රනිල් ඊට පෙනී සිටීමට උසාවියට පැමිණියේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟයි. ඒ මුළු නඩුවටම කාලය ගතවූයේ විනාඩි තුනක් පමණි.
රනිල්ගේ ලන්ඩන් ගමන ගැන සොයන්නට ගිය පිරිස වාහන පහසුකම් ආදියට වැඩිම වියදමක් යොදා ඇති බවත් එය සිදුවිය නොහැකි බවත් රනිල්ගේ නීතිඥයන් එහිදී පෙන්වා දුන්නේය. ඊට වාහන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය රජයෙන් බවද නීතීඥයෝ පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් රනිල්ගේ පාර්ශ්වය ඒ ගැන තොරතුරු උසාවියට බාර දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නීතිඥවරිය උසාවියට දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට තවම මතයක් නැති බවයි. ඒ අනුව අවසන් වාර්තා ලබන සැප්තැම්බර් 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
මේ නඩුව සම්බන්ධයෙන් කලින් නඩු වාර වලදී ඉතා සද්දෙන් කතා කළ දිලීප පීරිස් මෙවර පැමිණ සිටියේ නැත. එමෙන්ම සී. අයි.ඩී ය පැත්තෙන්ද ඉහළ නිලධරයන්ගේ සහභාගීත්වයක් දක්නට නොලැබිණි.
මේ ආණ්ඩුව යටතේ තමන් අරාජික බව ජනතාවට තේරිලා

මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් ජනතාවට ඒත්තු ගිය තවත් කාරණයක් වූයේ මේ ආණ්ඩුව යටතේ තමන් අරාජික බවයි. උතුරේ ත්‍රස්තවාදී යුද්ධය පැවති සමයේද දකුණේ දරුණු ආර්ථික අර්බුදයක් පැවැති සමයේද නොතිබූ තරම් සැක සාංකාවක් මෙන්ම අරාජික බවක් ජනතා සිත් සතන්වල පැලපදියම් වන්නට පටන් ගෙන තිබූ බව ගමේ ගොඩේ මගතොට කතාබහ වලින් පැහැදිලි වෙමින් තිබෙන්නේ යැයි විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම රනිල්ට සැළ කර සිටියහ.
ආණ්ඩුවේ පාර්ශ්වවලටත් වඩා විපක්ෂයේ පාර්ශ්ව විසින් මීගමුවේ සිද්ධියේදී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින ආකාරය දැකගත හැකි විය.
විපක්ෂයේ මෙන්ම ප්‍රගතිශීලී ජනතාවගේ මතය වූයේ බන්ධනාගාර ඇමතිවරයා මෙන්ම ලේකම්වරයාද ඉල්ලා අස්විය යුතු බවයි.
ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැසිරුණු ආකාරය
කෙසේ වුවද ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැසිරුණු ආකාරය ගැන කිව හැක්කේ කුමක්දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමු වූ අවස්ථාවේ විමසා සිටියේය.
රනිල් විස්තර කළේ 1988 වසරේ සිද්ධියකි.
නිශ්ශංක විජේරත්න
" 1988 අවුරුද්දේ අධිකරණ ඇමති වෙලා හිටියේ නිශ්ශංක විජේරත්න. එතුමා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පිටරට ගිහින් ඉන්න අවස්ථාවක මඩකළපුව බන්ධනාගාරයේ යම් සිද්ධියක් ඇතිවුණා. මේ අවස්ථාවේ ඔහු වගකීම අරගෙන ඉල්ලා අස්වුණා. ඔහුගේ නියෝජ්‍ය ඇමති හිටියේ ෂෙල්ටන් රණරාජා. ඔහුත් මෙහි වගකීම අරගෙන ඉල්ලා අස් වුණා. ඉන් පසුව අධිකරණ වැඩ බලන්න පත් කලේ පෝල් පෙරේරා.
88 ඡන්දෙදි ප්‍රේමදාස ජනාධිපති කිව්වා කවුරු හරි ආසනයක් පැරදුනොත් ඔහු ඉල්ලා අස්විය යුතු බව. කඩුවෙල ආසනයෙන් ඉදිරිපත් වෙච්ච පෝල් පෙරේරා පරාජයට පත්වුණා. ඊට පස්සේ අධිකරණ වැඩබලන ඇමැති හැටියට මාව (රනිල් වික්‍රමසිංහ) පත් කළා. ඡන්දෙන් පස්සෙ අධිකරණ ඇමැති හැටියට විල්සන් පෙරේරා පත් කළා. රනිල් කීවේ එක්සත් ජාතික පක්ෂය හැම විටම ඉතා ශිෂ්ඨ සම්පන්න ලෙස කටයුතු කර තිබෙන ආකාරය පෙන්වා දෙමිනි.
''මීගමු සිද්ධියට ඇමති වගේම සෙකට්‍රි වග කියන්න ඕන"
" මීගමුවේ සිද්ධියේදී මේවා පාලනය කරන්න ඕනෑ තරම් කාලයේ තිබුණා. ඇයි සෙකට්‍රි එක්ක කතා කලේ නැද්ද? මේකට ඇමති වගේම සෙකට්‍රි වග කියන්න ඕන" රනිල් එසේ කියන විට මාන්නප්පෙරුම පැවසුයේ ඇමතිවරයා අදාළ ස්ථානය නිරීක්‍ෂණයට ගියේ සිද්ධිය වී දින දෙකක් පමණ පිරුණු පසුව බවයි.
" ඇමතිවරයා මේ සිද්ධිය ජනාධිපතිට දැනුම් දුන්නාද? ජනාධිපතිට කියන්න බැරි නම් අඩුගානේ ටිල්වින්ට වත් කිව්වා දැයි රනිල් ඇසුවේ උපහාසයක් මතු කරමිනි.

මීගමු බන්ධනාගාර සිද්ධියේදී ඇමතිවරයා ඉල්ලා අස්වීමට සිටි බවත් ජනාධිපති මැදිහත් වී එය වැලක්වූ බවත් තවත් ආරංචි මාර්ගයකින් අසන්නට ලැබිණි.
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා සාමාන්‍ය ජනතාව පවා තේරුම් අරගෙන
" විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන්න ආණ්ඩුවට දැන්නම් ලේසි වෙන්නෙ නෑ. සාමාන්‍ය ජනතාව පවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා දැන් තේරුම් අරගෙන ඉන්නේ " වජිර කීවේය.
ආණ්ඩුව දැන් අවුල් වෙච්ච නූල් බෝලයක් වෙලා තියෙන්නේ. එක පැත්තකින් විනිසුරු විශ්‍රාම වයස. අනිත් පැත්තෙන් බන්ධනාගාර ඇමති හර්ෂණ බේරා ගන්න එක රත්නප්‍රිය කීය.
සජිත්ගේ විවාදයෙන් ලකුණු ගත්තේ ආණ්ඩුව !

මීගමු බන්ධනාගාර සිද්ධිය ගැන සජිත් පාර්ලිමේන්තු විවාදය ඉල්ලූ ආකාරයෙන් සිදුවූයේ ආණ්ඩුවට අවශ්‍ය කරුණු ටික කියාගන්නට කාලයක් ලැබීමයි. ඒ විවාදයට විපක්ෂය පැත්තෙන් කිසිම සූදානමක් තිබුණු බවක් නොපෙනිණි. ආණ්ඩුවට වදින්න කතා කළේ චාමර පමණි.
"ඇත්තෙන්ම ඔය විවාද ඉල්ලන්න තිබුණේ එදා නෙමෙයි. තව දවස් දෙකක් ඉඳලා ඒ විවාදෙ ඉල්ලන්න තිබුණා. විවාද ඉල්ලන්න තිබුණේ ඔක්කොම කරුණු අරගෙන. හිස් අතින් විවාද කරන සිරිතක් නෑනේ . විපක්ෂය නෙමෙයි, ආණ්ඩුව වත් හරියට කරුණු දන්නේ නැති පසුබිමක කොහොමද විවාදයක් තියන්නේ. මේ පාර්ලිමේන්තු සතියේ නැත්නම් වෙන විශේෂ දිනයක විවාදය ඉල්ලන්න තිබුණා. අනෙක ඇමතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළාම ඒ ප්‍රකාශය උඩ තමයි විවාද කළ යුත්තේ. එහෙම නැතුව පත්තර වල තියෙන ඒව මත නෙමෙයි" රනිල් තම ස්ථාවරය ගැන පැහැදිලි කළේ වත්මන් ප්‍රධාන විපක්ෂයේ ළදරු තීරණ ගැන තෝන්තුවෙනි.
කෙසේ වෙතත් අදාල විවාදයේදී අඩුගානේ විපක්ෂ නායකවරයා බන්ධනාගාර ඇමති ඉල්ලා අස්විය යුතු බව වත් කීවේ නැත. ඒ කාරණය මුලින්ම කීවේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය පීරිස්ය. ඒ මල් පාර කාරයාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
හැම පක්ෂයකටම එක් විය හැකි එක මධ්‍යස්ථානයක්
මල් පාර කාර්යාලයේදී වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් කොටස් දෙකකට පැවැත්විණි.

පළමු වැනි සාකච්ඡාව තිබුණේ මහාචාර්ය ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා දොස්තර රාජිත මෙන්ම හැම පක්ෂයක්ම නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වූහ. සජබ නියෝජනය කරමින් දොස්තර චමල් සංජීව, එජාප සමන් රත්නප්‍රිය මෙන්ම බැංකු, දුම්රිය, තැපැල් ආදී සියලු ක්ෂේත්‍ර නියෝජනය වන අයුරින් පිරිස් එහි පැමිණ සිටියහ. හැම පක්ෂයකටම එක් විය හැකි එක මධ්‍යස්ථානයක් හැදිය යුතු බව එහිදී යෝජනා විය.
දෙවැනි හමුව පැවැත්වුණේ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙනි. පැලවත්තේ ආණ්ඩුව ක්‍රම තුනක් යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවත් පක්ෂ ක්‍රමය නැති කරන්නට සැරසීම, වෘත්තීය සමිති නැති කරන්නට යාම සහ බෞද්ධ දහමට පහර ගැසීම එම ක්‍රියාමාර්ග තුන බව රනිල් එහිදී පැහැදිලි කළේය. මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව තනි තනිවනවා සියලු කණ්ඩායම් ඒකාබද්ධව සටන් කළ යුතු බවද රනිල් පෙන්වා දුන්නේය.
ජී.එල් ගේ සහ රාජිතගේ ප්‍රධානත්වයන් රැස්වී ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් නිර්මාණය කරන ලෙසද රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේය.
රජයට දැන් අගවිනිසුරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හැර වෙන වැඩක් නැහැ
මේ අතර මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ජී.එල් කීවේ රජයට කරගන්න අවශ්‍ය ප්‍රධාන කාරණය විනිසුරු නිල කාලය දීර්ඝ කර ගැනීම බවයි.

"ඉරිදා දෙන්නෙක් මැරිලා තිබුණා. අධිකරණ අමැතිවරයා මීගමුව බන්ධනාගාරයට ගියේ සඳුදා හවස. ඒකට හේතුව තමයි මුළු අමාත්‍යංශයේම අවධානය යොමු වෙලා තියෙන්නේ විනිසුරු වයස දිගු කිරීම ගැන. වෙන දේවල් වලට කාලයක් නෑ.
හිටපු බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය ඉවත් කළා. ඔහු ආපහු බඳවා ගන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව නියෝගයක් දුන්නා. මාස 13ක් බන්ධනාගාරයට ස්ථිර කොමසාරිස් ජනරාල්වරයෙක් නැහැ. ඒ කියන්නේ ලේකම් අයේෂා ජිනසේන මානව හිමිකම් කොමිසමේ නිර්දේශය ක්‍රියාත්මක කළේ නෑ. ඒක සම්පූර්ණයෙන් නීති විරෝධීයි. ඉතින් එතුමියත් මේකට වගකිව යුතුයි" ජී.එල් කීය.
ඒකාබද්ධ විපක්ෂය මවුලවි තුමන් හමුවේ
ඉකුත් සතිවල මහානාහිමි වරුන් හමුවූ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් මේ සතියේදී මුස්ලිම් ආගමික මවුලවි තුමන් හමුවිය.
එහිදී ඔවුන් පැහැදිලි කළේ සත්‍ය සහ ප්‍රතිසංවිධානය පිළිබඳ පනතක් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පැවසුවත් ඒවා වචන පමණක් වී තිබෙන බවයි.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




