ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, ඒ වෙනුවට ‘අයිතිවාසිකම් කේන්ද්‍ර කරගත් පාලනයක්’ සඳහා ආරක්ෂක අවශ්‍යතා සහ මහජන නිදහස සමතුලිත කරන නීතියක් ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක තුළ ඇති අධිෂ්ඨානය, මෙම මස මුලදී නිව්ස්වීක් (Newsweek) සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත පිළිබඳ සහේතුක බිය
නමුත් ජනාධිපතිවරයාගේ එම ආනන්දනීය අභිලාෂයට ඔහුගේම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් ඉදිරිපත් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ (PSTA) කෙටුම්පත දැඩි ලෙස හරස්ව සිටී. ඇත්ත වශයෙන්ම, සංශෝධිත පූර්විකාවක් යොදාගෙන ‘මහජන නිදහස’ සමතුලිත කිරීමේ උත්සාහයක් මතුපිටින් පෙන්නුම් කළද, මෙම පරස්පරතාවයේ තීව්‍රතාව මනාව පිළිබිඹු වෙයි. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමට යෝජිත කෙටුම්පතේ අඩංගු දෑ පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමෝදජනක අසිහියක සිටින්නේද?
එසේ නැතහොත් ජනපතිගේ මෙම සහතිකවීම් ශ්‍රී ලාංකික දේශපාලනඥයන් ඇලුම් කරන සාමාන්‍ය දේශපාලන පුරාජේරු පමණක්ද? කොයි අතින් ගත්තත්, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ අන්තර්ගතය විශ්ලේෂණය කරන විට එහි ඇති අවභාවිතයේ විභවය පිළිබඳව බියවීමට ඇති කාරනා බොහෝය. එහි අපබ්‍රංස කෙටි නාමය සඳහන් කරන්නේ මෙහි අරමුණ ‘රාජ්‍යය’ ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම බවයි. උදාහරණයක් ලෙස මෙය දකුණු අප්‍රිකාවේ ‘2004 ත්‍රස්තවාදී සහ ආශ්‍රිත ක්‍රියාවලින් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ (2022 සංශෝධන) පනත’ සමග සසඳා බලන්න.
මූලික වශයෙන්, ත්‍රස්ත විරෝධී නීතියක අරමුණ විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එම රටේ පුරවැසියන් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමයි. පනත් කෙටුම්පතක කෙටි නාමයක් පවා නිවැරදිව සකසා ගැනීමට බැරි තරමට ශ්‍රී ලංකාවේ නීතිමය හැකියාව හීන වී තිබේද? එය පසෙකලා, පසුගිය සතියේදී මෙම තීරුව තුළ පැවැසූ පරිදි රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් සකස් වූ 2018 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ 2023 ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතේ අඩිපාරේම රජය සීරුවෙන් ගමන් කරමින් සිටින බව නිරීක්ෂණය වේ.
ලිහිල්ව අර්ථ දක්වා ඇති වැරදිවල පරාසය

එහෙත් එහි අන්තර්ගතය ඉතා ගැඹුරින් කියවීමේදී, මෙම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත ඊට කලින් ආ අවතාරවලට වඩා වඩා අහිතකරද යන ප්‍රශ්නය පැන නගී. මීට පෙර තිබූ ඇතැම් ආරක්ෂණ විධිවිධාන අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති බව පෙනේ; ඒ පිළිබඳව මම පසුව සාකච්ඡා කරමි. අදක්ෂ ලෙස සකස් කරන ලද ත්‍රස්ත විරෝධී නීති මගින් නීත්‍යානුකූල ජාතික ආරක්ෂක නිරීක්ෂණ කටයුතුවලට බාධා පමුණුවනවා මිස ඉන් සහනයක් නොලැබෙන බව මුලින්ම අවධාරණය කළ යුතුය. මෙම අනතුර විශේෂයෙන්ම පැන නගින්නේ ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රධාන වරදට අමතරව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ ඇති අනෙකුත් වැරදි සම්බන්ධයෙනි.
ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතේ 9 වැනි වගන්තියේ ‘ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියා’ ලෙස දක්වා තිබූ කරුණු, එය අභියෝගයට ලක් වූ අවස්ථාවේදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුව අනුව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ 8 (2) වගන්තියට ගෙන එනු ලැබ ඇත. ඒ අනුව, යම් ‘රහසිගත තොරතුරක්’ වරදක් සිදු කිරීම සඳහා භාවිතා කරනු ඇති බවට ‘දැන දැනම හෝ එසේ විශ්වාස කිරීමට හේතු ඇතිව’, එම තොරතුරු ‘යම් තැනැත්තකුට’ සැපයීමේ අභිලාෂයෙන් තොරතුරු රැස් කිරීම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත යටතේ වරදක් වේ.
එම වරදට වරදකරු කරනු ලැබූ විට දඬුවම වසර පහළොවක් දක්වා සිරදඬුවමක්, රුපියල් මිලියන පහළොවකට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් දෙකම වේ. කනස්සල්ලට කරුණ නම්, ‘රහසිගත තොරතුරු’ යන්න අර්ථ දැක්වීමේදී, ‘ප්‍රචාරය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආරක්ෂක අංශවලට අහිතකර බලපෑමක් ඇති කළ හැකි ඕනෑම තොරතුරක්’ ලෙස ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතේ තිබූ ලිහිල් නිර්වචනයම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත තුළද ඇතුළත් කර තිබීමයි. ‘අහිතකර බලපෑමක්’ යනු හරියටම කුමක්ද යන්න ඕනෑම කෙනකුට ඕනෑම ආකාරයකට අර්ථකථනය කළ හැකිය.
ජනමාධ්‍ය හිරිවට්ටන බලපෑම
මෙම අඩුපාඩුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි. ‘රහසිගත තොරතුරු’ යන්නට ‘පොලිසියට හෝ සන්නද්ධ හමුදාවලට අදාළ ඕනෑම නිල ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු’ ද ඇතුළත් වන අතර, එය අනුමත කළ නොහැකි තරම් පුළුල්ය. ‘ත්‍රස්තවාදී වරදක්’ සිදු කිරීමේ අරමුණින් ‘ආරක්ෂක සංවේදී තොරතුරු’ රැස් කිරීම සාපරාධී ක්‍රියාවක් කළ හැකි බව පවසමින් අධිකරණය මෙම අර්ථ දැක්වීම්වලට අනුමැතිය ලබා දී ඇත.
නමුත් සැලකිය යුතු කරුණ වන්නේ, වරදම අපැහැදිලි ලෙස නිර්වචනය කර ඇති විට, ඒ සම්බන්ධයෙන් ‘තොරතුරු රැස් කිරීම’ තහනම් කිරීම අවභාවිතයට මග පෑදීමය. මේ අතර, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මෙන්ම ශාස්ත්‍රීය ප්‍රකාශන සඳහා ත්‍රස්තවාදයට එරෙහි පනත මගින් ලබා දී තිබූ ‘සද්භාවී ආරක්ෂණය’ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ 8 වැනි වගන්තියෙන් ඉවත් කර ඇති බව පෙනෙන්නට තිබීම බරපතල කරුණකි. මෙම අවසාන කෙටුම්පත අනෙක් සියල්ලටම වඩා අහිතකර එකක්දැයි සිතෙන්නට සලස්වන්නේ මෙවැනි කරුණු විසිනි.
ඇත්ත වශයෙන්ම, ජාතික ජන බලවේගය රජයේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත මගින් සද්භාවී ආරක්ෂණයක් ලබා දෙන්නේ 9 සහ 10 වැනි වගන්තිවල අඩංගු ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම’ සහ ‘ත්‍රස්තවාදී ප්‍රකාශන’ යන වැරදි සඳහා පමණි. කෙසේ වෙතත්, එම වැරදි ද එකසේ ගැටලු සහගතය. ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම’ යන්නෙන් ත්‍රස්තවාදී වරදක් සිදු කිරීමට ‘සෘජුව හෝ වක්‍රව’ මහජනතාව දිරිගන්වන ඕනෑම ප්‍රකාශයක් පළ කිරීම හෝ කථා කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කරයි. ඒ පිළිබඳ නොසැලකිලිමත් භාවය ද මෙම වරදේ අංගයක් ලෙස සැලකේ.
වැරදි අර්ථ දැක්වීමට සීමා පනවා ඇති දකුණු අප්‍රිකාවේ නීතිය

තවද, මහාධිකරණයේ මෙවැනි නඩු විභාග කිරීමේදී විත්තිකරුට තිබූ යම් ආරක්ෂණ විධිවිධාන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත මගින් අහේතුකව ඉවත් කර ඇත. සියල්ලටම වඩා, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතේ 11 වැනි වගන්තිය හරහා පුළුල් ලෙස අර්ථ දක්වා තිබූ ‘ත්‍රස්තවාදී ප්‍රකාශන’ සාපරාධී කිරීම, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ 10 වැනි වගන්තිය තුළ නැවතත් ඇතුළත් කර තිබේ. 2018 කෙටුම්පත වෙනත් කරුණු සම්බන්ධයෙන් විවේචනයට ලක් වුවද, එහි මෙවැනි වරදක් කොහෙත්ම අඩංගු නොවූ බව කිව යුතුය.
එපමණක් නොව, ‘නොසැලකිලිමත් ලෙස’ කරනු ලබන ප්‍රකාශන ද වරදක් ලෙස දක්වා ඇත. මෙහිදී ‘නොසැලකිලිමත් භාවය’ වැනි ලිහිල් මට්ටමක් භාවිතා කරන්නේ ඇයි? ‘තේරුම් ගැනීමට හැකි’, ‘තේරුම් ගැනීමට ඉඩ ඇති’ වැනි සාමාන්‍ය වචන භාවිතා කර ඇත. මෙම තහනම් කිරීම්වල සමස්ත බලපෑම බියජනකය. දකුණු අප්‍රිකාවේ ත්‍රස්ත විරෝධී නීතිය මගින් මෙම වරද වඩාත් දැඩි ලෙස අර්ථ දක්වා ඇත. 2002 වසරේ සංශෝධන පනතක් අනුව අන්තර්ජාලය ඇතුළු නීති විරෝධී ත්‍රස්තවාදී අන්තර්ගතයන් සහිත ප්‍රකාශන ඉවත් කිරීමට හෝ ඒවාට ප්‍රවේශ විය නොහැකි කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය වේ.
එම ක්‍රියාවලියට අධිකරණ අධීක්ෂණය ඇතුළත් කිරීම නිසා එම විධිවිධානය අවභාවිතයට ලක්වීමේ ඉඩකඩ බෙහෙවින් අඩුය. නමුත් මෙහි තත්වය එසේ නොවේ. තවද, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි සහ සිංහල අනුවාද අතර කනස්සල්ලට තුඩු දෙන වෙනස්කම් දක්නට ලැබේ. බලපාන අනුවාදය වන්නේ සිංහල පිටපතයි. පසුගිය සතියේ පෙන්වා දුන් පරිදි, ත්‍රස්තවාදී වරදේ ‘චේතනාන්විත පාර්ශ්වය’ අඩංගු 3(1) වගන්තිය තුළ ‘චේතනාව’ වෙනුවට ‘පරමාර්ථය’ යන වචනය භාවිතා කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා වැඩි බලතල
මෙම ගැටලු තවත් උග්‍ර කරමින්, සිංහල පරිවර්තනය තුළ ‘පරමාර්ථය’ යන්න යම් ‘ප්‍රතිඵලයක්’ ඇති කරන ක්‍රියාවක් ලෙස දක්වා ඇත. ජාතික ජන බලවේගය රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණය කරන ශිෂ්‍ය ක්‍රියාකාරීන් තර්ක කරන්නේ, එවැනි විරෝධතාවලදී ‘මහජන ප්‍රයෝජනය සඳහා වන කවර හෝ ස්ථානයකට බරපතල හානියක් සිදුවුවහොත්’, රජයට යම් දෙයක් කිරීමට හෝ එයින් වැළකී සිටීමට බල කිරීමේ ‘පරමාර්ථයෙන්’ ඔවුන් කටයුතු කළ නිසා ඔවුන්වත් මෙම ත්‍රස්තවාදී වරදට හසු කර ගත හැකි බවයි.
ඇත්ත වශයෙන්ම, ‘මූලික අයිතිවාසිකමක් නීත්‍යානුකූලව භාවිතා කිරීමේදී සද්භාවයෙන් ගනු ලබන ඕනෑම ක්‍රියාවක්’ නිදහස් කළ 2018 කෙටුම්පතේ 3(3) වගන්තිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත යන දෙකෙන්ම ඉවත් කර ඇත. සමස්තයක් ලෙස ගත් කල, මෙම නව කෙටුම්පත් තුනම දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා වැඩි බලතල රජයේ නියෝජිතයන්ට ලබා දෙයි. 1980 දශකයේ දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේ මෙවැනි අසාමාන්‍ය බලතල එක්සත් ජාතික පක්ෂ රජය සතුව තිබුණේ නම්, ඕනෑම නිර්භීත විනිසුරුවරයකුගේ වුවද දෑත් බැඳ දමන්නට ඉඩ තිබුණි.
එවැනි තත්වයක් තුළ ‘ජාතික ආරක්ෂාව’ සහ සිවිල් නිදහස අතර යුක්තියේ තරාදිය සමබරව පවත්වා ගැනීම ඉතා අපහසු වනු ඇත. එකල කැරලි ගැසූ ජවිපෙ ‘තරුණයන්’ නඩු විභාගයකින් තොරව ‘නීතියේ රැකවරණ යටතේ’ දණ්ඩ මුක්තිය ලබමින් මරා දමන්නට හෝ අතුරුදහන් කරන්නට හෝ ඉඩ තිබුණි. වර්තමාන රජයේ සිටින ජවිපෙ සහෝදරවරුන් එජාපයේ ‘බටලන්ද වධකාගාරය’ සහ අනෙකුත් කුරිරුකම් ගැන සදාචාරාත්මක කෝපයෙන් හඬ නගන විට මෙය ඉතා වැදගත් කරුණක් වේ.
දේශපාලන රංගනවලට තව දුරටත් ඉඩ නැත
ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගය පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ‘නව උදාව’ මෙම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත නොවේ. පොලිස් බලතල පුළුල් කිරීම සම්බන්ධ අනෙකුත් වගන්ති ගැනද තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇත. ඉතිහාසය විසින් දිසානායක ජනාධිපති පාලනය විනිශ්චය කරනු ලබන්නේ එජාපයේ ජයවර්ධන, ප්‍රේමදාස සහ වික්‍රමසිංහ පාලනයන් හා සමාන අයුරින්මය. ‘රාජ්‍ය භීෂණය’ හමුවේ තමන් වින්දිතයන් බව පවසන ඔවුන්ගේ පාලන සමය තුළ ඇතැම්විට ඊටත් වඩා දරුණු ලෙස එය සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේ සද්දන්ත බහුතරය භාවිතා කරමින් මෙම පනත ඉදිරියට ගෙන යාමට වඩා, බුද්ධිමත් උපදෙස්වලට සවන් දීම මෙහිදී වැදගත් වේ.




