The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගාලු මුවදොර අරගලයේ පන්නරයෙන් නේපාලයේ අගමැති පදවියට පත් රැප් ගායක බාලෙන්

T

The Leader Desk

March 29, 2026 • 5:19 AM

ගාලු මුවදොර අරගලයේ පන්නරයෙන් නේපාලයේ අගමැති පදවියට පත් රැප් ගායක බාලෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 වසරේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දියත් කළ ‘ගාලු මුවදොර අරගලය’ නම් ඩිජිටල් යුගයේ උපන් ‘Gen-Z’ පරපුර විසින් මෙහෙයවන ලද නව දේශපාලන සංස්කෘතික රැල්ල ලංකාව තුළ එලෙසින්ම බලාත්මක නොවීය.
  • එහෙත්, එම රැල්ලේ උණුසුමෙන්, දශක ගණනාවක් තිස්සේ හිමාල සෙවණේ ඇති නේපාලයේ මුල් බැස තිබූ සාම්ප්‍රදායික දේශපාලන බලකොටු උඩුයටිකුරු කරමින්, අද වන විට එරට ඉතිහාසයේ පෙර නොවූ විරූ රැඩිකල් පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ.
  •   තරුණ ජවය සහ වෙනසක් අපේක්ෂා කළ ජනතා අභිලාෂයන් මල්ඵල ගන්වමින්, 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා හෙවත් බැලේන්ද්‍ර ෂා (බාලෙන්ද්‍ර ෂා) හෙවත් ‘බාලෙන්’, ඉකුත් 27 වන දා නේපාලයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙනි.
  • මෙය හුදෙක් පුද්ගල මාරුවක් නොව, දූෂණයෙන් සහ අස්ථාවරත්වයෙන් හෙම්බත් වූ රාජ්‍යයක දේශපාලන සංස්කෘතිය තුළ සිදු වූ දැවැන්ත පිපිරීමක් ලෙස ඇතැම්හු නම් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව එහි ද්විතීයික ඵලයක් බව කීම වඩාත් නිවැරදි සේ හැඟේ. එහෙත්, එම රැල්ලේ උණුසුමෙන්, දශක ගණනාවක් තිස්සේ හිමාල සෙවණේ ඇති නේපාලයේ මුල් බැස තිබූ සාම්ප්‍රදායික දේශපාලන බලකොටු උඩුයටිකුරු කරමින්, අද වන විට එරට ඉතිහාසයේ පෙර නොවූ විරූ රැඩිකල් පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ.

 

nepal5

තරුණ ජවය සහ වෙනසක් අපේක්ෂා කළ ජනතා අභිලාෂයන් මල්ඵල ගන්වමින්, 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා හෙවත් බැලේන්ද්‍ර ෂා (බාලෙන්ද්‍ර ෂා) හෙවත් ‘බාලෙන්’, ඉකුත් 27 වන දා නේපාලයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙනි. එය මුළුමහත් දකුණු ආසියාවේම අවධානය දිනාගත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයකි. මෙය හුදෙක් පුද්ගල මාරුවක් නොව, දූෂණයෙන් සහ අස්ථාවරත්වයෙන් හෙම්බත් වූ රාජ්‍යයක දේශපාලන සංස්කෘතිය තුළ සිදු වූ දැවැන්ත පිපිරීමක් ලෙස ඇතැම්හු නම් කරති.

වෘත්තියෙන් ව්‍යුහ පද්ධති පිළිබඳ ඉංජිනේරුවරයෙකු (Structural Engineer) වන බාලේන්ද්‍ර ෂා හෙවත් බැලේන්ද්‍ර ෂා, ඉන්දියාවේ සහ නේපාලයේ විශ්වවිද්‍යාලවලින් සිය උසස් අධ්‍යාපනය ලබාගත්තෙකි. කෙසේ වෙතත්, දේශපාලනයට පිවිසීමට පෙර ද ඔහු නේපාල තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය වූවෙකි. ඒ ප්‍රවීණ රැප් ගායකයෙකු, සංගීත ප්‍රසංග සංවිධායකයෙකු සහ පද රචකයෙකු ලෙසිනි.

1990 අප්‍රේල් 25 වන දා උපන් ඔහු 2022 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙමින් එම වසරේ මැයි 30 වන දා කත්මණ්ඩු නුවර නගරාධිපති ලෙස විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත්වීම, ඔහුගේ දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂ්‍යය විය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිබවා තිස්තුන් වියැති නව රැල්ලේ ස්වාධීන තරුණයෙකු මෙලෙස නැඟී සිටීම නේපාල සාම්ප්‍රදායික දේශපාලනයේ පැවති ප්‍රභූ ආධිපත්‍යය බිඳ දැමීමක් ලෙස සැලකේ.

 

nepal8

බාලෙන් තම බිරිඳ හා දියණිය සමඟ

 

මෙම දේශපාලන පෙරළියට ප්‍රධානතම උත්තේජනය සැපයුණේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දියත් කළ ‘ගාලු මුවදොර අරගලය’ හරහා බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ අරගලය ජාත්‍යන්තරය තුළ කෙතරම් ප්‍රචලිත වී ද යත්, ලොව ප්‍රමුඛ ජනමාධ්‍ය තුළ ‘Protest’ යන පොදු වදන වෙනුවට ‘The Aragalaya’ යන සුවිශේෂී සිංහල වදනම නව දේශපාලන පාරිභාෂික ශබ්දයක් ලෙස භාවිත වන්නට විය. ‘Gen-Z’ පරපුර විසින් මෙහෙයවන ලද මෙම නව දේශපාලන රැල්ල, බංග්ලාදේශය සහ කෙන්යාව වැනි රටවලට ද ව්‍යාප්ත වුවද, එම රටවල අරගලකරුවන් අතට සෘජුවම බලය හිමි නොවීය. එහෙත් නේපාලය එම ‘අරගලයේ’ පරමාදර්ශය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් හරහා ජයග්‍රහණය දක්වා ගෙන යාමට සමත් වීම සුවිශේෂී වේ.

2025 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ කත්මණ්ඩු නුවර දූෂණය, ඉහළ විරැකියාව සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව තරුණ පරපුරේ (Gen-Z) ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇවිළී ගියේ ලක්ෂ ගණන් තරුණ පිරිස් මහ මඟට පිවිසෙමිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස්, සිය ගණනක් තුවාල ලැබූ අතර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු රජයේ ගොඩනැගිලිවලට ගිනි තැබූහ. ඒ වන විට නේපාල පාලන තන්ත්‍රය දැඩි සේ විවේචනය කරමින් තිබූ සමාජ මාධ්‍ය වේදිකා 26ක් තහනම් කිරීම මෙම පිබිදීමට මූලික හේතුව විය.

මීට අමතරව, 2024 දී 20% ඉක්මවූ තරුණ විරැකියාව, දූෂණය සහ දුර්වල පාලනය පිළිබඳව පැවති දීර්ඝකාලීන කෝපය මෙයට බලපෑවේය. “Gen-Z” ලෙස හැඳින්වෙන තරුණ විරෝධතාකරුවන් මෙහිදී දේශපාලනඥයින්ගේ නිවාස සහ රජයේ ගොඩනැගිලි ඉලක්ක කර ගිනි තබන ලදී. ආරක්ෂක අංශ විසින් ජීව උණ්ඩ ඇතුළු අසමාන බලයක් භාවිතා කළ බවට චෝදනා එල්ල විය. 

 
මෙම දැඩි නොසන්සුන්තාව හමුවේ 2025 සැප්තැම්බර් 9 වන දින අගමැති කේ.පී. ෂර්මා ඕලි ඉල්ලා අස්විය. පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නේපාල හමුදාව යොදවා ඇඳිරි නීතිය පැනවූ බව එක්සත් ජාතීන්ගේ පුවත් සේවය වාර්තා කළ අතර පද්ධතිමය වෙනසක් (System Change), පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් විය. මෙම ක්‍රියාවලිය සඳහා අභීත ලෙස නායකත්වය ලබා දුන්නේ බාලේන් ය.
 
nepal4
නමුදු මෙම නායකයා මුල සිටම සිය පණිවිඩය ජනගත කිරීමට තෝරා ගත්තේ සාම්ප්‍රදායික දේශපාලන වේදිකාව නොව ‘රැප්’ (Rap) සංගීතයයි. කළු පැහැති කබායකින්, නේපාල සාම්ප්‍රදායික හිස්වැස්මකින් සහ අව්කණ්ණාඩි යුවළකින් සැරසුණු ඔහුගේ පෙනුම පවා පවතින දේශපාලන ප්‍රවාහයට එල්ල කළ දැවැන්ත අභියෝගයකි. 
 
ඔහු සිය පත්වීමට පෙර නිකුත් කළ “Jaya Mahakali” රැප් ගීතය, සමාජ මාධ්‍ය හරහා මිලියන ගණනින් වැළඳගනු ලැබීය. “නේපාලය මෙවර බිය වන්නේ නැත, හදවත රතු රුධිරයෙන් පිරී ඇත. මෙවර සෑම නිවසකටම සිනහව සහ සතුට ළඟා වනු ඇත” යන ඔහුගේ පද පේළි ඔස්සේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති කිරීමට ඔහු සමත් විය. ශ්‍රී ලාංකීය ‘ගාලු මුවදොර අරගලය’ තුළ ද අප රටේ සාම්ප්‍රදායික විරෝධතාවල මෙන් වෛරය ද්වේෂය දක්නට නොලැබුණු අතර, සංගීතය, නර්තනය සහ නිර්මාණශීලී කලාංග ඉස්මතු වූ සේම බාලෙන්ගේ ජයග්‍රහණයේ මූල රූපය ද එම කලාත්මක ප්‍රකාශනය තුළම ගැබ්ව තිබුණි.
 
GHG 2022 07 09 at 10.42.15 AM
අරගලය ( ශ්‍රී ලංකාව ) 2022
 
බාලෙන්ගේ බිරිඳ සබීනා කෆ්ලේ වන අතර, ඔවුන් 2018 වසරේදී විවාහ වී තිබේ. ඔවුන් දෙපළට එක් දියණියක් සිටී. බැලේන්ද්‍ර ෂාගේ පත්වීම නේපාලයේ සමාජීය ව්‍යුහය තුළ ද අතිශය වැදගත් සන්ධිස්ථානයකි. ඔහු නේපාලයේ රාජ්‍ය නායකත්වයට හෝ ප්‍රධාන පෙළේ දේශපාලන ධුරයකට පත් වූ ප්‍රථම ‘මදේසි’ (Madhesi) ජාතිකයා වේ. ඉන්දියාවට ආසන්න නේපාලයේ දකුණු දිග තෙරායි තැන්නෙහි ජීවත් වන මදේසිවරු, කඳුකර ‘පහාඩි’ වැසියන්ට වඩා ඉන්දීය සංස්කෘතියට සමාන බවක් දක්වති.

සියවස් ගණනාවක් පුරා කඳුකර ප්‍රභූ පැලැන්තිය සතුව තිබූ බලය, දකුණු තැන්නෙන් පැමිණි තරුණයෙකු අතට පත්වීම සමාජීය පන්ති බාධක බිඳ දැමීමකි. ඔහුගේ ‘රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය’ (RSP) වසර කිහිපයක් වැනි කෙටි කාලයකදී, නේපාල කොංග්‍රසය සහ කොමියුනිස්ට් පක්ෂය වැනි දේශපාලන දැවැන්තයන් අභිබවා පාර්ලිමේන්තුවේ අතිවිශාල බහුතරයක් ලබා ගැනීම සමකාලීන දේශපාලනයේ විස්මිත ජයග්‍රහණයක් බව නිසැක ය.
 
nepal7
අරගලය ( නේපාලය ) 2025
 
එමෙන්ම නේපාලයේ සිදු වූ මෙම පෙරළිය දකුණු ආසියාවටම ලබා දෙන්නේ ප්‍රබල පණිවිඩයකි. අරගලයේ නියාමකත්වය ශ්‍රී ලංකාව ලබා දුන්නද, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින නවතම උපහාසාත්මක කතාවක් තිබේ. ඒ නේපාලය පාලකයා ලෙස රැප් ගායකයෙකු තෝරා ගන්නා විට ලංකාව ‘බයිලා’ ගායකයෙකු පාලකයා ලෙස තෝරාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, එම කියමනෙහි ඇත්තේ හුදු උපහාසයක් ද නැතහොත් එය ඉක්මවූ යථාර්ථයක් ද යන්න සැක හැර දැන ගැනීමට ඉදිරි කාලය අපට අවස්ථාව උදා කර දෙනු නියත ය.

Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...