The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

විකල්ප සමාජයක් කරා | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්

T

The Leader Desk

February 19, 2026 • 11:46 AM

විකල්ප සමාජයක් කරා | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ මීටවිසි වසරකට ප්‍රථම එනම් 1990 පෙබරවාරී මස 18 වැනි දාය.
  • පසු කලෙක පියල් සෝමරත්න විසින් සිංහලට පරිවර්තය කරන ලද මෙම ලිපිය “මාවත” සඟරාවේ පළ වූ අතර 2002 පෙබරවාරි 15 `හිරු `පුවත්පතේ නැවත පළවිය.
  • ජනමාධ්‍ය වේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු ලෙසින් සිය මරණයෙන් පසු ප්‍රසිද්ධියට පත් රිචඩ්ගේ තියුණු දේශපාලන දැක්ම මෙම ලිපිය මගින් විදහා දැක්වෙයි.
  • 1990 ජනවාරි 28 දින Sunday Island පුවත් පතේ පළ වූ "ගුණදාස අමරසේකරගේ ජාතික චින්තනය පිළිබඳ ලිපිය රෙජී සිරිවර්ධනට දෙනු ලැබූ පිළිතුරකි.
අකුරු ප්‍රමාණය (Font Size):

Alternative Society නැමැති සිරස්තලය යටතේ මෙම ලිපිය `Sunday Island` පුවත්පතේ පළ වූයේ හරියටම ඊට සතියකට පෙරය. පසු කලෙක පියල් සෝමරත්න විසින් සිංහලට පරිවර්තය කරන ලද මෙම ලිපිය “මාවත” සඟරාවේ පළ වූ අතර 2002 පෙබරවාරි 15 `හිරු `පුවත්පතේ නැවත පළවිය.

ජනමාධ්‍ය වේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු ලෙසින් සිය මරණයෙන් පසු ප්‍රසිද්ධියට පත් රිචඩ්ගේ තියුණු දේශපාලන දැක්ම මෙම ලිපිය මගින් විදහා දැක්වෙයි. මතුවෙමින් පැවැති ජාතික චින්තනය මතවාදය විකාශනය විය හැකි විනාශකාරි දිශානතීන් පිලිබඳව රිචඩ් මෙම ලිපිය මගින් රිචඩ් අනතුරු ඇඟවූයේ දශක දෙකකට පෙරය.

1990 ජනවාරි 28 දින Sunday Island පුවත් පතේ පළ වූ "ගුණදාස අමරසේකරගේ ජාතික චින්තනය පිළිබඳ ලිපිය රෙජී සිරිවර්ධනට දෙනු ලැබූ පිළිතුරකි. ජාතික චින්තනය වටහා නොගෙන මුළු මහත් කොමියුනිස්ට් ලෝකය පුරා සිදුවෙමින් පවතින විපර්යාසයන් තේරුම් ගන්නේ කෙසේදැයි" ඔහු එහි ලා අප තිගස්සවන සුළු ප්‍රකාශයක් කරයි.

ගුණදාස අමරසේකර

සෝවියට් දේශයේ සිදුවෙමින් පවත්නා ජනවාර්ගික අසහනය මෙන්ම තම දේශ සීමාවන්ට පිටින් හා ඉහළින් තමන් මත පටවන ලද අවුරුදු 40ක සමාජවාදයේ උරුමය අතු ගා දැමීමට වෙර දරන නැගෙනහිර යුරෝපයේ රටවල ක්‍රියාදාමයන් ඉස්මතු වීම තම ජාතික චින්තනය ඉඟි කරන ආකාරයේ දේශපාලනයේම විපාක බව අමරසේකර හොඳින්ම දන්නවා ඇත.

ඔහුගේ තර්කයේ (මා අමරසේකරගේ "ගණඳුරු මැදියම දකිනෙමි අරුණළු" කියවා ඇත.) කේන්ද්‍රීය දුබලතාව තාර්කිකමය එකකි.

ඔහු එක විටම ජාතික චින්තනයක අවශ්‍යතාවක්- -පවතින බවත් එවැන්නක් දැනටමත් පවතින බවත් තර්ක කරයි. ඇත්තටම එවැන්නක් පවතී නම් ඒ සඳහා "අවශ්‍යතාවයක් " නැත. එවැන්නක් නොපවතී නම් විභවයන් දෙකක් ඇත. ද්වි ඝටනාත්මක ක්‍රියා දාමයක් තුළින් සමාජයේ එවැන්නක් බිහි වෙන තෙක් බලා සිටීම එකකි. සමාජය මත එවැන්නක් බලෙන් පැටවීම අනෙකයි. අමරසේකර වැනි ලිබරල් චින්තකයෙකු තර්කය ඉදිරිපත් කරන විට, සමාජ ක්‍රියා දාමය සිදු වන තෙක් ඉවසා සිටිනු ඇතැයි කෙනෙකු අනුමාන කරනු ඇත. අනෙක් අතට බුද්ධිමතුන් න්‍යායන් ඉදිරිපත් කරන විට, අදහස් අතින් බංකොළොත් අපේ වැනි සමාජ වල දේශපාලනඥයන් විසින් ඒවා ඩැහැගනු ලබන බව අමරසේකර දන්නා බවද ඒ තරමටම පැහැදිලිය.

තම ලිපි එකතුව පළ කළ වකවානුවෙහි ඉස්මතුවෙමින් පැවැති ජවිපෙ සාහසිකත්වයෙන් දුරස්ථ වීමට අමරසේකර දැරූ සුළු උත්සාහයක් "ගණඳුරු මැදියම" අග කොටසේ දැක්වෙයි. එම වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික චින්තනයේ කේන්ද්‍රීය දර්ශනයට තරමක් සමීප යැයි සළකන ලදි. නමුත් වැඩි කල් යාමට පෙර නලින්ද සිල්වා විසින් මෙහෙයවන ලද ජාතික චින්තනකරුවන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ ඈත් වීමට පටන් ගත්තේය. රාජ්‍ය බලය සඳහා වූ තම අරගලයට මාක්ස්වාදී ස්වරූපයක් දීමට තැත් කිරීම නිසා අමරසේකරගේ උතුම් අරමුණු සහිත, පටු දේශජ සහ අර්ධ වර්ගවාදී නැඹුරුවෙන් ජ.වි.පෙ. ඈත් විය.

image 42f9b4e243

රාජ්‍යය හා ජනතාව අතර ඒකමිතියක් ඇතිවීම පිලිබඳ ලෙනින්ගේ ප්‍රතිපත්තිවලින් බොහෝ සෙයින් බැහැර වීම නිසයි දැනට සෝවියට් දේශයේ මෙම විපර්යාසයන් සිදුවෙමින් පවතින්නේ.ඔහු තම ප්‍රතිපත්ති වලට හැම විටම අවංක නොවූවත් ඒවා සෑම විටෙකම පිළිපැදිය යුතු ප්‍රතිපත්ති ලෙස ලෙනින් සැළකුවේය. කොමියුනිස්ට් නොවන තත්ත්වයක් තුළ, ඉන්දියාවේ හින්දි නොවන ප්‍රාන්ත කෙරෙහි නේරු උපයොගී කරගැනීමට තැත් කළේද එවැනිම තත්ත්වයකි. ඒත් ඔහු සහ ගාන්ධි ගොඩ නැගු ධනේෂ්වර රාජ්‍යයේ සීමිත ස්වභාවය තුළ එය එතරම් සාර්ථක නොවීය. ඇමෙරිකන් ධනවාදයේ වඩදිය රැල්ලෙන් සමාජවාදී විප්ලවය රැක ගැනීමට ස්ටාලින් දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස "කොමියුනිස්ට් අධිරාජ්‍යයක් "ගොඩ නැගිණ.

1962 චීන-ඉන්දියානු යුද්ධයෙන් පසුව දකුණු ඉන්දියානු යුද්ධ-දේශපාලනමය පද්ධතියේ අනාරක්ෂිත බව විසින් රණකාමීන් අතර සාමකාමීයෙකු ලෙස සලකන ලද නේරු හුදෙකලා කරවන ලද අතර ඔහු සියළුම නැගෙනහිර ප්‍රාන්තවල යුද්ධමය ශක්තියත්, පාලනයත් දැඩි කළේය. මෙකල උග්‍ර ගැටුම් පවතින්නේ පන්ජාබයේ සහ කාශ්මීරයේ වුවත්, නාගලන්තයේ, අරුණාචල් ප්‍රාන්තයේ, මනිපූර් හෝ ඇසෑම් ප්‍රාන්තවල (සිකීමයේ පවා) ජනතාව “ඉන්දියානුවන් ගැන” කථා කරන්නේ තමන් පුළුල් ජාතික අනන්‍යතාවක කොටස්කරුවන් නොවන බව ඉඟි කරමිනි.

දේශපාලන යථාර්තයන්ට නතුවීම

GettyImages 541038943.0

පිටස්තර බලපෑම් ඇතිව හෝ නැතිව ස්ටාලීන්ගේ සෝවියට් දේශයේ සුළු ජාතීන් කොන් කිරීම සිදු විය. ඔවුන් දෙදෙනාටම දේශපාලන යථාර්තයන්ට නතුවීමට සිදු වූවත්, අඩුම වශයෙන් ඉන්දියාවට හා සෝවියට් දේශයට නේරු කෙනෙකු සහ ලෙනින් කෙනෙකු සිටියේය. ඒ වෙනුවෙන් අපට තිබුනේ සේනානායකලාගේ, බණ්ඩාරනායකලාගේ හා දේශපාලන ක්‍රීඩාවේ කෙළ පැමිණි ජයවර්ධනලාගේ දේශපාලනය පමණි. ඉන්දියාවේ සහ සෝවියට් දේශයේ පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ, එම රටවල ඇතැම් ප්‍රදේශයන්හි පදිංචි සුළු ජාතීන්ට නිසැකවම ආර්ථික වාසි ඇතත් 'උත්කෘෂ්ට සංස්කෘතියක්' ගොඩ නැගීමේ අවදානම පසක් කරගැනීමට එම නායකයන් අසමත් වූ නිසාය. ඊට සාපේක්ෂව අපේ සුළු ජාතීන්ට කිසිවක් නොලැබුන තරම්ය. මේ අනුව අමරසේකරගේ 'වාදයක් හෝ නව දේශපාලන මතවාදයක් නොවන චින්තනය' විනාශකාරී වර්ගවාදයකට දාර්ශනිකමය වශයෙන් මුක්කු ගැසීමකි.

56rty

මා මුලින් කියූ පරිදි අමරසේකර අදහස් කළේ මෙය නොවේ. නමුත් ජාතික චින්තනයක් පිළිබඳ ඔහුගේ ගවේශණයේ අවසන් ප්‍රතිඵලය කුමක්ද? දේශිය බුද්ධිමතුන් වැලක් ඔහු මෙහිලා නම් කරයි. දෙමළ හෝ මුස්ලිම් බුද්ධිමතුන් නොසිටි බව හෝ දෙමළ සහ මුස්ලිම් ජනතාව මෙම දිවයිනට දේශිය නොවන බව ( 19 වැනි සියවසේ දී තමිල්නාඩුවේ සිට උතුරට සංක්‍රමණය වී ' දෙමළ' වශයෙන් ජීවත් වූ හෝ දහතුන්වන සියවසේදී කේරලයෙන් දකුණට සංක්‍රමණය වී 'මලබාර්' යන්න අතහැර සලාගම වූයේ කවුරුන්ද යන රසවත් ප්‍රශ්නය මෙහිදී මතුවෙයි.) ඉඟිකරනවාට අමතරව අර මහා ජාතිකවාදියා වන විකුමසිංහ සහ මහා කපටියා වන අනගාරික ධර්මපාල අතර සමානකමක් සොයාගත හැක්කේ බොහෝ මවා පෑම්වලින් පසුවය. අනගාරික කළේ වික්ටෝරියානු මධ්‍යම පංතික සුචරිතවාදය ධනේශ්වර බුද්ධාගමට බද්ධ කිරීමයි. සංස්කෘතික වශයෙන් ප්‍රතිඵල අශෝභනය-කුහකකම ව්‍යාජ ත්‍යාගශීලිත්වය මෙන්ම භක්ති ගී, වෙසක් පත් වැනි පිළිකුල් සහගත දේවල්, “යටත් විජිත වාදීන්ගෙන් ණයට ගත් කණ්ණාඩිවලින්” යමෙකු ලෝකය දෙස බැලුවා නම්, ඒ අනගාරික ධර්මපාලය. ඔහු ග්‍රාමීය සුළු ධනේශ්වරයට සංස්කෘතිකමය වශයෙන් අහංකාර පරවශ බවක් ආරෝපනය කළේය. ඔවුන්ගෙන් සමහරෙකුට ආර්ථිකමය වශයෙන් සංචලතාවක් ලබා දුන්නේ බණ්ඩාරනායකයි. නමුත් මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුවත් ඔවුන් මෙම දිවයිනේ එකම පදිංචිකරුවන් නොවන බවත් 30%ක්වන සුළු ජාතිකයන්ගේ අභිලාෂයන් අභියස මිථ්‍යාවන් සහ අතීත ප්‍රබන්ධයන් එතරම් පලක් නොවන බවත් ඔවුනට කියා නුදුන්නේය. පරණ වම මෙන්ම ජවිපෙද එකිනෙකාට මූලික වශයෙන් සුළු ධනේශ්වර යැයි චෝදනා කරගත් අතර එකක න්‍යායවත් අනිකේ විප්ලවීය උද්‍යෝගයවත් එම ආත්ම-තෘප්ත මානසිකත්වය බිඳහෙළා ජනතාවගේ සැබෑ සහයෝගය දිනා ගැනීමට අසමත්ව ඇති බව ද පැහැදිලිය.

කෘෂි සමාජයක ජීවන පිළිවෙතේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූ සජාතීය සංස්කෘතියක් ගැන කථා කරන විට අමරසේකර සත්‍යයට මඳක් සමීප වෙයි. ඒ එක්කම ඔහු මෙසේද කියයි." දීර්ඝ වාරි සභ්‍යත්වයක් සහ මානව වාදී ආගමක් මත පදනම්ව.." - අමරසේකරගේ මෙම අර්ථකතනය දකුණු නිරිත දිග සහ නැගෙනහිර ආසියාවේ වී ගොවිතැන් කරන ඕනෑම සමාජයකට පොදුය. බුද්ධාගමේ ආභාෂය ලැබූ මෙම හැම රටකම එහි සදාතනික බලපෑම දැකිය හැකිය. නමුත් බුද්ධාගම ඉවත්කළත් ලෝකයේ ඕනෑම කෘෂි සමාජයකට මෙම අර්ථකතනය අදාළය. එම රටවල ආර්ථික ජීවිතය සමාන නිසා ඒවායේ සංස්කෘතික සමානතාවන්ද පවතී. දෘෂ්‍යමාන ස්වරූපය අතින් සංස්කෘතියක සුවිශේෂ සංඝටක- භාෂාව, ඇඳුම්, චාරිත්‍ර-වාරිත්‍ර සහ ඇදහිලි,වෙනස් විය හැක. එහෙත් එවායේ ඒකමිතිය තුළින් ජීවන පිළිවෙතක් නිර්මාණය වන අතර එම ඒකමිතියේ ස්වභාවය නිර්ණය වන්නේ එම සමාජයේ ආර්ථික ක්‍රියාවලිය අනුවය.

සෝවියට් බුද්ධිමතුන් සමඟ පැවැත් වූ සාකච්ඡාවන් සිහි කරන රෙජී ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශ මෙසේ දක්වයි.

 

regiරෙජී සිරිවර්ධන
"වඩා විශාල ඒකකයකට උරා ගැනීමෙන් වාර්ගික අනන්‍යතාවන් මකා දැමිය හැකි යැයි කලින් උපකල්පනය කරන ලදි. ඒත් වඩාත් යථාර්ථවාදී පිළිවෙත වන්නේ එම අනන්‍යතාවන් සහිතවම ජීවත් වීම සහ සතුරු සහ විනාශකාරී ස්වරූපයන් ප්‍රකටවිය නොහැකි පරිද්දෙන් එම අනන්‍යතාවන් හසුරුවාලීමයි."

"හසුරුවාලීම" යන පදය තරමක් රළුවන අතර රෙජී සිරිවර්ධනගේ ලිබරල්වාදී සංවේදනා අතර එම පදය දක්නට ලැබීම කෙනෙකු විමතියට පත් කරවන සුළුය. නමුත් එය තිබීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුට සහ ඔහුගේ සගයන්ට නූතන ජාතික රාජ්‍යයක ව්‍යුහය තුළ පවතින ඇතැම් දේශපාලනමය යථාර්ථයන් පිලිබඳ දැනුමක් ඇති බවයි. එනම් සමස්තය තුළ පර්යන්තයේ අනන්‍යතාවන් අවධාරණය වීමට කේන්ද්‍රය ඉඩ දුනහොත් රාජ්‍යයේ සමබරතාව විනාශ වෙයි. නූතන ජාතික රාජ්‍යයන් බොහෝමයක් විවිධ ගෝත්‍රික, වාර්ගික හෝ ජාතික අනන්‍යතාවන්ගේ සංයුක්තයක් වෙයි. මෙම රාජ්‍යයන් කොතෙක් දුරට කල් පවතීද යන්න රැඳී පවතින්නේ තම පර්යන්තයන් කේන්ද්‍රය වෙත ඇද බැඳ ගැනීමට සමත් අධෝ ව්‍යුහයක් නඩත්තු කළ හැකි ජාතික ආර්ථික පදනමක් ගොඩ නගා ගැනීමට එම රාජ්‍යයන් සමත් වේද යන්න මත ය. ඉවසීම, විවෘතභාවය සහ බහුත්වය සඳහා වන තර්කයේ දුබලතාව මෙයයි. එනම් තමන්ද ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ වැදගත් සංඝටකයකැයි සුළුජාතීන්ට ඒත්තු යන ආකාරයේ බලගතු ජාතික- බහුජාතික නොව ඇත්ත වශයෙන්ම ජාතික ආර්ථික ව්‍යුහයක් නොමැති වීමයි.

"ජාතික චින්තනය" මගින් නිෂ්පාදනය කරන දේශපාලනමය යථාර්ථය අසහනකාරී විය හැකි අතර සියළුම සංස්කෘතීන්හි අවම පොදු සාධක ගැට ගසා, විකෘති සමාජ මුහුණුවර ආවරණය කරන සුළු දෘෂ්‍යමාන ස්වරූපයන් බහුත්වයේ නාමයෙන් කෙනෙකුට ගෙනහැර දැක්විය හැකිය. සවිමත් බහුත්වවාදී ජාතික රාජ්‍යයක් ගොඩ නැංවිය හැක්කේ සන්නාසීන්, ජංගම සර්කස් කණ්ඩායම් සහ කවීන් මෙන් වැජඹෙන දේශපාලනඥයන් තුළින් නොවේ. පිලිතුර නිසැකවම ලෝකායත රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක් සඳහා න්‍යායික පදනම සැපයිය යුත්තේ මාක්ස්ලෙනින්වාදයේ මූලික ස්වරූපය විසිනැයි මම සිතමි. එහෙත් පැවැත්ම තුලින් මතුවන අසහනය උරාගැනීමට තරම් නම්‍ය වීම අත්‍යවශ්‍ය වේ. නැගෙනහිර යුරෝපය සහ සෝවියට් දේශය හරහා හමා යමින් පවතින ජාතිකවාදයන් ප්‍රතික්ෂේප කරන්නේ, ජාතික චින්තනයේ විස්තීර්ණ ස්වරූපයක් වන "මහා රුසියානු" මතවාදයන් මිස කොමියුනිස්ට්වාදය නොවේ.


| රිචඩ් ද සොයිසා
පරිවර්තනය - | පියල් සෝමරත්න

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විකල්ප සමාජයක් කරා | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක් | The Leader