ගෝලීය තරුණ නැගිටීමක් සිදුවෙමින් පවතී. තරුණ පරපුරට අප දුන් පොරොන්දු කඩ වී ඇති අතර ඒ බව ඔවුහු හොඳින් දනිති. ඔවුන්ගේ කෝපය සහ විරෝධය විසින් ලිබරල් ප්රජාතන්ත්රවාදය පරීක්ෂාවට ලක් කර තිබේ. වර්තමානයේ එක් පරම්පරාවක් එකට එක් කරනු ලබන එම දැඩි කෝපය වටහා ගැනීම අතිශය වැදගත්ය.
ලෝකය පුරා පැතිර යන තරුණ විරෝධතා රැල්ල පිළිබඳව පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයක මෙසේ සටහන් කළේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ගෝර්ඩන් බ්‍රවුන් විසිනි.
අපි දැන් ලෝකය පුරා පැතිර යන තරුණ කැරලි රැල්ලක් දැක ගනිමින් සිටිමු. එය කෙන්යාව, බංග්ලාදේශය, සර්බියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මොරොක්කෝව, නේපාලය, මැඩගස්කරය, ලතින් ඇමරිකානු රටවල් මෙන්ම ඉන්දියාවට සහ යුරෝපයට ද පැතිර ගොස් තිබේ. මේ සෑම විරෝධතාවකම පොදු තේමාවන් වූයේ දූෂණය, ආර්ථික දුෂ්කරතා, අධ්‍යාපනය, පාලන අක්‍රමිකතා සහ සමාජ සාධාරණත්වයයි.
අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් නැඟුණු විරෝධය
කෙන්යාවේ තරුණයන් විසින් එල්ල කළ දැඩි විරෝධය නිසා දරුණු ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ දැඩි බදු වැඩි කිරීම් යෝජනා කළ මුදල් පනත් කෙටුම්පත හකුලාගැනීමට රජයට සිදුවිය. 2024 මැද භාගයේ බදු පනතකට එරෙහි විරෝධයක් ලෙස ආරම්භ වූ මෙය, පොලිස් කෲරත්වය, නීති විරෝධී ඝාතන, දූෂණය, ඉහළ ගොස් ඇති විරැකියාව සහ අයහපත් පාලනයට විරෝධය පළ කරමින් පුළුල් රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත විය.
2025 වසර මැද දී ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ විසින් යෝජනා කරන ලද සුභසාධන කප්පාදුවලට එරෙහිව ඇතිවූ විරෝධතාවලට නායකත්වය දුන්නේ මාර්ගගත බෙදාහැරීම් සහ ප්‍රවාහන වේදිකා මඟින් සේවයේ යොදවා ඇති ගිග් සේවකයින් (කෙටි කාලීන, කාර්ය පදනම් කරගත් හෝ ස්වාධීන රැකියා සිදු කරන පුද්ගලයන්) විසිනි. සන්නද්ධ හමුදා සහ ව්‍යාපාරිකයන් අතළොස්සක් අතේ බලය සංකේන්ද්‍රණය වීම පිළිබඳ වැඩිවන කනස්සල්ල මධ්‍යයේ, රජය අවම වැටුපට වඩා දස ගුණයකින් වැඩි නිවාස දීමනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන් විට මහජන කෝපය උත්සන්න විය. ජකර්තා, කලීමන්තන්, සුමාත්‍රා සහ වෙනත් කලාප පුරා ඉන්දුනීසියාවේ විරෝධතා දැඩි ලෙස ඉහළ ගියේය. වනාන්තර ගිනි ගැනීම් හේතුවෙන් හටගත් විෂ සහිත දුමාරය, උග්රවන ආර්ථික දුෂ්කරතා සහ රජයේ වියදම් සම්බන්ධයෙන් පවතින කෝපය ඊට ප්‍රධාන හේතු වී ඇත.
ගංවතුර පාලන ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද මහජන අරමුදල් විශාල වශයෙන් අවභාවිත කිරීම හෙළා දැකීම පිණිස, 2025 සැප්තැම්බර් 21 වන දින මැනිලා නුවරදී දස දහස් සංඛ්‍යාත තරුණ පිලිපීන ජාතිකයින් දූෂණ විරෝධී දැවැන්ත විරෝධතා මෙහෙයවූහ.
පාලකයන් පළවාහළ ආසියානු-අප්‍රිකානු ජනපෙළගැස්ම
2025 නේපාලයේ තරුණ පිරිස් විසින් මෙහෙයවන ලද දැවැන්ත නැගිටීම මඟින් නේපාල රජය පෙරළා දමා ප්‍රධාන දේශපාලන පරිවර්තනයක් ඇති කරන ලදී. මේ නැගිටීමට මූලික හේතුව වූයේ රජය විසින් සමාජ මාධ්‍ය වේදිකා සඳහා පනවන ලද තහනමයි. පසුව එය රජයේ දූෂණය, ඥාති සංග්‍රහය, ඉහළ යන තරුණ විරැකියාව (20% ක් පමණ) සහ විදේශීය ශ්රමයට එරෙහිව ඇතිවූ ගැඹුරු කෝපයක් සමඟ ඒකාබද්ධ විය.

'GenZ 212' සහ 'මොරොක්කන් තරුණ හඬ' ලෙස හැඳින්වෙන විමධ්‍යගත ව්‍යාපාර මඟින් මෙහෙයවන ලද, තරුණ පිරිස් පෙරමුණ ගත් විරෝධතා, 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 18 දක්වා මොරොක්කෝවේ පැවැත්විණි. ආරම්භක සාධකය වූයේ අගාදිර් (Agadir) හි රජයේ රෝහලක දරු ප්‍රසූතිය අතරතුර කාන්තාවන් අට දෙනෙකු මිය යාමත් සමඟ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයයි. කාර්ය මණ්ඩලයේ දැඩි හිඟය සහ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම ඊට හේතු විය. ඉන්පසුව තරුණ විරැකියාව (37% ඉක්මවා ගිය), බහුලව පවතින දූෂණය, ඉහළ යන ජීවන වියදම සහ ගැඹුරු සමාජ අසමානතාව විරෝධතාකරුවන්ගේ ඉලක්ක බවට පත්විය.
2025 වසරේ අගභාගයේදී මැඩගස්කරය කම්පා කළ, තරුණ පිරිස් විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණ ආරම්භ වූයේ ජලය සහ විදුලිය හිඟයට එරෙහි විරෝධතා ලෙසිනි. ඉන්පසු ඒවා වේගයෙන් දේශපාලන වෙනසක් ඉල්ලා සිටින පුළුල් ඉල්ලීම් බවට පරිවර්තනය වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාට රටින් පිටව යාමට සිදුවිය. 'Gen-Z' පරම්පරාවට අයත් මෙම විරෝධතාකරුවන්, ගෞරවය, දූෂණය සහ බිඳ වැටුණු සමාජ ගිවිසුම පිළිබඳව අදහස් පළ කළහ.
2024 මැද භාගයේදී බංග්ලාදේශයේ ඇතිවූ අරගලයට ක්ෂණික හේතුව වූයේ රාජ්‍ය අංශයේ රැකියා සඳහා වෙන් කළ කෝටා (පංගු) සම්බන්ධයෙන් ඇති වූ මතභේදයයි. ඉන් පසු එය දේශපාලන දූෂණය, ඒකාධිපති පාලනය, අසමානතාව, ඉහළ යන ජීවන වියදම් සහ බලවත් ප්‍රභූ පන්තියට හිමි ව්‍යුහාත්මක වාසිවලට එරෙහිව වර්ධනය විය. මේ කරුණු මුල්කරගෙන පැවති පාලනයට එරෙහිව දේශීයකරණය වූ හදිසි ශිෂ්‍ය සටන් ඇවිළී ගියේය. රටපුරා පැතිර ගිය විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අගමැතිනි ශෙයික් හසීනාට ජීවිතය බේරාගෙන රටින් පලා යෑමට සිදුවිය.
ඉන්දියාව සහ යුරෝපය කැළඹූ ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය
2026 මැයි මාසයේ ඉන්දියාවේ ද තරුණ විරෝධතා මතුවිය. එය ආරම්භ වූයේ රටේ ප්‍රධාන විනිසුරු විසින් රැකියා විරහිත තරුණ තරුණියන් කැරපොත්තන්ට සමාන කොට කරන ලද අපහාසයක් නිසාය. ඉන් පසු එම විරෝධතා විරැකියාව, දැඩි රැකියා අනාරක්ෂිතභාවය සහ අධ්‍යාපන පද්ධතිය තුළ පැතිර පවතින දූෂණයට එරෙහි විරෝධතා දක්වා පැතිර ගියේය. ඉන්දියාවේ වයස අවුරුදු 15ත් 25ත් අතර උපාධිධාරීන්ගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ද, වයස අවුරුදු 25ත් 29ත් අතර උපාධිධාරීන්ගෙන් 20%ක් ද රැකියා විරහිතව සිටින අතර, එය අඩු අධ්‍යාපන මට්ටමක් ඇති පුද්ගලයින් අතර පවතින තත්ත්වයට වඩා බෙහෙවින් ඉහළ අගයකි. මෙම අරගලය ඉතා විමධ්‍යගත, ඩිජිටල් ජාලගත සහ නායකත්වයකින් තොර Gen Z ව්‍යාපාරයක් ලෙස පැතිර ගියේය. විරෝධතාකරුවන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සාම්ප්‍රදායික ධ්‍රැවීකරණ වාර්ගික හෝ ආගමික ආඛ්‍යාන පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ අතර, මෙම ව්‍යාපාරය ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදී වගවීම ආරක්ෂා කර ගැනීමට පෙරමුණක් සේ ශක්තිමත් වෙමින් පවතී.
මේ අතර යුරෝපය පුරා විරෝධතා ආරම්භ විය. 2026 සැප්තැම්බර් මාසයේ ප්‍රංශයේ ආරම්භ වූ තරුණ හා ශිෂ්‍ය නැගිටීමේ මූලයන් වූයේ පිරිහෙන රාජ්‍ය අධ්‍යාපනය, දැඩි ආර්ථික පීඩනයන්, මානසික සෞඛ්‍ය අභියෝග සහ රටේ දිගුකාලීන විරෝධතා සංස්කෘතියේ එකතුවකින් පැන නැඟුණු කාරණාය. සිසුන් මුලින් බලමුලු ගැන්වුණේ ජල කාන්දුවීම්, කැඩුණු ගෘහ භාණ්ඩ, ප්‍රමාණවත් උණුසුම නොමැතිකම සහ පළිබෝධ හානිවලින් පීඩා විඳි අබලන් පාසල් ගොඩනැගිලි මුල්කරගෙනය. රජයේ උසස් පාසල් සහ තදාසන්න ප්‍රදේශවල ඇති පුළුල් ගුරු හිඟය ද ඊට හේතු විය. දීර්ඝ කාලයක් ස්ථිර උපදේශකයින් නොමැතිව පන්ති පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තදබදයෙන් පිරුණු පන්ති කාමර සහ පිළිපැදීමට අපහසු පීඩාකාරී පන්ති කාලසටහන් නිර්මාණය විය.
ආර්ථික අනාරක්ෂිතභාවය හමුවේ යුරෝපය මංමුළා වෙයි
ප්‍රංශයේ තරුණ රැකියා විරහිතභාවය සියයට 20කට ආසන්න මට්ටමක පවතින අතර, තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නොමැත. රැකියා කරන තරුණ ප්‍රජාව ඉහළ බදු බරකට මුහුණ දෙන අතර සැබෑ ආදායම් වර්ධනය නැවතී ඇත. ඉහළ යන උද්ධමනය, ජීවන වියදම් සහ පවුල් මත පැටවෙන ආර්ථික පීඩනය හේතුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පවා ආර්ථික සුරක්ෂිතභාවය ලබාගත නොහැකි බව තරුණයන්ට හැඟී ගොස් තිබේ. 2026 සැප්තැම්බර් මාසයේ පැරිසිය අවට පාසල් අවහිර කිරීම් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපාරය ඉක්මනින්ම පුළුල් ජාතික ව්‍යාපාරයක් බවට පත්විය. වෘත්තීය සමිති, රාජ්‍ය සේවකයන්, හිටපු "කහ ජැකට්" (Yellow Vest) ක්‍රියාකාරීන් සහ උද්ධමනයෙන් පීඩාවට පත් පවුල් මෙම පෙළපාලිවලට එක් වූ අතර, එය රජයේ ප්‍රතිපත්තිවලට එරෙහි ජාතික අභියෝගයක් බවට පත් විය.
සමාජ විද්‍යාඥයින්ට අනුව, ඉතාලියේ තරුණ නොසන්සුන්තාව, කප්පාදු, දේශගුණික කාංසාව සහ කෝවිඩ් වසංගතය නිසා ඇතිවූ සමාජ හුදකලාව ඇතුළු සංකීර්ණ "ජීවිත කාලය පුරාම ඇතිවූ අර්බුද" පිළිබිඹු කරන අතර, එමඟින් Gen Z පරම්පරාවට ශක්‍ය අනාගතයක් නැතැයි යන හැඟීමක් ඇතිවී තිබේ. ජීවන වියදම් අර්බුදය, එකතැන පල්වෙන වැටුප්, බිඳ වැටෙන අධ්‍යාපන යටිතල පහසුකම්, ඉහළ යන නිවාස පිරිවැය සහ දේශීය කප්පාදු මධ්‍යයේ විදේශ හා හමුදා වියදම් පිළිබඳ කනස්සල්ල යන සියල්ල විරෝධතාවලට හේතු වී තිබේ.

ජර්මනියේ "Gen Z regelt!" ("Gen Z පෙරමුණ ගනී!") නම් පක්ෂග්රාහී නොවන සන්ධානය විසින් මෙහෙයවන තරුණ නැගිටීමේ මූලික හේතු වූයේ ආර්ථික අනාරක්ෂිතභාවය, මහජන යටිතල පහසුකම් සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් නොමැතිවීම සහ දේශපාලන පද්ධතියෙන් වියෝජනය වීමයි. ස්පාඤ්ඤය, බෙල්ජියම, ඇල්බේනියාව සහ වෙනත් යුරෝපීය රටවල ද Gen Z විරෝධතා රැල්ලක් දක්නට ලැබිණි. එක් එක් රටට විශේෂිත හේතු තිබුණ ද, ආර්ථික පීඩනය සහ පරම්පරා අතර ඇතිවන අසතුට යන තේමා පොදු ලක්ෂණ ලෙස පවතී. ආර්ජන්ටිනාවේ සහ ලතින් ඇමරිකාවේ අනෙකුත් රටවල විරෝධතා මතුවී ඇත්තේ ද ලෝකය පුරා අපහසුතා ඇති කරන ව්‍යුහාත්මක ආර්ථික ගැටලු නිසාය. ජීවන වියදම් ඉහළ යාම, රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සහ සමාජ ආරක්ෂණ ජාල දුර්වල වීම ප්‍රධාන විරෝධතා මාතෘකා විය.
සර්බියානු සංක්‍රාන්තිය සහ ඩිජිටල් පෙළගැස්ම
සර්බියාවේ විරෝධතා ආරම්භ වූයේ 2024 නොවැම්බර් 1 දින නෝවි සාද් නගරයේ දුම්රිය ස්ථානයක වහලයේ කොටසක් කඩා වැටීම නිසා පුද්ගලයන් 16 දෙනෙකු මිය යාමෙන් පසුවය. මෙම ඛේදවාචකය පුළුල්ව පැතිරුණු දූෂණයේ සංකේතයක් ලෙස සැලකිණි. විරෝධතාකරුවන් වගවීම, යුක්තිය සහ ආණ්ඩුව තුළ පැවති ක්‍රමගත දූෂණයට අවසානයක් ඉල්ලා සිටියහ. මෙම ව්‍යාපාරය ප්රජාතන්ත්රවාදයේ පසුබෑම, මාධ්‍ය වාරණය, රාජ්‍ය අල්ලා ගැනීම සහ ජනප්‍රිය නායක ඇලෙක්සැන්ඩර් වුචික් සහ පාලක සර්බියානු ප්රගතිශීලී පක්ෂය සමඟ සම්බන්ධ වූ සේවාදායක ජාලවලට ද අභියෝග කළේය. පසුව පැවති මහ මැතිවරණයේදී සිසුන්ගේ සහය ලැබූ සන්ධානයක් ඓතිහාසික පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනිමින් දීර්ඝ කාලයක් බලයේ සිටි ඇලෙක්සැන්ඩර් වුචික්ගේ පාලනය අවසන් කළේය.
මෙම ව්‍යාපාර ලෝකය පුරා ව්‍යාප්ත වූයේ ප්‍රධාන වශයෙන් TikTok සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහාය. එය දේශසීමා රහිත පොදු අනන්‍යතාවක් ගොඩනැංවීමට සහ ක්‍රියාකාරකම් වේගවත් කිරීමට උපකාරී විය. රෝමයේ පාසලක් අල්ලාගත් ඉතාලි සිසුන් ප්‍රකාශ කළේ ඔවුන් "ප්‍රංශය වගේ" ක්‍රියා කරන බවයි. විවිධ රටවල තරුණයන් එකිනෙකාගේ උපක්‍රම අනුගමනය කිරීමට පටන් ගත්හ. අධ්‍යාපන ගැටලු මත ආරම්භ වූ මෙම ව්‍යාපාරය ඉක්මනින්ම ව්‍යුහාත්මක ගැටලුවලට එරෙහි පුළුල් අරගලයන් බවට පත් විය.
ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේ නිල් පෙරළිය
ලෝකය පුරා පැතිරගිය තරුණ අසතුට නොවැම්බර් 3 වනදා පැවති එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණවලදී ඉතා පැහැදිලිව දැකගත හැකි විය. තරුණ ඡන්දදායකයන් බොහෝ දුරට නිවාස, සෞඛ්‍ය සේවා පහසුකම් සහ ජීවන වියදම් පාලනය වැනි ප්රගතිශීලී ප්‍රතිපත්ති ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට සහාය දැක්වූහ. ප්රජාතන්ත්රවාදී සමාජවාදීන් ලෙස හඳුන්වාගත් කණ්ඩායමේ අපේක්ෂකයන්ගේ සාර්ථකත්වයට මෙම තරුණ සහයෝගය විශාල ශක්තියක් විය.
වයස අවුරුදු 30ට අඩු ඡන්දදායකයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු පමණ තම ප්‍රාදේශීය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල තරඟයේදී ඩිමොක්රටික් අපේක්ෂකයාට සහාය දැක්වූ බව AP (Associated Press) ඡන්දදායක මත විමසුමෙන් හෙළි විය. ප්රජාතන්ත්රවාදී සමාජවාදී ව්‍යාපාරයේ නායකයකු වන බර්නි සෑන්ඩර්ස්ට අනුව, ග්‍රාමීය හා නාගරික ප්‍රජාවන් දෙකම "ධන බලය" ප්‍රතික්ෂේප කර, වැඩකරන පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින වැඩපිළිවෙළක් තෝරා ගෙන ඇත.
බොහෝ දෙනා රිපබ්ලිකන් පක්ෂය පරාජය කළ නොහැකියැයි සැලකූ ප්රාන්තවලදී පවා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීම මෙම මැතිවරණයේ සිදුවූ විශේෂත්වයකි. විශේෂයෙන් මෙවර කළු ජාතික ඇමරිකානුවන් සහ ලතින් ඇමරිකානුවන් විශාල වශයෙන් ඩිමොක්රටික් පක්ෂයට ඡන්දය ලබාදී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කළ සංක්‍රමණිකයින් අල්ලා පිටමං කිරීමේ වැඩපිළිවෙළෙන් වඩාත්ම පීඩනයට පත්වූයේ ලතින් ඇමරිකානු ජන ප්රජාවයි.
බිලියනපති බලය පරදා නැඟුණු ජනමතය
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන්ට ඊලෝන් මස්ක් වැනි බිලියනපතියන්ගෙන් සහ ඊශ්‍රායලයට හිතකර ප්‍රතිපත්ති සහ එක්සත් ජනපද-ඊශ්‍රායල සන්ධානය වෙනුවෙන් පෙනී සිටින AIPAC වැනි සංවිධානවලින් සැලකිය යුතු සහයෝගයක් ලැබිණි. වාර්තාවලට අනුව, ඊලෝන් මස්ක් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන්ට සහය දැක්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කර ඇත. ප්‍රධාන මාධ්‍ය ආවරණය රිපබ්ලිකන් පක්ෂයට වාසිදායක වූ බව විවේචකයෝ පෙන්වා දුන්හ. එහෙත් කෝටිපති ව්‍යාපාරිකයන්ගේ මෙම උත්සාහයන් "ප්රජාතන්ත්රවාදී සුනාමියක්" ලෙස විස්තර කළ ප්‍රතිඵලය නැවැත්වීමට අසමත් විය. එම ජයග්‍රහණය සඳහා නව තරුණ ක්‍රියාකාරී පරම්පරාවක් විශාල දායකත්වයක් ලබා දී ඇත.
මෙම මැතිවරණය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ වැදගත් නව සන්ධිස්ථාන කිහිපයක් ද වාර්තා කළේය. ඒ අතර:
* පළමු මුස්ලිම් ඇමරිකානුවා සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත්වීම
* පළමු කළු ජාතික කාන්තාව ආණ්ඩුකාරවරියක් ලෙස පත්වීම
* පළමු ස්වදේශික රතු ඉන්දියානු ඇමරිකානු කාන්තාව සෙනෙට් සභාවට තේරී පත්වීම සහ ආණ්ඩුකාරවරියක බවට පත්වීම
* විවෘතව සමලිංගික බව ප්‍රකාශ කළ පළමු පිරිමි සෙනෙට් සභිකයා තේරී පත්වීම
* ටෙක්සාස් ප්‍රාන්තයේ පළමු හිස්පැනික් ආණ්ඩුකාරයා සහ කැලිෆෝනියාවේ පළමු ලතින් ඇමරිකානු ආණ්ඩුකාරයා තේරී පත්වීම
* ෆ්ලොරිඩාවේ පළමු කළු ජාතික ආණ්ඩුකාරයා සහ ඔහයෝ ප්‍රාන්තයේ පළමු කාන්තා ආණ්ඩුකාරවරිය තේරී පත්වීම
රතු බලකොටු බිඳවැටුණු හැටි
සාම්ප්‍රදායිකව රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වූ ප්‍රාන්ත කිහිපයක සිදුවූ දේශපාලනික වෙනස්කම් ඉතා වැදගත්ය. 1932 සිට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කළ නොහැකි වූ කැන්සස් ප්‍රාන්තය මෙවර ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂකයෙකු විසින් දිනා ගන්නා ලදී. 1988 සිට රිපබ්ලිකන් බලකොටුවක් ලෙස සැලකූ මිලියන 31.7ක ජනගහනයක් සහිත ටෙක්සාස් ප්‍රාන්තය ද ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙත මාරු වූ බව වාර්තා විය.
කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්රගතිශීලී ප්‍රතිපත්ති, පරිසර නියාමන සහ ඉහළ ආදායම් සඳහා ගෙවීමට සිදුවූ බදු විවේචනය කළ ඊලෝන් මස්ක් 2024 දී තම සමාගම් වන ටෙස්ලා සහ ස්පේස් X වැනි සමාගම්වල මූලස්ථාන කැලිෆෝනියාවෙන් ටෙක්සාස් වෙත ගෙන ගියේය. ඔහු ආරක්ෂිත රිපබ්ලිකන් ප්‍රාන්තයක් ලෙස සැලකූ ටෙක්සාස් ප්‍රාන්තය දැන් ප්රජාතන්ත්රවාදී පක්ෂයට හිමි ප්‍රාන්තයක් බවට පත්ව ඇත. වාර්තා අනුව, ටෙස්ලා සහ SpaceX පිහිටි ටෙක්සාස්හි පමණක් ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 224ක් වැය කර තිබේ.
මිලියන 13ක පමණ ජනගහනයක් සහිත පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ, 1993න් පසු පළමු වරට ප්රජාතන්ත්රවාදී පක්ෂය ප්‍රාන්ත සෙනෙට් සභාවේ බලය අත්පත් කර ගත්තේය. මිලියන 7.6ක පමණ ජනගහනයක් සහිත ඇරිසෝනා ප්‍රාන්තයේ ද, දශක හයකට ආසන්න කාලයකින් පසු පළමු වරට ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකම ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් දිනාගෙන ඇත.
මැතිවරණ ප්‍රතිඵලය තීන්දු කළ යථාර්ථය

මෙම මැතිවරණයේ "නිල් සුනාමිය" සඳහා ආර්ථික, දේශපාලනික සහ සමාජීය සාධක කිහිපයක් බලපා ඇතැයි ඡන්ද සමීක්ෂණ සහ දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පිටවීමේ මත විමසුම් විශ්ලේෂණයට අනුව, ඡන්දදායකයින් දස දෙනෙකුගෙන් නව දෙනෙකු පමණ තම කොංග්රස් ඡන්දයේදී ජීවන වියදම තීරණාත්මක හෝ ප්‍රධාන සාධකයක් ලෙස සඳහන් කළ අතර, දස දෙනෙකුගෙන් හය දෙනෙකු පමණ ඉන්ධන මිල පිළිබඳව බරපතළ කනස්සල්ල පළ කළහ.
දේශපාලන විද්‍යාඥ ලෝරන්ස් නාර්ඩන් ප්‍රකාශ කළේ, ට්‍රම්ප් පාලනය සමඟ සම්බන්ධ වූ බව කියන දේශපාලනික කෲරත්වය සහ දූෂණය පිළිබඳ ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් පැවති බවයි. ඡන්දදායකයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම රජයේ දූෂණය ප්‍රධාන සාධකයක් ලෙස සැලකූ අතර, තුනෙන් එකක් ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ තත්ත්වය තමන්ට වැදගත්ම ගැටලුව බව සඳහන් කර ඇත. මීට අමතරව ඡන්දදායකයන් ජීවන වියදම, සංක්‍රමණය, දේශගුණික විපර්යාස, තීරුබදු, කෘත්‍රිම බුද්ධිය, අලුතෙන් ගොඩනැගෙන දත්ත මධ්‍යස්ථාන, විශාල තාක්ෂණික සමාගම්වල බලපෑම සහ ඇමරිකාවේ විදේශීය යුද මැදිහත්වීම් පිළිබඳව ද අසතුට පළ කළහ. ඉරානය සමඟ සිදු කරන යුද්ධයට සහ ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාරවලට එරෙහිවීම ද බොහෝ ඡන්දදායකයන්ගේ ප්‍රධාන අරමුණක් විය.
නව පරපුරක ලෝක අවදිවීම
අප මුහුණදෙමින් සිටින විවිධ භූ දේශපාලනික ගැටලු, වෙළඳ යුද්ධ, පාරිසරික ගැටලු, තරුණ අසහනය, ජීවන අරගල ආදී කනස්සල්ලන් හමුවේ ඉදිරි අනාගතය අවිනිශ්චිත වුව ද, ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ මෙම ප්රගතිශීලී දේශපාලන වෙනස, සාමය, ප්රජාතන්ත්රවාදය, සමාන අයිතිවාසිකම් සහ මානව ගෞරවය පිළිබඳ විශ්වාසය තබන ලොව පුරා ජනතාවට නව බලාපොරොත්තුවක් එක්කර තිබේ. විශේෂයෙන් Gen Z පරම්පරාවට, මෙම වෙනස්කම් මඟින් එකමුතු ක්‍රියාකාරකම් ඔස්සේ ශක්තිමත් බල ව්‍යුහයන්ට අභියෝග කළ හැකි බවත්, වඩා හොඳ අනාගතයක් ගොඩනැඟිය හැකි බවත් තහවුරු කරයි.
අප්‍රිකාවේ සිට ඉන්දියාව, යුරෝපය, ඇමරිකාව දක්වා, තරුණයන් වැඩි වැඩියෙන් එකට එක්වන්නේ සාධාරණත්වය, වගවීම, සැමට අවස්ථා සහ සාමය සඳහා වූ පොදු ආශාවන් වටාය. මෙම ගෝලීය අවදිවීම අවසානයේ සමාජයන් පරිවර්තනය කරයිද යන්න කාලය විසින් තීරණය කරනු ඇත. එහෙත් එක් කරුණක් පැහැදිලිය. නව පරම්පරාවක් තම හඬ ඇසීමට සැලැස්වීමටත්, තම අනාගතය ගෞරවයට පාත්‍ර කරවා ගැනීමටත් අධිෂ්ඨාන කරගෙන සිටින බව දැනටමත් පෙන්වා දී ඇත.




