නේ තමන්ට පැවරුණු රාජකාරියක් ඉටු කිරීමට මෙනි. ඒ අනුව මෙය විඥානවාදී ලෙසින් සිතන්නෝ මනුලගේ සංසාරගත පුරුද්දක් ලෙස ද අර්ථ ගන්වති.

මනුල තූර්ය වාදක කණ්ඩායමේ දරුවන්ට දක්වන්නේ අසීමිත ලැදියාවකි. යම් හෙයකින් කණ්ඩායම භාර පුහුණු ගුරුතුමිය දරුවන්ට තරවටු කළහොත්, ඇයගේ සාරි පොටෙන් ඇද “දැන් ඇති, යමු යන්න” යැයි පවසන අයුරින් මනුල ඇයව වළක්වයි. එපමණක් නොව, තූර්ය වාදක කණ්ඩායමේ භාණ්ඩ අසලට පිටස්තර කිසිවෙකුට පැමිණීමට ඔහු ඉඩ නොදී ඒවා මුර කරයි. වත්මන් ශිෂ්‍යයන් පමණක් නොව, පැරණි ශිෂ්‍යයන් පවා නිවැරදිව හඳුනා ගන්නා මනුල ඔවුන් සමඟ ද ඉතා සුහදව කටයුතු කරයි.

“මනුල කියන්නේ හරිම ගුණ යහපත් සතෙක්. රාත්‍රී පුහුණුවීම් අවසානයේ තනිවම යන දරුවන්ව බස් නැවතුම්පොළ දක්වාම ඇරලවා, ඔවුන් බස් රථයට නගින තුරු බලා සිටීමට තරම් ඔහු බුද්ධිමත්.”

 



ඒ මනුල සම්බන්ධයෙන් කළුතර විද්‍යාලයේ සැම වෙතින් නැඟෙන පොදු හඬයි.

මනුලගේ මෙම සුවිශේෂී ආකර්ෂණීය හා ආදරණීය හැසිරීම් රටාව නිසා ඔහුගේ සුබසාධනය වෙනුවෙන් මේ වන විට විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම සෞඛ්‍ය නිලධාරීහු ද එක්ව සිටිති. ඔහුට අවශ්‍ය එන්නත් ලබා දී සෞඛ්‍යාරක්ෂිතව තබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත. ඇතැම් ගුරු මහත්මීන් නිවසේ සිටම මනුල වෙනුවෙන් විශේෂ කෑම පාර්සල් රැගෙන එන්නේ මහත් සෙනෙහසිනි. වරක් අනතුරකට ලක් වූ අවස්ථාවක, කළුතර විද්‍යාලයේ ආදි සිසුවකු සේම ප්‍රදේශයේ කීර්තිමත් පශු වෛද්‍යවරයෙකු ද වන ශෝභාන් විජයරත්න මහතා කිසිදු මුදලක් අය නොකර ඔහුට ප්‍රතිකාර කිරීමෙන්ම පෙනී යන්නේ මනුල මේ වන විට දිනාගත් සමාජමය ගෞරවය හා පිළිගැනීම ය. “මම මොකක් හරි උවමනාවකට ඉස්කෝලෙට ගියොත් මනුල කොහේ හරි ඉඳලා ඇවිත් පුදුමාකාර හිතවත්කමක් පෙන්නලා මගේ පස්සෙන්ම එන්න පටන් ගන්නවා” යැයි ඔහු පවසයි.

අද වන විට මනුලගේ මෙම ඉමහත් කැපවීම මුල් කොට ඔහුට තූර්ය වාදක කණ්ඩායමේ වර්ණ සහිත කරපටියක් පැළඳවීමට ද විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව කටයුතු කර ඇත. ඒ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තිරිසන් සතුන් කෙරෙහි ද විහිදුවාලනු පිණිස ය. ඒ අනුව එම අසීමිත ගෞරවයෙන් මහත් අභිමානයට පත් මනුල තම මෙහෙවර වඩාත් හොඳින් කරගෙන යනු පෙනෙයි. ලොව පාසල් තූර්ය වාදක කණ්ඩායමක සිටින එකම සුනඛ සාමාජිකයා මොහු විය හැකි ය.

 

manula3
“සුනඛයෝ මිනිසුන් ගැන දනිති; නමුදු මිනිස්සු සුනඛයන් ගැන නොදනිති.” මෙය වර්තමාන ලෝකයේ සුනඛවේදීන් (Cynologists) අතර නිතර කියැවෙන ප්‍රසිද්ධ මතයකි. මිනිසා සහ සුනඛයා අතර පවතින සබඳතාව මානව ශිෂ්ටාචාරයටත් වඩා පැරණි ය. එහෙත්, මෑතකාලීන සිදුවීම් මාලාවක් හරහා මෙම “මිනිස්-සුනඛ බැඳීම” (Human-Canine Bond) පිළිබඳව ලෝක අවධානය අලුත්ම මාවතකට යොමු වී තිබේ.

පසුගිය 2024 (හෝ 2025) ඔක්තෝබර් 26 වන දා ඇමරිකාවේ ටෙක්සාස් හි ෆෝර්ට් වර්ත් සිට වොෂින්ටන් ඩී.සී. දක්වා ආරම්භ වූ සාම පාගමන (Walk for Peace) ලෝකයේම කතාබහට ලක්විය. භික්ෂූන් වහන්සේලා 19 නමක් සමඟ දින 108ක් තිස්සේ සැතපුම් 2300ක දුරක් ගෙවා පෙබරවාරි 11 වන දා මෙම චාරිකාව නිම කරන ලදී. මෙහි විශේෂත්වය වන්නේ ඉන්දියානු වීදි සුනඛයකු වන ‘ආලෝකා’ මෙම දුෂ්කර ගමනේ අවසානය දක්වාම සාමයේ දූතයකු ලෙස එක්වීමයි. මෙය හුදෙක් සතෙකුගේ ගමනක් නොව, මිනිස් වර්ගයාට සාමය පිළිබඳව සුනඛයකු ලබා දුන් උදාර පණිවිඩයක් ලෙස විද්වත්හු හඳුන්වති.

බැසෙන්ජි සුනඛයෙක්
වීරත්වයට පත් වූ මිනිසුන්ව අනුකරණය කිරීම මිනිස් සිරිත වුවද, සුනඛයන්ගේ හැසිරීම් ස්වයංසිද්ධ ය. කළුතර විද්‍යාලයේ ගුරු-සිසු සහ දෙමාපියන්ගේ ආදරය දිනාගත් ‘මනුල’ නම් මෙම සුනඛයා මෙයට කදිම උදාහරණයකි. මනුල, ආලෝකාව අනුකරණය කළ බවක් කිසිවකුටත් සිහිනයකින් වත් සිතා ගත නොහැක. එහෙත් ඔහු පෙන්වූ සුවිශේෂී හැසිරීම් රටාව නිසා අද වන විට මුළු රටේම අවධානය මනුල වෙත යොමු වී ඇත.

මේ අතරේ මහනුවර ජාතික රෝහල් ආලින්දයේ දෙපයින් වාඩි වී එන යන සැමට ආචාර කරන්නාක් මෙන් හැසිරීමක් පළ කරන තවත් සුනඛයකු, එහි යන රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ මානසික පීඩනය අවම කරමින් “පිළිගැනීමේ නිලධාරියකු” සේ කටයුතු කරන අන්දම ද සමාජ මාධ්‍යවලින් අපි දැක ඇත්තෙමු. මේ ආකාරයේ සුවිශේෂ හැසිරීම් පළ කරන සුනඛයන් මින් පෙර ද කොතෙකුත් හිඳින්නට ඇත. එහෙත් ආලෝකාගේ හැසිරීම් ද පදනම් ව නූතන සමාජය ඔවුන් දෙස අලුත් ඇසකින් බැලීමට පුරුදු වී සිටිති. මෙවන් ආකර්ෂණීය සුනඛ චර්යා මාධ්‍ය කරළියට පැමිණීමට හේතුව ද එය බව අපගේ විශ්වාසයයි.

සුනඛයන් සමාජානුයෝජනය කිරීම (Dog Socialization) යනු සුනඛ පැටියකුට හෝ වැඩුණු සුනඛයකුට අලුත් පරිසරයන්, පුද්ගලයන්, සතුන් සහ විවිධ ශබ්දයන්ට බියක් නැතිව සාමාන්‍ය පරිදි හැඩගැසීමට හුරු කිරීමේ ක්‍රියාවලියයි. සරලවම කිවහොත් සුනඛ සුරතලකු ලෝකය සමඟ සුහදව ගනුදෙනු කරන “යහපත් පුරවැසියකු” බවට පත් කිරීම මෙහි අරමුණයි. සුනඛයන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු විවිධ පෙනුමැති අයට බිය නොවී සිටීමට හුරු කිරීම, වෙනත් සුනඛයන් සහ බළලුන් වැනි සතුන් දුටු විට කලබල නොවී හෝ ප්‍රචණ්ඩ නොවී සිටීමට ඉගැන්වීම, ඔවුන් තුළ පහසුවෙන් පිබිදිය හැකි බිය සහ ආතතිය අඩු කිරීම මින් සිදු කෙරේ. සුනඛයන් බොහෝ විට සපා කෑමට හෝ බිරීමට පෙළඹෙන්නේ බිය වූ විට ය. එමෙන්ම විවිධ ශබ්ද සහ ස්ථාන: වාහන ශබ්ද, ගිගුරුම් හඬ, වැකුම් ක්ලීනර් වැනි ශබ්දවලට සහ පාරවල්, උද්‍යාන වැනි ස්ථානවලට හුරු කිරීම ද මෙම ක්‍රියාවලියට අයත් වේ.

aloka 260122ආලෝකා සුනඛයා
සුනඛයන් සමාජානුයෝජනය කිරීම මගින් සුනඛයාගේ චර්යාවන් පාලනය කෙරෙන අතර, එවිට ඕනෑම තැනකට තම ස්වාමියා සමඟ බියක් නැතිව යාමට සුනඛයාට හැකියාව ලැබෙයි. විදේශ රටවල මෙලෙස සුනඛයන් පුහුණු කිරීම වෘත්තීය මට්ටමින් ද ඉහළ යමින් තිබේ. අප රටේ පොලිස් නිල සුනඛයෝ ඒ මට්ටමේ මනා පුහුණුවක් ලද්දෝ වෙති. එමෙන්ම දරුවෙකු පාසල් යන්නාක් මෙන් එය සුනඛයාගේ සිඟිති වියේ සිට අඛණ්ඩව කළ යුත්තක් බව ද පොදු සම්මතයකි. එමෙන්ම මෙලෙස පුහුණු කළ හැක්කේ මිනිසා විසින් කෘත්‍රිමව අභිජනනය කළ සුනඛ විශේෂවලට බවත්, එවැනි අභිජනනයකට ලක් නොවූ සාමාන්‍ය සුනඛ ප්‍රභේද (Basal Dog Breeds) පුහුණු කළ නොහැකි බවටත් මතයක් අප බොහෝ දෙනකු තුළ පවතී.

manula5එහෙත්, ආලෝකා නියෝජනය කරන ‘දේශි කුට්ටා’ (Desi Kutta – Indian Native Dog) හා මනුල නියෝජනය කරන සිංහල දඩ සුනඛයා (Sinhala Hound) යන සුනඛ විශේෂය පුරාණ, ප්‍රාථමික සුනඛ වර්ගයකි. වසර දහස් ගණනක් තිස්සේ මොව්හු මානව ජනාවාස ආශ්‍රිතව දක්නට ලැබෙති. උඩවලව අභයභූමියට අයත් බෙල්ලන්බැඳි පැලැස්ස ආදි මානව එළිමහන් ජනාවාසයකින් ලැබී ඇති සුනඛ දත ඒ සඳහා වන විශිෂ්ටතම සාක්ෂියකි.

විශේෂයෙන්ම නවසීලන්තයේ වයිකාටෝ (Waikato) විශ්වවිද්‍යාලය මගින් සිදුකළ AMS (Accelerator Mass Spectrometry) කාල නිර්ණයන්ට අනුව, මෙම සුනඛ දත සහ ඒ ආශ්‍රිත මානව ශේෂයන් වසර 12,500කට වඩා පැරණි එනම් ක්‍රි.පූර්ව 10500 යුගයට අයත් බව දැන් විද්‍යාත්මකව තහවුරු වී තිබේ. එමෙන්ම මෙම වසර 12,500ක කාල නිර්ණයත් සමඟ, බෙල්ලන්බැඳි පැලැස්සෙන් හමුවූ සුනඛයා දකුණු ආසියාවේ හමුවූ පැරණිතම හීලෑ සුනඛයා ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්විය. මෙය ලෝක මට්ටමින් සතුන් හීලෑ කිරීමේ ඉතිහාසය නැවත කියවීමට මග පාදන්නකි. ප්‍රාග් ඓතිහාසික මානවයා දඩයම සඳහා සුනඛයන් යොදාගත් බව හෝ හීලෑ සුනඛයන් මානවයා සමඟ විසූ බවට හෝ දකුණු ආසියාවෙන් ලැබෙන පළමු පුරාවිද්‍යාත්මක සාක්ෂිය මෙය බව අභිමානයෙන් සඳහන් කළ යුතු ය.

 

manula4

මේ දිනවල කළුතර විද්‍යාල ක්‍රීඩා පිටියට පැමිණෙන මනුල අපට කියා දෙන්නේ අප නොදන්නා එම අති පෞරාණික ඥාතිත්වයේ කතාවයි. ඉතා ක්‍රියාශීලී සහ ස්වාධීන තීරණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රකට මොවුන් ඇතැමුන් වල් බල්ලන් (Wild Dogs) ලෙස හැඳින්වුව ද එය විද්‍යාත්මක වශයෙන් පවා ඉඳුරාම වැරදිය. ඒ අප්‍රිකානු මහාද්වීපය ඇතුළු ලොව ඇතැම් ප්‍රදේශවල ජීවත් වන වන සුනඛ විශේෂ හා මොවුන් අතර කිසිදු සබැඳියාවක් නොමැති බැවිනි. අප රටේ මානව ජනාවාස ඇසුරෙහි නිවෙස්වල මෙන්ම ඒ ආශ්‍රිතව නගර හා වීදි ආශ්‍රිතව ජීවත් වන මොවුන් තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් දැනුම් අවබෝධයක් තිබේ. ඒ “සුනඛයෝ මිනිසුන් ගැන දනිති; නමුදු මිනිස්සු සුනඛයන් ගැන නොදනිති” යන්න අප නොසිතන තරම් ගැඹුරක් සහිත පරම සත්‍යයක් බව නැවත නැවතත් තහවුරු කරමිනි.

මොවුන් සෙසු සුනඛ විශේෂවලට සාපේක්ෂව සාමාන්‍යයෙන් නිරෝගී බවක් පළ කරන, අවුරුදු 10–13ක් ජීවත් වන්නෝ වෙති. මුලින් අප රටේ ආදි වාසීන් විසින් දඩයම් කිරීම සඳහා භාවිතා කරන ලද මොවුන් දැන් බොහෝ විට ගම් හෝ වීදි සුනඛයන් ලෙස මිනිස් ආහාරවලින් යැපීමට පුරුදුව සිටිති. එමෙන්ම මිනිසුන් විසින් පුරුදු කරනු ලැබීමට වඩා මිනිස් ක්‍රියාකාරකම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම කෙරෙහි දක්වන ලැදියාව මත මොවුන් බුද්ධි මට්ටමින් ඉතා ඉහළ සුනඛ විශේෂයක් බව පැහැදිලි ය. එනිසාම මේ දක්වා අප රටේ පොලිස් නිල සුනඛ අංශයට බඳවා ගෙන නැතත්, ප්‍රජා සුනඛයන් (Community Dogs) ලෙස සමාජයේ විවිධ ජන කොටස් හා එක්ව මොවුන් කරන මෙහෙවරට නිසි අගැයුමක් දීමේ කාලය දැන් එළැඹ තිබේ. ඒ සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක යෙදෙන කළුතර විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව වෙත අපගේ ගෞරවාදරය මෙසේ පුද කොට සිටිමු.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව | තිලක් සේනාසිංහ | The Leader