2020 අගෝස්තු මස 15 වැනිදා පැවතුනු මහා මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ විසින් ප්‍රකාශිත ඡන්ද වලින් 59% ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් අත්පත් කරගෙන ඇත.

 එම පත්වෙන ආණ්ඩුව සඳහා අමාත්‍ය ධූර 28 ක් හා රාජ්‍ය අමාත්‍ය ධූර 40 ක් නම් කර ඔවුනගේ සඳහා වගකීම විස්තර කෙරෙන අංක 2020/8/2187-27 ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව එම තනතුරු සඳහා අමාත්‍යවරුන් පත් කිරීම පසුගිය 15 වැනිදා සිදු කරණ ලදී.

ඇත්තෙන්ම පත් කෙරුණු එම අමාත්‍ය මණ්ඩලයේත්, ඒ ඇමතිවරුන්ගේ කාර්යයන් හා කර්තව්‍යයන් පිළිබඳව  කාර්ය සාධනය මුල් කර ගෙන අලුත්ම ස්වරූපයකින් ඉදිරිපත් කෙරුණු එම ගැසට්ටුවේත් බොහොමයක් සාධනීය ලක්ෂණ තියෙනවා. ඒ වගේම අඩු පාඩුත් තියෙනවා. මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳ විග්‍රහයක් කිරීමයි. ඉස්සෙල්ලාම හොඳ ගැන කතා කරමු

 

හොඳ:

1 -සුවිශේෂ වගකීම් ඉතා පැහැදිලිව වෙන් කර දක්වා තියෙනවා

කැබිනට් ඇමතිවරුන්ගේ හා රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉදිරිපත් කිරීමේදී පළමුව අමාත්‍ය වරුන්ට  හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පොදුවේ ඇති වගකීම් හා දෙවනුව එක් එක් පදවියට සුවිශේෂ වගකීම් ඉතා පැහැදිලිව වෙන් කර දක්වා තියෙනවා.

2- නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති පැටලැවිලි නැහැ.

ඒ වගේම නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති පැටලැවිලි නැහැ. ඇත්තේ රාජ්‍ය ඇමතිවරු පමණයි. සෑම රාජ්‍ය ඇමති  වරයෙකුටම තමන්ට නිශ්චිත වපසරියක් හා එයට අදාළ ආයතන ලබා දීල තියෙනවා.

උදාහරණ ලෙස වනජීවී අමාත්‍යවරයාට රාජ්‍ය දැව සංස්ථාව ලෙස ද්විතීයික ආයතනයක් පවරාදෙන විට එම රාජ්‍ය අමාත්‍යවරයාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුව බාර දී තිබෙනවා. නමුත් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම අදාළ අමාත්‍ය වරයා හරහා සිදු කළ යුතු බවත් පැහැදිලිව දක්වා තියෙනවා.

3- සුවිශේෂී ප්‍රමුඛතා හඳුන්වා දීලා තියෙනවා.

ඊට අමතරව එක් එක් ඇමතිවරයාගේ කාර්යයන් හා කර්තව්‍යයන් විස්තර කිරීමට මීට පෙර හැම ගැසට්ටුවකම දාන එකම හෑල්ල වෙනුවට පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය හා සම්බන්ධ කළ සුවිශේෂී ප්‍රමුඛතා හඳුන්වා දීලා තියෙනවා.

''එක් එක් ඇමතිවරයාගේ කාර්යයන් හා කර්තව්‍යයන් විස්තර කිරීමට මීට පෙර හැම ගැසට්ටුවකම දාන එකම හෑල්ල වෙනුවට පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය හා සම්බන්ධ කළ සුවිශේෂී ප්‍රමුඛතා හඳුන්වා දීලා තියෙනවා.''

උදාහරණ ලෙස අධ්‍යාපන ඇමතිවරයාට පවරා ඇති “පෙර  පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක්ම පැහැදිලි මාර්ග සැලැස්මක් සකස් කිරීම සඳහා ප්‍රතිපත්තිමය මගපෙන්වීම හා පාසල් අවශ්‍යතාවය සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කොට ඒ අනුව පාසල් පද්ධතිය ප්‍රතිස්ථානගත කිරීම” එවැනි වැදගත් ප්‍රමුඛතා දෙකක්.  

රාජ්‍ය අමාත්‍ය ධූර පැවරීමේදී උදාහරණ ලෙස ග්‍රාමීය කර්මාන්ත යනුවෙන් හැදින්වීමට ඔබ්බෙන් ගොස් වේවැල්, පිත්තල, මැටි ලී බඩු ලෙස එක් එක් කර්මාන්ත වෙන වෙනම අවධාරණය කරලා තියෙනවා. මෙය හාස්‍ය ජනක හා මෙන්ම අනවශ්‍ය බෙදීමක් ලෙස බැලු බැල්මට පෙනුනත් යම් සුළු ව්‍යපාරියෙකුට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු තැන මේ නිසා පැහැදිලිව  දැක්වෙනවා.

''ග්‍රාමීය කර්මාන්ත යනුවෙන් හැදින්වීමට ඔබ්බෙන් ගොස් වේවැල්, පිත්තල, මැටි ලී බඩු ලෙස එක් එක් කර්මාන්ත වෙන වෙනම අවධාරණය කරලා තියෙනවා. මෙය හාස්‍ය ජනක හා මෙන්ම අනවශ්‍ය බෙදීමක් ලෙස බැලු බැල්මට පෙනුනත් යම් සුළු ව්‍යපාරියෙකුට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු තැන මේ නිසා පැහැදිලිව  දැක්වෙනවා.''

4 -එක තැනකට අරගෙන:

ඊලඟට, ඉදිරියට එන අර්බූද කාලය තුල ජනතාවට සහන සැලසීමටත් ඒ වගේම නව ව්‍යාපාර ඇතිකිරීමට හා රාජ්‍ය සම්පත්  උපයෝජනය කිරීමටත් අදාළ ආයතන සියල්ල “සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය” ලෙස එක තැනකට අරගෙන තියෙනවා.

මේ නිසා කෘෂිකර්මය, හා වාණිජ කටයුතු වලට අදාළ කාර්ය භාරයන් අමාත්‍යංශ 5 කටත් රාජ්‍ය අමාත්‍යංශ 33 කටත් මැටි පිත්තල ලෙස බෙදීම නිසා ඇතිවන ප්‍රශ්න යම් තරමකට මග හැරෙනවා. කාලීන අවශ්‍යතාවය වන්නේ කර්මාන්ත, කෘෂිකර්මය, වෙළදාම, ඉඩම් හා වාරි මාර්ග යන රාමු වලට හෝ ඒ එක් එක් රාමුවේ අදාල බෝග හෝ භාණ්ඩ  වලට  හිර නොවී ඒවායේ ඕනෑම සංකලනයක් තුලින් රටේ නිෂ්පාදනය හා අපනයනයන් ඇති කිරීමට සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ඇති බාධා ඉවත් කිරීමයි.  

අගමැති තුමා යටතේ ඒ සඳහා කේන්ද්‍රීය අමාත්‍යංශයක් ලෙස “සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය”පවත්වන්නේ ඒ සඳහායි කියා මා හිතනවා .

5- නවක ඇමතිවරුන්ට රාජපක්ෂ ‘ඇතුළු කවයේ’ අමාත්‍යංශ වල රාජ්‍ය ඇමති ධූර:

අනික් පැත්තෙන් නවක  ඇමතිවරුන්ට රාජපක්ෂ ‘ඇතුළු කවයේ’ අමාත්‍යංශ වල රාජ්‍ය ඇමති ධූර ලබා දී තියෙනවා  (උදාහරණ ලෙස, මුදල් අමාත්‍යංශය:ෂෙහාන් සේමසිංහ; නාගරික සංවර්ධනය හා නිවාස: ඉන්දික අනුරාධ හා ජීවන් තොන්ඩමන්). මෙය හොඳ ලකුණක්.

 

නරක:

1- ජනාධිපති ආරක්ෂක ඇමති පදවිය තමාට පවරාගෙන තියෙනවා:

පළමුවම ජනපතිට ඇමති ධූර පවරා ගත නොහැකි බව ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබියදී ගෝටාභය  රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ඇමති පදවිය තමාට පවරාගෙන තියෙනවා. තුනෙන් දෙකක බලය ලබාගෙන අදාළ නීතිය වෙනස් කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇති බව පෙනුනත් නමුත් ඊට පෙර රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැන මීට වඩා විරුද්ධතාවයක් එල්ල විය යුතුයි.

2 - තීරණාත්මක ආයතන සියයට සියයක් ජනපති හා  අගමැති යටතට:

HE PM 2020සහෝදරයින් දෙදෙනා හා ඔවුන් විසින් තෝරා ගන්න නිලධාරීන්
රටේ ගමන් මග මුළුමනින්ම තීරණය කරන තත්වයක් ඇතිවීම රටට අහිතකරයි.  

දෙවනුව තීරණාත්මක ආයතන සියයට සියයක් වගේම ජනපති හා  අගමැති යටතට අරගෙන තියෙනවා. මෙය හානිදායක බල කේන්ද්‍ර කිරීමක්. මේ අයගේ අත් දැකීම් හා හැකියාවන් ගැන විවාදයක් නැහැ. නමුත් අප විසින්  ඉදිරියට යෑමට නම් වෙනත් වෙනත් අදහස් හා අලුත් උත්තේජන අවශ්‍ය වෙනවා.

සහෝදරයින් දෙදෙනා හා ඔවුන් විසින් තෝරා ගන්න නිලධාරීන් රටේ ගමන් මග මුළුමනින්ම තීරණය කරන තත්වයක් ඇතිවීම රටට අහිතකරයි.  

ව්‍යවස්ථා සංශෝධනයකින් ව්‍යවස්ථාදායක සභාව බෙල්හීන කලොත් මේ ඇතුළු කවයට සම්පූර්ණයෙන් බ්‍රේක් නැති තත්වයක් ඇති වෙනවා. අප ඉදිරියේ දැනට ඇති ණය බර 2010-2015 කාලයේදී රාජපක්ෂ රෙජීමයේ බ්‍රේක් නැති ගමනේ ප්‍රති විපාකයක් ලෙස විචාරකයින් හදුන්වනවා.

''කවුරු කරත් බ්‍රේක් නැති ගමනක් රටට අහිතකර බවට සැකයක් නැහැ. එවැනි ගමනක් යෑම එම ගමනේ යන අයටත් ප්‍රති විපාක දෙන බව අපි 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් දැක්කා.''

කවුරු කරත් බ්‍රේක් නැති ගමනක් රටට අහිතකර බවට සැකයක් නැහැ. එවැනි ගමනක් යෑම එම ගමනේ යන අයටත් ප්‍රති විපාක දෙන බව අපි 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් දැක්කා.

පහත දැක්වෙන්නේ 2020 කැබිනෙට්ටුවේ අහිතකර ඒක රාශී කිරීම් වලින් උදාහරණ කිහිපයක්.

  • තොරතරු හා සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ ආයතන සියල්ල, ආයෝජන මණ්ඩලය හා පෝට් සිටි ව්‍යාපෘතිය “ජාතික ප්‍රමුඛතාවයන් සඳහා ජාතික මට්ටමේ මගපෙන්වීම හා සම්බන්ධීකරණය සඳහා ක්‍රියාත්මක වන ආයතන” යනුවෙන් නම් කරලා ජනාධිපති යටතට අරන් තියෙනවා.
  • දෙවනුව ස්වදේශී අමාත්‍යංශයේ වැදගත්ම ආයතන සමූහය ආරක්ෂක අමාත්‍යයට විසින් ගිලලා. ඒ අනුව පොලීසියත්, ග්‍රාම නිලධාරී වරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් වරු හා  ප්‍රාදේශීය ලේකම්වරුනුත් ආරක්ෂක ලේකම්ට වාර්තා කරනු ඇත;
  • පුද්ගලයින් ලියා  පදිංචි කිරීම හා කොම්පැනි ලියා පදිංචි කිරීම මෙන්ම ආගමන හා විගමන දෙපාර්මේන්තුවත් අපාදා කළමනාකරණයත් ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගෙන තියෙනවා.
  • මේ ලෙස සියළුම වැදගත් තොරතුරු ප්‍රභවයන් වන ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සිට පුද්ගලයින් ලියා පදිංචි කිරීම හා කොම්පැනි ලියා පදිංචි කිරීම මෙන්ම  ආගමන හා විගමන දෙපාර්මේන්තුවත් අමතරව පවරා ගනිමින් ආරක්ෂා අමාත්‍යංශය හරහා ලංකාව Surveillance State එකක් හෝ  අති සෝදිසි රජයක් බවට පත්වීමේ අවදානම තියෙනවා.

3- ඉදිරියේදී කේන්ද්‍රය හෝ කක්ෂ  ඕෆ්  බැලන්ස් යන්න පුළුවන්

අවසාන වශයෙන් මෙම කැබිනෙට්ටුව අති බලගතු තනතුරු ඒක රාශී කරගත් ජනපති හා අගමැති දෙපල සහිත කේන්ද්‍රයක් හා ඒ වටා බ්‍රමණය වන යම් තරමකට වැදගත් අමාත්‍යංශ හා එතරම් තීරණාත්මක නොවන අමත්‍යංශ යනුවෙන් කක්ෂ දෙකක් ලෙස පවතිනවා කියලා කියන්න පුළුවන්.

නමුත් ඉදිරියේදී කේන්ද්‍රය හෝ කක්ෂ  ඕෆ්  බැලන්ස් යන්න පුළුවන්. යම් යම් නවක ඇමතිවරු ජවයක් ඇතිව ඉදිරියට දුවන කොට ජ්‍යෙෂ්ඨ ඇමති වරු හැලෙන්න පුළුවන්. මේ කොයි තත්වයන් යටතේත් වැදගත් වන්නේ සිවිල් සමාජය හා මාධ්‍යය විසින් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හා හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්  වෙනුවෙන් ඍජු ස්ථාවරයක සිටීමයි.

 

යෝජනා:

Ministers 2020

1- කැබිනෙට්ටුවේ ව්‍යුහය නිසා ඇතිවන දුර්වලතා මග හැර ගැනීම සඳහා පළමුවම මා යෝජනා කරන්නේ ඒක රාශී කිරීමෙන්  බලාපොරොත්තු වන යම් යම් ප්‍රතිසංස්කරණ වහාම සිදු කර සියළු ස්වදේශීය සේවා කටයුතු  වසරක් ඇතුලත නැවතත් ස්වදේශී අමාත්‍යංශයට බාර දීමයි.

ඊට අමතරව, ඉදිරියට එන සමාජ ආර්ථික අර්බූදයට මුහුණ දීමට ආරක්ෂා අමාත්‍යංශය,  මුදල් අමාත්‍යංශය හා  නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යංශය ලෙස පවතින කේන්ද්‍රයට අධිකරණ, විදේශ කටයුතු, ස්වදේශ කටයුතු, කම්කරු හා අධ්‍යාපනය අමාත්‍යංශ එකතු කළ වැඩි නියෝජනයක් සහිත මෙහෙයුම් කේන්ද්‍රයක් ඇති කිරීමයි.

2 - දෙවනුව, අමාත්‍ය මණ්ඩලයේ වගකීම් විස්තර කෙරෙන අංක 2187/27  ගැසට්ටුවෙන් ඔබ්බට ගොස් සෑම අමාත්‍යංශයකටම මැනිය හැකි කාර්ය සාධන ඉලක්ක තුනක් හෝ පහක් අතර ප්‍රමාණයක් එක් එක්  අමාත්‍යංශය හා සාකාච්ඡා තුලින් නිර්ණය කිරීමයි.

ඇත්තටම අධිකරණ අමාත්‍යංශයට ව්‍යවස්ථා සංශෝධනය වැනි භාර ධූර වගකීමක් ලබා දීමත් අලි සබ්‍රී මහතා වෙත තම මුස්ලිම් කම නිසා ඇතිවන අනවශ්‍ය බලපෑම් නිසාත් පොදු ජනයාට බලපාන දරුණුම කාරණයක් වන නඩු විභාග සමාප්ත කිරීමේදී අවුරුදු පහළොවක විස්සක කාලයක් ගතවන තත්වය වහා දුරලීම අතපසු විය හැක. නඩු විභාග සමාප්ත කිරීම පිළිබඳ කාර්ය සාධන ඉලක්කයක්  දැනට එම අමාත්‍යංශයට පවරා නැහැ. එය වහා නිවැරදි කළ යුතුයි.

3 -තුන් වෙනුව, 2020 කැබිනෙට්ටුවට මෙන්ම ඕනෑම කැබිනෙට්ටුවකට අදාළ වන ප්‍රශ්නයක් වන්නේ ඇමතිවරුන් විසින් තමන්ගේ සංවර්ධන ඉලක්ක කරා යා යුතු ආකාරය හරි හැටි තේරුම් නොගෙන සිටීමයි.

රජය මැදිහත්ව අළුත් රාජ්‍ය ව්‍යාපාර හෝ ව්‍යපෘති ඇරඹීමට ප්‍රමුඛතාවයක් දීම ඇමතිවරුන්ගේ සාමාන්‍ය පුරුද්දයි.  ඒ වෙනුවට රටේ පවතින ව්‍යාපාර හෝ සේවාවන් සඳහා අළුත්  ප්‍රතිපත්ති හෝ නියාමන ක්‍රමවේද හදුන්වා දීම තුලින් බොහොමයක් සංවර්ධන ඉලක්ක  සාක්ෂාත් කර ගන්න පුළුවන්.  

රාජ්‍ය සම්පත් කලමනාකරණය පිළිබඳවද යම් දැනුමක් ඇමතිවරුන් සතු විය යුතුයි.  එම නිසා සෑම ඇමතිවරයකුටම ‘නව රාජ්‍ය ප්‍රතිපත්ති, පොදු සේවා නියාමනය හා රාජ්‍ය ව්‍යවාස හා සම්පත් කළමනාකරණය  තුලින් සංවර්ධනය’ යන මැයෙන්  වැඩ මුළුවක් වහාම සංවිධානය කිරීම වැදගත් වෙනවා.

4 -හතරවෙනුව  “පොල්, කිතුල්, තල් හා රබර්” ලෙස,  “උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්” ලෙස,  “බතික්, අත්යන්ත්‍ර රෙදි” ලෙස,  “මැණික් හා ස්වර්ණාභරණ”  ලෙස හෝ, “වේවැල් පිත්තල, මැටි, ලී බඩු” ලෙස වෙන් වෙන්ව හැදින්වූවත්, ඒ සැම  බෝගයක් හෝ ද්‍රව්‍යයක් හෝ ආශ්‍රීත ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට අදාල වන්නේ අමු ද්‍රව්‍ය සපයා ගැනීම, එම කර්මාන්ත කළමනාකරණය කිරීම හා  හා වෙළඳ පොල අත්පත් කර ගැනීම යන පොදු ප්‍රශ්නයි.

මේ සඳහා “සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා  ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය” මැදිහත්ව අමාත්‍යංශ වලට හා අමාත්‍යවරුන්ට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි.

5- අවසාන වශයෙන් මෙවැනි ව්‍යුහමය සමානකම් ඇති විෂයන් හොබවන ඇමතිවරුන්ට එකිනෙකා හා සාකච්ඡා කිරීමෙන් ගැටළු විසදා ගැනීමට උනන්දු කරවීම හා ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩමුළු පැවැත්වීම කෙරෙහිද  “සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා  ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ”  අවධානය යොමු විය යුතුයි.

සමස්තයක් ලෙස ජනතාවට අධික  බදු බරක් හා ණය බරක් හිමිකරින් 70 කට ආසන්න ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමේ දේශපාලන යථාර්තයට කළමනාකරණ විසදුමක්  දීමට  රජය කටයුතු කරයිද නැද්ද යන්න ගැන රටට ආදරය කරන සෑම කෙනෙකු විසින්ම විමසිල්ලෙන් සිටිය යුතුයි.

ඇත්තෙන්ම රාජ්‍ය අමාත්‍යංශ  90% ක්ම  

(1) කර්මාන්ත  හෝ මහා පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය 

(2) සුළු හෝ මධ්‍යම ව්‍යාපාර ප්‍රවර්ධනය

(3) ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් සැපයීම හා

(4)  ජාතික මට්ටමේ යටිතල පහසුකම් සැපයීම ලෙස වර්ගී කරණය කර හැක.  මේ හතර සඳහා අදාල උපක්‍රම එකිනෙකට වෙනස්වේ.

සමස්තයක් ලෙස ජනතාවට අධික  බදු බරක් හා ණය බරක් හිමිකරින් 70 කට ආසන්න ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමේ දේශපාලන යථාර්තයට කළමනාකරණ විසදුමක්  දීමට  රජය කටයුතු කරයිද නැද්ද යන්න ගැන රටට ආදරය කරන සෑම කෙනෙකු විසින්ම විමසිල්ලෙන්  සිටිය යුතුයි.

Sujatha Gamage

 

(ආචාර්ය සුජාතා ගමගේ)

[අනිද්දා පුවත්පත, අගෝස්තු 23, 2020]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්