දහවන ශතවර්ෂයේ සිට දහසයවන ශතවර්ෂය දක්වා පැවති සම්ප්‍රදායික වැඩවසම් යුගය මතක් කරමින් නූතන තාක්ශනය පදනම්කරගෙන බිහිවී
ඇති අලුත් වැඩවසම් යුගයක් ගැන මෑතකදී තම අදහස් ප්‍රකාශ කලේ හිටපු ග්‍රීක මුදල් ඇමති සහ ආර්ථික විද්‍යාව පිලිබදව විශේෂඥයකු සහ බුද්ධිමතෙකු ලෙස ලෝ පුරා ප්‍රසිද්ධ ආචාර්ය යානිස් වරුෆාකිස්ය.
මේ පිලිබඳ ඔහු විසින් රචිත Techno Feudalism නැමති ග්‍රන්ථයද වෙළදපොලට නිකුත් කර ඇත. යානිස් පවසන්නේ අපි අලුත් පන්නයේ වැඩවසම් යුගයකට පිවිස ඇති බවයි. සියවස් කිහිපයකට පෙර වැඩවසම් ක්‍රමය පෙරලා ගොඩ නැගුනු ධනවාදී ක්‍රමය අද අවසානවී ඇති බවත් ඒ වෙනුවට අලුත් පන්නයේ වැඩවසම් යුගයකට අපි පිවිස ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
වැඩවසම් යුගය සහ ධනවාදයේ ආරම්භය :
රාජාණ්ඩුව, ඉඩම් හිමියන් සහ ප්‍රවේනිදාසයන්, ගෙන් සමන්විතවූ වැඩවසම් යුගයේ අවසානයත් සමග ධනවාදී යුගය ඇරඹුනි. ඒ ඉඩම් හිමියන් විසින් තවදුරටත් ඉඩම් අහිමි මිනිසුන්, ප්‍රවේනිදාසයන්, සූරාකෑ කෘෂිකාර්මික නිෂ්පාදන වෙනුවට වෙළදාම සහ ඒ හා සම්බන්ධ ව්‍යාපාර කිරීම වඩාත් ලාබ ලබාදෙන බව අවබෝධ කරගැනීමත් සමගය. විශේෂයෙන් යුරෝපයේ නැව් කර්මාන්තය පටන්ගැනීමත් ඒ සමගම ඇරැඹෙන මුහුදු තරණය කිරීමත් නිසා ජාත්‍යන්තර වෙලදාම් ආරම්භවිය. එංගලන්තයේ, ඕලන්දයේ, ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ වෙළෙන්දන් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ නිශ්පාදනය කෙරෙන බැටලු ලොම් නැව් මගින් ආසියාවට ගෙන යෑම ආරම්භ කරන ලදී. මොවුන් චීනයේ ෂැන්ග්හයි වෙළදපොලට බැටලු ලොම් ගෙනගිය අතර ඒවා විකුනා චීනයේ නිෂ්පාදිත සිල්ක් සහ ජපානයේ නිශ්පාදිත කඩු වැනි වෙනත් භාණ්ඩ මිලදී ගන්නා ලදී. ඉන්පසු මේ වෙළෙන්දන් බොම්බායේදී මේ භාණ්ඩ දී කුලු බඩු මිලදී ගන්නා ලදී. මෙසේ ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් ගෙනයනලද නොයෙකුත් භාණ්ඩ එංගලන්තයේදී විකුනා වඩ වඩාත් බැටලු ලොම් තොග මිලදී ගැනීමටත් ඒවා නැවත නැවතත් ආසියානු වෙළදපොලට ගෙන යමින් විශාල ලෙස ධනවත් වීමටත් මේ වෙළදුන් සමත්විය. සමාජයේ එතරම් උසස් යැයි නොසැලකූ පුද්ගලයන්, වෙළෙන්දන් සහ නාවිකයන් ගෙන් සමන්විතවූ මේ අලුතින් බිහිවන ධනවතුන් ගැන භීතියට පත්වූ ඉඩම් හිමියන් මොවුන් තමන් පරයා නැගී එන බව තේරුම් ගත්තේය.
මේ ධනවත් වෙළදුන් සමග ඝට්ටනයකට යෑම වෙනුවට ඔවුන් සමග සහයෝගයෙන් වෙළදාම් කිරීමට ඉඩම්හිමියන් තීරනය කලේය. එහි ප්‍රතිපලයක් ලෙස බිහිවූ නව ධනපති පංතියට සමාජය තුල ලොකු බල පුලුවන් කාරකමක් ලැබුනි. ඒ නිසාම රාජාණ්ඩු ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් ධනවාදය ප්‍රවර්ධනය විය. මෙලෙස වෙළදාමට අවතීර්ණ වූ ඉඩම් හිමියන්ට තවදුරටත් කෘෂි බෝග වගා කිරීම පලදායී නොවීය. ඒ නිසා බෝග වගා වෙනුවට ඒ ඉඩම්වල ලොම් ලබාගැනීම සදහා බැටලුවන් ඇතිකිරීම ආරම්භ කලේය. ඉඩම් හිමියන් විසින් මේ ඉඩම් වල ප්‍රවේනිදාසයන් ලෙස වැඩකල සියල්ලම පාහේ පලවා හරින ලදී. මෙසේ කබලෙන් ලිපට වැටුනු ප්‍රවේනිදාසයන්ට නිවාසද අහිමිවූ අතර ජීවිතය රැක ගැනීමට තිබූ එකම මාර්ගය වූයේ කාට හෝ කුලීවැඩ කිරීම පමනකි. යුරෝපය තුල ශ්‍රමය විකුනා ජීවත්වන කම්කරු පංතිය සහ ශ්‍රම වෙලදපොල බිහිවූයේ මෙලෙසය.
අසාධාරණ වැඩවසම් ක්‍රමය සහ වහල් ක්‍රමය අහෝසිවීම තුලින් ප්‍රවේනිදාසයන්ට විශාල නිදහසක් ලැබුන නමුත් නව ක්‍රමය තුල දුප්පත්කම වැඩිකරන සහ නව පන්නයේ වහල් ක්‍රමයකට පොලඹවන විභවයන් තිබුනි. ඉන්පසු මේ ක්‍රියාදාමයේ නව පෙරලියක් ඇති කරන්නේ 18 වන ශතවර්ෂයේ අග භාගයේ ඇතිවන කාර්මික විප්ලවයත් සමගයි. වාශ්ප එංජිම සොයා ගැනීමත් සමග විශාල වශයෙන් කර්මාන්ත ශාලා ආරම්භ වීම පටන් ගැනුනි. ඒවා රැකියා අවස්ථා උත්පාදනය කල අතර එතෙක් ස්තීර රැකියා නොමැතිව දුක්විදි කම්කරුවන්ට යම් සහනයක් ගෙනදුන්නේය. එහෙත් කම්කරුවන්ට ඉතා අමාරු තත්වයන් යටතේ දිනකට දීර්ග පැය ගනනක් වැඩ කිරීමට සිදුවූ අතර වැටුප් ලෙස ලැබුනේ ජීවිතය යම්තම් ගැටගසා ගත හැකි සොච්චම් මුදලක් පමනි.
ධනවාදයේ වර්ධනය:
වාශ්ප එන්ජිම සොයා ගැනීමත් සමග ආරම්භවූ පලමුවන කාර්මීක විප්ලවයෙන් පසු දෙවන කාර්මික විප්ල්වය ආරම්භ වන්නේ විදුලිය, ටෙලිෆෝනය, වානේ නිශ්පාදනය, රසායනික කර්මාන්ත, අභ්යන්තර දහන එන්ජිම (ගුවන් යානය, ට්‍රැක්ටරය, දුම්රිය), මහන මැෂිම යනාදිය සොයාගැනීමත් සමගය. මේ සොයාගැනීම් ප්‍රවාහන, සංනිවේදන සහ ජන ජීවිතයේ සෑම අංශයකම පාහේ විප්ලවකාරී වෙනස්කම් ඇතිකරන ලදී.
තුන්වන කාර්මික විප්ලවය ආරම්භ වන්නේ 19 වන ශතවර්ෂයේ අග භාගයේදීය. ඒ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික තාක්ශනයත්, ඒ සමග ආරම්භවූ පරිගනක හා තොරතුරු තාක්ශණයත් සමගයි. 3ඩී මුද්‍රණය, කෘතීම බුද්ධිය, රෝබෝවරු, නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය යනාදිය මේ අතර මුල්තැනක් ගත්තේය. මේ ධනවාදී ආර්ථික ක්‍රමය හා සංයෝජනයවී ඇතිවූ කාර්මික විප්ලව හරහා අප ලැබූ ජයග්‍රහණ අපමණය. ගමනාගමන පහසුකම්, නවීන විදුලි සංදේශ පද්ධතීන්, විදුලිය, විශේෂඥ වෛද්ය සේවා සහ බෙහෙත්, ආහාර සුරක්ෂිතභාවය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන්, නිවාස, තරඟකාරීත්වය හරහා නවෝත්පාදනය සහ ගුණාත්මක වැඩිදියුණු කිරීම් යනාදිය ඒවායින් මූලිකයි. ඒක පුද්ගල ආදායම වැඩිවීම, ආයු කාලය වැඩිවීම යනාදිය අප ලැබූ ජයග්‍රහණවල ප්‍රතිපලයන්වේ. එලෙසම අති විශාල ආධායම් විශමතා, අසමානාත්මතාවයන්, ආර්ථික අස්ථාවරත්වය, වෙළදපොල ඒකාධිකාරීත්වයන්, විවිධ බල අරගල, යුද්ධ සහ පරිසර විනාශය යනාදිය ධනවාදයෙන් අපට හිමිවූ අවාසි ලෙස සැලකේ.
1776 දී ධනවාදය ගැන ඉතා උපේක්ශා සහිතව "The wealth of nations" ලියූ ස්කොට්ලන්ත ජාතික ඇඩම් ස්මිත්, ධනවාදී ක්‍රමයේ ඇති අපූර්වත්වයත්, එයින් ඇතිකරන සමාජ සංවර්ධනය පිලිබඳවත් විශාල අපේක්ශා ඇති කලේය. ධනවාදයේ පියා ලෙස සැලකෙන ඔහු අවංකවම ධනවාදය මිනිසාට විශාල ජයග්‍රහණ ලබාදෙන ක්‍රමයක් බවට විශ්වාස කලේය. මින් ශතවර්ෂයකට පමන පසු ධනවාදය ගැඹුරට හැදෑරූ තරුණ ජර්මන් දාර්ශනිකයෙකු සහ ආර්ථික විශ්ලේෂකයෙකුවූ කාර්ල් මාර්ක්ස් ධනවාදයේ ඇති පරස්පරතා පෙන්වාදෙමින් එම ක්‍රමය දිගටම පැවතිය නොහැකි බවත් ඊට විකල්පව ගොඩනැගෙන විකල්ප සමාජ ක්‍රමයක් ගැන අදහස් ප්‍රකාශ කලේය.
ධනවාදය විසින් විශාල ජයග්‍රහණ මිනිසාට ලබාගතහැකි බව මාර්ක්ස් විශ්වාස කලත් එහි ඇති පරස්පරයන් නිසා ධනවාදයේ අවසානය එම ක්‍රමය විසින්ම ලගා කරගන්නා බවට පුරෝකථනය කලේය. ඒ වෙනුවට යහපත් සමාජ ක්‍රමයක් ගොඩනැගීමට ධනවාදයෙන් ඉමහත් සූරාකෑමට ලක්වන දියුනු කම්කරුවන් මූලිකත්වය ගන්නා බවත් එම නව සමාජ ක්‍රමය විද්‍යාත්මක සමාජවාදය බවත් අවසානයේ එය කොමියුනිස්ට්වාදී සමාජයක් කරා යන බවටත් පුරෝකතනය කලේය. ඒ පිලිබඳ විශේශ වැඩපිලිවෙලක් ඔහු යෝජනා කල අතර 1848 දී ෆෙඩ්‍රික් එංගල්ස් සමග එක්වී මුද්‍රණය කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය තුලින් පන්ති අරගලයේ සහ විප්ලවයේ න්‍යායන් පැහැදිලි කලේය. ධනවාදයේ ප්‍රතිවිරෝධතාවයන් විශ්ලේෂණය කල කාල් මාක්ස් ඉතා ඉක්මනින් ධනවාදය කඩා වැටේයැයි පුරෝකථනය කලත් ඇත්තටම එය එසේ සිදු නොවිනි. එලෙසම කාල් මාක්ස් පුරෝකථනය කලේ ලෝකයේ දියුනුම කාර්මීකරණයට ලක්වූ යුරෝපයේ බුද්දිමත් කම්කරුවන් ඒ සමාජ විපර්‍යාසය කරනු ඇති බවයි.
ඔහු ඇත්තටම අදහස් කලේ එංගලන්තයේ ඒ විපර්‍යාසය සිදුවන බවයි. එහෙත් එය එසේ සිදු නොවිනි. ඔහු නොසිතූ ලෙස ඒ සමාජ විප්ලවය සිදුවන්නේ ඉතාම පසුගාමී වැඩවසම් සමාජයක් පැවති සෝවියට් රුසියාවේය. යටත්විජිත වලින් කරන ලද සූරාකෑම් නිසා කම්කරුවන්ට යම් සහන ලබාදීමට යුරෝපයේ ධනපති පංතිය ක්‍රියා කලේය. ඒ නිසා යුරෝපයේ ධනවාදයේ පැවත්ම තහවුරු කරගැනීමට ඔවුන් සමත්විය. මාක්ස්ගේ මේ පුරෝකථනයන් වැරදුනත් ඔහු ධනවාදයේ ව්‍යාප්තියත්, විශේෂයෙන් ගෝලීයකරණය, බහුජාතික සමාගම්, වෙළදපොල ප්‍රසාරණයන්, ඒකාධිකාරය, ප්‍රාග්ධනය අපනයන වන ආකාරය, ආර්ථික හා මූල්ය අර්බුදයන් ගැන ප්‍රකාශ කල අදහසුත් නව යටත්විජිත වාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන කීදේත් අදටත් සත්‍යයකි. ඇත්තටම ධනවාදයේ මූලික හරය තරගකාරීත්වයයි. ඒ තරගකාරීත්වය හරහා සමාජයට ලැබෙන ප්‍රතිලාභයි. කාර්මීකරණයේ අවසාන අදියරට පැමින සිටින අපි අද සිටින්නේ ක්ල්වුඩ් ධනවාදය (cloud capitalism) තුලයි. ක්ලවුඩ් තාක්ශනය යන්නෙන් අදහස් වන්නේ විවිධ තාක්ශනික මෙවලම්, දත්ත, මෘදුකාංග, බුද්ධිය, විශ්ලේෂණ, උපකරණ, යනාදිය අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගැනීමෙන් ලබාගන්නා පරිගණක සේවාවන්ටය.
මේ නව තාක්ශනික සේවාවන් ගැන විශේෂ විශ්ලේෂණයක් කරන ආචාර්ය යානිස් වරුෆාකිස් පවසන්නේ අද වෙනකොට ධනවාදය අවසානයකට පැමින ඇති බවයි. ඔහු පවසන්නේ තාක්ශණික අවකාශයේ ඇතිවී තිබෙන ඒකාධිකාරීත්වය නිසා තරගකාරි වෙළදාම අවසන් වී ඇති බවයි. ඔහු විසින් ලගදී නිකුත් කල "Techno feudalism" නොහොත් "තාක්ශණ වැඩවසම්වාදය" නැමති ග්‍රන්ථය තුලින් ඔහු මෙය අපූරුවට පැහැදිලි කරයි.
තාක්ශණ වැඩවසම්වාදය යනු කුමක්ද?
යානිස් අවදානය යොමුකරන්නේ අද අන්තර් ජාලයත්, දත්තත්, ඇල්ගොරිතම්ස් ( පරිගණක තාක්ශණය මගින් නිශ්චිත ගැටළුවක් විසඳීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කිරීමට සකස් කල සංකීර්ණ ක්‍රියා පටිපාටි), මෘදුකාංග සහ දත්ත ගබඩා පාලනය අයිතිකරගෙන සිටින දැවැන්ත ගෝලීය ව්‍යාපාර පිලිබඳවයි. එනම් ඇමශන් (online market platform), ෆේස් බුක්, යූටියුබ්, නෙට්ෆ්ලික්ස්, මයික්‍රොසොෆ්ට්, අලිබාබා, වොල්මාර්ට් වැනි ඒකාධිකාරයන් පිලිබඳවයි. ඔහු පවසන්නේ මේ ගෝලීය ව්‍යාපාරයන් විසින් සියල්ල පාලනය කරන බවත් ඔවුන් සමග තරග කිරීමට කිසිවෙකුට ඉඩක් නොමැති බවත්ය. එලෙසම පොදුවේ ජනතාවට අයිති දත්ත සියල්ලම පාහේ මොවුන් විසින් පෞද්ගලිකකරණයට නැත්නම් එම කොම්පැනිවල අයිතියට ලක්කරගෙන ඇති බවයි.
උදාහරණයකට අපි ෆේස් බුක් සමාගම අරගෙන බලමු. ෆේස් බුක් ගිනුමක් ආරම්භ කරන සෑම කෙනෙකුගේම දත්ත, නම, ගම, පාසැල, උපන් දිනය, රැකියාව කරන ස්තානය යනාදී සියලු දත්ත ෆේස් බුක් සමාගම සතුවේ. ෆේස් බුක් ගිනුම් කරුවාගේ ඕනෑ එපාකම්, ඔහු පලකරන පොස්ටු අනුව ඔහු කෙබදු පුද්ගලයෙක්ද, ඔහුගේ හෝ ඇයගේ දේශපාලන නැඹුරුව කුමක්ද ආදී සියලු දත්ත ඔවුන් සතුය. ඒ නිසා ෆේස් බුක් පාවිච්චිකරන්නා නොදැනුවත්වම වක්‍ර ලෙස පාලනය කිරීමටත්, හැසිරවීමටත් ඔවුන්ට පුලුවන්ය. මේ දත්ත ඉතා සූක්ෂම ලෙස වෙළදාම සදහාත් වෙනත් ප්‍රචාරක සහ දේශපාලනික ව්‍යාප්පෘති සදහාත් පාවිච්චි කල හැක. 2010 දී කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් Cambridge Analytica නැමති දේශපාලන උපදෙස් සෙවා සපයන සමාගම මුහුනු පොතේ අඩංගු දත්ත ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම සදහා සූක්ශම ලෙස යොදාගන්නා ලදී. ඒ සදහා ෆේස්බුක් ගිණුම් මිලියන පනහක දත්ත අවභාවිතා කර ඇති බව හෙලිදරව්වුනි. ඒ වගේම බ්‍රිතාන්‍යයේ Brexit ජනමත විචාරනයේ ප්‍රතිපලයටද මේ දත්ත උපයෝගී කරගෙන මැදිහත්වූ බවට මේ සමාගමට චෝදනා එල්ලවිය.
ඉහත කී තාක්ශණික ක්ෂේත්‍රයේ ඇතිකරගෙන තිබෙන ඒකාධිකාරීත්වය නිසා ඔවුන් තවදුරටත් ලාබ උපයනවා වෙනුවට කුලියක් (rent) අය කරගන්නා බව යානිස් පවසයි. සාමාන්‍යයෙන් ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ අමු ද්‍රව්‍ය, ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර යන ආදියට යන පිරිවැයට අමතරව ලාභයක් එකතුකර භාන්ඩ හා සේවා වෙලදපොලේ විකුනනු ලබයි. කාල් මාක්ස් මේ ලාභය කම්කරුවන්ට නිසි වැටුප් නොගෙවීම නිසා ලබාගත් දෙයක් බවට තර්ක කලේය. එනිසා ලාභය යනු අතිරික්ත ශ්‍රමය (කම්කරුවාට නොගෙවූ වැටුප) ලෙස ඔහු නම් කලේය.
දැන් අපි කතාකරන්නේ මේ ලාභය ගැන නොවෙයි. කොම්පැනි කාරයන් විසින් ගොඩනගාගන්නාලද ඒකාධිකාරීත්වය නිසා තමන්ට රිසිසේ ලබා ගන්නා විශාල ආදායමයි. එය ලාභයකට වඩා තමන් අයිතිකරගෙන සිටින දත්ත සහ තාක්ශණික ක්‍රමවේදයන් මත පාරිභෝගිකයන් මත පටවන විශේෂ කුලියකි. එය ඉඩකඩම් සහ අනිකුත් ස්වාභාවික සම්පත් බද්දට දීමෙන් දේපල හිමියන් ලබා ගන්නා කුලිය හා සමානය. ආචාර්ය යානිස් වරුෆාකිස් පවසන්නේ ලෝකයේ තවදුරටත් තරගකාරී වෙලදපොලක් නොපවතින බවත් ඒ නිසා ධනවාදය අවසන්වී ඇති බවයි. ඔහු තර්ක කරන්නේ වැඩවසම් යුගයේ ප්‍රවේනිදාසයන් ඉඩම් හිමියන්ට කුලී ගෙවුවාසේ මේ කොම්පැනි කාරයන්ට දැන් අපි කුලී ගෙවන බවයි. ඒ නිසා නැවතත් වටයකින් අපි අමුතු ආකාරයේ වැඩවසම් යුගයකට සම්ප්‍රාප්ත වෙමින් පවතින බවයි. මේ ගොඩනැගෙන පීඩාකාරී ඒකාධිකාරීත්වය පරාජය කිරීමට නම් සූරෑකෑමට සහ අසමාණත්වයට ලක්වන ලෝක පුරවැසියන් එක පෙරමුණකට පැමිනීම අත්‍යාවශ්‍ය කාරණයකි.
(අජිත් රාජපක්ෂ)
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)