The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සොහොන් බිමෙන් ඉන්දීය කාන්තා අභිමානය ඉස්මතු කළ ශ්රුති රෙඩ්ඩි සෙති

T

The Leader Desk

June 21, 2026 • 5:57 AM

සොහොන් බිමෙන් ඉන්දීය කාන්තා අභිමානය ඉස්මතු කළ ශ්රුති රෙඩ්ඩි සෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රාහ්මණ සංස්කෘතික පදනම මත ගොඩනැඟුණු, පුරුෂාධිපත්‍යය තදින් රජයන දේශයක් ලෙස ඉන්දියාව ලෝකය පුරා ප්‍රසිද්ධ ය.
  • එහෙත්, මරණය, සොහොන් බිම් සහ ආදාහනාගාර වැනි ‘පිරිමින්ට පමණයි’ යනුවෙන් සමාජය විසින් තහංචි පනවා තිබූ ක්ෂේත්‍රයක් තුළ, අද ඉන්දීය කාන්තාවන් පුරුෂ පාර්ශ්වය අභිබවා පෙරට එමින් සිටී.
  • ඇය මෘදුකාංග ඉංජිනේරු වෘත්තියෙන් සොහොන් බිමේ ව්‍යවසායිකාවක ලෙස “පුනර්ජන්මයක්” ලත් කාන්තාවකි.
  • ඇය මුලින් බැංගලූරු නුවර, පසුව හයිද්‍රාබාද් නුවර මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි කාන්තාවකට නිවසින් බැහැරව ස්වාධීන ගමනක් යාම පවා අභියෝගයකි. එහෙත්, මරණය, සොහොන් බිම් සහ ආදාහනාගාර වැනි ‘පිරිමින්ට පමණයි’ යනුවෙන් සමාජය විසින් තහංචි පනවා තිබූ ක්ෂේත්‍රයක් තුළ, අද ඉන්දීය කාන්තාවන් පුරුෂ පාර්ශ්වය අභිබවා පෙරට එමින් සිටී.

ඒ අනුව වත්මන් ඉන්දියාවේ වෘත්තීය අවමංගල්‍ය සේවා ව්‍යවසායකත්වයේ ඉහළම තලයක වැජඹෙන්නේ ද කාන්තාවන් ය. ශෝකයෙන් බර වූ ඒ අඳුරු ඉසව්වට ආලෝකයක් ගෙනෙමින්, සම්ප්‍රදායික විලංගු බිඳ දැමූ ඒ ව්‍යවසායකත්ව ගමනේ පුරෝගාමී නාමය වන්නේ ශ්රුති රෙඩ්ඩි සෙති ය. ඇය මෘදුකාංග ඉංජිනේරු වෘත්තියෙන් සොහොන් බිමේ ව්‍යවසායිකාවක ලෙස “පුනර්ජන්මයක්” ලත් කාන්තාවකි.

 

rudi1

හයිද්‍රාබාද්හි භෝජ් රෙඩ්ඩි ඉංජිනේරු විද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ගත් ශ්රුති, ඉන්දියාවේ කීර්තිමත් IIM-බැංගලෝර් ආයතනයේ Goldman Sachs 10,000 Women වැඩසටහන හැදෑරූ අතර දැනට MBA උපාධිය හදාරමින් සිටින වෘත්තීය සුදුසුකම් සපුරාලූ කාන්තාවකි. ඇය මුලින් බැංගලූරු නුවර, පසුව හයිද්‍රාබාද් නුවර මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කළාය. එහෙත්, 2014 වසරේදී ඇගේ සැමියාගේ සීයාගේ අවමංගල්‍යයේදී මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. ශෝකයෙන් බර වූ ඥාතීන්ට වෘත්තීය මට්ටමේ අවමංගල්‍ය සේවාවක් නොමැති වීම, අවමංගල්‍ය ක්ෂේත්‍රයේ අක්‍රමිකතා සහ අවසාන චාරිත්‍ර සඳහා පෝලිම්වල රස්තියාදු වීමට සිදු වීම ඇගේ සංවේදී සිතට දැඩිව දැනුණි. සම්ප්‍රදායික හින්දු සංස්කෘතියට අනුව කාන්තාවන් ආදාහන චාරිත්‍රවලට සෘජුව මැදිහත් වීම බොහෝ ප්‍රදේශවල පිළිගැනෙන්නේ නැත. එබැවින් ඇය මේ ක්ෂේත්‍රයට පිවිසීමට සැරසෙද්දී, “රැකියාවෙන් අයින් වෙලා මිනී පෙට්ටි විකුණන්නද හදන්නේ?” යනුවෙන් පවුලේ අය මෙන්ම සමාජය ද ඇගෙන් උපහාසයෙන් ප්‍රශ්න කළහ. එහෙත්, සියලු බාධක මැද ඇය 2016 පෙබරවාරි 9 වන දින ‘ඇන්ත්යේස්ටි ෆියුනරල් සර්විසස්’ සමාගම කොල්කටා නුවරදී ආරම්භ කළාය.

rudi5

 

සංස්කෘත භාෂාවෙන් ‘අන්ත්‍යේෂ්ටි’ යන්නෙහි තේරුම ‘අවසාන චාරිත්‍රය’ යන්නයි. මුළු ඉන්දීය සමාජයටම එක්තරා අරුමයක් වූ ඇගේ ‘ඇන්ත්යේස්ටි ෆියුනරල් සර්විසස්’ ව්‍යාපාරය දියුණු වෙද්දී, ඇය ඉන්දියාවේ ජනප්‍රිය ‘ෂාක් ටෑන්ක් ඉන්ඩියා’ Season 1 රූපවාහිනී වැඩසටහනට ඉදිරිපත් වූවාය. එහිදී ඇය සිය ව්‍යාපාරයේ කොටස් හිමිකාරිත්වයක් වෙනුවෙන් ආයෝජනයක් ඉල්ලා සිටියාය. එහෙත්, එහි සිටි අශ්නීර් ග්‍රෝවර් ඇතුළු ප්‍රමුඛ ආයෝජකයින් “මරණය සම්බන්ධ ව්‍යාපාරයක්” යනු පරිමාණය කිරීමට අපහසු, ‘Customer Lifetime Value’ අඩු ක්ෂේත්‍රයක් ලෙස සලකා ඇයට මූල්‍ය ආයෝජනයක් ලබා දීම ප්‍රතික්ෂේප කළහ. නමුත්, එම වේදිකාව හරහා ඇයට ලැබුණු අතිමහත් ප්‍රසිද්ධිය සමස්ත ඉන්දියාවේම අවධානය ඇය වෙත දිනා දීමට සමත් විය. අද වන විට ‘ඇන්ත්යේස්ටි’ යනු බැංගලූරු, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, පූනේ සහ වාරාණාසි වැනි ප්‍රධාන නගර රැසක සේවා සපයන සමාගමකි. විශේෂයෙන්ම, කොවිඩ්-19 වසංගත සමයේ සොහොන් බිම්වල මෘතදේහ පෝලිම් ගැසී තිබියදී, ඇගේ සමාගම සාධාරණ මුදලකට ‘End-to-End’ සම්පූර්ණ අවමංගල්‍ය පැකේජ හඳුන්වා දුන්නේය. එමඟින් ඇය හුදු ව්‍යාපාරික කාන්තාවකට වඩා අන්‍යයන්ගේ ශෝක භරිත අවස්ථා වල දී සහකම්පනයෙන් යුතු සමාජ සේවිකාවක ලෙස ප්‍රකට විය.

rudi6
“අපේ කණ්ඩායම තමයි පවුලේ අය වෙනුවෙන් ඒ පෝලිම්වල ඉන්නේ. ශෝකයට පත් පවුලේ අයට ඒ අපහසු මොහොතේ උපරිම මානසික සහනය දෙන එකයි අපේ ලොකුම වගකීම,” ශ්රුති පවසන්නීය. මෙය ඉන්දීය අවමංගල්‍ය සේවාවල නව හැරවුම් ලක්ෂ්‍යයක් සේ සැලකේ.

පිරිමින්ට වඩා කාන්තාවන්ට ශෝකයට පත් පවුලක වේදනාව වඩාත් සංවේදීව වටහාගත හැකි බව ශ්රුති විශ්වාස කරයි. ඒ නිසාම ඇය සිය සමාගමේ කළමනාකාරීත්වය, පාරිභෝගික සේවා සහ මෙහෙයුම් කටයුතු සඳහා කාන්තාවන් විශාල වශයෙන් බඳවා ගැනීමට කටයුතු කොට තිබේ. මෘතදේහ එම්බාම් කිරීමේ සිට, පූජකවරුන් සම්බන්ධීකරණය, ශ්‍රාද්ධ කටයුතු සංවිධානය සහ විදේශයන් වෙත මෘතදේහ ප්‍රවාහනය කිරීම දක්වා වූ සියලු සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි ඔවුහු සංවිධානය කරති.

shru5656

 

මීට අමතරව, මෘත දේහ ප්‍රවාහන රථ (Hearse Van) පහසුකම්, මොබයිල් ෆ්‍රීසර් සේවා, පරිසර හිතකාමී අවමංගල්‍ය ක්‍රම මෙන්ම ගුවන් මඟින් මෘත දේහ ප්‍රවාහනය සහ ඔන්ලයින් වෙන්කරවා ගැනීමේ නවීන තාක්ෂණික පහසුකම් ද ඇන්ත්යේස්ටි සතුය. මෙය හුදෙක් මිනී පෙට්ටි විකුණන වෙළඳසලක් නොවේ. මරණයකදී පවුලකට පැවරෙන නීතිමය හා සංවිධානාත්මක බරින් ඔවුන් නිදහස් කරන සැබෑ සත්කාරක සේවාවකි. ඇගේ කණ්ඩායමේ සාමාන්‍ය තරුණ තරුණියන්ට පවා වෘත්තීයමය පුහුණුවක් ලබා දී ඇත. “මගේ ලොකුම අත්තිවාරම සහ වත්කම මගේ මේ කණ්ඩායමයි,” ශ්රුති ආඩම්බරයෙන් පවසයි. ව්‍යාපාරයකින් එහා ගිය සමාජ සත්කාරයක් ලෙස, ‘ඇන්ත්යේස්ටි පදනම’ හරහා ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මිනී පෙට්ටි තෝරන, මෘතදේහ ප්‍රවාහන රථ වෙන් කරන, ආදාහනාගාර සේවකයින් සමඟ කටයුතු කරන කාන්තාවක දෙස මුල් කාලයේ සමාජය බැලුවේ “මූසල ගැහැනියක” දෙස බලන කන්නාඩියකිනි.

 

rudi4

එහෙත්, ඇගේ ධෛර්යය හමුවේ සමාජ මතවාද වෙනස් විය. 2018 වසරේදී ඉන්දීය මධ්‍යම රජය විසින් පිරිනමන ‘ජාතික ව්‍යවසායකත්ව සම්මානය’ ඇයට හිමි වූ අතර, 2023 වසරේදී TEDx වේදිකාවක සිය කතාව ඉදිරිපත් කිරීමට ද ඇයට ආරාධනා ලැබුණි. TEDx යනු ලොව පුරා ප්‍රචලිත TED (Technology, Entertainment, Design) සන්නාමය යටතේ ප්‍රාදේශීය මට්ටමින් පවත්වනු ලබන දේශන මණ්ඩපයකි. අද වන විට ඇන්ත්යේස්ටි යනු බාහිර ආයෝජන නොමැතිව තමන්ගේම ලාභයෙන් නැඟී සිටි ස්ටාර්ටප් ව්‍යාපාරයකි. වසරකට වැඩි කාලයක් තුළ රු. ලක්ෂ 16ක පිරිවැටුමක් වාර්තා කළ බවත්, වසංගත සමයේ 20%ක ආදායම් වර්ධනයක් ලැබූ බවත් වාර්තා වේ. න්‍යෂ්ටික පවුල්, තනිව වෙසෙන වයෝවෘද්ධ දෙමාපියන් මෙන්ම විදේශිකයන්ගේ මරණවලදී, මෘතදේහ බංග්ලාදේශය වැනි අසල්වැසි රටවලට පවා නීත්‍යානුකූලව ප්‍රවාහනය කිරීමේ වගකීම අද සමාජය විශ්වාසයෙන් යුතුව පවරන්නේ ඇන්ත්යේස්ටි වෙත ය.

rudi3

 

ඉන්දියාවේ අවමංගල්‍ය ක්ෂේත්‍රය යනු දැවැන්ත වෙළඳපොළකි. එහෙත්, ව්‍යාපාරික ලෝකයේ “පාරිභෝගික ආයු කාල වටිනාකම” අඩු ක්ෂේත්‍රයක් බැවින්, ආයෝජකයෝ තවමත් මෙයට මුදල් යෙදවීමට මැලි වෙති. එවැනි පසුබිමක, ශ්රුති රෙඩ්ඩි වැනි ධෛර්යවන්ත කාන්තාවන් නවීන තාක්ෂණය සහ මානුෂීය සහකම්පනය එකට යා කරමින්, මරණය වැනි සංවේදී මොහොතකට උසස්, ගෞරවනීය මුහුණුවරක් ලබා දී ඇත.

2016 වසරේ ඉන්දියාවේ කොල්කටා නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි ඇගේ මේ ගමන, දැන් මුම්බායි සහ දිල්ලි වැනි නගර වෙත ව්‍යාප්ත කොට තිබේ. “මිනිස්සු හැම දේකටම ඔන්ලයින් ගිහින් විසඳුම් හොයන ඩිජිටල් යුගයක, ජීවිතයේ අවසාන මොහොතටත් පිළිගත හැකි වෘත්තීය විසඳුමක් තිබිය යුතුමයි,” ශ්රුති පවසන්නීය.

‘ඇන්ත්යේස්ටි’ යනු පිරිමින් රජ කළ සොහොන් බිමක, නොමැකෙන කාන්තා අත්සන තැබූ අභිමානවත් කතාවයි. සම්ප්‍රදායේ යදම් බිඳ දමා, තාක්ෂණය මෙවලමක් කර ගනිමින්, මරණයටත් මනුස්සකමේ සහකම්පනය එකතු කළ අපූරු ව්‍යාපාරයකි. ශ්රුති රෙඩ්ඩි සෙති ලෝකයටම ඔප්පු කර පෙන්වා ඇත්තේ, ඉන්දියාවේ කාන්තාවකට ඕනෑම අභියෝගාත්මක ක්ෂේත්‍රයක ‘අවසාන ගමන’ පවා මිනිසත් බව පදනම් කර ගත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කළ හැකි බවයි.

rudi2

 

ඇගේ මේ විප්ලවීය ගමන දෙස බලන විට අප සිතේ එක් ප්‍රශ්නයක් ඉතිරි වේ; ඉන්දියාවේ ‘පිරිමින්ට පමණයි’ කියා ලේබල් ගසා ඇති තවත් කර්මාන්ත කීයක මෙවැනි ‘ශ්රුතිලා’ ඉදිරියේදී බිහි වනු ඇත්ද? ඒ කෙසේ වුව, මරණය වුවද, ජීවිතය මෙන්ම අතිශය ගෞරවනීය ලෙස සමු දිය යුත්තක් බවට වූ උතුම් පණිවිඩය ඇය දැනටමත් සමාජගත කර හමාර ය.


renuka damayanthi psd(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...