The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?

T

The Leader Desk

February 28, 2026 • 6:57 AM

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව වැනි බුදුසමය කේන්ද්‍ර කොටගත් බහු-ආගමික සංස්කෘතික සමාජයක මුස්ලිම් ජාතිකයන්ගේ ආගමානුකූල සත්ව, විශේෂයෙන් ගවයන් හා සම්බන්ධ ‘කුර්බානි’ චාරිත්‍රය නිරතුරු කතාබහට ලක්වන්නකි.
  • මෙම තත්ත්වය මේ වන විට වාර්ගික හා ආගමික නොසන්සුන්තාවන් දක්වා වර්ධනය වීමට ද පසුබිම සකස් කර ඇති බව නොරහසකි.
  • මේ අනුව කවර කරුණක් මත හෝ සතකු නොමැරිය යුතු බවත්, නොමැරවිය යුතු බවත් බුදුසමය දැඩිව අවධාරණය කරයි.
  • මිනිසාට කිරි, ගිතෙල් ඇතුළු පස්ගෝරසය ලබාදෙන, කුඹුරු වැඩට උදවු වන හිතවත් මිතුරෙකු වන ගවයා හා සමාන වෙනත් ධනයක් නැතැයි (“නත්ථි ගෝසමං ධනං”) පෙන්වා දෙන බුදුදහම, ගවයා එවක කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය වූ බව තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන්ම අහිංසාව පරම ධර්මය කොටගත් බෞද්ධ හා හින්දු ජන සමාජය මෙම ඉස්ලාමීය ‘කුර්බානි’ චාරිත්‍රය දෙස බලනුයේ අතිශය සංවේදී මෙන්ම දැඩි විවේචනාත්මක දෘෂ්ටිකෝණයකිනි. මෙම තත්ත්වය මේ වන විට වාර්ගික හා ආගමික නොසන්සුන්තාවන් දක්වා වර්ධනය වීමට ද පසුබිම සකස් කර ඇති බව නොරහසකි.

“සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ” යන ඉගැන්වීම බෞද්ධ පරමාදර්ශයකි. එනම් “සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති, මරණයට බිය වෙති” යන්නයි. මේ අනුව කවර කරුණක් මත හෝ සතකු නොමැරිය යුතු බවත්, නොමැරවිය යුතු බවත් බුදුසමය දැඩිව අවධාරණය කරයි. ප්‍රාණඝාතය පිළිබඳ එවන් සෘජු ස්ථාවරයක් දරන බුදුදහමේ සූත්‍ර පිටකයේ, සුත්ත නිපාතයට අයත් ‘බ්‍රාහ්මණධම්ම සූත්‍රය’ තුළ ගවයාට සුවිශේෂ ගෞරවයක් හිමි කොට තිබේ. එහිදී ගවයා හඳුන්වන්නේ මවකට, පියෙකුට හෝ නෑයකුට සමාන කරමින් “මාතා පිතා සඛා වාපි” යනුවෙනි. මිනිසාට කිරි, ගිතෙල් ඇතුළු පස්ගෝරසය ලබාදෙන, කුඹුරු වැඩට උදවු වන හිතවත් මිතුරෙකු වන ගවයා හා සමාන වෙනත් ධනයක් නැතැයි (“නත්ථි ගෝසමං ධනං”) පෙන්වා දෙන බුදුදහම, ගවයා එවක කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය වූ බව තහවුරු කරයි.

cow
හින්දු දහමට අනුව ද ගවයා යනු දෙවියන්ගේ වාහනයක් හා සමානව වන්දනාවට පාත්‍ර වන, ‘ගෝ මාතා’ ලෙස සලකන උතුම් සත්වයෙකි. අතීත භාරතීය දේශගුණය හා පාරිසරික පද්ධතිය තුළ කෘෂිකර්මාන්තයට ගවයා නැතුවම බැරි සම්පතක් වූ බැවින්, මෙම ආගමික වටිනාකම් ගොඩනැඟීමට එකල පැවති කෘෂි ආර්ථික පසුබිම ද මහෝපකාරී වූ බව අතිශයින් පැහැදිලි ය.

නමුත් ක්‍රි.ව. 6 වැනි හා 7 වැනි සියවස්වල මුහම්මද් නබි තුමාණන් ජීවත් වූ අරාබිකරයේ පරිසරය මීට වඩා හාත්පසින්ම වෙනස් විය. සරුසාර වගාබිම් වෙනුවට වැලි කතරින් පිරුණු සෞදි අරාබිය වැනි දේශයක කෘෂිකර්මාන්තය ඉතා සීමිත විය. එහි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ වෙළඳාම සහ සත්ව පාලනයයි. ජලය හා ආහාර හිඟ කාන්තාර පරිසරයක සතුන් ආහාර පිණිස පරිභෝජනය කිරීම අනාදිමත් කාලයක සිට ඔවුන්ගේ පැවැත්මේ කොටසක් විය. අද ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව අතර ද වෙළඳ වෘත්තිය ප්‍රචලිත වීමට මෙම ඓතිහාසික සංස්කෘතික උරුමය බලපා තිබේ.ඒ අනුව කුර්බානි පිළිබඳව කතා කිරීමේ දී එම තත්වයන් නොතකා හැරිය යුතු නොවේ.

මුස්ලිම් නොවන ජනතාව මෙය හුදු සත්ව ඝාතනයක් ලෙස දුටුවද, ඉස්ලාමීය දෘෂ්ටියට අනුව ‘කුර්බානි’ යනු ඊඩ් අල්-අදා (Eid al-Adha) සමයේ සිදු කරන සුවිශේෂ ආගමික පරිත්‍යාගයකි. මෙය ඉබ්‍රාහිම් අලෛහිස්සලාම් (Prophet Abraham) අනාගත වක්තෘවරයා දෙවියන් වෙනුවෙන් කළ කැපකිරීම සිහිපත් කිරීමකි. ඒ අනුව මෙම ‘කුර්බානි’ පූජාව හුදු සත්ව ඝාතනයක් නොවන බව මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි.

cow dead

ඝාතනය යනු මිනිසකුට හෝ සතකුට පැනවිය හැකි පරම වධය බව නිසැක ය. නමුත් කුර්බානි චාරිත්‍රයේදී ඊට ලක්වන සතා වධ බන්ධනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා පිළිපැදීමට අසීරු දැඩි නීති පද්ධතියක් ඉස්ලාමීය ධර්මයේ පවතී. ඒ අනුව පූජා කරන සත්වයා අන්ධභාවය, කොර වීම හෝ වයෝවෘද්ධ රෝගවලින් තොර සෞඛ්‍ය සම්පන්න සත්වයෙකු විය යුතු ය. එමෙන්ම කුර්බානි සඳහා යොදා ගන්නා සතාට නිසි පෝෂණයක් ලබා දිය යුතු බව ද ඉස්ලාමය අවධාරණය කරයි. එක් සතෙකු ඝාතනය කරන විට එය තවත් සතෙකුට නොපෙනිය යුතුය යන්න ද තවත් එක් පැනවීමකි. සත්වයා ඉදිරිපිට පිහිය මුවහත් කිරීම පවා තහනම් කොට ඇත්තේ එම සත්වයා තුළ මරණ භීතිකාවක් ඇති නොවනු පිණිස ය. ඝාතනය සඳහා භාවිතා කරන පිහියේ මුවහත අතිශයින්ම තියුණු විය යුතු ය. එය සත්වයාගේ ගෙලෙහි ඇති ප්‍රධාන නහර (Jugular Vein) කපා වෙන් කිරීම ක්ෂණිකව සිදු කළ යුත්තේ සත්වයාට දැනෙන මරණ වේදනාව අවම කිරීමට ය.

ඉස්ලාමීය කුර්බානි වතාවතේදී සේම හලාල් ක්‍රමයට සතෙකු පූජා කිරීමේදී මෙම ‘ජුගියුලර් වේන්’ (Jugular Vein) කැපීම ඉතා වැදගත් වේ. ඒ මන්ද යත්, එවිට ප්‍රධාන ශිරාවන් සහ ධමනි (Carotid Arteries) කැපීමෙන් මොළයට රුධිරය සැපයීම ක්ෂණිකව ඇණහිට ක්ෂණික මරණයක් සිදු වන බැවිනි. මරණ දඬුවමකදී පවා හිස ගසා දැමීම, එල්ලා මැරීමට සාපේක්ෂව ඉතා කෙටි කාලයක් තුළ ක්ෂණික මරණයක් ගෙන දෙන්නක් බව විද්‍යාත්මකව පවා සනාථ වී තිබේ.එහෙත් එල්ලා මැරීම නම් වන දරුණු වධ බන්ධනය වෙනුවට හිස ගසා දැමීම යෝජනා කිරීම එය යෝජනා කරන්නාට ද මරණ දඬුවමකට යටත් කළ හැකි වරදක් සේ සමාජයේ බොහෝ දෙනෙක් සිතති.

එමෙන්ම කුර්බානි කිරීමේදී සතාගේ ශරීරයේ ඇති රුධිරය උපරිම ලෙස ඉවත් කිරීමට ද මෙම ක්‍රමය උපකාරී වේ. ඉස්ලාමීය නීතියට අනුව රුධිරය අනුභව කිරීම සපුරා තහනම් (හරාම්) බව ඉස්ලාමය දැඩිව අවධාරණය කරයි. එමෙන්ම එම සත්වයාගේ ප්‍රාණය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වන තුරු හම ගැසීම හෝ අවයව වෙන් කිරීම නොකළ යුතු ය. මෙම ‘කුර්බානි’ පූජාවෙන් ලබාගන්නා මාංශය කොටස් තුනකට බෙදා වෙන් කළ යුතු ය. ඒ තමන්ගේ පරිභෝජනය සඳහා, නෑ හිතමිතුරන් සඳහා සහ අසරණ හා දුප්පත් ජනතාව සඳහා වශයෙනි.

 

cow transportaion

කෙසේ වෙතත්, වර්තමානයේ මෙම ආගමික චාරිත්‍රය ඉටු කිරීමේදී ඇතැම් ප්‍රායෝගික අඩුපාඩු එමට දක්නට ලැබේ. නාගරීකරණයත් සමඟ සතුන් ප්‍රවාහනය හා රඳවා තැබීමේදී සිදුවන හිංසනයන් නිසාත්, ඇතැමුන් මෙය ආගමික භක්තියට වඩා සමාජ තත්ත්වය පෙන්වීමේ (Status Symbol) ක්‍රියාවක් බවට පත් කරගෙන තිබීම නිසාත් ඒ සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල වේ. නමුත් මෙම කුර්බානි වතාවත් සම්බන්ධයෙන් දාර්ශනික විමසුමක දී අල් කුරානයේ 22 වන පරිච්ඡේදයේ (සූරා අල්-හජ්) 37 වන වැකිය අතිශයින් වැදගත් වේ: “ඒවායේ (කුර්බානි සතුන්ගේ) මස් හෝ රුධිරය අල්ලාහ් වෙත ළඟා නොවේ. නමුත් ඔහු වෙත ළඟා වන්නේ ඔබ තුළ ඇති භක්තිය (තක්වා) පමණි.”

කුර්බානි හෙවත් උල්හියියා (Udhiyah) යනු ඉස්ලාමයේ ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තුමාණන්ගේ කැපකිරීම සිහිපත් කෙරෙන උදාර වතාවතකි. වර්තමානයේ පවතින සමාජමය ප්‍රවණතා සහ ආගමික ඉගැන්වීම් අතර ඇති ගැටීම මෙහිදී විමසා බැලිය යුතුය.

ඉස්ලාමයේ පංච මහා කුළුණු (සහදා, සලාතය, සකාත්, සවුම්, හජ්) අතරට කුර්බානි සෘජුවම ඇතුළත් නොවන බව සැබෑවකි. එය ඉස්ලාමීය නීතියට (Fiqh) අනුව ‘වාජිබ්’ (අනිවාර්යයට ආසන්න) හෝ ‘සුන්නතුල් මුඅක්කදා’ (තදින් නිර්දේශිත) ක්‍රියාවක් මිස සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය ‘ෆර්ල්’ (Fardh) කටයුත්තක් නොවේ. එමෙන්ම, වැරදි චේතනාවෙන් කරන වතාවතකට වඩා එය නොකර සිටීම යහපත් බවට වන තර්කය ඉස්ලාමීය ‘නියා’ (චේතනාව) පිළිබඳ සංකල්පය සමඟ මනාව ගැලපේ. වර්තමානයේ ඇතැමුන් කුර්බානි සතුන්ගේ මිල හෝ ප්‍රමාණය ප්‍රදර්ශනය කරමින් සමාජ බලය පෙන්වීමට උත්සාහ කිරීම ‘රියා’ (පෙන්වීමට කරන ක්‍රියා) ලෙස හැඳින්වේ. මෙය ඉස්ලාමයේ දැඩි ලෙස හෙළා දකින, වතාවතක අගය ශූන්‍ය කරන කරුණකි.

indonesia afp 2021 adha prayer

ඒ අනුව බොහෝ නූතන ඉස්ලාමීය ධර්මධරයන් පෙන්වා දෙන්නේ කුර්බානි යනු ‘සුන්නාහ්’ (අනුගමනය කළ යුතු සම්ප්‍රදායක්) මිස, සලාතය හෝ උපවාසය මෙන් අනිවාර්ය නීතියක් නොවන බවයි. යමෙකු සතුන් මැරීමට අකමැති නම් හෝ එය අනවශ්‍ය යැයි සිතන්නේ නම්, එම මුදලින් දුප්පතුන්ට වෙනත් ආකාරයකින් උදව් කිරීමට බාධාවක් නොමැති බව ඔවුන්ගේ මතයයි. නූතන මුස්ලිම් විද්වතුන් පවසන්නේ එදා අරාබියේ පැවති සත්ව පාලන ආර්ථික රටාවට අනුව දුප්පතුන්ට ආහාර දීමට තිබූ හොඳම ක්‍රමය එය වුවද, වත්මන් සමාජ ආර්ථිකය අනුව අවශ්‍යතා බෙහෙවින් පුළුල් වී ඇති බවයි. එම මුදලින් පාසල් ඉදි කිරීම, රෝහල්වලට උදව් කිරීම හෝ ගස් සිටුවීම වැනි “ජීවය දෙන” දෑ කිරීම අල්ලාහ් වඩාත් ප්‍රිය කරන “පරිත්‍යාගයක්” විය හැකි බව ඔවුන් තර්ක කරති. අපගේ මතයට අනුව කූර්බානි මඟින් කුරානය අපේක්ෂා කරන්නේ මිනිසා තුළ ඇති කෘතඥතාව සහ බෙදාහදා ගැනීමේ ගුණය පමණි. සතෙකු පූජා කිරීම යනු අතීත සමාජ ක්‍රමය තුළ එම ගුණය ප්‍රකාශ කිරීමට තිබූ එක් මාර්ගයක් මිස, එය ඉස්ලාමයේ ඇති එකම හෝ අනිවාර්ය මාර්ගය නොවේ.

එමෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි සංවේදී චාරිත්‍ර ඉටු කිරීමේදී, සෙසු ආගමිකයන්ගේ මතවාදයන්ට ගරු කරමින්, උපරිම මානුෂීය ගුණාංගවලින් යුතුව ක්‍රියා කිරීම ජාතික සමගියට අත්‍යවශ්‍ය වේ. සත්ව අයිතිවාසිකම් යනු හුදු නීති පද්ධතියක් නොව, එය මිනිසා තුළ තිබිය යුතු ස්වාභාවික යුක්ති ධර්මය මත පදනම් වන උසස් මානවීය ලක්ෂණයක් බව සියලු ජාතීන් හා ආගම්වලට අයත් කවුරුත් වටහා ගත යුතු ය. විවිධ ජනවර්ග සහ ආගමිකයන් තුළ අන්‍යෝන්‍ය වශයෙන් ගරුත්වය ගොඩනැඟෙනුයේ ආගමික මතිමතාන්දර අතර ගැටුම් ඇති නොවන තාක් කල් පමණි.

 

fathima halalden
(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද? | The Leader