The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බළල් ලෝකය මිනිස් ලොවට යා කළ අසහාය සිතුවම් ශිල්පී: ලුවී වේන්

T

The Leader Desk

March 29, 2026 • 7:53 AM

බළල් ලෝකය මිනිස් ලොවට යා කළ අසහාය සිතුවම් ශිල්පී: ලුවී වේන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා සුරතල් සතුන් ඇති කරන්නවුන් අතරේ වැඩිම පිරිසක් ඇති කරන සත්ව වර්ග දෙක වනුයේ සුනඛයන් හා බළලුන්ය.
  • ලුවී වේන් (Louis Wain) යනු 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය කලා ලොව වර්ණවත් කළ, එහෙත් ඒ හා සමානවම සංවේදී ජීවිත කතාවකට හිමිකම් කියන අසහාය චිත්‍ර ශිල්පියෙකි.
  •   1860 වසරේ එංගලන්තයේදී උපන් ඔහු බළලුන් කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි.
  • එම එක් එක් අවධියේ කළ නිර්මාණ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් සහ මානසික සෞඛ්‍යයේ පරිණාමය මනාව පිළිබිඹු කරන බව ලොව පුරා පිළිගත් මතයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් අතීතයේ බොහෝ දෙනෙකු තුළ බළලුන් සම්බන්ධයෙන් ප්‍රියතාවක් නොතිබූ යුගයක, ඔවුන් කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වූ අපූරු සිතුවම් ශිල්පියෙකු පිළිබඳව ඔබ අසා තිබුණාද? ලුවී වේන් (Louis Wain) යනු 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය කලා ලොව වර්ණවත් කළ, එහෙත් ඒ හා සමානවම සංවේදී ජීවිත කතාවකට හිමිකම් කියන අසහාය චිත්‍ර ශිල්පියෙකි.

 

balal6

1860 වසරේ එංගලන්තයේදී උපන් ඔහු බළලුන් කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි. එනිසාම ඔවුන්ට මානව රූපී ගුණාංග ආරෝපණය කරමින් (Anthropomorphic) වේන් කළ නිර්මාණ, එකල බ්‍රිතාන්‍ය සමාජයේ බළලුන් කෙරෙහි තිබූ දැක්ම සහමුලින්ම වෙනස් කිරීමට පවා සමත් විය.

ලුවී වේන්ගේ කලා ජීවිතය ප්‍රධාන වශයෙන් අවධි දෙකකට බෙදා දැක්විය හැකිය. එම එක් එක් අවධියේ කළ නිර්මාණ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් සහ මානසික සෞඛ්‍යයේ පරිණාමය මනාව පිළිබිඹු කරන බව ලොව පුරා පිළිගත් මතයකි.

balal2
ලුවී වේන්ගේ මුල් කාලීන නිර්මාණ ශෛලිය වඩාත් හාස්‍යජනක ස්වරූපයක් ගත්තේය. මෙම යුගයේ ආරම්භය සනිටුහන් වන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වූ එමිලි රිචඩ්සන් පිළිකා රෝගයෙන් පීඩා විඳි අඳුරු කාල පරිච්ඡේදයේදීය. ඒ කාලයේ ඔවුන් ඇති කළ ‘පීටර්’ නම් බළලාගේ රූප ඇයව සතුටු කිරීම සඳහා ඇඳීමට පටන් ගත් වේන්, ක්‍රමයෙන් එම බළලුන්ට මනුෂ්‍ය ස්වරූපයක් ලබා දුන්නේය. මෙය ඔහුගේ බිරිඳගේ මෙන්ම දකින සැමගේ සිත් සතුටු කරන්නක් විය. 

balal3

ඔහුගේ මුල් කාලීන සිතුවම්වල සිටි බළලුන් පසුපස ගාත්වලින් කෙළින් සිටගෙන සිටි අතර, බළලුන් විසිතුරු ඇඳුම් ඇඳීම, තේ පැන් සාද පැවැත්වීම, පාපන්දු ක්‍රීඩා කිරීම සහ පුවත්පත් කියවීම වැනි විවිධ සමාජීය ක්‍රියාවල නිරත වන අයුරු දැකගත හැකි විය. මෙහිදී ඔහු භාවිත කළ වර්ණ සංයෝජනයන් සජීවී වූ අතර, බළලුන්ගේ මුහුණේ ඉරියව් මඟින් සතුට, පුදුමය, කෝපය වැනි මිනිස් හැඟීම් ඉතා සියුම් ලෙස ප්‍රකාශ කිරීමට ඔහු සමත් විය. මෙම නිර්මාණ එකල ‘Illustrated London News’ වැනි සඟරා හරහා ප්‍රසිද්ධියට පත් වූ අතර, බළලුන් හුදෙක් මීයන් අල්ලන සතුන් කොට්ඨාසයක සිට ආදරණීය ගෘහස්ථ සුරතලුන් බවට පත්වීමට මෙය ප්‍රබල හේතුවක් විය.

 

balal1
ලුවී වේන් ගේ ජීවිත කතාව 2021 වසරේදී “The Electrical Life of Louis Wain” නමින් සිනමාවට
 
නමුත් වේන්ගේ ජීවිතයේ පසුකාලීන භාගය කෙසේවත් සතුටුදායක වූවක් නොවේ. ඒ ඔහු භින්නෝන්මාදය (Schizophrenia) වැනි දැඩි මානසික රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳි බැවිනි. මෙම මානසික විපර්යාසය ඔහුගේ සිතුවම් ශෛලිය තුළ අතිශය විස්මිත මෙන්ම සංකීර්ණ වෙනසක් ඇති කළේය. මුල් කාලයේ දුටු යථාර්ථවාදී ස්වරූපය වෙනුවට, ඔහුගේ පසුකාලීන සිතුවම් වඩාත් වියුක්ත (Abstract) සහ ජ්‍යාමිතික (Geometric) ස්වරූපයක් ගෙන තිබිණි. ‘බහු රූප දර්ශක බළලුන්’ (Kaleidoscope Cats) යනු ලුවී වේන් විසින් සිය පසුකාලීන ජීවිතයේදී නිර්මාණය කරන ලද අතිශයින්ම වර්ණවත් සහ වියුක්ත බළල් සිතුවම් මාලාවකි. වේන් තමන් ඇඳි බළලුන්ගේ රූප වටා විද්‍යුත් කිරණ හෝ දීප්තිමත් රැස් වළලු වැනි සංකීර්ණ රටා මතු කොට තිබිණි. මෙම සිතුවම්වල සාමාන්‍ය බළල් රූප වෙනුවට කැලයිඩොස්කෝප් එකකින් බලන විට පෙනෙන ආකාරයේ සංකීර්ණ ජ්‍යාමිතික රටා සහ විචිත්‍රවත් වර්ණ භාවිත කර ඇත. මේවා 1960 දශකයේ ජනප්‍රිය වූ මනෝ භ්‍රමික (Psychedelic) කලාවේ පූර්වගාමී නිර්මාණ ලෙස සැලකේ.
 
balal4
භින්නෝන්මාදය (Schizophrenia) යන වචනය 1908 දී ස්විට්සර්ලන්ත ජාතික මනෝවිද්‍යාඥ යුජින් බ්ලූලර් (Eugen Bleuler) විසින් හඳුන්වා දෙන ලදී. පුද්ගලයෙකුගේ පෞරුෂය, චින්තනය, මතකය සහ සංජානනය අතර පවතින ක්‍රියාකාරී බෙදීම විස්තර කිරීම මෙහි අරමුණ විය. බ්ලූලර් මෙම ‘Schizophrenia’ යන්න මුලින්ම ඉදිරිපත් කළේ 1908 අප්‍රේල් 24 වන දින බර්ලින් නුවර පැවැති මනෝවිද්‍යා සමුළුවකදී සහ එම වසරේම පළ වූ ලිපියකිනි. පසුව 1911 දී ඔහු මෙම සංකල්පය තවදුරටත් පුළුල් කරමින් නිබන්ධනයක් ලියූ අතර, එය 1950 දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය විය.
මනෝවිද්‍යාඥ වෝල්ටර් මැක්ලේ (Walter Maclay) විසින් වේන්ගේ සිතුවම් පෙළකට සකසා, භින්නෝන්මාදය උත්සන්න වීමත් සමඟ සිතුවම් වඩ වඩාත් වියුක්ත වන බව පෙන්වීමට උත්සාහ කළේය. මෙම සිතුවම්වල ඇති වර්ණවත් බව සහ සමමිතික රටා (Symmetrical Patterns) මල් මෝස්තර හෝ ගෝත්‍රික සිතුවම්වලට සමානකම් දැක්වීය. මෙහි විශේෂත්වය වන්නේ බළලාගේ මුහුණේ ස්වරූපය ක්‍රමයෙන් වියුක්ත රටා අතර සැඟවී යාමයි. මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වේන්ගේ මොළය තුළ ඇති වූ රසායනික වෙනස්කම් සහ බාහිර ලෝකය දකින ආකාරයේ සිදු වූ විපර්යාසය මෙම “විද්‍යුත්” (Electric-like) රටා හරහා ප්‍රකාශ වූ බවයි. කෙසේ වෙතත්, වර්තමාන මතය අනුව නූතන විචාරකයන් පෙන්වා දෙන්නේ වේන් සිය අසනීප කාලයේදී පවා සාමාන්‍ය බළල් රූප ද ඇඳි බවත්, මෙම බහුරූප දර්ශක රටා ඔහුගේ නිර්මාණාත්මක පර්යේෂණවල ප්‍රතිඵලයක් විය හැකි බවත්ය.
 
balal5
ලුවී වේන්ගේ සිතුවම් පෙළ අද වන විට කලා රසිකයන් හා විචාරකයන් අතරේ මෙන්ම වෛද්‍ය විද්‍යාව සහ මනෝවිද්‍යාව හදාරන්නවුන් අතරේ ද වැදගත් අධ්‍යයන විෂයයක් බවට පත්ව තිබේ. ඔවුන් පවසා ඇති අන්දමට මානසික රෝගයක් හේතුවෙන් පුද්ගලයෙකුගේ නිර්මාණශීලීත්වය සහ දෘශ්‍ය සංජානනය (Visual Perception) විකෘති වන ආකාරය පෙන්වීමට මෙය කදිම උදාහරණයකි.
balal10
ඔහුගේ පසුකාලීන මනෝ භ්‍රමික (Psychedelic) ශෛලිය, 1960 දශකයේ ඇති වූ නවීන කලා ප්‍රවණතාවලට පවා පූර්ව නිදර්ශනයක් සැපයූ බව විචාරකයෝ පවසති. ඔහුගේ මෙම සංකීර්ණ ජීවිත කතාව 2021 වසරේදී “The Electrical Life of Louis Wain” නමින් සිනමාවට නැඟුණු අතර, බෙනඩික්ට් කම්බර්බැච්ගේ විශිෂ්ට රංගනයෙන් එය තවදුරටත් ඔපවත් විය. වයස අවුරුදු හැත්තෑ නවයක් වූ 1939 දී මානසික රෝහලකදී අභාවප්‍රාප්ත වන විටත් ලුවී වේන් නොකඩවා සිතුවම්කරණයේ නිරතව සිටි අතර, ඔහු ඉතිරි කර ගිය එම වර්ණවත් බළලුන්ගේ ලෝකය අදටත් කලා ලෝලීන්ගේ මෙන්ම විද්‍යාඥයන්ගේ කුතුහලය දල්වන අමරණීය නිර්මාණ පෙළකි.
 
balal7
ලුවී වේන් ගේ ජීවිත කතාව 2021 වසරේදී “The Electrical Life of Louis Wain” නමින් සිනමාවට
 
 
renu(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...