The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි? | ඒ.ජී. රේණුකා දමයන්ති

T

The Leader Desk

June 25, 2026 • 5:19 AM

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි? | ඒ.ජී. රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා වාර්තා වූ අසාමාන්‍ය සිදුවීමක් මුළු ගම්මානයම දැඩි කම්පනයකට හා බියකට පත් කර ඇත.
  • මෙම ක්‍රියාවන් හේතුවෙන් සොහොන් කොත්වලට දැඩි අලාභහානි සිදුව ඇති අතර, මිනී වළවල් කිහිපයක්ම හාරා දැමීම හේතුවෙන් සුසාන භූමිය අවුල් ජාලාවක් බවට පත්ව ඇත.
  • ඔවුන් 1946 අංක 57 දරන පොදු හා පුද්ගලික සුසාන භූමි ආඥා පනත යටතේ සුසාන භූමියකට සහ සොහොන් කොත්වලට හානි කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  •   එමෙන්ම මෙවැනි සිදුවීම් මෙම ප්‍රදේශයට අලුත් දෙයක් නොවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී කිසියම් පිරිසක් විසින් සොහොන් කොත් මත මැටියෙන් නිර්මිත මිනිස් රූප තබා පහන් දල්වමින් බලි පූජා සහ විවිධ අභිචාර විධි පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. මෙම ක්‍රියාවන් හේතුවෙන් සොහොන් කොත්වලට දැඩි අලාභහානි සිදුව ඇති අතර, මිනී වළවල් කිහිපයක්ම හාරා දැමීම හේතුවෙන් සුසාන භූමිය අවුල් ජාලාවක් බවට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය එම කටයුතු සඳහා යොදාගත් බවට සැක කෙරෙන උපකරණ තොගයක් භාරයට ගෙන ඇති අතර එහි විශේෂත්වය වනුයේ, ඒ සම්බන්ධයෙන් සැකපිට හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් සහ බකමූණ, සරුබිම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමය. ඔවුන් 1946 අංක 57 දරන පොදු හා පුද්ගලික සුසාන භූමි ආඥා පනත යටතේ සුසාන භූමියකට සහ සොහොන් කොත්වලට හානි කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

polonnaruwa bali
එමෙන්ම මෙවැනි සිදුවීම් මෙම ප්‍රදේශයට අලුත් දෙයක් නොවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙවැනි අද්භූත ක්‍රියා සිදුවී ඇති බවත්, ඒ හේතුවෙන් ගම්මානයේ සාමකාමීව ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. මෙවැනි ගුප්ත ක්‍රියාවලට පිරිමින් මෙන්ම කාන්තාවන් ද සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති අතර, ලොව පුරා ප්‍රකට සුරංගනා කතාවල එන මායාකාරියන්ගේ භූමිකාව ද එවැනි සැබෑ මානව චර්යාවන් ඇසුරින් බිහි වන්නට ඇති බවට විශ්වාස කෙරේ.

බකමූණ සිදුවීම හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. ලොව පුරා රටවලින් මෙවැනිම ගුප්ත සිදුවීම් නිතර වාර්තා වේ. 2025 වසරේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඛන්ද්වා ප්‍රදේශයේ සුසාන භූමි දෙකක සොහොන් 10කට වැඩි ප්‍රමාණයක් හාරා, මළ සිරුරු අර්ධ වශයෙන් පිටතට ගෙන තිබී ඇත. පොලිසියේ මතය වූයේ මෙය සතුන්ගේ ක්‍රියාවක් නොව අද්භූත බලවේග ලබාගැනීමේ අරමුණින් සිදුකළ මිනිස් මැදිහත්වීමක් බවයි. එමෙන්ම 2026 මැයි මාසයේ උත්තර ප්‍රදේශ්හි හාපූර් ප්‍රදේශයේදී 16 හැවිරිදි තරුණයෙකුගේ ආදාහනයෙන් පසු චිතකයෙන් හිස් කබලේ කොටසක් සොරකම් කර තිබුණි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ තමා ආදරය කරන කාන්තාව තමා වෙත ඇද ගැනීමට ගුප්ත ශාස්ත්‍රඥයෙකුගේ උපදෙස් මත එය කළ බවයි. තවද 2024 දී ප්‍රයාග්රාජ්හිදී 55 හැවිරිදි පුද්ගලයෙකු සිය 17 හැවිරිදි මුනුපුරා ඝාතනය කර බිලි පූජාවක් ලෙස සිරුර කැබලි කර තිබුණේ, මියගිය තම දරුවන් දෙදෙනා සුගතිගාමී කරවීම සඳහා මන්ත්‍රකරුවෙකු දුන් උපදෙස් මත බව පොලිසියට පාපොච්චාරණය කර ඇත.

මිනීවළවල් හෝ සොහොන් නීතිවිරෝධී ලෙස හෑරීම පිටුපස ප්‍රධාන වශයෙන් අපරාධ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ සමාජයීය අරමුණු හතරක් හඳුනාගත හැකිය. එහි පළමුවැන්න මෘත කාමය (Necrophilia) නම් මානසික ආබාධයයි. DSM-5 වර්ගීකරණයට අනුව පැරෆිලියා (Paraphilia) කාණ්ඩයට අයත් වන මෙම තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් මෘත දේහයන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් දක්වන අතර, විශේෂයෙන් අලුතෙන් මිහිදන් කළ කාන්තා මෘත දේහ ඉලක්ක කරගනිමින් මෙවැනි ක්‍රියාවල නිරත වන බව වාර්තා වේ. දෙවැනි අරමුණ වන්නේ මියගිය පුද්ගලයා කෙරෙහි ජීවත්ව සිටියදී පැවති දැඩි වෛරය, ද්වේෂය හෝ දේශපාලන හා වාර්ගික විරෝධය හේතුවෙන් මරණින් පසුවත් ඔහුට හෝ ඇයට අවමන් කිරීම සඳහා සිදු කරනු ලබන පළිගැනීම සහ නිග්‍රහ කිරීමයි. යුද ගැටුම් සහ ජනවාර්ගික කැරලි පවතින ප්‍රදේශවල මෙලෙස සොහොන් ගැබ් විනාශ කිරීම් බහුලව දැකිය හැකිය.

 

sasthara 6

තුන්වැනි කරුණ වන්නේ මෘත දේහය සමඟ භූමදාන කරන ලද රන්, රිදී, මුදල්, ආභරණ හෝ ඓතිහාසික වටිනාකමකින් යුත් කෞතුක වස්තු පැහැර ගැනීම සඳහා සිදු කරනු ලබන සොරකම සහ මංකොල්ලකෑමයි. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඊජිප්තු මමී සහ මායා ශිෂ්ටාචාරයට අයත් සොහොන් ගැබ් මංකොල්ලකෑම මීට කදිම ඓතිහාසික උදාහරණ සපයයි. සිව්වැනි සහ අවසාන අරමුණ වන්නේ ගුප්ත අභිචාර සහ මළවුන්ගේ මන්ත්‍ර (Necromancy) කෙරෙහි ඇති විශ්වාසයයි. පුරාණ ග්‍රීක භාෂාවේ ‘නෙක්‍රොස්’ (මළ) සහ ‘මැන්ටේයා’ (අනාවැකි) යන වචනවලින් බිඳී ආ ‘නෙක්‍රොමැන්සි’ යනු මළවුන්ගේ ආත්ම කැඳවා අනාගතය විමසීම හෝ ඔවුන් ලවා විවිධ වැඩ කරවා ගැනීම සඳහා සිදු කරන අභිචාර ක්‍රමයකි. මෙම විශ්වාසයන්ට අනුව මළවුන්ගේ ආත්ම සමඟ සන්නිවේදනය කිරීමට, කොඩිවින හෝ වශී ගුරුකම් වැනි බලගතු යන්ත්‍ර මන්ත්‍ර කිරීමට මානව ඇටකටු (විශේෂයෙන් හිස්කබල් සහ ඇඟිලි ඇට), සොහොන් පස්, මිනීවළ මැටි, මෘත දේහ කොටස් මෙන්ම මිහිදන් කළ පුද්ගලයා පරිහරණය කළ භාණ්ඩ ද අත්‍යවශ්‍ය යැයි සලකනු ලැබේ.

මෙවැනි ගුප්ත අභිචාර ආශ්‍රිත සොහොන් හෑරීම් වර්තමානයේදීත් හයිටියේ ‘වූඩූ’ (Voodoo) සංස්කෘතිය, අප්‍රිකානු රටවල පවතින ‘මුටි’ (Muti) මිනීමැරුම් සහ ලතින් ඇමරිකාවේ ‘පාලෝ මායොම්බේ’ (Palo Mayombe) වැනි ක්‍රමවේදයන් තුළින් ඉඳහිට වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ද කලාතුරකින් වළං බිඳීම සහ කොඩිවින වැනි නීච අභිචාර කර්ම සඳහා සොහොන් පිටිවලට ඇතුළු වන බවට ජනප්‍රවාද මෙන්ම පොලිස් වාර්තා ද පවතී. දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීත්‍යානුකූලව ආගමික කටයුතු හෝ අවමංගල්‍ය උත්සවයකදී කටයුතු සිදුකෙරෙන ස්ථානයකට සාපරාධී ලෙස බාධා කිරීම වරදකි. මේ යටතේ වරදකරුවෙකුට වසරක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම විය හැකිය. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 292 වගන්තිය මඟින් ආගමික ස්ථානවලට හෝ සුසාන භූමිවලට (මළ සිරුරු තැන්පත් කර ඇති ස්ථානවලට) බලහත්කාරයෙන් හෝ අනවසරයෙන් ඇතුළුවීම වරදක් ලෙස නම් කරයි. කෙසේ වුවද, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ හෝ පුරාවිද්‍යා කැණීම් වැනි නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා ද්විතීයික වශයෙන් මිනී ගොඩගැනීම් සිදු කළත්, නීතිවිරෝධී සහ සමාජ විරෝධී මට්ටමින් සිදුවන සියලුම සොහොන් බිඳීම් ඉහත දැක්වූ ප්‍රධාන කරුණු හතුරට අන්තර්ගත වේ.

ආසියාවේ, අප්‍රිකාවේ මෙන්ම යුරෝපයෙන් ද මෙවැනි සිදුවීම් වාර්තා වේ. 1930 දී ෆින්ලන්තයේ හෙල්සින්කි අසල තත්තරිසුවෝ ප්‍රදේශයේ උල්පතකින් කැපූ මිනිස් අත්, පා සහ හිසක් හමුවිය. පසුව හෙළි වූයේ දේශීය කළු මැජික් කණ්ඩායමක් මල්මි සුසාන භූමියෙන් සිරුරු කොටස් සොරකම් කර අභිචාර පැවැත්වූ බවයි. එය ෆින්ලන්ත අපරාධ ඉතිහාසයේ කුප්‍රකටම නඩුවක් ලෙස සැලකේ. 2012 දී රුසියාවේ “වල්පුර්ගිස් රාත්‍රිය” (Walpurgis Night) සැමරීම මුවාවෙන් 18 සහ 21 හැවිරිදි සාතන්වාදීන් දෙදෙනෙකු සුසාන භූමියක නිදා සිටි පුද්ගලයෙකු ඝාතනය කර ඇත. ඔවුන් 2010 දී ඝාතනය කළ පුද්ගලයෙකුගේ හිස කපා, සිරුර කුහුඹු ගුලක වළලා, 2012 දී නැවත ගොඩගෙන අභිචාරයක් පැවැත්වූ බව ද පසුව අනාවරණය විය.

susana bumi

මෙවැනි ක්‍රියා වැලැක්වීම සම්බන්ධයෙන් රටවල් කිහිපයකම නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික හා පොදු සුසාන භූමි ආඥා පනත යටතේ සුසාන භූමියකට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම සියලු සිදුවීම්වල පොදු ලක්ෂණයක් වන්නේ අන්ධ විශ්වාස මුල් කොට ගත් අරමුණු සඳහා සුසාන භූමි තෝරා ගැනීමයි. බිලි පූජා, ප්‍රේමය ඇද ගැනීම, මියගිය අයට සාමය ලබාදීම සහ කළු මැජික් බල ලබාගැනීම වැනි අරමුණු ඒ අතර වේ. අභිචාර ග්‍රන්ථවල සුසාන භූමි සහ සොහොන් කොත් “මළවුන්ගේ ආත්මය සමඟ සම්බන්ධයක් ඇති ස්ථාන” ලෙස දක්වා තිබීම ඊට හේතුවයි.

ඒ අනුව බකමූණ සුසාන භූමියේ සිදුවීම දේශීයව සිදුවූ හුදෙකලා සිද්ධියක් ලෙස අර්ථ දැක්විය නොහැක. එය ඉන්දියාව, රුසියාව, ෆින්ලන්තය ඇතුළු ලොව බොහෝ රටවලින් වාර්තා වන සමාජ විරෝධී රටාවක කොටසකි. මෙවැනි ක්‍රියා සමාජ ආරක්ෂාවට, ආගමික සහජීවනයට මෙන්ම මහජන මානසික සෞඛ්‍යයට ද බරපතල තර්ජනයකි. එබැවින් පොලිසිය, ප්‍රාදේශීය බලධාරීන් මෙන්ම ප්‍රජා නායකයින්ගේ කඩිනම් හා සම්බන්ධීකරණ මැදිහත්වීම තුළින් මෙවැනි ක්‍රියා වැළැක්වීම සහ ජනතාවගේ බිය දුරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

renuka damayanthi psd
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි? | ඒ.ජී. රේණුකා දමයන්ති | The Leader