ගෙවුණු ජූලි 01 වනදා චීනයට හිරු උදාවුණේ අභිමානවත් අතීතයක් ස්මරණය කරමිනි.
ඒ, 1921 ජූලි 01 වනදා ෂැංහයි නුවරදී ඇරඹි, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 105 වන සංවත්සරය එදිනට යෙදී තිබූ නිසාය.
චීනයේ මෙන්ම ලෝකයේද ගමන් මග වෙනස් කළ හැරවුම් ලක්ෂයක් වූ එය, දේශපාලනයේ දැවැන්ත පෙරළියක් ඇති කිරීමට සමත් වූ අතර, දැනට ලොව පවතින බලවත්ම සහ විශාලතම දේශපාලන පක්ෂවලින් එකක් බවටද එය පත්ව තිබේ.
ජූලි 01 වනදා උදෑසන නැගෙනහිර චීනයේ ජියැංසි පළාතේ යුදු ගං ඉවුරට චීන ජනතාව පැමිණියේ වෙනදාටත් වඩා උද්යෝගයකිනි.
කුඩා දරුවන්ගේ සිට මහලු ජනතාව දක්වා චීන ජාතිකයින් තම අභිමානවත් පරපුර ස්මරණය කරමින්, ස්මාරකය ඉදිරිපිට පැමිණි ආචාර කරනු දැකගත හැකි විය.
ඔවුන් විවිධ කණ්ඩායම් ලෙස පැමිණි අතර, ඇතමුන් චීන භාෂාවෙන් විප්ලවීය ගී ගායනා කළ අතර, තවත් සමහරෙකු දිගු පාගමනට සහභාගී වූවන් සිහිපත් කරමින් චීන රතු හමුදාවට ආචාර කරමින් සිටියහ.
ස්මාරකයට ආචාර කරන චීන වැසියන්
එදා 1934 වසරේ ඔක්තෝබර් මාසයයි…
චීන රතු හමුදා සොල්දාදුවන් තම දේශය වෙනුවෙන්, විවිධ පීඩාවන් විඳ දරා ගනිමින්, ස්ථිර අධිෂ්ඨානයෙන් ජීවිතය හෝ මරණය කැප කරමි යන සිතුවිල්ලෙන් කිලෝමීටර් 12,000 කට වඩා වැඩි දුරක් ගමන් කළහ. 600 ගණනකට වැඩි සටන් ප්‍රමාණයක් කළ ඔවුන්, ගංගා 100 කට ආසන්න ප්‍රමාණයක් තරණය කළහ. උස් කඳු 40 කට වඩා තරණය කළහ. හමුදාවේ 86,000 කට අධික භට පිරිසකගෙන් යන්තම් ඉතිරිවූයේ 7000ක් පමණකි.
එදා තම උපන් දේශය වෙනුවෙන් දිගු පාගමනට සම්බන්ධ වූ සොල්දාදුවන් සමරා එදා චීනයේ ජියැංසි පළාතේ යුදු ගං ඉවුරට රැස්වූ සියළු දෙනාගේ නෙතට කඳුලක් එක්කල ඉදිරිපත් කිරීමක් දැකගත හැකි විය.
ඒ එදා රතු හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු කලාකරුවන් එදා කුවොමින්ටැංගේ හමුදාවට එරෙහිව යුද්ධයට යාමට සූදානම් වීම පිළිබඳ රඟ දැක්වූ නාට්‍යයක් නිසාය.
එදා යුදු ගං ඉවුරෙන් රතු හමුදාව සටනට පිටත්වූ තොටුපල ඉදිරිපිට දීම චීන කලාකරුවන් ඔවුන්ගේ බසින් රඟ දැක්වූ රංඟනය එහි සිටි චීන භාෂාව නොදත් විදෙස් මාධ්‍ය කණ්ඩායමට සහ ලොව නන්දෙසින් පැමිණ සිටි කොමියුනිස්ට් නායකයින්ට අවබෝධකර ගැනීම අපහසුවූයේ නැත.
ඒ කලාකරුවන්ගේ අභිනයන් එතරම්ම සංවේදී සහ තාත්වික වූ අතර ඔවුන් බලා සිටියදීම ලොව නන්දෙසින් පැමිණි එම පිරිසගේ නෙතට කඳුලක් පැමිණ තිබුණේ නිරායාසයෙන්මය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය සහ චීන රතු හමුදාවේ දිගු පාගමන සැමරූ දිනය යුදු ගං ඉවුර ශෝකය හා සතුට යන දෙකම එකම මොහොතක උදාවී තිබූ අයුරු දැකගත හැකි විය.
ස්මාරකයට ආචාර කරන චීන වැසියන්
රතු හමුදාව යුදු ඉවුර දිගේ සටන් වදින්නට ගිය ගමන ප්‍රතිනිර්මාණය කළ කලාකරුවන්ගේ ඒ සජීවී රංගනය අප මාඕ සේතුං විසින් මෙහෙයවන ලද රතු හමුදාවේ විප්ලවීය යුගයට ගෙන ගියේය. ජියැංසි වැසියන් සොල්දාදුවන්ට පිදුරු සෙරෙප්පු ලබාදුන් අයුරු, තම්බා ගත් බිත්තර කෑමට රැගෙන යන්නට දුන් අයුරු, පළතුරු, අල, බතල ගෙනැවිත් දුන් අයුරු, අප නොදුටු ඉතිහාසයක් චීන වැසියන් ප්‍රතිනිර්මාණය කළේය.
විප්ලවයට යාමට සූදානම්ව සිටි සොල්දාදුවන්ගේ දෑත් අල්ලාගෙන සිටි මහලු කාන්තාවක් සහ ගැබිනි කාන්තාවක් බොහෝ දෙනෙකුගේ හදවත් උණු කළේය.
'සමුගැනීම' ලෙස නම්කර තිබූ මෙම කෙටි නාට්‍ය රංගනය 1934 දී එම ඓතිහාසික මොහොත යළි පණ ගැන්වූ අවස්ථාවක් විය. එදා ජියැංසි වැසියන්, දිගු පාගමන සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) විසින් මෙහෙයවන ලද රතු හමුදාවට සමුදී තිබුණේ ඉතා සංවේදී මතක සටහන් රැසක් ඉතිරි කරමිනි.
චීන ස්වේච්ඡා සේවකයන් 150 කට වැඩි පිරිසක් මෙම රංගනයට සහභාගී වී සිටි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රතු හමුදාවෙන් පැවත එන්නන්වීමද විශේෂත්වයක් විය. ඒ නිසා ඔවුන්ට එය හුදෙක් රංගනයක් පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල ඉතිහාසය යළි අත්විඳීමට හැකිවූ ඉතා සංවේදී මොහොතක්ම වී තිබුණි.
ගසක් නිසා දිවි රැකගත් මාවෝ
මාඕ සේතුංගේ නායකත්වයෙන් ආරම්භ වූ විප්ලවයත් සමඟ චීනය මේ මොහොත වනවිට ජනාධිපති ෂී ජින් පිංගේ නායකත්වය යටතේ විශිෂ්ඨ ගමනක යෙදිමින් සිටී.
මාඕ දැන් නැත, එහෙත් ඔහු එවක රතු හමුදාව හරහා මෙහෙයවූ විප්ලවයේ සෑම ශේෂයක්ම නොනැසී පවත්වා ගැනීමට චීන වැසියන් උත්සුක වී තිබේ.
එහි යතාර්ථය නම් මාඕ සේතුං උපන් ස්ථානය සෑම කොමියුනිස්ට්වාදියෙකුටම වන්දනා ස්ථානයක් බවට පත්ව තිබීමයි.
ඔහු සංචාරය කළ සහ ඔහු රැඳී සිටි ස්ථාන වෙනම අනන්‍යතා සහිත අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථාන බවට පත්කර තිබේ. කොමියුනිස්ට් පක්ෂය රට මහා බලයකට ගෙන යන විට, මාඕ පිළිබඳ කථා අන් අයට කීමටද ඔවුන් රුචිකමක් දක්වනු පෙනේ.
රතු හමුදාව සමඟ ඇරඹි දිගු පාගමනේ ඉතිහාස මං සලකුණු ඔස්සේ චීනයේ ජියැංසි පළාතේ සංචාරය කළ අප, යෙපින් ගම්මානයට පැමිණියේ එහි ඇති ඉතිහාසය ඉතා වැදගත්වන නිසාමය.
අදින් වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන මෙහි ඇතැම් දෑ සැබෑ ස්වරූපයෙන්ම ප්‍රතිනිර්මාණය කර තිබෙනු දැකගත හැකි අතර මාඕ සේතුංගේ නිදන කාමරය, විවිධ රැස්වීම් කාමර සහ කාර්යාල කාමර එදා ලෙසටම සංරක්ෂණය කර තිබේ.
මාවෝ සේතුං ගේ රැස්වීම් කාමරය
මෙම යෙපින් ගම්මානයට එන සෑම කෙනෙකුම නරඹන සහ ඡායාරූප ගන්නා ගසක් තිබේ. එය අනුස්මරණීය වන්නේ, කුවොමින්ටැං ජාතිකවාදී හමුදාවට එරෙහිව චීන රතු හමුදාව සටන් කරද්දී, මාවෝගේ දිවිය රැක දුන් ගසක් නිසාවෙනි.
මාවෝ සේතුංගේ දිවි රැකදුන් ගස
වසර දහස් ගණනක් පැරණි කපුරු ගසක් වූ මෙය තවමත් මෙම විවෘත කෞතුකාගාරයේ සංරක්ෂණය කරමින් තිබේ. රතු හමුදාව විප්ලවය සිදු කරන විට මාඕ නිදා සිටි නිවසට යාබදව එය පිහිටා ඇති අතර, ඔහු එම ගස යටටවී පුවත්පත් කියවීමට, තේ පානය කිරීමට සහ සොල්දාදුවන් සමඟ කතාබස් කිරීමද පුරුද්දක් කරගෙන තිබුණි.
1933 වසරේ දිනක්, මාඕ මෙම ගස අසල නිවසට වී වැඩ කරමින් සිටි මොහොතක කුවොමින්ටැං (ජාතිකවාදී) හමුදාව ගුවනින් බෝම්බයක් පතිත කළද වාසනාවකට මෙන් එය පුපුරා නොගියේ මේ විශාල කපුරු ගසේ අතු අතර රැඳීම නිසාය.
එදා කුවොමින්ටැං හමුදාව විසින් ගුවනින් හෙළන ලද බෝම්බය අතු අතර රැඳුණු පසු චීන මහජන හමුදාව විසින් එය නිෂ්ක්‍රීය කළ අතර, එම සිදුවීම සිහිපත් කිරීම වෙනුවෙන් තැනූ සැබෑ බෝම්බයේ අනුරුව අදටත් යෙපිං ගම්මානයට පැමිණෙන කාගේත් අවධානය සහ ආකර්ෂණය දිනා ගනිමින් ඇත.

(සටහන | නදීක විජේවීර )
චීනයේ ගොන්ෂු නගරයේ සිට..
nadeekajwijeweera@gmail.com




