1924 ජූනි 23 වන දින, මැද කොළඹ කෙසෙල්වත්තේ, ඩයස් පෙදෙසේ පිහිටි නිවසක දරුවෙකු උපත ලැබීය. රණසිංහ ආරච්චිගේ ප්‍රේමදාස ලෙස නම් ලැබූ එම දරුවා, පසු කාලීනව කවුරුත් හැඳින්වූයේ රණසිංහ ප්‍රේමදාස යන නමින්ය. ඔහු එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ නායකත්වය පිළිබඳ සම්ප්‍රදායික අදහස වෙනස් කළ නායකයෙකු බවට පත්විය.
රණසිංහ ප්‍රේමදාස මහතා සම්ප්‍රදායික ප්‍රභූ පන්තියකින් හෝ වංශාධිපති පවුලකින් පැමිණි අයෙකු නොවේ. ඔහු ජනතාව අතරින් නැඟී ආ නායකයෙකි. තම ජීවිතයේ සෑම පියවරක්ම ජනතාව වෙනුවෙන් කැප කළ රණසිංහ ප්‍රේමදාස 1993 මැයි දිනයේ සිදු වූ මේලේච්ච ඝාතනය දක්වාම එම කැපවීම අත්හැරියේ නැත.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි උපන් දිනය සමරන අද දවස, ඔහුගේ ජීවිතය ගැන පමණක් නොව, ඔහු උසුලාගෙන ගිය දැවැන්ත වගකීම් සහ ඒ ඔස්සේ වර්තමාන නායකයින්ට ඔහුගෙන් උගත හැකි පාඩම් පිළිබඳ නැවත සිතා බැලීමට සුදුසු අවස්ථාවක් බව පැහැදිලිය.
කොළඹ වීදිවල සිට බලයේ උච්චතම අවස්ථාව දක්වා
ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමන ආරම්භ වූයේ කොළඹ නගරයේ පටු මාවත් සහ මහල් නිවාස අතරිනි. ඔහුගේ පියාගේ ජීවිකාව වූයේ rickshaws කුලියට දෙන ව්‍යාපාරයකි. එහෙත් තරුණ ප්‍රේමදාස සතුව අසීමිත උත්සාහයකුත්, දුප්පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ ගැඹුරු හැදෑරීමකුත් තිබුණි. 1946 සිට ඔහු කම්කරු ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී ජනතා සේවයට පිවිසි අතර ඒ ඔස්සේ 1950 දී කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම ඔහුගේ ජාතික දේශපාලනයේ ආරම්භ විය.
එතැන් සිට අභියෝග රැසකට මුහුණ දුන්නද, පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ තරුණ ප්‍රේමදාස, පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත්, නිවාස අමාත්‍යවරයා ලෙසත්, පසු කළෙක ජේ. ආර්. ජයවර්ධන රජයේ, අග්‍රාමාත්‍යවරයා ලෙසත් 1978 සිට 1988 දක්වා වසර 10 කාලයක් කටයුතු කළේය.

1988 වසරේ දෙසැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පරාජය කර ජනාධිපති ධුරයට පත්වූ රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ සැබවින්ම "සාමාන්‍ය ජනතාව අතරින්" බිහි වූ ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත්විය. ඔහුට හිමිවුණේ පවරා දුන් බලයක් නොව, ඔහු බිම් මට්ටමේ සිට, තමන්ගේම ශක්තියෙන් ගොඩනඟා ගත් පොදුජන බලයකි.
අර්බුදකාරී යුගයක ශ්‍රී ලංකාවට නායකත්වය දීම
ශ්‍රී ලංකාව දේශපාලනික සහ ආර්ථික වශයෙන් වඩාත්ම අස්ථාවර කාල පරිච්ඡේදයක බලයට පත්වූ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ස්ථාවරත්වයේ කුළුණු සකස් කරමින් රටට නායකත්වය දුන්නේය.

එවක ජනතා විමුක්ති පෙරමුණ (JVP) දකුණු පළාත පුරා ප්‍රචණ්ඩත්වය සහ භීතිය පතුරුවමින් රාජ්‍ය දේපළ විනාශ කරමින්, රාජ්‍ය සේවකයින්, ආගමික නායකයින්, දේශපාලඥයින් ඇතුළු මේ රටේ පුරවැසියන් ඝාතනය කරමින් තිබුණි. එමෙන්ම 1987 ඉන්දු - ලංකා ගිවිසුම යටතේ පැමිණි ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ස්ථානගතකර සිටි අතර LTTE සංවිධානය කොළඹදී දෙමළ දේශපාලනඥයින් ඝාතනය කරමින් යුද්ධයකට සූදානම් වෙමින් සිටියේය. එවක උතුරු - නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කර පසුව හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පලා ගියේ දේශපාල කේෂ්ත්‍රය තුළ දැඩි නොසන්සුන් බවක් නිර්මාණය කරමින්ය.
මෙවැනි ප්‍රචණ්ඩ යුගයක පවා ප්‍රේමදාස ජනාධිපතිවරයා පසුබැසීමකට ලක් නොවූ අතර, 1989 වන විට ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අවසන් කිරීමටත්, 1990දී ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවෙන් පිටත් කර යැවීමටත් ඔහු සමත් විය. එහෙත් එදා බොහෝ දෙනෙකු පැවසුවේ එය කිසි දිනෙක සිදුකළ නොහැකි දෙයක් ලෙසය.
ප්‍රේමදාස යුගයේදී තවත් අර්බුදයක් නිර්මාණය කරමින් 1990 අගෝස්තු මාසයේදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම ලෝක අර්ථිකයටත්, ශ්‍රී ලංකා ආර්ථිකයටත් දැඩිව දැනෙන කම්පනයක් උදා කළේය.
එම ගැටුම ලොව පුරා තෙල් මිලට කම්පනයක් ඇති කළ අතර, තෙල් මිල එක රැයකින් දෙගුණ විය. ඒ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් කුවේටයේ සහ ඉරාකයේ සේවය කළ අතර, මෙරටට විදේශ ප්‍රේෂණ ලැබීමේ ප්‍රබලම ප්‍රභවය වූයේ කුවේටයේ ශ්‍රමිකයන්ය.
එම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව අංක එක ලෙස සැලකූ ප්‍රේමදාස ජනාධිපතිවරයා, සෞදි නායකයන් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා සූදානම් කළේය. ඔවුන් සඳහා සුබසාධන මධ්‍යස්ථාන ද පිහිටුවීමට උපදෙස් දුන් ජනාධිපති ප්‍රේමදාස, දෙවන පියවර ලෙස අරාබි රටවල් සමඟ ගොඩනගාගෙන තිබූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් විශේෂ තෙල් සැපයුම් ලබාගැනීමට ද කටයුතු කළේය. ඒ ඔස්සේ කුවේට් - ඉරාන අර්බුදය ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කිරීම වලකා ලූ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1993 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය (GDP) 6.9%ක වර්ධනයක් කරා ගෙන ගියේය.
"මට භාර වුණේ රටක් නොවෙයි, දෙපැත්තම පත්තු වෙච්ච විලක්කුවක්”
ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 සිදු කළ කතාව
බිඳ වැටුණු රටක් යළි ගොඩනැගීම
මෙම සියලු අභියෝග මැද ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කළ ව්‍යාපෘති තුනක් ආරම්භ කළේය. ඒ ගම නැවත පිබිදවීම අරමුණු කරගත් ‘ගම් උදාව’ වැඩසටහනත්, ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ‘ ජන සවිය’ වැඩසටහන සහ මෙරට ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා ඔසවා තබන ‘ ඇඟලුම් කම්හල් 200’ වැඩසටහනත්ය.
දිගු කලක් තිස්සේ රාජ්‍යය කෙරෙහි විශ්වාසය අහිමි කරගෙන සිටි මෙරට ග්‍රාමීය ප්‍රජාවන්ගේ යටිතල පහසුකම් සහ සිවිල් සේවා සංවර්ධනය කිරීමත් ගම කේන්ද්‍රකර ගනිමින් කුඩා නගරයක් නිර්මාණය කිරීමත් අරමුණු කර ගනිමින් ක්‍රියාවට නැංවුණු ‘ගම්උදාව’ සැබවින්ම ගමට සංවර්ධනය ලඟාවූ ව්‍යාපෘතියක් විය. එය සෑම වසරකම ජූනි 23 වන දා නව දිස්ත්‍රික්කයකින් ආරම්භ කිරීම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සාම්ප්‍රදායක් විය.
‘ජනසවිය’ නම් දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන තුළින් දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පවුල්වලට මාසික දීමනාවක් සහ ආයෝජනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දුන් අතර, ඒ ඔස්සේ කුඩා ව්‍යවසායන් බිහිකිරීම, ඉඩම් වගා කිරීම, දරුවන්ට වෘත්තීය පුහුණුවක් සඳහා අවස්ථාව ලබාගැනීම ආදී විවිධ අංශ තුළින් ගෘහයේ ආර්ථික මට්ට්ම ඉහළට එසවීමට ඔහු කටයුතු කළේය. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩසටහන ජනසවිය වැඩසටහනේම දිගුවක් ලෙස සැලකිය හැකිය.

ප්‍රේමදාසයන්ගේ වඩාත්ම දූරදර්ශී වැඩසටහන වූයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් නිර්මාණය කිරීමේ ව්‍යපෘතියයි. කොළඹට පමණක් සීමා වූ ඇඟලුම් කර්මාන්තය දිවයින පුරා ව්‍යාප්ත කරමින් සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ හරහා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා දහස් ගණනක් බිහිකරමින් ගමට මුදල් යන ක්‍රමයක් සහ රටට විදේශ විණිමය ගලා එන ක්‍රමයක් එකවර ඇති කළේය.
කිසි දිනෙක කර්මාන්ත ශාලාවකට පය තබා නොතිබූ ග්‍රාමීය කාන්තාවන් රැසකට, ඇමරිකාව සහ යුරෝපය වැනි විදේශ වෙළඳපොළවලට අපනයනය කිරීම සඳහා නිමි ඇඳුම් නිර්මාණය කිරීමට හැකියාව උදා වූ අතර, එදා ආරම්භ වූ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහළ මට්ටමක දායකත්වයක් මේ වනවිටත් ලබාදෙමින් තිබේ. එය අනාගතයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාලතම අපනයන ආදායම් උපයන්නා ලෙස පත්වීමටද ඉඩකඩ ඇත.
ප්‍රේමදාසගෙන් උගතයුතු පාඩමක්
ඉරාන-ඊශ්‍රායල්-ඇමරිකානු ගැටුම හේතුවෙන් තෙල් මිල ඉහළ යාම, නැව් මාර්ගවලට බාධා, රුපියල අවප්‍රමාණය ඇතුළු සමස්ත ගෝලීය ආර්ථික පරිසරය හේතුවෙන් වර්තමානයේද අප අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් සිටී. ඒ හරහා රජය අද බොහෝ බාහිර පීඩනයන්ට සහ අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, ඔවුන් එම අභියෝගවලට ප්‍රායෝගික ප්‍රතිචාර සහ විසඳුම් ලබාදිය යුතුව තිබේ.

ජනාධිපති ප්‍රේමදාස ද රට මෙහෙයවූයේ අස්ථාවරත්වයක් ගොඩනැගී තිබූ කාල පරිච්ඡේදයක් තුළ ය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, සිවිල් යුද්ධය, ඉන්දීය සාම සාධක හමුදා මැදිහත්වීම, තෙල් මිල කම්පනය සහ එදා පැවති ගල්ෆ් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමිවීම ආදිය ඒ අතර ප්‍රධානය.
ගල්ෆ් යුද්ධය නිසා සිදුවූ තෙල් මිල කම්පනයත්, විදෙස් ප්‍රේෂණ අඩුවීමත්, වසර ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ගැටුම්වලින් බිඳ වැටී තිබූ ආර්ථිකයත් නැවත ගොඩනැගීමේ දැවැන්ත අභියෝගය ප්‍රේමදාසගේ උරමත කඩාවැටී තිබුණි.
එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාවට තමන් පොරොන්දුවූ සංවර්ධනය ක්‍රියාත්මක කිරීමට කල්වේලා බලා සිටිය නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පසු නොබසින අධිෂ්ඨානයෙන් යුක්තව තම අරමුණු ජය ගත්තේය.
අද අප ඇස් ඉදිරියේ පෙනෙන්නට ඇති සත්‍ය නම්, එදා මෙන් අද අභියෝග බරක් නොවූවද ඒවා කළමණාකරණය කරගැනීමේදී ප්‍රේමදාස පන්නයේ සැලසුම් නායකයින් සතුව නොමැති වීමය. වඩාත් හොඳ අනාගතයකට අත්තිවාරම් තැනෙන්නේ සැබැවින්ම දුෂ්කරම කාලවලදී බව ඉතිහාසය අපට නැවත නැවතත් පෙන්වා දී තිබේ.
නැවත නව දැක්මක් අවශ්‍යයයි

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1993 මැයි 1 වන දින කොළඹ පැවති මැයි දින රැලියක් අතරතුර ඝාතනය විය. එදින ශ්‍රී ලංකාවට අහිමි වූයේ අන් සියල්ලටම වඩා එක් අරමුණක් වෙනුවෙන් තම ජීවිතය කැප කළ, සෑම පුරවැසියෙකුටම ගෞරවය හා අවස්ථාවන්ගෙන් පිරි රටක් ගොඩනඟන ලද නායකයෙකි. ජනතාවාදී, ජනහිතකාමී, සියලු ආගම්වලට නිසි තැන ලබා දෙන, ලෝකය සමඟ බැඳුණු පරිවර්තනීය ශ්‍රී ලංකාවක් යන දැක්ම ඔහු ජීවිත කාලය පුරාම අත් නෑරම රැගෙන ගියේය.
(සටහන | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා)අංශාධිපති ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
2026 ජුනි 23




