The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මැඩලිය හැකි ද? මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට රැවටෙමු ද? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි

T

The Leader Desk

May 28, 2026 • 1:06 PM

ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මැඩලිය හැකි ද? මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට රැවටෙමු ද?  | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිපියේ අරමුණ සහ පසුබිම
  • සමහර මහ බැංකු විසින් තම රටවල වත්මන් උද්ධමනය  ඉලක්කයට වඩා බොහෝ පහළ මට්ටමක පවතින බැවින් අපේක්ෂිත ගෝලීය උද්ධමනය දරා ගැනීමේ හැකියාවක් පවතින බවට ද ප්‍රකාශ කොට ඇත.
  • ආර්ථික කළමනාකරණය පිළිබඳ ව ලිපියක් මෙහි සම්බන්ධ කොට ඇත.  (ලිපිය)   මෙම ලිපිය මගින් කිසිම සංඛ්‍යා විශ්ලේෂණයකින් සහ ඉරාන යුද්ධය ආශ්‍රිත කිසිම භූ දේශපාලනික ඇගයීමකින් තොර මතු පිට කියවීමක් පමණක් ඉදිරිපත් කෙරේ.
  •   ඉරාන යුද්ධය සහ  අපේක්ෂිත  ගෝලීය උද්ධමන රැල්ල      ඉරාන යුද්ධය හේතු කොට ගෝලීය බලශක්ති සහ සැපයුම් දාමයන් අවහිර වීම තුළින් ලෝකය පුරා මිල ගණන් ඉහළ යන බව පොදු දැනුමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ දිනවල මහ බැංකු රැසක් විසින් ඉරාන යුද්ධය හේතු කොට අයහපත් උද්ධමනකාරී තත්ත්වයක් හට ගත හොත් පොලී අනුපාතයන් ඉහළ දැමීමට සිදු වන බවට ඉඟි පළ කොට ඇත. සමහර මහ බැංකු විසින් තම රටවල වත්මන් උද්ධමනය  ඉලක්කයට වඩා බොහෝ පහළ මට්ටමක පවතින බැවින් අපේක්ෂිත ගෝලීය උද්ධමනය දරා ගැනීමේ හැකියාවක් පවතින බවට ද ප්‍රකාශ කොට ඇත.

 

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ඉරාන යුද්ධයට ප්‍රතිචාර ලෙස මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීමේ අයෝග්‍යතාවයත්, ඊට විකල්පව ආර්ථිකයන් සහ ජන ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය මුදල් බලය භාවිතා කළ යුතු ආකාරයත්  පිළිබඳ ව අදහසක් ඉදිරිපත් කිරීම යි. ආර්ථික කළමනාකරණය පිළිබඳ ව ලිපියක් මෙහි සම්බන්ධ කොට ඇත. (ලිපිය)

 

මෙම ලිපිය මගින් කිසිම සංඛ්‍යා විශ්ලේෂණයකින් සහ ඉරාන යුද්ධය ආශ්‍රිත කිසිම භූ දේශපාලනික ඇගයීමකින් තොර මතු පිට කියවීමක් පමණක් ඉදිරිපත් කෙරේ.

 

ඉරාන යුද්ධය සහ අපේක්ෂිත ගෝලීය උද්ධමන රැල්ල 

 Lebanese civil defence workers search through the rubble of a building following an Israeli strike at dawn in the southern Lebanese area of al-Hosh, near the coastal city of Tyre on May 26, 2026. Israeli Prime Minister Benjamin Netanyahu said on May 25 he had ordered the military to intensify its offensive in Lebanon in an effort to "crush" Hezbollah, accusing the group of targeting Israeli forces with drone attacks. (Photo by AFP)

 

ඉරාන යුද්ධය හේතු කොට ගෝලීය බලශක්ති සහ සැපයුම් දාමයන් අවහිර වීම තුළින් ලෝකය පුරා මිල ගණන් ඉහළ යන බව පොදු දැනුමකි. මෙවැනි ගෝලීය සැපයුම් අවහිරතාවන්ට මුහුණ දීමට හැකි ආරක්‍ෂිත තොග පවත්වා ගැනීමට කිසිම විශාල හෝ කුඩා රටකට නොහැකි බැවින් සෑම රටකටම මෙම ගෝලීය මිල උද්ධමන රැල්ලට මුහුණ දීමට සිදු වනු ඇත. ඉහළ යන මිල ගණන්වලට මුහුණ දීම සඳහා වැටුප් ඉල්ලුම ඉහළ යාම තුළින් දෙවැනි වටයේ උද්ධමන රැල්ලක් හට ගැනීම ද සාමාන්‍ය අපේක්ෂණයකි. එමගින්, මිල-වැටුප් දඟරය හරහා කල්පවතින උද්ධමනකාරී පීඩනයක් ඇති වන බව පැරණි ආර්ථික විද්‍යා මතය යි.

ඉරාන යුද්ධයේ දිගු කාලීන සංස්කෘතික සහ භූ දේශපාලනික පදනම දෙස බලන විට, මෙම යුද්ධයේ ඉක්මන් අවසානයක් සහ ගෝලීය සැපයුම් දාමයන් ප්‍රකෘති වීමක් පිළිබඳ ව දින වකවානු පුරෝකථනය කිරීම අපහසුය. එබැවින්, දිගු කාලීන ගෝලීය උද්ධමන රැල්ලක් අපේක්ෂා කිරීම තාත්වික හැසිරීමකි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ තෙල් සහ ගෑස් මිල ඉහළ යා යුතු නම්, එය සිදු විය යුතු බවට පසුගිය දා ප්‍රකාශ කිරීමෙන් ඉදිරියේ ඇති ගෝලීය උද්ධමන අවදානම පැහැදිළි වෙයි. 

එබැවින්, අපේක්ෂිත ගෝලීය උද්ධමන රැල්ල සහ එමගින් ඇති විය හැකි සමාජ ආර්ථික අනර්ථය පිළිබඳ ව අසුබවාදී දැක්මකින් විසඳුම් සෙවීම වඩාත් හිතකර වෙයි. එසේ නැතිව ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික අපහසුකම් පිළිබඳ ව මහජනයාට අනතුරු ඇඟවීමෙන් ඵලක් නොවන අතර මහජනයා විසින් විවිධ සමපේක්ෂණයන් මත හදිසි ප්‍රතිචාර දැක්වීම  (තෙල් පෝලිම් සහ භාණ්ඩ රැස් කිරීම මෙන්) හේතු කොට ආර්ථික කළමනාකරණ සහ ස්ථායිකරණ කාර්යය රජයෙන් ගිලිහී යාමට ද හැකියාව පවතී.

 

උද්ධමනයට මහ බැංකු පොලී ප්‍රතිකාරය

 Central.Bank .CBSL 800x445

 

ලෝකය පුරා මහ බැංකු විසින් භක්තියෙන් පිළි පදින මුදල් මතවාදය වන්නේ, උද්ධමනය යනු සැම විට සැම තැන මුදල් සංසිද්ධියක් බව යි. එනම්, ආර්ථිකයෙහි නිපදවෙන භාණ්ඩ හා සේවා සැපයුමට වඩා වැඩි වේගයෙන් මුදල් සංසරණය හෝ සැපයුම ඉහළ යාමේ ප්‍රතිඵලය බව යි. එනම්, එම අතිරික්ත මුදල් සැපයුම හරහා භාණ්ඩ හා සේවා ඉල්ලුම හෝ වියදම ප්‍රසාරණය වීමෙන් මිල ගණන් ඉහළ යාම යි. උද්ධමනය යනු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමේ වේගය යි. 

 

එබැවින්, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවල කෝකටත් තෛල ප්‍රතිකාරය වන්නේ, භාණ්ඩ හා සේවා සැපයුමට සරිලන ලෙස ඉල්ලුම කැපීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් මුද්‍රණය පහළ දැමීම යි. 

මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ට අනුව එසේ පොලී අනුපාතයන් ඉහළ දැමූ විට, බැංකු ණය ඉල්ලුම පහළ යාම හරහා මුදල් සැපයුම සහ වියදම පහළ යාම තුළින් මිල ගණන් ඉහළ යාම අඩාල වනු ඇත. ඊට හේතුව, ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම සහ වියදම පහළ යාම යි. මහ බැංකු උද්ධමන පාලන පිටකවරය එය යි. මෙම පැරණි මතවාදය පිටුපස බොහෝ ඉලක්කම් ගැටළු පැවතිය ද, මහ බැංකු උද්ධමන ධර්මය මෙය යි.

එහෙත්, කොතරම් ප්‍රමාණයකින් කොතරම් කාලයක් එසේ පොලී අනුපාතයන් ඉහළ දැමිය යුතු ද? යන්න කිසිම ඇස්තමේන්තුවක් කිසිම මහ බැංකුවකට නොමැත. මහ බැංකුවලට බොහෝ ස්වාධීනව හුදු ගිණුම් සටහන් මගින් සීමාවකින් තොරව මුදල් මුද්‍රණය කොට රජයට සහ බැංකුවලට ණය දීමේ ඒකාධිකාරය පවතින බැවින් එම ණය සඳහා මහ බැංකු විසින් අය කරන පොලී අනුපාතයන් තීරණය කිරීම ඉතාම සරල කාර්යයකි.

එබැවින්, මහ බැංකු විසින් කෙරෙන උද්ධමනය පාලනය යනු උද්ධමනයට හේතු වන භාණ්ඩ හා සේවා මිල ගණන් පාලනය කිරීම නොව, ඊට හාත්පසින් වෙනස් වූ වක්‍රාකාර අද්භූත ආර්ථික කථාන්දරයකි. එබැවින්, ඉදිරියේ දී ලෝකය පුරා මහ බැංකු විසින් ඉරාන යුද්ධය අවසන් වන තෙක් සුපුරුදු පරිදි පොලී අනුපාතයන් ඉහළ දමා පවත්වා ගෙන යාමේ පෙළඹුමක් අපේක්ෂා කළ හැකිය.

මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීමේ අනිටු ආර්ථික ප්‍රතිවිපාකයන්

wc4hw4

 

නූතන ණය මත පදනම් වූ රාජ්‍ය මුදල් ආර්ථිකයන්හි පොලී අනුපාතයන් යනු නිෂ්පාදන පිරිවැයේ ප්‍රධාන සංරචකයකි. එබැවින්, ඉහළ යන පොලී අනුපාතයන් හරහා භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් උද්ධමනය තවත් ඉහළ යනු ඇත. ඊට හේතුව, නූතන නිෂ්පාදන ක්‍රියාකාරකම් පොලී අනුපාතයන්ට සංවේදී නොවීම යි. එබැවින්, මිල-වැටුප්-පොලී ලෙස උද්ධමන දඟරය තවත් ප්‍රසාරණය වනු ඇත.

ආර්ථිකයෙහි භාණ්ඩ හා සේවා මිල ගණන් තීරණය කෙරෙන්නේ, මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් විසින් විශ්වාස කරන පරිදි වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව නොව, වෙළෙඳපොළවල් පාලනය කෙරෙන නිෂ්පාදකයන් සහ සැපයුම් කරුවන් විසිනි.  ඉල්ලුම් කරුවන් විසින් එම මිල ගණන්වලට භාණ්ඩ හා සේවා මිල දී ගත යුතු අතර කේවල් කිරීමේ ශක්තියක් ඔවුන් වෙත නොමැත. එබැවින්, ඕනෑම බාහිර සාධකයක පිරිවැය බලපෑම නිෂ්පාදකයන් විසින් මිලට එකතු කරනු ඇත. පිරිවැය පහළ යන විට මිල ගණන් පහළ නොදැමීමට හේතුව ඔවුන් සතු මෙම නිෂ්පාදන ඒකාධිකාරය යි. වෙළෙඳපොළ පාලනය කරන ප්‍රධාන නිෂ්පාදකයන් රාජ්‍ය අනුග්‍රහය ලබන පිරිසක් වන බැවින් ඔවුන්ගේ මිල ගණන් පාලනය කිරීමට රජයට ද හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකාව වැනි ආනයන සහ ඩොලරය මත ජීවත් වන බොහෝ රටවල් මෙවැනි අවස්ථාවල මුහුණ දෙන උද්ධමනයට ප්‍රධාන හේතුව ආනයන විදේශීය මිල ගණන් සහ දේශීය ඩොලර් විනිමය අනුපාතය ඉහළ යාම යි. මෙම රටවල් සතු ඩොලර් සංචිතය ඉතා සුළු ප්‍රමාණයක් බැවින් විනිමය අනුපාතය ආරක්ෂා කිරීමේ හැකියාවක් නොමැත. මේ දිනවල ඉන්දියාව විසින් තම විශාල ඩොලර් සංචිතයෙන් (ඩොලර් බිලියන 728 ක් පමණ) බිලියන කිහිපයක ඩොලර් මුදල් කිසි පැකිලීමකින් තොරව බැංකු වෙත නිකුත් කොට විනිමය අනුපාතයේ ඉහල යාම පාලනය කෙරෙන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව වැනි රටවල ඩොලර් සංචිතය තුළ පවතින කෙටි කාලීන විදේශ වෙළෙඳපොළ ආයෝජන මෙවැනි අවස්ථාවල ඉවත්වීම හේතු කොට ද, ඩොලර් සංචිතය හදිසියේ පහළ යා හැකි බව පොදු අත්දැකීමයි. දැනට බොහෝ ආසියානු රටවල එවැනි පෙළඹුමක් හට ගෙන ඇති බවද වාර්තා වෙයි.

 image 0e1776182a

 

මහ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය නිරන්තරයෙන් රාජ්‍ය ණය පොලී අනුපාතයන් හරහා ක්‍රියාත්මක වීම සිදු වෙයි. එබැවින්, රාජ්‍ය ණය පොලී ඉහළ යාම හේතු කොට අනපේක්ෂිත ලෙස රාජ්‍ය වියදම සහ අයවැය හිඟය ඉහළ යනු ඇත. එය රජය විසින් බදු ඉහළ දැමීමට ද හේතුවක් විය හැකිය

 

ඉහළ පොලී අනුපාතයන් අනුව බැංකු ණය පොලී අනුපාතයන් සංශෝධනය වීම හේතු කොට පාරිභෝගික සහ ආයෝජන ණය වාරිකයන් ඉහළ යනු ඇත. එමගින්, පාරිභෝගික ජීවන තත්ත්වය සහ ඉල්ලුම මෙන්ම ආයෝජන ද පහළ යනු ඇත. එය ආර්ථිකයෙහි ඉල්ලුම පහළ යාමෙන් සේවා නියුක්තිය, ආදායම සහ වර්ධනය පහළ යාමටත්, බැංකු හිඟ ණය ප්‍රමාණය ඉහළ යාමෙන් බැංකු දුර්වල වීමටත් හේතු වනු ඇත. එමගින්, බදු ආදායම පහළ යාම තුළින් රාජ්‍ය අයවැය හිඟය සහ මුදල් මුද්‍රණය ඉහළ යාමට හේතු වනු ඇත. ඊට හේතුව, රාජ්‍ය වියදම් සහ මුදල් මුද්‍රණය මහ බැංකු පොලී අනුපාතයන්ට සංවේදී නොවන බැවිනි. එබැවින්, ආරම්භයේ දී IMF කොන්දේසි ඉලක්කයන් බිඳී ගොස්, රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය හරහා උද්ධමනය තවත් ඉහළ යනු ඇත.

එහෙත්, මෙම අනර්ථකාරී ආර්ථික සංසිද්ධිය සහ ඉන් උද්ධමනය පහළ යාම පිළිබඳ ව කිසිම ඇස්තමේන්තු මහ බැංකු සතුව නොමැත.

 

නිරීක්ෂණයන් කිහිපයක් 
image 7f74ce8389

 

සමස්තයක් වශයෙන් මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් ඉරාන යුද්ධයෙන් අපේක්ෂිත මිල ඉහළ යාම් සහ උද්ධමන පාලනය සිදු නොවනු ඇත. එහෙත්, පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් පිරිවැය ඉහළ යාම හරහා මිල ගණන් තවත් ඉහළ ගොස්, ආර්ථිකයන් දැඩි සංකෝචනයකට සහ ජීවන තත්ත්වය කඩා වැටීමකට ලක්වනු ඇත. 

 

මීට හොඳම ශ්‍රී ලංකාවේ උදාහරණය 2022 අප්‍රේල් මස සිට මහ බැංකුව විසින් එවක පැවති සැපයුම් සහ පිරිවැය අර්බුදයට පිළියම ලෙස පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ දැමීම තුළින් සිදු වූ ආර්ථික සහ ජීවන කඩා වැටීම යි. එසේම, මහ බැංකුවලට උද්ධමනය හෝ අවධමනය පාලනය කිරීමේ හැකියාවක් පවතින බවට පැරණි මතවාදය හැර කිසිම සැබෑ ලොව සාක්ෂි නොමැත.

උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ 5% උද්ධමන ඉලක්කයට පහළ අවධමන උපනතිය පාලනය කිරීමට පසුගිය වසර දෙක පුරා මහ බැංකුව අසමත් වී ඇති බවට වාර්තා වෙයි. ඊට හේතුව ලෙස මහ බැංකුව දක්වන්නේ, එම අවධමන පීඩනය සැපයුම් අංශ සාධකවල ප්‍රතිඵලය බවත්, සැපයුම් අංශ උද්ධමන පාලනයට මහ බැංකුවට වගකීමක් නොමැති බවත්, මහ බැංකුව වගකියන්නේ ඉල්ලුම් අංශ උද්ධමන පාලනයට බවත් ය. එබැවින්, අපේක්ෂිත ඉරාන යුද්ධ උද්ධමනය ද බාහිර සැපයුම් සාධක ආශ්‍රිත උද්ධමනයක් වන බැවින් එය මර්ධනය කිරීමට මහ බැංකු පොලී අනුපාතයන්ට හැකියාවක් නොමැත. එබැවින්, උද්ධමන අවධමන පාලනය මෙන්ම ආර්ථික වර්ධනය සහ ස්ථායිකරණය ද රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති මත සිදු වන බවට පර්යේෂණ සාක්ෂි ඕනෑ තරම් පවතී.

එසේම, ආර්ථිකයක ඉහළ උද්ධමනකාරී කාලයකින් පසුව පහළ උද්ධමන මට්ටමක් පැවතීම යනු මහජන ජීවන වියදම පහසු වීමක් නොවේ. ඊට හේතුව, පහළ උද්ධමනය යනු දැනටමත් ඉහළ ගොස් ඇති මිල ගණන්වලම වර්තමාන මිල ගණන් ස්ථායිකරණය වීමත්, ඉහළ මිල ගණන් දැරීමට ප්‍රමාණවත් ලෙස කුටුම්බ ආදායම් ඉහළ නොයාමත් ය. එබැවින්, උද්ධමනය පහළ යාම යනු ආර්ථික රැවටිල්ලක් පමණි.

 

1603769162165

 

එහෙත්, දැනට ශ්‍රී ලංකාවේ 2% ට පහළ උද්ධමනයක් පවතින බැවින් අපේක්ෂිත උද්ධමන රැල්ල ආරම්භයේ දී එය 7% දක්වා ඉහළ යන තෙක් බලා සිටීමේ නිදහසක් හෝ අවකාශයක් මහ බැංකුව සතුව පවතී. එවිට, මහ බැංකුවේ ඥාණාන්විත මුදල් ප්‍රතිපත්තියේ කල්පසු වූ සාදනීය බලපෑම හේතු කොට උද්ධමනය එහි ඉලක්ක වන 3%-7% පරාසයට ලඟා වූ බව පැවසෙනු ඇත. එසේම, උද්ධමනය යම් හෙයකින් එය 7% ඉක්මවා ගිය හොත්, එය ඉරාන යුද්ධයේ සැපයුම් සාධක බලපෑම හේතු කොට සිදු වූ බවත්, එය මහ බැංකුවේ පාලනයෙන් තොර බවත්, එම උද්ධමනය තාවකාලික එකක් බවත් පැවසීමේ හැකියාව ද පවතී. ඊට හේතුව, ආර්ථික දිව ඕනෑම පැත්තකට හරවා උද්ධමන කථාන්දරය හැරවිය හැකි බැවිනි.

 

එහෙත්, පොලී අනුපාතය ඉහළ දැමීමේ සමස්ත ප්‍රතිපත්තිය අතහැර මෙම අවස්ථාවේ ආර්ථික වශයෙන් ඵලදායී බවට සැලකෙන සැපයුම් සහ ඉල්ලුම් අංශ සඳහා සහන පොලී අනුපාතයන් මත ණය ප්‍රසාරණයත්, අනෙක් ණය අධෛර්යමත් කිරීමත් තුළින් උද්ධමන පාලනයට මෙන්ම රැකියා සහ ආදායම් ප්‍රසාරණය කෙරෙන ආර්ථික වර්ධනයට උර දීමට මහ බැංකුවලට හැකියාව පවතී. එහෙත්, එවැනි මහන්සි විය යුතු මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නූතන වෙළෙඳපොළ මහ බැංකු අකමැති ය. 1960 දශකය තෙක් මහ බැංකු විසින් එවැනි ණය ව්‍යාප්ති පාලන මුදල් ප්‍රතිපත්ති අනුගමනය කොට ඇත.

 

ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති

 

u65

 

ඉහත දැක්වූ කරුනු අනුව මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දමා, උද්ධමනය පාලනය කොට, ආර්ථිකය ස්ථායිකරණය කරන බවට විශ්වාස නොකොට, රාජ්‍ය මුදල් සහ නියාමන බලය පහත සදහන් ලෙස භාවිතා කරන ලෙස නිර්දේශ කෙරේ. 

 

මෙහි දී, ඉරාන යුද්ධයේ ගෝලීය පරිමාව අනුව ක්ෂණික උද්ධමන පීඩනය,  සැපයුම් අවහිරතාවන්, සමපේක්ෂණ ඉල්ලුම් ප්‍රසාරණය සහ ආර්ථික සංකෝචනය වැලැක්විය නොහැකිය. 

එබැවින්, රජය විසින් කළ යුත්තේ, උද්ධමනය ගැන බිය නොවී, ආර්ථිකයෙහි සැපයුම් අංශය උත්තේජනය කිරීම සහ පිරිවැය පාලනය යි. ඒ සඳහා භාවිතා කළ හැකි ආර්ථික විද්‍යා න්‍යායන් නොමැති අතර අභිමත පරිදි රාජ්‍ය මුදල් මෙවලම් භාවිතා කළ යුතුය.

 මෙය මූලික වශයෙන් දේශීය නිෂ්පාදනය උත්තේජනය සහ මිල ගණන් පාලනය කෙරෙන රාජ්‍ය වියදම් ප්‍රසාරණය ආශ්‍රිත මුදල් මුද්‍රණයත්, විදේශ මුදල් ගෙවුම් අඩු කොට විදේශ මුදල් ලැබීම් සහ ඩොලර් සංචිතය වර්ධනය තුළින් විනිමය අනුපාතය ආරක්ෂා කිරීමත්, ඉලක්ක කොට සිදු කළ යුතුය. 

 

* දේශීය නිෂ්පාදනය සහ අපනයන දිරි ගැන්වෙන අංශ සඳහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය, බදු පහළ දැමීම සහ මුදල් මුද්‍රණය.

* වැට් බදු කැපීම සහ සහනාධාර හරහා බලශක්ති ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් පාලනය කිරීම.

* රාජ්‍ය සුරැකුම්පත් නිකුතුව පහළ දැමීම හරහා නිෂ්පාදන සහ වියදම් සඳහා ආර්ථිකයෙහි පවතින ද්‍රවශීල මුදල් ප්‍රමාණය ප්‍රසාරණය කිරීම. මුදල් මුද්‍රණය මගින් අයවැය හිඟය පියවිය හැකි බැවින් රාජ්‍ය ණය ප්‍රසාරණය පහළ දැමිය හැකිය.

* රාජ්‍ය බැංකු හරහා දේශීය කෘෂි සහ වෙළෙඳාම සඳහා සහන දායි ණය සැපයීම.

* අපනයන සහ විදේශ ප්‍රේෂණ කඩිනමින් රටට ගෙන ඒමේ නියාමනයන් සහ උත්තේජනයන් සැපයීම.

* අත්‍යවශ්‍ය නොවන ආනයන සහ විදේශ ගෙවීම් සීමා කිරීම.

* සමපේක්ෂණ විදේශ මුදල් ගනුදෙනු වැලැක්වීම.

* මිත්‍ර රටවලින් කෙටි කාලීන විදේශ මුදල් තැන්පතු ලබා ගෙන, ඩොලර් සංචිතය සහ විනිමය අනුපාතය රැකීම. මෙය රාජ්‍ය විසින් කළ යුත්තේ, විදේශ සංචිතය සහ විනිමය අනුපාතය පිළිබඳ ව විශේෂිත ව්‍යවස්ථාපිත වගකීමක් මහ බැංකුවට නොමැති බැවිනි.

* විදේශීය මුදල් තැන්පතු ආකර්ෂණය සඳහා විනිමය අනුපාතයට බද්ධ දේශීය මුදල් තැන්පතු ක්‍රමයක් හඳුන්වා දීම වැනි මෙවලම් හරහා විදේශ මුදල් ප්‍රේෂණ දිරි ගැන්වීම.

* මුදල් හුවමාරු ගිවිසුම් මත බලශක්ති වැනි අත්‍යාවශ්‍ය ආනයන ගිවිසුම් මිත්‍ර රටවල් සමඟ ක්‍රියාත්මක කිරීම.

* ඉන්ධන සලාකය නැවත ක්‍රියාත්මක කිරීම මගින් පරිභෝජනය සහ ආනයන වියදම පාලනය කිරීම.

 

එහෙත්, මේවා ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර වන්නේ, ඊට අවශ්‍ය දැනුම සහ හැකියාව ඇති රාජ්‍ය නිලධාරීන් සොයා ගැනීම අපහසු වීම යි. එබැවින්, මෙවැනි ඕනෑම අර්බුදයක් පොදු මහජනතාවගේ ජීවන තත්ත්වය පිටින් යාමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව අතීත අත්දැකීම යි.

 

සමාප්ත සටහන 

 

පසුගිය දිනක IMF කළමනාකාර අධ්‍යක්ෂක වරිය විසින් පවසන ලද්දේ, ඉරාන යුද්ධය සියළුම රටවල ආර්ථිකයන්හි ඔරොත්තු දීමේ ශක්තිය උරගා බැලෙන පරික්ෂණයක් වන බව යි. එහෙත්, ආර්ථිකයන් පිළිබඳ ව විස්තරාත්මක තොරතුරු IMF සතුව පැවතිය ද, මෙම යුද්ධය හේතු කොට ගෝලීය ආර්ථිකය හෝ රටවල ආර්ථිකයන් කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳ ව කිසිම සංඛ්‍යාත්මක පුරෝකථනයක් ඇය විසින් සිදු නොකරන ලදි.

 1718216463 imf

 

මෙවැනි ගෝලීය කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව දෙවියන් විසින් නොසැපයෙ යි. එම ශක්තිය අදාළ කම්පනයන්ට එරෙහි නිසි රාජ්‍ය ප්‍රතිපත්ති මගින් ලබා ගත යුතුය. එය IMF රාජ්‍ය මුදල් ඉලක්කම් වැඩසටහන තුළ කළ නොහැකිය. එසේ නොමැතිව, සාකච්ඡා කරමින් සුබවාදීව බලා සිටීමෙන් සිදු වන්නේ, ආර්ථිකයන් කඩා වැටීම යි. ඊට හේතුව, රටවල් ගෝලීය සැපයුම් සහ භූ දේශපාලනික දාමයන් තුළ ක්‍රියාත්මක වන බැවින්, එම සැපයුම් දාමයන් අවහිර වීමේ දී හෝ බිඳී යාමේ දී, රටවල ආර්ථිකයන් ද අර්බුදයට පත් වීම යි. මේ සඳහා නිදසුන් ලෙස පසුගිය 2020/21 ගෝලීය කොරෝනා වසංගත අර්බුදය ඇතුළු ගෝලීය කම්පනයන් රැසක් ඉදිරිපත් කළ හැකිය.

 

එසේම, ඉරාන යුද්ධය ආශ්‍රිත භූ දේශපාලනික සංදර්භය සහ ගෝලීය ආර්ථික අස්ථායිතාවයේ  පැතිරීම දෙස බලන විට, ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවලට එකවර අවශ්‍ය හදිසි ඩොලර් සැපයුමක් සඳහා දැනට ජනප්‍රිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ IMF ණය වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. යුද්ධය ආශ්‍රිත භූ දේශපාලනික චෝදනාවන් මත සමහර රටවලට එරෙහිව ඇමෙරිකානු සම්බාධක පැනවීම තුළින් එම රටවල ආර්ථිකයන් බිඳී යාමේ අවදානම් ද පවතී.

 

එබැවින්, ඉහත යෝජනා කළ පරිදි ශ්‍රී ලංකා ආර්ථික කළමනාකරුවන් විසින් අවස්ථානුකුලව නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක නොකළ හොත්, ආර්ථිකය සහ ජන ජීවිතය 2022 දී මෙන් නැවත කඩා වැටීමේ අවදානම ගැන කිව යුතු නැත. එම ප්‍රතිපත්ති හුදෙක් ආර්ථිකයෙහි නිෂ්පාදන සහ වියදම් ප්‍රවාහය උත්තේජනය සහ ඩොලර් සංචිතය ප්‍රවර්ධනය ඉලක්ක කොට, රාජ්‍ය වියදම් සහ මුදල් මුද්‍රණය ප්‍රසාරණය තුළින් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැත. 

එසේ නොමැතිව, සුපුරුදු ලෙස දේශපාලන නායකයන් පමණක් පෝෂණය කළ හැකි මට්ටමට අයවැය සහ ණය සංකෝචනය කොට, මහ බැංකුව විසින් පොලී අනුපාතයන් අහස උසට ඉහළ නංවා උද්ධමනය පාලනය කොට ආර්ථිකය ස්ථායිකරණය කරන බවට බලා සිටිය හොත්, ආර්ථිකයට සහ ජන ජීවිතයට සිදු වන්නේ, දැනට බැදෙන කබලෙන් ලිපට වැටීම යි. එය රජයට ගෙදර යාමේ මාර්ගය විය හැකිය.

එහෙත්, මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් මහජන හිතසුව පිණිස පාලනය කිරීමට රාජ්‍ය අධිකාරීන් අපොහොසත් වන බව සාමාන්‍ය අත්දැකීම යි. එබැවින්, ඉරාන යුද්ධය ඉක්මනින් නිම වේවා යි පතමු.

 

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

(සටහන | පි සමරසිරි)
Psamrahu@gmail.com

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

(උපුටා ගැනීම ; economydiscovery - - March 07, 2026)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මැඩලිය හැකි ද? මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට රැවටෙමු ද? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි | The Leader