ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහාය ලබන ස්ථාවරත්ව වැඩසටහන යටතේ වුවද, රටේ ගෙවුම් ශේෂය තවමත් පවතින්නේ අවදානම් සහගත මට්ටමක බව මෙමඟින් පැහැදිලි වේ.
මහ බැංකු වාර්තාවලට අනුව, මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වෙළඳ හිඟය පුළුල් වීම, සේවා අංශයේ අතිරික්තය මන්දගාමී වීම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යාමයි. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වුවද, සීඝ්‍රයෙන් ඉහළ යන ආනයන ඉල්ලුම පියවීමට ඒවා ප්‍රමාණවත් වී නැත.
වෙළඳ හිඟය සහ ඉන්ධන-වාහන පීඩනය

2026 ජනවාරි-අප්‍රේල් කාලසීමාව තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ (2025) අනුරූප කාල සීමාව තුළ එය සටහන් වූයේ ඩොලර් බිලියන 2.3ක් වශයෙනි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම මෙයට දැඩිව බලපා ඇති අතර, අප්‍රේල් මාසයේ පමණක් ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 886ක් දක්වා සියයට 149.9කින් ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමත් සමඟ අප්‍රේල් මාසයේදී වාහන සඳහා ඩොලර් මිලියන 208ක් වැය කර ඇති අතර, වසරේ මුල් මාස හතර තුළ ඒ සඳහා වැය කළ සමස්ත මුදල ඩොලර් මිලියන 821කි. මේ හේතුවෙන් වාහන සහ රන් සුරැකුම් ණය සඳහා වන උපරිම LTV (Loan-to-Value) සීමාවන් දැඩි කිරීමට ද මහ බැංකුවට පසුගියදා පියවර ගැනීමට සිදු විය.
සංචාරක ව්‍යාපාරයේ මන්දගාමීත්වය

මැදපෙරදිග අර්බුදයේ බලපෑම හේතුවෙන් අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම් 135,643ක් දක්වා සියයට 22.3කින් පහත වැටී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 157ක් දක්වා සියයට 38.8ක සැලකිය යුතු පසුබෑමක් පෙන්වයි. කෙසේ වෙතත්, විදේශ ප්‍රේෂණ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 768ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතිණි.
මෙම බාහිර පීඩනයත් සමඟ 2026 මැයි අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා සියයට 5.4කින් අවප්‍රමාණය වී ඇත. අප්‍රේල් අවසන් වන විට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය (චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ද ඇතුළුව) ඩොලර් බිලියන 6.8ක් ලෙස සටහන් වේ.
ඉදිරි දැක්ම සහ ප්‍රතිපත්ති අභියෝග

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පශ්චාත්-අර්බුද සුවය ලැබීම තවමත් අපනයන මත නොව, ආනයන මත පදනම් වූ අභ්‍යන්තර පරිභෝජනය මත දෝලනය වන බවයි. IMF වැඩසටහනට අනුකූලව බදු ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගියහොත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය රැකගත හැකි වනු ඇත.
එහෙත් ආනයන ඉල්ලුම පාලනය නොකළහොත්, විනිමය අනුපාතය තවදුරටත් පීඩනයට ලක්වීමේ සහ උද්ධමනය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් විනයගරුක මූල්‍ය කළමනාකරණයක අවශ්‍යතාවය වත්මන් තත්ත්වයෙන් දැඩිව අවධාරණය කෙරේ.
(විශේෂ ලියුම්කරුවකු විසිනි)




